20161021

අප අතර වෙසෙන පේදුරු, සෙමනේරිස් සහ නෝනහාමි. -බවදුක

බවදුක නවකතාවෙහි
විශේෂ චරිත තුනක් දක්නට ලැබෙයි.

පවුලේ එකම දරුවා ලෙස
සූදු අන්තුවෙකු හා බේබද්දෙකුට දාව
සල්ලාල ප්‍රභූවරයෙකු විසින් දූෂිත
අසරණ ගැහැණියක කුස උපන් නෝනහාමි
ගර්වයෙන්, මානයෙන් යුතුව කුසීතව හැදුණ
නවයොවුන් සුරූපියකි.

ඇගේ ගෙදර ගම්මඩුවෙන් ඇරඹෙ
කතාවෙහි
යක් නැටුම් නටන්නට පැමිණි ආරාධිත නැට්ටුවා පේදුරු
පවුලේ එකම දරුවා වූ නමුදු
නිහතමානීව, සුවච ව කීකරු ව හැදී වැඩී
පොලීසියේ රැකියාව යහපත් ලෙස කරගෙන
දෙමාපියන්ට ගරුබුහුමන් දක්වමින් කල් ගෙවන්නෙකි.

සිය සල්ලාල සිත සන්හිඳුවන ගොදුරු සොයා
විටින් විට ගම් වදින සෙමනේරිස් අප්පුහාමි
ගම්මඩුව බලන්නට පැමිණ සිටියි.
ආසන්නයෙහි මාගලක් මත හිඳගත්
නාඹර ගෙවිලියන් දෙස නුරා බැලුම් හෙළමින්
සුවාසනය මත ඇඹරෙමින් පසුවෙයි.

මේ පේළි කිහිපය කියැවන බහුතරයක්
පේදුරුගෙ යක් නැටුම සිතින් පසෙකට කර
සෙමනේරිස්ගේ අනංග රංගනය නරඹන්නට
සිතෙහි ඉඩ හසර සකස් කරන බව
විශ්වාස කළ හැක.

පේදුරුගේ සොඳුරු රංගනය
ගම්මඩු බිම දෙවනත් කරද්දී
ඔහුගේ රංගණයට හා තාරුණ්‍යයට වශී වී
මැදපිළෙහි උන් නෝනහාමිගේ කාමාශක්ත සිරුර දැක
නුරාමතින් විකල් වූ සෙමනේරිස් අප්පුහාමි
සිය සගයන් වූ ආරච්චිල හා ඔපිසර සමග
හුන් වනම ගම්මඩුව හැරපියා අඳුරට මුහුවුණේ
ඒ රාත්‍රියේම ඇය දූෂණය කරන්නට
මග සකස් කරගන්නටය.
ඒ මගෙහි රූටා වුත්
ඔහුගෙන් ඒ රාතියෙහි දූෂණය වන නෝනහාමි
ටික දිනකට පසුව දීග යන්නේ
එ රැයෙහිම ඇයට පෙම් බැඳි පේදුරු සමගය.

දූෂණය වීමේ අවමානයෙන් තැවෙමින්
හඬාවැටෙමින් උන් නෝනාහාමිගේ තැවීම
යම් පමණකට තුරල් වන්නේ
සෙමනේරිස් විසින්ම තම මවද
මෙසේම කෙළෙසුණු බව
මවගේ මුවින් ගිළිහුණු විටය.

"දුවේ...නෝනහාමියෙ....නැගිටපල්ල බොල....
ඕව ඉතින් ලෝකෙ දැනගත්තොත් තමා.... විළි ලජ්ජාව."

මංගල සිරියෙන් ඇගේ කිළිටි ගත ආවරණය කළද
කෙළෙසුණු සිත සමග මඟුල් දා රැයවත්
පේදුරුගේ නිවසේ තැළිපිළි මත
සැනසිල්ලේ වැතිර සිටිය නොහැකිවූ නෝනහාමි
එදා රාත්‍රියේම අඳුරේ පළා ආවේ
දූෂණය වූ සිත කය නිසා විඳින
දුක්වේදනා කන්දරාවකට මැදිවන්නටය.

පේදුරුගේ නිකැළල් හද පුදසුනට
තැලී පොඩි වී කැළැල්වී පැමිණ
එහි තනිව අරක්ගෙන වෙසෙමින්
නිර්දෝෂී පේදුරුගේ කම්සුවය සෙවීම
දරුවන් වදන්නට ඇති අකමැත්ත මත
ප්‍රතික්ෂේප කරමින්
ඔහුගේ චරිතයෙහි අභිමානය බිඳ දමන මුත්
මත්පැන් බීම හැරෙන්නට වෙනත් මගකින්
ඔහු පවුකාරයෙක් කරගන්නට අසමත්වන ඇය
එක් අවස්ථාවක ඔහුට යම් පමණකට
නතුවන්නීය.

දරුවන් නවදෙනෙකු වදා සිටියදී
ඉන් එක වැඩිවිය පත් දැරියක ගොදුරු ලෙස සොයා ගෙන
ඇගේ නිවසට පැමිණෙන සෙමනේරිස්ගේ කය දකින විට
සිතින් ගතින් වැහැරුණු නෝනහාමිගේ සිත කය
කාමයෙන් ආශක්තව දැවෙන්නට වන්නේ
ඔහුගෙ පිළිකුළට ලක්වෙන මායම් පාන්නට වන්නේ
එදාත් අදත් සිය කායික පරිහානිය
කාමභෝගී සල්ලාල සෙමනේරිස් වැන්නෙකුට තරම
අන් කිසිවෙකුටත් නොපෙනෙන බව දකින්නට තරම්
ඇගේ ස්ත්‍රී ප්‍රඥාව මුහුකුරායන්නට
ඇය විඳි සියලු දුක්ඛ දෝමනස්සයන්
තවමත් මදි වූ නිසාය.

ස්ත්‍රියක දූෂණය කළ පසු
දූෂකයාට පෙරළා පෙම් බැඳීම
ස්ත්‍රී ප්‍රඥාවට සාමාන්‍ය දෙයකි.
ඔහු ඇය දූෂණය කරන්නට හේතුවෙන
ප්‍රබල ආවේගය ඇයට අභිමානයකි.
එකෙක් තමා මතුපිටින් දැක සැනසෙද්දී
තවෙකෙක් තමා ඩැහැගන්නට පැමිණෙන්නේ
ඔහු තමාට පෙම්බඳින නිසා යයි
ඇගේ ස්ත්‍රී ප්‍රඥාව ඇයට දෙස් දෙයි.

ගල් යුගයේ සිටම
ස්ත්‍රී ප්‍රඥාව ඇති ස්ත්‍රී පුරුෂයන්ගේ
ගෞරව බුහුමන්වලට ලක් වූයේ සාධු චරිත නොවේ.
ස්ත්‍රී පුරුෂයන් සාධු චරිතවල සෙවණ සොයා
පන්සල් පල්ලි කෝවිල් කරා රොද බඳින්නේ
කය පුරා විහිදුණ රස නහර සියල්ලෙහි
අවසාන බිඳුවත් වාශ්ප වූ පසුවයි.

ජීවිතය පුරාම
අනිත්‍යයෙන් දුක් විඳිමින් සිටි ඔවුන්
සැප සෙවීමෙන් සහ හැකි විටක විඳීමෙන්
මං මුළාවී උන් හෙයින්
දැන් දහම තුල දුක සොයති.
අනිත්‍යය සොයති.

ගල් යුගයේ සිට අද දක්වාත්, මතු මත්තෙහිත්
ස්ත්‍රී ප්‍රඥාවෙන් යුතු මේ ස්ත්‍රී පුරුෂයෝ
හැමදාම ගරු කළේ සුචරිතවත් පේදුරුලාට නොවේ.
මාන්නක්කාර ස්ත්‍රී දූෂක සෙමනේරිස්ලාටය.
තමන් සිහින දකිද්දී ඔවුන් ගත කරන
කාමභෝගී දිවිපැවැත්මටය.

ඔවුන් ඡන්දයෙන් පත් කරගන්නේ
තමන් දූෂණය කරන සෙමනේරිස්ලාය.
පේදුරු කෙනෙක් පත්වන්නේ අහම්බෙනි.

දේශපාලන ක්ෂේත්‍රයෙහිදී
මහින්ද සෙමනේරිස් නම් මෛත්‍රී පේදුරුය.

සිනමා ක්ෂේත්‍රයෙහිදී
"ඔහු ඉතිරි කළේ දෙනවක හාමිනේ පමණකැ"යි
රසික ගරු බුහුමන් ලබන විජය,
සෙමනේරිස්ය.
පේදුරු ජෝ අබේවික්‍රමය.

සේකර සරච්චන්ද්‍ර ප්‍රේමකීර්ති පේදුරුලාය.
සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි සම්මාන ලබන්නෝ
සෙමනේරිස්ලාය.

ජෝතිපාල සෙමනේරිස්ය.
අමරදේව, රෝහණ බැද්දගේ පේදුරුලාය.

බුදු සසුනට සෙමනේරිස් සමන්ත භද්‍රය.
පේදුරු රේරුකානේ හිමියන්ය.

කාමභෝගී සෙමනේරිස්ට වහවැටුණ
ස්ත්‍රී ප්‍රඥාව ඇති ස්ත්‍රී පුරුෂයන් අතර
ගරු සම්මාන ලබන සිත් පහළව
ගිහි පැවිදි දෙපස අතරම
සිල් බිඳගන්නා කුඩා පේදුරු පැටවුන්
කාමභෝගී සෙමනේරිස්ලා ලෙස වැඩෙති.
නිසි ගරු බුහුමන් ලබති.

ඔබ වටා සිටින මිනිසුන් දෙස
තියුණු විමසිලි ඇසකින් බැලුවොත්
ඔබ වටා සිටින සෙමනේරිස්ලා අතර
පේදුරුලා සොයාගැනීම කොතරම් අසීරුදැයි
ඔබට වැටහෙනු ඇත.

මේ අධ්‍යාත්මය අරක්ගෙන සිටින්නේ
සෙමනේරිස්ද පේදුරුද?

ඔබ පේදුරු කෙනෙක් නම්
ඔබට ඇති ප්‍රබලම අභියෝගය
ඇතුළෙනුත් පිටතිනුත් එන පෙළඹවීම දරාගෙන
කාමභෝගී සෙමනේරිස් කෙනෙකු බවට
දූෂණය නොවී නිවී විසීමයි.

ඔබ සෙමනේරිස් කෙනෙකු නම්
මට ඔබ හා ඇසුරක් නැත.

20161019

සීමාසහිත කර්තෘ ප්‍රකාශක සමාගමක් බිහිවිය යුතුය.


පිටු 16ක පොතක් මුද්‍රණය කිරීමේදී.
පරිගණක අක්ෂර සංයෝජනයට රු 640
ඇතුල් පිටු අටක ප්ලේට් 2ට රු 1000ක් පමණ
ඒ ප්ලේට් 2 කොල දහසක මුද්‍රණය කිරීමට රු 1000
කඩදාසිවලට
පිටු දාසය ( 70)කොල දාහක් මුද්‍රණයට රු 3200/=
පොත බැඳීම් ආදී කැපීම් ආදියට සුළු වියදම්...
_________________________________________
වර්ණ පිට කවරය මුද්‍රණයට රු10000-15000ත් අතර..
2016 10 19
[ තොරතුරු ලබා දුන් මුද්‍රණ ශිල්පියාට තුති. ]
පිටු පණහක පමණ පොතක්
රු තුන්සියයකට ආසන්න මුදලකට
මිළ කර තිබෙනු දැක කම්පාවට පත්ව විමසීමි.

ඉහත දත්ත අනුව එම පොතෙහි මුද්‍රණ වියදම
රු 40කටත් අඩු විය යුතුය.
මේ ලාභය පොතේ කතෘ අතට යනවා නම් කම් නැත.
ව්‍යාපාරිකයා අමතර රු දහසක් සොයද්දී
ලේඛකයාට ලැබන්නේ රු සියයකි.
සිය පොත අඩු මුදලට මුද්‍රණය කරගෙන
සාධාරණ මිලක් යටතේ පහසුවෙන් බෙදා හැර
පොතෙන් ලැබෙන ලාභය වෙනමත්,
සමූහ ව්‍යාපාරයෙන් ලැබෙන ලාභය වෙනමත්
කතුවරයාට ලැබෙන පරිදි සකස්වුණ ව්‍යවස්ථාවක් මත
සීමාසහිත කර්තෘ ප්‍රකාශක සමාගමකට
අවකාශය විවෘතව පවතී.
සීමාසහිත කර්තෘ ප්‍රකාශක සමාගමක් කියන්නෙ
කර්තෘ ප්‍රකාශකවරුන්ගේම ව්‍යවස්ථාපිත සමාගමක්.

සාමාජිකයන්ගෙ ඡන්දයෙන් පත්කරගත හැකි
සභාපති කෙනෙක්, අධ්‍යක්ෂක මණඩලයක්,
කාර්ය මණ්ඩලයක්, ගොඩනැගිල්ලක්, වාහන සහිත
අංග සම්පූර්ණ ව්‍යාපාරික ආයතනයක්...

පොත් ලියන්නට බුද්ධිය ඇති
හසල ලේඛකයන්ට කළමණාකරණය
අපහසු විය නොහැකියි.

