20161224

ඩොස්ටොයෙව්ස්කිගේ "අපරාදය සහ දඬුවම" -කෙටි විවරණයක්


ලොව මෙතෙක් ලියැවුණු
හොඳම නවකතාව ලෙස
සමහර සුපතළ විචාරකයන් නම් කරන
ඩොස්ටොයෙව්ස්කිගේ "අපරාදය සහ දඬුවම"
ඒ ගෞරවයට ඉඳුරාම සුදුසු බව
අංශුමාත්‍රයක සැකයකින් තොරව පැවසිය හැක.
මුනිදාස සෙනරත් යාපා පරිවර්තනය
ගොඩගේ ප්‍රකාශනයක්
--------------------------------

ඩොස්ටොයෙව්ස්කි
පළමු පිටු දෙක තුන මගින්ම
කතාවට අප ඇද බැඳ ගන්නා ආකාරය...
සිත්ගන්නා සුළුය.
රැස්කොල්නොකෝව්ගේ ස්වභාවය සහ
ඔහුගේ ගුප්ත අරමුණ ගැන
විශාල තොරතුරු සමූහයක් සපයමින්
පේළියක් පේළියක් පාසාම
ඔහුගේ චරිතය ගොඩ නගන ආකාරය
ඉතාම අපූරුය.


රැස්කොල්නොකෝව්ගෙ මානසික කැළඹීම සහ
ඔහු වෙසෙන පරිසරය
ඉතා හොඳින් නිරූපණය කරන කතුවරයා
පැහැදිලි චිත්ත රූප මවයි.
පිටු ගණන් දීර්ඝ දෙබස් වලට පසුබිම් වූ
අතිශයින් සංකීර්ණ මනෝභාවයන්
ඉතා ව්‍යක්ත ලෙස හසුරුවමින්
පිටු 750ත් ඉක්මවන පොතක් පුරා
ඉතා සැහැල්ලුවෙන් ඉදිරිපත් කිරීම
මෙහි ප්‍රබලම විශේෂත්වයයි.

පිටු 750ත් ඉක්මවන පොතෙහි
පිටු සියයක් පමණ ගත වන විට
රැස්කොල්නිකොවු අපරාදය කළේය.
පිටු හය සියයකට ආසන්න වූ
ඉතිරි කොටස ඔහු ලබන දඬුවමයි.

සත්‍යය නම්
ඔහු අපරාදය කරන්නට සිතූදා පටන්ම
ඔහු දඬුවම් විඳිමින් සිටින බවයි.

ඉධ තප්පති පෙච්ච තප්පති
පව්කාරයා දැනුත් විඳවයි, පසුවත් විඳවයි බුදු වදන
කොතරම් ප්‍රායෝගික සත්‍යයක්ද?

තමන්ගේ දුක දකින්නට හැකි
සංවේදී සිතක් නැත්තෙකු
පව් කරන්නට සිතන මොහොතේ පටන්
තමා සිතින් විඳින දුක
පසක් වීම සිදු නොවන්නකි.

අපට එදිනෙදා හමුවන
සුචරිතයට දහමට එරෙහිව
අප හා ගැටෙන, පැටලෙන
අප දන්නා තුට්ටු දෙකේ පව්කාරයන්ට
සිය සිත ක්‍රියා කරන ආකාරය ගැන
කිසිදු සිහියක් පතක් නැත.
ඔවුන්ගේ රාගයත් ද්වේශයත් පිළිබඳව
ඔවුන් පසුවන්නේ මෝහයෙනි.

සාමාන්‍ය පව්කාරයන්
නිතර කරන පව්කාර ක්‍රියා,
තෙපළන අශීලාචාර වචන,
දුර්දාන්ත හැඟීම් හා සිතුවිලි
ඔවුන්ගේ ස්වාභාවික ස්වභාවය ලෙස
ඔවුන් විසින්ම පිළිගෙන ඇත.

එහෙත්
රැස්කොල්නිකොව් සිය සිත
මොහොතක් පාසා පිරික්සා බලන
සිත හා පොරබදමින් දිනන පරදින
අපූරු සවිඥාණික අපරාධකාරයෙකි.

