20121123

ශ්‍රද්ධාව අන්ධ වුණත් වරදක් නැහැ.


ශ්‍රද්ධාව 
බුදුන් වහන්සෙ ගැනනම්
ඒක අන්ධ වුණත් වරදක් වෙන්නෙ නැහැ.


අමූලික ශ්‍රද්ධාව කියන්නෙ
මුල් නැති පැහැදීම.
හිස් බෝතලයකුයි පිරුණ බෝතලයකුයි
දෙකක් දිහා බලල ඒ දෙක ගැනම
පිරුණු බෝතල් කියල
ශ්‍රද්ධාවක් ඇති කර ගත්තොත්
පිරුණ බෝතලය ගැන ඔහුගෙ ශ්‍රද්ධාව
අන්ධ අමූලික ශ්‍රද්ධාවක් වුණත්
එය නිවැරදියි.
මන්ද, කවදා හරි
ඔහු බෝතලය විවෘත කල දවසට
පිරුණු බෝතලය ගැන
ඔහු සැබැවින්ම පැහැදෙනවා.

මට මතක ඇති කාලෙ ඉඳන්
මගේ ජීවිතෙන් බාගයකටත් වැඩි කාලයක්
මට බුදුන් වහන්සෙ ගැන තිබුණෙ
අමූලික ශ්‍රද්ධාවක්.
අන් අයට කරන ලද
සමාජ සේවය නිසා උපන් ගෞරවයක්.

මට උන්වහන්සේ සැබැවින්ම දැනෙන්න පටන් ගත්තෙ
විදසුනත් සමග
මගේ දුක කෙමෙන් කෙමෙන් නිවෙන්න ගත්තට පස්සෙයි,.
දුක නිවන මග සොයාගැනීමත්
එය සැබැවින්ම දුක නිවන මග බව
අත්දැකීමෙන්ම දැනගැනීමත් මත
අද තියෙන්නෙ සැබෑම අචල ශ්‍රද්ධාවක්.

දීපංකර පාද මූලයෙත්
ඉන් පසු තවත් විසි තුන් වතාවකුත්
අතට පත් නිවන අත් හැරදාල
සසරට පිවිසීම මම අගය කළේ
උන්වහන්සේ එහෙම කළේ
ලෝ සත්වයා දුකෙන් මුදවන්න කළා
කියන පොදු පැහැදීමෙන්.
ඇමෙරිකානු කළු ජාතිකයින්
වහල් භාවයෙන් මුදවාපු
ඒබ්‍රහම් ලින්කන් ගැනත්
මට ඒ පැහැදීම තියනවා.
ඒත් ලින්කන් නිසා නිදහස් වුණ
ස්වාධීන හිතක් තිබුණ වහලෙකුට
දැනෙන හැඟීම
මට වඩා අතිශයින් ප්‍රබලයි.

ඔහුට ලින්කන් වටින්නෙ
පුද්ගලිකව ඔහුට ලැබුණ නිදහස නිසා.
අද බුදුන් වහන්සේගෙ කරුණාව ගැන
මගේ හිතේ තියන ගෞරවය හා
කෘතවේදිත්වය තියෙන්නෙ
උන් වහන්සෙ මගේ වහල් බැමි වලින්
මා නිදහස් කරමින් සිටින නිසයි.

බුදුන් වහන්සෙ ගැන මගේ හිතේ තිබුණ
අමූලික හා අන්ධ භක්තිය
පසුව විදසුන් වඩද්දි
නිහතමානීව ඒ මග යන්න
මට උපකාරී වුණා.

ශ්‍රද්ධාව තියෙන්නෙ
බුදුන් වහන්සෙ ගැනනම්
ඒක අන්ධ වුණත්
වරදක් වෙන්නෙ නැහැ.

No comments:

Post a Comment