20161008

පහේ ශිෂ්‍යත්වය උස පනින රිටක්...


පහේ ශිෂ්‍යත්වය
උස පනින දරුවෙකුට රිටක් වගෙයි.
ඒ රිට නිසා ඔහුගෙ වටිනාකම හෝ
ඔහු සැබැවින්ම පනින උස ප්‍රමාණය
බෙහෙවින් වෙනස් වෙන්නෙ නෑ.
ඔහු වෙනත් පාසලක හයේ පන්තියට පනිද්දි
ඒ රිට භාවිතා කළාට
ඒ පන්තියෙ උස පනින්න
ඒ රිට භාවිතා කරන්න බැහැ.
ඒ පන්තියේ ඉන්න අනිත් ළමුන් ඔහුට වඩා
උස පැනීමෙන් දක්ෂ වෙන්න පුලුවන්.

මමත් බිරිඳත්
ගමේ පාසලෙන් ශිෂ්‍යත්වය පාස්වෙලා
නගරයේ පාසල් වලට ආව දෙන්නෙක්.
ගමේ පන්තියෙ පළවැනියා වුණ මම
නගරයේ විදුහලේ පන්තියේ අවසාන දහදෙනා
හෝ පස්දෙනා අතර ඉන්න ඇති....
මම දන්නෙ නෑ.
ඒ පන්තිවල මුල් වෙනියො දෙතුන් දෙනා හැරෙන්න
අනිත් අය අපි දන්නෙ නෑ.
තරඟයකින් පළ වෙනියා වීම
මට අදටත් වැදගත් නෑ.

තරඟයකින් පළ වෙනියා වීම
අදටත් අගය කරන
ගමේ පන්තියෙ පළවැනියා වුණ මගේ බිරිඳ
ආව ගමන් පන්තියෙ 28 වෙනියා වෙලා
පසුව මුල් තැන් වලට ඇවිත් තිබුණා.
ගමේ හිටියා නම් නොවෙන තැනකට
නගරයේ පාසල නිසා
ඇගේ ඉගෙනුමේ වර්ධනයක් වුණා.

මම ඇය මෙන් ඉගෙනුමෙන් ඉදිරියට ගියේ නෑ.
ඒත් ඒ පරිසරයෙ පෝෂ්‍යදායක ගුණය නිසා
වයස දහනවයෙදි මම චිත්‍රකතා ශිල්පියෙක් වුණා.
ගමේ හිටියා නම්
මම චිත්‍රකතා ශිල්පියෙක් වෙන්නෙ නෑ.

ප්‍රේමකීර්ති ආනන්දෙට නො ආවා නම්
ඔහු ගිය දුර යන්න අවශ්‍ය පෝෂණය
ඔහුඔහුට ලැබෙන්නෙ නෑ.
ඒ අවස්ථාව
නගරයේ ''පාසලෙන්'' ලැබෙන දෙයක් නොවෙයි.
නගරයේ පාසලකට එකතු වෙන දරුවන්ගෙ
පවුල් පසුබිමේ විශේෂත්වය නිසා
පාසල තුල බිහි වෙන විශේෂත්වයක්.

ප්‍රේමකීර්ති පාසල ළඟ හිටිය නිසා
ආනන්දෙට ආවා.
දුරක හිටියා නම් ඔහු ආනන්දෙට එන්නෙ නෑ.
ඔහුට ලැබුණ අවස්ථාව ලැබුන
පාසල් සීමාවෙ දරුවන් හැරෙන්න
අන් සියලු දරුවන්
දෙමාපියන්ගෙ මුදල් නිසා,
බලය නිසා, වෙනත් හැකියාවන් නිසා
උසස් පාසලට ඇතුල්වුණ අයයි.
ඒ සියලු දෙනාගෙම දෙමාපියන්
තමන්ට අවශ්‍ය දේ මොන විදියෙන් හෝ
කරගන්න හැකියාවක් තියන අයයි.
ඒ පවුල් පසුබිම
දරුවන්ගෙ චරිතවලට බලපානවා.

ශිෂ්‍යත්වය සමත් වෙන දරුවන්ගෙ දෙමාපියන්
ධන කුල නිල බල නැති වුණත්
නීත්‍යානුකූලව, සදාචාරාත්මකව
''දරුවාට හොඳ පාසලක්'' මාර්ගයෙම යන
විශේෂ දෙමාපියන් පිරිසක්.
එවැනි උට්ඨාන වීර්යයක් ඇති
දෙමාපියන්ගේ දරුවන්ගෙන්
උසස් පාසලක පරිසරය
පෝශ්‍යදායක වෙනවා.

නගරයේ පාසල උසස් වෙන්නෙ
ඒ විශේෂ දෙමාපියන් සහ දරුවන් නිසයි.
ඒ පිරිසට ගැලපෙන්න හැසිරෙන්න
ඒ පාසල්වල ගුරුවරුන්ට සහ විදුහල්පති වරුන්ට
නිතැතින්ම පැවරෙනවා.
ඒ පරිසරය සුවිශේෂයි.

මහින්දෙ උසස්පෙළ පන්තියෙදි
චිත්‍ර වලට නැඹුරු වෙලා
පාසලේ පන්ති වලට නොගිහින්
පුස්තකාලයේ චිත්‍ර අඳිමින් ඉඳලා
රසායන විද්‍යාව ප්‍රැක්ටිකල්වලට ආස නිසා
රසායනාගාරයට විතරක් යද්දි
රසායන විද්‍යාව ප්‍රැක්ටිකල් කරන,
ඉතාම දැඩි ප්‍රතිපත්ති සහිත
උප විදුහල්පති වෛද්‍යරත්න මහතා
" ආ... කලාබරත් ඇවිත් ඉන්නෙ..
කලාවට බර වූයේ කලාබර නමි" කියලා
විහිලුවකින් සංග්‍රහ කරලා පන්තිය කළා.
මමත් ඉන් තෘප්තිමත් වුණා. දිරිමත් වුණා.

චිත්‍ර ශිල්පයටත්
විශේෂ දක්ෂතාවයක් නැතුව
ස්වෝත්සාහයෙන්ම
මට අවශ්‍ය රිට මම සකස් කරගනිද්දි
ඒ රිට දික් කරගන්න උපකාරී වෙන
එවැනි පරිසරයක් සකස් කරන්න
ගමේ පාසලක ගතානුගතික ගුරුවරයෙකුට
හැකියාවක් හෝ බලවත් කමක් නෑ.

රිටි පැනීමෙන් ජයගන්නෙ
උස පැනීමට දක්ෂ ළමයින්ම නොවෙයි.
රිට අවශ්‍ය තරමට දික් කරගෙන
නගරයේ උසස් පාසලකට ගිය පමණින්
ශිෂ්‍යත්වලාභී දරුවෙක් දක්ෂ වෙන්නෙ නෑ.
ඔහුත් ඔහුගෙ දෙමාපියනුත් එකතු වෙලා
පවුලෙ ප්‍රශ්නයක් විසඳා ගත් පමණින්
ඉදිරි කාලය තුළත්
ඒ කණ්ඩායම ඒ ආකාරයට හැසිරේවි හෝ
ජයග්‍රහණ ලබාවි කියා සහතිකයක් නෑ.

ඒත් එවැනි පවුලක වෙසෙන
එවැනි දක්ෂතාවයක් තියන දරුවෙකුට
නගරයේ විද්‍යාලයෙන් ලැබෙන පෝෂණය
ගමේ පාසලකින් ලැබෙන්නෙ
ඉතාම කලාතුරකින්.

"මගේ දරුවාට උසස් පාසලක් අවශ්‍යයි."
කියමින් පාසල් ඉල්ලන වෛද්‍යවරුන්
ආකල්පමය වශයෙන් නිවැරදියි.
ඔවුනුත් දරුවන්ට සංග්‍රහ කරන දෙමාපියන්.
ඒත් ඔවුන්ගෙ වෘත්තිය දඩ මීමා කරගැනීම
වැරදියි.
මේ වැරදි ප්‍රතිපත්තියට මුල්වුණේ
හමුදා නිලධාරීන්ට ලබා දුන් අවස්ථාවයි.
ඒ තීරණයත් වැරදියි.

දරුවන්ගෙ යහපත තකන දෙමාපියන් වශයෙන්
වෛද්‍යවරුන් හෝ පාර අතුගාන කම්කරුවන්
දරුවට උසස් පාසලක් ඉල්ලීම ගැන
කිසිවෙකුට වරදක් කියන්න බැහැ.
තමන්ගෙ වින්දනය අංක එක වශයෙන් හිතන
කාමභෝගී දෙමාපියන්ට සහ
උපන්නාට මේ ලොව වැනෙන නරුම දෙමාපියන්ට
ඒ අවශ්‍යතාවය නැහැ..
ඒ අවශ්‍යතාවය මත
සමාජයට බලපෑම් කරමින්
වෛද්‍යවෘත්තිකයන් හෝ නගරසභා කම්කරුවන්
වෘත්තීය වගකීම අවියක් මෙන් අමෝරාගෙන
ජනතාව පෙළන ත්‍රස්තවාදීන් වීම
මිනිසුන් ලෙස නින්දනීයයි.

වෛද්‍යවරුන්ගෙ දරුවන් විශේෂ විය හැකියි.
ගුරුවරුන්ගෙ දරුවනුත් ඒ වගේම විශේෂ පිරිසක්.
ඔවුන්ගෙ පවුල් පරිසරය තුළ
පාසල් අධ්‍යාපනයෙ පවතින අංග විකල බැවෙන්
උපරිම ප්‍රයෝජන ගැනීමට
හුරුවක් ඇබ්බැහි වෙනවා.

මගේ බිරිඳ ඉගෙනගත්ත විදුහලේ
වෛද්‍යවරුන්ගෙ දැරියන් කල්ලියක් සිටියා.
ඔවුන් කතාබහ කළෙත් ඉංග්‍රීසියෙන්.
පාසලේ විභාගවලිනුත්
පන්තීයෙ මුලින්ම සිටියේ ඔවුන්ගෙ කල්ලියයි.
ඔවුන් සියලුදෙනාම පාහේ
වෛද්‍යවරියන් වෙද්දි
ඒ කල්ලියට වැටුණ වෙනත් දැරියනුත්
වෛද්‍යවරියන් වුණා.
පරිසරය දරුවෙකුගෙ අනාගතයට බලපානවා.

බුදුන් වහන්සේ
අසේවනාච බාලානං
පණ්ඩිතානංච සේවනා කියා
මංගල සූත්‍රය ඇරඹන්නෙ
ඇසුර වැදගත් නිසයි.

හොඳ ඇසුරක් ලැබිය හැකි පාසලක් ලබා ගන්න
පහේ ශිෂ්‍යත්වය උපකාර වෙන්නෙ
උස පනින දරුවෙකුට රිටක් වගෙයි.

රිට අවශ්‍ය ප්‍රමාණයට හදා ගත්තොත්
එයින් කෙරෙන කාර්යය කරගන්න දරුවෙකුට
එයින් ප්‍රයෝජනයක් ලැබෙනවා.
ඒ හැර එයින් වෙනත් ප්‍රයෝජනයක් නෑ.
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
මගේ පුතා හතර වසරෙදි
ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබමින්
පරිවර්තනය කළ කොටසක්
මේ රූපයෙන් දැක්වෙනවා.


පුතාගේ සිංහල දැනුමත්,
අක්ෂර වින්‍යාසයත්, ලිවීමේ හැකියාවත්
ඒ දිනවල පැවතුණ තත්වය ගැන
මින් හොඳ අවබෝධයක් ගන්න පුලුවන්.

හතර වෙනි වසර අවසාන වාරයේ
අපි ඔහු ළමුන් 85ක් පමණක් සිටි
කුඩා ප්‍රාථමික පාසලකට ඇතුළත් කළේ
5 ශිෂ්‍යත්වය සමත් කර ගැනීමේ
බලාපොරොත්තු ඇතිවයි.
ඒ පාසලේ ඉගෙනගත් වසර තුළ
ඔහු ශිෂ්‍යත්වයට සූදානම් කරන්න
අපි වෙහෙස වුණේ කියවීම මූලිකවත්
ලිවීම දෙවනුවත් දියුණු කරමිනුයි.
අනුමාන ප්‍රශ්න පත්‍ර රැස්කට
ඔහු පිළිතුරු ලිව්වා.

අගෝස්තු මස මුල් කාලයේ
පැරණි ප්‍රශ්න පත්‍රවලට දවසකට එක බැගින්
ඔහු පිළිතුරු ලිව්වේ පිළිවෙලින්.

159න් සමත් කළ ඒ වසරේ
පුතාට ලකුණු 169ක් තිබුණා.
දෙවැනියාට තිබුණේ 111යි.
තෙවැන්නාට 109යි.

