20170629

"වෛද්‍ය මනසට නීති අවුල්"


"වෛද්‍යවරුන්ට නීති අවුල්"
වෛද්‍යවරුන්ට නීති වටහාගන්න බැහැ.

ඔවුන් විද්‍යාවේ සුපුරුදු ක්‍රමයට
උපකල්පන ඇති කරගෙන, ඒ උපකල්පන
සිද්ධාන්ත බවට පත්කරගන්න
උපක්‍රම සොයනවා.

නීතියෙදි එහෙම බැහැ.
නීතිය ක්‍රියාත්මක වෙන්නෙ
දැනටමත් පවතින නීති අනුවයි.

ධුර කාලය "දීර්ඝ කිරීම"
"නැවත පත් කිරීම"ක් විදියට
වෛද්‍යවරු අර්ථ දැක්වීම නිසා
ඒ දීර්ඝ කිරීම පත්වීමක් වෙන්නෙ නෑ.

"වෛද්‍යවරුන්ට නීති අවුල්" කියන
සිද්ධාන්තය වෛද්‍ය පාදෙණියටත් සත්‍යයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ, සභාපති
මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ධුර කාලය
තවත් මාස 06 කින් දීර්ඝ කිරීමට තමන් පියවර ගත් බව
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න
2017 ජනවාරි 26 පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ දීර්ඝ කිරීම ජුනි 30දායින් අවසන් වුණා.
දීර්ඝ කිරීමක් කියන්නෙ පවතින ධුර කාලය
තව මාස හයකින් දීර්ඝ කිරීමක්.
දීර්ඝ කිරීමක් කියන්නෙ නව පත්වීමක් නොවෙයි.

මේ දීර්ඝ කිරීම පත්වීමක් ලෙස
පටලවා ගන්නා වෛද්‍ය පාදෙණිය
ජනපති මෛත්‍රීට ලිපියක් යොමු කරමින්
තම නොදන්නාකම ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය සඳහා
අයකු පත් කිරීමට වෛද්‍ය ආඥා පනතට අනුව
සෞඛ්‍ය ඇමැතිවරයාට බලය පැවරී ඇතත්
ධුර කාලය අවසන් වීමට පෙර
තනතුරෙන් ඉවත් කළ හැක්කේ
සභාවේ කමිටු සාමාජිකයන්ට පමණක් කියා
වෛද්‍ය පාදෙණිය කියනවා.

දීර්ඝ කිරීමක් කළා,ඒ දීර්ඝ කිරීම අවසන්.
කමිටු සාමාජිකයන්ට කළ හැක්කේ කුමක්ද?

මේ ඔහුගේ තවත් අඳබාල තර්කයක්.
කෙනෙකු කියන දේක වචන වෙනස් කොට
තමන්ගේ වචන දමා අරුත් වෙනස් කොට
තර්ක ගොඩ නගන්නට වෛද්‍යවරු
බොහෝ විට පෙළඹෙනවා.
මේ පුරුද්ද කපටිකමකට වඩා
ඔහු කරන දේ ඔහු නොදන්නාකම විය හැකිය.

මේ තවත් එවැනි වචන පැටලිල්ලක්.

වෛද්‍ය සභාවේ සභාපති තනතුරට
අයකු පත් කරන්නේ
වෛද්‍ය ආඥා පනතට අනුව
විෂය භාර අමාත්‍යවරයා විසින්
වසර පහක කාලයක් සඳහා බවත්
කාලෝ ෆොන්සේකා "දෙවන ධුර කාලයේ"
වැඩ භාරගෙන මාස හයක් ගතවී ඇත.
එබැවින් තවත් වසර හතරහමාරක් ඉතිරිව ඇතැයි
වෛද්‍ය පාදෙණිය කියන්නේ
"ධුර කාලය දීර්ඝ කිරීම" පත් කිරීමකට සමානයි
යන අඳ බාල උපකල්පනයෙන්.

වෛද්‍ය පාදෙණිය ඇතුළු වෛද්‍ය සංගමය
මෙතරම් බොළඳ වන්නේ කෙසේදැයි
ඇදහිය නොහැකි තරම්ය.

එහෙත් ස්වභාවයෙන්ම වෛද්‍යවරු
නීති කටයුතු වලට අසමත්ය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම
වෛද්‍ය විද්‍යාව සඳහා අවම සුදුසුකම SSS කියල
නිර්ණායකයක් සකස් කරල තියනවා.
මේ නිර්ණායකය ඒ අයුරින් පිළිගන්න
වෛද්‍ය සිසුන් කැමති නැහැ.

