20121125

"මාතොටින් එන උතුරු හුළඟ"... සරෝජා.



 
කලාව කියන්නේ
සමාජයට කණවැලක් වත්,
කලා කරුවා කියන්නේ
කණ වැල
අල්ලන යන්නෙක්වත් නොවෙයි..
එහෙත් ඔහුත් සමාජය තුළම
තවත් අන්ධයෙක් කියන්න බැහැ.
සාමාන්‍ය පුද්ගලයට වඩා
ඔහුගේ දැක්ම පුළුල්.

උදාහරණයක් කියන්නම්.

යුද්ධයෙන් පීඩා විඳපු
අහිංසක දෙමළ මිනිස්සු ගැන
ඕන තරම් ප්‍රවෘති අපි කියවනව.
ඒත් ඒවයෙන් පමණක් නොවෙයි..
සැබෑ සිද්ධියකින්වත් සසල නොවෙන
කම්පනය නොවෙන ගැඹුරකට කතා කරන්න
හොඳ නිර්මාණයකට පුලුවන්.


දීපිකා ප්‍රියදර්ශනී
ගයන "මාතොටින් එන" ගීතය අහද්දි හිතේ මැවෙන රූපය
මගේ ඇස් වලට නිතරම වගේ කඳුලු නංවනවා,

විශේශයෙන්ම  පොඩි ළමයෙක්
ඒ ගීතය හැඟීම්බරව ගායනා කරද්දි..

මා තොටින් එන උතුරු සුළගේ ගිනි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කදුළු හංගන සරෝජා මගේ දෝණියේ
වෙඩි හඬට පොඩි අකුරු ඇද වෙයි මක් කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ් එත් අපි එක පන්තියේ

කරවටේ අත දමා හිනැහුණු කෝ නුඹේ පොඩි යාළුවන්
දයාවක් නැති ලෝකයක් දැක උන් ගිහින් පැන මායිමෙන්

තාත්තා හීනෙන් ඇවිත් අත වනන තුරු කඳවුරු දොරින්
කාටවත් නැති දුවේ කවුරුන් නුඹ රකීවිද සෙනහසින්
.
ගී පද - මහින්ද චන්ද්‍රසේකර
සංගීතය - රෝහණ වීරසිංහ 

කොච්චර හුරුපුරුදු උණත්
වෙඩිහඬටත් බයවෙන පුංචි සරෝජා,
එයා ජීවත් වෙන බියකරු පරිසරය,
එයා අත්හැරල යන එයත් එක්ක
එකම දුක විඳින පන්තියෙ ටීචර්..
යුද්ධයෙන් මියගිය
නැත්නම් මායිමෙන් ඈතට පළාගිය
සරෝජගෙ වයසෙ පුංචි දරු දැරියන්,
මියගිය, නැත්නම් ත්‍රස්තවාදීන් අතර ඉන්න තාත්තා,
හෙට ත්‍රස්තවාදීන්ට ගොදුරු වෙන්න
එහෙම නැත්නම්
මන්දිරයක බේබිලාට බැලමෙහෙ කරන්නට ඉඩ ඇති
සරෝජගෙ අවිනිශ්චිත අනාගතය,...

මේ හැමදේම සුලු වෙලාවකදි
හිතට දැනෙන්න කියන්න
කිසිම ප්‍රවෘත්තියකට බෑ.

මේ සිද්ධිය සාමාන්‍ය පුද්ගලයෙක්
කෙලින්ම කිව්වොත් කියන්න තියෙන්නෙ
"ඔන්න අද අර සරෝජගෙ සිංහල ටීචර්...
ඉස්කෝලෙන් මාරුවක් අරන්
අඬ අඬා ගියා" කියල තමයි.

සමහරු මේ දෙකෙන්ම තේරුම් ගන්නෙ
එකම දේ වෙන්න පුලුවන්.
එතන ප්‍රශ්නයක් තියනවා.

විනාඩි හතරක්
හරියට නොතෙරෙන දෙයක් අහන්න
නිකරුනේ කාලෙ නාස්ති කරන්නෙ නැතුව
අයිටීඑන් ප්‍රවෘත්ති වලින්
ඒක කෙලින්ම අහන එක
එයාලට හොඳයි

ඒත් මේක අහල සසල වෙන්න තරම්
සංවේදී හිතක්
මේක අහල සසල වෙන කොට
ඒ හිතේ සංවේදී බව
අංශු මාත්‍රයකින් හරි වැඩි වෙනවා.