ඩොස්ටොයෙව්ස්කිගේ අසමාන නිර්මාණ කුසලතාව
මනාව හෙළිවන්නේත් පිළිබිඹුවන්නේත්
ඔහු විසින් රැස්කොල්නිකොව්ගේ හිත පීරමින්
ඔහුගේ චිත්ත සන්තානය විච්ඡේදනය කරමින්
ඉතා දක්ෂ ලෙස සහ සියුම් ලෙස
විවිධාකාරයෙන් විවරණය කරන විටයි.

සාමාන්‍ය පව්කාරයෙක්, අපරාදකාරයෙක් මෙන්
මෝහයෙන් අපරාදයට යොමුවුණා නම්
රැස්කොල්නිකොවු චරිතය
අපේ පිළිකුළට බඳුන් වන්නට ඉඩ තිබිණි.
ඔහු වරදින් වළකින්නට දරණ වෑයම්
වරින් වර ව්‍යර්ථ වන්නේ
ඔහු මිදෙන්නට සිතන විට
යක්ෂයාගේ සහායෙන් මෙන් සිදුවෙන
අහඹු සිදුවීම් පෙළ ගැස්ම නිසාය.

ලිසවෙටාගේ ඉවත්ව යාම පිළිබඳ පුවත
අහම්බෙන් කණ වැටීම, පොරව හමුවෙන ආකාරය,
මග විවෘතව තිබීම සහ
ඔහු මුහුණ දෙන අවදානම් අවස්ථාවන්
විශවාසනීය අයුරින් පෙළ ගැස්වීම
කතුවරයාගේ ප්‍රතිභාව සහ
විශිෂ්ඨ පරිකල්පන ශක්තිය හෙළි කරයි.

මාමිලාඩෝව් සහ සෝනියාගේ චරිත විසින්
මුදු බවට පත් වුණ රැස්කොල්නිකොව්ගේ සිත
යළිත් දැඩි බවට පත්වන්නේ
මවගේ ලිපිය සහ සොයුරියගේ පරිත්‍යාගය
ඔහු සිතෙහි ඇති කරණ වෙනස නිසාය.

ලිසවෙටාගේ ඉවත්වයාම පිළිබඳ පුවත
අහම්බෙන් කණ නොවැටුණා නම්
අපරාදයට යොමුවීම කල් ගතවන්නට හෝ
වළකින්නට ඉඩ ඇතැයි
අප තුළ විශ්වාසයක් ගොඩ නැගෙන විටම
සියල්ල වෙනස් වී, සියල්ල සකස් වීම
ත්‍රාස ජනක කතාවක මෙන්
වහා වහා සිදු විය.

රැස්කොල්නිකොවු ඉතාම සංකීර්ණ චරිතයකි.
ඔහුගේ සිතත්, ඔහු කියන කරන දේත්
ඉතාම අවිනිශ්චිත වුවද
ඒ සියල්ලම ඉතා විශ්වාසනීය අන්දමින් ගොතා
තර්කානුකූලව අමුණා ඉදිරිපත් කරන්නට
ඩොස්ටොයෙව්ස්කි සමත් වෙනවා.

රැස්කොල්නිකොව් අපරාදය කරන්නට
මානසිකව සූදානම් වන ආකාරයත්
ඔහු තුළ පවතින දෙගිඩියාවත්
ඒ සූදානම තුළ ඔහු විඳින දුකත්
මානසික කැළඹීමත්
ඩොස්ටොයෙව්ස්කි මනාව නිරූපණය කරයි.

දරිද්‍රතාවයෙන්, වැරහැළි ඇඳීමෙන්,
නිරාහාර වීමෙන් හෝ විරැකියාවෙන්
රැස්කොල්නිකොව් නොතැවෙන බව අපට පැහැදිලිය.
ඔහු අපරාදයට පොළඹවන්නේ
මුදල් කෙරෙහි කෑදරකම නොවන බව
අපට පෙනෙන්නට සලස්වන කතුවරයා
ඔහු තුළ අවිඥාණිකව ක්‍රියා කරන්නේ
එකල තරුණ ශිෂ්‍යයන් සිත් තුළ
පොදු ආකල්ප ලෙස වැඩෙමින් තිබුණ
සමාජවාදී විප්ලවයෙහි පදනම වූ
ධනපතියාට ඇති පිළිකුල සහ
ඔහු නිසා දුක් විඳින පිරිස බවට
ඩොස්ටොයෙව්ස්කි අපට ඉඟි කරනවා පමණි.
පීඩිත පංත්ය වෙනුවෙන්
ධනපතියා මර්දනය කරන
විරුවෙක් දඬුවම් ලැබිය යුතුද
යන පැනය රැස්කොල්නිකොව් ලවා
අපෙන් අසන ඩොස්ටොයෙව්ස්කි
ඒ අර්ථ කථනය වැරදි විය හැකි බව
සමස්ත කෘතියෙන් හඟවයි.

