20161008

පහේ ශිෂ්‍යත්වය උස පනින රිටක්...

මේ කවිය ලිව්වේ
පහ වසරෙ චමත්ක කවීන් ( ශිෂ්‍යත්ව ලකුණු 170යි. )
---------------------------------------------------------
පහේ ශිෂ්‍යත්වය
උස පනින දරුවෙකුට රිටක් වගෙයි.
ඒ රිට නිසා ඔහුගෙ වටිනාකම හෝ
ඔහු සැබැවින්ම පනින උස ප්‍රමාණය
බෙහෙවින් වෙනස් වෙන්නෙ නෑ.
ඔහු වෙනත් පාසලක හයේ පන්තියට පනිද්දි
ඒ රිට භාවිතා කළාට
ඒ පන්තියෙ උස පනින්න
ඒ රිට භාවිතා කරන්න බැහැ.
ඒ පන්තියේ ඉන්න අනිත් ළමුන් ඔහුට වඩා
උස පැනීමෙන් දක්ෂ වෙන්න පුලුවන්.

මමත් බිරිඳත්
ගමේ පාසලෙන් ශිෂ්‍යත්වය පාස්වෙලා
නගරයේ පාසල් වලට ආව දෙන්නෙක්.
ගමේ පන්තියෙ පළවැනියා වුණ මම
නගරයේ විදුහලේ පන්තියේ අවසාන දහදෙනා
හෝ පස්දෙනා අතර ඉන්න ඇති....
මම දන්නෙ නෑ.
ඒ පන්තිවල මුල් වෙනියො දෙතුන් දෙනා හැරෙන්න
අනිත් අය අපි දන්නෙ නෑ.
තරඟයකින් පළ වෙනියා වීම
මට අදටත් වැදගත් නෑ.

තරඟයකින් පළ වෙනියා වීම
අදටත් අගය කරන
ගමේ පන්තියෙ පළවැනියා වුණ මගේ බිරිඳ
ආව ගමන් පන්තියෙ 28 වෙනියා වෙලා
පසුව මුල් තැන් වලට ඇවිත් තිබුණා.
ගමේ හිටියා නම් නොවෙන තැනකට
නගරයේ පාසල නිසා
ඇගේ ඉගෙනුමේ වර්ධනයක් වුණා.

මම ඇය මෙන් ඉගෙනුමෙන් ඉදිරියට ගියේ නෑ.
ඒත් ඒ පරිසරයෙ පෝෂ්‍යදායක ගුණය නිසා
වයස දහනවයෙදි මම චිත්‍රකතා ශිල්පියෙක් වුණා.
ගමේ හිටියා නම්
මම චිත්‍රකතා ශිල්පියෙක් වෙන්නෙ නෑ.

ප්‍රේමකීර්ති ආනන්දෙට නො ආවා නම්
ඔහු ගිය දුර යන්න අවශ්‍ය පෝෂණය
ඔහුඔහුට ලැබෙන්නෙ නෑ.
ඒ අවස්ථාව
නගරයේ ''පාසලෙන්'' ලැබෙන දෙයක් නොවෙයි.
නගරයේ පාසලකට එකතු වෙන දරුවන්ගෙ
පවුල් පසුබිමේ විශේෂත්වය නිසා
පාසල තුල බිහි වෙන විශේෂත්වයක්.

ප්‍රේමකීර්ති පාසල ළඟ හිටිය නිසා
ආනන්දෙට ආවා.
දුරක හිටියා නම් ඔහු ආනන්දෙට එන්නෙ නෑ.
ඔහුට ලැබුණ අවස්ථාව ලැබුන
පාසල් සීමාවෙ දරුවන් හැරෙන්න
අන් සියලු දරුවන්
දෙමාපියන්ගෙ මුදල් නිසා,
බලය නිසා, වෙනත් හැකියාවන් නිසා
උසස් පාසලට ඇතුල්වුණ අයයි.
ඒ සියලු දෙනාගෙම දෙමාපියන්
තමන්ට අවශ්‍ය දේ මොන විදියෙන් හෝ
කරගන්න හැකියාවක් තියන අයයි.
ඒ පවුල් පසුබිම
දරුවන්ගෙ චරිතවලට බලපානවා.

