20171129

අපේ අධ්‍යාපන ක්‍රමයෙ විභාග කරන්නෙ ලොතරැයි ක්‍රමයට.


අද පුතාට විභාගෙට චිත්‍ර.
පුතාගෙ චිත්‍ර වල න්‍යායික දැනුම
ඉතාම දුර්වලයි. පොතවත් නෑ.

ඊයෙ රෑ අම්මා පැරණි ප්‍රශ්න පත්‍ර ටිකක් අරන්
උත්තර පත්‍ර බලාගෙන ඉරි ගැහුවා.
ඒ වෙලාවෙ පුතා නින්දටත් ගිහින්.
උදේ පාසලේ වැඩ පටන් ගන්නතුරු
එයාගෙ යාලුවෙක් එක්ක ඒ ටික බලලා.
ඒ බලාගත්ත ප්‍රශ්නම
විභාග ප්‍රශ්න පත්‍රයෙත් තිබුණලු.

වසර පුරාම පාඩම් කළ අයත් එක්ක
ඔහු සමාන වෙන්නෙ උදේ ගත කළ
පුංචි පැය භාගයක් නිසයි.

අපේ අධ්‍යාපන ක්‍රමයේ ස්වභාවය මෙයයි.
විෂය කරුණු ඉගෙනීම අවශ්‍ය වෙන්නෙ නෑ.
ප්‍රශ්න පත්‍රයට අවශ්‍ය පිළිතුරු ටික
කටපාඩම් කරගෙන ගියොත් ඔහු සමතෙක්.

චෛත්‍යයෙ කොටස් ගැන මොකුත් නොදැන
පුතා ඒ කොටස් ටිකේ නම් ටික විතරක්
විනාඩි කිහිපයකින් පාඩම් කළා.
ඒ ප්‍රශ්නෙ විභාගෙට ආවනම්
ඔහුට සම්පූර්ණ ලකුණු ලැබෙනවා.

ගාථා හයක් හතකින් පුතාට පාඩම් තුනයි.
එයින් එක ගාථාවක් ඇවිත් තිබුණා.
ඒ ගාථාව හැරෙන්න අනිත් සියල්ලම පාඩම් සිසුන්
පුතාට දෙවෙනි වෙන එකයි අපේ අධ්‍යාපන ක්‍රමය.

ලොතරැයියෙන් දිනන්නෙ
ටිකට් දාහක් ගන්න තැනැත්තා නෙමෙයි.
ඇදෙන එක ටිකට් එක තියන තැනැත්තායි.

පුතා ශිෂ්‍යත්වෙට ලියන්න යද්දි
විභාගෙ ඉවර වුණ ගමන් ගමේ යන්න
අපි සැලසුම් කරල තිබුණා.
ඔහු ඒ ගැන විභාගය වෙලාවෙ හිතන නිසා
අපි ඔහුට ඒ බව රහසක් විදියට
තියාගෙන හිටියා.

ශිෂ්‍යත්වෙ දවසෙ උදේ කෑම කන අතරෙ
අපි ඒ ගමන හිතේ තියාගෙන පුතාට කිව්වා
"සමහර විට නිවාඩුවට ගමේ යන එක ගැන
රචනාවක් ආවොත් ගමේ ගිහින් කරන දේවල්
ලියන්න පුලුවන්" කියලා.
ලින දෙවල් දෙක තුනකුත් කිව්වා.
ඒ රචනාවම ඇවිත් තිබුණා.
ඒ තරම් පහසු කරලත් ඔහු හරියට ලියලත් නෑ.
හරියට ලිව්වෙත් නැතුව 169ක් තිබුණා.
ඊළඟ ළමයාට ලකුණු 111යි.
ඔහු ඉගෙනගත්තට වඩා කළේ අනුමාන ප්‍රශ්න.

පුතා 4 අවසාන වාරය වෙනතුරුම ඉගෙන ගත්තෙ
ජාත්‍යන්තර පාසල් වල නිසා සිංහලත් බෑ.
ඒත් අපි ඔහු කියවන්න හුරු කරවලා තිබුණා.
ඔහු සිංහලෙන් ඉගෙන ගත්තෙ අවුරුද්දයි..

අපේ අධ්‍යාපන ක්‍රමය ඉතාම පහසුයි.
පන්තියෙ ඉන්න අවම බුද්ධිය තියන දරුවට
ලකුණු 35ක් 40ක් ගන්න හදන
සරල විෂය නිර්දේශයක්
අපේ පාසල් වලට තියෙන්නෙ.
ඒ තියන දේවල් වලිනුත් අල්පයක් තමයි
ගුරුවරු දරුවන්ට ලබා දෙන්නෙ.
මේ ලේසි පහසු අධ්‍යාපනය
අවුල් වෙලා තියෙන්නෙ
ප්‍රධාන වශයෙන්ම හේතු තුනක් මතයි.

1, දරුවන්ගෙ හිත් අවුල්.
2, දෙමාපියන්ගෙ ජීවිත අවුල්
3, ගුරුවරුන්ගෙ ඉගැන්වීම අවුල්.

මේ අවුල නිසා අධ්‍යාපනය
මහා අමාරු දෙයක් වෙලා.
පොඩ්ඩක් ඉගෙන ගන්නා අය
සුවිශේෂී පුද්ගලයන් වෙලා.
ඒත් ඒ උගත් කම නිසා වෙනස් වුණ
යහපත් වුණ කෙනෙක් අපි දන්නෙ නෑ.
අධ්‍යාපනය කියන්නෙ
රැකියාවක් හොයා ගන්න ලබා ගන්නා
ටිකට් පතකට වැඩි දෙයක් නොවෙයි.
රැකියාව ලැබුණාට පස්සෙ
සහතික වලින් වැඩක් නෑ.
ඒ සහතිකය ගන්න කරන
වියදමවත් හොයාගෙන්නෙ කීදෙනාද?

ඔලිම්පික් ඉලක්ක කරගෙන ඉගෙන ගන්න අයගෙන්
කී දෙනෙක් දිස්ත්‍රික් මට්ටමටවත් එනවද?

විභාගය ඉලක්ක නොකර ඉගෙන ගන්න අයට
ඒ ඉගෙන ගන්න දේත් ඉතුරු වෙනවා.
මොළය වෙහෙසීමෙ හුරුවත් ලැබෙනවා.
පාඩම් කරන කෙනාට මොළය වෙහෙසීම වදයක්.
වෛද්‍ය විද්‍යාලෙ ගියාම පිස්සු හැදෙන්නෙ
ඉගෙන ගන්නෙ නැතුව පාඩම් කරන සිසුවන්.