රැස්කොල්නිකොව්ගේගේ අපරාදය ගැන
ඔහුගේ සිතෙහි පවතින අවිනිශ්චිත බව
අප මේ කතාව සමග ඇද බැඳ තබන
ප්‍රධානම නොසිඳෙන රැහැනයි.

එක් ඡේදයක අප කරන පූර්ව නිගමන
ඊළඟ ඡේදයෙන් වෙනස් වෙද්දී
පොත ඉවත තැබීම ඉතා අසීරුය.
එපමණක් නොව
යහපත් නවකතාවක විශිෂ්ඨ ලක්ෂණ
සියල්ලක්ම පාහේ මෙහි නොඅඩුව දක්නට ඇත.

හොඳ නවකතාවක
ප්‍රධානම ලක්ෂණය නම්
කිසියම් චරිතයක හෝ කිහිපයක
නිශ්චිත ගැඹුරු අරමුණක්,
ප්‍රබල ආධ්‍යාශයක් වටා දිවෙන
කතා තේමාවක් පැවතීමයි.
රස්කොල්නිකොවුගේ අපරාදය
ඒ ගුණයෙහි උපරිමයකි.

ත්‍රස්තවාදී කැරැල්ලකින් හෝ
යුද්ධයකින් දහස් ගණන් මිනිසුන් මරන
ආක්‍රමණශීලී මිනීමරු නායකයන්
ඔවුන්ට බාධා පමුණුවන මිනිසුන්
චකිතයකින් තොරව මරා දමා
ඉන් යහපතක් වූ මිනිසුන් අතර
මහා රණ විරුවන් ලෙස
ඒ මිනිසුන්ගේ ගෞරවයට බඳුන් වෙයි.

රැස්කොල්නිකොවුටත් අවශ්‍ය වූයේ
එවැනි යහපතක් සඳහා ඔහුගේ මට්ටමින්
ඔහුට පෙනෙන අයුරින් හානිකර චරිතයක්
මොලොවින් තුරන් කර දමා
තමාද යහපතක් කළැයි තෘප්තිමත් වීමයි.

මිනිසෙකු විසින් තව මිනිසෙකු මැරීම
තර්කයට අනුව මොනතරම් ගැඹුරින්
සාධාරණීකරණය කළත්
මිනිසත් බව සහ සාධාරණත්වය හමුවේ
ඊනියා වීරක්‍රියාව කොතරම් නින්දිතද යන්න
නොයෙක් කෝණවලින් වටහාගන්නට ලැබීම
ඔහු කළ අපරාදයට ඔහු ලද දඬුවමයි.

රැස්කොල්නිකොවුගේ අපරාදය සහ
ඔහු ලද අපූරු දඬුවම තේමා කොට
මනාව වියන ලද මේ නවකතාවෙහි
යහපත් නවකතාවක අඩංගු වන
තවත් විශිෂ්ඨ ලක්ෂණ නොඅඩුව දක්නට ලැබෙයි.

අපූර්ව චරිත ගොඩ නැගීම,
ඒ චරිත පිළිබඳව,
ඒ චරිතවල ඉතිහාසය පිළිබඳව
ඔවුන්ගේ ප්‍රශ්න, හැඟීම්, හැසිරීම්, ස්වරූපය ආදී
විවිධ ලක්ෂණ පිළිබඳව
මෙහි කතුවරයාට ඇති ගැඹුරු අවබෝධය
අතිශයින් ප්‍රබලය.

ඉතා සීරුවෙන් සැලසුම් සහගතව
අපරාදයක් කරන්නට අර අඳින රැස්කොල්නිකොව්
බේබදු මාමිලාඩෝව් ගෙදරට ඇරලන්නට ගිය විට
ඔහු අත ඇති කාසි කිහිපය
මාමිලාඩෝව්ගේ ගෙදර ජනෙල් පඩිය උඩ තැබීම
ඔහුගේ චරිතයෙහි ඇති
අනුන්ගේ දුක දැකීමේ හැකියාව
අපට පෙන්වා දෙයි.
ඔහු ඒ පරිත්‍යාග කළ මුදල
නැවත ගන්නට සිතීමද අපූරුය.
ඔවුන්ගේ සංකීර්ණ චරිත ලක්ෂණ අනුව
ඔවුන්ගේ සීමාවන් සහ පරාසය තුළ
චරිතයට සාධාරණය ඉටු කරමින්
තාත්විකව හැසිරෙති.