අවම සුදුසු කම SSS කිව්වාම
වෛද්‍ය ශිෂ්‍යයාට ලොකු ගැටලුවක්.
ඔහු අහන්නෙ "එහෙම වෙන්නෙ කොහොමද?
අපේ එක පීඨයකවත් SSS කවුරුවත් නැහැනෙ?"

වෛද්‍ය විද්‍යාව සඳහා අවම සුදුසුකම
SSS කියල වෛද්‍ය සිසුන් පිළිගන්නෙ නැත්තෙ
දැන් වෛද්‍ය විද්‍යාලෙ SSS අය නැති නිසයි.

අවම සුදුසුකම ප්‍රකාශ කරන්න
එක වසරක ඉන්න සිසුන්ගෙ ප්‍රතිඵලවලින් බැරි බව
ඔවුන් කෙසේවත් වටහා ගන්නෙ නෑ.

ජීව විද්‍යා උසස්පෙළ ප්‍රතිඵල තියන
වෛද්‍ය සිසුන්ට මේ අවම සුදුසුකම් කතාව
තේරුම් ගන්න බැහැ.

අවම සුදුසුකම කියන්නෙ
ඒ වසරෙ අවම ප්‍රතිඵල නොවෙයි,
හැමදාටම පොදු නීතියක් බව
වෛද්‍ය විද්‍යාත්මක චින්තන රටාවෙන් සිතන
වෛද්‍ය ශිෂ්‍යයාට තෙරුම් ගන්න බෑ.

තමන්ගෙ මිම්ම කෝදුවක් වුණ පළියට
වතුරෙ දිග මනින්න බැහැනෙ.
වතුරෙ දිග මනින්න පරිමාව යොදාගන්නත්
ඔහු සූදානම් නෑ.

එක් විෂය ධාරාවක දැනුම් රටාවකට හුරු වුණ
කෙනෙකුට තවත් විෂය ධාරාවක ගැටළුවක්
මාහා ප්‍රහේළිකාවක් වෙන්නෙ ඇයි?

එක විෂය ධාරාවකින් මොළයෙ ඇති කරන
ක්‍රියාකාරී රටාව ඒ ධාරාවට පමණක් ආවේණිකයි.

වෛද්‍ය ශිෂ්‍යයෙකුගෙ චින්තන රටාවත්
නීති ශිෂ්‍යයෙකුගෙ චින්තන රටාවත්
ගිණුම්කරණ ශිෂ්‍යයෙකුගෙ චින්තන රටාවත්
ඉංජිනේරු ශිෂ්‍යයෙකුගෙ චින්තන රටාවත්
ආදී වශයෙන් විවිධ චින්තන රටා
එකිනෙකට ඉතාමත්ම වෙනස්.

වෛද්‍ය ශිෂ්‍යයාගෙ ගැටළුවකදි
ඔහු ඇති කරගන්න උපකල්පන මත
පරීක්ෂණ පවත්වමින් නිගමනවලට එළඹෙනවා.
බටහිර වෛද්‍යවරයාට
රෝගය නිශ්චිත නැත්නම්
ප්‍රතිකාර කරන්නෙත් ඒ විදියටමයි.

ඔහු අවම සුදුසුකම වශයෙන්
අද වෛද්‍ය පීඨවල ඉන්න සිසුන්ගෙ ප්‍රතිඵල
උපකල්පනය කරමින් සොයා බැලුවම
ඔහුට ලැබෙන දත්ත SSS වලට වඩා ඉහළයි.
ඔහුගෙ චින්තන රටාවට අනුව
වෛද්‍ය පීඨයෙන් පීඨයටත් අවම සුදුසුකම වෙනස්.
ඉතින් ඔහු අපට පෙන්වන්නෙ ඒ දත්තයි.

ඔහු හිතන විද්‍යාත්මක රටාව අනුව
ඔහුගෙ කෝඑණයෙ දෘෂ්ඨියට අනුව
ඔහු නිවැරදි බව ඔහුට සහතිකයි.
කොපමණ පැහැදිලි කළත්
ඔහු වටහාගන්නෙ නෑ.

නීති ශිෂ්‍යයා හිතන්නෙ ක්‍රියා කරන්නෙ
දැනට රටේ "පවතින නීති" අනුවයි.
ඒ නීති ප්‍රායෝගිකව
රටේ පවතින ආකාරය
ඔහුට අදාළ නෑ.
තමන්ගෙ ගැටලුව විසඳාගන්නට
වඩාත්ම නීත්‍යානුකූල ක්‍රමයට
තමන්ට සොයාගත හැකි විසඳුම
පවතින නීති රටාව තුළ
නීති ශිෂ්‍යයා සොයනවා.

වෛද්‍ය විද්‍යාව සඳහා අවම සුදුසුකම SSS
ඔහුගෙ ක්ෂෙත්‍රයට අදාළ වෙන
සරල නිර්ණායකයක්.

