20160704

පන්සිල් සහ නිවන අතර ඍජු සම්බන්ධයක් තියෙනවා.


Wasantha Mapatuna
[[ පංසිල් සහ නිවන අතර සම්බන්ධයක් තියෙනවද මංද? ]]

න්සිල් සහ නිවන අතර
ඍජු සම්බන්ධයක් තියෙනවා.

නිවන් දුටු කෙනෙක් කියන්නෙ
තමන්ගෙ සිතත් කයත්
මේ මොහොතෙ පවතින ආකාරය ගැන
සම්පූර්ණයෙන්ම සිහිය පිහිටුවාගත් කෙනෙක්.
විපස්සනා වඩමින්  
සිහිය පිහිටුවා ගන්න කෙනෙක් කියන්නෙ
මොහොතෙන් මොහොත දුකෙන් මිදෙන කෙනෙක්.
මොහොතෙන් මොහොත නිවනට ළංවෙන කෙනෙක්.

පන්සිල් රකින කෙනෙක් කියන්නෙ
විපස්සනා වඩමින් සිහිය පිහිටුවාගන්න සුදුසු කෙනෙක්.

සාමාන්‍ය පුද්ගලයෙකුට
තමන්ගෙ සිත සහ කය ගැන
සිහිය පිහිටලා නෑ.
ඔවුන්ට තමන්ගෙ සිතත් කයත්
මේ මොහොතෙ හැසිරෙන ආකාරය ගැන
පිහිටුවාගත් සිහියක් නෑ.
ඔවුන්ට කයට දැනෙන දෙයක්
එක වර සිහියට ආවොත්
ඒ දැනෙන දේ ප්‍රිය නම්
ක්ෂණිකව සිහිය නැතිවෙලා
ඒ පසුපස යන්න පටන් ගන්නවා.
ඒ දැනෙන දේ අප්‍රිය නම්
ක්ෂණිකව සිහිය නැතිවෙලා
එයින් මිදෙන්න මාර්ග සොයනවා.

ඒ දෙකම නැත්නම්
අතීතයෙ හෝ අනාගතයෙන් අරමුණු අරන්
ඒ අනුව ප්‍රපඤ්ච තනමින් වෙසෙනවා.

හිතට එන අදහස් මත
ඔහු හදන ප්‍රපඤ්ච වලින්
ඔහුගෙ සිතෙ රාගය හෝ ද්වේශය
ඔහුට දුකක් වෙන තරමට
වර්ධනය වෙනවා.

ඔහු වරදට පොළඹවන්නෙ
මේ මානසික විඳවීමයි.

සිල් බිඳගන්නෙ
හිතින් විඳවන කෙනෙක්.

මේ මොහොතෙ තමන් අවට සිදු වෙන දේත්
තමා තුළ සිදුවෙන දේත්
ඔවුන්ගෙ හිත කළඹන්නයි මුල්වෙන්නෙ.

මේ කැළඹීම ප්‍රබල වුණාම
ඔහුගෙ සිල් බිඳෙනවා.
මදුරුවෙක් කාල විස දැනෙන කොටම
මදුරුවාට ගහන එකයි
ඔහුට හුරුවෙලා තියෙන්නෙ.

මදුරුවාගෙ දෂ්ඨ කිරීමත්
ඔහුගෙ පහරත් අතර
පරතරයක් නැති තරම්.
තමන්ගෙ වේදනාවෙන් මිදීම
මදුරුවාගෙ කෙටි ජීවිතයට වඩා
ඔහුට වටිනවා.
නැත්නම් ඔහුට ඒ වේදනාව දුන් සත්වයා
මෙලොවින් තුරන් කරන්න
ඔහුගේ ද්වේශය හේතුවක් වෙනවා.

මදුරුවා මැරුවාට පස්සෙ
ඔහුට ඒ ගැන සිහිපත් වෙන්න පුලුවන්.
ඒත් ඔහු ප්‍රමාදයි.

පමාදෝ මච්චුනෝ පදං.
ප්‍රමාද කෙනෙක් මළමිණියක් වගෙයි.
වෙන්නෙ මොනවද දන්නෙ නෑ.

