20170207

SSS වෛද්‍ය විද්‍යාලයකට අවශ්‍ය අවම සුදුසුකම S3


වෛද්‍ය විද්‍යාලයකට අවශ්‍ය අවම සුදුසුකම
රසායන, භෞතික, ජීව විද්‍යා අංශ වලින් S3ක් තිබීම ලෙස
විශ්වවිද්‍යාල අත් පොතේ සඳහන් වීම
රජයේ වෛද්‍ය විද්‍යාලවල නිලීන ලක්ෂණයක්.

S3 අවම සුදුසුකම මත සිසුන් ගත්ත සයිටම් එකට
විශ්ව විද්‍යාල අත්පොතේ මේ ප්‍රකාශය
ත්‍රිපිටක, බයිබල්, කුරාන් පාඨයක් තරම්
ඔවුන්ගෙ ජීවිත වලට ආශීර්වාදයක් වෙලා..

වෛද්‍ය විද්‍යාලයකට අවශ්‍ය මේ අවම සුදුසුකම
විශ්ව විද්‍යාල අත්පොතේ තියන
නොවැදගත් පාඨයක් ලෙස බොහෝ දෙනෙක් දකින්නෙ
Z-score එක අනුව සිසුන් තෝරන නිසයි.

Z-score එක අනුව තෝරන සිසුන්ට
S3 අවම සුදුසුකම නොවටිනා මීකුණක්..

සයිටම් එකට මේ අවම සුදුසුකම වටිනා මීකුණක්.

මී කුණක් විකුණා නැව් හතක් ගන්න
ප්‍රඥාව තිබුණ ළමයාට
ඒ මී කුණ විශාල ප්‍රාග්ධනයක්.

ස්වර්ණගෙ චිත්‍රපටි උළෙලෙදි
අවසර පත් නොමැති අයට
වෙනම පෝලිමක් තිබුණා.
අපිට අවසරපත් තිබුණෙ නෑ.
අපිටත් අවම සුදුසුකම තිබුණා.
අවසරපත් තිබුණ අයට වගේම
අපිටත් චිත්‍රපටය බලන්න
උවමනාව තිබුණා.
චිත්‍රපටය බලන්න අවශ්‍ය වුණ ලක්ෂ 120ම
අපේ උවමනාව තුළ තිබුණා.

හැමදාම අවසර පත් නොමැති පෝලිමේ
ඉදිරියෙන්ම උන්න අපි ඇතුල් කළේ
අවසරපත් තියන අය ඇතුල් වුණාට පස්සෙයි.
ප්‍රමාද වෙලා ශාලාවට ඇතුල් වුණත්
ආව වෙලාවෙ ඉඳන් උපක්‍රම ශීලීව ක්‍රියා කරලා
අවසර පත් තිබුණ අයට වඩා
හොඳ අසුන් වල ඉඳන් චිත්‍රපටය නැරඹුවා.

අපි ඉන්න අසුන සඳහා
අපට අවසරපත් තිබුණාද නැද්ද කියන එක
චිත්‍රපටය නරඹන වෙලාවට වැදගත් වුණේ නැහැ.

රජයේ වෛද්‍ය විද්‍යාලවල නොසලකා හැරෙන
S3 අවම සුදුසුකම
සයිටම් එකේ දොර හැරෙන මන්ත්‍ර දෙකෙන්
එක බලගතු මන්ත්‍රයක් වෙලා තියෙන්නෙ
අනික් මන්ත්‍රය සියල්ලටම වඩා බලගතු මුදල්
ඒ සිසුන්ගේ දෙමාපියන් සතු නිසයි..

ඒත් මේ අවම සුදුසුකම මත
සයිටම් එකට සිසුන් ගනිද්දි
ඔවුන්ගෙ අධ්‍යාපන මට්ටම බාලයි කියා
උසාවියක ඔප්පු කරන්න බැරි තැනකට
රජයේ වෛද්‍යවරුන් පත්වෙලා තියනවා.