ප්‍රධාන චරිතය වූ
රැස්කොල්නිකොවු අපරාධකරුවෙක් වුවද
මානුෂික දුර්වලතා බහුල වුවද
ආගමික හැඟීම් වල බලපෑමකින් තොරව
අනුන්ගේ දුකෙහි උණුවන හදක් ඇති
නිස්සරණාධ්‍යාශයෙන් යුතුව මිනිසුන්ට යහපත කරන
තර්කානුකූල බුද්ධියක්, විශිෂ්ඨ පරිකල්පන ශක්තියක්,
ගරු කටයුතු අභිමානයක් ඇති
විශිෂ්ඨ චරිතයකි.

දෙවෙනි පරිච්ඡේදය
සම්පූර්ණයෙන්ම වෙන් වන්නේ
බේබදු මාමිලාඩෝව්ගේ ජීවිතය සඳහාය.

බේබද්දෙකුගේ කලකිරීම සහ විවෘත භාවයත්
ඔහුගේ අසරණ බවත්, මානුෂික ගුණත්
මින් මනාව පිළිබිඹු වෙයි.

පේළියෙන් පේළියට සිත යොමු කරගෙන
චිත්ත රූප මවා ගනිමින් සෙමින් කියවන විට
ඔහුගේ ජීවිතය අප හමුවේ මැවෙයි.
ඔහුගේ ස්වරූපය එක් පිටුවක් පුරාම විස්තර වෙයි.
ඔහුගේ දීර්ඝ කතාව අතරතුර
ඔහු අවට පරිසරයත්, එහි ගඳ සුවඳත්
එහි සිටින අයත් ඔවුන්ගේ ප්‍රතිචාරත්
ඩොස්ටොයෙව්ස්කි ඉතා සැලකිල්ලෙන් විස්තර කරයි.

සුලු මවගේ කෙණෙහිලිත් පවුලෙහි දරිද්‍රතාවයත් නිසා
ගණිකා වෘත්තියට යොමුවෙන සොනියා උදාර චරිතයකි.

සාමාන්‍යයෙන් කෲර ගැහැණියක ලෙසින්
බේබදු මාමිලාඩෝව්ගේ ප්‍රකාශ වලින්
අප සිත්හි මැවෙන ඔහුගේ බිරිඳගේ අඳුරු චරිතය
සෝන්යා සිය පළමු ආදායම ඈට දුන් විට
ඈ සෝන්යාගේ දෙපා සිඹින මොහොතේ වෙනස්වී
අපේ ගෞරවයට පාත්‍ර වෙයි.
එහෙත් ඔහු ඒ ගෞරවය
දිගටම ආරක්ෂා කරන්නේ නැත.

ව්‍රෙක අපේ හෙළා දැකීමට, නින්දාවට මෙන්ම
යළිත් අපේ ගෞරවයට, කරුණාවට පාත්‍ර වන ලෙස
එකම චරිතයක මිශ්‍ර හොඳ නරක
විශ්වාසනීය අයුරින් මූර්තිමත් කරන්නට
ඩොස්ටොයෙව්ස්කිට ඇති හැකියාව මැනගන්නට
කවර චරිතයක් වුව ප්‍රමාණවත්ය.

කතාවට එක් කරන වැදගත් චරිත
කතාවට දක්වන දායකත්වය නොඅඩුව පවතින හෙයින්
අයාලේ විත් අතුරුදහන් වෙන සක්ක චරිත
නිතර අපට හමු නොවෙයි.
එවනි චරිත පවා ඔහු සැලකිල්ලෙන් මවයි.
බේබදු මාමිලාඩෝව්ගේ ආත්ම කථනයට සවන් දෙන්නට
උඩුමහලින් බැස ඔහු පිටුපස වාඩිවී සවන් දෙන
ගෙය අයිතිකාරයා පවා ඉතා පැහැදිලි
ත්‍රිමාණ චරිතයකි.

අද එක් කරන සුළු චරිතයක්
පසුව ප්‍රධාන චරිතයක් ලෙස විකාශනය වන අයුරු
ඉතා සිත්ගන්නා සුළුය.

