20160610

විනය කියන්නේ ශාසනයේ ආයුෂ


අපේ දඬුවම් ලිහිල් වැඩියි

දොඩන්දූවේ සිරිකර හිමි
ප්‍රජා පාලනයේ දී නීතිය හා දණ්ඩනය අත්‍යවශ්‍ය අංගයකි. එය ප්‍රජාවගේ පහසුව වෙනුවෙන් නිර්මාණය කරගත්තකි. එහෙත් ඇතැම් අවස්ථාවක ප්‍රජාවගේ අපහසුව පිණිස ද හේතුවන අවස්ථා ඇත. යහ පාලනය සඳහා වූ නීතිය හා දණ්ඩනය පිළිබඳව බුදු දහමින් ලද හැකි ආභාසය පුළුල් ය. ඒ පිළිබඳව මෙවර ධර්ම සභාවෙන් සාකච්ඡා කරන්නේ ගල්කිස්ස නාලන්දා ධර්මායතන පරිවේනාධිපති හා පාණදුර පරත්ත චිත්ත භාවනා මධ්‍යස්ථානාධිපති දොඩන්දූවේ සිරිකර හිමිපාණන් වහන්සේ යි.
ඕනෑම සංස්ථාවක පැවැත්ම සඳහා නීති රීති අවශ්‍ය වෙනවා. බුද්ධ ශාසනයේත් විනය නීති පනවා තිබෙන්නේ ඒ නිසාම නේද ?
බුද්ධත්වයෙන් වසර විස්සක් යනතුරු බුදුරජාණන් වහන්සේ විනය නීති පැනෙව්වේ නැහැ. මොක ද ශික්ෂණයට උවමනා කරුණු විවිධ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. ශාස්තෘන් කෙරෙහි හා ධර්මය කෙරෙහි ඇති ගෞරවය නිසාත් විශ්වාස කර කටයුතු කළ නිසාත් නීති රීති අවශ්‍ය වුණේ නැහැ.
බලන්න බුද්ධ ශාසනයේ අවසන් භික්ෂුව වුණත් සෝවාන් වෙලයි හිටියේ. ඒ නිසා ඒ කාලයේ ඒ තරම්ම විනය නීති ප්‍රශ්නයක් ආවේ නෑ.
දිනක් සැරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් අහනවා මෙතෙක් වැඩ සිටි කුමන බුදුවරයාගේ ශාසනය ද වැඩිම කාලයක් පැවැතුණේ කියා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා විනය පැන වූ බුදුවරුන්ගේ ශාසන බුද්ධ පරිනිර්වාණයෙන් පසුවත් පැවැතුණා කියා.
සැරියුත් හාමුදුරුවෝ ඉල්ලීමක් කරනවා බුදු හාමුදුරුවන්ගෙන් ඒ නිසා විනය නීති පනවන්න කියා. බුදු හාමුදුරුවෝ ඒ වෙලාවේ දේශනා කරනවා. සංඝයාගේ දුර්වලතා මතුවනතුරු නීති පනවන්නේ නැහැ කියලා. සුදින්න හාමුදුරුවන් කළ වරද වෙනුවෙන් තමයි පළමු ශික්ෂාව පනවන්නේ.
අටුවාවේ තියනවා විනය නීති පනවන්න වලංගු කරුණු හතරක් පිළිබඳව. ශාසනය ආරම්භ වී කාලයක් ගත වීම එකක්. අනෙක ප්‍රමාණය අතින් පිරිස වැඩිවීම. බලන්න පිරිස වැඩි වෙද්දී වැරැදී වෙනවා වැඩියි.
මොකද වැරැදිකාරයාගේ පැත්ත ගන්න ඔහු බේරාගන්න පිරිසක් ඉදිරිපත් වෙනවා. දේවදත්ත හාමුදුරුවන්ගෙ පැත්තටත් භික්ෂුන් වහන්සේලා හිටියනෙ. අනෙක් කාරණය තමයි ලාභ සත්කාර වැඩිවීම.
ඒ කියන්නේ ආශාවන්ට වහල් වීමයි. ඒ වගේම උගත්කම වැඩි වීම ඒකත් වැරැදි වෙන්න බරපතළ හේතුවක් වෙනවා. මොකද ශික්ෂාවෙන් තොර උගත්කම හරි භයානකයි.
