20170202

සිරි සදහම් ආශ්‍රමවාසීන්ගේ නිදහස වහා බිඳෙන සුළුය.



සිරි සදහම් ආශ්‍රමවාසී
ධම්මදේව හිමියන්ටයි මේ සටහන....

නිදහස සහ යථාර්ථය පිළිබඳව
ඔබේ අවබෝධයයි, මේ.

Asramawaasi Dhammadeva Thero නිදහස යනු බුදුන් හෝ කිසිවෙකු ලබා දෙන කිසිවක් නොව මිනිස් හදවත පිරිසුදු වීමෙන් ලැබෙන්නකි. හර්ද සාක්ශිය විසින් මිනිසාට දෙනු ලබන ත්‍යාගයකි. 
එය විශ්වය තරම් විශාලය. එය ඔබ සිතන තරම් සුන්දර නැත. එහි ඔබ සොයන නිවන නැත. එහි සත්‍ය පමනක් ඇත. සත්‍ය සදාකාලිකයි. එහි ඔබ නොසොයන නොදකින නොදන්නා සැනසුම ඇත. එය නැවුම්ය. දන්නා කිසිවක් එහි නොමැත.


ඔබ නිදහස්වූයේ යථාර්ථයෙන් නොවේද?


නැවුම් ඇඳුමක් දවටාගෙන
ඔබ බදා වැළඳ සිටි ලෝකය අත් හැර
නව පරිසරයකට පැමිණි පමණින්
ඔබ නිදහස ලැබුවේද?


මේ ඇඳුම ආශ්‍රමයෙහි තබා
ඔබට සුපුරුදු ගිහි ඇඳුමට බැස,
මේ පරිසරයෙන් පිට වී
නැවත ඔබ සිටි සමාජයට ගිය හොත්
මේ නිදහස නැතිවන්නේ නැද්ද?

තවමත් ඔබේ යථාර්ථය ගිහි කල යථාර්ථයමයි.
.
කටුවක් ලබාගත් ගොලයා
ගොලු බෙල්ලෙකු වන නමුදු
කටුව තුළ තවම සිටින්නේ
සුපුරුදු, දුර්වල ගොලයාමයි.

සිරි සදහම් ආශ්‍රමය කටුවක් පමණි.
කටුව බිඳුණු විට
ගොලයාගේ නිදහස නැති වෙයි.
ආශ්‍රමයෙන් බැහැරදී ඔබ වහලෙකි.
කල්ලියෙන් බැහැරව ඔබ අසරණයි.
ඔබේ ආරක්ෂාව 

සිරි සදහම් ආශ්‍රමය සහ
ඔබ වටා සිටින කල්ලියයි.

ඇතුළතින් වෙනස් නොවෙන ඔබ
බැහැරින් ඇති කරගත් වෙනස නිසා
ඔබට දැනෙන ඇතුළත වෙනස
තාවකාලිකය. බිඳෙන සුළුය.

ජලය හයිඩ්‍රජන් හා ඔක්සිජන් ලෙස
බිඳී වෙන්වී නැත.
ජලය වාෂ්ප වූවා පමණි.
ආශ්‍රමයෙන් බැහැර ලෝකය තුළ
ඔබ නැවත ජලය වීම නියතයකි.

ඔබ යථාර්ථය දකින නිදහස් පුද්ගලයෙක් නම්
යථාර්ථයෙහි උපරිමය වන ඔබ
මේ මොහොතේ ඔබට පෙනිය යුතුය.

ඔබේ යථාර්ථය ඔබයි.
ඔබෙන් බාහිර ලෝකය ප්‍රක්ෂේපණයක් පමණකි.
ඔබේ යථාර්ථය ඔබයි.


ක්ෂණයක් පාසා ඔබ වෙනස්වෙමින් පවතියි.
මේ යථාර්ථය ඔබට පෙනෙනවාද?
ඔබ තුළ සිදුවෙන වෙනස්වීම්
ඔබට පෙනෙනවාද?

ඔබ යථාර්ථය දකින
නිදහස් පුද්ගලයෙක් නම්
ඔබට ඔබේ ආශ්වාසය පිළිබඳව
සිහිය තිබිය යුතුය.
ඔබේ ඉරියව්ව පිළිබඳව සිහිය තිබිය යුතුය.
ඔබේ කයෙහි පවතින වේදනා පිළිබඳව
සිහිය තිබිය යුතුය.
ඔබට දැනෙන සංඥා පිළිබඳව
සිහිය තිබිය යුතුය.
ඔබ තුළ ඇතිවෙන විතර්ක පිළිබඳව
සිහිය තිබිය යුතුය.


යථාර්ථයට මේ සියල්ලම ඇතුළත්ය.

ඔබට ඔබ පිළිබඳව ඇත්තේ මෝහය නම්
ඔබ දකින ඔබේ යථාර්ථය තුළ ඇත්තේ
බාහිරාවර්තීව පසුවෙන මළ මිනිසෙකි.
හිතන ක්‍රියා කරන කතා කරන
ඇවිදින මළමිනියකි.
සාමාන්‍ය මිනිසෙක් දකින ටිකවත් නොපෙනෙන
ඔබ එකැස් කණෙකි.

ඔබ දෙසන්නේ ඔබ සිතන දේ මිස
ඔබ දකින දේ නොවෙයි.

