20150531

ඔබේ අවසිහිය කොතරම් ප්‍රබලද?


 ඔබට සිහිය තියනවා නම්
ඔබේ සිහිය කොතරම් ප්‍රබලද?

ඔබට ඔබ ගැන 100%ක් සිහිය ඇත්නම්
මේ මොහොතේ
ඔබ අවට සිදුවෙන හැම දෙයක්ම ගැන
සහ ඔබ තුළ සිදුවෙන හැම දෙයක් ගැනම
ඔබට සිහිය තිබිය යුතුයි.

ඔබේ අවසිහිය කොතරම් ප්‍රබලද?

මේ මොහොතේ ඔබ අවට සිදුවෙන දේවල් කීයක්  තියනවාද?
ඔබේ මොළයට කොතරම් තොරතුරු ප්‍රමාණයක් ලැබෙනවාද?



 මේ මොහොතේ
ඔබ අවට සිදුවෙන දේවල්
කීයක් ගැන
ඔබට සිහිය තියනවාද?

ඔබේ ඇසට මොනතරම් දේවල් පෙනුණත්
මේ මොහොතේ ඔබට පෙනෙන්නෙ මේ වචන විතරයි..

ඔබේ සවනට මේ මොහොතේ ඇසෙන ශබ්ද කොතරම්ද?

ඔබේ මුව තුල මේ මොහොතේ දැනෙන රසයක් නැතිද?

සුවඳක් නැතත් සිහිය යොමු කළොත්
මේ මොහොතේ නාසයේ ස්පර්ශ වෙන හුස්ම දැනේවි.

මේ මොහොතේ සමෙහි විවිධ තැන්වල විවිධ දැනීම් ඇති.
ඒ අනුව ඔබේ ඉරියව්ව ඔබට මැනගත හැකියි.

තමන්ගෙ හිතේ ස්වභාවය දකින්නට හැකි
සීමිත පිරිසෙන් කෙනෙක් නම්
මේ මොහොතේ හිතේ පවතින ස්වභාවය
සතුට, දුක, කනස්සල්ල, ආදී වශයෙන්
නම් කරන්නට හැකියාවක් ඔබටත් ඇති.

ඔබ සිහිය යොමු කරන තුරු
ඔබ තුළ හෝ ඔබ අවට
මේ කිසිවක් ඔබට දැනුණාද?
ඔබ ගතකරන ජීවන රටාව තුළ
මේ දැනෙන ප්‍රමාණය
වැඩි වෙනවාද, අඩු වෙනවාද?

ඔබේ දකුණු අත උරහිස මට්ටමට ඔසවන්න.
ඒ අත ඔබට දැනෙන ප්‍රමාණයත්
සැහැල්ලුවෙන් උකුල මත ඇති
වම් අත දැනෙන ප්‍රමාණයත්
සිතින් සසඳන්න.
දැන් දකුණ අත සමග
ඔබේ මුළු කයම සසඳන්න.
ඔබ මේ අත්දකින්නේ සිහිය සහ අවසිහියයි.

සිහිය යොමුකළොත්
ඔබේ සිහියට හසුවිය හැකි බොහෝ දේ
මේ අයුරින් ඔබට මග හැරෙනවා.
මේ මොහොතේ සිහිය යොමු කළොත්
ඔබට විඳිය හැකි, ඔබට දැනෙන දේ
සියයට 95 හෝ ඊටත් වැඩි ප්‍රතිශතයක්
ඔබට මග හැරෙනවා.

ඔබ කොතරම් උගත් වුවත්, බුද්ධිමත් වුවත්
ඔබ ගන්නා හැම තීරණයක්ම ගන්නේ
මේ දුර්වල සිහියෙන් යුතු සිත විසින්.

ඔබ ගන්නා තීරණ වලදිත්
ඔබ දකින්නේ ඔබට අවශ්‍ය දේ විතරයි.

