20121123

සැබෑ ප්‍රශ්නවලට මේ අධ්යාපන ක්‍රමයෙන් විසඳුම් නැහැ...

පිරිමියෙකු ලෙස හෝ ගැහැණියක ලෙස
අප ලබන අධ්යාපනයෙන්
අප ගතකරන සමස්ත ජීවිතයට පතිත වන
ආලෝකය කුමක්ද?




අධ්‍යාපනයෙන් ආලෝකවත් වන්නේ
අපේ විසිත්තකාමරය
ආලින්දය හා මිදුල පමණි.
අවම වශයෙන් කුස්සියට,
කෑම කාමරයට, නිදන කාමරයට
අධ්‍යාපනයෙන් රැස් දහරක් පතිත වේද?

සහතිකවල වෙනස
හා වාණිජමය වටිනාකමත් හැර
අධ්‍යාපනය ලත් අය
නොලත් අයට වඩා
මිනිසත් බවින්,
මානව දයාවෙන්,
කරුණාවෙන්,
සිහියෙන්,
උපේක්ෂාවෙන් උසස් වේද?

පොත්පත්වල ඇතිදේ
කට පාඩම් කර ගැනීමේ හැකියාවත්
යළි මතක් කර ගැනීමේ හැකියාවත් හැර
අධ්‍යාපනය නිසා දියුණු වෙන
අන් වටිනාකම් ඔවුන්ගේ ඇත්ද?

ජීවිතයේ එන ප්‍රශ්න..
පෙම් සබඳතා බිඳීම
වංචාකාරයෙකුට රැවටීම
විවාහයට කෙනෙකු තෝරා ගැනීම,
ඔහු/ඇය හා එකට ජීවත් වීම..
දික්කසාදයකට මුහුණ දීම..
සමීපතමයෙකුගේ මරණය ආදී
ගැටළු වලදී ඊට මුහුණ දෙන්නට
උසස් අධ්‍යාපනය ලත් අය
වඩා දක්ෂද?

එසේ නැත්නම්
කෝපය, ඉරිසියාව, කෑදර කම,බය,
කාමය ආදී ප්‍රශනවලදී
උසස් අධ්‍යාපනය ලත් අය
වඩා දක්ෂ ලෙස මුහුණ දෙනවාද?
එවැනි ප්‍රශ්න ඇති බවවත්
අධ්‍යපනඥයන් සිතනවාද?

අධ්‍යාපනයෙන් සමාජ තත්වයක්,
රැකියාවක් ලබා ගැනීමට
දක්ෂතාවය ඔප්පු කිරීමට වඩා
රැකියාවලට ඉන් ලැබෙන පිටුවහල
කොතරම් අවමද.

මගේ ජීවිතය තුල
එකම වරක් හැර
කිසිම රැකියාවක් ලබාගන්නට ගිය විට
මගේ අධ්‍යාපන සහතික විමසා නැත.
ඒ එකම වරත් ඉතා සැහැල්ලුවෙන්
ප්‍රශ්නයක් ලෙස ඇසුවා මිස
සහතික ඉල්ලුවේ නැත.
මා ළඟ තිබුණේද නැත.

කියවීම, ගණනය කිරීම ආදී
මූලික අවශ්‍යතා හැර
මා ලද අධ්‍යාපනයෙන්
ඍජු ප්‍රයෝජනයක් වී නැත.

මගේ ජීවිකාවත්,
ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාවත්
මට ලැබුණේ පාසලෙන් පරිබාහිරවය.
ඒ සඳහා අධ්‍යාපනයෙන්
යම් ආලෝකයක් ලද නමුදු
විෂ්ය මාලා සැදූ අය
එවැනි ප්‍රයෝජනයක් දෙන්නට
විෂ්ය මාලා සැලසුම් කරන්නට ඇතැයි
මම නොසිතමි.