මේ කවිය ලිව්වේ
පහ වසරෙ චමත්ක කවීන් ( ශිෂ්‍යත්ව ලකුණු 170යි. )
මගේ පුතා 169ක් ගනිද්දි
ඔහුට වඩා සිය දහස් වාරයක් හොඳින්
සිංහල භාෂාව හසුරුවන චමත්ක කවීන්
170ක් ගැනීම විශ්මයජනකයි.
සිංහල භාෂාව ප්‍රායෝගිකව බැලුවාම
චමත්ක ලියන කවියක් කියවා තේරුම් ගන්න තරම්වත්
සහජ දක්ෂතා හෝ ඉගෙනුම නැති දරුවන්
ශිෂ්‍යත්ව විභාගයෙන් 180-190 ඉක්මවා යද්දි
සහජ දක්ෂකමෙන් ගුරුවරුන් පවා අභිබවන
චමත්ක වැනි දරුවන් 170 නවතිනවා.
ඒ වගේම වසරක් තුළ
සිංහල මාධ්‍යයට පැමිණි
මගේ දරුවා වැනි දරුවන්
චමත්කට සමීප වෙනවා.
මේ ක්‍රමය අංග විකල අධ්‍යාපන ක්‍රමයක්.

ඉහතින් දැක්වෙන්නෙ චමත්ක ලියූ කවියක්.
ඔහු දුටු සිතින් විඳි සැබෑ නිමිත්තත්
ඒ මත ඔහු සකස් කළ අනුව්‍යන්ජන පෙළත් අනුව
ඔහු අප තුළ මතු කරන රසය, ආස්වාදය
අද අප දකින මහා කවීන්ගෙ තලයට
ඔහු ඔසවා තබන නිර්මාණයක්.

චමත්ක ලියන මෙවැනි කවියක් කියවා
තමන්ගෙ වදන් වලින් කියන්නට හැකි තරමට
පැහැදිලිව තේරුම් ගන්න තරම්
චමත්කගෙ මට්ටමට සාහිත්‍යමය හැකියාවක් නැති
සම්මානනීය වැඩිහිටි උගතුන්
ෆේස්බුක් සමාජ ජාලයෙ අප අතර 
ගැවසෙනවා.

190ක් ඉක්මවා ගන්නා දරුවෙකුට
එවැන්නෙක් බවට පත්වෙන්න පුලුවන් වෙයි.
විඳ පසක් නොකළ දක්ෂතා ඇති ඔවුන් සහ
ජීවිතය හදවතින් විඳින
පුංචි චමත්ක අතර ඇති විශාල පරතරය
ශිෂ්‍යත්ව විභාගයෙන් අතුරුදහන් වෙලා.
පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් දක්ෂ දරුවෙකුගෙ
සහජ දක්ෂතාවය මනින්නෙ නෑ.

ඔහුගෙ පන්තියෙ දෙවැනියා 111ක් ගනිද්දි
මගේ පුතා 169ක් ගත්තෙ
ඔහු පාසලෙන් ලද දැනුමට වඩා
අනුමාන ප්‍රශ්නපත්‍ර නිසාමයි
කියන්න අපට පුලුවන්.
ශිෂ්‍යත්වයෙ රටාවට හැසිරෙන්න
අපි ඔහු හුරු කළා.
ඔහු සිංහල මාධ්‍යයෙන් ඉගෙනගත්තෙ
එකම වසරයි.

පුතාගෙ වසර දහයක ජීවිතයෙ
ඔහු ජීවත්වෙන හය වෙනි නිවසයි මේ.
ඔහු ඉගෙන ගන්නා
හතර වෙනි පාසලයි මේ.
කලින් පාසල් තුනම ජාත්‍යන්තර පාසල්.
ස්ථිර පදිංචිය ආදී සුදුසුකම් රහිතව
නීත්‍යානුකූලව මුදල් ගෙවා
ඇතුල් කළ හැකි වීම නිසා
අපිට ජාත්‍යන්තර පාසල් තෝරාගන්න සිදු වුණා.

මූල්‍යමය වශයෙන් පාඩු ලබමින්
පාසල් මාරු කරමින් උත්සාහ කළත්
ඒ එක ජාත්‍යන්තර පාසලක් පිළිබඳවවත්
අපට තෘප්තිමත් විය නොහැකි වුණේ
1,
සියලු දෙනාම ගුරුවරියන් වීම.
(පිරිමි ගුරුවරුන් නැතිවීම
පිරිමි දරුවන්ගේ පෞරුෂය හීනවීමට බලපානවා. )
2,
ඒ බොහෝ ගුරුවරියන් අත්දැකීම් රහිත
ළාබාළ තරුණියන් වීම.
3,
ඔවුන් අපි සතුටු කරන්නට
දරුවන්ගේ දක්ෂකම් වැඩි කර අප රැවටීම.
4,
ළාබාළ ගුරුවරියන් නිතර පාසල හැර යාම
5,
ඉංග්‍රීසි හැරෙන්නට අන් විෂය දැනුම
පහළ මට්ටමක පැවතීම ආදී හේතු නිසයි.
මේ පාසලට ඔහු ඇතුල් කළේ වසරකට පෙරයි.

රජයේ පාසල් අතර අධ්‍යාපන මට්ටම වෙනස් වුණාට
නිශ්චිත නිර්දේශයක් තියනවා.
ගුරුවර ගුරුවරියන්ගේ අඩුපාඩු මත
මානාව නොලැබුවත්
ඔවුන් පුහුණු කිරීමේ වැඩ සටහන් තියනවා.
මේ ආදී හේතු නිසා
රජයේ පාසල් පිළිබඳව
අප තුළ පැහැදීමක් ඇති වුණා.

මේ පාසලේ
පහ වසරට විතරයි පංති තියෙන්නෙ...
ළමයි ඉන්නෙ 80-90ක් විතර.
පුතාගෙ පන්තියෙ 14යි.
පාසල කුඩාවීම නිසා
සිංහල මාධ්‍යයට පරිවර්තනය වීම
පුතාට පහසුවක් වුණා.

ඔහුට ගැලපෙන පාසලක් කියා අපි හිතන පාසලක්
බාධාවකින් තොරව තෝරාගන්න ලැබෙන නිදහස
අපි වැනි ස්ථිර නිවහනක් නැති සංක්‍රමණිකයන්ට සහනයක්...

ඔහු ආනන්දයට යවන්නට
අපට හැකි වුණා නම් අපි කැමතියි.
පාසල විශේෂ නිසා නොවෙයි.
ආනන්දය දක්ෂයන්ට හොඳ තෝතැන්නක් බව
ප්‍රේමකී
ර්ති වැන්නන්ගෙන් පසක් වෙන නිසයි.

එ ලකුණු ප්‍රමාණය කරා යන්නට තරම්
මගේ පුතා
පාසල් අධ්‍යාපනය තුළ
විශේෂ දක්ෂයෙක් නොවෙයි.
ඒත් ඔහුගෙ හිතේ හැටියට
චිත්‍රයක් ඇඳගන්න බැරි වුණොත්
මූර්තියක් හදාගන්න බැරිවුණොත්
ඔහු හඬා වැටෙනවා.
අපි ඒ ගුණය භාවිතා කරලා
ශිෂ්‍යත්වය සමත් වෙන්න
ඒ උවමනාව ඔහු තුළ ඇති කරන්න
අපි බොහෝ දේ කළා.

2010 දෙසැම්බර් සිටම
අපි රූපවාහිනී නරඹන්නෙ නැති නිසා
ඔහුට රූපවාහිනී විෂබීජවලින්
හානියක් වුණේ නැහැ.

ඔහු තෝරාගත් ඉංග්‍රීසි හින්දි දෙමළ බෙංගාලි
චිත්‍රපට නිතර නැරඹුවත්
අවසාන මාස කිහිපයේ
අපි එයත් තදින්ම සීමා කළා.
සොයුරියත් ඔහුත් අතර
කෙළි සෙල්ලම් නතර කළා.

අන් දරුවන් වසර පහක් ඉගෙනගත්
විෂය කරුණු ප්‍රමාණයෙන්
ශිෂ්‍යත්වයට අවශ්‍ය ටික තෝරාගත්තේ
අනුමාන ප්‍රශ්නපත්‍රවල
ඔහු දක්වන දුර්වලතා අනුවයි.
ඔහු නිරායාසයෙන් අනුමාන ප්‍රශ්න පත්‍රවලට
පිළිතුරු දෙන තැනකට "ඇබ්බැහි" කරන්නට
අපි උත්සාහ කළා.

මගේ දරුවා තුළ
චිත්‍ර සහ මූර්තිවලට තිබුණ දක්ෂතාවය
මේ කාලය තුළ බෙහෙවින් මොට වුණා.
ඔහු ඒ අංශවලදි එන ප්‍රශ්න විසඳන්න
හැඟීමට වඩා බුද්ධිය භාවිතා කිරීම
කලාත්මක හැකියාව මොට වීමට හේතු වුණා.

චමත්කත් දැඩි උවමනාවකින්
ශිෂ්‍යත්වයට මුහුණ දුන්නා නම්
ශිෂ්‍යත්වය ඉහළින් සමත් වෙද්දි
ඔහුගෙ සාහිත්‍ය දක්ෂතාවය
ඒ කාලය තුළ මොට වෙන්න පුලුවන්.
චමත්ක ඒ උගුලට
ඉදිරියෙදි අහු වුණොත් අහු වෙන්නෙ
ඔහු සමාජය ඉදිරියේ තනමින් සිටින
ප්‍රතිරූපය නිසයි.
ඔහු ඒ බියකරු අවදානමට
සාර්ථකව මුහුණ දේවි කියා
මම විශ්වාස කරනවා.

මගේ පුතාගෙ සහජ හැකියාවන්ට
වඩා හොඳ සාරවත් පරිසරයක් සොයාගන්න
ඔහුගෙ සහජ හැකියාව
නොවටිනා අගයකට උගස් කරන්න
ශිෂ්‍යත්ව සටනෙදි අපට සිදු වුණා.
ඔහු කලින් සිටි
ඔහුට හිමි තැනට ආපසු යන්නට
නැවත අපි පවුලක් ලෙස
නව මංපෙත් සොයා ගත යුතුයි.

අවශ්‍යතාවය මත
නොවටිනා මුදලකට උගස් තබා ඇති
ඔහුගෙ සහජ හැකියාවෙ උගස
වැඩි පොලියක් හෝ ගෙවා බේරාගැනීම
ඔහුගේත් අපේත් ඊළඟ ඉලක්කයයි.
ඒ අභියෝගය
5 ශිෂ්‍යත්වයට මුහුණ දුන්නාට වඩා
ලොකු අභියෝගයක්.

මේ අංගවිකල අධ්‍යාපන ක්‍රමය
අප වැනි සහජ දක්ෂතා ඇති අයට
මැණික් ඉල්ලමක් නොවෙයි.
අපි සොයන දේ
මේ ක්‍රමයට බාධාවක් ලෙස බැහැර කරන්නක්.

මුදලට සැප සම්පත්වලට කෑදර පසුබිමක
ඒ දෙමාපියන්ගෙ ඇසුරෙ වෙසෙන දක්ෂ දරුවෙකුට
නීතිඥයෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් වෙන්න
මේ අංගවිකල අධ්‍යාපන ක්‍රමය විසින්
අසීමිත පහසුකම් සපයනවා.
ඒ වෘත්තිකයෙකුටට තමන්ගෙ වෘත්තිය
රුවැති ගණිකාවකට සිය සිරුර වැනි
මිළක් නියම කළ හැකි පාරිභෝගික භාණ්ඩයක්.

සැබෑ වෘත්තීය දක්ෂතාවයකට
මිලක් නියම කරන්න බැහැ.
බොබ් මාලේ සංගීතය ගැන කී ආකාරයට
" මුදලෙන් මිලක් නියම කරන දෙයක්
ඒ මුදල තරම්  වටින්නෙ නෑ"

මුදලට සැප සම්පත්වලට කෑදර
ව්‍යාපාරික සිත් ඇති රිලවුන්ට
ඉහළ අහසට ඉණිමං තනා දෙමින්
වෘත්තීය අපරාධ කරුවන් බිහි කරන
අධ්‍යාපනික රිටි භාවිතා කරන
චරිතයෙන් අංගවිකලයන්ට උල් පන්දන් දෙන
මේ අංගවිකල අධ්‍යාපන ක්‍රමය තුළ
සසර වාසනාවෙන් හුරු වූ සහජ දක්ෂතාවය
දූෂ්‍ය කර නොගෙන රැකගැනීම
වසර දහයෙන් දොළහෙන් සාහිත්‍ය දස්කම් පෑ
ගීත රචක සුනිල් ආරියරත්නයන්ට පවා
ජයගත නොහැකිවූ අභියෝගයක්.

මහාචාර්ය සුනිල් උපන්නෙ
ඔහු තුළ සිටි කවිකාර සුනිල් ඝාතනය කරමිනුයි.
ආනන්දයට ගිය නමුත්
අපේ ප්‍රේමකීර්ති ඒ උගුලට අහුවුණේ නෑ.

සුනිල් රිටක් හදාගෙන
මහා ආචාර්ය කෙනෙක් වෙද්දි
සංවේදී කමෙන් ඉහළ හිත්වලට
ප්‍රේමකීර්ති සදාතනික පිම්මක්
රිට නැතුවම පැන්නා.

ජීවමාන සුනිල් අපේ හිත්වලින් ගිළිහුණාට
ඝාතනය කළ ප්‍රේමකීර්ති අදත් ජීවමානයි.

පහේ ශිෂ්‍යත්ව රිට සමග
සමහර දෙමාපියන් ගුරුවරුන් නිසා
සමහර දරුවන් පනින
ඔවුන්ට නොගැලපෙන මේ අසාධාරණ උස
මතු දවසක රිට නැතුව පනිමින්
ඔවුන් පරදවාලන්නේ
සැබෑ සහජ දක්ෂතා සහිත දරුවන්..

