20180211

දූෂණ විරෝධී මෛත්‍රී පරාදයි.

මෛත්‍රී හරි.

පාර්ලිමේන්තුවේ සහ ජනතාවගේ
සහයෝගය නැති අවස්ථාවක
තනි බලයට නීතිය අතට ගෙන
සොරු අල්ලන්නත් දඬුවම් දෙන්නත්
මෛත්‍රී ක්‍රියා කළ යුතුව තිබුණා කියා
යම් දේශපාලනික විඥාණයක් ඇති
නීති ගරුක පුරවැසියන් කිසිවෙක්
මොහොතකටවත් සිතන්නේ නෑ.

බැඳුම්කරය ගැන කමිටු තුනක්
කරන විමසුම් වලින් පලක් නොවෙන තුරු
ඔහු ඒ ප්‍රශ්නයට අත නොගැසුවේ
පාර්ලිමේන්තු ක්‍රමයට ඇති
ගෞරවය නිසා විය යුතුය.
එහෙත් ඒ කමිටු වලින් නිසි විමසුම
සිදු නොවන බව හෙළි වූ පසුව
ඔහු වෙනම කොමිසමක් පත් කොට
කලින් සොයා නොගත් බොහෝ රහස්
සොයා ගන්නට සමත් විය.

ප්‍රජාතන්ත්‍රවාදීව හොරුන්ට දඬුවම් දෙන්න
මෛත්‍රී මෙතෙක් ක්‍රියා නොකළා නම්
මෛත්‍රී අද ජීවතුන් අතරවත්
නොසිටින්නට ඉඩ තිබුණ බව
සියයට 70ක මහා බලවේගය
එකා මෙන් දූෂණ පාක්ෂිකව
නැගී සිටීමෙන් පැහැදිලි වෙනවා.

රට පුරා විසිරී සිටින්නාවූ
වංචා දූෂණ පාක්ෂික බහුතරය
සොරුන් වංචනිකයන් පිළිගන්න බව
අපට දැනගන්න පුළුවන් වුණේ
මෛත්‍රී මනා ඉවසීමෙන් යුතුව
පාර්ලිමේන්තුව, අධිකරණය හරහා
ක්‍රියා කරන්නට වෑයම් කළ විට
ඒ උත්සාහයන් එජාප රජය විසිනුත්
ව්‍යර්ථ කරන්නට ක්‍රියා කළ බව
අපි නිරන්තරයෙන් දුටුවා.

ඇස් පනාපිට සිදු වෙන හොරකම්
විමර්ශනය කොට වාර්තා ගත කළත්
ඒ සොරකම් වලින් බේරෙන්නට එකට වැඩ කළ
එජාප, ශ්‍රීලනිප දෙකේම හොරු ජනතාව
තමන්ගේ ඡන්දය මගින් බේරාගත්තා.
දැන් ඔවුන්ට නිදහස් වෙන්නට අවශ්‍ය නම්
අවශ්‍ය දූෂණ පාක්ෂික ජනවරම
ඔඅවුන්ට ලැබී තියනවා.

මේ ජන බලයට එරෙහිව
හොරුන්ට බලෙන් දඬුවම් කරන්න
මෛත්‍රී සූදානම් වුණා නම්
මේ බලවේගය ඉදිරියේ
ඔහුට ජීවිතයත් නැති වෙනවා.

මේ පරාජය අපේ ජයග්‍රහණයක්.
සැබෑ දූෂණ විරෝධයක් ඇති වෙන්න
රටේ ඉන්න දූෂිතයන් සංඛ්‍යාව
ගණන් ඉලක්කම් වලින් දැන ගන්න ඕන.

එජාපෙටත් පොහොට්ටුවටත් වැටුණ
හැම ඡන්දයකින්ම පෙන්වන්නෙ
සොරකම දූෂණය අනුමත කරන
අපේ රටේ ජනතාවෙ සැබෑ ප්‍රමාණයයි.
ඒ ප්‍රමාණය අද රටටම
ඉලක්කම් වලින් පෙනෙනවා.

පාර්ලිමේන්තුවෙ ඉන්න හොරු බය නැත්තෙ
රටේ ඉන්න හොරු ඔවුන් අනුමත කරන බව
ඒ හැම හොරෙක්ම පැහැදිලිව දන්න නිසයි.