ඒ නිර්ණායකය සත්‍ය වෙන්න නම්
ඒ සුස්දුසුකමෙන් සිසුන් ගත යුතුයි
කියා ඔහු හිතන්නෙ නෑ.
SSS සුදුසු කම ඇති කෙනෙක්
ක්වදාවත්ම බඳවා නොගත්තත්
වෛද්‍ය විද්‍යාව සඳහා අවම සුදුසුකම SSS කියා
නීති ශිෂ්‍යයා පිළිගන්නවා.

වෛද්‍ය ශිෂ්‍යයාත් නිකමට හෝ කලක්
නීතිය හැදෑරුවොත් ඔහුට මේ වෙනස
හඳුනාගත හැකි ප්‍රමාණයටවත්
මොළයෙ නීතිමය ප්‍රදේශය
උත්තේජනය කරගන්න පුලුවන්.

ඔවුන්ගෙ මොළයෙ නීතිගරුක ප්‍රදේශය
ඔවුන් කවදාවත් පුහුණු කරල නෑ.

වෛද්‍ය පාදෙණිය, වෛද්‍ය කාලෝ පවා
මේ නීතිමය ඌණතාවයෙන් පෙළෙනවා.
නීති වෙනස් කරගන්න අයුතු බලපෑම් කිරීමට
ඔවුන්ගේ සිතුවිලි ඔවුන් පොළඹවන්නේත්
ඒ අනුව නීතියට අභියෝග කරමින්
නීතියට නින්දා අවමන් කරමින්
ඔවුන්ගේ උගත්කම්වලට නොසරිලන සේ
හිරිකිතයක් නැතිව හැසිරෙන්නේත්
මේ ඌණතාවය නිසයි.

වෛද්‍ය ශිෂ්‍යයෙකුට මහා ගැටළුවක් වන
වෛද්‍ය විද්‍යාව සඳහා අවම සුදුසුකම SSS නීතිය
නීති ශිෂ්‍යයෙකුට නම් මොහොතෙන් වැටහේවි.

වෛද්‍ය ශිෂ්‍යයෙකුගෙ භාෂාවෙන්
ඔවුන්ගෙ ක්ෂේත්‍රයෙ අවස්ථාවක්
අපිට සලකා බලන්න පුළුවන්.

මොළයට හානියක් නොවෙන්න
අවශ්‍ය අවම ඔක්සිජන් ප්‍රමාණය
සියයට 80ක් කියල අපි කිව්වොත්
එක් නිශ්චිත රටක මිනිස්සු
කවදාවත් එතනට නොබහින්න පුලුවන්.
ඒ නිශ්චිත පිරිසෙ අයගෙ මොළය පත්වෙන
අවම ඔක්සිජන් සීමාවෙ දර්ශකය
සියයට 90ක් වුණා කියලා ඒ නිසා
මොළයට හානියක් නොවෙන්න
අවශ්‍ය අවම ඔක්සිජන් ප්‍රමාණය
සියයට 70 කියල නියම කරන්න
ඒ පිරිසට අයිතියක් නෑ.

දැන් මේ ලිපිය කියවා
වෛද්‍ය ශිෂ්‍යයන් මගෙන් අහන්නෙ
මේ අවම ඔක්සිජන් ප්‍රමාණයත්
අවම සුදුසුකමත් සැසඳෙන්නෙ කොහොමද
කියල වෙන්න පුලුවන්.

[ පසු වදනක් ]
වෛද්‍ය ක්ෂේත්‍රයේ අයට
මේ සරල සත්‍යය වටහා ගැනීම
මෙතරම් අසීරු වෙන වෙනත් හේතුවක්
අපිට දකින්න පුලුවන්.

වෛද්‍යවරුන්ගේ උසස් පෙළ ප්‍රතිඵලය
ප්‍රසිද්ධියේ හෙළි නොකරන සමහරු
 සමාජයේ වෙසෙන්නේ
උසස්පෙළ ප්‍රතිඵල ලෙස AAA ගත්
වෘත්තිකයන් පිරිසක් වගෙයි.
සමාජයේ උසස්පෙළ නැති අය
ඔවුන් හෙළා දකින්නෙත් ඒ නිසයි.

මේ මාන්නය ඇති පිරිසට
වෛද්‍ය විද්‍යාව සඳහා අවම සුදුසුකම SSS කීම
මදිකමක් ලෙස හිතෙනවා ඇති.

ඒ නිසාත් ඒ මට්ටමේ අය අප අතර නෑ
කියා වාද කරනවා විය හැකියි.

මේ දෙකෙන් කුමක් මුල්වේද යන්න
අවස්ථාවෙන් අවස්ථාවට සලකා බලා
තීරණය කළ යුතුයි.