ශිෂ්‍යත්වය සමත් වෙන දරුවන්ගෙ දෙමාපියන්
ධන කුල නිල බල නැති වුණත්
නීත්‍යානුකූලව, සදාචාරාත්මකව
''දරුවාට හොඳ පාසලක්'' මාර්ගයෙම යන
විශේෂ දෙමාපියන් පිරිසක්.
එවැනි උට්ඨාන වීර්යයක් ඇති
දෙමාපියන්ගේ දරුවන්ගෙන්
උසස් පාසලක පරිසරය
පෝශ්‍යදායක වෙනවා.

නගරයේ පාසල උසස් වෙන්නෙ
ඒ විශේෂ දෙමාපියන් සහ දරුවන් නිසයි.
ඒ පිරිසට ගැලපෙන්න හැසිරෙන්න
ඒ පාසල්වල ගුරුවරුන්ට සහ විදුහල්පති වරුන්ට
නිතැතින්ම පැවරෙනවා.
ඒ පරිසරය සුවිශේෂයි.

මහින්දෙ උසස්පෙළ පන්තියෙදි
චිත්‍ර වලට නැඹුරු වෙලා
පාසලේ පන්ති වලට නොගිහින්
පුස්තකාලයේ චිත්‍ර අඳිමින් ඉඳලා
රසායන විද්‍යාව ප්‍රැක්ටිකල්වලට ආස නිසා
රසායනාගාරයට විතරක් යද්දි
රසායන විද්‍යාව ප්‍රැක්ටිකල් කරන,
ඉතාම දැඩි ප්‍රතිපත්ති සහිත
උප විදුහල්පති වෛද්‍යරත්න මහතා
" ආ... කලාබරත් ඇවිත් ඉන්නෙ..
කලාවට බර වූයේ කලාබර නමි" කියලා
විහිලුවකින් සංග්‍රහ කරලා පන්තිය කළා.
මමත් ඉන් තෘප්තිමත් වුණා. දිරිමත් වුණා.

චිත්‍ර ශිල්පයටත්
විශේෂ දක්ෂතාවයක් නැතුව
ස්වෝත්සාහයෙන්ම
මට අවශ්‍ය රිට මම සකස් කරගනිද්දි
ඒ රිට දික් කරගන්න උපකාරී වෙන
එවැනි පරිසරයක් සකස් කරන්න
ගමේ පාසලක ගතානුගතික ගුරුවරයෙකුට
හැකියාවක් හෝ බලවත් කමක් නෑ.

රිටි පැනීමෙන් ජයගන්නෙ
උස පැනීමට දක්ෂ ළමයින්ම නොවෙයි.
රිට අවශ්‍ය තරමට දික් කරගෙන
නගරයේ උසස් පාසලකට ගිය පමණින්
ශිෂ්‍යත්වලාභී දරුවෙක් දක්ෂ වෙන්නෙ නෑ.
ඔහුත් ඔහුගෙ දෙමාපියනුත් එකතු වෙලා
පවුලෙ ප්‍රශ්නයක් විසඳා ගත් පමණින්
ඉදිරි කාලය තුළත්
ඒ කණ්ඩායම ඒ ආකාරයට හැසිරේවි හෝ
ජයග්‍රහණ ලබාවි කියා සහතිකයක් නෑ.

ඒත් එවැනි පවුලක වෙසෙන
එවැනි දක්ෂතාවයක් තියන දරුවෙකුට
නගරයේ විද්‍යාලයෙන් ලැබෙන පෝෂණය
ගමේ පාසලකින් ලැබෙන්නෙ
ඉතාම කලාතුරකින්.

"මගේ දරුවාට උසස් පාසලක් අවශ්‍යයි."
කියමින් පාසල් ඉල්ලන වෛද්‍යවරුන්
ආකල්පමය වශයෙන් නිවැරදියි.
ඔවුනුත් දරුවන්ට සංග්‍රහ කරන දෙමාපියන්.
ඒත් ඔවුන්ගෙ වෘත්තිය දඩ මීමා කරගැනීම
වැරදියි.
මේ වැරදි ප්‍රතිපත්තියට මුල්වුණේ
හමුදා නිලධාරීන්ට ලබා දුන් අවස්ථාවයි.
ඒ තීරණයත් වැරදියි.