මේ මොහොත මෙන්ම ගෙවී යන
ගතවෙන හැම මොහොතක් පාසාම
අවසිහිය බවට පත්වෙමින්
ඔබට අහිමි වෙන ඔබේ සිහිය
රැකගන්නට ඔබට හැකිද?

මේ මොහොතේ සිහියත් අවසිහියත් අතර
ඔබේ සිත පවතින තැන කොතනද?
සිහිය අඩුවෙද්දි අවසිහිය වැඩි වෙනවා.
මත් පැන් බිව්වම සිහිය අඩු වෙනවා.
පොත පතට ඇබ්බැහි වූ අය
හිතලු මවන විට සිහිය අඩුයි..
පෙම්වතුන්ගෙ සිහිය අඩුයි..

කිසියම් දෙයක් නිසා
සතුටෙන් ඉන්න අයට සිහිය අඩුයි.

දුකෙන් ඉන්න අයට සිහිය අඩුයි.

තරහෙන් ඉන්න අයට සිහිය අඩුයි.

කාමය ඇවිස්සුණ ඉන්න අයට සිහිය අඩුයි.

ආවේගශීලී අය ඉන්නෙ අවසිහියෙන්.
ඔවුන් අතින් වැරදි සහ
අපරාධ පවා සිදු වෙන්නෙ
අවසිහිය නිසා.


ඔබ එක දරුවෙක් දකිනකොට
අනික් දරුවා පෙනෙන්නේ නැහැ.
ඔබ කැමති වෙනත් පුද්ගලයෙක් දකිනකොට
ඔබට බිරිඳ හෝ ස්වාමියා මග හැරෙනවා.
අනියම් සබඳතා ගොඩ නැගෙනවා.
මේ අවසිහිය උග්‍ර වෙන කෙනෙක්
ස්ත්‍රී දූෂකයෙක්, මිනීමරුවෙක් වෙනවා.
දූෂණය කරන වෙලාවෙ
කාමය නිසා අවසිහියට පත්වෙන ඔහු
දූෂණයෙන් පසුව බියෙන්
අවසිහියට පත් වෙනවා.

ස්ත්‍රී දූෂණයත් මිනීමැරුමත්
පළමුව සිදුවෙන්නේ සිත තුළයි.

අප කරන සෑම ක්‍රියාවකටම
මනස පෙරටුව පවතිනවා.
ඔබේ ජීවිතයෙහි කළමනාකරුවා මනසයි.
කළමනාකරුවාගෙ දැක්ම පටු නම්
සමස්ත පුද්ගලයෙක් ලෙස
ඔබට හානිකර යෝජනා වලට
ඔහු අත්සන් තබනවා.
සැබෑ වැදගත් දේ ගැන අවසිහියෙන් යුතුව
රසයට වින්දනයට කැමැත්තෙන්
කළමනාකාර මනස ගන්නා වැරදි තීරණ නිසා
ඔබේ ජීවිතය බංකොළොත් වෙනවා.


ඔබ මහළුවූ පසුව
කළමනාකාර මනසට රැකියාව අහිමි වෙනවා.
ඔබේ අවසිහිය අංග සම්පූර්ණ වෙනවා.

ඔබ අවසිහියෙන් හැසිරෙනවා.
ඔබට හුරුවී තිබුණ දේවල්
නොගැලපෙන වෙලාවට
නොගැලපෙන තැන්වල කරනවා.
අවසිහියෙන් හැසිරෙන ඔබ
ඔබේ දරුවන්ට පවා පිස්සෙක් ඔල්මාදකාරයෙක්.

රෙදිපටිවලින් ගැට ගැසීමෙන් හෝ
නිර්වින්දක බෙහෙත් වලින් හෝ
ඔවුන් ඔබ ඇඳට කොටුකරනවා.
ඔබට සිදුවෙන දේවත්
ඔබ කරන කියන දේවත්
ඔබ දන්නේ නැහැ.
ජීවිත කාලය පුරා
ඔබ දුර්වල කළ ඔබ රෝගී කළ සිහිය
ඔබේ වැරදි ආශාවන් නිසා අකාලයේ මිය ගිහින්..
දැන් ඔබේ අවසිහිය ක්‍රියාත්මක වෙනවා.

