20150729

දම්පැලැස්සේ වෑල්ඩින් වෙද මහත්තයාගේ දිවියෙන් බිඳක්



දම්පැලැස්සේ වෑල්ඩින් වෙද මහත්තයා කිව්වම කවුරුත් දන්නවා

නම - සිලම්බුරාළගේ මුදලිහාමිගේ මුතු බණ්ඩා
උපන් දිනය – 1942 මැයි 21
උපන්ගම – දම්පැලැස්සාගම
පියා - දිසානායක මුදියන්සේලාගේ සිලම්බුරාළගේ මුදලිහාමි
මව - පී. උක්කුඅම්මා
වෘත්තීය – කැඩුම් බිඳුම් වෙදකම
ලැබී ඇති සම්මාන, සහතික – රජරට ආයුර්වේද කෞශල්‍ය සම්මානය – 2004, 2001 අගෝස්තු මස 27 වැනි දින ආයුර්වේද වෛද්‍ය සභාව මඟින් කැඩුම් බිඳුම් විශේෂ වෛද්‍ය තත්ත්වය පිරිනමා ලියාපදිංචි සහතිකය ලබා දෙන ලදී.

මට තේරෙන වයස එනකොට අම්මත්, තාත්තත් ඇරෙන්ඩ වෙන වැඩිහිටියෙක් මා ළඟ හිටියේ නෑ. මගේ අත්තප්පාවත්, කිරි අම්මාවත් ගැන මට මතකයක් නෑ. මට ඉන්නේ සහෝදරියොම හතර දෙනෙක්. මම ඉස්කෝලෙ හතේ පන්තිය එනකන් ගියා. ඒ ඉහළ කාගම විද්‍යාලයට. හතේ පන්තියට පාස් වෙනවා කියන්නේ ඒ කාලේ හැටියට හොඳටම සෑහෙනවා.
මට මතක ඇති කාලෙක පටන් මගෙ තාත්තා කළේ වෙද හෙදකමයි. කැඩුම් බිඳුම් වෙදකමට රුසියා, තාත්තා හොයාගෙන ලෙඩ්ඩු ගෙදරට ආවා. ඊටත් වඩා තාත්තා ලෙඩ්ඩු ළඟට යන එකයි. රටේ හතර දිග් බාගෙ ලෙඩ්ඩු හොයාගෙන තාත්තා ගිය හැටි මට මතකයි. ඒ වගේ ම තාත්තා ගොවිතැනත් කෙරුවා. යල මහ දෙකම පැහුනම ගෙදරට ඕන වී ටික ලැබෙනවා. අම්මා නම් කෙරුවේ උදේටයි දවල්ටයි රෑටයි බත් උයන එකමයි. අපිත් කෙරුවේ කකා බිබී ඉන්න එකමයි.

ඒත් තරුණ සන්දිය එනකොට මම පොඩි පොඩි පහේ බිස්නස් එහෙමත් කෙරුවා. එහෙම ඉද්දී අවුරුදු විසිපහ වෙනකොට මම තාත්තගෙ වෙදකමට බැස්සා. ඒක සිද්ධ වුණේ අහේතුවකින් නෙමෙයි. තාත්තා හදිසියේ අසනීප වුණා. එතකොට තාත්තා හොයාගෙන එන ලෙඩ්ඩුන්ට තනිවම බේත් කරන එක අපහසු වුණා. මම ඊට මැදිහත් වුණා. තාත්තා බේත් හේත් කරන හැටි මම බලාගෙන හිටියා.

ඒ වගේ්ම තාත්තාගේ වෙදකම් සාස්තරේ ගැන පොතක් ලියා තිබ්බා. මම එය පෙරළලා බේත් හේත් ගැන ඔළුවට දාගත්තා. ඇස් දෙකෙන් දැකලා ලැබිච්ච අත්දැකීමයි මං සන්තකේ අදටත් තියෙන්නේ. තාත්තා හදිසියේ අන්ත්‍රා වුණා. එතකොට ඔහුට වයස අවුරුදු අසූ හතරයි. තාත්තා කැඩුම් බිඳුම් වෙදකම ගැන ඉගෙන ගත්තේ කාගෙන් ද කියන එක මං අදටත් දන්නේ නෑ.