අද රිටි පැනීමෙන් දිනුවත් නැතත්
දරුවන් සසර හුරු කරගෙන ගෙනෙන
සහජ හැකියාවන් තුලින්ම
දක්ෂ ලෙස රිටි පැන්න දරුවන් අභිබවා
පාසල් අධ්‍යාපන රිට නැතුව උපරිම උස පනින්නට
සහජ කුසලතා ඇති දරුවාට ශක්තියක් වෙන්න.
දෙමාපියනි, ගුරුවරුනි.

20161004

පන්සිල් රැකීමෙන් නිවන් දකින්න පුළුවන්ද?



පන්සිල් රැකීමෙන් නිවන් දකින්න බැහැ.

ඒත්
පන්සිල් නොරකින කෙනෙක් යන්නෙ
නිවන් මගෙන් ඈතට.
පන්සිල් සමාදන් වෙන කෙනෙක්
පන්සිල් රකින කෙනෙක් බවට පත්වෙන්නෙ
ඔහු ඒ සීලය රකින මොහොතෙයි.

ඔහුට සතෙක් මරන්න හිතෙද්දි
තමන් සිල් සමාදන් වුණ බව සිහිවෙලා
සතා මරන්න සියලු පහසුකම් තියෙද්දි
හිතේ ආවේගය මැඩගෙන
තමන් දමනය කරගෙන
සතා මැරීමෙන් වළකින මොහොතෙ
ඔහු සීලය රකින සිල්වතෙක් වෙනවා.
එතෙක් ඔහු පන්සිල් සමාදන් වූ කෙනෙක් පමණයි.

ඒ උතුම් මොහොතෙදි
නිවන් මග ආරම්භ කරන්න අවශ්‍ය වෙන
ශ්‍රද්ධාව
වීර්යය
සතිය
සමාධිය
ප්‍රඥාව
ඔහු තුළ පහලවෙනවා.

පරපණ නැසීමක්, සොරකමක් ආදිය
කරන්න හිතන කෙනෙක්
පන්සිල් පිළිබඳ විශ්වාසයෙන්
ආත්ම දමනය කරගෙන
ඒ ශීලය රැකගන්නා මොහොතෙ
ඔහු නිවන් මගට යොමු වෙනවා.

කාමච්ඡන්දය ව්‍යාපාදය ආදී
නීවරණයකට වහල්වීමෙන් බිඳෙන්න යන සීලය
ආත්ම දමනයෙන් රකින්නා තුළ
ශ්‍රද්ධාව
වීර්යය
සතිය
සමාධිය
ප්‍රඥාව
අංග පහම
ඒ මොහොතෙ වැඩෙනවා.

ඒ මොහොතෙ පහළ වෙන ප්‍රඥාව
පෝෂණය කිරීමෙන් ඔහු නිවන දෙසට
කෙමෙන් ළං වෙනවා.


https://www.scribd.com/document/83670891/%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%9A-%E0%B6%9A%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%84%E0%B6%A0-%E0%B6%A0-%E0%B7%83%E0%B7%96%E0%B6%AD-%E0%B6%BB%E0%B6%BA

20161003

බුදු දහම ඉගෙනීම දවල් සිහින දැකීමක්.


පොත පතෙන් හෝ කාගේ හෝ දේශනයකින්
බුදු දහම ඉගෙනීම
දවල් සිහින දැකීමක්.

ඒ කියන දේත්
ඔබ අහන දේත් ඔබ සිතන දේත්
වචන පමණයි.
විඳින්න පුලුවන් දෙයක් ඒ වචන තුළ නෑ.

ඔබත් ඔහුත් සිහිනලොවක වැජඹෙනවා.
වේදනා පච්චයා තණ්හා කියන්නෙ අත්දැකීමක්.
මනසින් ඒ වචන විග්‍රහ කරන්නාට
වේදනාවෙන් තණ්හාව ඇති වෙනවා කියන්නෙ
සිහිනයක් පමණයි.

වේදනා පච්චයා තණ්හා
ඔබ ඒ වචන අසන
ඒ මොහොතෙ
පාදයෙ වේදනාවක් ඇති වෙනවා.
එයින් මිදෙන්න ඇති තණ්හාවෙන්
ඔබ ඉරියව්ව වෙනස් කරනවා.
මේ වේදනාව ඔබ දකින්නෙ නෑ.
මේ තණ්හාව ඔබ දකින්නෙ නෑ.
ඔබ වචන පෙළ දන්නවා. විඳ පසක් කරන්නෙ නෑ.

දැන් ඔබ මේ වචන කියවන මේ මොහොතෙ
පාදයෙ වේදනාවක් ඇති වෙනවා.
එයින් මිදෙන්න ඇති තණ්හාවෙන්
ඔබ ඉරියව්ව වෙනස් කරනවා.
මේ වේදනාව ඔබ දකින්නෙ නෑ.
මේ තණ්හාව ඔබ දකින්නෙ නෑ.
ඔබ වචන පෙළ දන්නවා.
විඳ පසක් කරන්නෙ නෑ.

ඔබ ජීවත් වෙන්නෙ සිහිනයක් තුළයි.
කය දුක් විඳිනවා.
ඒ දුක දැඩි වෙලා ඔබ අවදි වෙනතුරු
ඔබ සිහින දකිනවා.

සිහින තුළ ඕන දෙයක් වෙන්න පුලුවන්.
විකල්ප අසීමිතයි. අප්‍රමාණයි.

ඕනම කෙනෙකුට
මගේ දේශනා අසා රහත් වෙන්න පුලුවන්
කියා යම් දේශකයෙක් කියනකොට
ඔහු කියන දේ විශ්වාස කරන්න පුලුවන්
තර්කානුකූල පසුබිමක්
ඔබේ මානසික මට්ටම තුළ ඇති කරන්න
ඒ දේශකයා සමත් වුණොත්
ඔහු මවා දෙන ඕනම සිහිනයක්
ඔබ මිළට ගන්නවා.
ඔබ නොකඩවා ඔහුට සවන් දෙනවා.
ඔබ ඔහුගෙ කැරට් අලය පස්සෙ යනවා.
ඔහු ඔබට දෙන කොන්දේසි ඔබ පිළිගන්නවා.
ඒ කොන්දේසි තුළ
විඳ පසක් කළ හැකි දෙයක් තියනවා නම්
මෝහයට පත්වීමෙන් දැනෙන
මෝහණීය බව පමණයි.

ගීතයක්, නාට්‍යයක්, පොතක් රස විඳින්නාටත්
ඒ මෝහණීය සුවය තියනවා.

නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා.

ඔබ ගරු කරන දේශකයාගෙ හැකියාව
ඔබට වඩා වැඩියි කියා තර්ක කර පෙන්නුවාට පස්සෙ
ඔහු හරි කියා කියා ඔබ තුළ ඔබම ඇති කරගත්
ඔහුගෙ තර්ක ඔබ පිළිගැනීම මත ඇතිවුණ
ඔබේම අභූත විශ්වාසය බිඳගෙන
ඔබට වැරදුණා කියා පිළිගන්න ඔබ කැමති නෑ.

ඔහුට වැරදුණා කියා හිතුවොත්
ඔබටත් වරදිනවා.
ඒ හීනමානය ඔබට දරන්න බෑ.

ඔබත් ඔහුත් දෙදෙනාම වැරදි වුණත්
ඔබ ඔහු විශ්වාස කරනවා.

ගීතයක් පොතක් රස විඳින රසිකයෙකුට
දිගටම පොත කියවන්න නම්
නිර්මාණකරුවා විශ්වාස කළ යුතුයි.

ඇලඩින්ගෙ පුදුම පහන
ඇත්තක් කියා පිළිනොගන්න අයට
ඒ කතාව දිගට අහන්න බැහැ.
"මම රහත්" කියා කෙනෙක් කිව්වාම
ඔහු විශ්වාස කරන අය
ඔහු කියන හැම දේම පිළිගන්නවා.

කතාපොතක් කියවන රසිකයෙක් වගේ...
ගීතයක් රස විඳින රසිකයෙක් වගේ
ඔහු ඔබට මවා දෙන ලෝකය තුළ
ඔබ ඔහු මවා දෙන සිහින පසු පස යනවා.

ඔහු ඔබට සිහින වුකුණනවා.
ඔබ ඒ සිහින ඉහළ මිළකට ගන්නවා.
"පැවිදි වෙන්න ලක්ෂ පහක් දහයක් දෙන්න"
ඔහු කිව්වොත් ඔබ දෙනවා.

ඔබ සුනීත සෝපාක වගෙයි.
ඔබ පටාචාරා කිසා ගෝතමී වගෙයි
එක මොහොතෙන් නිවන් දකින්න පුලුවන්...
සෝවාන් වෙන්න පුලුවන් කියා
ඔහු ඔබව අන්දනවා.

තර්කානුකූලව බලද්දි
එක මොහොතෙන් නිවන් දකින්න  පුළුවන්.
තර්කයට ඔබ අහුවුණොත්
ඔබ ඒ තර්කය
ඔබට අදාළවත් විශ්වාස කරනවා.

ආනන්ද තෙරුන් වහන්සේත්
සුනීත සෝපාක වගේ
පටාචාරා කිසා ගෝතමී වගේ
එක මොහොතෙන් නිවන් දැක්කා.
හැම රහතන් වහන්සේ කෙනෙක්ම එහෙමයි.

ආනන්ද තෙරුන් වහන්සේත්
හැම රහතන් වහන්සේ කෙනෙක්ම වගේ
එක පොරව පහරෙන් ගහ බිම දමා ගත්තා.

බුදුන් වහන්සේට උපස්ථාන කරමින්
ළඟම හිටිය ආනන්ද තෙරුන් වහන්සේ
උපස්ථායක වෙද්දිම සෝවන් වෙලා හිටියා.
වසර විසි පහක් තිස්සෙ සෝවාන් වෙලා ඉඳලත්
ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේට
රහත් බවට පත්වෙන්න
බුද්ධ පරිනිර්වානයෙන් පස්සෙ
තවත් මාස තුනක් ගතවුණා.

මාස තුනක් තිස්සෙ වීරය වඩා
ආනන්ද තෙරුන් වහන්සේත්
සුනීත සෝපාක වගේ
පටාචාරා කිසා ගෝතමී වගේ
එක මොහොතෙන් නිවන් දැක්කා.

පළවෙනි ධර්ම සංගායනාව දවසෙ
උදේ පාන්දර ඉර උදා වෙද්දි
ආනන්ද තෙරුන් වහන්සේ
එක පොරව පහරෙන් ගහ බිම දමා ගත්තා.
ඔබටත් ඔබේ ගහ
එකපාරෙන් බිම දමන්න පුලුවන්ද?

ප්‍රඥාවට වඩා මෝහය සුන්දරයි. පහසුයි.
ශ්‍රද්ධාව, වීර්යය,
සතිය, සමාධිය හරහා
බුදු දහමෙන් ප්‍රඥාව ලබනවාට වඩා
තර්ක මත දේශනා ගොඩ නගන
ආකර්ශණීය දේශකයෙකුගෙ මාර්ගයෙන්
මෝහයට පත් වීම ලාභයි. පහසුයි.

''මම ඔබට ගැලවීම ලබා දෙමි'' කියා
දෙවියන් වෙනුවෙන් ඉදිරිපත් වෙන
පූජකයන් අදහන බැතිමතෙකුගෙ සහ
තමන් නිවන් දැක්කා කියමින්
''මම ඔබට ගැලවීම ලබා දෙමි'' කියා
නිවන වෙනුවෙන් ඉදිරිපත් වෙන
දේශකයෙකුගෙ බැතිමතෙකුගෙත් අතර
කිසිම වෙනසක් නෑ.

ඔවුන් දෙදෙනාම සිහින ලෝකයක
සිහින පසුපස යන දෙන්නෙක්.
ඒ නින්ද ගැඹුරු නෑ.

රැයේ දකින සිහින
උදේට අවදිවුණාට පසුව
ආවර්ජනා කර බලන කෙනෙකුට
ඔවුන් සිහිනය තුළ පිළිගත් අතාර්කික දේවල්
පැහැදිලිව දකින්න පුලුවන්.
නැවතත් ඇස් වසාගෙන
ඒ සිහිනය තුළ ජීවත් වීම
ඔහුට ඊට වඩා සුවයක්.

එක මොහොතක් ආනාපාන සතිය වඩනවාට වඩා
ඔබ සිහින ලොවකට රැගෙන යන
පැය දෙකක දේශනයක් ඇසීම සුවයක්.
ආනාපාන සතියෙන් සුවයක් දැනෙන්න
කාය සංඛාර සංසිඳිය යුතුයි.
කෙලෙස් වලින් කැළඹුණ හිතක්
ඒ සුවය ලබන්න කලින්
ඉවක් බවක් නැතිව දුවන හිත
නතර විය යුතුයි.

එක හුස්මක දිගවත් බලන්න තරම් නිවනක්
ඒ කැළඹුණ අවුල් සහගත හිතට නැහැ.