අවසිහියෙන් හැසිරෙන මෙවැනි චරිත
ඔබේ නිවෙස් වල ඔබ දන්නා නිවෙස්වල සිටිනවා.
ඔවුන් ඔබට වඩා වෙනස් වෙන්නේ
ඉතාම අල්ප වශයෙන්.

වරින් වර අරමුණ වෙනස් කරන නමුත්
ඔබට එක දෙයක් ගැන සිහිය තියනවා.

ඉතිරි සියල්ල ගැන ඔබත් ඉන්නෙ අවසිහියෙන්..
ඔවුන් ජීවත්වුණෙත් ඔබ වගෙයි.

ඔවුන්ට දැන් ඒ එකම දේත් අහිමි වෙලා.

සිහිය නැති ඔවුන් ජීවත්වෙන මළවුන් වගෙයි..

එක දෙයක් ගැන සිහියෙන් අන් සියල්ල ගැන අවසිහියෙන්
ජීවිතය ගත කරන තැනැත්තාත්
ඔහු අවසිහියෙන් සිටින ලෝකයට
මළගිය පුද්ගලයෙක්..

සිහිය පිහිටුවා ගත්තොත් සිහිය අමරණීයයි.
අප්‍රමාදය අමරණීයයි.
ප්‍රමාදය මළවුන්ගේ ලෝකයට හිමි දෙයක්..

වැසි දිනයක, තෙත් කලාපීය කැලෑ පාරක
හිමිදිරියේ ගමන් කරන දෙදෙන්කුගෙ
කකුල්වලට කූඩැල්ලන් දෙදෙනක් ගොඩ වෙනවා.
පළාත ගැන එහි සතුන් ගැන,සමස්ත කය ගැන සිහියෙන්
කැලෑ පාරේ ගමන් කරන අප්‍රමාදී පුද්ගලයා,
ඒ කූඩැල්ලා වහාම ඉවත් කරනවා.

ඔහු සමග යන අවසිහියෙන් යුතු අනෙක් පුද්ගලයාට
කූඩැල්ලා දැනෙන්නේ නැහැ.. .
මේ මොහොතේ වෙන දේ
මේ මොහොතේ පෙනෙන්නෙ නැහැ.
ඔහු ප්‍රමාදයි
සිත ජීවත් වුණාට කය මළකඳක් වගෙයි.
කූඩැල්ලා ලේ බී වැටී
තුවාලයෙහි ලේත් වියලී ගිහින්.
ඔහු තවමත් දන්නේ නැහැ.

අප්‍රමාදය අමෘත පදයක්.
ප්‍රමාදය මරණයට සමාන පදයක්.

තමන් කරන දේක ආදීනව
ඒ මොහොතෙම දකින්නට
ප්‍රමාදී පුද්ගලයාට බැහැ.
සිහිය පහළ වෙනකොට ඔහු ප්‍රමාද වැඩියි.

පාපයට, වරදට පෙලඹෙන පුද්ගලයාට
ඉන් සිදුවෙන හානිය ගැන
ඒ අවස්ථාවෙම සිහිය පහලවුණොත්
අවසාන මොහොතෙත් ඔහුට වළකින්න පුළුවන්.
තමන්ට තාවකාලිකව ලැබෙන
රසයක් වින්දනයක් ගැන පමණක්
සිහිය ඇති කෙනෙක්
පාපී සිතුවිලි වලට අවසිහියෙන් පෝෂණය දෙනවා.
එහි ආදීනව පිළිබඳව ඔහුට සිහිය නෑ.
සමාජය ගැන, නීතිය ගැන,
උසාවිය සිරගෙදර ගැන ඔහු අවසිහියෙන්..