බුද්ධ කාලයේ පෝඨිල කියල ත්‍රිපිටකධාරී භික්ෂූන් වහන්සේනමක් හිටියා. හැබැයි බුදුහාමුදුරුවො උන් වහන්සේට ආමන්ත්‍රණය කරන්නේ හිස් පෝඨිල කියල යි. මොකද උන් වහන්සේ අධ්‍යාත්මික වශයෙන් ශික්ෂණයක් නොතිබීම යි.
අවසානයේ උන්වහන්සේ කලකිරී වනගත වෙනවා. කිසිදු රහත් ලොකු හාමුදුරුකෙනෙක් උපදෙස් දෙන්න යන්නෑ. මොකද ත්‍රිපිටකධාරී භික්ෂුවක්නෙ. අවසානයේ අවුරුදු හතක සාමණේර හිමි නමක් තමයි උපදෙස් දෙන්න ඉදිරිපත් වෙන්නේ.
බුද්ධ ශාසනයේ ත් වසර විස්සක් වැනි කෙටි කාලයකදී විනය නීති පැන වීමට අවශ්‍ය වුණා. වැරැදි කිරීම හෝ සම්මතය ඉක්මවා යාම සමාජයේ පොදු ලක්ෂණයක් නේද ?
වැරැදි කිරීම මනුෂ්‍යයන්ගේ සාමාන්‍ය ලක්ෂණයක් තමයි. වැරැදි නැති මිනිස්සු ලෝකයේ නැහැ. හැබැයි සමාජය සකස් කර ගන්න නීති හදන්නේ මිනිසුන්ම යි. බුද්ධ ශාසනයේ ඉස්සර පැවිදි වුණේ නිවන අරමුණු කරගත්ත අය යි.
බුදුන්වහන්සේ විනය පනවන්නේ කාරණා දහයක් පදනම් කරගෙනයි. ඒ භික්ෂුන්ගේ යහපත, පහසුව, දුර්මත, නැති කිරීම ශික්ෂාකාමීන්ගේ පහසුව, මේ කාලයේ වන වැරැදි නැති කිරීමට අනාගතයේ සිදුවන වැරැදි නැති කර ගැනීමට නො පැහැදුන අයගේ පැහැදීමට පැහැදුන අයගේ වැඩි පැහැදීමට, ධර්මයේ ආරක්ෂාව ට, කය වචනයේ සංවරයට යන කරුණු පදනම් කරගෙන යි.
එක පැත්තකින් විනයට ශීලය පදනම් වී තිබෙනවා. මොක ද මේ දෙකෙන් ම කය සහ වචනය සංවර කිරීමයි කෙරෙන්නේ.
ඒ වගේ ම විනය කියන්නේ ශාසනයේ ආයුෂය කියලයි. ඕනෑම ආයතනයක ආරක්ෂාව පවතින්නේ විනය නීති මත යි. ආයතන බිඳ වැටෙන්නේ විනය නීති බිඳ වැටීම නිසයි.
ශාසනය තුළ පාලන කටයුතුවලදී බුදුරජාණන් වහන්සේ නීති හා දණ්ඩන උපයෝගී කරගෙන තිබෙනවා නේ ද ?
බුදුහාමුදුරුවන්ට අපි කියන්නේ බුදු රජ කියලයි. බුදුරජාණන්වහන්සේ තරම් ආදර්ශවත් පාලකයෙක් තවත් නෑ.
අස්සධම්මරතී කේසි, නැත්නම් අශ්වයන් දමනය කිරීමේ දක්ෂ වූ කේසී නම් කෙනෙක් දිනක් බුදු හාමුදුරුවන්ගෙන් විමසනවා පුරිසදම්ම සාරථි වන ඔබ වහන්සේ පුරුෂයන් දමනය කරන්නේ කොහොම ද කියලා.
බුදු හාමුදුරුවෝ කේසිගෙන් අහනවා ඔබ කොහොම ද අශ්වයන් දමනය කරන්නේ ? කියලා. එවිට කේසි කියනවා, මම අශ්වයන්ට ආදරයෙන් සලකල බලනවා. ඒකෙන් දමනය වුණේ නැත්නම් ගස් බැඳල, ගහල ටිකක් තරවටු කරල බලනවා. සමහරුන්ට මේ දෙවිදියටම සලකල බලනවා.
එහෙමත් හැදෙන්නෙ නැත්නම් මම උන්ව ඉවත් කරල දානවා හෝ මරා දමනවා. බුදු හාමුදුරුවො දේශනා කරනවා ‘’කේසි, මමත් කරන්නෙ ඉතිං ඔය ටිකමනෙ’’ කියලා. මුලින් යහපත නිසා උදාවන දිව්‍යලෝක වැනි සුන්දර දේ ගැන දේශනා කරනවා.
