20171128

නිරාගමිකයාත් මුස්ලිම් වගෙයි.

ඉස්ලාම් ආගමට බැඳෙන අය
කුමන ජාතියක අය වුණත්
ඔවුන්ගේ ජාතික අනන්‍යතාවය අත් හැරලා
මුස්ලිම් කියා එක් ජාතියක් බවට පත්වීම
ඉස්ලාම් ආගමිකයන්ගෙ විශේෂයක්.

විපස්සනා පුහුණු කරන
විපස්සනා මධ්‍යස්ථාන වලත්
ජාතිකත්වයෙන් මිදුණ ඒකීය බවක්
අන්‍යෝන්‍ය විශ්වාසයක්, සමීප බවක්
දස දින විපස්සනා පුහුණුවෙන් පස්සෙ
ඒ පුහුණු වුණ අය තුළ ඇති වෙනවා.
ඒ නිදහසට හේතු වෙන්නෙ
විදසුන් වැඩීම මගින්
දුක්ඛ සත්‍යය අවබෝධ කර ගනිද්දි
සියල්ලන්ම විඳින දුක එකයි කියා
ඔවුන් සියල්ලන්ටම වැටහෙන නිසයි.

මෙත් කරුණා මුදිතා උපෙක්ඛා ගුණ
සියල්ලන් තුළම ඇති වෙද්දි
විදසුනෙන් වැඩෙන ප්‍රඥාව නිසා
ජාතික අනන්‍යතා වලින් මිදුණ
ආර්ය ශ්‍රාවක පිරිසක් ඇති වෙනවා.

ආර්ය ශ්‍රාවකයා ආගමකට
ජාතියකට අයත් නැති, යටත් නැති,
ආගම්, ජාති ප්‍රතික්ෂේප නොකරන
සියලු ආගම්, ජාතීන්ට ගරු කරන
ස්වාධීන පුද්ගලයෙක්.

ඔවුන් සමාජයට නැවත  එක් වනවිට
ඔවුන්ගේ ආගම, ජාතිය දෙකම
ඔවුන්ගෙන් ගිලිහෙන්නෙ නෑ.
ඒත්
සියලුම මිනිසුන් දුක් විඳින බව
ඔවුන් දැන් අත්දැකීමෙන් දන්නවා.

දුක අත්දැකීමෙන් හඳුනන
විදසුන් වැඩීමෙන් සෝ තැවුල්
දුක් දොම්නස් සිහියෙන් උපේක්ෂාවෙ
නිසි ආකාරයට දුරු කරන්නට දන්නා,
ඒ දුකෙන් පහසුවෙන් මිදෙන
තෙරුවන් සරණ ලද ආර්ය ශ්‍රාවකයාට
මෙ ජනතාව විඳින දුක දැනෙනවා.

ඔවුන් දන්නා ක්‍රමයකට අනුව
දුකෙන් මිදෙන්න හෝ පලායන්න උත්සාහ කරමින්
විවිධ ආගමික ජාතික හැසිරීම් වල යෙදෙන
තමන්ගේ සහෝදර ආගමික ජනතාව
ප්‍රතික්ෂේප කිරීමක් ඔවුන් තුළ නෑ.
තව දුරටත් දුකෙන් මිදීම සඳහා
ඒ හැසිරීම් වලට වහල් වීමකුත් ඔහු තුළ නෑ.
ආර්ය ශ්‍රාවකයා ස්වාධීනව ජීවත් වෙනවා.

පන්සල් පල්ලි කෝවිල් වල පවත්වන වතාවත් පුදපූජාවලට
යම් අවස්ථාවන්හි සහභාගි වුණත්
ඒ වතාවත් වලින් ඔවුන්ගේ විදසුනට හානියක් නෑ.
ඔවුන් ඒ විශ්වාසයන් දරන අය හෙළා දකින්නෙත් නෑ.
ඔවුන්ට බලපෑම් කරන්නෙත් නෑ.

