20170819

අපි හැම කෙනෙක්ම ෂර්ලොක් හෝම්ස් සහ වොට්සන් කෙනෙක්

දෝණියි පුතයි දෙන්නම
ෂර්ලොක් හෝම්ස් කියවන්න පටන් අරන්.
මම දෙන්නාගෙන් ඇහුවා
"ඇයි ඒ පොත්වලට කැමති?"

"කතාවට ආසයි, රහස් ගතියට ආසයි.
ෂර්ලොක් හෝම්ස් කරන දේවල්
අසාර්ථක වුණාම ආයෙමත් හොයාගන්න විදිය
බලන්න ආසයි." දෝණි කියනවා.

"අපි කෙනෙක් දැක්කාම ගැහැණු පිරිමි වෙනස
අඳුගන්න තරම් පහසුවෙන් කෙනෙක් දැක්කාම
ෂර්ලොක් හෝම්ස්ට ඔහු ගැන හිතාගන්න පුලුවන් වීම,
අභිරහසක් හෙළිකරගන්න විදිය,
අපි නොදකින දේවල් දැකීම"
ඒ පුතා කැමති දේවල්.

පොත් කියවන බොහෝ දෙනෙකුගෙ
රූපාන්තරණයෙ එක් අවධියක
මේ වගේ ඔවුන්ටම ආවේණික හෙතු සහ
හැම කෙනෙකුටම පොදු හේතුත් මත
ෂර්ලොක් හෝම්ස් කතා පෙළ ආශාවෙන් වැළඳ ගන්නවා.

ශේක්ෂ්පියර්, ටොල්ස්ටෝයි, ගෝර්කි, මෝපසං
ඩොස්ටොයෙව්ස්කි, අකුතගාවා, තාගෝර්,
ඔස්කා වයිල්ඩ්, චෙකොෆ්, වික්ටර් හියුගෝ
වගේ ලේඛකයන්ගේ නිර්මාන වලට
හැම පරම්පරාවකම රසිකයන්
ආකර්ෂණය වෙනවා.

යම් පරම්පරාවක රසික පිරිසක්
ඔවුන් ප්‍රතික්ෂේප කරන්න එකම හේතුව
රසිකයාගේ රසඥතාවය සහ
භාෂා ඥාණය පිරිහීම පමණයි.

අපේ පුංචි දූපත තුළත්
ටී. බී. ඉලංගරත්න, ඩබ්. ඒ. සිල්වා,
මාටින් වික්‍රමසිංහ, කරුණාසේන ජයලත්,
සරච්චන්ද්‍ර, සේකර ආදී
කවදා කාටත් ගැළපෙන්න ලියූ
සුවිශේෂී ලේඛකයන් පිරිසක් ඉන්නවා.
ඔවුන්ගේ පොත් කියවන්න හුරුවෙන
අළුත්ම රසිකයන් පිරිසකුත්
හැමදාම පහළ වෙනවා.

හැම කාලෙකම ඉන්න රසිකයන්ගේ
ගෞරවාදරයට පාත්‍ර වෙන අතරෙ
ඒ සන්නිවේදන පරාසය නාඳුනන
නවක ලේඛකයන්ගෙ ඊර්ෂ්‍යාවටත්
පරිහාසයටත්, හෙළා දැකීමටත්
පරම්පරා ගණනක් තිස්සෙ බඳුන් වෙනවා.

ඒ ලේඛකයන්ගෙ නිර්මාණ කල් පවතින්නෙ
ඔවුන් කිසියම් කල් පවතින රසායනිකයක්
හිතා මතා මුසු කළ නිසා නොවෙයි.
ඔවුන් චරිත වශයෙන්ම ඒ නිර්මාණ
පහළ විය හැකි රසඥතාවයක්,
පෞරුෂයක්, වින්දනයක්, චරිතයක් ඇති
සුවිශේෂී මිනිසුන්.

අද කාලෙ ඉන්න රචකයන්
තමන්ගෙ නිර්මාණ ඉතා සුවිශේෂි කියා
තමන්ම තමන් ගැන හිතාගෙන ඉන්න
පටු පරාසයකට නිර්මාණ කරන පිරිසක්.
ඔවුන් ලියන සමහර චරිතවලට පාක්ෂිකයි.
සමහර සංස්කෘතික රටාවන්ට පාක්ෂිකයි.
සමහර කතා රටාවන්ට පාක්ෂිකයි.
මේ ආදී පාක්ෂික භාවයන් නිසාම
ප්‍රතිවිරුද්ධ චරිත සමග
සියුම් ද්වේශයක් ඔවුන් තුළ පැහැවනවා.
ඔවුන්ගේ නිර්මාණ රළු ගොරෝසු නිර්මාණ වෙනවා.