බැරි නම් අවීචි නරකාදි ගැන දේශනා කරනවා. ඒ දෙකමත් කියල බලනවා. ඒත් බැරිනම් මමත් ඉහළම දඬුවම දෙනවා. ඒ බ්‍රහ්ම දණ්ඩනය යි. කිසිවක් කථා නොකර, උපදෙස් නොදී කොන් කිරීමයි එහි දී සිදු වෙන්නේ.
හරියට සමාජීය වශයෙන් ඝාතනය කිරීමක් වගෙයි. මතක ඇතිනෙ ඡන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩනය පැන වූවා. බුදුහාමුදුරුවෝ පාලකයෙක් විදියට වැරැදිවල දී තද ප්‍රතිපත්තියක් අනුගමනය කළා.
එක් අවස්ථාවක බුදු හාමුදුරුවෝ ජාතුම ජනපදයේ නෙල්ලි වනයක වැඩ වාසය කරද්දී සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා සමඟ පන්සියයක් භික්ෂුන් වහන්සේලා වැඩම කළා බුදුහාමුදුරුවෝ දැක බලා ගන්න.
මේ අය උස් හඩින් කතාකරකර ඉන්නවා අහගෙන හිටිය බුදු හාමුදුරුවො ඒ සියලු දෙනාට පන්සලෙන් පිට වෙන්නත් නැවත තමන් වහන්සේ සමඟ වාසයට නොඑන ලෙසත් අණ කරනවා. හැබැයි මේකෙ බරපතළකම තියෙන්නේ මෙතන ශාසනභාර මහාතෙරවරු දෙදෙනෙකුත් සිටීම යි.
මෙන්න පාලකයාගේ සෘජු භාවය. මෙය එන්නේ මඤ්ජිම නිකායේ ජාතුම සූත්‍රයේ යි. පස්සේ ශාඛ්‍යයන් මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා විසඳන්න බලනවා. ඒත් සාර්ථක වෙන්නේ නෑ. අවසානයේ සහම්පත් මහා බ්‍රාහ්මයා මේ ප්‍රශ්නයේ දී සාමදූතයා වෙනවා.
කොහොම වෙතත් ප්‍රශ්නය විසඳුනාට පස්සේ බුදු හාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ගෙන් අහනවා එදා පන්සලෙන් එළවද්දී මොක ද හිතුණෙ කියලා.
සැරියුත් හාමුදුරුවො කියනවා බුදු හාමුදුරුවො විවේක සුවයෙන් ඉද්දී අපි කෑ ගගහ ඉන්නැතුව අපිත් විවේක සුවයෙන් ඉන්න ඕනෑ කියල හිතුණා කියලා.
බුදු හාමුදුරුවො සැරියුත් හාමුදුරුවන්ට දෝෂාරෝපණය කරල තියෙනවා ඒ විදියට හිතන්නවත් එපා කියලා. මුගලන් හාමුදුරුවන් ගෙනුත් ඒ ප්‍රශ්නය ඇහුවාම මුගලන් හාමුදුරුවෝ කියනවා ඔබ වහන්සේ විවේකයෙන් ඉද්දී අපි මේ භික්ෂුන් වහන්සේලාට නායකත්වය දී හොඳින් බලාගත යුතු බව තේරුණා කියලා.
බුදුහාමුදුරුවෝ මුගලන් හාමුදුරුවන්ට ප්‍රශංසා කරනවා. ඇත්ත ඒකයි. නායකත්වය නිදා සිටිද්දී දෙවන පෙළ නායකත්වය අනිවාර්යෙන් අවදියෙන් ඉන්න ඕනෑ.
නීතිය සමඟ බද්ධ වූ අනෙක් කාරණය දණ්ඩනය යි. බුදු සමයට අනුව දණ්ඩනය කෙබඳු විය යුතු ද ?
දඬුවම බුදු හාමුදුරුවෝ අනුමත කළා. හැබැයි එය කායික හිංසාවක් නෙවෙයි. එය හිතන්න දෙන දඬුවමක්. ප්‍රථම සංඝායනාවේදී ඡන්න හාමුදුරුවන්ට බ්‍රහ්ම දණ්ඩනය පැනවූවාම ඒ හාමුදුරුවෝ අසරණ වෙනවා. ඒ වගේ ම කලක් යද්දී ඔහු හරිමඟට වැටිලා මඟඵල ලබනවා.
