20150305

Wedding - මේනියාව සුව කල හැකිද?

- from අසම්මතයා BLOG

එක් එක් පුද්ගලයින්ගේ ජීවිත සහ ඔවුන්ගේ වටිනාකම් ගැන තීරණ ගැනීම මට කල නොහැකි දෙයක් වුවත් මේ ගැන මගේ අදහස් දැක්වීමේ වරදක් නැතිබව සිතෙන නිසා මේ වෙඩින් මේනියාව ගැන මගේ අදහස් කෙටියෙන් දැක්වීම මේ ලිපියේ අරමුණයි.

අපේ සමාජයේ වර්තමානයේ ඇති මේ වෙඩින් ගැනීමේ ශෛලය මේතැනට පත්වුනේ කොහොමද කියල කියන්න මට අවබෝධයක් නෑ. නමුත් වර්තමානයේ ඇතිවී තිබෙන වෙඩින් ගැනීම මේනියාවක් බවට පත්වී ඇති බව නම් නොකියාම බෑ. මිනිසෙක් සහ ගැහැණියක් විවාහ ජීවිතයට ඇතුල් වීම සැමරීම පිනිස කරන මේ විවාහ මංගල්‍ය උත්සව විවාහ වන අයට මෙන්ම විවාහවන අයගේ දෙමව්පියන්ගේ ජීවිත වල මුහුණ දීමට සිදුවන ලොකුම ප්‍රශ්නයක්, කඩයිමක් බවට පත්වී හමාරයි. ලොකුම ප්‍රශ්නය, කඩයිම වී ඇත්තේ විවාහය හෝ විවාහ දිවියට එලඹීම නොවේ. ව්වාහ මංගල උත්සවයයි.

මිනිසුන්ගේ සාර්ථකත්වය, සමාජ මට්ටම, මනින මිම්මක් බවට මෙය අද පත්වී තිබෙනවා. සාදයක් තුලින් මිනිසුන්ගේ සාර්ථකත්වය මැනීම අප සමාජය මිනිස් වටිනාකම් දෙස බලන විදිහේ බංකොලොත්බාවයට තවත් හොඳ නිදසුනක්. සාදය පවත්වන ස්ථානය, මනාල යුවල අදින ඇදුම්, පලදින ආභරණ, යුවල පැමිණෙන වාහනය, බොන්න දෙන බ්‍රෑන්ඩ් එක, මේක් අප් කරපු සැලූන් (සැලෝන්) එක, ප්ලේට් එකේ ගාන, ප්ලේ කරන බෑන්ඩ් එක, ඇල්බම් එක කරන ස්ටූඩියෝ එක, හනිමූන් යන නගරය, ඉන්න හෝටලය සහ හනිමූන් යන දවස්ගාන වැනි දේවලින් මිනිසුන් මේ සාදය ඇගයීමකට ලක් කරනවා. සාදය සංවිධානය කරන පවුලේ සමාජ මට්ටම මැනීම මෙන්ම මිනිසුන් තමාගේ සමාජ මට්ටම, හැකියාව සහ පොරත්වය සමාජය ඉදිරියේ හඬගා කියන්නත් සාර්ථක සාදයක් පැවැත්වීම ජීවිතයේ ලද ජයග්‍රහනයක් ලෙස සලකීමටත් පෙලඹී සිටිනවා. තමාගේ සමාජ තත්වය ගැන අන් අයට මතක් කර දීමකුත් මෙහිදී සිදුවනවා.

නමුත් මම දකින විදිහට ප්‍රශ්නය මතු වන්නේ ඔතනදී නොවේ. මෙසේ පොරත්වය පෙන්වීමට සමාජයේ මිමිවලට අනුව පොරවල් නොවන අයත් උත්සාහ කිරීමට යාමේදීය. ගැටලුව වන්නේ වර්තමානයේ මධ්‍යම පන්තියේ මිනිසුන්ටද මේ මේනියාව වැලදී තිබීමයි.