ආහාර ගැනීමෙදිත්
ප්‍රමාදී පුද්ගලයා අපරාධ කරනවා.
ඔහුට ලැබෙන දඬුවම
ඔහු පරීක්ෂාකරන වෛද්‍යවරයෙක් පණවන
ආහාර වලින් වැළැක්වීමක් විය හැකියි.
නැත්නම් දියවැඩියාව, හෘදයාබාධ ආදියෙන්
කෙමෙන් සිදුවෙන මරණය විය හැකියි.

ආහාර ගැනීමෙදිත්
සිහිය දුර්වල පුද්ගලයා
දුරාහාර නිසා හානිකර,
රෝගී තත්වයන්ට ගොදුරු වෙනවා.

ශරීරයෙන්
ඉතාම කුඩා පෘෂ්ඨයක් වූ
දිවට දැනෙන රස හැර
ආහාරයෙහි වෙනත් ලක්ෂණ
ඔහු දකින්නේ නැහැ..
ඒ ආහාරය දුර්-ආහාරයක්.

අවසිහියෙන් ගන්නා දුරාහාරයෙන්
කෙමෙන් පිරිහෙන කය නිසා
තියන සිහියත් අහිමිවෙනවා.

තමන් ප්‍රිය කරන මානසිකත්වයක්
මනසට ලබා දෙන්නට කය උගස් කරන්නට
අවසිහියෙන් යුතු මධුලෝලියා පෙළඹෙනවා.

මත්පැන් බීමෙන් කය තුළ සිදුවෙන
ජෛව රසායනික වෙනස්වීම් නොදකින නිසා
මනසට දැනෙන හැඟීම පමණක් දකින
මධුලෝලී චරිත නිතර මත්පැන් ගනිමින්
නිතරම මොළයත්, ස්නායු පද්ධතියත්
දුර්වල කරගන්නවා, රෝගී කරගන්නවා.
ඔහුගෙ සිහිය කෙටි කාලීනවත්, දීර්ඝකාලීනවත්
දුර්වල වෙනවා.
උගස්කළ කය උගසටම සින්න වී
ඔහු මිය යන්නත් පුලුවන්.

අවසිහියෙන් යුතු පුද්ගලයාගේ
ආත්ම දමනයත් සමානුපාතිකව දුර්වලයි.
ඔහු උගතෙක් වෙන්න පුලුවන්.
තර්කයට දක්ෂ වෙන්න පුලුවන්.
ඔහුගෙ උගත්කම විෂයකට දෙකකට විතරයි.

අවසිහියෙන් යුතු පුද්ගලයා  තර්ක කරන්නෙ
ඔහුගෙ සිහියට හසුවෙන
ඉතා සීමිත තොරතුරු සමගයි.

ජීවිත කාලයක් තුළ හැදෑරුවත්
මනසින් දැනගත නොහැකි
විඳ ප්‍රත්‍යක්ෂයෙන් දැනගතයුතු
ඉතාම ගැඹුරු දහමක් පවා
ඒ දහමට සම්බන්ධ සල්ලාලයෙක්, බේබද්දෙක් දෙස බලා
ඒ පුද්ගලයා නිසා ප්‍රතික්ෂෙප කරන්නට
අවසිහියෙන් යුතු උගත්, බුද්ධිමතාට පුලුවන්.

ඔහු ප්‍රතික්ෂේප කළ දහම අනුගමනය කිරීමෙන්
වසර දහස් ගණනක් ලෝක පූජිතව වෙසෙන
ඒ දහම සොයාගත් ශාස්තෘවරයා හෝ
සාර්ථක ලෙස දහම අනුගමනය කළ
ධාර්මිකයන් ඔහුගෙ අවසිහියට ගොදුරු වෙනවා.

නිරාගමිකයෙක් කියන්නෙ
දහම ගැන අවසිහියෙන් වෙසෙන්නෙක්
දහම නොපිළිපදින ආගමිකයාත්
දහම ගැන අවසිහියෙන් වෙසෙන්නෙක්.