නිවන ඔහුගෙන් බෝ දුරයි.

ඔහු තුළ සිහිය පිහිටුවා ගන්න
ශීලය උපකාර වෙනවා.

ශීලය රකින කෙනෙකුගෙ හිතෙ
මදුරුවාට දෂ්ඨ කිරීමත්
මදුරුවාට වදින පහරත් අතර
පොඩි පරතරයක් ඇති වෙනවා.
ඒ මොහොතෙ සිහිය ඇතිවෙලා
ඔහු මදුරුවා මරන්නෙ නැතුව
පළවා හරිනවා.

මේ සිහිය
ඔහු කෝපයට පත් වෙලා
මිනිහෙක් මරන්න යන වෙලාවකත්
ඔහුගෙ සහයට ආවොත්
ඒ රැකෙන ශීලයෙන් ඔහුත්
අනෙක් තැනැත්තාත්
තව පිරිසකුත් රැකෙනවා.

සීලයෙන් රැකෙන්නෙ
ඔහුගෙ ක්‍රියා විතරයි.
හිත රැකෙන්නෙ නෑ.
අනිකා මරන්න ආපු කෝපය
හිතේ තියනවා.
ඔහු එයින් දුක් විඳිනවා.
ඒ දුක දරාගෙනයි
ඔහු සීලය රකින්නෙ.

තව කෙනෙක් ඒ කෝපය නිසා
මිනී මැරුමක් කරද්දි
ඔහු ඒ කෝපයෙන් තමන් දුක් විඳගෙන
සීලය රකිනවා.
ඔහු උදාර පුද්ගලයෙක්.
සිල්වතෙක්.

සිල්වතෙක් කියන්නෙ
තමන්ගෙ දුකට
අනෙකාගෙන් පළිගන්නෙ නැති කෙනෙක්.
තමන්ගෙ දුකට
අනෙකාට හානි නොකරන කෙනෙක්.

පන්සිල් පද පහම කඩන්නෙ
හිතින් විඳවන මිනිස්සු.
ඔවුන්ගෙ හිතින් විඳවීම
ඔවුන්ට දරාගන්න නොහැකි නිසා
ඔවුන් සිල් බිඳලා
තාවකාලික සහනයක් ලබනවා.

සිල්වතෙක් තමන්ගෙ විඳවීමෙන්
බාහිර ලෝකයට වෙන හානිය
ආත්ම දමනයෙන් වළක්වා ගන්නවා.

ඔහු සිහිය පිහිටුවාගන්න සුදුසු කෙනෙක්.
විපස්සනා වඩන්නෙකු වෙන්න
ඔහු තැබිය යුත්තෙ පියවර දෙකයි.
ඔහුට තමන් විඳින දුක ගැන
කායික සහ මානසික වශයෙන්
සිහිය පිහිටුවාගෙන
ඔහු විඳින දුකට
උපේක්ෂාවෙන් ඉන්න හුරු වීමෙන්
ආර්ය ශ්‍රාවකයෙක් විය හැකියි.
==========================

මහණෙනි,
ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.
මහණෙනි,
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාද
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.

මහණෙනි,
එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ
වෙසෙස කිමෙක් ද?
අදහස කවරේ ද?
වෙනස කිමෙක්ද?

මහණෙනි,
අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1,
කායික වේදනාව ද
2,
චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.

මහණෙනි,
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ
කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .
==========================

ආර්ය ශ්‍රාවකයාකලින් මානසිකව වින්ද දුක
දැන් ඔහු දකින්නෙ කය තුළ ඇති
වේදනා සමුදායක් ලෙස පමණයි.

විදසුන් වඩන කෙනෙක් තුළ
කෝපය මතුවෙන කොටම
ඒ කෝපයට මුල් වෙන වේදනා
ඔහුගෙ සිහියට පෙනෙනවා.
ඒ වේදනාවන්ට උපේක්ෂාවෙන් වෙසෙන ඔහුට
සිල් රකින්න අවශ්‍ය වෙන තරමට
කුපිත වීමක් වෙන්නෙ නෑ.