මේ සිහින සාදයන් සතියකට සැරයක් චැනල් දහයකින් දහපාරක් මාර්කට් කිරීමෙන් කුමන ක්‍රමයකින් හෝ මඩිය තරකරගැනීමේ අරමුණින් ක්‍රියාකරන ව්‍යාපාරිකයින් වන රූපවාහිනී මාධ්‍යයන්ද මේ ආකල්පය සමාජගත වීමට විශාල වශයෙන් හේතු වී තිබේ. මිනිසුන්ගේ මොල කෑම ආදායම් මාර්ගය කර ගත් මාධ්‍යන් දෙන ලණු සිතීමේ හැකියාවක් නැති මිනිසුන් විසින් රස කර කර කෑම පුදුමයකට කරුණක් නොවේ.
මාධ්‍යන් තුලින් මවන සිහින ලෝකවල ජීවත්වන තරුණ, තරුණියන් හා තම සාර්ථකත්වය සමාජය ඉදිරියේ ඔප්පු කිරීමට අධිශ්ඨාන කරගෙන සිටින මව්පියන් මේ එක් දිනක් තුල සිදුකරන වියදම ඔවුන්ට දරාගත හැකිවන්නේ නෑ. එමෙන්ම තම අසල්වාසීන්, නෑදෑයන්ට දෙවෙනි වීමට ඇති අකමැත්ත, ලැජ්ජාව සහ ඔවුන් සමග යටිහිතේ ඇති තරගය ජය ගැනීමේ අරමුණත් මේ සාදය තමාගේ හැකියාවට වඩා ඉහලින් කරන්න යාමට හේතුවනවා.

මේ අසරණ මිනිසුන් සමාජයේ ගෞරවය ලබාගැනීමේ අරමුණින් ප්‍රශ්න දාහක් මැද අසරණ වන අයුරු මම දෑසින්ම දැක තිබෙනවා. බොහෝ විට මේ සාදය සංවිධානය කිරීමට බැංකු ණය සොයා යන මොවුන් සාදයෙන් පසු මුහුණ දෙන්නේ ප්‍රශ්න වරුසාවකටයි. එක් දිනක් තුල ණය වී ලක්ශ ගනනක් වියදම් කර පසුව වසර ගනනක් තම මාසික වැටුපෙන් වැඩි ප්‍රමාණයක් එම ණය පියවීමට වෙන්කිරීමට සිදුවනවා. ඇතමුන්ට තම විවාහ මංගල්‍යයේ ඇල්බම් එක ගන්න ඉතිරි මුදල ගෙවීමට අවුරුදු ගනන් යනතෙක් මුදල් සොයාගැනීම ගැටලුවක් වන අවස්ථා මම දැක තිබෙනවා. අලුතෙන් පටන් ගත් ජීවිතයේ පලමු මාසයේ සිටම අන් අයට කන්න, බොන්න වියදම් කල ණය ගෙවීමට සිදුවීම කණගාටුවට කරුණක්. සමහර අවස්ථාවලදී විවාහයෙන් පසු දරුවන් බිහිකිරීමට ඔවුන් ගන්නා තීරණයටද මෙය බලපානවා. වර්තමානයේ දරුවෙන් බිහිකිරීමට ආර්ථික අතින් ස්ථාවර්තවයක සිටීම උපදින දරුවාට මෙන්ම මුලු පවුලටම ලොකු ශක්තියක්. නමුත් මේ එක් දිනක් තුල පාටියක් දාන්න වියදම් කිරීම නිසා වැටුන වැටිල්ල හේතුවෙන් දරුවන් සෑදීම, තම පවුලේ ආර්ථික ස්ථාවරත්වය නැති වීම වැනි විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවනවා. මෙහි අන්තයට ගිය අවස්ථා ලෙස තම ඉඩකඩං, වාහන විකුනා විවාහ මංගල්‍ය උත්සව ගන්න අවස්ථා හඳුන්වන්න පුලුවන්.

