20121123

ලින්කන් ගේ ජීවිතය මිනිසත් බවට ආශීර්වාදයක්....






 "මම වහලෙකු වීමට අකමැති නිසා
ස්වාමියෙකු නොවන්නෙමි."
-ලින්කන් 




තාත්තා කොහෙන් හරි
කැලැන්ඩරේකින් කඩාගෙන ඇවිත්
ආරක්ෂා කරපු කොළයක්

මම හුඟාක් පුංචිකාලෙ

මට අයිති වුණා.


එහි උස අතට තුනෙන් දෙකක්ම වැසී තිබුණේ
දුරට සේයාරුවක් මෙන් පෙනෙන විදියට
මුළු මුහුණම සිහින් ඉරි වලින් ඇඳපු
ලින්කන්ගෙ ප්‍රතාපවත් මුහුණෙන්.
එහි පසෙකින්
තුනෙන් එකක් වූ හිස් පෙදෙසේ
පහළට වෙන්න
ලොකු අකුරෙන් මුද්‍රිතව
ලින්කන්ගෙ කියමනක් තිබුණා.
සරල තේරුම
"මම වහලෙකු වීමට අකමැති නිසා
ස්වාමියෙකු නොවන්නෙමි."
ඉන් බොහෝ කලකට පසුව
ලින්කන් ගැන දැනගන්නා තුරු
ඔහු මට වීරයෙක් වුණේ
ඒ උදාර ප්‍රකාශය නිසයි.
එදා ඉඳලා අද වෙන තුරුත්
මගේ චරිතයෙ තවෙකෙකුගෙ වහලෙක් වීමටත්
තවෙකෙක් මගේ වහලෙක් වෙනවාටත්
මගේ ඇති දැඩි අකමැත්තට
මූලිකම හේතුව උණේ
ඒ ප්‍රකාශය කියල
මම හිතනවා.

කතාවක් වගේ නොකියවා
චරිත ලක්ශණ වල උදාරත්වය දකිමින්
නිහතමානීව කියවන්න පුලුවන් නම්
විශේෂ පුද්ගලයින්ගෙ
චරිත කතා වලින්
අපේ ජීවිත ආලෝකවත් වෙනවා.
අප වටා පවතින සමාජයෙ
එදින් එදාට ජීවත් වෙලා
ආවා වගේම නිහඬව මිය යන
චරිත අභිබවා යම් චරිතයක්
ඉස්මතුවෙන්නෙ ඒ චරිතවල
කිසියම් අපූර්වත්වයක් තියන නිසයි.

ඒ අපූර්වත්වය සාමාන්‍ය මිනිසෙකුට නැති
උදාර. ශ්‍රේශ්ඨ මිනිස් ගුණයන් වෙන්න පුලුවන්.
සාමාන්‍ය මිනිසෙකුට නැති තරම්
ක්‍රූර ම්ලේච්ඡ තිරිසන් බව වෙන්නත් පුලුවන්..
ඊට හොඳම උදාහරණය හිට්ලර්.

හිට්ලර් මෝඩයෙක්.
හරි හමන් අධ්යාපනයක් නැති නූගතෙක්.
යුදෙව් ජනතාව මිලියන එකොළහක්
කිසිම හිරිකිතයක් නැතිව මරා දැමූ
ක්‍රූර ම්ලේච්ඡ පාලකයෙක්.
ඒත් මාර්ටින් හීදගර් වැනි බුද්ධිමතුන් පවා
ඔහුට සහයෝගය දුන්නා.
මාර්ටින් පසුව හෝ කවදාවත් ප්‍රසිද්ධියේ
ඒ පිළිබඳව කණගාටු වී නැහැ.
හිට්ලර්ගෙ ජන සමාජය
නිවටයින් මෙන් ඔහුට සහාය දුන්නා.
හිට්ලර් ඒ සහාය ලබා ගත්තෙ කොහොමද?
ඔහු කළයුතු කිසිදේකට පැකිලුණේ නැහැ.
ඔහු කියපු කරපු හැමදේම
ඔහු හරියි කියා සිතුව විදියට කළා.
ලෝකයට ගැටලුවක් වුණේ
ඔහු සිතුව විදියයි.
ඔහු සිතුව විදිය වැරදියි.
හානිකරයි.
ඒ හානිය දකින්න තරම් සිහියක්,
මිනිසත්භාවයක් ඔහුට තිබුණේ නැහැ.
ඔහු තිරිසනෙකු මෙන්
සිය අභිමතය සොයා ගියා.
ඔහුගේ ගමන් මග
අහිංසකයින්ගේ ලෙයින් තෙත්වුණා.
ඒ විනාශය දකින්නට
ඔහුට ඇස් තිබුණේ නැහැ.