ඇත්තටම උතුරෙ ඉඳල පැනල ආපු
සිංහල ගුරුවරුන්
සියයට අනූනමයක්ම පැනලා එන්න ඇත්තෙ
තමන් මුණගැහෙන්න පෙරමග බලාගෙන ඉන්න
තමන්ගෙ දරුවො ගැන හිත හිතා.
ඒක සුවිශේෂී හැඟීමක් නෙමෙයි..
තිරිසන් සත්තු ලඟ උනත් ඒ හැඟීම තියනවා,
සමහර මිනිසුන් ලඟ තියනවටත් වඩා..
කලාකරුවන් ලෙස හැසිරෙන
සාමාන්‍ය පුද්ගලයා නිර්මාණ කරන්නෙ
ඒ සාමාන්‍ය පොදු හැඟීම උලුප්පලයි.
මර්කට් එකට බොම්බයි මොටයි වගේ
කොලවෙරි ඩී වගේ අල්ලනවා.

ඒත් මේ ටීචෙර්
සරෝජා දිහා බැලුවම පෙනෙන තොරතුරු ටික
රචකයා එක මොහොතකට ගොනු කරල
අපට පෙන්වලා දෙන්නෙ
හොඳ නිර්මාණ කරුවෙකු ගෙ
ප්‍රබල සම්පජානො සතිය තුළින්.
ඒක ටීචර්ගෙ හිත උණාට
කියවෙන්නෙ සරෝජගෙ අනුවේදනීය කතාව.

හොඳ නිර්මාණ කරුවෙකුගෙ නිර්මාණ ඇසුරෙන්
අපේ ජීවිත තුළත්
ඒ පුළුල් දැක්ම
චුට්ටක් හරි වර්ධනය වෙනවා.
ඊට පස්සෙ අමු අමුවෙ සිද්දියක් ඇහුවත්
ඒ තුළින් අර වගේ දුර දකින්න
අපට උදව් වෙන්නෙ
ඒ වගේ පුළුල් දැක්මකින් යුතු නිර්මාණ කරුවෙක් කරන
පුළුල් දැක්මකින් යුතු නිර්මාණයක් තමයි.

සමහර විට කෙනෙක්
තමන්ගෙ නොසිඳෙන කාමාශාව,
සල්ලිවලට, බලයට තියන කෑදරකම
ආදිය පදනම් කරගෙන
නිර්මාණයක් කළත්
සසල වෙන පිරිසක් සමාජයෙ ඉන්නවා.
ඒත් එයාලගෙ ජීවිත දිහා
කාලෙකට පස්සෙ ආපහු හැරිල බැලුවොත්
එයාලට තේරේවි,
ඒ සසල වීමෙන් කැළඹිලා
තමන් එදාටත් වඩා පිරිහුණ
පව්කාර ජීවිත බවට පත්වෙලා තියන බව.

කොයි විදියට නිර්මාණයකින් සසල වුණත්
නිර්මාණයේ හොඳ හෝ නරක අනුව
ඔය කියන වෙනස නම් සිදු වෙනවා....

අමුවෙන් කරන නිර්මාණයකින් වුණත්
සසල වෙන අයත් ඉන්නවා.
ඒ වගේ අය තමයි වැඩි හරියක් සමාජයෙ ඉන්නෙ.
එයාල කරන්නෙ තල් අත්තට තල්ගෙඩිය වැටිච්ච වෙලාවෙ
හාව කළා වගේ තමන්ගෙ ඔලුව බේරගන්න හදන එකයි.
ඒ හැඟීම සතෙකුගෙ වගෙයි..
ඒ මොහොතට විතරයි.

හදිසි අනතුරක් උණාම තුවාල කාරය පණ අදිද්දි
රියදුරායි කොන්දොස්තරයි අල්ලගෙන
මැරෙනකම් තඩි බාන්නෙ ඒ සංවේදී පිරිස තමයි.

කලාකරුවා තම අන්ධ කම නිහතමානීව පිළිගනිමින්
තමන්ගේ අතට හසුවන
අලියාගේ කොටස ගැන වියමනක් කරනවා...
එය අසම්පූර්ණ බව ඔහු දන්නවා....
එහෙත් එය රසිකයා නොදුටු පැත්තක් බවත්
නොදුටු ස්වරූපයක් බවත්
ඔහු දන්නවා.