පුද්ගලික හෝ රජයේ වෛද්‍ය විද්‍යාලයකට වෙලා
මොන විදියෙන් හෝ වෛද්‍ය අධ්‍යාපනය ලබලා
වෛද්‍යවරයෙක් වෙන්නෙ සුදුසුකම් ලැබන කෙනෙකුගෙ
උසස්පෙළ ප්‍රතිඵ්ල සමාජයට අදාළ නැහැ.

රජයේ වෛද්‍ය විද්‍යාලෙ ඉන්නෙ
ලංකාවෙ ඉහළම දක්ෂතා ඇති සිසුන්
කියමින් සයිටම් සටනෙදි  පුරසාරම් කිව්වට
වෛද්‍යවරයෙකුගෙ නියම වටිනාකම
සමාජය මනින්නෙ සයිටම් සටනෙදි නොවෙයි.

රජයේ වුණත් සයිටම් වුණත්
රෝගයක් සමග කරන සටනින්
වෛද්‍යවරයා ලබන ජය මත
සමාජය ඔහුගෙ දක්ෂතාවය මනිනවා
.
දෙන දෙන බෙහෙතෙන් වැඩක් වුණේ නැත්නම්
ඔහුගෙ අධ්‍යාපනික සුදුසුකම් අහලා
" ෂා මාර දක්ෂයෙක්නෙ" කියලා
කිසිම රෝගියෙක් සැනසෙන්නෙ නෑ.
ඔහුගෙ ප්‍රතිකාරය තමයි ඔහුගෙ වටිනාකම.
උසස්පෙළ ප්‍රතිඵලවත් උපාධියවත් නොවෙයි.

"ලෙඩා මළත් බඩ සුද්දයි" කියලා
රෝගියෙකුට සැනසෙන්න බැහැ.
වෛද්‍යවරයාගෙ උසස්පෙළ ප්‍රතිඵලවලින්
ඔහුගෙ මහාචාර්ය උපාධියෙන්
රෝගියෙක් සුවය ලබන්නෙ නෑ.

රජයේ වෛද්‍ය විද්‍යාලෙන් ආව ඇ3 වෛද්‍යවරයෙක්
කාලයක් ප්‍රතිකාර කරල අසාර්ථක වුණ රෝගියෙක්
සයිටම් එකේ S3 වෛද්‍යවරයෙක් ප්‍රතිකාර කරලා
නිට්ටාවට සුව වුණාට පසුව
රජයේ වෛද්‍ය විදාලෙ උපාධිය පෙන්වලා
සයිටම් වෛද්‍යවරයා හෙළා දක්කාට
වැඩක් වෙන්නෙ නෑ.
ප්‍රායෝගික ක්‍රියාවෙන් නැතිවුණ දේ
නැවත කවදාවත් ලබාගන්න බැහැ.

වෛද්‍ය විද්‍යාල දොරෙන් ඇතුල් වෙන්න
S3 ප්‍රමාණවත් වෙලා තියන නිසා
ඒ පිහිටෙන් ඇතුල්වුණ සයිටම් ශිෂ්‍යයෙකුට
සමාජයට ගියාම තැන හදාගන්න  පුලුවන්.
ඔහු අදක්ෂයෙක් නම් තැන නැති වෙන්නත් පුලුවන්.
එදාට මිනිස්සු S3 කියල ඔහුට නින්දා කරාවි.

රජයේ වෛද්‍ය විද්‍යාල වල නොසලකන
S3 අවම සුදුසුකම මත සිසුන් ගත්ත සයිටම් එකට
විශ්ව විද්‍යාල අත්පොතේ S3 අවම සුදුසුකම් ප්‍රකාශය
ත්‍රිපිටක, බයිබල්, කුරාන් පාඨයක් තරම් තදින්
ඔවුන්ගෙ ජීවිත වලට ආශීර්වාදයක් වෙලා..

මේ මීකුණ හරියට ආයෝජනය කරගත්තොත්
නැව් හතක් ගන්න පුලුවන්.