මේ බලවේගයෙ බලය කොතරම්ද කියා
මෛත්‍රී වෙන කාටත් හොඳින් දන්නවා.
ඔහු වසර තුනක් හොරු අල්ලන්න කල්ගත්තෙ
මේ තරම් විශාල චෞර බලවේගයක්
ඔහුට තනිවම ජයගන්න බැරි බව
ඔහු තේරුම් ගත් නිසායි.
අද ඔහු නිවැරදි බව
අපට වැටහෙනවා.

රටේ බහුතර ජනතාව ඉල්ලන්නෙ
සුපුරුදු හොරු දූෂිතයෝම නම්
ඒ බහුතර මතය ජයග්‍රහණය කොට
හොරුන් දූෂිතයන් කිරුළු පැළඳීම
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයයි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වෙනුවෙන් දුක් විඳින්න
ප්‍රජාතන්ත්‍ර වාදය අගයන අපි සූදානම් විය යුතුයි.

මේ දූෂිතයන්ගේ රටේ සිටින
එකම දූෂණ විරෝධියා මෛත්‍රී බව
පසුගිය වසර තුනක් තිස්සේම
අපි නිරන්තරයෙන් දුටුවා.

පනාමුරේ ඇත් රාජා මෙන්
දූෂණ විරෝධී කඳවුරට
නොයෙක් පාර්ශවයන්ගෙන් පහර දෙමින්
මේ වසර තුන තුළ දූෂණය පිටු දකින්න
මෛත්‍රී තනිව ගෙනගිය සටනට
අවංකව සහය දුන් එකම දේශපාලනඥයෙක්වත්
මෛත්‍රී වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සිටියේ නෑ.

වසර පණහක් තිස්සේ බොරු කරන
දූෂණ විරෝධී ජවිපෙ පවා ඔහුට විරුද්ධයි.
ජවිපෙ කරන්නෙ තනිකර බොරුවක්.
ජවිපෙ සැබැවින්ම දූෂණ විරෝධී නම්
ඔවුන් මෛත්‍රීගේ වැඩ පිළිවෙලට
සහය දිය යුතුව තිබුණා.

ජවිපෙ හබන් කුකුළන් කළේ
මෛත්‍රී තලන කැකුණ වලට ලොබ වී
තව ඡන්ද දෙක තුනක් සොයා යාමයි.
තිබුණ සියයට පහවත් රැකුණෙ
මෛත්‍රීගෙන් හැලුන විද්වත්, කලාකරු
කියාගන්නා බොළඳ දූෂණ විරෝධීන්ගෙන්.
ජවිපෙ සෙවූ ඡන්ද දෙකතුන ලැබුණා.

බලය නැති කඳවුරක ඡන්ද
රට පුරා වක්‍රව ක්‍රියාත්මක වුණේ
දූෂණ විරෝධියාට විරුද්ධවයි.
ජවිපෙ වැඩ පිළිවෙළේ වාසිය
දූෂණ පාක්ෂිකයාටයි.

ජවිපෙ දිගින් දිගටම
ව්‍යංගයෙන් සැලසුම් කළේ
මේ දූෂණ විරෝධය පරදවන්නයි.
ඔවුන් හැම විටම ක්‍රියා කරන්නේ
ධන හෝ ඍණ උත්ප්‍රේරකයක්
වශයෙන් බව ඔවුන් අත ගැසූ
හැම දේකින්ම පෙනෙනවා.
හැම ප්‍රතික්‍රියාවක් අවසානයේම
ජවිපෙ ඡන්ද සියයට පහ හය
වෙනස් වන්නේ නෑ.

මෛත්‍රීට විරුද්ධව ජවිපෙ සමග එක්වුණ
කලා කරුවන් හා විද්වතුන් පසු පස සිටියේත්
මෛත්‍රීට විරුද්ධ දූෂණ පාක්ෂිකයන්මයි.

ලක් ඉතිහාසයේ පළමු වතාවට
දූෂණයට විරුද්ධ තනි මිනිහෙකුත්
ඔහුට විරුද්ධ දූෂිතයන් පිරිසත්
මේ පළාත්පාලන මැතිවරණයේදී
මුහුණට මුහුණ ගැටුණා.