ඔහුත් අන් අයත් දවා ලන්න
ගිනි ඇවිලූ ඉන්ධන
සිතට කාන්දු නොවී
කය තුළම නිරුද්ධ වෙනවා.
සිතේ උපේක්ෂාව ඇති නිසා
සිතින් දුක් විඳින්නෙත් නෑ.

ප්‍රයෝගිකව සමාධිය අත් විඳින්න.

මේ පහන් දැල්ල ඔබට බලා ඉන්න පුලුවන්.


ඔබේ සිතට සැනසිල්ලක් ඇති වෙන්න පුලුවන්.

සමහර විටඔබේ සිතේ ස්වභාවය අනුව
සුලු වෙලාවකින් ඔබට එපා වෙයි.
ඔබ වෙහෙස වෙයි.

අත්දැකීම පුද්ගලයාගෙන් පුද්ගලයාට
වෙනස් විය හැකියි.
-----------------------------------------------------

මේ පහන් දැල්ල
ඉතා සෙමින් වෙනස් වෙනවා.
ඒ වෙනස බලා ඉන්න ඔබට පුලුවන්ද?

මේ පහන් දැල්ලෙහි ''වෙනස් වීම'' බලා ඉන්න.

ඔබේ හිත නවතිනවා.

හිත ක්‍රියාත්මක වුණොත්
සිත වෙනතකට යොමු වුණොත්
ඔබට පහන් දැල්ලෙ ''වෙනස්වීම'' මග හැරෙනවා.

ඉතාම අසංවර හිතක් ඇති කෙනෙකුට හැර
සාමාන්‍ය සංවර හිතක් ඇති පුද්ගලයෙකුට
ඕනෑම වෙලාවක්
 ''වෙනස් වීම''
බලා ඉන්න පුළුවන්.
.
පහන් දැල්ලක් 
''වෙනස් වීම'' බලා හිඳීම
සමථ භාවනාවක්.

වෙනත් අරමුණු වලින් මිදෙන සිත
සමාධිගත වෙනවා.

ඔබේ සමාධිය ඉතා තියුණු වුණොත්
අවට ඇති සියල්ලම නොපෙනී
පහන් දැල්ල පමණක් පෙනෙයි.

ඔබ ඇස් පියා ගත්තොත්
ඔබේ සිත ශූන්‍ය
වෙන්න පුලුවන්.
නිවන නොවෙයි.ඔබ ඉන්නෙ මෝහය තුළයි.

ඔබේ සිත තැන්පත් වෙයි.

ඔබට ලැබෙන්නෙ සමාධියක්.
මිථ්‍යා සමාධියක්.

ඒ සමාධියත් හිතට විවේකයක්.
.
ඒ විවේකය ඔබට ලැබෙන්නෙ
ඔබ පිළිබඳව
ඔබේ කය පිළිබඳව සිත මෝහයට පත් වීමෙනුයි.

ආළාර කාළාම උද්දක රාමපුත්ත දෙදෙනාගෙන්
ඉහළම ධ්‍යානය වූ අටවෙනි ධ්‍යානය දක්වා
තුන් මසක් තුළ සමාධිය ප්‍රගුණ කළ
සිදුහත් තවුසාණෝ
මේ මිථ්‍යා සමාධිය ප්‍රතික්ෂේප කළා.

වසර හයක් පුරා දැඩි වීර්යයෙන් යුතුව
සිදුහත් තවුසාණෝ මේ සමාධිය
තමන්ගෙ සිතට සහ කයට යොමු කළා.
මිථ්‍යා  සමාධිය සිහිය බවට පත්වුණා.

කය තුල වේදනා ස්වරූපයෙන්
සංස්කාර මතු වුණා.
ඒ සංස්කාර නිසා ඇතිවෙන
සුඛ දුක්ඛ වේදනා
ප්‍රිය අප්‍රිය වශයෙන් නොගෙන
නව සංස්කාර ඇති නොවන ආකාරයට
රාගයෙන් නො ඇලී ද්වේශයෙන් නොපෙළී
සිහියෙන් විසුවා.