රජයේ වෛද්‍ය සංගමයේ අතීතයෙන් බිඳක් -'රාවය'

වාර්ෂික ආදායම රුපියල් කෝටි 2.5ක් වන සංගමයේ 
කාර්යාලය පවත්වාගෙන යෑම සඳහා පමණක් 
රුපියල් කෝටි 1.7ක් වැයවී ඇත. 
මිලියන 25න් 17ක්ම කාර්යාලය පවත්වාගෙන යෑමට නම් 
අනෙක් වැඩ කටයුතු සඳහා ඉතිරිවන්නේ 
මිලියන 8ක මුදලක් පමණි. 

සංගමයක ප‍්‍රධානම කාර්යභාරය 
කාර්යාලය පවත්වාගෙන යෑමද? 

 රජයේ වෛද්‍ය සංගමය පිළිබඳව
2014 මැද දී 'රාවය' පුවත් පතට තරිඳු උඩුවරගෙදර ලියූ ලිපියක්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කරන ලද්දේ 1926 වර්ෂයේදීය. ලංකාවේ පැරණිතම සහ ප‍්‍රබලතම වෘත්තීය සමිතියක් ලෙස පිළිගනු ලබන එම සංගමය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රබලතම වෘත්තීය සමිතියයැ’යි හැඳින්වීමෙහිද වරදක් නැත.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ තීරණාත්මක අවස්ථාවලදී සටන්කාමී ලෙස ක‍්‍රියාත්මකවෙමින් වෛද්‍ය සංගමය ලබා ගත් ඓතිහාසික ජයග‍්‍රහණ ලංකාවේ වෙනත් වෘත්තීය සමිතිවලටද ආදර්ශයක් විය. වැඩිම කාලයක් 88-89 කාලයේදී අඛණ්ඩව වැඩ වර්ජනය කොට ධවල පත‍්‍රිකාව පරාජය කිරීමේ සටනෙහි පෙරමුණ ගත්තේද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. ඔවුන්ගේ බලපෑම් හේතුවෙන් රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරාගැනීමටද එවකට සිටි එජාප ආණ්ඩුවට සිදුවිය.

විද්වත් වෘත්තීය සමිතියක් ලෙසද ගෞරවයට පාත‍්‍රවී ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මේ වනවිට විධායක කමිටුව වාරණයට ලක්වී තිබෙන අකර්මණ්‍ය වෘත්තීය සමිතියක් බවට පත්ව ඇත. සංගමය අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරින්ද ඔවුන්ට එල්ල වී ඇත්තේ චෝදනාය. වෘත්තීය සමිතියක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තිබෙන බලය නිසාම මේ චෝදනා ගැන සොයා බැලිය යුතුමය.

දූෂිත නිලවරණය

 මේ වනවිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2014 නිලවරණය හා විධායක කමිටුව සම්බන්ධයෙන් අධිකරණ ක‍්‍රියාමාර්ග 5ක් ක‍්‍රියාත්මකවෙමින් පවතියි. ගල්කිස්ස දිසා අධිකරණය ලබා දුන් තීන්දුවක් අනුව නිලවරණයෙන් පත් කරගන්නා ලද නව විධායක කමිටුව වාරණයට ලක් කර ඇත.

නිලවරණය පිළිබඳව සංගමයේ විධායක කමිටුවේ හිටපු සාමාජිකයෙක් රාවයට මෙසේ අදහස් දැක්වූයේය.

‘අනුරුද්ධ පාදෙණිය පාර්ශ්වය 2014 නිලවරණයේදී උප සභාපති තනතුරට යෝජනා කළේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකාවක්. ඒක ව්‍යවස්ථානුකූල නොවන හින්දා පිරිසක් නිලවරණ කමිටුවට ඒ බව පැමිණිලි කළා. එහෙත් නිලවරණ කමිටුව එය නීත්‍යනුකූලයි කියලා තීන්දු කළා. ඇත්තටම නිලවරණ කමිටුව ස්වාධීන නැහැ. ඒක සභාපතිවරයාගේ පාලනය යටතේ තියෙන්නේ. මේ නිසා පිරිසක් අධිකරණයේ නඩුවක් දැම්මා. නඩු තීන්දුව ලැබෙන්නේ උප සභාපති තනතුර සඳහා පාදෙණිය පාර්ශ්වයේ යෝජනාව නීත්‍යනුකූල නොවන එකක් කියලා. ඒ නමත් නීත්‍යනුකූල නොවන එකක්. ඡුන්ද පත‍්‍රිකා මුද්‍රණය කරන එකත් තහනම් කරනවා. ඒත් අධිකරණ නියෝගය නොතකා කලින් විදියට ඡන්දය තියන්න මේ අය උත්සාහ කළා. මේ නිසා වෛද්‍යවරු පිරිසක් ඡුන්දය දූෂිතයි කියලා තවත් නඩුවක් ගල්කිස්ස දිසා අධිකරණයේ ගොනු කරනවා. එතැනින් තීන්දුවක් ලැබෙනවා නිලවරණය පවත්වන්න එපා කියලා. ඒත් අධිකරණ නියෝගය ඉදිරිපත් නොකර මේ අය අභියාචනාධිකරණයේ තීන්දුවක් ලබාගන්නවා උප සභාපති තනතුර නොමැතිව ඡන්දය පවත්වන්න. ඒත් ගල්කිස්ස අධිකරණයේ තීන්දුව අහෝසි වුණේ නැහැ.’