මෙසේ කෙමෙන් විකාශනය වන ෆෝර්පිරි
විශිෂ්ඨ රහස් පරීක්ෂකයෙකි.
ඔහු රැස්කොල්නිකොවු සමග සියුම් ලෙස ගැටෙමින්
හරි හරියට කෙළින මානසික දාදු කෙළිය
කෘතියෙහි ඉතා රසවත් අංගයකි.

ස්විඩ්‍රිගේයිලෝවුගේ චරිතය
ගොඩ නගන අයුරුත් ඉදිරිපත් කරන අයුරුත්
ඔහුගේ අවසානය ලඟාවන අයුරුත්
ඉතාම සියුම්ය.
ඔහු කරන අපරාධ සහ
ඔහුගේ නරුම ස්වභාවය සමග
රැස්කොල්නිකොවුගේ අපරාදයත්
ඔහු විඳින දඬුවමත් ඔහුගේ ස්වභාවයත්
නිතැතිම සැසඳන්නට අප පෙළඹෙන්නෙමු.

ස්විඩ්‍රිගේයිලෝවුගේ ජීවිතයේ
අවසන් පැය කිහිපය ඔහු ගතකරන අයුරු
ඉතාම අනුවේදනීය අයුරින් සහ
හෘදයාංගමව ඉදිරිපත් කරන්නට
කතුවරයා සමත් වී ඇත.
ඔහුගේ පාපී චරිතය වෙනස් කරන්නට
රැස්කොනිකොවු සහ ඩූන්යාගේ චරිතවල
උදාර ගුණ බලපාන අයුරුත්
ඒ සඳහා හේතුවන අවසාන සිදුවීමත්
ඉතාම විශිෂ්ඨ අයුරින් නිරූපණය වී ඇත.

රැස්කොල්නිකොවුගේ චරිතයට දැඩිම බලපෑම එල්ල වූ
සෝන්යාගේ චරිතය ඉතා සරලය.
දේව භක්තියෙන් සහ මානව දයාවෙන් පිරිපුන් ඇය
රැස්කොල්නිකොවුගේ පරිවර්තනයට හේතු වෙන අයුරු
අතිශයින් සියුම් ආකාරයෙන් ගොතා ඇත.

රැස්කොල්නිකොවු සෝන්යා හඳුනාගත්තේ
ඇගේ පියා ඇය ගැන පැවසූ වදන් කිහිපයකිනි.
ඒ මොහොතේ පටන් ඔහු මෙන්ම අපද
ඇය විශ්වාස කරන්නට වීම
කතුවරයාගේ දක්ෂකමයි.

සෝන්යා සහ ඩූන්යා දෙදෙන
රැස්කොල්නිකොවුගේ අපරාදය දෙස බලන
ආකල්ප එකිනෙකට වෙනස්ය.
සෝන්යා ඔහු දෙස බලන්නේ
පොදුවේ ඕනෑම අපරාධකාරයෙකු
තමාටම දඬුවම් පමුණුවාගත යුතුය
නැත්නම් පසුතැවිලි වී සමාව අයැදිය යුතුය යන
පුළුල් ආකල්පයෙනි.

ඩූන්යා ඔහුට සමාව දෙන්නේ
ඇයටම සීමාවූ ආත්මාර්ථකාමී හේතු මතය.
ඔහු ඇගේ සහෝදරයා නිසාය.
ඇගේ මවගේ පුතා නිසාය.
ඇයට හිතවත් පාපී ස්විඩ්‍රිගේයිලෝව් පවා
ඇයට හානියක් කරන තුරු
ඩූන්යාගේ අප්‍රසාදයට බඳුන් නොවෙයි.

අපරාදය පිළිබඳව
රසුමිඛින්, සොසිමෝව සහ ලූෂින් කරන සාකච්ඡාවේදී
අපරාධකරුවා කෙබඳු අයෙක්දැයි
රසුමිඛින් සහ ලූෂින් කරන විග්‍රහ නිසා
ඔවුන් දෙදෙනාගේ චරිත අතර පරතරයද
ඔවුන්ගේ පරිකල්පනයෙහි පරතරයද
අප මැනවින් දකිමු.
ඉන් අනතුරුව සිදුවෙන සිදුවීම් වලින් වන්නේ
අපේ හැඟීම් තව තවත් තහවුරු වීමයි.
ඩූන්යා රසුමිඛින්ට හිමි විය යුතුයැයි
අපිම පූර්ව නිගමනයකට එළඹෙමු.

