20121225

බොදු කිතුණු හින්දු මුස්ලිම් කාමය


ආගමික උත්සව වලට
අඩ නිරුවතින් එන එක
බොහෝ විට ගර්හාවට ලක් වෙන
ජනප්‍රිය චාරිත්‍රයක්.

ඔවුන් ඒ ඇඳුම් ඇඳන් එන්නෙ
කාගෙ අවශ්‍යතාවයක්
පිරිමහන්නද?..

ඉල්ලුම සරිලන සැපයුමකුත්
සැපයුමට සරිලන

ඉල්ලුමකුත් තියනවා..

දෙපාර්ශවයම
දෙපැත්තෙ ඉඳන්
තෘප්තියක් ලබනවා.


කාමය කියන්නෙ
දෙදෙනෙක් තමන්ගෙ සතුට සඳහා
එකිනෙකා උපයෝගී කර ගැනීමටයි.

පිරිසක් කාමයෙන් දැවෙද්දි
තව පිරිසක් කාමය යටපත් කරගෙන
ඒ තුළ සිරකරුවන් වී ඉන්නවා.

කාමය යටපත් කරගෙන
ඒ කාමයෙන් රහසේ දැවෙන
කාමයෙන් වඩාත්ම පිපාසිත පිරිස ඉන්නෙ
ආගමික ආයතන ආශ්‍රිතවයි.

ඔවුන් පැස්බරා වගේ
ආගම තුළ හිස සඟවාගෙන
සැනසිල්ලෙ ඉන්න පිරිසක්.

පූජකයනුත් අසරණයි.
ඔවුන්ට මොන ස්වරූපයෙන් ආවත්
සෙනග වටිනවා..
සෙනග කියන්නෙ මුදල්... ලාභ සත්කාර.

අඩ නිරුවතින් එන කෙනෙක්
නතර කළොත්
එයින් තෘප්තිමත් වෙන
අනුග්‍රාහකයන් හතරපස් දෙනෙක්
නැති වෙන්න පුලුවන්.

ආගමක් දහමක් නොදන්න
ගින්දරට වගේම 
කාමයටත්
බොදු කිතුණු හින්දු මුස්ලිම්
කියා වෙනසක්  නැහැ.

ගින්නට සමීප වෙන කෙනා දැවෙනවා.

සීතලෙන් දැවෙන කෙනෙකුට
ගින්න සැපක්.

ඒ වගේම කාමයත්
කැළඹුණ දුක්මුසු හිතක් ප්‍රිය කරන
විඳින්න පුලුවන් ගින්නක්.

ඒ හිත කාමය නැත්නම්
ද්වේශය විඳිනවා.

අඩ නිරුවතට ඔබ විරුද්ධ නම්
ඔබ කරන්න හිතන්නෙ
ඔබේ සැනසිල්ලට
අඩ නිරුවත වහල දාන්නයි.

ලෝකෙ තියන නිරුවත
වහනවට වඩා හොඳයි
එයින් තමන් තුළ ඇතිවෙන
කැළඹිල්ල දැකලා
ඒ කැළඹිල්ලට වහල් නොවී ඉඳීම.

ලෝකය රෙද්දකින් වහල
තමන්ගෙ හිත රැකගත්තා කියමු.
පොඩි හුළඟකට හරි
අර රෙද්ද පොඩ්ඩක්
එහා මෙහා වුණොත්
ආයෙත් හිත කැළඹෙනවා..

ඒ එක පැත්තක්.

අනික් පැත්තෙන්,
ඔය කැළඹිල්ල ආශාවෙන් විඳින
ඔබට වඩා වියරුවෙන් හැසිරෙන
නොදැමුණු හිත් ඇති,
චාරයක් නැති හිත් ඇති පිරිසක්
තියන රෙදිත් ගලවන්න ආසාවෙන්
ඒ සඳහා සටන් කරමින් ඉන්නවා.
ඔවුන්ගෙ පිරිසත් වැඩියි..
වියරුවත් වැඩියි.

සමහරු සදාචාරයට නෙවෙයි..
නීතියටවත් සංවේදී නැහැ.

ඔබටත් කළ හැකි දේවල් තියනවා.

1, ඔවුන් මෙන් කාමයෙන් වියරු වැටී..
ප්‍රසිද්ධියෙ හෝ අප්‍රසිද්ධියේ
තමන් තුළ ඇවිලෙන
රාග ගින්නට පෝර දමමින්
සිත ගත සවි ඇති තාක් කල්
නිදැල්ලේ කාමයෙන් මුසපත් වෙන්න පුලුවන්.

2, කාමය නිදැල්ලේ ප්‍රදර්ශනය කෙරන තැන්
හිතා මතා මග හරින්න පුලුවන්.

3,බහුතර ජනතාව මෙන්
ලෝකයට ඇස් කන් වසාගෙන
තමන්ගෙ කෑම, බීම, නින්ද වගේ
මූලික අවශ්‍යතා ටික ඉටුකරගෙන
අඩ නින්දෙන් ජීවිතය හරහා
බඩ ගාන්නත් පුලුවන්.

3, නිදැල්ලේ ප්‍රදර්ශනය කෙරන
ප්‍රදර්ශන කාමයෙන්
තමන්ගෙ හිතේ ඇවිලෙන
රාගයට මෙසේ ද්වේශ කරමින්
තමන්ගේ ද්වේශය
ඔවුන්ගේ රාගයට එරෙහිව
මෙසේ මුදා හරින්නත් පුලුවන්.

5, ඔවුන් ප්‍රදර්ශනය කරන රාගයටත්,
ඉන් ඇවිස්සෙන තමන්ගේ රාගයටත් ,
ඒ රාගය ගැන ඇතිවෙන ද්වේශයටත්
උපෙක්ෂාවෙන් සිටීම.

පස් වෙනි ක්‍රමය
කියන්නෙ විපස්සනා.

ඒ ක්‍රමයට නම්
කුරුසියෙ ඇණගැහුවත්
සැනසිල්ලෙන් ඉන්න පුලුවන්.

ජේසු කුරුසියෙ හිටියෙත්
එහෙම තමයි.

"මොවුන් කරන දේ
මොවුන් දන්නෙ නෑ"කියල
පෙනෙන්න තරම් පැහැදිලි
මනසක් ජේසුට තිබුණේ ඒ නිසයි.

සැනසිල්ලෙන් ඉන්න වෙනත්
සාර්ථක මගක් නැහැ.