20121123

සුන්දර මවාපෑමට වඩා විරූපී සත්‍යය....

තමන් නොදන්න, තමන් ළඟ නැති දෙයක්
තව කෙනෙක් ළඟ දැක්කට අඳුනගන්න බැහැ.
අගය කරන්න හෝහෙළා දකින්න බැහැ.


මාලගෙ තාත්තා "මාලෝ, මාලෝ"
කියනවා ඇහෙන කොට
පාරෙ යන මාලුකාරයා හිතන්නෙ
"අන්න තව එකෙක් මාලු විකුණනවා"කියලයි.

මාලුකාරයාගෙ ස්වභාවය අනුව
බයිසිකලය හරවගෙන
වෙන පැත්තකට යන්නත් පුලුවන්.
පිහිය ඇදගෙන, දෙකක් කියාගෙන
එන්නත් පුලුවන්.
කොහොම කළත්
ප්තිචාරය ගැලපෙන්නෙ නැහැ.

අනුන්ගේ සීමාවන් තුළ හිඳ
ප්‍රතිචාර දැක්වීමට වඩා
තමන්ගේ ප්‍රතිචාර
සීමා කරගැනීම
සැනසිලිදායකයි.

ඔබත් මාත්
තවත් බොහෝ දෙනෙකුත් අතර ඇති
ප්‍රධාන වෙනසක් නම්
යටි හිත් තුල තිබෙන කරුණු
ගෙනහැර දැක්වීම පිළිබඳ
ආකල්පයයි.
මගේ ජීවිතයේ
එතරම් මා දකින්නට කැමති
අන් දසුනක් නැති තරම්.

කුඩා කාලයේ
දහ අට සන්නියක් නැරඹුවොත්
දන්න නැටුම් ඔක්කොම නටලා නටලා
පාන්දර ජාමෙ ගේ පිටිපස්සෙ
කොස් අත්තකුත් කඩාගෙන
කෑ මොර දීගෙන පළා ගිය යක්කු
උදේට වෙස් මුහුණ ගලවලා අතට අරන්
වෙහෙස නිවාගන්නා දසුන
ඉතාම ප්‍රිය ජනකයි.
බයවෙලා, ගල්ගැහිලා උන්නු අයගෙ
සිහි එළවන සුලුයි.

ආතුරයාට සහ
කුඩා ළමුන්ට හැරෙන්න
අනිත් අය හැමෝටම
සත්‍යය පැහැදිලියි.
තාවකාලිකව හෝ
ආතුරයා සුව වෙන්නේ
ඔහු සිතේ මවාගෙන උන් යකුන්ට වඩා
පෙරදා රාත්‍රියේ ඔහු දුටු යකුන්
බියකරු නිසයි.
ඔහු භීතියට පත්කරවූ නිසයි.
මනා සිහියෙන් යුතු
අපි දකින්නේ නැටුමක් සහ
එහි අවසානය පමණයි.

තොවිලයේ අප දුටු
යකුන්ගේ
වෙස් මුහුණු
පාන්දර ගැලවී
සැබෑ මුහුණු දැකීම
මවාපෑ තොවිලයට වඩා
ස්වාභාවික සුන්දර මොහොතක්.

සුන්දර මවාපෑමට වඩා
විරූපී සත්‍යය සුන්දරයි..

No comments:

Post a Comment