එක් දිනක් තුල තමාට දරාගත නොහැකි ප්‍රමාණයෙන් මේ කරන වියදම නිසා තමාගේ මුලු ජීවිතයම වෙනත් මාර්ගයකට යොමු විය හැකියි. ආර්ථික ප්‍රශ්න නිසා තම පවුල් ජීවිතය, දරුවන්ගේ අනාගතය වැනි සෑම දෙයක්ම ඔබට ගෙනයාමට තිබූ හොඳම පාරේ නොගොස් වෙනත් පාරක ගෙනයාමට සිදුවිය හැකියි/සිදුවනවා. හැකි සෑම සතයක්ම තම අනාගත සුබ සිද්ධිය කරා ඉතිරි කර බුද්ධිමත් ලෙස වියදම් කිරීමයි කල යුත්තේ. තමාත් සමග තරග කරන, තමාට ඊර්ෂ්‍යා කරන, තමාගේ වැරදි සෙවීමට ඉන්නා මිනිසුන්ට කන්න දීල ඔවුන්ගෙන් හොඳ අහගන්න මුදල් වියදම් කිරීම නොවේ.

සල්ලි විසිකිරීමට හැකියාව ඇති මිනිසුන් මෙවන් සාද පැවැත්වීම වැරදියි කියන්න අපට බෑ. ඒ ඔවුන් උපයා ගත් මුදල්. නමුත් අපත් එසේ ලක්ශ ගනනින් මුදල් වියදම් කිරීමට යාම අනුවණ ක්‍රියාවක් නොවේද?

කෙනෙක් තමාගේ විවාහ මංගල උත්සවයට වියදම්කරන සෑම සතයක් ගානේම හිතන්න ඕනෙ මම මේ වියදම් කරන්නේ මගේ උවමනාවටද නැත්නම් වෙනකෙනෙක්ගේ උවමනාවටද කියන එක. තමා අන් අයගේ සිතුවිලිවල, අදහස් වල වහලෙක්ද කියන එක තමා තීරණය කල යුතුයි. තමාගේ ආශාව නිසාම පමණක් වියදම් කලත් ඒ වියදම් කරන ප්‍රමාණය සත්‍ය වශයෙන්ම තර්කානුකූලද කියන එක සිතා බැලිය යුතුයි. අන් අයගේ සිතිවිලි වලින් පාලනය වනවානම් තමා පුද්ගලයෙක් වශයෙන් කොයිතරම් අසරණද කියන එක මොහොතකට හෝ සිතා බැලිය යුතුයි.

මෙවන් බොලඳ සිහින ඉටුකර ගැනීමට තම අසරණ දෙමව්පියන්ටවත්, පෙම්වතාටවත් බල කිරීම නොවෙයි සිදුකල යුත්තේ. බුද්ධිමත් තරුණයෙක්/තරුණියක් ලෙස අනාගතය ගැන සිතා වැඩ කිරීමයි. ජීවිතයේ යථාර්තය තේරුම් ගැනීමයි. හැඟීම් වලට වහල් නොවී බුද්ධිමත් ලෙස වැඩ කටයුතු කලොත් ඔබට සතුටින් සැනසිල්ලේ ජීවිතය ගෙවීමට හැකියාව ලැබේවි.

අනුන්ගේ ගෞරවය හිඟාකන්න ගිහින් ලක්ශ ගනන් වියදම් කොට ප්‍රශ්න දාහක් මවාගෙන ජීවිතයම ප්‍රශ්නයක් කරගැනීමට වඩා ණය බරින් තොරව, අනාගත අවශ්‍යතා වලදී මෙන්ම බලාපොරොත්තු නොවන හදිසි අවශ්‍යතා වලදී භාවිතා කරන්න යම් මුදලක් තමා ඉතිරි කොට ඇති බව දැනගෙන නින්දට යාමේ ඇති සැනසිල්ල වටිනවා නොවේද?