දරුවන්ගෙ යහපත තකන දෙමාපියන් වශයෙන්
වෛද්‍යවරුන් හෝ පාර අතුගාන කම්කරුවන්
දරුවට උසස් පාසලක් ඉල්ලීම ගැන
කිසිවෙකුට වරදක් කියන්න බැහැ.
තමන්ගෙ වින්දනය අංක එක වශයෙන් හිතන
කාමභෝගී දෙමාපියන්ට සහ
උපන්නාට මේ ලොව වැනෙන නරුම දෙමාපියන්ට
ඒ අවශ්‍යතාවය නැහැ..
ඒ අවශ්‍යතාවය මත
සමාජයට බලපෑම් කරමින්
වෛද්‍යවෘත්තිකයන් හෝ නගරසභා කම්කරුවන්
වෘත්තීය වගකීම අවියක් මෙන් අමෝරාගෙන
ජනතාව පෙළන ත්‍රස්තවාදීන් වීම
මිනිසුන් ලෙස නින්දනීයයි.

වෛද්‍යවරුන්ගෙ දරුවන් විශේෂ විය හැකියි.
ගුරුවරුන්ගෙ දරුවනුත් ඒ වගේම විශේෂ පිරිසක්.
ඔවුන්ගෙ පවුල් පරිසරය තුළ
පාසල් අධ්‍යාපනයෙ පවතින අංග විකල බැවෙන්
උපරිම ප්‍රයෝජන ගැනීමට
හුරුවක් ඇබ්බැහි වෙනවා.

මගේ බිරිඳ ඉගෙනගත්ත විදුහලේ
වෛද්‍යවරුන්ගෙ දැරියන් කල්ලියක් සිටියා.
ඔවුන් කතාබහ කළෙත් ඉංග්‍රීසියෙන්.
පාසලේ විභාගවලිනුත්
පන්තීයෙ මුලින්ම සිටියේ ඔවුන්ගෙ කල්ලියයි.
ඔවුන් සියලුදෙනාම පාහේ
වෛද්‍යවරියන් වෙද්දි
ඒ කල්ලියට වැටුණ වෙනත් දැරියනුත්
වෛද්‍යවරියන් වුණා.
පරිසරය දරුවෙකුගෙ අනාගතයට බලපානවා.

බුදුන් වහන්සේ
අසේවනාච බාලානං
පණ්ඩිතානංච සේවනා කියා
මංගල සූත්‍රය ඇරඹන්නෙ
ඇසුර වැදගත් නිසයි.

හොඳ ඇසුරක් ලැබිය හැකි පාසලක් ලබා ගන්න
පහේ ශිෂ්‍යත්වය උපකාර වෙන්නෙ
උස පනින දරුවෙකුට රිටක් වගෙයි.

රිට අවශ්‍ය ප්‍රමාණයට හදා ගත්තොත්
එයින් කෙරෙන කාර්යය කරගන්න දරුවෙකුට
එයින් ප්‍රයෝජනයක් ලැබෙනවා.
ඒ හැර එයින් වෙනත් ප්‍රයෝජනයක් නෑ.

මගේ පුතා 169ක් ගනිද්දි
ඔහුට වඩා සිය දහස් වාරයක් හොඳින්
සිංහල භාෂාව හසුරුවන චමත්ක කවීන්
170ක් ගැනීම විශ්මයජනකයි.
සිංහල භාෂාව ප්‍රායෝගිකව බැලුවාම
චමත්ක ලියන කවියක් කියවා තේරුම් ගන්න තරම්වත්
සහජ දක්ෂතා හෝ ඉගෙනුම නැති දරුවන්
ශිෂ්‍යත්ව විභාගයෙන් 180-190 ඉක්මවා යද්දි
සහජ දක්ෂකමෙන් ගුරුවරුන් පවා අභිබවන
චමත්ක වැනි දරුවන් 170 නවතිනවා.
ඒ වගේම වසරක් තුළ
සිංහල මාධ්‍යයට පැමිණි
මගේ දරුවා වැනි දරුවන්
චමත්කට සමීප වෙනවා.
මේ ක්‍රමය අංග විකල අධ්‍යාපන ක්‍රමයක්.