සියලු ආගමික විශ්වාස වල
මූලික අරමුණ විඳින දුකෙන් මිදීමයි.
පන්සල් පල්ලි කෝවිල්වලට පැමිණ
පුද පූජා වතාවත් වල යෙදෙන
බහුතරයක් දුක් විඳින මිනිසුන්
තාවකාලික සුවයක් ලබනවා.
පැමිණි දුකක් නැතිවත් එහි එන
ඉතිරි පිරිස එන්නේත් මානසික සුවයක්,
සැනසිල්ලක් බලාපොරොත්තුවෙන්.

විදසුන් අඩන ආර්ය ශ්‍රාවකයාත්
විදසුනට යොමු වෙන්නට පෙර
මේ ආගමික විශ්වාස මත පිහිටා
දුක තාවකාලිකව නිවාගත් අයුරු
ඔහුට අමතක වී නැහැ.

ආර්ය ශ්‍රාවකයාගේත්
ආගමික විශ්වාස අනුව යන්නාගේත්
ආගමික අරමුණ එක සමානයි.
ඔවුන් දෙදෙනාම ආගම දහම වෙත
ඇඹුරු වුණේ දුකෙන් මිදීමටයි.
විදසුන් වඩන්නා මේ මොහොතේම
තමන්ගේම සරණින් දුකෙන් මිද්දෙන විට
ආගමික විශ්වාස මත යැපෙන අය
බාහිර බලවේග වෙත යොමු වෙනවා.

දන්නා පමණින් දුකෙන් මිදෙන්නට
ආගමික ස්ථාන වලට පැමිණෙන
මේ සියලුම පිරිස් ආපසු යන්නේ
ඔවුන් විඳින දුක මද පමණින් හෝ
තාවකාලිකව සමනය කරගෙනයි.

සමහර ආගමික සංස්ථාවන් වල
සැනසිල්ල ලබා දෙන්නට පුද පූජාවලට
ආගමික වතාවත් වලින් සහාය වෙන පූජකයා
ඔහුගේ ජීවිකාවට අවශ්‍ය පමණ ඉක්මවා
සැප සම්පත් විඳීමේ අරමුණෙන්
සැනසිල්ල විකිණීම, ලාභ සත්කාර ලැබීම වරදක්.

ඒත් ඒ පූජකයන් හෙළා දකිමින්
ආගමික පිරිස දුකෙන් මිදෙන අවස්ථාව
නැති කරන්නට ද්වේශයෙන් ක්‍රියා කිරීම
ඊටත් වඩා අසාධාරණයක්.

කපටි ආගමික පූජකයන් හෙළා දකිමින්
මේ ආගමික විශ්වාස මත යැපීම හෙළා දකින
ඊට පටහැණි විශ්වාසයක් දරන පිරිසක්
නිරාගමික චින්තනය පදනම් කරගෙන
වෙනම ආගමක ස්වරූපයෙන්
සාමූහිකව එක් රැස් වෙනවා.

ආගමික සංස්කෘතික පොදු සාධකය මත
එකිනෙකා එකතු වෙන වෙනම ජාතියක්
අලුතෙන්ම නිර්මාණය වෙන අවස්ථාවක්
අද සමාජයේ අපිට දකින්නට පුලුවන්.

ආගමික විශ්වාසය මත
මුස්ලිම් මිනිසුන් එකට බැඳෙන අයුරින්
සියලු ආගමික විශ්වාස දැඩිව ප්‍රතික්ෂේප කරන
ඔවුන්ටම ආවේණික නිරාගමික ආකල්ප අනුව
නිරාගමික ගති පැවතුම් සහිත
වෙනම ආකාරයක පිරිසක් බිහිවෙලා.

නිරාගමිකයන් කියන්නෙ
ආගම් ඇදහීමෙන් ඉවත් වෙලා
ආගම්වල තියන විශ්වාස, ඇදහීම්,
ඒ මත පදනම් වූ සදාචාරය,
සංස්කෘතික බැමි, ආගමික වගකීම්,
ආගමික යුතුකම්, සිල් රැකීම් ආදියෙන්
ස්වේච්ඡාවෙන්ම වැළකිලා
තමන් හිතන ආකාරයට හැසිරෙන
නිදැල්ලේ ජීවත් වෙන පිරිසක්.

