20121123

ගිහියා විඳිය යුතු සැප


ඉතාම තාර්කික,
අනු පිළිවෙලක් ඇති,
කැමති කෙනෙකුට
 මේ මොහොතේ ඉඳන්ම
 තමන් දිහාම බලාගෙන,
අත්දැකීමෙන්ම අවබෝධ කරගත හැකි,
ලෝකයේ ඇති එවැනි ආකාරයේ
 එකම දහම බුදු දහමයි.

බුදු දහමෙ පදනම “අත් හැරීම” නෙමෙයි.
බුදු දහමෙ පදනම ‘දුක නැති කිරීම’යි.

සිදුහත් කුමාරයා
 මාලිගාවෙන් එලියට බැස්සෙම
 දුක නැති කිරීමෙ අරමුණෙන්.

බුදු දහම ඔස්සේ
“මම”ය “මාගේ”ය කියන බැදීම් වලින්
 ඉවත්වෙන්නෙ
“දුකට හේතුවෙන” කොටස
 විතරයි.

නච්ච ගීත වාදිත වැනි ශික්ෂා පද
 ගිහියා හැකි විටක
 රැකිය යුතු ශීලයක් මිසක්
 ගිහියා නිරන්තරයෙන් රැකිය යුතු
 ශීලයක් නොවේ.

ගිහියා නිරන්තරයෙන් රැකිය යුතු ශීලය
 පඤ්ච ශීලය පමණයි.

බෞද්ධ වුණත් නොවුණත්
 පන්සිල් නොරකින මිනිසුන්
 සමාජයට පිළිල වගෙයි.

සමාජයක පරිහානියට
 ප්‍රධානම හේතුව ඔවුන් පිරිසයි.

අත්ථිසුඛ,
භෝග සුඛ,
අනණ සුඛ,
අනවජ්ජ සුඛ වශයෙන්
 ගිහියා විඳිය යුතු සැප හතරක්
 බුදුන් වහන්සේ දේශනා කළා.

මේ හතර ඕනෑම කාලයකට පොදුයි.

1, අත්ථිසුඛ,
යහපත් කර්මාන්ත,
ව්‍යාපාර, රැකියා ආදියෙහි යෙදී
 ලබන ආර්ථික ශක්තිය
 ගිහියා විඳිය යුතු සැපක්.

2, භෝග සුඛ,
එසේ සපයාගත් සම්පත්
 ධාර්මිකව පරිහරණය කිරීම
 ගිහියා විඳිය යුතු සැපක්

3, අනණ සුඛ,
ණය නැතුව ජීවත් වීම
 ගිහියා විඳිය යුතු සැපක්

4, අනවජ්ජ සුඛ
 වැරදි නොකර ජීවත් වීම
 ගිහියා විඳිය යුතු සැපක්

මින් තුනක්ම
 මිළමුදල්, රැකියා, ව්‍යාපාර, කර්මාන්ත ආදියට
 කෙළින්ම සම්බන්ධයි.
හතරවැන්නත්
 අනියම් ආකාරයෙන්
 සම්බන්ධයි.

ලෝකයේ
 මනාව සංවර්ධිත සමාජයක් නම්
 ඒ රටේ ජනතාව
 බොදුනුවන් නොවුණත්
 ඔවුන් ජීවත් වෙන්නෙ මේ ආකාරයටයි.

කිසියම් සමාජයක්
 පිරිහුණු දුර්දාන්ත සමාජයක් නම්
 ඒ රටේ ජනතාව බොදුනුවන් වුණත්
 ඔවුන් ජීවත් වෙන්නෙ
 මීට විරුද්ධ ආකාරයටයි.

එක් පැත්තකින් සැපක් මෙන් පෙණුනත්
 සමස්තයක් වශයෙන් ගත් කල
 ඔවුන් විඳින්නේ දුකක්.
සිහි කොට විඳින්න හැකි සතුටක්
 අවසිහියෙන් විඳින සැපක නැහැ
===========================================

පහත සඳහන් විස්තරය
 ඌරුගමුවේ අස්සජි හිමියන්ගේ දියුණුවේ දොර‍ටු ලිපිය ඇසුරෙනි

ව්‍යග්ඝපජ්ජ වංශික දීඝජානු නමැති කෝලිය පුත්‍රයා
 බුදුරදුන් හමුවීමට ගොස් එකත්පස්ව හිඳ මෙසේ පැවසීය.

“ස්වාමීනි අපි පස්කම් සැප අනුභව කරමින්
 අඹු දරුවන් නිසා වන කරදර සහිතව
 ගිහි ගෙදර වාසය කරමු.
කසීරට සුවඳ සඳුන් පරිභෝග කරමු. මල් ගඳ විලවුන් කරමු.
රන්රිදී මසු කහවණු ඉවසමු.
ස්වාමීනි මෙසේ ජීවත්වන අපට
 මෙලොව හිත සුව පිණිස පරලොව හිත සුව පිණිස
 උපකාර වන්නා වූ ධර්මයක් දේශනා කරන සේක්වා!”

මෙහිදී බුදුරජාණන් වහන්සේ මිනිසාගේ මෙලොව හිත සුව පිණිස පවත්නා කරුණු සතරක් ද, පරලොව හිත සුව පිණිස පවත්නා කරුණු සතරක් ද දේශනා කළහ. එයින් මෙලොව හිතසුව පිණිස හේතුවන කරුණු සතර නම් උත්සාහ සම්පත්තිය (උට්ඨාන සම්පදා) ආරක්‍ෂා සම්පත්තිය (ආරක්ඛ සම්පදා) කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය (කල්‍යාණ මිත්තතා) පමණ දැන සමව ජීවත්වීම යි. (සමජීවිකතා)

පහත දැක්වෙන්නේ
 බුදුන් වහන්සේ කුලපුත්‍රයාට දෙසූ දහමෙන්
 උට්ඨාන සම්පදාවට අදාළ හැඳින්වීමයි..

උට්ඨාන සම්පදාව නම් කුමක්ද?
යම්කිසි කුල පුත්‍රයෙක්
 ගොවිතැනින් හෝ වෙළඳාමෙන් හෝ
 ගව පාලනයෙන් හෝ දුනු ශිල්පයෙන් හෝ
 රාජ්‍ය සේවාවෙන් හෝ
 වෙන යම්කිසි ශිල්පයකින් හෝ දිවි පවත්වයි නම්,
ඒ තමන් කරන කාර්යයෙහි දක්‍ෂ වෙයි ද අලස නොවේද?
ඒ කාර්යයෙහි උපායෙන් විමසීමෙන් යුක්ත වේද?
ඒ කාර්යය කිරීමටත් සංවිධානය කිරීමටත්, සමත් වේද,
මෙය උට්ඨාන සම්පදාවයි.”

No comments:

Post a Comment