20170509

GMOA වෛද්‍යවරු රෝගීන් බියපත් කරන 5% පුස් වෙඩිල්ල



මැයි පස්වෙනිදා
දීප ව්‍යාප්ත වැඩ වර්ජන දිනයයි.

මහා වැඩ වර්ජනය සැලසුම් කළ
වෛද්‍ය සංගම් වෘත්තීය නායකයා
සුපුරුදු ලෙස දරුවන් පාසලට යවා
වර්ජනය ආරම්භ කරන වෙලාවට වඩා
පැයකට පමණ පෙර රෝහලට පැමිණ
වෙනදා මෙන්ම සිය රාජකාරිය
නොපිරිහෙළා ඉටුකළේ
වර්ජනය කරන ජනතාව පිළිබඳ
බරපතල විශ්වාසයෙනි.

එහෙත් අනෙකුත් වැඩ කරන ජනතාවද
ඔහු මෙන්ම සුපුරුදු ලෙස දරුවන් පාසලට යවා
වර්ජනය පිළිබඳව නොසිතා
රාජකාරි ස්ථානවලට පැමිණ
වෙනදා මෙන්ම සිය රාජකාරිය
නොපිරිහෙළා ඉටුකළෝය.

රටපුරා පාසල්, ප්‍රවාහන, විදුලිය ආදී
කිසිදු අංශයකින් වර්ජනයක් සිදු වුණේ නැත.
ජන ජීවිතය වෙනදා මෙන්ම පැවතිණ.

වෛද්‍ය සංගම් වෘත්තීය නායකයාගේ පිළිවෙත අනුව
වර්ජනයේ යෙදුණ රජයේ රෝහල් වල පමණක්
සුපුරුදු වර්ජනයක් ඇති බව පිටට පෙණින.

"වෛද්‍ය වර්ජනයකදි සියයට අනූපහක්ම වැඩ කරමින්
ඉතාමත්ම එළියට නිරූපනය වෙන වර්ජන ක්‍රියාමාර්ගයක් තමයි
අපි ගන්නෙ"....-වෛද්‍ය පාදෙණිය
හිරු ටීවී සලකුණෙන් රටටම කිව්වා.

රජයේ වෛද්‍යවරුන්ට සහ හෙද හෙදියන්ට හැර
වෙනත් කිසිදු අංශයකට අදාළව කිසිසේත් කළ නොහැකි
සියයට පහේ වර්ජනයට ජනතාව නොපෙළඹීම පුදුමයක්ද?

වැඩ කරන ජනතාව කෙසේ වුවත්
වර්ජනයක ස්වරූපය
විනිවිද දැකිය හැකි ඇසක් ඇති
පදම් වූ වෘත්තීය සමිති සංවිධායකයන්ට
වෛද්‍යවරුන්ගේ සියයට පහේ හතරවරම
නොපෙනෙනවා විය නොහැකිය.

සේවා ග්‍රාහකයාට මාරාන්තිකවන නිසා
සියයට පහක් අඩාළ කරමින් වුවද
රට රවටන්නට වර්ජන කළ හැකි රෝහල් ක්ෂේත්‍රයේ
සියයට පහේ වර්ජනයකින් ජනතාව පීඩාවට පත් කිරීමට
රජයේ වෛද්‍ය සංගමයේ වෛද්‍යවරු සමත්ය.

ඒ අධාර්මික සිවිල් බලය භාවිතා කරමින්
ගෙදරට සබන් කැටය, දත් බුරුසුව වෙනුවෙන්
තමන්ගේ සියයට පහේ වර්ජනය මගින්
රජයට බලපෑම් කරන වෛද්‍යවරු සමග
වැඩ වැරීමේ බලය අතින් පෑහෙන්නට
අනෙකුත් ක්ෂේත්‍රවල වැඩ කරන
ජනතාවට හැකිද?

මැයි පස්වෙනිදා පුස් වෙඩිල්ලෙන්
රටත් රජයත් ජනතාවත්
පසක් කළේ ඒ නොහැකියාවයි.

වෛද්‍යවරු අඛණ්ඩ වැඩ වර්ජනයකට
වැඩ කරන ජනතාව පොළඹවන්නට
කැස කවන්නේ මේ නිසාය.
ඔවුන්ගේ සියයට පහේ බලය දැනෙන්නට
වෙනත් ක්ෂේත්‍රවල 65%ක්වත්
වර්ජනය කළ යුතුය.

සයිටම් ආයතනය එතරම් ප්‍රබල
ජනතා ප්‍රශ්නයක් නොවේ.