මේ පිරිසේ විශ්වාසය වන්නේ
සියලු ආගමික ඉගැන්වීම් මිථ්‍යා විශ්වාස නිසා
සියලු ආගමික චර්යාවන් ප්‍රතික්ෂේප කොට
වෙනම පිරිසක් මෙන් ජීවත් විය යුතු බවයි.

නිරාගමිකත්වය කියන්නෙ
අාගම අත් හැරීම විතරක් නොවෙයි.
ජාතිකත්වයත් අත්හැරීමක්.

මුලු ලෝකෙම නිරාගමිකයන් එකම කුලකයක්.
නිරාගමික සංකල්ප වලින් එකට බැඳෙන
ඔවුන්ගේ ජාතික අනන්‍යතාවයක් නෑ.

නිරාගමිකයන් එකට බැඳෙන පොදු සාධකය
අාගමික විශ්වාස හා චර්යා සපුරාම බැහැර කිරීමයි.

බොදු, ක්‍රිස්තියානි, හින්දු ආදී
වෙනත් ආගම්වලට බැඳුණා ජාතිකත්වය
වෙනස් වෙන්න හේතුවක් නෑ..
එක ජාතියක බොදු, ක්‍රිස්තියානි, හින්දු ආගමිකයෙක්
ඒ ජාතියෙම වෙන ආගමිකයෙක් බවට පත් වීම නිසා
ජාතික අනන්‍යතාවය නැති වෙන්නෙ නෑ.

තමන් සිංහල කියලා කිව්වොත්
එතන තියෙන්නෙ තමන් තවම ආගමිකයි කියන හැඟීම.
හැම ජාතියකම අය ඒ හැඟීම සමග
නමට හෝ ආගමිකයි කියන පිරිසක්.

සිංහල ජාතියේ උපන් කෙනෙක්
එක ආගමකින් තව ආගමකට මාරු වෙද්දි
ජාතික අනන්‍යතාවය නැති වෙන්නෙ නෑ.
සිංහල බෞද්ධ, සිංහල ක්‍රිස්තියානි, සිංහල හින්දු
කියලා අපිට කියන්න පුලුවන්.

ඒත්
සිංහල මුස්ලිම් කියන්න බෑ..
මුස්ලිම් කියන්න වෙනවා.
සිංහල නිරාගමික කියන්න බෑ...
නිරාගමික කියන්න වෙනවා.

දෙමළ මුස්ලිම් කියන්න බෑ..
මුස්ලිම් කියන්න වෙනවා.
දෙමළ නිරාගමික කියන්න බෑ...
නිරාගමික කියන්න වෙනවා.

උපන් ජාතිය මොකක් වුණත්
මුස්ලිම් වගේම නිරාගමිකයාටත් තියෙන්නෙ
මුලු ලෝකයටම පොදු වුණ විශ්වාසයක්.
වෙනම රටක් වෙනම ජාතියක් නැති
වෙනම ආකාරයක අනන්‍යතාවයක්..

මේ පිළිගැනීමට අනුව
හැම ආගමකින්ම ඉවත් වෙන අය
එකම නිරාගමික කුලකයකට අයිති වෙනවා.

නිරාගමික අනන්‍යතාවය
මුස්ලිම් අනන්‍යතාවයටත් වඩා ප්‍රබලයි.
ආගමික විශ්වාස මත යැපෙන්නාට
විවිධ ආකාරයේ විශ්වාස වලින්
වෙනම අනන්‍යතා ගොඩ නැගෙනවා.
මුස්ලිම් ආගම තුළත් නිකාය තියනවා.

නිරාගමිකයා සියලු විශ්වාස
සපුරාම බැහැර කරන නිසා.
ඔවුන්ගෙ ජීවිත අවර්ණයි.
ආගමික වර්ණ ජාතික වර්ණ වලින්
ඔවුන් මත පැල්ලම් ඇති වීම
ඔවුන්ගේ නිරාගමිකත්වයට කැළලක්.