තාත්තාගේ අභාවයෙන් පස්සේ අනෙක් සියලුම වැඩ පැත්තක දාලා වෙදකමට බැස්සා. මුල් දවස්වල මමත් ලෙඩ්ඩුන්ට බේත් කරන්ඩ රට වටේ ගියා. මාව හොයාගෙන ලෙඩ්ඩු ආවාම මං යනවා. ඒ ගොල්ලොත් එක්ක. ආපහු එන්නේ ලෙඩා නැඟිට්ටවලා තමයි. සතිය හමාරේ මං ලෙඩ්ඩු ළඟ නැවතිලා උන්නා.

දවසක් දා ගම්පහ ගලහිටියාවේ සායනයක් තිබ්බා. හැම ලෙඩකටම උපන් හපන් වෙද්දු රටේ හැම පැත්තකින්ම ආවා. මිනිස්සුත් රොද බැදගෙන ලෙඩ්ඩු අරන් එතැනට ආවා. කැඩුම් බිඳුම් අංශයේ හිටියේ මමයි, තව වෙදරාළ කෙනෙකුයි එදා තමයි මම ලංකාවේ හැම කෙනෙක්ම දැන හඳුනා ගත්තේ.
ගලහිටියාව සායනයේ දී දවස් දෙකට ලෙඩ්ඩු එකසිය ගාණකට මං හන්දි බැන්ඳා. ඒක මගෙ ජීවිතයේ අමතක නොවන සිද්ධියක්.

කැඩුම් බිඳුම් වෙදකමේ දී වෙද මහත්තුරු නොයෙක් විදිහට වෙදකම් කරනවා. ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බටහිර ක්‍රමයට අනුව බේත් කරනවා. හැබැයි මං ළඟ බැන්ඩේජ් බඳින, කඳට බොන්ඩ දෙන වෙදකම් කලාවක් නෑ. මං බඳින්නේ තෙල්.

කැඩුම් බිඳුම්වලදී වෙන්නේ එක්කෝ කැඩෙන එක, නැත්නම් පනින එක, නැත්නම් පුපුරණ එක. මේ තුනට බේත් කරන්නේ තුන් ආකාරයට. හැබැයි ලෙඩේ හදුනා ගන්නේ බේත් කරන්නේ අත්දැකීම් අනුවයි. මට ලෙඩා ඈතින් එනකොට වෙලා තියෙන්නෙ මොකක් ද කියන එක හඳුනා ගන්න පුළුවන්. අතපත ගාලා බලන්ඩ, එක්ස් රේ කාඩ් බලන්ඩ මට වුවමනාවක් නෑ. ලෙඩේ හැටියට තෙල් කඩ මල්ලක් ගත්තා. පතුරු තියලා බැන්දා.

බේත් බැදල ගාන්ඩ තව තෙලක් තියෙනවා. මැල්ලුම් බේත් අවශ්‍ය ලෙඩ්ඩුන්ට නියම කරනවා. පිපිරීමක් නම් ලෙඩා සුව කරන්න මට උපරිම සතියක් යයි. කැඩිලා නම් මාසයක් හමාරක් යනවා. ඒ අතර උස්සාගෙන අරන් එන ඇතැම් ලෙඩ්ඩු පැයෙන් එක හමාරෙන් මං නැඟිට්ටවනවා. වෙදකමේ දී වුවමනා වෙන්නේ “වෙද කළඳයි – නුවණ දෙකළඳයි” කියනවනේ. ඒ කියන්නේ අත්දැකීම් තමයි ඔක්කොටම වඩා වුවමනා කරන්නේ.


පිපිරීමක් නම් සතියෙන් සුව කරනවා...
මගේ වෙදකමට අනුව හමටවත්, මසටවත්, නහරටවත් කිසිම හානියක් වෙන්නේ නෑ. කැඩිච්ච, පිපිරිච්ච තැනට, විතරයි බෙහෙත අහන්නේ තෙල් බැන්ඳ ගමන් අස්ථිය රත් වෙනවා. ඊ ළඟට උණු වෙනවා. ඊළඟට පෑහෙනවා. වෙදකමට බැහැලා මේ අවුරුදු තිස් තුනට මම කැඩුම් බිඳුම් ලෙඩ්ඩු අසූ දාහකට බේත් කරලා සුව කරලා තියෙනවා. අදටත් ඒ ලෙඩ්ඩුන්ගේ නම් ගම් ලියාපදිංචි අංක සටන් කරපු පොත් මගේ ළඟ තියෙනවා. එක නමක් ලියැවෙන්නේ එකවරක් විතරයි. වැඩේ අසාර්ථක වෙලා කවුරුවත් හිස් අතින් ගිහින් නෑ. ඇද පැද හිටලා නෑ. බරපතළ කැඩුමක් නම් අලුතින් පෑහෙද්දී කෙටි වීමක් වෙන්ඩ පුළුවන්. ඒත් ඒ ඉතාමත් කලාතුරෙකින්.