ලින්කන්ගෙ විශිෂ්ඨත්වය තියෙන්නේ
ඔහුටත් තමා හරියි කියා සිතූදේ
කරන්නට ශක්තිය තිබුණා.
ඒත් ඔහු ඒදේ නිවැරදි බව
සහතික කර ගන්නට
දැඩි උත්සාහයක් ගත්තා.
හිට්ලර් මිලියන එකොළහක්
කිසිම හිරිකිතයක් නැතිව මරා දැමුවා.
ලින්කන් යුද්ධයෙන් මියයන්නවුන් ගැන කම්පාවෙමින්
නිදාගැනීමේ අපහසුවෙන් පෙළුනා.

හරිහමන් අධ්‍යාපනයක් නොලද
හිට්ලර් හා සම කරන විට
ලින්කන්ද හරි හමන් අධ්යාපනයක් නොලැබූවෙක්.
එහෙත් ලින්කන් කුඩා කල සිටම
දැඩි ලෙස පොත් කියවීමට පුරුදු වුණා.
ඔහු ශේක්ස්පියර් ගේ කෘතීන්
නැවත නැවත කියවීමෙන්
සමහර ප්‍රකාශ කටපාඩම්ව තිබුණා..
ඔහු නීතිඥයෙක් බවට පත්වූයේත්
ස්වෝත්සාහයෙන්.
ලින්කන් උදාර මනුෂ්‍යයෙක් වන්නේ
ඔහු ලද ජයග්‍රහණ නිසා නොවේ.

ලින්කන්  ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ මන්ද යන්න පිළිබඳව
මා මෙතෙක් කියවූ, වඩාත්ම හෘදයාංගම විවරණය කර ඇත්තේ
එකල විසූ තවත් ශ්‍රේෂ්ඨයෙකු වන ලියෝ ටොල්ස්ටෝයි විසිනි.

"ඉතිහාසයේ සියලු ශ්‍රේෂ්ඨ ජාතික වීරයින් සහ
රාජ්‍ය නායකයින් අතුරෙන් සැබෑ දැවැන්තයා ලින්කන්ය.
ඇලෙක්සැන්ඩර්, මහා ෆ්‍රෙඩ්‍රික්, සීසර්,
නැපෝලියන්, ග්ලැඩ්ස්ටන් හෝ වොෂින්ටන් පවා
චරිතයෙහි උසස් බවින්, හැඟීමෙහි ගැඹුරු බවින් සහ
නිශ්චිත සුචරිත බලයෙන්
ලින්කන්ට වඩා බෙහෙවින් පසු පසින් සිටින්නාහුය.
ලින්කන් ජාතියකට ආඩම්බරවීමට
අයිතියක් ඇති ආකාරයේ මිනිසෙකු විය.
ඔහු කුඩා ප්‍රමාණයේ ක්‍රිස්තුන් වහන්සේ කෙනෙකි.
මිනිසත් භාවයේ මුනිවරයෙකි.
ඔහුගේ නම වසර දහස් ගණනක්
අනාගත පරම්පරාවන්හි
පුරාවෘත්ත වල ජීවත් වෙනු ඇත.
ඔහුගේ මහිමාන්විතභාවයට
අපි තවමත් සමීප වැඩිය.
එහෙයින් ඔහුගේ දිව්‍යමය ශක්තිය
අගය කිරීම කළ නොහැක්කක් මෙනි.
අපේ අනාගත පරම්පරාවන්
අපට වඩා සැලකියයුතු තරම්
විශාල ලෙස පෙනෙනු ඇත.
ඔහුගේ විශිෂ්ඨත්වය තවමත්
කෙනෙකුගේ සාමාන්‍ය අවබෝධකිරීමේ හැකියාවට
ඉතා දැඩිව හා බලවත්ව දැනෙන්නේ
අප මත කෙළින්ම පතිතවන හිරු රැස්
ඉතා උණුසුම් වන්නාක් මෙනි."