අධ්‍යාපනය අවශ්‍යය.
එහෙත් ඊට දක්වන ගෞරවය
කිසි සේත් ඊට නොගැලපෙයි.

ජීවන ගමනේ
අඩියෙන් අඩියට පය පැකිලෙන
දුර්වල අංග විකලයෙකුට
ශූර කරණම් කරුවෙකුට මෙන්
ගරු බුහුමන් කොට
මහා බලාපොරොත්තු රැසක් තබාගෙන
ඒ සියල්ල බිඳී අතරමංවන
අසරණයන් කී ලක්ෂයක්
මෙහි වසරකට බිහිවේද?
.
අධ්යාපනය පස්සෙ දුවන රේස් එකේ
අන්තිම දරුණුම අවදානම තමයි
ඒ රේස් එකට ඇබ්බැහි වුණ කෙනා

තේරුමක් ඇතිව හෝ නැතිව
දැන හෝ නොදැන
වැඩක් ඇතිව හෝ නැතිව
අර ඇබ්බැහි කම මත
අරමුණු මාරු කරමින් දුවලා දුවලා
සිහියෙන් දුවන්න බැරිම තැනට ආවම
දරු මුණුපුරෝ ඔක්කොම අත් හැරලා
නිවනට පස්ස හරවගෙන
නිවන පස්සෙ දුවන්න පටන් ගන්නවා,
අනිත් අතට..

බුදු දහමට අදාළව
ජීවිතෙත් ව්‍යාපාරයක්...
.
සල්ලි නැති මිනිහට
ව්‍යාපාර කරන්න බැහැ වගේ
සිහිය නැති මිනිහට
සිහිය දියුණු කරන්නත් බැහැ.

අදකාලෙ අධ්‍යාපන ක්‍රමයට
අධ්‍යාපනය ලබපු
බුදුන්ගෙ කාලේ මහාචාර්යයන් වහන්සෙ තමයි
ආනන්ද තෙරුන් වහන්සෙ.

අවුරුදු හතලිස් පහක් බුදුන් වහන්සෙ කරපු දේශනා
ආනන්ද තෙරුන් වහන්සෙට කටපාඩම්.
උපස්ථායක වෙද්දි සෝවාන් වෙලා උන්නෙ.
අර අවුරුදු 45 තිස්සෙ දෙශනා ඔක්කොම
කටපාඩම් කරගෙන හිටියත්
විදසුන් නොවැඩුව නිසා
සකෘදාගාමිවත් වුණේ නැහැ.
බුදුන් වහන්සෙ පිරින්වන් පාල
මාස තුනක් ගතවෙලයි
ආනන්ද මහාචාර්යයන් වහන්සෙ
රහත් වුණේ.

එයින් තේරෙන්නෙ
අද අධ්‍යාපනයයි සැබෑ බුදු දහමයි
අතර තියන පරතරය.

අද බුදු දහමෙන්
කාටවත් ප්‍රයෝජනයක් නැතිවෙලා
මිනිස්සු සත්තු වෙමින් ඉන්නෙ
පාසැල් අධ්‍යාපන ක්‍රමයට
පොතෙන් ඉගෙනගෙන
විශුද්ධිය ලබන්න හදන නිසයි.
සබන් ගැන පොත් කියවමින්
තර්ක කරමින් වාද කරමින් කල් ගෙව්වට
ප්‍රායෝගික සෝදන ක්‍රියාවලිය නැතිව
රෙද්ද හේදෙන්නෙ නැහැ.

අධ්යාපනය පස්සෙ දුවන රේස් එකට
ඇබ්බැහි වුණ කෙනාට
වෙන ක්‍රමයකට ඉගෙන ගන්න බැහැ.
වෙන ක්‍රමයකට ජීවත් වෙන්න බැහැ.
කොතන ගියත් මොනව කරන්නෙත්
අර ඇබ්බැහි වුණ ක්‍රමයට.