ඉහතින් දැක්වෙන්නෙ චමත්ක ලියූ කවියක්.
ඔහු දුටු සිතින් විඳි සැබෑ නිමිත්තත්
ඒ මත ඔහු සකස් කළ අනුව්‍යන්ජන පෙළත් අනුව
ඔහු අප තුළ මතු කරන රසය, ආස්වාදය
අද අප දකින මහා කවීන්ගෙ තලයට
ඔහු ඔසවා තබන නිර්මාණයක්.

චමත්ක ලියන මෙවැනි කවියක් කියවා
තමන්ගෙ වදන් වලින් කියන්නට හැකි තරමට
පැහැදිලිව තේරුම් ගන්න තරම්
චමත්කගෙ මට්ටමට සාහිත්‍යමය හැකියාවක් නැති
සම්මානනීය වැඩිහිටි උගතුන්
ෆේස්බුක් සමාජ ජාලයෙ අප අතර 
ගැවසෙනවා.

190ක් ඉක්මවා ගන්නා දරුවෙකුට
එවැන්නෙක් බවට පත්වෙන්න පුලුවන් වෙයි.
විඳ පසක් නොකළ දක්ෂතා ඇති ඔවුන් සහ
ජීවිතය හදවතින් විඳින
පුංචි චමත්ක අතර ඇති විශාල පරතරය
ශිෂ්‍යත්ව විභාගයෙන් අතුරුදහන් වෙලා.
පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් දක්ෂ දරුවෙකුගෙ
සහජ දක්ෂතාවය මනින්නෙ නෑ.

ඔහුගෙ පන්තියෙ දෙවැනියා 111ක් ගනිද්දි
මගේ පුතා 169ක් ගත්තෙ
ඔහු පාසලෙන් ලද දැනුමට වඩා
අනුමාන ප්‍රශ්නපත්‍ර නිසාමයි
කියන්න අපට පුලුවන්.
ශිෂ්‍යත්වයෙ රටාවට හැසිරෙන්න
අපි ඔහු හුරු කළා.
ඔහු සිංහල මාධ්‍යයෙන් ඉගෙනගත්තෙ
එකම වසරයි.

පුතාගෙ වසර දහයක ජීවිතයෙ
ඔහු ජීවත්වෙන හය වෙනි නිවසයි මේ.
ඔහු ඉගෙන ගන්නා
හතර වෙනි පාසලයි මේ.
කලින් පාසල් තුනම ජාත්‍යන්තර පාසල්.
ස්ථිර පදිංචිය ආදී සුදුසුකම් රහිතව
නීත්‍යානුකූලව මුදල් ගෙවා
ඇතුල් කළ හැකි වීම නිසා
අපිට ජාත්‍යන්තර පාසල් තෝරාගන්න සිදු වුණා.

මූල්‍යමය වශයෙන් පාඩු ලබමින්
පාසල් මාරු කරමින් උත්සාහ කළත්
ඒ එක ජාත්‍යන්තර පාසලක් පිළිබඳවවත්
අපට තෘප්තිමත් විය නොහැකි වුණේ
1,
සියලු දෙනාම ගුරුවරියන් වීම.
(පිරිමි ගුරුවරුන් නැතිවීම
පිරිමි දරුවන්ගේ පෞරුෂය හීනවීමට බලපානවා. )
2,
ඒ බොහෝ ගුරුවරියන් අත්දැකීම් රහිත
ළාබාළ තරුණියන් වීම.
3,
ඔවුන් අපි සතුටු කරන්නට
දරුවන්ගේ දක්ෂකම් වැඩි කර අප රැවටීම.
4,
ළාබාළ ගුරුවරියන් නිතර පාසල හැර යාම
5,
ඉංග්‍රීසි හැරෙන්නට අන් විෂය දැනුම
පහළ මට්ටමක පැවතීම ආදී හේතු නිසයි.
මේ පාසලට ඔහු ඇතුල් කළේ වසරකට පෙරයි.

රජයේ පාසල් අතර අධ්‍යාපන මට්ටම වෙනස් වුණාට
නිශ්චිත නිර්දේශයක් තියනවා.
ගුරුවර ගුරුවරියන්ගේ අඩුපාඩු මත
මානාව නොලැබුවත්
ඔවුන් පුහුණු කිරීමේ වැඩ සටහන් තියනවා.
මේ ආදී හේතු නිසා
රජයේ පාසල් පිළිබඳව
අප තුළ පැහැදීමක් ඇති වුණා.