ජූනි 28 වැනිදා අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුව අනුව නිලවරණය පවත්වන අතර එය අධිකරණයට අපහාස කිරීමක් බව පවසමින් විරුද්ධ පාර්ශ්වය නැවතත් ගල්කිස්ස දිසා අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. දිසා අධිකරණයෙන් නිලවරණයේ තනතුරු සඳහා වාරණයක් ලබාදී අගෝස්තු 4 වැනිදා කරුණු ඉදිරිපත් කරන ලෙස විධායක කමිටුවට දැනුම් දී තිබේ. මෙම අධිකරණ ක‍්‍රියාමාර්ග 4ට අමතරව සංගමයේ භාරකාරීත්වය දරන සාමාජිකයන් දෙදෙනෙකු විසින්ද අනෙක් සාමාජිකයන් තිදෙනා වන ප‍්‍රසන්න දසනායක, පබා පලිහවඩන, සමන් අභයවර්ධන යන වෛද්‍යවරුන් තම අදහස් නොවිමසා ඒකපාර්ශ්විකව කටයුතු කර ඇතැ’යි නඩු පවරා තිබේ.

‘දැන් අනුරුද්ධ පාදෙණිය පිලේ කණ්ඩායමක් ප‍්‍රචාරයක් ගෙනියනවා මේ අධිකරණයට ගිහින් තියෙන්නේ බාහිරින් මුදල් ලබන ද්‍රෝහීන් පිරිසක් කියලා. මේක දැන් ආණ්ඩුව ගේන දේශද්‍රෝහී තර්කය වගේ එකක්. අධිකරණයට ගියේ හත්දෙනෙක් නිසා මේ අය කියන්නේ හත්දෙනයි විරුද්ධ කියලා. එහෙමනම් ඒ අයටත් ඉන්නේ විධායක කමිටුවේ 13 දෙනෙක් විතරයි. සංගමය ඇතුළෙන්ම මේ අයට දැඩි විරෝධයක් එල්ලවී තිබෙනවා.’ රාවයට අදහස් පළ කළ සාමාජිකයා වැඩිදුරටත් කීවේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යම් බෙදීමක් ඇතිවී තිබෙන බව ලබාදී ඇති නඩු තීන්දුවලින් සහ සංගමයේ හිටපු සභාපතිවරයාට එරෙහිව නැගී ඇති චෝදනාවලින් හෙළිවේ.

‘2000 අවුරුද්දේ ඉඳන් තමයි අනුරුද්ධ පාදෙණිය මහතා සංගමයේ බලය අල්ලන්න පටන් ගත්තේ. දැන් සම්පූර්ණයෙන්ම වගේ සංගමයේ ප‍්‍රධාන තනතුරු ඔහුගේ පාලනය යටතේ තියෙන්නේ. නිලවරණ කමිටුවත් භාරකාර මණ්ඩලයත් සංගම් ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකළ නිසා තමයි මේ අර්බුදය ඇතිවෙලා තියෙන්නේ. දැන් සංගමයේ තනතුරු වාරණය වෙලා තියෙන නිසා භාරකරුවන් විසින් අන්තර්වාර කමිටුවක් පත් කරන්න ඕනෑ. ඒත් මේ අය පාදෙණියගෙ ළඟම හිතවතෙක් වෙච්ච චන්දික එපිටකඩුව මාධ්‍ය ප‍්‍රකාශක කරලා සංගමය තවමත් වෛද්‍ය පාදෙණියගේ යටතේ තියාගෙන ඉන්නවා. ඇත්තටම කිව්වොත් වෛද්‍ය පාදෙණිය බයයි අන්තර්වාර කමිටුවකට තාවකාලිකව බලය දෙන්නවත්. ඒක නිසා තමයි ජූනි 28 වැනිදා තමන් අතේ බලය තිබියදීම ඡන්දය තියන්නේ. ඡන්දය කල් ගියා නම් ඒක පවත්වන්න වෙන්නේ ස්වාධීන කමිටුවක් යටතේ.’