බාහිර ලෝකය ඔබ දකින්නේත්
ඔබ තුළ සිදු වෙන වෙනස්කම් නිසාය.
කාය වේදනා චිත්ත ධම්ම හතර ගැන
සිහියෙන් පසු වීම නිවනට හේතු වෙන බව
බුදුන් වහන්සේ දේශනා කළේ
මිනිසාට විඳ පසක් කළ හැකි
සමස්ත යථාර්ථය එපමණක් බැවිනි.

බුදුන් වහන්සේ දේශනා කරන යථාර්ථය නැවුම්ය.
බුදු දහමෙහි එන යථාර්ථය නැවුම් වන්නේ
නොදන්නා දෙයක් ඇති නිසා නොවේ.
දැනගත හැකි නමුත් මෙතෙක් අප නොදත්
අප නොදුටු සියල්ල එහි ඇති නිසාය.
උපන්දා සිට පවතින යථාර්ථය නැවුම් නැත.
බුදු දහමට අනුව අප දකින විට
අපට අපේ දැක්ම නැවුම්ය.

චිත්‍රපටයක් නරඹනවාක් මෙන්
බාහිර ලෝකය දකින ඔබට
ඒ චිත්‍රපටය ප්‍රක්ෂේපණය වන
ප්‍රක්ෂේපණාගාරය තවමත් අභිරහසක්.
යථර්ථය චිත්‍රපටය නොවේ.
යථාර්ථය ප්‍රක්ෂේපණාගාරයයි.

ඔබ තවමත් පුහුදුන් පුද්ගලයෙක්.
ප්‍රක්ෂේපණාගාරය ගැන
සිහිය නැත්නම් ඔබ නිවන කියන්නෙ
මෝහයට.

බුදුන් වහන්සේට මිනිස්සු කැමති නැත්තෙ
කාය වේදනා චිත්ත ධම්ම හතර
දකින්න සිදු වෙන නිසයි.
ඒ හතර නොදකින කෙනෙකුට
පළමු ආර්ය සත්‍යය දකින්න ලැබෙන්නෙ නෑ.
දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි සත්‍ය දකින්න
තමා දකින්න පටන් ගත යුතුයි.

විනාඩියක් දෙකක් ඔබේ හුස්ම බලා ඉන්න.
ඒ තමයි ඔබට මිදිය නොහැකි
සරලම යථාර්ථය.
ඒ විනාඩි දෙක තුන
එක දිගට ඔබේ හුස්ම ගැනවත්
සිහියෙන් ඉන්න ඔබට බැරි නම්
ඔබ තවමත් ඔබේ හිතට වහලෙක්.
ඔබ ඔය කියන නිදහස ඔබට ලැබී නැති බව
ඔබටම වැටහේවි.

බුදුන් වහන්සේලාත් රහතන් වහන්සේලාත්
දවසේ පැය විසිහතර පුරාම දකින
යථාර්ථය කුමක්ද?

මේ බුදුන් වහන්සේගේම වචනයි.
1,
විදිතා වේදනා උප්පජ්ජන්ති,
විදිතා වේදනා උපට්ඨහන්ති,
විදිතා වේදනා අබ්භත්ථං ගච්ඡන්ති.
2,
විදිතා සංඥා උප්පජ්ජන්ති,
විදිතා සංඥා උපට්ඨහන්ති,
විදිතා සංඥා අබ්භත්ථං ගච්ඡන්ති.
3,
විදිතා විතක්කා උප්පප්ජන්ති,
විදිතා විතක්කා උපට්ඨහන්ති,
විදිතා විතක්කා අබ්භත්ථං ගච්‌ඡන්‌ති;

1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ  පවතිත්..
දැනුවත්වම සංඥාවෝ  අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.

සරලව
සති සම්පජන්‍ය නම්
1, විඳින සියලු වේදනා
2, දැනෙන සියලු සංඥා
3, ඇතිවෙන සියලු විතර්ක
ඇතිවෙන ආකාරයත්, පවතින ආකාරයත්
නැති වෙන ආකාරයත් පිළිබඳව
සිහියෙන් පසු වීමයි.

ආනාපාන සතියවත් නැති කෙනෙකුට
සම්පජානෝ සතිය ගව්ගාණක් දුරයි.
නිවන කල්පගාණක් දුරයි.

පළමුව ඔබේ කය ගැන සිහිය් පිහිටුවාගෙන
ඔබේ මේ මොහොත දැකීමෙන් අරඹන ගමන
යම් දිනක නිවනෙන් කෙළවර විය යුතුයි.

1, විඳින සියලු වේදනා
2, දැනෙන සියලු සංඥා
3, ඇතිවෙන සියලු විතර්ක
ඇතිවෙන ආකාරයත්, පවතින ආකාරයත්
නැති වෙන ආකාරයත් පිළිබඳව
සිහියෙන් පසු වෙන කෙනෙක් තුළ
මෝහය පවතින්නේ නැහැ.

පවතින වෙනස්වීම් වලට
උපේක්ෂාවෙන් පසුවෙන නිසා
රාග ද්වේශත් නෑ.

සම්පජානෝ සතියෙන් පසුවෙන කෙනෙක්
මේ මොහොතෙහි ඔහු පිළිබඳ යථාර්ථය
උපරිමයෙන් දකින කෙනෙක්.
ඔහු මේ මොහොතට උපරිමයෙන් සංවේදීයි.
නිවන කියන්නෙ එහි කූටප්‍රාප්තියයි.

නිවන් දුටු කෙනෙක් කියන්නෙ
මිනිසා සතු සංවේදී බවෙහි
උපරිමයට පැමිණි කෙනෙක්.