ස්ව කැමැත්තෙන් ආගමික වුවත්,
නිරාගමික වුවත් අවසිහිය පදනම නම්
ඔවුන්ට සිදුවෙන සෙතක් නෑ.

ක්‍රීඩකයාටත් සම්පජානෝ සතිය අවශ්‍යයි


මුළු පිටියම සිහියෙන් දකින ක්‍රිකට් ක්‍රීඩකයා
පිටියේ සිටින සියලුම ක්‍රීඩකයන් ඉන්න තැන් පිළිබඳව
මනා සිහියෙන් යුක්තව ක්‍රීඩා කරන නිසා
ඔහු ප්‍රතිවාදීන් මගහරවා
ඔවුනතරින් හතරෙ සීමාව ඉක්මවා යන්නට
පන්දුව යොමු කරනවා.
පන්දුව නිසි තැනට යොමු කළ හැකි
අති දක්ෂ ක්‍රීඩකයෙක් වුණත්
සිහිය ගිලිහීම නිසා දැවී යනවා.

ලකුණු ගැනීම පිරිහුණ ක්‍රීඩකයෙක්
ලකුණු අතරට එනවා කියා හැඳින්වෙන්නේ
ඔහු අවසිහියෙන් සිහිය දිසාවට පැමිණීමයි.

මොන ක්ෂේත්‍රයක වුණත්
සිහිය ඇති පුද්ගලයා
අවසිහියෙන් යුතු අය පාලනය කරනවා.

තමන්ගේ වාද්‍ය භාණ්ඩයත්, ස්වර ප්‍රස්ථාරයත් සමග
නිරන්තරයෙන් ජීවත් වෙන වාද්‍ය ශිල්පීන් සිය ගණනක්
සමස්ත සංධ්වනිය ගැන සිහියෙන් සිටින
සංගීත අධ්‍යක්ෂක යටතේ සේවය කරනවා.

ඔහු සම්පජානෝ සතියෙන් දකින සංධ්වනිය
වාද්‍යශිල්පීන්ගේ පටු සිහියට හසුවන්නේ නැහැ..

කිසියම් දේශපාලකයෙක් යටතේ
තමන්ගෙ ජීවිතය දුෂ්කර වුණ ආකාරය ගැන
සිහියෙන් තොර ඡන්ද දායකයා
කූට නායකයන්ගේ පෙනුමට, කථිකත්වයට වහල්වීමෙන්
අවසිහියෙන් ඔහුට ඡන්දය දී
ලෝක යුද්ධවලට පවා මග විවර කරනවා.

එක වේලක ආහාරයක් ගනිද්දි
දිවේ කුඩා පෙදෙසක් උත්තේජනය කරගන්නට
මස් රසයට පමණක් සිහිය යොමුකරමින්
ගෙදර ඇති කළ කුකුළාට, හරකාට, එළුවාට
සැතකින් පහර දෙමින්
උගේ මුළු ජීවිතයම අහිමි කරවන්නට
අවසිහියෙන් යුතු පුද්ගලයාට පුළුවන්.

ඔබත් මමත් ඇතුළුව
සමාජයේ වෙසෙන ඕනෑම කෙනෙක්
සිහියත් අවසිහියත් අතර දෝලනය වෙමින්
ගතයුතු තීරණ අවසිහියෙන් ගනිමින්
දිනෙන් දින අවසිහිය කරා යන පුද්ගලයන් පිරිසක්.

හදිසි අනතුරකින්,
රෝගාබාධයකින් මිය නොගොස්
මහලු වෙනතුරු ජීවත්වෙන්නට ලැබුණොත්
කාලයත් සමග බිංදුවටම වැටෙන තෙක්
මොහොතක් පාසා සිහිය අඩුවෙමින් පිරිහෙමින්
මොහොතක් පාසා ඔබ තුළ වැඩෙන අවසිහිය
නැවතත් සිහිය බවට පත් කරගන්නට
මේ ලෝකය තුළ ඇති එකම ක්‍රමය
සිහිය යළි පිහිටුවා ගැනීමයි.