විධායක කමිටුවට සංගමයේ අභ්‍යන්තරයෙන්ම චෝදනා රැසකි. කමිටු සාමාජිකයන් අසාමාන්‍ය ලෙස පශ්චාත් උපාධි සමත්වීමත්, ජනප‍්‍රිය පාසල්වලට සාමාජිකයන්ගේ දරුවන් ඇතුළත් කිරීමේදී විධායක කමිටුව ක‍්‍රියාකරන පක්ෂග‍්‍රාහී ස්වභාවයත් සාමාජිකයෝ ප‍්‍රශ්න කරති.

සංගමයේ සාමාජිකයන් පවසන ආකාරයට වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ පාර්ශ්වය නිලවරණ පවත්වන්නේද වත්මන්(2014) ආණ්ඩුව මෙන් බලය අතැ’තිව දූෂිත ආකාරයටමය. ආණ්ඩුවේ සිංහල බෞද්ධ ඡුන්ද පදනම මෙන් පාදෙණිය පාර්ශ්වයේ ඡුන්ද පදනම වන්නේ අලූතෙන් පත්වීම් ගත් තරුණ වෛද්‍යවරුන්ය. නවක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඡන්ද ලබාගැනීමට ඔවුන් විවිධ ආකාරයෙන් ක‍්‍රියාත්මක වන බව අනෙක් පාර්ශ්වය පවසයි.

‘දැන් අලූතෙන් පත්වෙච්ච විධායක කමිටුව වාරණය කරලා තියෙද්දීත් සංගමයේ වියදමින් පිරිසක් සාමාජිකයන්ට එස්එම්එස් යවනවා සංගමය දුර්වල කරන්න බාහිර පාර්ශ්ව කටයුතු කරනවා කියලා. අපි ඇත්තටම විරුද්ධ වූයේ සංගමයට නෙවෙයි. අනුරුද්ධ පාදෙණිය මහතා ප‍්‍රමුඛ කණ්ඩායමට. ඡන්දයට කලිනුත් මේ අය ඡුන්දය දෙන අයට එන්න බස් දීලා කන්න බොන්න දීලා වෛද්‍ය පාදෙණියගේ ප‍්‍රචාරක කටයුතු කළා. ප‍්‍රාදේශීය වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවලා ඡන්ද කරන්නේ නැත්තේ මේ වාසිය ලබාගන්න බැරි නිසා. මේ නිසා මෑත කාලේ ප‍්‍රකාශ වුණේ ඡන්ද ඉතා අඩුවෙනුයි.’

කිසිවෙකුගෙන් චෝදනා නොලබන ආකාරයට මධ්‍යස්ථව සංගමයේ නිලවරණ පැවැත්විය යුතුය. ඒ සංගමයේ නිලධාරීන් බහුතර සාමාජිකයන්ගේ මතය ඉදිරිපත් කළයුතු නිසාය. කණ්ඩායම් වශයෙන් බෙදී පවතින්නේ නම් එය එක් වෘත්තීය සමිතියක් නොවේ, දෙකකි.

මූල්‍ය චෝදනා

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලතල දරන වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ පාර්ශ්වයට මූල්‍යමය චෝදනා ද එල්ල වී ඇත. සංගමයේ 2013 වර්ෂයට අදාළ විගණන වාර්තාවෙහි කරුණු රැුසක් පිළිබඳව විරුද්ධ පාර්ශ්වය විසින් චෝදනා කර ඇත.

වාර්ෂික ආදායම රුපියල් කෝටි 2.5ක් වන සංගමයේ කාර්යාලය පවත්වාගෙන යෑම සඳහා පමණක් රුපියල් කෝටි 1.7ක් වැයවී ඇත. මිලියන 25න් 17ක්ම කාර්යාලය පවත්වාගෙන යෑමට නම් අනෙක් වැඩ කටයුතු සඳහා ඉතිරිවන්නේ මිලියන 8ක මුදලක් පමණි. සංගමයක ප‍්‍රධානම කාර්යභාරය කාර්යාලය පවත්වාගෙන යෑමද?

සංගමයේ සේවක වැටුප් සඳහා රුපියල් ලක්ෂ 58කට ආසන්න මුදලක් වෙන් කර ඇතත්, දැනගැනීමට ලැබෙන ආකාරයට කාර්යාලයේ ස්ථිර සේවකයන් සිටින්නේ දහයටත් අඩු ප‍්‍රමාණයකි. අනෙක් අතට සේවකයන්ගේම සේවක අර්ථසාධක අරමුදල් සඳහා වියදම් කර ඇත්තේ රුපියල් ලක්ෂ 3.5ක් පමණකි. 56 ලක්ෂයක වැටුප් ලබන සංගමයේ අනියම් සේවකයෝ කවරහුද?

