20230708

භික්ෂුවක් ස්ත්‍රිය සමග සංවාසයෙන් පාරාජිකා වන අයුරු

 


ලාභ සත්කාරවලින් මත්ව
දුසිල් භික්ෂුව සිවුරට ගැලී සිටියද
සිවුරෙන් ඉවත්වන්නට අවශ්‍ය නම්
එක වාක්‍යයක් කියා ඉවත්විය හැකිය.
ඒ වාක්‍යය කියන්නට තරම්වත්
ඔහු තුළ සිහිය තිබිය යුතුය.
ඒ සිහියවත් නැතිව
මෙවුන්දම් සොයන භික්ෂුව
පාරාජිකා ආපත්තියට පත්වෙයි.
#athulasiriwardhane


"රාගයෙන් තෙත්ව මත්ව මෛථුන සේවනයට සූදානම් වන භික්ෂුව “මම උපසම්පදාව ප්‍ර‍තික්ෂේප කරමිය. මෙතැන් පටන් මා අනුපසම්පන්නයකු ලෙස සැලකිය යුතුය” යි ඒ ස්ත්‍රියට කියුව හොත් එයින් ම උපසම්පදා ප්‍ර‍තික්ෂේපය සිද්ධ වේ. "

පාරාජිකා වීම යනු බුදුසස්නෙහි පරාජයට පත්වීමය.
පාරාජිකා වූවහුට බුදුසස්නෙහි නැවත උපසම්පදාව නො ලැබිය හැකිය.

යම් මහණෙක් විනයානුකූලව උපසම්පදාව ප්‍ර‍තික්ෂේප නොකොට උපසම්පදාවෙන් නො මිදී උපසම්පන්නයකු වශයෙන් සිටිමින් යටත් පිරිසෙයින් තිරිසන් මාගමක් සමඟ වුව ද මෛථුන සේවනයේ යෙදුණේ නම් ඒ මහණ පාරාජිකා වේ. සිල්වත් භික්ෂූන් හා සංවාසයට නුසුදුසු වේ.

“යො පන භික්ඛූ භික්ඛුනං සික්ඛාසාජීව සමාපන්නො සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්‍යං අනාවිකත්වා මෙථුනං ධම්මං පතිසෙවෙය්‍ය අන්තමසො තිරච්ඡානගතායපි, පාරාජිකො හොති අසංවාසො.”

පාරාජිකා වීම යනු බුදුසස්නෙහි පරාජයට පත්වීමය. පාරාජිකා වූවහුට බුදුසස්නෙහි නැවත උපසම්පදාව නො ලැබිය හැකිය. ඔහු කලක් ගිහිව සිට නැවත පැවිදි වී උපසම්පදා වුව ද ඔහුට ‘උපසම්පදාව නො පිහිටයි. ඔහු අනුපසම්පන්නයෙක් ම ය. ආනන්තර්‍ය්‍යකර්මවලින් හැර මෛථුන සේවනාදි වරදවලින් පාරාජිකාවූවන්ට එය ස්වර්ගමෝක්ෂයන්ට බාධාවක් නො වේ. ඔවුනට සාමණේරයන් වශයෙන් හෝ ගිහියන් වශයෙන් හෝ සිට පිළිවෙත් පුරා ස්වර්ගසම්පත්තිය ලැබිය හැකි ය. මඟපල ලබා නිවන් දැකිය හැකිය. පාරාජිකාවීමෙන් පසු භික්ෂුවක් වශයෙන් පෙනී සිටීම ඉමහත් වරදෙකි. එසේ කරන්නවුන්ට මඟපල නො ලැබිය හැකිය.

උපසම්පදාව ප්‍ර‍තික්ෂේප කොට අනුසම්පන්න වීමේ ක්‍ර‍ම රාශියක් විනයයෙහි දක්වා ඇත. අනුපසම්පන්න වීම ඉතා පහසුය. එය, ස්ත්‍රියකට ආරෝචනය කිරීමෙනුදු සිදු කර ගත හැකිය. රාගයෙන් තෙත්ව මත්ව මෛථුන සේවනයට සූදානම් වන භික්ෂුව “මම උපසම්පදාව ප්‍ර‍තික්ෂේප කරමිය. මෙතැන් පටන් මා අනුපසම්පන්නයකු ලෙස සැලකිය යුතුය” යි ඒ ස්ත්‍රියට කියුව හොත් එයින් ම උපසම්පදා ප්‍ර‍තික්ෂේපය සිද්ධ වේ. එසේ කොට මෙවුන්දම් සෙවුනා මහණ පාරාජිකා නො වේ. වුවමනා නම් නැවත ඔහුට උපසම්පදාව ලැබිය හැකි ය.

මනුෂ්‍ය ස්ත්‍රිය, අමනුෂ්‍ය ස්ත්‍රිය, තිරශ්චීන ස්ත්‍රිය යි ස්ත්‍රීහු තිදෙනෙකි. මනුෂ්‍ය උභතෝබ්‍යඤ්ජනකය අමනුෂ්‍ය උබතෝබ්‍යඤ්ජනකය, තිරශ්චීන උභතෝබ්‍යඤ්ජනකය යි උභතෝබ්‍යඤ්ජනකයෝ තිදෙනෙකි. මනුෂ්‍යපණ්ඩකය, අමනුෂ්‍යපණ්ඩකය, තිරශ්චීනපණ්ඩකය යි පණ්ඩකයෝ තිදෙනෙකි. මනුෂ්‍ය පුරුෂය, අමනුෂ්‍ය පුරුෂය, තිරශ්චීන පුරුෂය යි පුරුෂයෝ තිදෙනෙකි. මේ පුද්ගලයෝ දොළොස් දෙන මෛථුන පාරාජිකාවට වස්තු වෙති. වර්චස්මාර්ගය, මුත්‍ර‍මාර්ගය, මුඛමාර්ගය යි මෛථුනයට මාර්ග තුනෙකි. භික්ෂුවක් මෛථුන සේවනය කිරීමේ අදහසින් කියන ලද මාර්ග තුනෙන් කවරක හෝ පියවි සුළඟ නො වදනා තෙත් ගතිය ඇති කොටසට තමාගේ පුරුෂ නිමිත්ත තලැටක් පමණ වුව ද ඇතුළු කෙළේ නම් පාරාජිකා වේ. සේවනය කරන සිතය, මාර්ගය මාර්ගයට ඇතුළු කිරීමය කියා මේ සික පදයේ අංග දෙකකි.
- උපසම්පදා ශීලය
රේරුකානේ චන්දවිමල හිමිපාණෝ