ලෙඩ්ඩු අසූ දාහකට බේත් කරද්දී මම ලබපු අත්දැකීම් අනන්තයි, අප්‍රමාණයි. ගම්පහින් ලෙඩෙක් ගෙනාවා රඹුටන් ගහෙන් වැටිලා. තුනටියෙ ඇතුළ පිට දෙකම පුපුරලා. ඉංග්‍රීසි දොස්තර මහත්තයා මාස තුනක් ඕනෙ හොඳ කරන්ඩ කියලා මං ළඟට ආවේ දොර ලෑල්ලක් උඩ නිදි කරවාගෙන. තුනටියේ කැඩුමක් වුණොත් ටිකක් අමාරුයි. නමුත් මං ඒ ලෙඩා නැඟිට්ටෙව්වා.

තිරප්පනෙන් ලෙඩෙක් ගෙනාවා ලයිට් කණුවකට යට වෙලා කකුල මුල ඉඳන් අගටම කුඩ්‍රු වෙලා. ඉස්පිරිතාලෙ ගියා නම් කකුල කපන්ඩ වෙනවා. මම බේත් කෙරුවෙ හතර පස් පාරයි. හැබැයි කකුල ටිකක් කොට වුණා. සිරීපාදේ ලොකු හාමුදුරුවන් වහන්සේ මගෙන් බේත් කරවා ගන්ඩ ආවා. උන්නාන්සේගේ අතයි කකුලයි මුලින්ම කැඩිලා. මෙම සුව කෙරුවා. තවත් දවසක් ඉලුප්පන්කල්ලෙ තරුණ ළමයෙක් සියඹලාගහකින් වැටිලා ළමයා ඉස්පිරිතාලෙට ඇතුළු කරලා.ඒ අතරේ ළමයාගේ අම්මා මං ගැන දැනගෙන හොයාගෙන ආවා. මම ඒ වෙලේම ළමයගෙ අම්මත් බයිසිකලේ තියාගෙන ඉස්පිරිතාලෙට පැද්දා. ගියෙ ලෙඩ්ඩු බලන වෙලාවේ. මම ළමයා හීන් සීරුවේ පරීක්ෂා කෙරුවා. ශරීරයේ පස් පොළක කැඩුම් පිපිරුම් තිබ්බා. මං කිව්වා වාහම ටිකට් කපා ගන්ඩ කියලා. එදා රෑම ළමයා මං ළඟට ගෙනැල්ලා බේත් කෙරුවා. උදේ වෙනකොට ළමයා ඇවිද්දා.

බුලංකුලම රෙස්ට් හවුස් එකේ තියාගෙන මං ජපානෙ සුද්දෙකුට හන්දි බැන්දා. අඩි පනහක් උස ගහකින් වැටිලා කන්තලෙ ලෙඩෙක් මං ගාවට ආවා. තුන් පාරින් බේත් කරලා මං එයාව සුව කළා.
එක ලෙඩෙකුගේ කම්මුලේ හන්දි පැනලා. දොස්තර මහත්තයා හන්දි පෑස්සෙන්ඩ කියලා බකට් කබ්බිවලින් බැඳලා ලෙඩාගේ හනු පූට්ටු වෙලා. ලෙඩා දවස් ගාණකින් නිරාහාරයෙන් මං ගාවට ආවට පස්සේ කම්බි ඔක්කොම ගළවලා තෙල් බැඳලා හොඳ අතට ගත්තා. මං ලෙඩාව ගෙදර යැව්වේ මගෙ ගෙදරින් බතුත් කවලයි.