මීට අමතරව සංග‍්‍රහ වියදම් සඳහා රුපියල් ලක්ෂ 26ක්ද, ප‍්‍රවාහන වියදම් ලෙස රුපියල් විසි දෙලක්ෂ හතළිස් නව දහසක්ද තවත් මෙවැනිම සැකසහිත අධික වියදම් රැසක්ද සාමාජිකයන්ගේ ප‍්‍රශ්න කිරීම්වලට ලක්ව තිබේ.

වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සාමාජිකයන් සඳහා වාහන ස්ටිකරයක් අලෙවි කර ඇති බවත් එක් ස්ටිකරයකින් රුපියල් 450 බැගින් ලබාගෙන ඇති බවත් දැනගැනීමට ලැබිණි. වෘත්තීය සමිති ආඥා පනත අනුව වෘත්තීය සමිතියකට ව්‍යාපාර කළ නොහැකිය.

සංගමය වාරණය කළ අවස්ථාවේදී ව්‍යවස්ථානුකූලව අන්තර්වාර කමිටුවක් හරහා මූල්‍ය පරිපාලනය සිදුකිරීම වෙනුවට සාමාජිකයකුගෙන් රුපියල් 1000 බැගින් එකතු කිරීමටද කටයුතු කර ඇත. නිලතල වාරණය කර ඇති අවස්ථාවක මුදල් එකතු කිරීම ගැටලූවකි. නිලධාරීන් සංගමයේ නාමය භාවිත නොකරන බැවින් එය ආයතන සංග‍්‍රහය ඉක්මවා යෑමක්ද විය හැකිය.

දෑත් පිරිසිදු නම්

 තවත් චෝදනා මල්ලකි. එවැනිම බරපතළ චෝදනාය. අභ්‍යන්තරයෙන් පමණක් නොව බාහිරින්ද චෝදනා ය. මේ සියලූ චෝදනාවලට අමතරව පැහැදිලි පිළිතුරු නොලැබුණු චෝදනා රැුසක් පෞද්ගලිකව අනුරුද්ධ පාදෙණිය මහතාටද එල්ල වී ඇත. මේ සියල්ලට පිළිතුරු ලබාදී තම දෑත්වල පිරිසිදුභාවය ඔප්පු කර පෙන්වා තනතුරුවල රැුඳී සිටීම වෘත්තීය සමිති නායකයන් ගතයුතු මගය.

තනතුරෙන් පෞද්ගලික වාසි නොලැබෙන්නේ නම් තවත් පිරිසකගේ අප‍්‍රසාදය මත තනතුරු දැරිය යුතු නැත.

අනෙක් අතට වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියක් අනෙක් සමාන්තර වෘත්තීය සමිතිවල සතුරෙකු ලෙස පෙනී සිිටිය යුතු නැත. අවශ්‍යවන්නේ වෘත්තියේ පොදු මතය නියෝජනය කිරීම පමණි.

සියලූ වියදම් විගණනය කර තිබෙනවා – වෛද්‍ය චන්දික එපිටකඩුව – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ බලන මාධ්‍ය ප‍්‍රකාශක

 ඇතැම් අය විවේචනය කරන සංගමයේ වාර්ෂික විගණන වාර්තාව වසර ගණනක් තිස්සේ සංගමයේ ගිණුම් විගණනය කරන සමාගම විසින්ම කරන ලද නීත්‍යනුකූල ලියවිල්ලක්. එය මහා සභාවේදී ඒකමතිකව සම්මත වුණා. එය ලාභද පාඩුද කියලා කියන්න ඕනෑ කෙනෙක්ට පුළුවන්. කවුරුත් මේකේ නීත්‍යනුකූලභාවය ප‍්‍රශ්න කළේ නැහැ.

සංගමයට ආහාරපානවලට, ප‍්‍රවාහනයට ලොකු වියදමක් යනවා තමයි. අපේ සාමාජිකයන් 20,000ක් පමණ ඉන්නවා. වසරක් තුළ සංගමයේ විවිධ රැස්වීම් විශාල ප‍්‍රමාණයක් පවත්වන්න වෙනවා. ඒ රැස්වීම්වලයි, සංග‍්‍රහ වියදම්, ප‍්‍රවාහන වියදම් සිද්ධ වෙනවා. මේ අය මේ දේවල් හදිසියේ හොයාගත්ත දේවල් වගේ උළුප්පලා පෙන්නන්න උත්සාහ කරනවා. ඒත් අපි මේ සියලූ වියදම් නීත්‍යනුකූලව විගණනය කරලා තියෙනවා. විවේචනය කරන අය කියන්නෙත් වියදම් වැරදියි කියලා නෙවෙයි, වැඩියි කියලායි.