මේ පාසලේ
පහ වසරට විතරයි පංති තියෙන්නෙ...
ළමයි ඉන්නෙ 80-90ක් විතර.
පුතාගෙ පන්තියෙ 14යි.
පාසල කුඩාවීම නිසා
සිංහල මාධ්‍යයට පරිවර්තනය වීම
පුතාට පහසුවක් වුණා.

ඔහුට ගැලපෙන පාසලක් කියා අපි හිතන පාසලක්
බාධාවකින් තොරව තෝරාගන්න ලැබෙන නිදහස
අපි වැනි ස්ථිර නිවහනක් නැති සංක්‍රමණිකයන්ට සහනයක්...

ඔහු ආනන්දයට යවන්නට
අපට හැකි වුණා නම් අපි කැමතියි.
පාසල විශේෂ නිසා නොවෙයි.
ආනන්දය දක්ෂයන්ට හොඳ තෝතැන්නක් බව
ප්‍රේමකී
ර්ති වැන්නන්ගෙන් පසක් වෙන නිසයි.

එ ලකුණු ප්‍රමාණය කරා යන්නට තරම්
මගේ පුතා
පාසල් අධ්‍යාපනය තුළ
විශේෂ දක්ෂයෙක් නොවෙයි.
ඒත් ඔහුගෙ හිතේ හැටියට
චිත්‍රයක් ඇඳගන්න බැරි වුණොත්
මූර්තියක් හදාගන්න බැරිවුණොත්
ඔහු හඬා වැටෙනවා.
අපි ඒ ගුණය භාවිතා කරලා
ශිෂ්‍යත්වය සමත් වෙන්න
ඒ උවමනාව ඔහු තුළ ඇති කරන්න
අපි බොහෝ දේ කළා.

2010 දෙසැම්බර් සිටම
අපි රූපවාහිනී නරඹන්නෙ නැති නිසා
ඔහුට රූපවාහිනී විෂබීජවලින්
හානියක් වුණේ නැහැ.

ඔහු තෝරාගත් ඉංග්‍රීසි හින්දි දෙමළ බෙංගාලි
චිත්‍රපට නිතර නැරඹුවත්
අවසාන මාස කිහිපයේ
අපි එයත් තදින්ම සීමා කළා.
සොයුරියත් ඔහුත් අතර
කෙළි සෙල්ලම් නතර කළා.

අන් දරුවන් වසර පහක් ඉගෙනගත්
විෂය කරුණු ප්‍රමාණයෙන්
ශිෂ්‍යත්වයට අවශ්‍ය ටික තෝරාගත්තේ
අනුමාන ප්‍රශ්නපත්‍රවල
ඔහු දක්වන දුර්වලතා අනුවයි.
ඔහු නිරායාසයෙන් අනුමාන ප්‍රශ්න පත්‍රවලට
පිළිතුරු දෙන තැනකට "ඇබ්බැහි" කරන්නට
අපි උත්සාහ කළා.

මගේ දරුවා තුළ
චිත්‍ර සහ මූර්තිවලට තිබුණ දක්ෂතාවය
මේ කාලය තුළ බෙහෙවින් මොට වුණා.
ඔහු ඒ අංශවලදි එන ප්‍රශ්න විසඳන්න
හැඟීමට වඩා බුද්ධිය භාවිතා කිරීම
කලාත්මක හැකියාව මොට වීමට හේතු වුණා.

චමත්කත් දැඩි උවමනාවකින්
ශිෂ්‍යත්වයට මුහුණ දුන්නා නම්
ශිෂ්‍යත්වය ඉහළින් සමත් වෙද්දි
ඔහුගෙ සාහිත්‍ය දක්ෂතාවය
ඒ කාලය තුළ මොට වෙන්න පුලුවන්.
චමත්ක ඒ උගුලට
ඉදිරියෙදි අහු වුණොත් අහු වෙන්නෙ
ඔහු සමාජය ඉදිරියේ තනමින් සිටින
ප්‍රතිරූපය නිසයි.
ඔහු ඒ බියකරු අවදානමට
සාර්ථකව මුහුණ දේවි කියා
මම විශ්වාස කරනවා.