එමෙන්ම බුදු හාමුදුරුවො විනය නීති පනවද්දී ඒවා කැඩුවාම ඔහුට මොකද වෙන්නෙ. ලැබෙන දඬුවම මොකක් ද කියලා දේශනා කරල තියෙනවා. පාරාජිකා කියල තියෙනවා.
ඒවා කැඩුණොත් මහණකමින් පරාදවෙනවා. අනෙක් ශික්ෂාවන් ට අදාළ දඬුවම් වෙනම තියනවා. ඒවා කායික දඬුවම් නෙවෙයි. මේ දඬුවම්වලින් කරන්නේ මිනිසා ක්‍රමානුකූලව ගොඩනඟන එකයි.
රසවාහිනියේ එන හරන්තික හොරා පන්සලේ සිව්රු හොරකම් කරල දඬුවම් විඳිද්දී බේර ගන්නෙත් පන්සලේ හාමුදුරුවොමයි. දඬුවම වගේම කරුණාව දයාවත් තියෙන්න ඕනෑ.
ශ්‍රී ලංකාවේ අද පවතින නීතිය හා දණ්ඩනය බෞද්ධ රාජ්‍යයකට සුදුසුයි කියා ඔබ වහන්සේ සිතනවා ද ?
ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතිය කාටත් සාධාරණ වෙන්න ඕනෑ. ඒත් අද නීතිය ක්‍රියාත්මක කරන්න බැරි වෙලානෙ තියෙන්නේ. නීතියෙන් දෙන තීරණය පිළිගන්නැතුව වෙන වෙන අය පස්සෙ යනවා, නැත්නම් පොල් ගහනවා, බාර වෙනවා.
නීතිය සාධාරණ යයි පිළිගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ. මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. නීතිය රටට පරිසරයට සංස්කෘතියට අනුවයි සැදෙන්නෙ ඕනෑ.
තර්කය මත පදනම් වෙලා ගොයම් කොළේට වැහිල වෙඩි තියන්නෙ කොහොමද කියල ගොයම් ගසක කොළයක් පෙන්නල තර්ක කරන්න තරම් නීතිය බොළඳ වෙලා නැහැ. ඒක දක්ෂකම කියල සමහරු පිළිගන්න තරම් බොළඳ වෙලා තියෙනවා.
බලන්න පියා මැරූ පුතාට වසරක සිර දඬුවම් කියල පුවත්පත්වලත් යනවා. මේකද නීතිය. ආගම දහමට අනුව පියා මැරීම මොනතරම් බරපතළ ද ? බුදු දහමට අනුවනම් ඒක කල්පයක් විපාක දෙන ආනන්තරිය පාපකර්මයක්.
මෙහෙම කිව්වා කියලා බුද්ධ නීතිය රටේ නීතිය කරන්න බැහැ. මොකද බුදු සසුනේ විනය නීති පැන වුණේ නිර්වාණය අරමුණු කරගෙනයි. උදාහරණයක් විදියට භික්ෂුන්ට බිම් කෙටීම ආදිය තහනම්. ඒත් ගොවියා බිම කොටලා වගා නොකළොත් රටම බඩ ගින්නේ රටේ නීතිය සංවර්ධනයටත් ගැලපෙන්න ඕනෑ.
අද රටේ නීතිය පිරිහිලා පාසලේ සිට ම. පාසලේ දී කිසිම වෙලාවක නීතිය උගන්වන් නෑ. ඒත් නීතිය නොදැන සිටීම බරපතළ වරදක්. ඒකයි භික්ෂුන් වහන්සේලා දින පහළොවකට වරක් විනය සජ්ඣායනා කරන්නේ.
එවිට තමන්ට අදාළ නීතිය නිතර නිතර මනසට යනවා. අපි කුªඩා සාමණේරයන් වහන්සේලටත් විනය උගන්වනවා. ඇයි පාසල් විෂයට නීතිය ඇතුළත් කරන්න බැරි ?
අද දඬුවම් ලිහිල් වැඩියි. මළ ගේක, දානගේක, පිරිත් ගේක, බූරු ගහනවා. හැබැයි සාමාන්‍ය සමාජයේ මෙය තහනම්. මොකද පොලිසියට දානෙ ගෙදරකට පිරිත් ගෙදරකට ඇවිත් බලපෑම් කරන්න බැරි නිසා ඒක දඩමීමා කරන් බූරු ගහනවා. මේවා භික්ෂුන්වහන්සේලා මැදිහත් වී නැවතිය යුතු යි.