අවසිහිය සිහිය බවට පත්කර ගැනීමයි.

බැලූ බැල්මට ඉතාම පහසු කාර්යයක්.
එහෙත් සිහිය පිහිටුවා ගැනීම
මිනිස් ජීවිතයක ඇති අපහසුම කාර්යයයි.
අන් සියලුම දේ කරන්නට
ඔබට මනසින් කොටසක් ප්‍රමාණවත්
එක ඉන්ද්‍රියයක් දෙකක් ප්‍රමාණවත්.

සිහිය දියුණු කරන්නට ඒ ආයෝජනය
කිසිසේත් ප්‍රමාණවත් නෑ.
අවසිහිය දුරු කරමින් සිහිය දියුණු කරගන්නට
ඔබේ මුළු මනසත්, ඉන්ද්‍රිය පහත් පිළිබඳව
සිහියෙන් සිටිය යුතුයි.

කයත් මනසත් දෙකම පිළිබඳව
ඇතුළතින් සහ පිටතින් සිහිය පිහිටුවා ගත යුතුයි.

මේ මොහොතේ පවතින ඔබේ සිහිය
ප්‍රමාණයෙන් සහ තියුණු බවින් වැඩි කරගන්නට නම්
මේ මොහොතේ
ඔබ තුළත් ඔබ අවටත් සිදුවෙන සියලු වෙනස්කම්
ඔබට ඇති උපරිම සිහියෙන් දැකිය යුතුයි.
ඒ වෙනස්කම් පිළිබඳව උපේක්ෂාවත්
ඒ අතරම දියුණු කරගත යුතුයි.
-----------------------------------------------------


මිථ්‍යා සමාධිය - මිථ්‍යා උපේක්ෂාව

එක දෙයක් ගැන සිහිය දියුණු කරමින්
වරදවා දියුණු කරන මිථ්‍යා සමාධියත්
සියල්ලට නිර්වින්දනය වෙමින් ඇති කරගන්නා
මිථ්‍යා උපේක්ෂාවත් දෙකෙන්ම
ඔබේ සම්පජානෝ සතිය පිරිහෙනවා.
අවසිහිය දියුණු වෙනවා.

කුරුල්ලෙකුගේ තටු දෙක මෙන්
සයිකලයක රෝද දෙක මෙන්
සිහියත් උපේක්ෂාවත් දෙකම
සමගාමීව වර්ධනය විය යුතුයි.

වැඩෙන අවසිහියෙන් මිදෙන්නට ඇති එකම ක්‍රමය
පිරිහෙන සම්පජානෝ සතිය පිහිටුවා ගැනීමයි.

අප දන්නා ඉතිහාසය තුළ
සම්පජානෝ සතිය සොයාගෙන
ඉගැන්වූ එකම පුද්ගලයා බුදුන් වහන්සේයි.

බුද්ධොත්පත්තියට පෙර කාලයෙහි
ඉතාම ප්‍රචලිත ක්‍රම වූයේ
සිය පවුලෙන් ඈත්වී, සමාජයෙන් වෙන්වී.
සිහියට හසුවෙන අන් සියලුදේ අත් හරිමින්
එකම අරමුණකට සිත යොමු කරන්නට උගන්වන
මිථ්‍යා සමාධිය සහ අදාළ ධ්‍යාන වඩන
මනස පටුකිරීමේ ක්‍රම වේදයි.