මගේ පුතාගෙ සහජ හැකියාවන්ට
වඩා හොඳ සාරවත් පරිසරයක් සොයාගන්න
ඔහුගෙ සහජ හැකියාව
නොවටිනා අගයකට උගස් කරන්න
ශිෂ්‍යත්ව සටනෙදි අපට සිදු වුණා.
ඔහු කලින් සිටි
ඔහුට හිමි තැනට ආපසු යන්නට
නැවත අපි පවුලක් ලෙස
නව මංපෙත් සොයා ගත යුතුයි.

අවශ්‍යතාවය මත
නොවටිනා මුදලකට උගස් තබා ඇති
ඔහුගෙ සහජ හැකියාවෙ උගස
වැඩි පොලියක් හෝ ගෙවා බේරාගැනීම
ඔහුගේත් අපේත් ඊළඟ ඉලක්කයයි.
ඒ අභියෝගය
5 ශිෂ්‍යත්වයට මුහුණ දුන්නාට වඩා
ලොකු අභියෝගයක්.

මේ අංගවිකල අධ්‍යාපන ක්‍රමය
අප වැනි සහජ දක්ෂතා ඇති අයට
මැණික් ඉල්ලමක් නොවෙයි.
අපි සොයන දේ
මේ ක්‍රමයට බාධාවක් ලෙස බැහැර කරන්නක්.

මුදලට සැප සම්පත්වලට කෑදර පසුබිමක
ඒ දෙමාපියන්ගෙ ඇසුරෙ වෙසෙන දක්ෂ දරුවෙකුට
නීතිඥයෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් වෙන්න
මේ අංගවිකල අධ්‍යාපන ක්‍රමය විසින්
අසීමිත පහසුකම් සපයනවා.
ඒ වෘත්තිකයෙකුටට තමන්ගෙ වෘත්තිය
රුවැති ගණිකාවකට සිය සිරුර වැනි
මිළක් නියම කළ හැකි පාරිභෝගික භාණ්ඩයක්.

සැබෑ වෘත්තීය දක්ෂතාවයකට
මිලක් නියම කරන්න බැහැ.
බොබ් මාලේ සංගීතය ගැන කී ආකාරයට
" මුදලෙන් මිලක් නියම කරන දෙයක්
ඒ මුදල තරම්  වටින්නෙ නෑ"

මුදලට සැප සම්පත්වලට කෑදර
ව්‍යාපාරික සිත් ඇති රිලවුන්ට
ඉහළ අහසට ඉණිමං තනා දෙමින්
වෘත්තීය අපරාධ කරුවන් බිහි කරන
අධ්‍යාපනික රිටි භාවිතා කරන
චරිතයෙන් අංගවිකලයන්ට උල් පන්දන් දෙන
මේ අංගවිකල අධ්‍යාපන ක්‍රමය තුළ
සසර වාසනාවෙන් හුරු වූ සහජ දක්ෂතාවය
දූෂ්‍ය කර නොගෙන රැකගැනීම
වසර දහයෙන් දොළහෙන් සාහිත්‍ය දස්කම් පෑ
ගීත රචක සුනිල් ආරියරත්නයන්ට පවා
ජයගත නොහැකිවූ අභියෝගයක්.

මහාචාර්ය සුනිල් උපන්නෙ
ඔහු තුළ සිටි කවිකාර සුනිල් ඝාතනය කරමිනුයි.
ආනන්දයට ගිය නමුත්
අපේ ප්‍රේමකීර්ති ඒ උගුලට අහුවුණේ නෑ.

සුනිල් රිටක් හදාගෙන
මහා ආචාර්ය කෙනෙක් වෙද්දි
සංවේදී කමෙන් ඉහළ හිත්වලට
ප්‍රේමකීර්ති සදාතනික පිම්මක්
රිට නැතුවම පැන්නා.

ජීවමාන සුනිල් අපේ හිත්වලින් ගිළිහුණාට
ඝාතනය කළ ප්‍රේමකීර්ති අදත් ජීවමානයි.