අපි මාස දෙකතුනකට වරක්  "සිංහබාහු" බලනව.
නිතරම පටිගත කරන ලද නාට්‍යය
අහල රස විඳිනවා.
ඒත් තවමත් ඒ චරිත තුල
අපි හැමදාම අලුතෙන් දකින දේ අනන්තයි.

ඒ කතාබහ තුලින්
අපි දෙමව්පියන් ගැන,
දරුවන් ගැන,
ඔවුන්ගේ සබඳතාවයන් ගැන
සැබෑ ජීවිතයෙන් පසක් කර නොගන්නා
දහසක් දේ පසක් කර ගන්නවා.
දරුවන්ට පෙන්වනවා.
"නාට‍යය බලන්න යමු"
"සිංහබාහු සින්දු දාන්න"
කියන්නෙ අවුරුදු හතරෙ හයේ දරුවො.

කලාකෘතියක් විඳින්න
පණ්ඩිතයෙක් විය යුතු නැහැ.
කලාකෘතිය බලෙන් බොන
තිත්ත කසායක් විය යුතු නැහැ.
කලාකෘතියක් කියන්නෙ
මිහිරි ජීවන දැක්මක්.

තවත් විදියකට කියනවා නම්,
කලා කෘතියක් කියන්නෙ
අපේම ජීවිතවල
අපි නොදකින දේ මත,
එහෙම නැත්නම්
අපි හරියට නොදකින දෙ මත පතිත වෙන
තාවකාලික හිරු රැස් දහරක්.
එයින් මා තුල යම් සසල වීමක් වුණොත්
ඒ සසල වීමෙන් මා තුළ
කිසියම් නව දැක්මක් පහළ වුණොත්
මට ඒ කෘතිය කලාකෘතියක්.

2 comments:

  1. කලකට පසු වදනක්....

    උතුරේ දැරියක් මුහුණ පෑ ඉරණම ගැන
    මේ තරම් පුළුල් දේශපාලන කතිකාවක්
    අඩුවක් නැතිව සාරාංශකරණය කොට
    මූලික හැඟීම ඉන් දූෂණය නොකර ලියූ
    මෙතරම් ළයාන්විත වෙනත් ගීයක්
    අපේ ගීත සාහිත්‍යය තුළ ඇතැයි
    මම හිතන්නේ නෑ.

    දෝණිට අවුරුදු පහක් හයක් විතර කාලෙ
    මම ඇයට සරලව තේරුම කියා දීලා
    ගීතය වාදනය කළා.
    ඇය හඬන්නට පටන් ගත්තා.
    ඔවුන් නිදාගන්න වෙලාව නිසා
    නිදි පැදුරට ගිය ඈ
    දිගටම ගීතය නැවත දාන්න කියලා
    අඬ අඬාම නින්දට ගියා.

    අපි අද ආයෙත් ගීතය වාදනය කළා.

    දෝණි කිව්වා" තාත්තා අත වනනවා කිව්වාම
    මට හිතුණෙ ඔයා ඇවිත් අත වනනවා කියලා"

    "ඔයා සරෝජා කියලා?" මම ඇහුවා.

    "ඔව්, මම එතකොට සරෝජා චිත්‍රපටිය
    බලලා තිබුණෙ නැහැනෙ."

    අද ගීය නැවත නැවත වාදනය කළේ
    පුතාගෙ උවමනාවට.
    " තේරුම නොතේරුණත් අහන් ඉන්න ආසයි"
    ඔහු කිව්වා...
    ඒ සම්මානය දීපිකාට සහ රෝහණට.

    ReplyDelete
  2. දෝණි අද ඇහුවා "බේබිලා හඬනා හඬින්"
    කියන්නෙ ඇයි කියලා.

    සරෝජා ගෙදරක දරුවන් බලාගන්න,
    වැඩකාර කමට අරන් යාවි කියලා
    ඇයට විස්තර කරද්දි
    දරුවාගෙ ජීවිතය බේරෙනවා නම්
    ඒ දෙමව්පියන්ට ඒ අවස්ථාව සම්පතක් බව
    මමත් පළමු වතාවට වටහා ගත්තා....

    ඔවුන් මැරුණත් ඇය ජීවත් වේවි කියන හැඟීම
    ඔවුන්ට සහනයක්...

    ReplyDelete