තමන් තවම
අහවල් ජාතියට අයිතියි කියා කියන
යම් නිරාගමිකයෙක් ඉන්නවා නම්
ඔහුට ආගමික විශ්වාස සහ චර්යා
බැහැර කරන්න බැහැ.
මේ නිරාගමිකයා ගෙදර පරිසරයෙවත්
ආගමික සිරිත් විරිත් වලට යටත්වෙන කෙනෙක්.
ඔහු තවමත් පැරණි විශ්වාස වලින් දූෂණය වුණ
අපිරිසිදු නිරාගමිකයෙක් පමණයි.
ඔහු දෙකටම නැති නපුංසකයෙක්.

ආගමික ජාතික සංස්ථාවට යටත්
දෙබිඩි නිරාගමිකයා තවමත්
සමාජයේ පොදු යහපත සඳහා
පුද්ගලික නිදහස පාවා දෙන්නෙක්.
ඔහු නිදහස් කෙනෙක් නොවෙයි.

සමාජයේ පොදු යහපත උදෙසා
පුද්ගලික නිදහස නැති කරගන්න
සැබෑ නිරාගමිකයා කැමති වෙන්නෙ නැහැ.
ආගමික වුණොත් ජාතික වුණොත්
නිරාගමිකයාගෙ නිදහස නැති වෙනවා.

යම් ජාතියකට කොටු වීමත්
ආගමට කොටුවුණා වගේමයි.
ඔහු ඒ ජාතික සංස්කෘතියට යටත් වෙනවා.
ඔහු තව දුරටත් ස්වාධීන පුද්ගලයෙක් නොවෙයි.
ආගම මත්තෙ යැපුණත් ජාතිය මත්තෙ යැපුණත්
පොදු විශ්වාස මත යැපෙන්න වෙනවා.

නිරාගමිකයන් වෙනම ජාතියක් වීම
සමාජීය අවශ්‍යතාවයක් වෙන දවසක් එයි.

නිරාගමිකයා අනිවාර්යයෙන්ම නිර්ජාතික වීම
ආගමික ජාතික බැඳීම් ඇති සමාජයක මිනිසුන්ට
ඔහු ගැන තීරණ ගැනීම පහසු කරාවි.

නිරාගමිකයා සමාජයෙන් ඉල්ලන වෙනස
සෙසු සමාජයෙනුත් නිරාගමිකයාට පිරිනමාවි.

නිරාගමික පුද්ගලයන්ට තමන්ගෙ දරුවන්
විවාහ කර නොදෙන දෙමාපියන් ඉඳීවි.
රැකියා නොදෙන ව්‍යාපාරික ආයතන,
සාමාජිකත්වය නොදෙන සමිති සමාගම්,
ආරාධනා නොකරන උත්සව, ප්‍රිය සාද
ආදී අවස්ථාත් ඉදිරියෙදි ඇති වේවි.

නිරාගමික චින්තනය ඇති කෙනෙක්
සමාජයෙන් බැහැර විශේෂ පුද්ගලයෙක්.
ඔහු මිශ්‍ර කර ගැනීම නිසා
දරුවන් නිරාගමික වීම වැනි
සමාජීය ප්‍රශ්න ඇති වෙන බව විශ්වාස කරන
ආගමික හැඟීම් ඇති මිනිසුන්
ද්වේශයෙන් තොරව ඔවුන් බැහැර කරාවි.

ආගමත් ජාතියත් අතර ඇති
සංස්කෘතික බැඳීම් ගිලිහෙද්දි
සමාජය ඔවුන් විශේෂ කොට සලකද්දි
නිරාගමිකයනුත් ඔවුන් අදහන සත්‍යය අනුව
ඔවුන්ටම ආවේණික පල්ලි පාසල් හදාගෙන
නිරාගමික චින්තනය මත
වෙනම සමිති සමාගම් හදාගෙන
ජාතික අනන්‍යතාවයක්, ආගමික බැමි නැති
එකම බැම්මකින් බැඳුණ නිරාගමික ජාතියක්
ලොව පුරා ඇති වේවි.