ෆොර්පිරිගේ තීක්ෂණ විචක්ෂණ ශීලී බව,
පරිකල්පනය සහ රහස් හෙළි කරගැනීම
පොලිස් නිලධරයන්ගේ උදාසීන කුසීත කම් සමග
සංසන්දනය වන්නේද එලෙසින්මය.

මෙසේ සැසඳෙන අයුරින් චරිත යොදාගෙන
චරිත ලක්ෂණ ප්‍රබලව මතු වන්නට සැලැස්වීම
මෙහි විශේෂ ලක්ෂණයකි.

රැස්කොල්නිකොවු, ෆෝර්පිරි, රසුමිඛින්,
ස්විඩ්‍රිගේයිලෝවු, මාමිලාඩෝවු යුවළ, සෝන්යා,
ඩූන්යා ආදී ප්‍රධාන චරිත පමණක් නොව
අවශේෂ කුඩා චරිත පවා
දෙබස් හසුරුවන ආකාරයත්, දෙබස් වල රිද්මයත්
එකිනෙකාට බොහෝ සෙයින් වෙනස්ය.
කතුවරයාගේ විස්තර මගින්
ඔහු අප සිතෙහි මවන චරිතයත්
ඔවුන්ගේ දෙබස් වලින් අප දකින
ඔවුන්ගේ චරිත ස්වභාවයත් මනාව පෑහෙයි.
මේ ගුණය නොනසා රැකගන්නට
පරිවර්තක මුනිදාස සෙනරත් යාපා විසින්
දරන ලද අනුපමේය වෙහෙසද ගරුකටයුතුය.

ඉංග්‍රීසි බසින් ‍YOU
සිංහල පරිවර්තනයකදී
ඔබ වහන්සේ, ඔබ, නුඹ, උඹ, තෝ, තමුසේ,
තමුන්නාන්සේ ආදී විවිධ වචනවලින්
ඉදිරිපත් කළ හැකිව තිබෙන අතර
සුදුසුම වචනය තෝරා ගැනීමට නම්
පරිවර්තකයා ඒ චරිත ස්වභාවයන් සහ
ඒ චරිතවල බස හැසිරවීමත්
ඒ ඒ චරිත අතර පවතින සම්බන්ධයත්
මනාව සනිටුහන් කරගත යුතුය.
පරිවර්තකයා මේ වෙනස් කම් හඳුනාගෙන
ඔවුන්ගේ බස මනාව හැසිරවීම
මේ පොතට නොමඳ ආලෝකයකි.

යහපත් නවකතාවකට අත්‍යාවශ්‍යම
විශිෂ්ඨ ලක්ෂණයක් වන 'ගැටුම'ද
මෙහි පළමු පිටුවේ පටන්ම
දර්ශනයෙන් දර්ශනයට,
ජවනිකාවෙන් ජවනිකාවට, චරිතයෙන් චරිතයට
දෙබසින් දෙබසටම පමණක් නොව
බොහෝ අවස්ථාවන්හි
වාක්‍යයෙන් වාක්‍යයට පවා දක්නට ලැබෙයි.

මේ කෘතියෙහි ගලායාම සමග සුසංගතව
කිසිදු අභව්‍ය භාවයකින් තොරව සහ
ඉතා විශ්වාසනීය අයුරින් ගොඩ නැගෙන
නිරන්තර නාටකීය අවස්ථාවන්
පිටුවෙන් පිටුවට පාහේ දක්නට ලැබෙයි.

අප සිතන ආකරයෙන් බොහෝ සේ වෙනස්ව සහ
අප කිසිසේත් නොසිතන අයුරින් ගැට වැටෙමින්
විටින් විට කතාව කොතරම් දඟ ගැසුණත්
අපේ රස වින්දනයට බාධා වන කඩා වැටීම්
දක්නට නැත.

මේ අපූර්ව නාටකීය අවස්ථාවන් වල
විශ්වාසනීය ගුණයට රැකෙන්නට
ප්‍රධානම හේතුව නම්
කතුවරයා විසින් අනාගතය වෙනුවෙන්
ඒ ඒ සිදුවීම් වලට සම්බන්ධව
ඉතා සියුම් ලෙසත් පැහැදිලිවත්
සිදුවීම් වලට ගැලපෙන අයුරිනුත් සඟවා ඇති
පූර්ව ඉඟි කිරීම්ය.