පැය දෙකක දේශනයක් විදියට
නිවන ගැන කියන බොරුවක් හෝ අසමින්
සිහින ලොවකට ඇතුල් වෙලා
නිවන ගැන හෝ ස්වර්ගය ගැන සිහින මැවීම
ඔහුට ඉතාම පහසුයි.

විඳින දුක එසේම පවතිද්දි
නිවන ගැන හෝ ස්වර්ගය ගැන සිහින දකිමින්
සිත මිස කය නැති බඹ ලොවක
ඔහු නිවන් දකිනවා.

බුදුන් වහන්සේ සිහින විකුණන්නෙක් නොවෙයි.

ඔබ දැන් මේ මොහොතෙ පසුවෙන සිහිනයෙනුත්
බුදුන් වහන්සේ ඔබව අවදි කරනවා.

මිනිසාගේ නිරන්තර සිහිනය කුමක්ද?

දුකෙන් මිදී සැප විඳීම නිවන කියා
හැම කෙනෙක්ම හිතනවා.

ඔහු එක මොහොතකින්
තව මොහොතකට වෙනස් වෙන්නෙ
"මේ මොහොතට වඩා ඊළඟ මොහොත සැපයි"
කියා ඔහු හිතන නිසයි.

මේ මොහොත සැපයි කියා හිතනවා නම්
ඔහු උත්සාහ කරන්නෙ මේ මොහොත තුළ නතර වෙන්නයි.

මේ ආකල්ප දෙකෙන් තොරව
තුන්වැනි "ආකල්පයක්" සත්වයාට නෑ.

ඔහු හිතන දේ හැමදාම වැරදුණත්
ඔහුගෙ විශ්වාසය වෙනස් වෙන්නෙ නෑ.
ඔහු සිහිනයෙන් මිදෙන්න නෑ.

මේ සිහිනය පුළුල්ව දකින්නා
මරණයෙන් මතු සැප සොයනවා..
ඒ සැප වෙනුවෙන් දුක් විඳිනවා.

මේ මොහොත සැප විඳින්නාත් ජීවත් වෙන්නෙ
එවැනිම තාවකාලික සිහිනයක් තුළයි.
ඒ සිහින මධු විත
නැවත නැවත මිළට ගන්න
ඔහුටත් සිදු වෙනවා.

මේ මොහොත සැපයි කියා හිතුවත්
ඊළඟ මොහොත සැපයි කියා හිතුවත්
ඒ ආකල්ප දෙකම මුළාවක්.

මේ ආකල්ප දෙකෙන් තොරව
තුන්වැනි "ආකල්පයක්" සත්වයාට නෑ.

තුන්වැන්නක් තියනවා නම්
පළමු සත්‍යය එයයි.

පළමු සත්‍යය කුමක්ද?

දුකත් සැපත් දෙකම තියෙන්නෙ
'විඳීම' තුළයි.
දුක් විඳින්නාට සැපක් තියනවා.
සැප විඳින්නාට දුකක් තියනවා.

සැප දුකට සාපේක්ෂයි.
දුක සැපට සාපේක්ෂයි.

මේ සාපේක්ෂක දහම් ඉවත් කිරීම
නොවිඳීම කියා පිළිගන්නා අය
මෝහයට පත් වෙලා, නිර්වින්දනය වෙලා
දුක සැප දෙකෙන්ම මිදී ඉන්න හිතනවා.
සියල්ල හොඳින් සිදු වෙද්දි
ඔවුන් ඒ සුවය විඳිනවා.
දැඩි හෝ පොඩි කායික දුකක් ආවම
ඔහුගෙ සුව සිහිනය බිඳෙනවා.

දුක හෝ සැප 'නොවිඳීම' තුළත්
''සැබෑ නොවිඳීම'' නැහැ.
දුකට හෝ සැපට නිර්වින්දනය වී
සැප කියන මුළාව තුළ ජීවත් වෙන කෙනෙක්
ඔහුගෙ කයට වේදනාවලට නිර්වින්දනය වෙනවා.
ලෝකය ඔහු ශල්‍යකර්ම වලට බඳුන් කරද්දි
ඔහු නිර්වින්දනය තුළ සුවයෙන් වෙසෙනවා.

ඔහුට තියන පහසුකම් ඔබටත් තියනවා නම්
ඔබටත් ඒ නිර්වින්දනය තුළ සැප විඳින්න පුලුවන්.
හිසේ කැක්කුමකට, දත කැක්කුමකට
ඒ වින්දනය ඔබෙන් පැහැරගන්න
ඔබේ කයට හ වේදනාවලට පුලුවන්.

නිර්වින්දනය තාවකාලිකයි.

දුකත් සැපත් දෙකම පිළිබඳව සිහියෙන්
දුක දුකක් ලෙසත්, සැප සැපත් ලෙස නොවිඳ ඉන්න
සියලු සත්වයන් අතර මිනිසාට පමණක් පුළුවන්.

ඔහු නිර්වින්දනය වූ කෙනෙක් නොවෙයි.
ඔහුගෙ වින්දනය උපරිමයි.
සැප තුළ අතරමං වෙන තැනැත්තාත්
දුක තුළ අතරමං වෙන තැනැත්තාත්
දුක සැප විඳිමින් සැලෙමින් ගමන් කරනවා.
දුකට නිර්වින්දනය වූ තැනැත්තා
තාවකාලික මායාවක තනිවෙලා වෙසේනවා.

දුක සැප විඳින අයට
සතුරන් සහ මිතුරන් ඉන්නවා.
ඔහු මිතුරාට තමා ළඟට එන්නට
ඔහු විසින් දෙන අවසරය සහිත
හැඳුනුම්පතක් නිකුත් කරනවා.

ඔහු නිකුත් කළ හැඳුනුම්පතක් නැති කෙනෙක්
ඔහු අසලට ආවොත්
ඔහු කරන හතුරු කමක් නිසා
ඔහුගෙ සැප හමාර වෙන්න පුලුවන්.
ඔහු වටා සකස් කළ පවුරකින්
සැප කියන මායාව ඔහු රැක ගත යුතුයි.

ඒ ආරක්ෂිත පියවර තුළ
ඔහු ඈත් කර තියන දුකක් සහ
ඒ ආරක්ෂාව තුළ ඔහු විඳින සැපක් තියනවා.
සැප පුළුල් කරගෙන දුක ඈත් කළ පමණින්
ඔහු "නොවිඳින" කෙනෙක් වෙන්නෙ නෑ.
ඔහුත් අනිත් පුහුදුන් අය වගේම
''තෝරාගෙන විඳින කෙනෙක්''.

කිසියම් මිහිරි අත්දැකීමකට පත්වෙලා
කය සුඛ වේදනා වලින් රසවත් වෙද්දි
හිත රාගයෙන්, කාමච්ඡන්දයෙන් සැලෙද්දි
ඒ මොහොත තුළ එයින් සිහි විකල් නොවී..
එ සුව වේදනාවලට නොඇලී
රාගයෙන් හෝ කාමච්ඡන්දයෙන් මුළා නොවී
ඒ සමස්ත අත්දැකීම සිතින් සහ කයෙන් විඳිමින්
ඒ තුළ අකම්පිතව ක්ෂේමව නොබියව
නොසැලී වෙසෙන්නට හැකි තැනැත්තා තුළ
උතුම් වූ "නොවිඳීම" තියනවා.

කිසියම් අමිහිරි අත්දැකීමකට පත්වෙලා
කය දුක්ඛ වේදනා වලින් දැවෙමින්
හිත ද්වේශයෙන් ව්‍යාපාදයෙන් සැලෙද්දි
ඒ මොහොත තුළ එයින් සිහි විකල් නොවී..
ඒ දුක් වේදනාවලට නොඇලී
ද්වේශයෙන් හෝ ව්‍යාපාදයෙන් මුළා නොවී
ඒ සමස්ත අත්දැකීම සිතින් සහ කයෙන් විඳිමින්
ඒ තුළ අකම්පිතව ක්ෂේමව නොබියව
නොසැලී වෙසෙන්නට හැකි තැනැත්තා තුළ
උතුම් වූ "නොවිඳීම" තියනවා.

අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තාත්
ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයාත් යනු දෙදෙනෙකි.
මේ දෙදෙනාගේ වෙනස කුමක්ද?

අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තා
කායික මානසික වේදනා වලින් සැලෙනවා.
හඬනවා.. වැළපෙනවා...
ඔහුගෙ සිත කිළිටි වෙනවා.

ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා
කායික මානසික වේදනා වලින්
සැලෙන්නෙ නෑ. කම්පා වෙන්නෙ නෑ.
හඬන්නෙ නෑ.. වැළපෙන්නෙ නෑ...
ඔහු කායික මානසික වේදනා ගැන
සිහියෙන් සහ උපේක්ෂාවෙන් පසුවෙන නිසා
ඔහුගෙ සිහිය අකම්පිතයි. ප්‍රභාස්වරයි.

"මේ සිත ප්‍රභාස්වර ය.
ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වූයේ ය.
ශ්‍රැතරහිත පෘතග්ජන තෙමේ
එය තත් වූ පරිද්දෙන් නො දනී.
මේ සිත ප්‍රභාස්වර ය....
ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදෙන්නේය..
එය ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ තත් වූ පරිද්දෙන් දනී."

ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා
ප්‍රභාස්වර සිත කෙලෙසුන්ගෙන් මුදා ගන්නේ කෙසේද?

ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි.

මානසික දුකක් ඇති කරන අරමුණකදිත්
ඔහු ඒ දුක විඳින්නෙ කායිකවයි.
මානසික වේදනාවට සමගාමීව
කයෙහි ඇතිවෙන වේදනා ගැන
සිහියෙන් සහ උපේක්ෂාවෙන් පසුවෙන නිසා
ඔහුගෙ සිහිය අකම්පිතයි. ප්‍රභාස්වරයි.

සබ්බේ ධම්මා වේදනා සමෝ සරණා.
සිතෙහි ඇතිවෙන සියලු දේ සමගම
සමව සරණ වේදනාවක්  කයෙහිත්  පවතිනවා.
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
දුකට පත් වුණ සිතට සමගාමීව
කයෙහි පව්තින වේදනාව සිහියෙන් දකිමින්
ඒ වේදනාවට උපේක්ෂාවෙන් විසීම නිසා
කායික හා මානසික දුක් වේදනා තිබියදීත්
සිහියෙන් සහ උපේක්ෂාවෙන් වෙසෙන ඔහුගෙ සිත
ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදුණු නිසා
ප්‍රභාස්වරයි.

කායික දුක් මානසික දුක් දෙකේදිම
චෙතසිකව වේදනා නොවිඳින නිසා
'' ඒ මොහොතෙහිදී ''
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාගෙ සිත ප්‍රභාස්වරයි.

''මේ සිත ප්‍රභාස්වර ය....
ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදෙන්නේය..''
කියන සිතෙහි සත්‍ය ස්වභාවය
ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ තත් වූ පරිද්දෙන් දනී.

සැබෑ නොවිඳීම තියෙන්නෙ
කායික දුක් මානසික දුක් දෙකේදිම
චෙතසිකව වේදනා නොවිඳින
ආර්ය ශ්‍රාවකයා තුළයි.

බුදුන් වහන්සේගෙ දහම පිළිපදින කෙනෙක්
කායික දුක් මානසික දුක්වලට නිර්වින්දිතයෙක් නොවෙයි.

කායික දුක් මානසික දුක් දෙකේදිම
චෙතසිකව වේදනා නොවිඳින
ආර්ය ශ්‍රාවකයෙක්.

කායික දුක් මානසික දුක් දෙකේදිම
චෙතසිකව වේදනා නොවිඳින  ක්ෂණය තුළ
නිවන පවතිනවා.

බුදු දහම සඳහන් පොත්පත් තුළ නිවන නෑ.

බුදු දහම තුළ, පොත්පත් තුළ  තියෙන්නෙ
නිවන් මග පමණයි.

නිවන සොයාගන්න නම්
සෙවිය යුතු තැන් වෙන වෙනම
අදාළ තැන්වලම දකින්න කියා
බුදුන් වහන්සේ උපදෙස් දී තියනවා.

1, සත්වයාගේ විශුද්ධියට,
2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3, දුක් දොම්නස් අස්තංගත වීමට
4, ප්‍රඥාව ඉහළ යාමට
5, නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.

කවර වූ සතරෙක්ද?

___මහණෙනි, යම් මහණෙක්,
1, වීර්යයෙන්,
සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව
වේදනා වල වේදනා අනුව
සිතෙහි සිත අනුව
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි.

ඊනියා බුද්ධිමතුන්
පොතපත කියවමින්, දේශනා අසමින්
කාය වේදනා චිත්ත ධම්ම සියල්ලම
සිත තුළ මවන චිත්ත රූපවල දකිමින්
කාය වේදනා චිත්ත ධම්ම පිළිබඳව
මෝහයෙන් වසනවා.

එළියෙ ඇත්තටම වහිනවා.
වැස්ස සිතින් විග්‍රහ කරමින් ජීවත් වෙනවා.
මොහොතින් මොහොහොත විඳින වේදනා වලට
සාමාන්‍ය මිනිස්සු විදියටම
රාග ද්වේශ මෝහ රැස් කරමින්
සසර දික් කරගන්නවා.

දැකිය යුතු දේ වන
කාය වේදනා චිත්ත ධම්ම
අදාළ තැන්වලම දකින්න...
විපස්සනා වඩන්න..