මගේ ආදරණීය බිරින්දැ...
ඔන්න ඔහොම සිද්ධි ගණනාවක් මම අත්දැකල තියෙනවා. ඒ විතරක් නෙමෙයි. එක ගෑනු කෙනෙකුගේ අත කැඩිලා අවුරුදු නවයක් ලෙඩේ පරණ වෙලා. දැන් යන්තම් ලෙඩාට ඒ අතින් වතුරබාල්දියක් උත්සන්න පුළුවන්. ලෙඩේ පරණවුණාම බේත් කරන්ඩ අසීරුයි. කොන්ද කැඩුණොත් ඒ වෙලෙම ඉනෙන් පහළ පණ නැති වෙනවා. ඒ නිසා ලෙඩා ඒ වෙලාවෙම මං ගාවට ගෙනාවොත් සුව කරලා දෙන්ඩ පුළුවන්.

මම මුදල් බලාගෙන බේත් කරන්නේ නෑ. අතේ සතේ නැති දුප්පත් ඈයො බේත් ගන්ඩ ආවාම බේතුත් බැඳලා කන්ඩත් දීල, බස් කුලියත් දීලා යවපු අවස්ථා තිබෙනවා. දවසක් කර ඇටේ කැඩිලා බේත් ගන්ඩ පුත්තලම පැත්තෙ මුස්ලිම් හාදයෙක් ආවා. එදා හරියට මං ගාව සෙනඟ. ඒ හාදයා බේත් බඳින්ඩ ඇඳගෙන හිටපු කමිසෙ ගළවලා පුටු ඇන්දෙ එල්ලුවා.
බේත් අරගෙන යන්ඩ හදනකොට කමිසෙ තිබ්බ සල්ලි නෑ. අනේ ඒ මනුස්සයා අතේ බැඳගෙන හිටපු ඔරලෝසුව මට දුන්නා. යන්ඩ බස් ගාස්තුවට රුපියල් තුන්සියක් දීලා ඔරලෝසුව මට ගන්ඩ කීවා. එයාට බස් ගාස්තුවයි ඔරලෝසුවයි ඔක්කොම මං දුන්නා.

ඉස්සර බේත් කළාම දවසටම හම්බ වෙන්නෙ රුපියල් පනහක් හමාරක්. ඖෂධ සරක්කු සොයාගන්ඩ ලොකු මුදලක් වැය වෙනවා. ඒත් මං අසරණ ලෙඩ්ඩුන්ගෙන් අසාධාරණේට සල්ලි ගන්නේ නෑ. ඔවුන් දෙන පින් මට ඊට වඩා වටිනවා. වැඩේ වැරැදුණා කියලා කාගෙන්වත් මං මේ තාක් දොසක් අහලා නෑ.
මං හේනට ගියාහම ලෙඩ්ඩු මං හොයාගෙන හේනට එනවා. එතකොට උදැල්ලත් කරගහගෙන මං ආපහු එනවා. රටේ හතර දිග් බාගයේ ඉන්න ප්‍රසිද්ධ ක්‍රීඩකයන් නළු නිළියන්, දේශපාලනඥයන් ඔවුන්ගේ සමීපතම ඥාතීන් මගෙන් බේත් අරන් තියෙනවා. ඇතැම් දාට වෙද ගෙදර ඇත්තටම වෑල්ඩින් වැඩපොළක් වගේ තමයි. ලෙඩ්ඩු වැඩි දවසට බිම පැදුරු එළලා පෝලිමට ඔක්කොම ඉන්දවනවා. ඊට පස්සේ ඉතින් බේත් බඳීනවා. පිපිරුණු, කැඩුණු තැන් තෙල් බලයෙන් පෑහෙනකොට හරිම වේදනාවයි. ඒ වුණාට ලෙඩේ සුවයි.

මට කරන්ඩ බැරි වෙදකම් නං මං කවදාවත් බාර ගන්නෙ නෑ. මේ සතියට හමාරකට ඉස්සෙල්ලා මාලිගාවේ දියවඩන නිලමේ දෑල බණ්ඩාර මහත්තයා මං හොයාගෙන ආවා. ඒ මාලිගාවේ කරඬුව ගෙනියන ඇතාගේ ආබාධයක් කියලා. අනේ කවදාවත් මං සිවුපාවෙකුට හන්දි බැඳලා නෑ කියලා එතුමට කිව්වා. නොදන්නා සාස්තරේ ගැන මට විශ්වාසයක් නෑ. හැබැයි මගේ සාස්තරේ ගැන නම් මට ඉර හඳ වගේ විශ්වාසයි.