හිතේ පත්ලේ තැන්පත්ව තිබුණ
රාග ද්වේශ අනුසය කෙලෙස් වල
ස්වභාවය වැය වීමයි.
අනුසය කෙලෙස්
රාග ද්වේශ සංස්කාර ලෙස මතුවෙමින්
එකින් එක ඉපදෙමින් නිරුද්ධ වුණා.

අදුක්ඛමාසුඛ වේදනාවන් විලසින්
අවිජ්ජානුසය කෙලෙස් සිතේ මතුවුණා.
මිථ්‍යා සමාධිය වඩන කෙනෙක්
නිවන් සුව ලෙස වරදවා වටහාගන්න
අදුක්ඛමාසුඛ වේදනාවන් වල ශාන්ත සුවයට
සිදුහත් තවුසාණෝ ඇලුණේ නෑ.
ඒ මෝහ සංස්කාර ලෙස හඳුනාගනිමින්
අවිජ්ජානුසය කෙලෙස් නැසෙන්නට ඉඩ දී
විදසුන් වැඩුවා.

සමස්ත සිත සහ කය පිළිබඳව
සම්මා සතිය පහළ වුණා.

සිතත් කයත්
වෙනස් වෙන ආකාරය පිළිබඳව
සිහියෙන් වසමින්
ඒ වෙනස් වීම් වලට උපේක්ෂාවෙන් වෙසෙන විට
සම්මා සමාධිය පහළ වුණා.
සිත සහ කය වෙනස් වුණාට
සම්මා සමාධිය බිඳුණේ නෑ.
ආලෝකය පහළ වුණා. විද්‍යාව පහළ වුණා.
ප්‍රඥාව පහළ වුණා.
බුදුන් වහන්සේ විපස්සනා සොයාගත්තෙ
ඒ අයුරිනුයි.

බුදුන් වහන්සේ කියන විදියට
විදසුන වඩන කෙනෙකුට
සිතේ සහ කයෙහි
අති සියුම් වෙනස් වීම් පවා පෙනෙනවා.

ඔබේ සමාධිය
සම්මා සමාධිය බවට පත් කරගන්න
ඔබටත් පුලුවන්.

පහන් දැල්ල මොහොතෙන් මොහොතට
වෙනස් වෙන විදිය බලාගෙන සිටින අතරම
ඔබේ ආශ්වාස ප්‍රශ්වාසය ගැන
සිහියෙන් ඉන්න.

ඔබේ සිත තවත් නිවෙනවා.

ඔබේ කය පිළිබඳව, ඉරියව්ව පිළිබඳව සිහිය පුළුල් කරන්න.
කය පිළිබඳව, ඉරියව්ව පිළිබඳව සිහිය පුළුල් කළාට
ඔබට දැල්ලේ වෙනස් වීම මග හැරෙන්නෙ නැහැ.

සිතුවිලි ඇති වුණොත් ''වෙනස් වීම'' මග හැරෙනවා.

තමා තුළ සිදු වෙන වෙනස්වීම් ගැන අවදියෙන්
ඒ වෙනස් වීම පිළිබඳව
සිහියෙන් සහ උපේක්ෂාවෙන් විසීමයි

මේ වෙනස්වීම බලාගෙන
ඔබට හිතන්න පුලුවන්ද?

මේ විවේකය තුළ
සිහිය සහ උපේක්ෂාව නිසා
කෙලෙස් මතු වී නැසෙනවා.

ඔබේ සිත 
පිරිසිදු වෙනවා.

දවස පුරාම
මේ විදියට ඔබ දිහා බලන්න..
ඔබේ සිත සහ කය වෙනස් වෙන විදිය බලන්නට
විපස්සනා  පුහුණුවක් ලබන්න.

මේ විවේකයට වඩා
සිය දහස් ගුණයක් වටින විවේකයක්
විපස්සනා  පුහුණුව මගින්
 ඔබට ලැබෙයි.