20161002

අයාලේ ගොස් මුලා වූ ගීත කලාව... ප්‍රියානන්ද විජේසුන්දර

හෙට දවසට අපට කළ හැකි දෙයක් නැත

දහනම වන සියවසේ මුල් කාලයේදී පමණ ලංකාවට ආනයනය කෙරුණු ග‍්‍රැමෆෝන් යන්ත‍්‍රය එකල ජනතාව විසින් හඳුන්වනු ලැබුවේ කතා කරන මැෂිම ලෙසයි. නාගරික ධනවත් සමාජයේ සුවිශේෂී ගෘහ භාණ්ඩයක් බවට පත්ව තිබුණු මෙම යන්ත‍්‍රය සිංහල ගීත ගායකයන්, සංගීතඥයන් සහ රසිකයන් අතර සම්බන්‍ධයක් ඇති කල මුල්ම අතරමැදියා විය.
නූර්ති හා නාඩගම් නරඹමින් දෘෂ්‍ය රසවින්දනයත් ශ‍්‍රව්‍ය රසවින්දනයත් ලබමින් සිටි රසිකයන් ග‍්‍රැමෆෝන් යන්ත‍්‍රයෙන් මෙම නූර්ති හා නාඩගම් ගී රස වින්දනයට පටන් ගන්නවාත් සමගම දෘශ්‍ය රසවින්දනයෙන් ඈත් වී ගියේය. මෙම ග‍්‍රැමෆෝන් තැටිවල ඉල්ලූම ඉහළ යෑම සිදුවුණ අතර නව වෙළඳපළක් බිහිවීමේ ප‍්‍රවණතාවයද ඇතිවිය.

වේදිකා නට්‍යයෙන් ඇරඹුණු නව සන්නිවේදන ක‍්‍රියාදාමයට ග‍්‍රැමෆෝනයද එකතු වී වැඩි කල් යන්නට මත්තෙන් 1924 ජූනි මස 27 වන දින ආණ්ඩුකාර සර් විලියම් හෙන්රි විසින් ලංකා ඉංජිනේරු සංගමය අමතා කළ කතාවක් ප‍්‍රචාරය කරමින් විදුලි සන්දේශ හා දුරකථන සේවා ප‍්‍රධාන ඉංජිනේරු ඊ. හොන්ටර් මහතා විසින් ගුවන් විදුලි සේවය නිල වශයෙන් ආරම්භ කරන ලදී. මේ සමගම ගුවන් විදුලි යන්ත‍්‍ර ආනයනය ආරම්භ වීමත් මෙතෙක් කල් සුවිශේෂී ගෘහ භාණ්ඩයක් වූ ග‍්‍රැමෆෝනය මුල්ලකට තල්ලූවී ගුවන් විදුලි යන්ත‍්‍රයට ඒ තැන ලැබීමත් සිදු විය.
උස ගස් දෙකක ඇද තිබුණු වයරයක් මැදින් සම්බන්‍ධ කළ තවත් වයරයක් ගුවන් විදුලි යන්ත‍්‍රයට සම්බන්‍ධ කර ගැනීමෙන් ගුවන් විදුලි තරංග ලබා ගත් අතර මෙම ඒරියලය ගුවන් විදුලියට සම්බන්‍ධ වීමට පෙර ස්විචයක් හරහා සම්බන්‍ධ වීමක් සිදු විය. හෙණ වදීවි යැයි බියෙන් යන්ත‍්‍රය ක‍්‍රියාත්මක නොකරන විට ස්විචය විසංධි කරන අතර යන්ත‍්‍රය ක‍්‍රියාත්මක කරන විට පමණක් මෙය සම්බන්ධ කරනු ලැබේ. මුල්ම ගුවන් විදුලි යන්ත‍්‍ර ක‍්‍රියාත්මක කරනු ලැබුවේ බැටරියකින් ලබා ගත් බලයෙනි. මෙම යන්ත‍්‍ර සියල්ලක්ම කපාට හෙවත් වෑල්ව් යන්ත‍්‍ර විය.
ලංකාවේ සංගීතය සමාජ අත්දැකීමක් කරන්නට දායක වූ මුල්ම ආයතනය වූයේ ගුවන් විදුලිය යි. ග‍්‍රැමෆෝන් තැටිය කාට කාටත් ලබාගත නොහැකි දෙයක් වන විට සංගීතයේ මුල්ම ආඥාදායකයා වූ ගුවන් විදුලි Valve යන්ත‍්‍ර වලින් සිදුකෙරුණේ විද්‍යුත් ධාරාව නියතව තබාගෙන වෝල්ටීයතාවය විචල්‍ය කිරිමය. මේ නිසාම මෙම යන්ත‍්‍ර වලින් ප‍්‍රතිනිෂ්පාදනය වූ සංගීතය Bass හඬකින් යුක්ත විය. ඒ නිසා පේ‍්‍රක්‍ෂකයන්ද හුරුවූයේ Bass කටහඬවල් වලටය. ගායිකාවන්ගේ කටහඬවල් අභිබවමින් ගායකයන් ගේ කටහඬවල් මතුවූයේත් ගායකයන් ජනප‍්‍රිය වුයේත් මේ නිසාවෙනි.
මේ තත්වය යටතේ තුන් කේන්ද්‍රීය බලවේග කට්ටලයක් නිර්මාණය කිරීම සිදුවුනා.
  • රේඩියෝව
  • ගුවන් විදුලි ආයතනය
  • ගායකයා /ගායිකාව
මෙයින් රේඩියෝව යන්ත‍්‍රයක් වීම නිසා එය මොහොතකට පැත්තකින් තියමු. දෙවැනි කේන්ද්‍රය වන ගුවන් විදුලි ආයතනය ගැන සිතූ විට එහි තීරණ ගන්නා නිලධාරීන් ඉංග‍්‍රීසි යටත් විජිත අධ්‍යාපනයෙන් ශික්‍ෂණය ලැබූ අය. මොවුන් යටතේ සංගීත පාලනය කරන්නට පත්වූයේ උත්තර භාරතීය හෝ දක්‍ෂිණ භාරතීය සංගීතයෙන් ශික්‍ෂණය ලැබූ සංගීතවේදීන් නිසා අපේ ගුවන් විදුලියේ මුල් යුගය උත්තර හෝ දක්‍ෂිණ භාරතීය ලක්‍ෂණ අනුගත වූ එකක් වීම සිදුවුණා. මෙයින් සිදුවුණේ තුන්වන කේන්ද්‍රය වන ගායක ගායිකාවන් ද උත්තර හෝ දක්‍ෂිණ භාරතීය ගී තනු වලට ගීත ගායනා කිරීම ය. ඉන් ද කටහඬ පුහුණු කිරීම බුද්ධිමය ඵලයක් ලෙස තීරණය කිරීමත් සමගම දැනුමක් ඇති ගායක ගායිකාවන් සහ දැනුමක් නැති ගායක ගායිකාවන් ලෙස වර්ගීකරණයක් ඇති වුණා.
ගුවන් විදුලි ආයතනයේ ශ‍්‍රම දායකයන් වූයේ අපේ ගායක ගායිකාවන් ය.
ගායිකාවන්ගේ කටහඬ නම් ශ‍්‍රමය පාරිභෝගික භාණ්ඩයක් බවට පත් වුයේ ගුවන් විදුලියේ වෙළඳ සේවය ආරම්භ වීමත් සමගම ය.
භාණ්ඩ හා සේවා ආනයනය කරන හා නිෂ්පාදනය කරන ආයතන ගුවන් විදුලියේ වෙළඳ සේවා දායකයන් බවට පත්වීමත් සමගම වෙළඳ ගුවන් විදුලියේ ආධිපත්‍ය වක‍්‍ර ලෙස පාලනය කරනු ලැබුවේ මෙම සේවාදායකයින් විසිනි. මෙතෙක් නිහඬව පැවති ගායක ගායිකා ශ‍්‍රමය තුළ ජෝතිපාල / මිල්ටන් යුගයක් බිහි වූයේ මේ තත්වය මතය.
උත්තර භාරතීය ශික්ෂණය ලැබූ කටහඬවල් පරදා උත්තර හෝ දක්‍ෂිණ භාරතීය ගී තනුම ගායනා කරමින් ඉන්දු ආභාශය නොලැබූ ජෝති – මිල්ටන් ගීත ශ‍්‍රාවකයන් තුළට ගෙන ගියේ ගුවන් විදුලි ආධිපත්‍යය තුළට රිංගා ගත් සේවාදායක අනු ආධිපත්‍යය මගිනි. ප‍්‍රබුද්ධ හා අප‍්‍රබුද්ධ ලෙස ගායක ගායිකාවන් වෙන් කරන අප කවුරුත් තාමත් නොදන්නා මායිමක් නිර්මාණය කරන ලද්දේ මේ යටතේ ය.
මා කලින් සඳහන් කළ තුන් කේන්ද්‍රීය බලවේගයෙන් ගුවන් විදුලි ආයතනයත් ගුවන් විදුලි යන්ත‍්‍රයත් ඈත් වීමට හේතු වූයේ ට‍්‍රාන්සිස්ටරය සොයාගැනීමත් සමගය. මේ නිසා නිර්මාණය වු කැසට් රෙකෝඩරය ගුවන් විදුලියේ අධිපත්‍යය බිඳීමට හේතු වූ ප‍්‍රධාන බලවේගය විය. 70 දශකයේදී ගීතයේ ආධිපත්‍යයත් ගායක ගායිකාවන්ගේ කටහඬ නැමති ශ‍්‍රමයත් පාළනය කළ ප‍්‍රධාන සාධකය වන්නේ කැසට් පටි නිශ්පාදන ආයතන ය. ප‍්‍රබුද්ධ අප‍්‍රබුද්ධ ලේබලය යටතේ ගුවන් විදුලියෙන් එළවා දැමූ ජෝතිපාල – මිල්ටන් – ප්‍රෙඞී – ඇතුළු බොහෝ ගායක ගායිකාවන්ගේ කටහඬ ශ‍්‍රමය කැසට් පට නිශ්පාදකයන් විසින් උදුරා ගැනීම සිදුවන්නේ 70 දශකය තුළ ය. මේ තත්වය යටතේ ගුවන් විදුලියට සිදු වන්නේ කැසට් පට නිශ්පාදන ආයතනවල Master පටය ගුවන් විදුලියට රැගෙන එන ලෙස ගායක ගායිකාවන්ට වක‍්‍ර ලෙස ආරාධනා කිරීමයි. මේ ආරාධනාව යටතේ පවා ගුවන් විදුලි නිලධාරීන් මෙම Master පටය අසා ගීත අනුමත කිරීමේ බලය තමන් ළගම තබා ගන්නා ලදි.
Stereo යන්ත‍්‍ර පැමිණීමත් සමගම තාක්‍ෂණයේ තවත් පැත්තක් නිර්මාණය වුණත් අපේ පටිගත කිරීමේ මැදිරි වල නියම Stereo පටිගත කිරීම් සිදුවුණේ නැහැ. අපේ ශබ්ද පටිගත කිරීමේ ශිල්පීන් ශබ්දයේ දිශාව මිසක් ගැඹුර ගැන එතරම් උනන්දුවක් දැක්වූයේ නැහැ. ලංකාවේ ගීතයක සියළුම සංගීත භාණ්ඩ අභිබවමින් කටහඬ ප‍්‍රමුඛ වීම් සිදුවුණා. මෙය ගායක ගායිකාවන්ගේ පුද්ගලික ජනප‍්‍රියත්වයට හොඳ දෙයක් වුවත් නාද සංකලනයට හොඳ දෙයක් නොවෙයි.
ගුවන් විදලියේ ආධිපත්‍යයත් කැසට්පට වල ආධිපත්‍යයන් බිඳීමට හේතු වූ තවත් දෙයක් නම් 80 දශකයේ අපට ලැබුණු රූපවාහිනිය යි. ගායක ගායිකාවන්ට රූපය වැදගත් වූයේ මෙතැන් සිටයි. සංගීතයට කණ පමණක් නොව ඇස ද අවශ්‍යවන්නට පටන් ගත්තා. ප‍්‍රසාංගික කලාවක ආරම්භයත් ඒ සමගම සිදුවුණා.
පුද්ගලික ගුවන් විදුලි සේවාවන් ආරම්භ වීමත් සමගම ගුවන් විදුලි සමාගම්වල ආධිපත්‍යය මුළුමනින්ම කඩා වැටීම සිදුවුණා. ශ‍්‍රවණය තම මූලික වෙළඳපොල කර ගනිමින් සීමා මායිම් වැටකොටු බිඳ දමමින් අළුත්ම ගායක ගායිකා පරපුරක් බිහිකිරීම සිදුවනුනේ මෙම පෞද්ගලික ගුවන් විදුලි ආයතන හා රූපවාහිනී ආයතන මගිනි.
Karaoke ශෛලියත් DJ හා Remix ශෛලියත් බිහිවීම සමගම ගායක ගායිකාවන්ගේ කටහඬ ශ‍්‍රමය තුට්ටු දෙකේ නිශ්පාදන භාණ්ඩයක් බවට පත්වුණා.
ආනන්දයෙන් ආරම්භ වී ප‍්‍රඥාවෙන් කෙලවර විය යුතු කලාව තාක්‍ෂණය නිසා ප‍්‍රමෝදයෙන් ආරම්භ වී පිස්සුවෙන් කෙළවර වන තත්වයට පත් වන්නේ මේ සමගයි. දැන් ගායක ගායිකාවන් ලෙස ස්ථාන ගත වූ ප‍්‍රවීණ උගත් ශිල්පීන් අපට අවශ්‍ය වන්නේ නැහැ. වාදක මණ්ඩලයට ප‍්‍රවීණ දක්‍ෂ ශිල්පීන්ද අවශ්‍ය වන්නේ නැහැ. සාමාන්‍ය මිනිසෙකු අතරත් ගායක ගායිකාවක හෝ වාදක ශිල්පීන් අතරත් කිසිම වෙනසක් අනාගතයේදී අපට දකින්නට වෙන්නේ නෑ. කොටින්ම කිව්වොත් තව වසර 10ක් ඇතුළත Music කියල දෙයක් ගැන කිසිවෙකුත් කතා කරන එකක් නෑ. කතා කරන්නේ Sound ගැන Sound Equipment ගැන EQ ගැන. ීSound Processor, Sound Gate ගැන DJ ගැන Remix ගැන Sound Tracks ගැන.
වාදක මණ්ඩලය නැතුව සංගීතය පටිගත කරන්නට පුළුවනි. හඬ පරිපාලන ශිල්පීන් නැතුව – Sound Track හදන්න පුළුවනි. කොටින්ම කියනවා නම් ගීතයක අයිතිකාරයෙක් – රචකයෙක් – ගායකයෙක් ගැන හිතන්නට අවශ්‍ය නැහැ. ගීත සාහිත්‍යය i phone එකක විහිලූවක් පමණයි. අවශ්‍ය වන්නේ Sound Menu එක විතරයි.
i phone එක tablet එක වගේ නූතන තාක්‍ෂණය යටතේ පරිගණකය මගින් නිර්මාණය වන්නේ Techno Music. කටහඬවල් පවා මේ මගින් නිර්මාණය වේවි.
ගුවන් විදුලිය තුළත් කැසට් පටි වලත් CD තැටි වලත් මහා යෝධයන් වු පණ්ඩිත් අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායකයන්, සංගීත් නිපුන් සනත් නන්දසිරි, විශාරද නන්දා මාලනියන් ඇතුළු අපේ ප‍්‍රවීණයන් රූප මාධයය තුළ යෝධයන් වූයේ නැත. වර්තමාන සුපිරි තරු සංස්කෘතිය තුළ දෘශ්‍ය මාධ්‍යයේ යෝධයන් වන්නේ වසරක් පාසා බිහිවන හිස් සුපිරි තරු ය. i phone වල Sound Menu වල වීරයන් වන්නේද ඔවුන් ය. අද වීඩියෝ පටයක් නැතිව ගීතයක් ජනප‍්‍රිය වන්නේ ද නැත.
හෙට දවසේ සංගීතයක් – ගීතයක් – ගීතයේ අන්තර්ගතයක් ගැන කිසිවෙකුත් අසන්නේ නැත. ඔවුන් අසන්නේ සංගීතය නොව ශබ්දයයි. මේ ශබ්දය තුළ කලකරුවෝ අවතැන් වනු ඇති.

