20170201

මත්පැන සමථ භාවනාවට විකල්පයක්ද?



එක අරමුණක් තියාගෙන
අනික් සියල්ල අමතක කරන වර්ගයේ
සමථ භාවනා ක්‍රම වලින්
සිත පත්වෙන ස්වයං මෝහණීය තත්වයත්
මත්පැන් බීමෙන් සිත පත්වෙන මෝහණීය තත්වයත්
අතර යම් සමානකමක් දක්වනවාද?
මේ දෙකම පිළිබඳ අත්දැකීම් තියන
තමන් ගැන සිහිය තියන කෙනෙකුට
මේ පැනයට පිළිතුරක් දෙන්න පුලුවන් වෙයි.

අදින් වසර 30කට පමණ පෙර
දියතලාව අවට පාසල් ළමුන්ට සහ වැඩිහිටියන්ට
හින්දු භාවනා ක්‍රමයක් උගන්වන ව්‍යාපෘතියක
සිංහල පරිවර්තකයෙක් ලෙස
විදේශිකයන් පිරිසකට මම උපකාර කළා.
මන්ත්‍ර කියා හඳුන්වන
ඕම්, ශ්‍රීං වැනි වචන සිතින් රටාවකට මැතිරීමෙන්
හිත තැන්පත් කරන ඒ ක්‍රමය
නමින් හැඳින්වුණා.

ඒ සමථ භාවනා ක්‍රමය ඉගෙන ගත්
කහගොල්ල ප්‍රදේශයේ කෙනෙක්
ඉන් පසුව මත්පැන් බීමට ඇති ආශාව
හීන වෙන්නට පටන් ගැනීම නිසා
භාවනාව නතර කරලා
මත්පැන් බොන්න පටන් ගත්තා කියලා
මට අහන්න ලැබුණා.
අපි එදා ඒ ගැන හිනාවුණා.
ඒත් ඔහු සමථ භාවනාවෙන් ලද ප්‍රතිඵලය
මත්පැන් බීමෙන් ලද අත්දැකීමට
යම් සමාන කමක් දැක්විය හැකියි.

බොහෝ වෙලාවට මත්පැනට හුරු වෙන්නෙ
සංවේදී පුද්ගලයන්.
කුඩා කල සිට සුරතලයට ලක්වුණ
පවුල්වල බාල සහෝදරයන්.
පවුලේ එකම දරුවන්.
කල්ලි ගැසී හුරුවුණ අය.
අන් අය මත යැපෙමින්
කුඩා කාලය ගත කළ සුරතලුන්..
පහසුවෙන් හැඟීම් බර වෙන පුද්ගලයන්.
දැඩි ආවේගශීලී අය.
සිත, කය වෙහෙසවන පුද්ගලයන්.
ස්වභාවයෙන් කුලෑටි නමුත් සමාජ ශීලී අය.
විවාහය තුළ හුදෙකලා වූ අය.
රැකියා ස්ථානය තුල හුදෙකලාවූ අය.
සමාජය තුළ හුදෙකලාවූ අය.
හීනමානයෙන් පෙළෙන අති මානී පුදගලයන්.
සමාජයේ අවධානය ලබන
එහෙත් සැබෑ ජීවිතය තුළ
ඒ විශේෂත්වය නොලැබෙන පුද්ගලයන්.
මේ ආදී කිසියම් මානසික අංගවිකලභාවයකින්
නිරන්තරයෙන් පෙළෙන පුද්ගලයන්.
පහසුවෙන් මත්පැනට ඇබ්බැහි වෙනවා.

මේ සියල්ලන්ටම මත්පැන කිහිලිකරුවක්.
ඔවුන්ගෙ ජීවිතයෙ හිස් තැනක්
මත්පැන් පානයෙන් පිරැවෙනවා.
ඔවුන් ඉහළ මිලක් ගෙවන්නෙ
ඒ හිස් තැන පුරවා ගන්නයි.