"ඉතා උසස් වූ වීරත්වය රඳා පවත්නේ
මනුෂ්‍යත්වය, සත්‍යය, යුක්තිය හා කරුණාව මතය.
අන් සියල්ල අමතක වීම තුල
වැනසී යාම ස්වභාවයකි.
බුදුන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ හා මෝසෙස්ගේ
ශ්‍රේෂ්ඨත්වය හා සසඳන විට
ඇරිස්ටෝටල් හා කාන්ට්ගේ මහිමය
නොසැලකිය හැකි තරම්ය.
නැපෝලියන්, සීසර් හෝ වොෂින්ටන් පවා
ලින්කන්ගේ ශ්‍රේෂ්ඨත්වය නමැති සූර්යයා හා
සම කරන කල්හි සඳපහන වැන්න.
ඔහුගේ ආදර්ශය විශ්ව සාධාරණ වන අතර
එය අවුරුදු දහස් ගණනක් පවතිනු ඇත.
වොෂිංටන් නියම ඇමෙරිකානු ජාතිකයෙක් විය.
නැපෝලියන් නියම ප්‍රංශ ජාතිකයෙක් විය.
එහෙත් ලින්කන් විසල් මිහිතලය මෙන් පුළුල්වූ
මානව දයාවෙන් පිරිපුන් මිනිසෙකු විය.
ඔහු තම රටට වඩා විශාල විය.
සියලු ජනාධිපතීන් එක් කළත්
ඔහු ඊට වඩා විශාල විය.
මන්ද යත්,
ඔහු තමාට මෙන්
තම සතුරන්ට ප්‍රෙම කළ පුද්ගලවාදියෙක් වීම සහ
තමා තුළ ලෝකය දැකීමට නොව
ලෝකය තුළ තමා දැකීමට කැමැත්තෙකු වීම නිසාය.
ඔහු තම චාම් පැවැත්මෙන් ශ්‍රේෂ්ඨත්වයට පත්වූ අතර
දයාවෙන් උත්තමභාවයට පත් විය.
ලින්කන් වූ කලී
සත්‍යය, සමානත්මතාවය සහ නිදහස උදෙසා
සේවය කරන්නන්ගේ
ශක්තිමත් ගණයට අයත් වූවෙකි.
ඔහුගේ ජීවිතයේ පදනම මෛත්‍රියයි.
ඔහු අමරණීය වනුයේ එහෙයින් වන අතර
එය දැවැන්තයෙකුගේ ගුණාංගයකි.
ලින්කන් වීරයෙකු සේ ජීවත්ව සිට
වීරයෙකු සේ මළේය.


ලොව පවත්නා තුරා ඔහුද ජීවත් වනු ඇත.

ඔහුගේ ජීවිතය තවත් බොහෝ කාලයක්
මිනිසත් බවට ආශීර්වාදයක් වේවා."
----------------------ලියෝ ටොල්ස්ටෝයි
---1909 පෙබරවාරි 07

----------------------------------------------------

ටොල්ස්ටෝයි ඔහුගෙ වචන වලින්
ලින්කන් නිර්මාණය කලේ
ඔහු තුළත් ඒ ගුණාංග තිබුණ නිසයි..

ඒ වගේම
කෙනෙක් මේ වචන කියවලා
හැඟීමක් ඇති කරගනිද්දි
ඔහු තුළත් ඒ ගුණ මෝදු වෙනවා.

සමහර කෙනෙකුට මේ ලිපිය ග්‍රීක් වගේ වෙන්නත් පුලුවන්..
ඔහුට ලින්කන්ගෙ හෙවනැල්ලවත් දකින්න බැහැ..

 --------------------------------------------------------------------------

ජීවත්ව සිටියා නම්
හිට්ලර් ගැන ටොල්ස්ටොයි ලියන විවරණය කෙබඳු වනු ඇතිදැයි
මා තුල විශාල කුතුහලයක් ඇතිවෙයි.

ලින්කන් වැනි ශ්‍රේෂ්ඨ ජීවන චරිත මෙන්ම
හිට්ලර් වැනි ම්ලේච්ඡයන්ගේ ජීවන චරිතද
කියවීම වැදගත් වේ.
මන්ද ලින්කන් වැන්නවුන්ගේ ජීවිත
වඩ වඩාත් දීප්තිමත්ව බැබලෙනුයේ
හිට්ලර් වැන්නවුන්ගේ ජීවිත වල
ඝණාන්ධකාරය නිසාය.
 ------------------------------------------------------------------------------------------------
  2013 නොවැ. 25 ලක්බිම පත්‍රයේ පලවිය.



1 comment:

  1. අතිශයින් ශ්‍රේෂ්ඨ ලිපියක්! ඔහුමය මාතුල ජීවත්වන්නේද සදා විරුවකු සේ!

    ReplyDelete