20180215

නිරාගමික නිදහස ඇමරිකානු සිසුන් රැසක් ඝාතනය කරයි.

විද්‍යාව කොතෙක් දියුණු වූවද
මිනිස් සිත ආවේගශීලී වූ විට පාලනය කළ හැකි
විද්‍යාත්මක ක්‍රමයක් හෝ උපකරණයක්
මෙතෙක් ලොව නිපදවා නැත.
සිත සමනය කරන හැකියාව ඇති
එකම උපකරණයද සිතම පමණි.

සිත භාවිතා කොට සිත දමනය නොකර
සිය ආවේගය නිදහසේ නිදැල්ලේ මුදා හළ
මේ වියරු පාසල් සිසුවා භුක්ති වින්දේ
ඇමරිකානු සමාජය තුළ පවතින
නිරාගමික නිදහසයි.

ඇමරිකාවේ උසස් පාසලක වෙඩි තැබීමක්-17ක් මරුට


ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පාර්ක්ලන්ඩ්හි උසස් පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 17දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

විනය සම්බන්ද හේතුන් මත එම පාසලෙන් නෙරපනු ලැබූ 19 හැවිරිදි පුද්ගලයකු විසින් මෙම වෙඩිතැබීම සිදුකරනු ලැබ ඇති බවත් ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

රයිෆලයක් රැගෙන පැමිණි සැකකරු සිසුන් තිදෙනකු පාසලෙන් පිටතදී ද 12 දෙනකු පාසල තුළදීද ඝාත‍නය කර ඇත. තවත් දෙදෙනකු රෝහලට ගෙනයන අවස්ථාවේ මියගොස් ඇත.

වෛද්‍යවරුන් පවසන්නේ තුවාල ලැබූ අයගෙන් පස්දෙනකුගේ තත්ත්වය බරපතල බවයි.

2012 වර්ෂයේ කනෙක්ටිකට් ප්‍රාන්ත පාසලක සිදුවූ වෙඩි තැබීමකින් ළමුන් 20දෙනකු මියගිය අතර ඉන්පසුව පාසලක සිදු වූ භයානකම වෙඩිතැබීමේ සිද්ධිය මෙය බව බලධාරීහු පවසති.

මේ වසරේ පළමු දින 45 තුළ
ඇමරිකාවේ පාසල් සිසුන්ට වෙඩි තැබීම් 6ක් සිදුවිය.
මේ හය වැනි වෙඩි තැබීමයි.

අතීතයේ කෙනෙක් කඩුවක් ගෙනැවිත් කෙටුවා නම්
මේ ප්‍රමාණය මීට වඩා බෙහෙවින්ම අඩුවෙයි.

විද්‍යාත්මක දියුණුව මගින්
මරන්නට සැරසෙන මිනීමරුවන්ටත්
අවශ්‍ය විද්‍යාත්මක පහසුකම්
නො අඩුව සපයන්නේ මුදලටයි.

විද්‍යාවේ දියුණුව සමග
මිනිසා සියල්ලෙන්ම නිදහස සොයන්නට විය.
පළමුවෙන්ම ඔහු නිදහස සොයන්නේ
ආහාර, ඇඳුම් පැළඳුම් හා නිවාස ආදියටයි.
මේ මූලික අවශ්‍යතාවයන්ගෙන් සුඛිත මුදීත වී
විද්‍යාත්මකව දියුණු බටහිර සමාජය තුළ
හිතේ උපදින කාමයට තටු ලැබෙන්නේය.

රස කාමය නිදහසේ විඳින්නට
ඒ නිදහස අන් අයට හිරිහැරයක් නොවන සේ
සංවරව සහ සංයමයෙන් විඳින්නට
අතීතයේ සිට පැවත එන ශීලාචාර ක්‍රම වන
ආගමෙන්, සංස්කෘතියෙන්, සදාචාරයෙන් වෙන් වී
උපරිම නිදහස සොයා ගිය මිනිසාගේ ගමන
නිරාගමික වීමෙන් කූටප්‍රාප්තිය ලැබීය.

සිත සසල වූ විට, කුපිත වූ විට
ඒ කැළඹුණු සිත සමනය කරගන්නට සහ
සමාහිත කරගන්නට, ප්‍රඥාවෙන් විමසන්නට
සියලු ආගම් වලින් නොයෙක් ක්‍රම සපයා ඇත.
මිනිසාගේ හැඟීම් සහ ආශාවන්
අන් අයට හිරිහැර නොකොට විඳින්නට
මිනිසාට අවශ්‍ය නිදහස ලබා දෙන
සරලම මාර්ගය වන ආගම
විලංගුවක් ලෙස සලකා බැහැර කොට
බලෙන් ලබාගත් නිරාගමික නිදහස තුළ
ආගමෙන් ලබා දුන් පහසුකමට සරිලන
කිසිදු විකල්පයක් ඉදිරිපත් නොවීය.

විද්‍යාව කොතෙක් දියුණු වූවද
මිනිස් සිත ආවේගශීලී වූ විට පාලනය කළ හැකි
විද්‍යාත්මක ක්‍රමයක් හෝ උපකරණයක්
මෙතෙක් ලොව නිපදවා නැත.
සිත සමනය කරන හැකියාව ඇති
එකම උපකරණයද සිතම පමණි.

