20151204

බුදු දහමෙ පූජකයන් නෑ.


බුදු දහමෙන් ප්‍රයෝජනයක් නෑ කියමින්
නිරාගමිකයන් ඇඟිල්ල දික් කරන්නෙ
බුදු දහම නො ඇසුණ, නොදන්න
ඔවුන් වැනිම නිරාගමික කොටසටයි.
ඒ කොටස පවට බිය නෑ..
ඔවුන්ට පිනට වඩා පව මිහිරියි.
නිරාගමිකයන්ට බුදු දහම බාධකයක්.
නිරාගමිකයන්ගෙ නිරුවත හෙලි කරණ
පහන් එළියක්.

නිරාගමිකයන් භික්ෂූන් දකින්නෙ
ආගමික පූජකයන් විදියටයි..

ආගමික පූජකයෙක් කියන්නෙ
අසරණ අනාථ අය දෙවියන් සමග සම්බන්ධ කරන
දෙවියන් වහන්සෙගෙ නියෝජිතයෙක්...
අතර මැදියෙක්..
භික්ෂූන් අතරත් එවැන්නන් ඉන්නවා.
ඔවුන් බෞද්ධ භික්ෂූන් නොවෙයි..
භික්ෂුවකට කල්ලියක් ඉන්නවා නම්
ඔහු භික්ෂුවක් නොවෙයි.
ආගමික පූජකයෙක් .
භික්ෂුවක් කියන්නෙ
සියලු ලෞකික බැඳීම් වලින් නිදහස්
තනි, ස්වාධීන පුද්ගලයෙක්.


ඔහුට ගුරුවරයෙක් ඉන්න පුලුවන්.
ශිෂ්‍යයෙක් ඉන්න පුලුවන්..
උපස්ථායක ශිෂ්‍යයෙක් ඉන්න පුලුවන්..
අනුගාමික කල්ලියක් ඉන්න බැහැ.

බුදු දහමෙ පූජකයන් නෑ.

බෞද්ධයන් කියන්නෙ
කිසිම කෙනෙකුට යටත් නැති...
ජීවමාන හෝ අජීවමාන
කිසිම බාහිර බලවේගයකට හිස නොනමන
ස්වාධීන පුද්ගලයන් පිරිසක්.
බෞද්ධයන්  ජීවිතය ජයගන්නෙ
කාගෙවත් පිහිටකින් නොවෙයි
ආත්ම දමනයෙන්.

තෙරුවන් සරණ යන්නෙ
තමන්ගෙ දෙපයින් හිටගන්න
ආත්ම දමනය කරගන්න අවශ්‍ය
මග පෙන්වීම ලබා ගන්න විතරයි.

බලවත් ජනප්‍රිය කැපී පෙනෙන බාහිර පුදගලයන්
හෝ අදිසි බලවේග මත යැපෙන
මානසික අංගවිකල භාවයෙන් පෙළෙන අසරණයන්
තෙරුවන් සරණ ගිය බෞද්ධයන් නොවෙයි.

තෙරුවන් සරණ ගිය හැම කෙනෙක්ම 
ඍජුවම බුදුන් වහන්සේට, ධර්මයට සම්බන්ධයි.
සඟ සරණ සොයන්න නම්
භික්ෂුවක් අවම වශයෙන් සෝවාන්වත් වෙන්න ඕන.
නැත්නම් ඔහුත් අපි වැනිම පුහුදුන් කෙනෙක්.

පුහුදුන් භික්ෂුවට සරණක් වෙන්න අවස්ථා
ගිහියන්ටත් උදා වෙන්න පුලුවන්.
ගුණ දහම්, ප්‍රඥාව අතින්
ගිහියන්ටත් වඩා අනාථ අසරණ අය
භික්ෂූන් අතර ඉන්නවා.

බුදු දහමෙ පූජකයන් නෑ.
අනාථයන් අසරණයන් නෑ.

බුදු දහමෙ ඉන්නෙ
තෙරුවන් සරණින් මග සොයා ගෙන
දහමෙන් ප්‍රයෝජන ගත් අය සහ
ප්‍රයෝජන නොගත් අය විතරයි,
බුදු දහම ඇසුණ අය සහ නො ඇසුණ අය විතරයි..
බුද්ධ ශ්‍රාවකයන් විතරයි.

බුද්ධ ශ්‍රාවක කියන්නෙ බුදු දහම ඇසුණ අය ...
තෙරුවන් සරණින් මග සොයා  ගත්
බුද්ධ ශ්‍රාවකයන්
මොහොතක් මොහොතක් පාසා
සුළුවෙන් හෝ දුකෙන් මිදෙනවා.