චෝදනාවක් තියෙනවා මෙවර නිලවරණයේදී ප‍්‍රකාශ වෙලා තියෙන ඡුන්ද ප‍්‍රමාණය අඩුයි කියලා. එහෙත් මෙවර නිලවරණය පැවැත්වුණේ තනතුරු 5ක් සඳහා පමණයි. ඒ නිසා මෙවර ඡන්දය ලබාදෙන්න වෛද්‍ය නිලධාරීන් උනන්දුවක් දැක්වූවේ නැහැ.

අධිකරණ තීන්දුවක් මගින් සංගමයේ විධායක කමිටුව වාරණයට ලක් කළත් සංගමය ක‍්‍රියාත්මක වෙනවා. සංගම් කාර්යාලයේ සේවකයන්ට පඩිනඩි ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපට සිද්ධ වුණා වාරණය කළාට පසුව මේ කටයුතු සඳහා සාමාජිකයන්ගෙන් මුදල් එකතු කරන්න. නිලතල භාවිත කිරීමේ ගැටලූවක් තිබුණත් අපට ඒ විදියට ක‍්‍රියාත්මක වෙන්න සිද්ධ වුණා.

අන්තර්වාර කමිටුවක් පත්කර ගන්න සංගම් ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන තිබුණත් මේ අවස්ථාවේ ඡන්දයෙන් පත්වෙච්ච විධායක කමිටුවක් ඉන්න නිසා අන්තර්වාර කමිටුවක් පත්කරන්නේ නැහැ. එහෙම කළොත් වාරණය ඉවත් කළ පසුව ක‍්‍රියාකාරී කමිටු දෙකක් ඇතිවෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් තවමත් පෙනී සිටිනවා.

ඔවුන් මුළු ක්ෂේත‍්‍රයම දුර්වල කරනවා –
සමන් රත්නප‍්‍රිය – රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සටන්කාමී ඉතිහාසයක් තිබුණා. සෞඛ්‍ය ක්ෂේත‍්‍රය පෞද්ගලිකකරණයට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති ඒකාබද්ධ සම්මේලනය නිර්මාණය කළ අවස්ථාවේ අප ලේකම් වශයෙනුත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති එහි සභාපති වශයෙනුත් ක‍්‍රියා කළා. ඒත් මෑත කාලයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිතියක් වශයෙන් සාමූහිකව කේවල් කිරීම කියන ජාත්‍යන්තර මට්ටමේ සාධකවලින් විතැන් වෙලා තියෙනවා.

ඔවුන් හිතාමතාම අනෙක් වෘත්තිකයන් අතර ගැටුම නිර්මාණය කරනවා. සමසෞඛ්‍ය ප‍්‍රශ්නයේදීත්, සූතිකාගාර පුහුණුව සම්බන්ධ ප‍්‍රශ්නයේදීත් ඔවුන් හැසිරුණේ ඉතාම නරක විදියටයි.

මෑත කාලයේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ වගේම රටටම බලපාන පොදු කාරණාවලදී මේ සංගමය නිහඬව හිටියා. අපි හොඳින්ම දැක්කා විශ‍්‍රාම වැටුප් පාරිතෝෂිකය අහිමිවීමේ අවදානමක් ඇතිවූ අවස්ථාවේදී වගේම අසාධාරණ ලෙස විදුලි ගාස්තු වැඩිවූ අවස්ථාවේදීත් සියලූ වෘත්තීය සමිති පාහේ ක‍්‍රියාමාර්ගවලට එළැඹෙන විට මෙම සංගමය ප‍්‍රකාශයක්වත් නිකුත් කළේ නැහැ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සාහ කරන්නේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ එකම උපාධිධාරීන් විදියට අධිපතිවාදයක් ක‍්‍රියාත්මක කරන්න. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෙනත් අයට අදාළ තනතුරු විශාල ප‍්‍රමාණයක් ඔවුන් බලහත්කාරයෙන් වෛද්‍යවරුන්ට පවරලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ විතරක් වෛද්‍යවරු 125ක් වෛද්‍ය වෘත්තියෙන් පිට රාජකාරිවල යෙදෙනවා. වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවත් අමතක නොකළ යුතුයි.

මේ වෙනකොට සෞඛ්‍ය පරිපාලනය වෛද්‍යවරුන් හරහා සංගමයේ නිලධාරීන් පිරිසක් අතට අරන් තියෙනවා. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයම දුර්වල කරන්න මේ සංගමයට හැකියාවක් තිබෙනවා.

මූලාශ්‍රය – තරිඳු උඩුවරගෙදර (රාවය)