හෙළ සිනමා ඉතිහාසය සැකෙවින්... ප්‍රියානන්ද විජේසුන්දර


සුබ උපන් දිනක් වේවා

1947 ජනවාරි මාසය සිංහල සිනමාවට අතිශයින් වැදගත් දවසකි. ජනවාරි 07 හෝ 21 වනදා (මේ ඉතිහාසය පොත් දෙකක සඳහන් වී ඇත්තේ දෙවිදියකට) ශ‍්‍රී ලංකාවේ තිරගත වූ මුල්ම සිංහල චිත‍්‍රපටය වූ කඩවුණු පොරොන්දුව තිරගත වුණා. ඉතින් අපේ සිනමා රාජිනියගේ 66 වන උපන්දිනය සමරන්නේ 2013 ජනවාරි මාසයේ.
කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා තිරගත වූ චිත‍්‍රපට සියල්ලම පිළිබඳව කතා කරන්නට අසීරු වුවත්, සිනමාවේ වැදගත් මං සලකුණු සනිටුහන් කළ විත‍්‍රපටි කීපයක් ගැනවත් මතක් කරන්නට හොඳම වෙලාවයි මේ.

මට මුලින්ම චිත්තර පටියක් පෙන්වූයේ අම්මා. කළුතර නගර ශාලාවේ තිරගත වූ ‘‘මදර් ඉන්දියා’’ චිත‍්‍රපටය බලන්නට අම්මා මා කැටුව ගියේ එවකට අම්මා උගැන්වූ පයාගල පොතුවිල මහා විද්‍යාලයේ දරුවන් එක්ක. සිනමා කර්මාන්තයට සම්බන්ධ වූ මහා පුරුෂයකු නොවූවත් බොහොම අමාරුවෙන් ශත 55 ක් හොයාගෙන පිළියන්දල ‘‘ සීදේවී’’ සිනමා ශාලාවේ ගැලරියේ බංකුවක වාඩි වී මදුරුවන් අප ඉහළට ඔසවන්නට තැත් කරන විට, බංකුවල සිටි මකුණන් එය වළකන්නට පහළට අදිද්දී විසිල් පහර ගසමින් බයිස්කෝප් නැරඹූ කෙනෙකු ලෙසත්, පසුකාලයක හැන්දෑ වරුවේ සීදේවී සිනමාහලේ ප‍්‍රක්‍ෂේපණ යන්ත‍්‍ර ක‍්‍රියාකරුවූ සයිමන් අයියාට උදව් කරන්නට සීදේවි කැබින් එකේ සිට ධාවනය කොට අවසන් කළ සිනමා පටි නැවත ඔතන්නටත්, දැල්වෙන කාබන් කූරු නැවත ළං කරන්නටත් පුරුදු වූ කෙනෙකු ලෙසත්, මරදානේ ගාමිණී සිනමා හලේ ‘‘චණ්ඩියා’’ තිරගත වන විට උදේ 10.30 දර්ශනය නරඹා නැවත 2.30 පෝලිමට එක් වී එයද නරඹා නැවත 6.30 පෝලිමට එක් වී එයද නරඹා එකම දවසේ එකම චිත‍්‍රපටය තුන් වතාවක් එකම සිනමාහලේ නැරඹීමේ වාර්තාවක්ද පිහිටුවා මරදානේ සිට පිළියන්දලට පයින් පැමිණි සිනමා රසිකයකු ලෙසත්, ‘‘මිහිදුම් සිහින’’, ‘‘මේජර් සර්’’, ‘‘පරසතුරෝ’’, ‘‘මධු සිහින’’,‘‘දෙව්දුව’’ චිත‍්‍රපටිවල සහය අධ්‍යක්‍ෂවරයෙකු සහ සහය සංස්කාරක ශිල්පියකු ලෙස කටයුතු කොට පසුබිම් ගීත රචකයකු ලෙසද, දෙව්දුව චිත‍්‍රපටයේ විජේ, මාලනී, අනෝජා, ජෝ මහත්තයා සමග රඟපාමින් නළුවෙකු ලෙසද සිනමාවේ සුළු මිනිසකු වූ මම 66 වන උපන්දිනය සමරන්නේ මහත් ආඩම්බරයෙනි.
දෙවන ලෝක යුද්ධයේ භීෂණය සමග බියෙන් මුසපත්ව සිටි ජනතාව මීගමුවේ මිනර්වා නාට්‍ය කණ්ඩායම රඟ දැක්වූ ‘‘කඩවුණු පොරොන්දුව’’ නාට්‍යය බලන්නට පොදිකමින් එක්රැස් වූයේ යුද්ධයේ භීෂණය අමතක කර දමන්නටය. එහෙත් කඩවුණු පොරොන්දුව නාට්‍යයක් වීම නිසා එකම දවසේ එකම දවසේ එය නරඹන්නට හැකි වූයේ එකම ප‍්‍රදේශයක ජනතාවට පමණයි.
දකුණු ඉන්දියානු සිනමාකරුවන්ට මෙය හොඳ අවස්ථාවක් වුණා. මදුරාසියේ බොම්බායේ, තමිල්නාඩුවේ,කොම්බතුරයේ හැදුණු හින්දි හා දමිළ චිත‍්‍රපටි නිසා සිංහල කතා කරන චිත‍්‍රපටියක් නිපදවීමේ අරමුණ ශ‍්‍රී ලාංකික දමිළ ව්‍යාපාරිකයින් තුන්දෙනෙකුට පහළ උනා.
මේ අනුව කණ්ඩායම් තුනක් දකුණු ඉන්දියාව බලා පිටත්ව ගියා. එයින් තුරෙයිසිංහම් නම් ව්‍යාපාරිකයා ප‍්‍රමුඛ මුල්ම කණ්ඩායම මදුරාසියේ නැප්චූන් චිත‍්‍රාගාරයට ගොස් ‘‘දිව්‍යමය පේ‍්‍රමය’’ නිපදවීම ආරම්භ කළා. චිත්තම්පලම් ගාඞ්නර් යටතේ ශාන්ති කුමාර් ඇතුළු කණ්ඩායම කොයිම්බතූර් සෙන්ට‍්‍රල් චිත‍්‍රාගාරයට ගොස් ‘‘අසෝකමාලා’’ නිපදවීම ආරම්භ කළා.
එස්.එම්. නායගම්ගේ නායකත්වය යටතේ බී.එම්.ඩබ්. ජයමාන්න ප‍්‍රමුඛ කණ්ඩායම මදුරෙයි චිත‍්‍රකලා මුම්ටෝස් චිත‍්‍රාගාරයට ගොස් ‘‘කඩවුණු පොරොන්දුව’’ නිපදවීම ආරම්භ කළා. මේ සඳහා නාට්‍යයේ පසුතල වේදිකා සැරසිලි සියල්ලක් සමග නාට්‍ය කණ්ඩායම නැව් නංවාගෙන ඉන්දියාවට රැගෙන ගියා.
මේ වන විට ‘‘අසෝකමාලා’’ චිත‍්‍රපටයේ වැඩ අවසන් වී තිබුණත් කවුරුත් නොදන්නා හේතුවක් නිසා මුලින්ම තිරගත වුණේ ‘‘කඩවුණු පොරොන්දුව’’ චිත‍්‍රපටයයි. මේ අනුව මුල්ම ගිනිපෙට්ටි නිෂ්පාදනය, මුල්ම සබන් නිෂ්පාදනය, මුල්ම වීදුරු නිෂ්පාදනය ආරම්භ කළ එස්. එම්. නායගම්ට මුල්ම චිත‍්‍රපටිය වූ කඩවුණු පොරොන්දුවද නිපදවන්නට හැකි වුණා.
මේ විදියට ආරම්භ වුණු අපේ සිනමාවේ උපන්දිනය සමරන මාසයේ දර්ශන, පසුතලවලට තේ රැගෙන ගිය ටී බෝයිගේ සිට අධ්‍යක්‍ෂවරයා දක්වා සියලූම ශිල්පීන්, නළුනිළියන්, කාර්මික ශිල්පීන් හෙලූ දහදිය කඳුළු ඇතැම් විට ලේද එකතු කළා නම් කොතරම් වේදැයි මට සිතේ.
මුල්ම කාලයේ වුවද මෙම චිත‍්‍රපටිවලින් ස්වතන්ත‍්‍ර ගී නිර්මාණ බිහිවුණේ ‘‘අසෝකමාලා’’ චිත‍්‍රපටියෙනි. සංගීත අධ්‍යක්‍ෂණය කළේ මොහොමඞ් ගවුස් හෙවත් ගවුස් මාස්ටර්. පණ්ඩිත් අමරදේවයන් තාපස චරිතයක් රඟපාමින් ගීත ගායනා කළේද මෙම චිත‍්‍රපටියේය. අමරදේවයන් මේ සඳහා ඉන්දියාවට ගොස් ඇත්තේ සංගීත කණ්ඩායමේ වයලින් වාදකයකු ලෙයසි. එතුමා මෙම චිත‍්‍රපටියේ සහාය සංගීත අධ්‍යක්‍ෂවරයාද වුණා.
අපේ කතාවක්, අපේ රටේ සිදුවීමක් වුවද චිත‍්‍රපටිය නිර්මාණය කළේ දකුණු ඉන්දියානු දැවැන්ත චිත‍්‍රාගාරයක් තුළය. කොළඹ නගරය කියල අපි දැක්කේ – නුවර මල්වත්ත කියල අපි දැක්කෙ, ගමේ කුඹුර කියල අපි රැවටුණේ ඉන්දියාවේ චිත‍්‍රාගාරවල ඉදිවුණු දැවැන්ත ව්‍යාජ පසුතලවලටය. කිසිම චිත‍්‍රපටියක එළිමහන් දර්ශන තිබුණේ නැහැ.
ශ‍්‍රී ලංකා ජාතික ගීයේ සහ සිංහල ස්වතන්ත‍්‍ර තනු කලාවේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් ශූරින් සිංහල චිත‍්‍රපටියකට තනු නිර්මාණය කළ මුල්ම සිංහල සංගීත අධ්‍යක්‍ෂවරයායි. ඒ 1953 දී නිර්මාණය වූ ‘‘යමුනා’’ චිත‍්‍රපටියට. ඒත් මෙම චිත‍්‍රපටියට කොපි ගීත 10 ක් ඇතුළත් වී තිබුණා. ‘‘සුජාතා’’ චිත‍්‍රපටියේ ‘‘මනරංජන දර්ශනීය ලංකා’’ ගීතය ලියුවේත්, එහි තනුව හා සංගීතය නිර්මාණය කළේත් ආනන්ද සමරකෝන් ශූරීන්. සමරකෝන් ශූරීන්ගේ ග‍්‍රැමෆෝන් ගීතයක් වූ ‘‘නමෝ නමෝ මාතා’’ ගීතය ශ‍්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස ප‍්‍රකාශ කළේ 1952 මාර්තු 12 දා. සුජාතා තිරගත වුණේ 1953 මාර්තු 12 දා. සමරකෝන් ශූරීන් සැඩසුළං චිත‍්‍රපටිය සඳහාද ‘‘ශ‍්‍රී ලංකා මා ප‍්‍රීයාදර ජයභූමී’’ ගීතය රචනා කොට සංගීතයද නිර්මාණය කළා. උත්තර භාරතීය ගීත කෝකිලාවිය ගැයූ එකම සිංහල ගීතය වන මෙහි ලතා මංගේෂ්කාර්ට වචන උච්චාරණය පුුහුණු කළේද සමරකෝන් ශූරීන් විසිනි. ලතා මංගේෂ්කාර්ගෙන් දෙඅත් එක් කොට වැඳුම් ලබා ගත් එකම ශ‍්‍රී ලාංකිකයාද ආනන්ද සමරකෝන් ශූරීන්. භාෂාවේ පරතරය නොවන්නට මෙම ගීතය සඳහා ද්‍රවිඩ වාදක මණ්ඩලය මෙහෙයවනු ලබනු ඇත්නේද සමරකෝන් ශූරීන් විසිනි. එසේ වූවා නම් ආනන්ද සමරකෝන් ශූරීන්ට සිංහල චිත‍්‍රපට උපන් රටේ විදේශීය වාදක මණ්ඩලයක් මෙහෙය වූ මුල්ම ශ‍්‍රී ලාංකිකයා විය හැකිව තිබුණි. පසුකලෙක කේමදාසයන්ද සරත් දසනායකයන්ද මේ දේ කළා.