මෙවන් විශේෂ කාණ්ඩ වල පුද්ගලයන්ම
මත්පැනට මෙන්ම සමථ භාවනාවටත් ඇබ්බැහිවීමෙ
ප්‍රවණතාවයක් සමාජය තුළ පවතිනවා.
බොහෝ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන් වලට
භාවනාව මානසික ප්‍රතිකාරයක් ලෙස
යොදා ගැනෙනවා.

කෙනෙක් මත්පැනෙන් හෝ සමථ භාවනාවෙන්
චිත්ත ඒකාග්‍රතාවය හොයන්නෙ ඇයි.?
ඔවුන් මිදෙන්න උත්සාහ කරන දුක කුමක්ද?
නැත්නම් ඔවුන් සොයන සැප කුමක්ද?

චිත්ත ඒකාග්‍රතාවයත් වර්ග දෙකක් තියනවා.
1, කුඩයක්, ඒරියල් එකක් හකුළනවා වගේ.
ජනප්‍රියතාවයෙන් හීන මේ වර්ගයේ ඒකාග්‍රතාවය
මේ සටහනේ පසුව විස්තර කෙරෙනවා.

අනෙක් ක්‍රමය නම්
රාත්‍රියේ කරුවලේ තියන තනි අරමුණකට
විදුලිපන්දමක් එල්ල කර ගැනීමක් වැනි
චිත්ත ඒකාග්‍රතාවය.
ඔහු දකින අරමුණ හැර වෙනත් කිසිවක්
ඔහුගෙ අවධානයෙ නෑ.
ඔහු අතීතය ගැන සිහිය නෑ.
අනාගතය ගැන සිහිය නෑ.
තමාගෙ කය ගැන සිහිය නෑ.
තමන්ගේ වේදනා ගැන සිහිය නෑ.
තමන් අවට සිදුවෙන දේ ගැන සිහිය නෑ.
ඔහු ඉන්නෙ ඔහුගෙ අරමුණේ.

මේ මානසිකත්වය තුළ මෝහය රජ කරනවා.
ඔහු සාමාන්‍ය කෙනෙකුට වඩා දක්ෂ වෙන්න පුලුවන්.
ඒත් ඔහු නරුමයෙක්.


සිත කය තුළට හකුළුවා ගෙන
සමස්ත කය සහ සිත ගැන සිහියෙන්
සිත කය වෙන්සට උපෙක්ෂාවෙන් විසීමේදි
සතර සතිපට්ඨානයෙන් වැඩෙන මේ ඒකාග්‍රතාවය
විදර්ශනා සමාධියයි.

මේ මොහොත සිතේ මවාගන්න අවශ්‍ය නෑ.
මේ මොහොතෙ
අපේ සිතත් කයත් පවතින තත්වය
වචන වලින් නම් නොකර
සිතින් වර්ග නොකර
සිහියෙන් අත්දකින්න පුලුවන්.
සිතින් සිතන්න අවශ්‍ය නෑ.
විඳින්න පුලුවන්.

සිතින් කිසිවක් අල්ලා නොගෙන ඉන්න පුලුවනි නම්
ඇති වෙන නැතිවෙන කාය වේදනා චිත්ත ධම්ම රටාව
සිහියෙන් දකින්න පුලුවන්.
මේ මොහොතට ඒකාග්‍ර වූ ඔහුට
1, කය ගැන සිහිය තියනවා.
2, වේදනා ගැන සිහිය තියනවා.
3, සංඥා ගැන සිහිය තියනවා.
4, විතර්ක ගැන සිහිය තියනවා.
හැම දෙයක් ගැනම සිහිය තිබුණත්
ඔහු කිසි දෙයක් අල්ලාගෙන නෑ.
කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ.

මේ මොහොතෙ ඔහුගේ කය තුළ ඇතිවෙන
විවිධ වෙනස් වීම් වල සලකුණු
සුඛ දුක්ඛ අදුක්ඛමාසුඛ වේදනා ලෙස
ඔහුගෙ සිහියට දැනෙනවා.
,
චිත්ත ධාරාවෙහි වෙනස් වීම
නීවරණ ලෙස ඔහු සිහියෙන් දකිනවා.
සත් බෝධි අංග ඔහු සිහියෙන් දකිනවා.
ඔහු තුල ඇතිවෙන ධර්මතා
ඔහු සිහියෙන් දකිනවා.