ඒ ක්‍රම වේද හදාරන කුලපුත්‍රයන්ට
අඹ ගෙඩියක් නූලකින් එල්වා නූල දෙසම බලාගෙන සිට
නූල පමණක් දකින විට
එනම් අන්සියල්ලටම නිර්වින්දනය වූ විට
නූලට විදින්නට උපදෙස් ලැබුණා.
අඹ ගඩිය කඩා ගන්නට ඒ ක්‍රමය ඉතාම හොඳයි.
එහෙත් ඒ අඹගෙඩිය කාගේ වත්තක ගසකද කියා
අවසිහියෙන් අනුන්ගේ අඹයකට විදීමෙන්
හදිසි අනතුරකට පත්වෙන්නට ඉඩ තියනවා.
අවසිහිය මාරාන්තික විය හැකියි.

අවසිහිය නිසා පටු වෙන මනස පුළුල් කරමින්
සම්පජානෝ සතියෙන් වෙසෙන්නට හැකිවෙන ලෙස
සිහිය පිහිටුවා ගන්නට ඉගැන්වූ කිසිම කෙනෙක්
බුදුන් වහන්සේට පෙර
අප දන්නා ඉතිහාසය තුළ සිටියේ නැහැ.
සිහිය ගැන කතා කරන දාර්ශනිකයන් සියලු දෙනාම
ලොව පුරා බිහිවූයේ ඉන් පසුවයි.

මිනිසාගේ දුකට හේතුවෙන
සත්වයාගේ අපිරිසිදු බවින් මිදී
විශුද්ධියට පත්වෙන්නට
සෝ තැවුල් දුක් දොම්නස් ආදියෙන්
කෙමෙන් කෙමෙන් මිදෙන්නට
ප්‍රඥාව දියුණු වීමට පමණක් නොව
සසර කවදා හෝ සියලු දුක් නිවාගන්නටත්
ඒකායන මාර්ගය සිහිය පිහිටුවා ගැනීම බව
බුදුන් වහන්සේ සොයාගෙන
ලොවට දායාද කළා.

සිහිය පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවය අකාලිකයි.
සිහිය මේ මොහොතේත් අවශ්‍යයි..හෙට අනිද්දාත්
සමස්ත අනාගතයටත් සිහිය අවශ්‍යයි..

අවසිහියෙන් මිදී සිහිය දියුණු කිරීම
මේ මොහොතේම අරඹන්න ඔබට පුලුවන්.
ඔබ කොතරම් අවසිහියට ඇබ්බැහිවී සිටියත්
ඔබේ හුස්ම ගැන, ඔබේ ඉරියව්ව ගැන
නිතරම සිදුවෙන ඉරියව් වෙනස්වීම ගැන
දැන් පවතින අවසිහියෙන් මිදී සිහියෙන් සිටීම
මේ මොහොතේත් ඔබට කරන්නට පුලුවන්.

සිහිය ඔබ යොමු කරන තරමට සිහිය වැඩෙනවා.
නැත්නම් ඉබේටම අවසිහිය වැඩෙනවා.
අවසිහිය වැඩෙන්නට ඔබ කිසිවක් කල යුතු නැහැ.
මෙතෙක් එක දෙයක් ගැන සිහියෙන් සිට් ඔබ
සිහිය වැඩෙන්නට නම්
කරන සියල්ල සිහියෙන් කළ යුතුයි..

මෙතෙක් එක දෙයක් ගැන සිහියෙන් සිට් ඔබ
ඔබ පිළිබඳවත්, බාහිර පරිසරය පිළිබඳවත්
සම්පජානෝ සතිය දියුණු කරගත යුතුයි.
======================================


සද්ධර්මය පිරිහීමට හේතුව.

සතර සතිපට්ඨානය
අභාවිතත්වය හා අබහුලීකත්වය
සද්ධර්ම පරිහානියට හේතුවෙයි.


චතුන්‌නං සතිපට්‌ඨානානං
අභාවිතත්‌තා අබහුලීකතත්‌තා
සද්‌ධම්‌මපරිහානං හොති.
-----------------------------------
පරිහානසුත්‌තං, සීලට්‌ඨිතිවග්‌ගො, සතිපට්‌ඨානසංයුත්‌තං