රචකයා පාක්ෂික වෙනවා කියන්නෙ
ඔහු ඒ චරිත ඔහුගෙ නියෝජිතයන් ලෙස
භාවිත කිරීමයි.

හැම චරිතයක් තුළම ඔහු ඉන්නවා.
පියදාස සිරිසේන හොඳම උදාහරණයක්.
ඒ රචකයා පක්ෂ නායකයෙක් වගෙයි.
ඔහුට ඉන්නෙ රසික ජනතාවක් නොවෙයි.
රසික පාක්ෂිකයන් පිරිසක්.

හොඳ ලේඛකයෙක් දරුවන්ට වගේ
හොඳ නරක වෙනසක් නැතුව
හැම චරිතයකටම ආදරෙයි.
අපිත් ඒ විදියටම ඒ චරිත දිහා
සැනසිල්ලෙන් බලනවා.

හොඳ ලේඛකයන්ගෙ චරිත තුළ
ලේඛකයාගෙ නියෝජනය අපට දැනෙන්නෙ නෑ.
ඔවුන්ට වරදිනවා. ඔවුන් වැරදි කරනවා.
ඒත් ඔවුන්ට ඒ වැරදි වලට
සාධාරණ හේතු තියනවා.
ඔවුන් සත්තු වගේ නිකරුණේ හැඟීම් බරව
වඳුරා දැලි පිහිය වනනවා වගේ
හැසිරෙන්නෙ නෑ.

කාලාන්තරයක් තිස්සේ පරම්පරා ගණන්
හැම පරම්පරාවකම අය කියවන පොත්වල
අපූර්ව නමුත් පොදු මිනිස්සු ඉන්නවා.

අපි ඒ චරිත හඳුනනවා.
ඔවුන් අපූර්ව පිටසක්වළ ජීවීන් නොවෙයි.
අපූර්ව එදිනෙදා හමුවෙන මිනිසුන්.
ඒ මිනිසුන් අතර ඇති වෙන ගැටුම් අපූර්වයි.
මේ කිසිවක් අපි නොදන්න දේවල් නොවෙයි.
ඒත් අපි නොදකින, අපිට නොපෙනෙන දේවල්.

අද රචකයන්ගේ නිර්මාණවල
පොදු ඇල් මැරුණ බවට පදනම් වුණ
ඔවුන්ට මග හැරෙන උණුහුම නම්
මේ අපූර්ව බව සමග පහසුවෙන් මුහු වෙන
පොදු මානුෂික හොඳ සහ
පොදු මානුෂික නරකයි.

පැරණි ලේඛකයන් ගෙ නිර්මාණ
බතුයි පොල් සම්බලුයි වගෙයි.
අද ඉන්න රචකයන් නිර්මාණය කරන්නෙ
බෙහෙත් වගේ අපූර්ව සංයෝගයක්.
බෙහෙතක් ගැලපෙන්න රෝගයක් අවශ්‍යයි.
ඔවුන්ට තියන රෝගී තත්වයෙම ඉන්න
රෝගීන් පිරිසක් ඒ නිර්මාණ වැළඳගන්නවා.
පොදු ජනතාව ප්‍රතික්ෂේප කරනවා.

පොදු ජනතාව පොත් කියවමින්
ඒ චරිත තුළ හොයන්න වෙහෙසෙන්නෙ
කියවන ඔවුන්ම මිස ලේඛකයා නොවෙයි.

අපි ෂර්ලොක් හෝම්ස් කියවන්නෙ
සර් ආතර් කොනන් ඩොයිල්
හමුවෙන්න හිතාගෙන නොවෙයි.
අපි හොයාගෙන යන්නෙ අපිමයි.
අපිට හමුවෙන්නෙත් අපිමයි.

අපි හැම කෙනෙක් තුළම
අභිරහස් විසඳන්න කැමති
ෂර්ලොක් හෝම්ස් කෙනෙක් ඉන්නවා.
ඒත් ඒක කරගන්න බැරි
වොට්සන් කෙනෙකුත් ඉන්නවා.

3 comments:

  1. මහත්මයා. මම ඔබේ බ්ලොග් එකේ එකේ හැම ලිපියක්ම කියවනව. ඒත් ඇයි කමෙන්ට් හරහා සංවාද ගොඩනැගෙන්නෙ නැත්තෙ? ඔබ කමෙන්ට් වාරණය කරනවද? මම දැකල තියෙනව ඔහොම වටිනා ලිපි ඔබ ලියනව.

    ReplyDelete
    Replies
    1. වාරණයක් නෑ...
      ඉඳල හිටල කෙනෙක් කමෙන්ට් කරනවා.
      මමත් මේ වගේ පිළිතුරු ලියනවා.
      සංවාද ගොඩ නොනැගෙන්න
      අහේතුව නම් මමත් දන්නෙ නෑ.

      Delete