මුල් යුගයේ සිටම රුක්මණීදේවි රඟපෑමත්, ගීත ගායනයත් කළා. පසුකලෙක මොහිදින් බෙග්, ධර්මදාස වල්පොල, ලතා වල්පොල, ජී.එස්.බී.රාණි පෙරේරා ආදීන් ගීත ගායනට එක් වුණා. ලතා මංගේෂ්කාර්, පී. සුසිලා, යමුනාරාණි, ජික්කි වැනි විදේශ ගායිකාවන් අපේ චිත‍්‍රපටිවල ගීත ගායනය කළා. ගවුස් මාස්ටර්, බී.එස්. පෙරේරා, එස් ජුනියර්, සුදර්ශනම්, එස්.එස්. වේදා, ආර්. මුත්තුසාමි, මොහොමඞ්සාලි වැනි අය අපේ චිත‍්‍රපටිවලට සංගීත නිර්මාණය කළා.
ආනන්ද සමරකෝන්, ඞී.ටී. ප‍්‍රනාන්දු, හියුගෝ ප‍්‍රනාන්දු ආදීන් මුල් යුගයේ ගීත රචනා කළා. රුක්මණීදේවි, එඞී ජයමාන්න, ශේෂා පලිහක්කාර, බී.ඒ.ඩබ්. ජයමාන්න, පේ‍්‍රම් ජයන්ත්, ස්ටැන්ලි පෙරේරා, ගර්ලි ගුණවර්ධන, ශාන්ති ලේඛා, ක්ලැරිස්ද සිල්වා ආදීන් මුල් යුගයේ චිත‍්‍රපටිවල රඟ පෑ නලූ නිලියන් වුණා.
සිංහල සිනමාවේ මුල්ම විහිළුකාරයා විකටයා විදියට නම ලබා ගත්තේ එඞී. ජයමාන්නය. ජොසී බබා, මනප්පුවා යන යුවල සිංහල සිනමා රසිකයින්ට කවදාවත් අමතක වෙන එකක් නෑ.
හියුගෝ මාස්ටර් අපේ සිනමාවේ යුග පුරුෂයෙක්. දකුණු ඉන්දියානු සිනමා අධ්‍යක්‍ෂවරුන් යටතේ රඟපාමින් දකුණු ඉන්දියානු ආධිපත්‍යයට එරෙහිව ස්වාධීන නිර්මාණ බිහි කළ, ස්වාධීනව තම චරිත නිරූපණය කළ මහා පුරුෂයා ලෙස මම හඳුන්වන්නේ හියුගෝ මාස්ටර්වයි. ‘‘මාතලන්’’ චිත‍්‍රපටිය යනු ඔහු දෙබස් රචනා කළ, ගීත රචනා කරමින් රඟපෑ ජනප‍්‍රිය චිත‍්‍රපටියකි.
ඇලොයි ජයමාන්න අධ්‍යක්‍ෂණ්‍ය කළ ‘‘පෙරකදෝරු බෑණා’’ චිත‍්‍රපටියේ ගී ගැයීමේ කටහඬ පරීක්‍ෂණයට මරදානේ සිට පැමිණ සිටි හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඞ් ජෝතිපාල පෙරේරා නම් තරුණයා ගීත ගායනා කිරීමේදී පටිගත කරන යන්ත‍්‍ර දෙදරුම් කනවා යැයි කීවේ දකුණු ඉන්දියාවේ සිට පැමිණි සුදර්ශනම් නම් සංගීත අධ්‍යක්‍සවරයා. එම තරුණයා කටහඬ පරීක්‍ෂණයෙන් අසමත් වුණා. ඒත් දකුණු ඉන්දියාවේ වාහිනී චිත‍්‍රාගාරයේදී සිරිල් පී අබේරත්න මහතාගේ ‘‘සුරතලී’’ චිත‍්‍රපටියේ ඩබ්. විල්ෆ‍්‍රඞ් ද සිල්වාගේ පද රචනයකට ටී. ආර්. මාපා සංගීතය සැපයූ ආනන්ද ජයරත්න රූප රාමුවල පෙනී සිටි ‘‘සිරියමෙ සාරා’’ ගීතය ගයන්නට මෙම තරුණයාට අවස්ථාව උදා වුණා. මේ හෙළ සිනමා ක්‍ෂේත‍්‍රයේ සෑම තරාතිරමකම නළුවෙකුට උචිත කටහඬක් ඇතිල ආන්නද ජයරත්නගේ සිට තමා මිය ගියාට පසුව උපන්නාවූ අද හෙළ සිනමාවේ ජනප‍්‍රියම නළුවාටද ගී ගයන එච්. ආර්. ජෝතිපාලය.
අපේ සිනමාවේ වැදගත්ම පරිවර්තනය වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් තරුණයකු ‘‘රේඛාව’’ චිත‍්‍රපටිය නිරිමාණය කිරීමත් සමගය. මුළුමනින්ම දකුණු ඉන්දියානු චිත‍්‍රාගාර ඇතුළේ ව්‍යාජ දර්ශන පසුතලවල රූපගත කිරීම් සිදු වන අතරතුරදී ලෙස්ටර් තරුණයා තම කැමරා ආම්පන්න සමග එළිමහනට ආවා.
‘‘ලෙස්ටර් මේ කරන්නේ පිස්සු වැඩක්. මේ වියදම් කරන සල්ලිවලින් කපුටන්ට ආප්ප අරගෙන දුන්නා නම් හොඳයැ’’යි කියමින් චිත‍්‍රාගාර තුළට කොටු වී සිටි දකුණු ඉන්දියානු අධ්‍යක්‍ෂවරුන් සිනාසුණා. ඒත් ලෙස්ටර් ජයගත්තා. අර හිනාවුණු උදවියත් ලෙස්ටර් පීරිස් මහත්තයාව අනුගමනය කරමින් චිත‍්‍රාගාරවලින් එළියට ආවා.
මුල් යුගයේදී චිත‍්‍රපටිවල දෙබස් පටිගත කළේ දර්ශන ගත කරන වේලාවටමයි. මෙම පටිගත කිරීම ඉතාම වෙහෙසකර වුත්, කාලය ගත වන ආකාරයේ දෙයක්. පරිසරයේ ශබ්ද, කපුටන්ගේ හා වෙනත් කුරුල්ලන්ගේ ශබ්ද හරිම කරදරයි. දර්ශන ගතකිරීම් නරඹන්නට එන සාමාන්‍ය ජනතාවගෙන් ඊටත් වඩා කරදරයි. පසුකාලයක දර්ශනගත කිරීමෙන් පසුව චිත‍්‍රාගාරවල දෙබස් කැවීම ආරම්භ උණා.
සිංහල සිනමාවේ පරිවර්තනීය යුග පුරුෂයා ලෙස නම් කළ හැක්කේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාවයි. මේ මහා පුරුෂයාව මුල් කරගෙන අපේ අධ්‍යක්‍ෂවරුන් කලාත්මක මෙන්ම වාණිජ චිත‍්‍රපට ගණනාවක්ම නිර්මාණය කළා. ගාමිණී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, විජය කුමාරතුංග, මාලනී – අනෝජා – ජීවරාණි – සන්ධ්‍යාකුමාරි – විජිත මල්ලිකා ඇතුළු තවත් බොහෝ නළු නිලියන් අපේ සිනමාව ආලෝකමත් කළා. මුල්ම අතිවිශාල පුළුල් තිර නිර්මාණය වූ ‘‘වැලිකතර’’ සිංහල සිනමා ඉතිහාසයේ තවත් මං සලකුණක්.
අපේ සිනමාව ඉදිරියට ගමන් කිරීම, ආපස්සට ගමන් කිරීම, දකුණු ඉන්දියානු සහ උතුරු ඉන්දියානු ග‍්‍රහණයන්ට අසුවීම වරින්වර සිදුවුණා. තවමත් සිදුවෙමින් පවතිනවා. ඉන්දියානු සංගීත අධ්‍යක්‍ෂවරුන්ගෙන් මෙන්ම ඉන්දියානු සංගීත ආභාෂයෙන් සිංහල සිනමාව මුදවා ගන්නට අපේ සංගීත අධ්‍යක්‍ෂවරුන් මහත් තරඟයන්ට මුහුණ දුන්නා. පී. එල්. ඒ. සෝමපාල තරම් ඉන්දියානු සංගීතය කොපි කරමින් අපේ සිංහල චිත‍්‍රපටිවලට සංගීතය අධ්‍යක්‍ෂණය කළ කෙනෙකු නම් කරන්න අපහසුයි. රොක්සාමි, මුත්තුසාමි, මොහොමඞ්සාලී ආදීන්ද ඒ දේම කළා. හොඳ ස්වතන්ත‍්‍ර නිර්මාණද බිහි කළා.
ඩබ්. ඩි. අමරදේව, ෂෙල්ටන් පේ‍්‍රමරත්න, පේ‍්‍රමසිරි කේමදාස, සරත් දසනායක, ගලගෙදර එම්.එම්.කේ. හක් වාණිජ චිත‍්‍රපටි සඳහා හින්දි තනු කොපි නොකර ජනප‍්‍රිය ගීත නිර්මාණය කළා. වසර 66 ක සිංහල සිනමා ඉතිහාසයේ බොහෝ දේ කියන්නට පුළුවනී. ඒත් මෙවන් ලිපියකින් එවැනි දෙයක් කිරිම පහසු නැත. වර්තමානය ගැන ඔබ දන්නවා. රෝහණ වීරසිංහ නව යුගයේ මධුර තනු නිර්මාණ ශිල්පියා බවට පත් වෙලා. වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, එච්. එම්. ජයවර්ධන එක් යුගයක සංගීත අධ්‍යක්‍ෂවරුන් අතර මුල්තැන ගෙන තිබුණා.
වත්මන් සිංහල සිනමාවේ බොහෝ පරිවර්තන සිදුවෙමින් පවතිනවා. එදා යුගයේ සිටි කැමරා ශිල්පීන් වෙනුවට නව අත්හදා බැලීම් කරන කැමරා අධ්‍යක්‍ෂවරුන් බිහිවෙලා. නළුනිලියෝ බොහොමයි. ඒත් එදා යුගයේ ආනන්ද ජයරත්නලා, ගාමීණී ෆොන්සේකලා, මාලනී, රවීන්ද්‍ර, අනෝජා, ජෝ අබේවික‍්‍රම ආදීන් සිනමාවේ සිටි කාලය තරම් කාලයක් මේ අය රැඳී සිටින්නේ නැහැ.
කොහොම උනත් අපේ සිනමාව කියන්නේ දැන් අපේ සංස්කෘතියේම අංගයක් බවට පත්වෙලා. අබා, විජය කුවේණී, කුසපබාවතී ආදී නිර්මාණ බිහිවෙන්නේ මේ සංස්කෘතියේම අංගයක් ලෙසය.
හෙළ සිනමා රැජිණියට සුබ උපන් දිනයක් වේවා….