කිසියම් සිදුවීමක් සිදු වන විට
ඒ සිදුවීමෙහි අපූර්වත්වය සැහැල්ලු කරමින්
අප අතීතයෙහි දුටු අදාළ යමක්
අපේ සිහියට නැගෙයි.
ඒ සියල්ල අප දන්නා චරිත සහ
අප මවාගත් පරිසරයටත්, වාතාවරණයටත්
මනාව සැසඳෙන බැවින් සිදු වන්නේ
අප වඩාත් විශ්වාසනීය ලෙස
කතාවට බැඳීමයි.

මේ කෘතියෙහි මා දකින
අති ප්‍රබල විශේෂත්වය නම්
දෙවියන් වහන්සේ තබා ඇති
මධ්‍යස්ථ ස්ථානයයි.

මෙහි ප්‍රබල දේව භක්තියෙන් යුතු චරිතය
වෘත්තියෙන් ගණිකාවක් වූ සෝන්යාය.
ඇගේ කුඩා සොයුරිය පෝල්යාද
ඒ වෘත්තියටම බාග විට ගොදුරු වේයැයි
රැස්කොල්නිකොවු අනාවැකි කියන විට
" නෑ. නෑ.. ඒ සා භයානක දෙයකට
දෙවියන් වහන්සේ කිසිම විටක ඉඩ තබන්නේ නැහැ"
සෝන්යා කියන්නීය.
" එහෙත් අනෙක් අයට එසේ වීමට ඒ වහන්සේ ඉඩ හරිනවා?"
රැස්කොල්නිකොවු අසයි.
ඔහුගේ තර්කය ඇය දුටුවද
සෝන්යාගේ දේව භක්තිය අචලය.

රැස්කොල්නිකොවුගේ දඬුවම කූටප්‍රාප්තියට පත් කරවන
චිත්ත පරිවර්තනය සඳහා ප්‍රබලම සාධකය වූයේ
ඔහුගේ අපරාදය කෙරෙහි සෝන්යා දැක්වූ
පුද්ගල හෙළා දැකීමෙන් තොර සාධාරණ විනිශ්චයත්
ඇගේ මානව දයාවෙන් ආලෝකවත්වූ
අචල දේව භක්තියත්ය.

මේ කතාවෙහි චරිත අතර
ඉතා අඩුවෙන්ම දක්නට ලැබෙන චරිත අතර
දෙවියන් වහන්සේද කෙනෙකි.

දේව විශ්වාසය බැහැර නොකරමින්
දෙවියන් වහන්සේ භාවිතා නොකරමින්
දෙවියන් වහන්සේ ඇතත් නැතත්
ධාර්මිකයා යහපත් බවත් අධාර්මිකයා හානිකර බවත්
අතිශය සූක්ෂ්ම ලෙස අපට තහවුරු කරන්නට
ඩොස්ටොව්යෙස්කි සමත්වී ඇත.



=============

Lal Kuruppu[[ මගේ කියවීමේදී නම්,
ධනපති-පිළිකුල හෝ සමාජවාදී පරමාදර්ශයක්
රාස්කොල්නිකොෆ් ගේ අපරාදයට හේතුවු බවක්
ඉස්මතු නොවිනි.]]

පීඩිත පංතිය නගා සිටුවන්නට
ධනවාදියා මරන්නට වුවත් සූදානම් වන
සමාජවාදී විප්ලවවාදී තරුණ උණ
රැස්කොල්නිකොවු තුළත් තිබුණ බව
තේරුම් ගන්නට නම්
ඔහු මුහුණ දුන් අවස්ථා සහ
ඔහුගේ හැසිරීම්, වචන සහ සිතුවිලි
සියුම්ව විග්‍රහ කළ යුතුයි.

එසේ වුවත් ඒ සාධකය
ඔහුගේ මානසික කැළඹීමෙහි එක් සාධකයක් පමණයි.
පරමාදර්ශය නොවෙයි.
----------- 
සම්පූර්ණ ලිපිය
රැස්කොල්නිකොවු අපරාදය කළේ සමාජවාදී ආකල්ප නිසාද?