දූෂණ පාක්ෂික පිරිසේ
බලය විමසා බලන විට
සටනින් මෛත්‍රී ජයග්‍රහණය කිරීම
විය නොහැකි දෙයක්ව තිබුණ බව
අද අපට නිසැකව පෙනෙනවා.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් නැතිව
මෛත්‍රීට දූෂණ විරෝධී නීතියක්
සකස් කිරීමට හැකියාව නීතියෙන් නෑ.
පාර්ලිමේන්තුවේ අඩක් ඔහුට නැති නම්
පවතින නීති වලට අනුව වත්
ජනතා කැමැත්ත පිළිබඳව
සහතිකයක් පාර්ලිමේන්තුවෙන්
ලබා ගන්න ඔහුට බෑ.

සම්මුතිවාදී රජය විවාහයක්.
මේ රජයත් දූෂිත චෝදනා ලද රජයක්
අනියම් පුරුෂයන් සොයන බිරිඳක් සමග
දරුවන් සුචරිතයේ පිහිටුවන්නට
මෛත්‍රීට නීතියෙන් ලැබෙන ශක්තියක් නෑ.
දරුවනුත් වැඩි පිරිසක් නැගී සිටින්නේ
අනාචාරයේ හැසිරෙන බිරිඳ සමග නම්
මෛත්‍රීට කළ හැක්කේ ගෙදර පාලනය
අනාචාරයේ හැසිරෙන බිරිඳට දීමයි.

රටේ බහුතරය දූෂණයට
කොන්දේසි විරහිතව පක්ෂ වුණාට
අද රට ක්‍රමිකව පත් වෙමින් තියන තැන අනුව
රටේ විශාල පිරිසක් දූෂණයට විරුද්ධයි.

දූෂණ වංචා දැක දැක
සියයට හැටක් විතර විරුද්ධව හිතන්නෙ
රාජ්‍ය මට්ටමේ දූෂණයෙ බරපතලකම
ඔවුන්ට නොතේරෙන නිසයි.

රටෙන් බහුතරයක් පක්ෂව සිටින
සොරුන් රැළකට දඬුවම් කරන්නට
ජීවිතයත් අහිමි වන්නට ඉඩ තිබියදී
නොගැලපෙන කාලයක ක්‍රියා කර
මේ බලවේගය විසින් පරදවනු ලැබුවත්
දූෂණයට විරුද්ධව සටන් කරමින්
දූෂිතයන්ගේ මහා පවුර බිඳින්නට
තනිවම සටන් කළ ඇත් රජෙකු මෙන්
මෙසේ පරාජය වීම ගෞරවණීයයි,
මෛත්‍රී.

පනාමුරේ ඇත් රජු පිළබඳ පුවත
කුඩා කල අම්මාගෙන් නැවත නැවත
අසාගෙන ඒ රූප මවා ගෙන විඳින විට
එදා ඇසට නැගුණ කඳුලු වලට වඩා
අද නැගෙන කඳුළු වෙනස්.

එදා කඳුළු නැගුණේ ඇත් රජු වෙනුවෙන්.
අද කඳුලු නැගෙන්නේ කිසිත් නොදැන
ඇත්ගාලට වී ලැබෙන අයුරින් කමින් බොමින්
තමන් පාලනය කරන දූෂිතයන්ට නතු වී
රටේ භාණ්ඩාගාරය පවරාදී
භාණ්ඩාගාරය පෝෂණය කරමින්
මන්ද පෝෂණයෙන් පෙළෙන
දෙශපාලනිකව දෑසම අන්ධ වූ
ජනතාව නම් ඇත් රැළ වෙනුවෙනුයි.

අප දන්නා මෛත්‍රී
මේ දූෂණ පාක්ෂික ප්‍රතිඵලයට සාපේක්ෂව
දූෂණ විරෝධී ඉදිරි ගමන සැලසුම් කරනවා ඇතැයි
අප විශ්වාස කරන්නෙමු.

මෛත්‍රී අරඹන්නට සූදානම් වන
පුළුල් දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරය
අද අපේ අනාගත බලාපොරොත්තුවයි.