ප්‍රමිතියක් නැති සයිටම් වෛද්‍යවරුන් ගැන
රජයේ වෛද්‍යවරු ගෝනි බිල්ලන් මවා පෙන්වුවද
ප්‍රමිතියක් නැති වෛද්‍යවරු අතින් මියයන රෝගීන්
නිතරම රට පුරාම දකින සාමාන්‍ය ජනතාවට
දැන් අති බියට වඩා බියක් ඇති කළ නොහැක.

"සයිටම් දොස්තරලා එන්න ඕනයැ.
දැන් වුණත් එහෙම අය ඉන්නවා නේද?"
ඔවුහු අසති.

ප්‍රමිතිය ගැන අවධාරණය කරමින්
මේ ඇති කරන්නට තතනන සයිටම් බිය නිසා
වෛද්‍යවරයෙකු අතින් නිතර සිදු වෙන නමුත්
පසුගිය කාලයේ නොසැලකූ ආකාරයේ
කුඩා අත් වරදකින් පවා දැන් රෝගීහු බිය වෙති.
වෛද්‍යවරු කරන සැම ප්‍රතිකාරයක්ම සැක කරති.

සිය ආත්මාර්ථය තකා තැනූ
අධාර්මික සයිටම් ප්‍රමිතිකරණ චෝදනා
දැන් රජයේ සහ පෞද්ගලික රෝහල් වල
සියලුම වෛද්‍යවරුන්ට පාරාවළල්ලකි.
සොබා දහම අධාර්මිකයා එල්ලන්නේ
ඔහුගේම දිය ලනුවෙනි.

අනාගත රෝගී ජනතාව
මේ සීයට පහේ පුස් වෙඩිල්ල හඳුනාගෙන
ඔවුන්ගේ ප්‍රඥාවෙන් විසඳුම් සොයන විට
මීට වඩා රෝගීන්ට දැනෙන දරුණු මගකට
මතු අවතීර්ණ වන්නට හැකි ආකාරයේ
දැඩි පිළිවෙතක් සහ නරුම ස්වභාවයක්
රවෛනිසංගම් පාලනාධිකාරියට ඇත.

වෘත්තීය ආත්ම ගරුත්වය නැති
අකාරුණික වෛද්‍යවරුන් මෙන්
විටින් විට පුපුරා යන මාන්නයෙන්
රවෛනිසංගම් පාලනාධිකාරියද
දැඩිව පෙළෙන පිරිසක් බව
මාධ්‍ය ප්‍රකාශ නැරඹීමෙන්ම
අපි දනිමු.

එහෙත්
මේ සියයට පහේ පුස් වෙඩිල්ල ඉක්මවා
දැඩි පිළිවෙතකට යන්නට ඔවුහු බිය වෙති.

මාන්නයෙන් උදහස්ව කුපිත වී
දැඩි වර්ජනයකට යොමු වීම නිසා
එක් මිනිස් ජීවිතයක් හෝ අහිමි වුණොත්
පොදු ජනතාව වියරු වැටෙනු නියතබව
ඔවුන් නොදන්නවා නොවේ..

කරන්දෙණියේ වෛද්‍යවරයා ඝාතනයෙන් පසු
ඝාතකයන්ගේ ගේ දොර ගිනි තියමින්
අදාළ සියල්ලන්ගෙන්ම පළි ගන්නට පෙළඹුණු
සුවිශේෂී ජන රැල්ලට සියලුම වෛද්‍යවරු බිය වෙති.

රට රවටන සියයට පහේ උප්පරවැට්ටියට
රජයේ වෛද්‍යවරු පෙළඹෙන්නේද
කරන්දෙණිය සංස්කෘතිය සිහිවනවිට
ඔවුන් තුළ ඇතිවන මරණ බිය නිසාය.

කරන්දෙණිය සංස්කෘතියට බියේ
සියයට පහේ පුස් වෙඩිල්ලකින්
වර්ජන අවශ්‍යතා සපුරා ගන්නා
මේ කූට වෛද්‍යවරු පිරිසට
රටේ ජනතාව රවටන ආකාරයෙන්
වැඩ කරන ජනතාව රැවටිය හැකිද?

මැයි පස්වෙනිදා නම් නොහැකි විය.
--------------------------------------------------------

"වෛද්‍ය වර්ජනයකදි සියයට අනූපහක්ම වැඩ කරමින්
ඉතාමත්ම එළියට නිරූපනය වෙන වර්ජන ක්‍රියාමාර්ගයක් තමයි
අපි ගන්නෙ"....-වෛද්‍ය පාදෙණිය
http://sansaranee.blogspot.com/2017/05/blog-post_6.html
 වර්ජන මග හරින වර්ජන සංවිධායකයා,