======================
මේ විශ්ව සාහිත්‍ය කෘතිය
මතු පරපුරට මනාව උරුම කළ යුතුය සිතා
මේ සා දීර්ඝ නවකතාවක් දෙවන වරටත් පරිවර්තනය කරමින්
හෙළ සාහිත්‍ය ක්ෂේත්‍රයට මහඟු සත්කාරයක් කළ
මුනිදාස සෙනරත් යාපා මහතාට අපේ කෘතඥපූර්වක ප්‍රණාමය.


මුනිදාස සෙනරත් යාපා පරිවර්තනය
ගොඩගේ ප්‍රකාශනයක් 
========================================ඩොස්ටොයෙව්ස්කිගේ "අපරාදය සහ දඬුවම"
එහි අන්තර්ගතයට ඉතාම සමීපව
රුසියන් බසින් නිර්මාණය කෙරුණු
කෙටි ටෙලි නාට්‍ය මාලාවක්
ඉංග්‍රීසි උප සිරැසි සහිතව
ඔබට නැරඹිය හැක. 

http://sansaranee.blogspot.com/2016/12/blog-post_25.html


 

කර්මයක් පල දෙන්න මීට වඩා හොඳ ක්‍රමයක් තියනවද?




කර්ම විපාක දෙන්න
 සොබා දහම අපූරු ක්‍රම සපයනවා.
කර්මය කළ තැනැත්තාගෙම සිතුවිලි මුල් වෙලා
 කර්ම විපාකය විඳින්න අවශ්‍ය දේ
 ඔහුම කර ගැනීම එවැනි අපූරු ක්‍රමයක්.

මිනීමරුවන් සිය දිවි නසා ගැනීම
 ඒ සඳහා හොඳම උදාහරණයක්.

සම්මුති සත්‍යයට අනුව
 ඔවුන් සතුන් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා.
ඔවුන් කරන්නෙ උදාර කාර්යයක්.

ඔවුන්ගෙ සිත් වැඩ කරන ආකාරය කුමක් වුවත්
 පරමාර්ථ සත්‍යය මෙයයි.
හරකෙක් හංවඩු ගහපු මිනිහෙකුට
 ඒ කර්මය පල දෙන්න
 මීට වඩා හොඳ ක්‍රමයක් නෑ.

මේ පිරිස උදාර කාර්යයක් කරනවා
 කියල හිතාගෙන මේ දිහා බලන අයට
 හංවඩු ගැහීමෙන් සතුන් විඳින දුක
 මතක් වෙන්නෙ නෑ.
ඔවුන්ට පෙනෙන්නෙ
 මේ අය පරිත්‍යාගයක් කරනවා වගෙයි.

අපි සතුන් හංවඩු ගැහුවොත්
 අපිටත් මේ දුක විඳින්න වෙයි කියා හිතන එක
 වඩාත් ප්‍රබලයි.

"අපි පෙර ජාතියෙ සතුන් හංවඩු ගහන්න ඇති.
ඒ නිසා අද මේ වේදනාව විඳිනවා" කියල
 ඔවුන් පිළිගත්තා නම් වඩාත් හොඳ ප්‍රතිඵල ලැබේවි.

හරකෙක් හංවඩු ගහපු මිනිහෙකුට
 ඒ කර්මය පල දෙන්න
 මීට වඩා හොඳ ක්‍රමයක් නෑ.

මහණෙනි,
මේ පුද්ගලයෝ තුන්දෙනෙක්
 ලොව්හි විද්‍යාමාන වෙත්.
කවර තුන් දෙනක යත්:
මහණෙනි,
මෙලොවෙහි කිසි පුද්ගලයෙක්
1. ව්‍යාපාද සහිත කායසංස්කාරය රැස් කෙරෙයි.
2. ව්‍යාපාද සහිත වාක්සංස්කාරය රැස් කෙරෙයි.
3. ව්‍යාපාද සහිත මනඃසංස්කාරය රැස් කෙරෙයි.

හේ ව්‍යාපාද සහිත කායසංස්කාරය රැස් කොට,
ව්‍යාපාද සහිත වාක්සංස්කාරය රැස් කොට,
ව්‍යාපාද සහිත මනඃසංස්කාරය රැස් කොට
 ව්‍යාපාද සහිත පැවැත්මක් සකස් කරගනියි.

ව්‍යාපාද සහිත පැවැත්මක් සකස් කරගත් නිසා
 ව්‍යාපාද සහිත ස්පර්ශ ලබයි.
නිරයෙහි මෙන් ඒකාන්තයෙන්ම
 ව්‍යාපාද සහිත වෙදනා විඳින්නේ ය