පහේ ශිෂ්‍යත්ව රිට සමග
සමහර දෙමාපියන් ගුරුවරුන් නිසා
සමහර දරුවන් පනින
ඔවුන්ට නොගැලපෙන මේ අසාධාරණ උස
මතු දවසක රිට නැතුව පනිමින්
ඔවුන් පරදවාලන්නේ
සැබෑ සහජ දක්ෂතා සහිත දරුවන්..

අද රිටි පැනීමෙන් දිනුවත් නැතත්
දරුවන් සසර හුරු කරගෙන ගෙනෙන
සහජ හැකියාවන් තුලින්ම
දක්ෂ ලෙස රිටි පැන්න දරුවන් අභිබවා
පාසල් අධ්‍යාපන රිට නැතුව උපරිම උස පනින්නට
සහජ කුසලතා ඇති දරුවාට ශක්තියක් වෙන්න.
දෙමාපියනි, ගුරුවරුනි.

9 comments:

  1. /////මුදලෙන් මිලක් නියම කරන දෙයක්
    ඒ මුදල තරම් වටින්නෙ නෑ"////////////

    ++++++++++++=

    ReplyDelete
  2. දරුවාට අනුව අධ්‍යාපනය දෙමු. අධ්‍යාපනය අනුව දරුවා දෙකට නවා පවතින කුමයට ඔඉන්නේ නැතිව ඔබන්න උත්සාහ ගන්නේ නැතිව.

    ReplyDelete
  3. /ජීවමාන සුනිල් අපේ හිත්වලින් ගිළිහුණාට
    ඝාතනය කළ ප්‍රේමකීර්ති අදත් ජීවමානයි./

    අන්න කතාව..සහතිකම ඇත්ත!

    ReplyDelete
    Replies
    1. රවී.....මට ඔන්න ඕක හයිලයිට් කරන්නම ඕනකම තිබුනා. අතුලගේ පෝස්ට් එකේ එකපාර දෙකක් හයිලයිට් කරන්න ගියොත් මොනවා හිතයිද දන්නේ නැති නිසා එකක් හයිලයිට් කරා.

      Delete
    2. මෙහි කරුණු ගණනාවක් තියනවා.
      ඔබ දකින දේ මතු කරන්න..

      Delete
  4. ගොඩාක් වටින උපදෙස්මාලාවක් අතුල අයියෙ

    ReplyDelete
  5. ශිෂ්‍යත්වය නර්තනයක් වගෙයි.
    පා සරඹ ගොඩ සරඹ ටික කළොත්
    ශිෂ්‍යත්වය ගොඩ දමා ගැනීම
    සාමාන්‍ය දක්ෂතා ඇති දරුවෙකුට
    ලොකු ගැටලුවක් නොවෙයි.
    ඔහු ඒ සඳහා පුහුණු කිරීම
    දෙමාපියන්ගෙ සහ ගුරුවරුන්ගේ වැඩක්.

    අනුමාන ප්‍රශ්නපත්‍ර දවසට එකක් හෝ දීලා
    ඔහුගෙ දුර්වල තැන් ඔප මට්ටම් කලාම
    ඒ ඇබ්බැහිය මත
    ඔහුට විභාගය ලියන්න පුලුවන්.

    අහඹුව නැත්නම් වාසනාවත්
    සමහර විට බලපානවා.
    මගේ පුතා කුරුල්ලන්ගෙ නම්
    දෙමළෙන් දන්නෙ දෙකයි.
    ඉන් එකක් ඇවිත් තිබුණා.

    ReplyDelete
  6. අපි කොච්චර කථා කලත් කොහොම කිව්වත් ඔය ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මම කියන්නෙ
      වෙනස් කරන්න කියල නොවෙයි. Ajith..
      රටාව අල්ලගෙන ජයගන්න කියලයි.
      දරුවා පාසල් වැඩට දක්ෂ නිසා
      ඔහු ඒ මගින් ශිෂ්‍යත්වය සමත්වෙයි කියා
      විශ්වාස නොකළ යුතුයි.
      අනුමාන ප්‍රශ්න පත්‍රවලට
      ඔහු ඉතා හොඳින් හුරු කිරීමෙන්
      ඔහුට අවම කාලයක් තුළ
      උපරිම විසඳුම් ප්‍රමාණය
      පහසුවෙන් සොයාගන්න පුලුවන්.

      Delete