පුංච්කාලෙම කොම්පියුටර් එකට අත ගහන
කුඩා දරුවොත් එක්ක
වැඩිහිටියන්ට හැරෙන්නවත් බැරි
ඔවුන් කොම්පියුටර් එක ඉගෙන ගන්න හදන්නෙත්
අර අධ්යාපන ක්‍රමයෙන් ඇබ්බැහි වුණ
චිම්පන්සි ඉගෙන ගන්න ක්‍රමයට නිසයි.
එකම ගණන සියපාරක් හදල
ඒකට ඇබ්බැහි වෙනවා මිසක්
එකපාරක් දෙකක් සිහියෙන් ගණන හදලා
හදන ක්‍රමය ඉගෙන ගන්න
කවුරුවත් උත්සාහ කරන්නෙ නැහැ.
කවුරුවත් ඒක උගන්වන්නෙත් නැහැ.
කොහොමද උගන්වන්නෙ.
ගුරුවරයා ඉගෙන ගත්තෙත්
ඒ විදියට.

මොළේ මතක තියාගන්න ප්‍රදේශය
විතරක් පාවිච්චි කරල
කොම්පියුටර් එක එක්ක
ගනුදෙනු කරන්න බැහැ.
ඉතින් පුතා ඒක ඇතුළෙ කරණම් ගහද්දි
අමමයි තාත්තයි කට ඇරන් බලා ඉන්නවා.

මේ මාර පාශයෙන් ගැලවෙන
එකම ක්‍රමය තියෙන්නෙ
බුදු දහම තුළ විතරයි.
කැමති නම් හොයා ගන්න.
ඒ ක්‍රමයට වයස ප්‍රශ්නයක් නැහැ.
ඉන්න තැන ඉඳලා ඉස්සරහට යන්න පුලුවන්.
වෙලාසන පටන් ගන්න කෙනාට
ඉක්මනට යන්න පුලුවන්.

එහෙම නැත්නම්
තමන්ගෙ අම්මලා තාත්තලා,
ආච්චිලා සීයලා මුහුණ දුන්න
ස්වාභාවික රෝගවලට අමතරව
තනිකම, පාලුව, අවසිහිය ආදී
නානා විධ අස්වාභාවික රෝග වලට ගොදුරු වෙමින්
මැරෙන තුරු ජීවත් වෙන්න පුලුවන්.
අයින්ස්ටයින්ට පවා ඒ කලකිරීම තිබුණා.
"ආයෙ ඉපදුණොත්
දර පලන මිනිහෙක් වුණත්
විද්‍යඥයෙක් නම් වෙන්නෙ නෑ" කියල
ඔහු කිව්වෙ ඒ නිසයි.

අපේ සැබෑ ප්‍රශ්න වලට
මේ අධ්යාපන ක්‍රමය තුළ
විසඳුම් නැහැ.

තරහෙන් පුපුරන කොට,
කෑදර කමට,
කාමයෙන් මත් වුණාම,
වෙහෙස නිදිමත දරාගන්න බැරි වුණාම,
මොන ප්‍රශ්නෙකින් හරි
හිත කැළඹුනාම
මේ අධ්යාපන ක්‍රමය තුළ
විසඳුම් නැහැ.

සමාන්‍ය දැනීම,
කියවීම ලිවීම,
ගණන් හැදීම ආදී
මූලික අවශ්‍ය්තාවලට එහා
ජීවිතේට වටින දෙයක්
කවුරු හරි
මේ අධ්යාපන ක්‍රමය තුළ සොයා ගත්තොත්
ඒක ඔහුගෙම දක්ෂකම.

"මට ඉගෙන ගන්න තිබුණ
ලොකුම බාධකය
මා ලද අධ්‍යාපනයයි"කියල
අයින්ස්ටයින් කිව්වෙ ඒ නිසයි.

ජන්මෙට වඩා ඇබ්බැහි කම ලොකුයි..


No comments:

Post a Comment