සිත වෙනස් වෙද්දි කයත්
කය වෙනස් වෙද්දි සිතත් වෙනස් වෙන අකාරය
ඔහු සිහියන් දකිනවා.
මේ වෙනස් කම් වලින් නොසැලී, අකම්පිතව,
අනිශ්‍රිතව වෙසෙන ඔහු තුළ
සුඛ වේදනාවන් ආකාරයෙන්
රාගානුසය කෙලෙස් මතු වී නැසෙනවා.
දුක්ඛ වේදනාවන් ආකාරයෙන්
පටිඝානුසය කෙලෙස් මතු වී නැසෙනවා.
අදුක්ඛමාසුඛ වේදනාවන් ආකාරයෙන්
අවිජ්ජානුසය කෙලෙස් මතු වී නැසෙනවා.

සතර සතිපට්ඨානයෙන් කෙලෙස් නැසෙන්නෙ
කෙලෙස් මතුවීම සහ නැතිවීම
කාය වේදනා චිත්ත ධම්ම රටා සමස්තය තුළ
සම්පූර්ණයෙන්ම අත් විඳීමෙනුයි.
වෙනස් වන, වැයවන ස්වභාවයෙන් යුතු
රාග, ද්වේශ, මෝහ සංස්කාර මතු වී
නැසෙද්දී. සිත පිරිසිදු වෙනවා.
සිත පැහැදිලි වෙනවා.
ප්‍රඥාව පහළ වෙනවා.

මේ ච්ත්ත ඒකාග්‍රතාවය
සිතින් කිසිවක් අල්ලා නොගෙන
ඇති වෙන නැතිවෙන
කාය වේදනා චිත්ත ධම්ම රටාව සිහියෙන් දකිමින්
මේ මොහොතට ඒකාග්‍ර වූ ඔහුට ඇතිවෙන
සම්මා සමාධියයි.


මහණෙනි,
යමක් හේතු කොට ගෙණ
නූපන්නා වූ ද කුශලධර්මයෝ උපදිත් නම්,
උපන්නා වූ ද අකුශලධර්මයෝ පිරිහෙත් නම්,
මහණෙනි,
අප්‍රමාදය වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි.

මහණෙනි,
නොපමා පුඟුල්හට නූපන්නා වූ ද කුශලධර්මයෝ උපදිත්,
උපන්නා වූ ද අකුශල ධර්මයෝ පිරිහෙත්.

සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛෙ
එසමග්ගො විසුද්ධියා

සබ්බේ සංඛාරා දුක්ඛාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛෙ
එසමග්ගො විසුද්ධියා

සබ්බේ ධම්මා අනත්තාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛෙ
එසමග්ගො විසුද්ධියා

මහණෙනි,
සතර කරුණෙකින් අප්‍රමාදය කළ යුතුය.
කවර සතර කරුණෙන යත්:

මහණෙනි,
කායදුශ්චරිතය හැර පියව. කාය සුචරිතය වඩව.
එහිදු  පමා නොවව.

මහණෙනි,
වාග්දුශ්චරිතය හැර පියව. වාක්සුචරිතය වඩව.
එහිදු පමා නොවව.

මහණෙනි,
මනොදුශ්චරිතය හැර පියව. මනඃසුචරිතය වඩව.
එහිදු පමා නොවව.

මහණෙනි,
මිසදිටු හැර පියව. සම්දිටු වඩව.
එහිදු පමා නොවව.

මහණෙනි,
යම් කලක මහණහට
කායදුශ්චරිතය ප්‍රහීණ වේ ද,
කායසුචරිතය භාවිත වේ ද,
වාග්දුශ්චරිතය ප්‍රහීණ වේ ද,
වාක්සුචරිතය භාවිත වේ ද,
මනෝදුශ්චරිතය ප්‍රහීණ වේ ද,
මනස්සුචරිතය භාවිත වේ ද,
මිසදිටු ප්‍රහීණ වේ ද,
සම්දිටු භාවිත වේ ද,
හෙතෙම සම්පරායික මරණයට බියපත් නො වෙයි.