සිත භාවිතා කොට සිත දමනය නොකර
සිය ආවේගය නිදහසේ නිදැල්ලේ මුදා හළ
මේ වියරු පාසල් සිසුවා භුක්ති වින්දේ
ඇමරිකානු සමාජය තුළ පවතින
නිරාගමික නිදහසයි.

කෝපාවිෂ්ඨ වූ කෙනෙකු තුවක්කුවක් රැගෙන
සිය කෝපය මුදා හැරීම අමානුෂිකය.
සියල්ලන් පොදුවේ සමාන  මිනිසුන් ලෙස සලකා
සියල්ලන්ටම දෙන මානව හිමිකම් වලින්
මෙවන් අසමාන මිනිසුන් බිහිවන්නට
මග හසර සකස් වෙයි.

මේ සාහසික මිනීමරුවාගේ
පීඩනයට, ආතතියට හේතුව ලෙස
මෙම පාසලේ සිසුවෙකු සඳහන් කළේ
ඔහු විසින් කළ කාමුක යෝජනාවක්
සිසුවෙක් හෝ සිසුවියක් ප්‍රතික්ෂේප කිරීම
මේ සමූහ ඝාතනයට හේතුව බවයි.

කාමයට නිදහස උපරිමයෙන් ඇති
ඇමරිකානු සමාජය තුළ වෙසෙන ඔහු
මේ ප්‍රතික්ෂේප කිරීම සැලකුවේ
ඔහුට කළ අපරාධයක් ලෙස බව
ඔහුගේ හැසිරීමෙන් පෙනෙයි.

කාමයට නිදහස ලබා දෙන සමාජයක
කාමුක ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරන්නට ඇති
සාධාරණ මානුෂික නිදහසද ඒ සමගම
ඊට සමානුපාතිකව අවම වෙයි.

මේ සිදුවීමෙන් භීතියට පත් වෙන
මේ පාසලේ සිසු සිසුවියන්ට සිදු වන්නේ
මෙවැන්නෙක් කරන කාමුක ඉල්ලීමකට
මේ භීතිය නිසාම එකඟ වන්නටය.
මෙවන් කාමුක ඉල්ලීමක් ලද විට
"17 දෙනෙකුට වෙඩි තියන මිනිසුන් අතර
තනි මා අනාරක්ෂිතය" යන බිය
ඔවුන් තුළ පහළ වීම සාධාරණය.

නිරාගමික ලෝකය ප්‍රතික්ෂේප කළත්
සියලුම මිනිසුන් එකිනෙකාට බෙහෙවින් වෙනස්ය.

"සියල්ලෝම සමානයි" කියන තර්කය
ව්‍යාජ පුහු මායාවක් පමණක් බව
මේ මිනිසා ලොවට ඔප්පු කොට ඇත.

ඔහුගේ ඉල්ලීමට එකඟ වුණා නම්
ඔහු කරන්නේ ඇය රිසි සේ පාවිච්චිකොට
හපය ඉවත දැමීම පමණක් නොවේද?

මෙවන් අපරාධයක් කළ හැකි
නරුම කාම අපරාධකරුවෙකුට
කළ නොහැක්කේ කුමක්ද?

ඔහුගෙ මේ වෙනස හඳුනාගන්නට
පාසල් සිසු සිසුවියන් පුහුණු නොකොට
"සියල්ලන්ම සමානයි" යන මායාවෙන්
පාසල් සිසුන්ගේ අහිංසක ඇස් අඳ කළ
මේ පාසලේ නිරාගමික සංස්කෘතිය විසින්
මේ ඝාතන වල වගකීම භාර ගත යුතුය.

කාමයෙන් දැවෙමින් කෙනෙකු පසුපස එන
නොමිනිස් වන මෘග සිත් ඇත්තෙකුට
ඔහුගේ කාමුක ඉල්ලීම ප්‍රතික්ෂේප වීමෙන් පසු
මානසිකව පත්වන්නේ ගෞදුරක් සොයන
මෘගයෙකුගේ භූමිකාවට විය හැක.
එවිට අනෙකා ප්‍රමාද වැඩිය

එක සිසුවෙක් මේ පිළිබඳව කියමින්
"අපේ ප්‍රතිපත්තිය වූයේ ඇතුළට එන සියලු දෙනාම
සමානයන් ලෙස සලකා වැළඳ ගැනීමයි.
ඒත් එයා ඒ විදියට අපි ගැන හිතුවේ නෑ..."
ශෝකයෙන් පැවසුවා.

කෙනෙකුගේ සිතට එන ආවේගයට අනුව
නිදහසේ හැසිරෙන්නට නීතියෙන් ලබා දෙන
මායාවෙන් මුළා වූ නිරාගමික නිදහස තුළ
ගුණගරුක මිනිසුන් පමණක් නොව
මෙවැනි මිනිස් වෙස් ගත් තිරිසනුන්ද නිදහස්ය.

එක් ඇමරිකානුවෙක් පැවසුවේ
"ඔබේ දරුවා මෙවන් ඉරණමකින්
ගලවා ගන්නට ඔබට අවශ්‍ය නම්
ඔහු නිවසේ රඳවාගෙන
අධ්‍යාපනය දෙන්න". කියායි.

ජීවිතය අනියතය, මරණය නියතය.
නිරාගමික බව නිදැල්ලේ හැසිරෙයි.