20121123

සති කිහිපයක බිළිඳියක් මෙලොව හැරයාම

සති කිහිපයක බිළිඳියක්
මෙලොව හැරයාම අසාමාන්‍යයි.

අපට එවැන්නක් හොඳින්ම දැනෙන්නෙ
අපිට යන්තම් හෝ දැනෙන,

අපි යන්තම් හෝ දන්නා තැනක
අපේ ඇස් පනාපිට සිදු වුණාමයි.

අවුරුදු හැට හැත්තෑවක කෙනෙක් දිහා
අපි බලන්නෙ කොයි වෙලාවෙ හෝ
පිටත් විය යුතු කෙනෙක් වගෙයි.
අවුරුදු හැට හැත්තෑවක කෙනෙකුට සාපේක්ෂව
සති කිහිපයක බිළිඳෙකුට
දිගු ජීවිතයක් සහ
අපත් සමග කළයුතු
බොහෝ දේ තියනවා.
එතෙක් බිළිඳා
හැදෙමින් වැඩෙමින්
අපත් සමග විසිය යුතුයි.
එහෙත් සොබාදහම
උපන් මොහොතේ සිටම
තමන් ලබාදෙන ජීවිතය
ආපසු බාරගන්නට සූදානම්.

සොබා දහමට අසුරු සැණත් අගෙයි.

සතිකිහිපය අපට සාපේක්ෂව
කෙටි කලක් වුණත්
සොබා දහමට දිගු කලක්.

ඇය නන්නාඳුනන
අපේ සිත්
ඇය වෙනුවෙන්
තැවෙන්නෙ ඒ නිසයි.
සති කිහිපයක් තිස්සේ
ඇය අප අතර සිටි නිසයි.

අපි දැනගත්තත් නැතත්
අපි හැම කෙනෙකුටම
සොබා දහම විසින් සකස්කළ,
අපේම කල්ක්‍රියා මත හැදෙන
අපට පාලනයක් නැති
ගිණුමක් තියනවා.

වෙනත් තැනක උපයාගෙන අරන් එන
වර්ණ සැප බල ප්‍රඥා වගේම
ආයුෂත් ඒ ගිණුමෙහි
විදේශ විනිමයක්.
අපි අද වෙනතුරු ඉන්නෙ
අපේ ගිණුමෙ
අපි උපයාගත් ආයුෂ
තවමත් කීයක් හරි
ඉතුරුව තියන නිසා.

සිරුරෙන් එහා දේවල් සමග
කටයුතුකළහැකියයි
විශ්වාස කරන අයට
දේවාල බෝ ගස් වගේම
සිරුරත් සමග වැඩ කරන
වෛද්‍යවරුන්ටත් ඔවුන්ගේ දැනුමෙන්
ඒ ගිණුමත් සමග කටයුතු කළ හැකි
සීමාවන් තියනවා.

සත් දිනක් පිරිත් කියන්නට
භික්ෂූන් වහන්සේලා යවා
සත්වන දින අවසන් පැයේ
බුදුන් වහන්සේම වැඩලා
පිරිත් දෙසා
බිළිඳෙකුගේ ආයුෂ
දික් කරගත් කතාවක්
මා අසා තිබෙනවා.
මා නම් සිතන්නේ
ඒ බිළින්දාගේ ගිණුමෙහි
ඔහු උපයාගත් ආයුෂ අතර
ඒ සුවිශේෂී පිරිත් දෙසුමත්
තියෙන්නට ඇති.

පරමාර්ථ වශයෙන්
අප විසින් ඉබේටම කරන නමුත්
සම්මුති වශයෙන්
අප විසින් කරනවා යැයි
අප සිතන සියලු දේ අතුරෙන්
අවම වශයෙන් අපේ ජීවිතය
අපට වෙනස් කළ නොහැකි
නියාම ධර්ම පහක් මත
රඳා පවතිනවා.

අපට තේරෙනවා නම්
මේ වෙලාවෙහි
චිත්ත නියාමයට අනුව
අපේ සිත් මොනතරම් දුක්මුසු වුවත්
චිත්ත නියාමය
සවිමත්ව ක්‍රියාත්මක නොවුණ
ඒ බිළිඳියගේ බීජ නියාමය හෝ
අපේම හෝ ඇගේ කර්ම නියාමය අනුව
හෝ ඒ දෙකම අනුව
අප සමග ඇයට ගතකළ හැකි
උපරිම කාලය අප සමග ගෙවා
ඇය අපෙන් වෙන්ව ගොස් අවසන්.

අපේ ගිණුමත් අවසන් වූ දිනෙක
සහෘදයින් සොවට පත් කරමින්
අපත් ඇය මෙන්ම නික්ම යනු ඇති.

සසර එක්ව යන්නට
එක්ව වෙසෙන්නට බැඳුණු බැමි
ගිණුම්වල ඇත්නම්
ඇය යළි යළිත් හමුවෙනුත් ඇති.

කවදා කොතැනක ඉපදුණත්
මෙවන් අකල් වියොවක්
ඇයට යළි නොවේවායි පතමු.

No comments:

Post a Comment