මගේ දුක නිවන්න, තාත්තා අරන් දුන් චිත්‍රකතා පොත..



මෙතෙක් ආ ගමනේ වීරත්වය කාට ද හිමිවෙන්න ඕනි සර්?
සහතිකවම තාත්තා තමයි මගේ වීරයා. මොකද මම එහෙම කියන්නේ එයා තරම් මාව හඳුනාගත්ත වෙනත් කෙනෙක් තවත් නෑ. මගේ තාත්තා කඩුගන්නාවේ රජයේ බෙහෙත් ශාලාවේ ඔෟෂධ සංයෝජකයෙක් ලෙසයි රැකියාව කළේ. ඒක ලොකු වැටුප් හම්බවෙන ඉහළ තරාතිරමේ රැකියාවක් නො වුණත් ගමේ අය තාත්තට හරියට සැලකුවා. ගමේ අය තාත්තට කිව්වේ රත්නායක වෙදමහත්තයා කියලා. තාත්තට යන යන තැන අපූරු මිතුරන් පිරිසකුත් හිටියා. එයා අතිශය කලාකාමී චරිතයක්. මගේ කුඩා කාලේ අපේ ගෙදර නිරන්තරයෙන් සංගීතය ඇහෙන පරිසරයක් තිබුණා. අපි ඒවට කිව්වේ සංගීත සාජ්ජ කියලා. ගමෙත් එහෙමයි. සංගීත සාජ්ජ තිබුණා. මේවායේ සර්පිනා, තබ්ලා, බටනලා, මැන්ඩලීන් වැනි වාදක භාණ්ඩ මැනවින් තිබුණා. අපි මේ වගේ අවස්ථාවලින් ලොකු වින්දනයක් ලැබුවා. ඉතින් තාත්තා ගැන කතාවට මම එන්නම්. අපේ ගමේ ඔය හැම විශේෂ අවස්ථාවකම ඒ කියන්නේ කොටහළු මඟුල් ගෙයක්, මඟුල් ගෙයක්, ස්ථාන මාරුවක් මේ හැම එකකම සාජ්ජ තිබුණා. එක දවසක් ඔය වගේ සාජ්ජයක සංගීතය අතරතුර ලැබුණු විරාමයක වාදක පිරිස පොඩ්ඩකට එහාමෙහා වුණා. ඒ වෙලාවේ මට ඒ වාදක භාණ්ඩ අතර තිබුණු සර්පිනාව අතපත ගාන්න ආස හිතුණා. ඒක ෆුට් බෙලෝ සර්පිනා එකක්. ඒක වාදනය කරන්න ඕන කකුලෙන් පාග පාගා හුළං දෙමින්. මමත් කකුල් දෙකින් බෙලෝ එක පාගමින් අර ඇඟිල් පුවරුවේ අත එහාමෙහා ආසාවට අරන් ගියා. මට එකපාරටම ලොකු ටොක්කක් වැදුණා රිදෙන්නම. ඒ මේ සර්පිනා එකේ අයිතිකරුවාගෙන්. ඊටපස්සේ මගේ කන් කෙටියෙන් අල්ලලා මාව පැත්තකට වීසි කරන ගමන් කිව්වා මේක සෙල්ලම් බඩුවක් කියලා හිතුව ද කියලා. ඉතින් ඔය සිද්ධිය අපේ තාත්තට ආරංචි වෙලා එයාගේ හිත හොඳටම රිදිලා තැන් තැන්වල ගිහින් ටොකු කන්නේ නැතිව මෙන්න ඉගෙන ගනින් කියලා අර වර්ගයේම සර්පිනාවක් මට අරන් දුන්නා. ඒක තමයි මගේ සංගීත දිවියේ ආරම්භය.
----------------------------------------------------වික්ටර් රත්නායක
=================================================
 මගේ ජීවිතයෙත්
තාත්තා සම්බන්ධව
මෙවැනිම සිදු වීමක් තියනවා.

 
ඒ දවස්වල තාත්තා වැඩ කළේ
දෙනියායෙ කිරිවැල්දොළ රොක්ලන්ඩ් වත්තෙ
කොන්දොස්තර කෙනෙක් විදියටයි.

 
මම හය හත වසරෙ විතර ඉන්න කාලෙ
එක පාසල් නිවාඩුවකට
තාත්තා මාව ඒ වත්තට එක්ක ගියා.
ඒ ගමනෙදි වත්ත හිමිකරුවන්ගෙ
ගෙදරට ගිය බව මට මතකයි.
අලිගැට පේර කාල වමනෙ ගිය හැටිත්
එදා සිට අදටත් අලිගැටපේර
මට අප්‍රිය වීමත් මතක සටහනක්.
ඒ ගෙදර වතුර ටැංකිය,
ඒ ටැංකියට වතුර ලබාගන්න
කන්දෙ හදල තිබුණ ටැංකියෙ
ප්‍රතිසංස්කරණයකට ගිය බව
ඒ අසල ගෙදරකදි තෑගි ලැබුණ
කුණුලේ පාට ප්ලාස්ටික් කොපුවක් සහිත
මවුත් ඕගන් එක මට මතකයි.

අපි නවාතැන් අරන් හිටියෙ
වත්තෙ තියන දළු මඩුවෙ කාමරේක.

දවසක් හැන්දෑවෙ හතට විතර
තාත්තා මාත් එක්ක දළු මඩුව අසල
තාත්තගෙ මිතුරෙකුගෙ ගෙදරට ගියා.
ඒ ගෙදර "නීලා චිත්‍රකතාව තිබුණා.
පත්‍රවල පළවෙන චිත්‍රකතා
කොටස් වශයෙන් කියවා තිබුණත්
එක දිගට චිත්‍රකතා පොතක් කියවා තිබුණේ නෑ.

 
මම ඒ කතාව ඉතා ආශාවෙන් කියෙව්වා.
තාත්තා සතුටු සාමීචිය නිමා වෙලා
පිටත් වෙන වෙලාව වෙද්දි
කතාව කියවා ඉවර කරගන්න
මට බැරි වුණා.

පොත අරන් ගිහින් කියවන්න මම ඉල්ලුවා.
ඔවුන් දෙන්න කැමතිවුණේ නැහැ.
මගේ හිතේ දුකත් තරහත් නිසා
මම මග දිගට කළුවරේ හඬමින්
පාර දෙපැත්තෙ තේ ගස්වල කොළ කඩමින්
තාත්තා පිටුපසින් ආවා.
තාත්තා වචනයක්වත් කිව් බවක්
මට මතක නැහැ.

නිවාඩුව ඉවර වෙලා
තාත්තා මා එක්ක ගෙදර යන්න
පිටත් වෙලා ආපහු එද්දි
බස් රථය දෙනියායෙ නැවතුම් පොළේ
ටික වෙලාවකට නතර කළා.
මම ජනේලයක් ළඟට වෙලා
බලාගෙන ඉඳිද්දි
තාත්තා බස් එකෙන් බැහැලා
මම ඉන්න පැත්තෙ මහපාර පැනලා
එතන තිබුණ කඩේකට ගියා.
ඒ කඩේ එල්ලා තිබුණ චිත්‍රකතා පොතක්
අරන් තාත්තා මට ගෙනත්දුන්නා.
ඒ "බිලිපූජාව" හතරවෙනි කොටස.

මගේ ජීවිතය මූලිකවම මම ගතකරන්නෙ
චිත්‍රකතා ශිල්පියෙක් විදියට කියල
තාත්තා එදා හිතන්න නැතුව ඇති.

පාසල් යද්දි චිත්‍ර ඇඳීම
තාත්තා අනුමත නොකළත්
පත්තරවල කතා පළවෙද්දි
අහිංසක ආඩම්බරයක් විඳින්න ඇති.