ලෙඩ්ඩුන්ට බේත් කරන අතරේ මං ගොවිතැන් බතුත් කළා. හේනෙන් තල කුරහන් ගත්තා. හේනෙ කුඹුරෙ මොනව හරි හිටෙව්වනං කපලා පාගලා ගෙට ගන්නකම් පැළේ ඉන්ඩ ඕනෑ. අපේ හටන වල් අලි එක්කනේ. එක කන්නෙක කුරහන් වපුරලා එක යායට කුරහන් පැහිලා. අලියට කුරහන් සුවඳ දැනුනම වෙන දේ අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑනේ. කුරහන් කැපුවට මොකද අකාල වැස්සක් වැහැලා ඔක්කොම තෙමුණා. හේනෙම ගල් තලාවක කුරහන් වනලා වේලන්ඩ වුණා.

වැස්සට තෙමිලා කුරහන් ගොඩෙන් එන ගඳට අහලක ඉන්ඩ බෑ. හරියට නයාගෙන් පිටවන දුර්ගන්දෙ වගේ. දවසක් රෑ බලනකොට අලියා කුරහන්ගොඩ උඩින් අපූරුවට ගිහින්නේ. එක ඇටයක්වත් කාලා නෑ. එහෙම නොවුණා නම් එක හුස්මට දෙකට අලියා කුරහන්ගොඩ බොන්නේ. තවත් කන්නෙක වට්ටක්කා වැව්වා. අහස් වැස්සෙන් හිටෙව්වට මොකද හොඳට ගෙඩි හැඳුණා. ඒත් කිලෝව වික්කෙ ශත 20ට පූර්ණ කාලීනව වෙදකමට බැස්සට පස්සේ ගොවිතැන් කටයුතුවල යෙදෙන්න වෙලාවක් ලැබුණේ නෑ.

මගේ හාමිනේ ගෙදර කටයුතු ටික බලාගන්න හින්දා වෙදහෙදකමේ ම ඉන්ඩ මට බාධාවක් වුණේ නෑ. හාමිනේගේ නම කරුණාවති. අපි විවාහ වුණේ හොඳටම තරුණ වයසේ දී එතකොට මට වයස අවුරුදු දහ අටයි. හාමිනේට වයස අවුරුදු පහළොවයි. අපි දෙන්නම දම්පැලැස්සෙ දරුවො හය දෙනෙක් ඉන්නවා. දුවලා හතර දෙනයි. පුතාලා දෙන්නයි.

දැන් මම ටිකක් අසනීපෙන් ඉන්නේ. ඒ නිසා පුතාලා තමයි වෙදකම් කරන්නේ. පුතාලා දෙන්නයි බෑනලා තුන්දෙනෙකුයි තමයි වෙදකම් ඔක්කොම කරන්නේ. ඒ ගොල්ලොන්ගේ කැමැත්තෙන්මයි වෙදකමට යොමු වුණේ. කිසිම අඩුවක් වෙනසක් නැතිව ඒ වැඩ ටික එයාලා හරියට කරනවා. බරපතළ ලෙඩෙක් නම් විතරක් මං ළඟට එක්කන් එනවා.

පැමිණෙන ලෙඩ්ඩුන්ට පහසුකම් දෙන්ඩ අපිට හැකියාවක් නෑ. අපේ පරණ නිවෙසේ තමා වෙදකම් කටයුතු කරන්නේ. වාට්ටුවකුත් එක්ක රෝහලක් දෙනවා කියලා නිලධාරි මහත්තුරු වගයක් ප්ලෑන් එකකුත් පෙන්නුවා. නමුත් ඒකට වෙච්චි දෙයක්වත් නෑ. ඒ දුෂ්කරතා තිබුණත් මං ළඟට එන හැම ලෙඩෙක්ම මං සුවපත් කරනවා. ලෙඩ්ඩු මං ළඟට එන්නේ දැඩි විශ්වාසයකින්. ඒ විශ්වාසය තාම පළුදු වෙලා නෑ.
වෙද මහත්තයෝ ඔබට නිදුක් නිරෝගීමත් දවසක් !
http://archives.dinamina.lk/2010/11/23/_art.asp?fn=f1011232

යහපාලනය වෙනුවෙන් අද මෙන්ම හෙටත් පෙනී සිටිමු.



මිනිස් සමාජයක
විවිධ ජාතීන් විවිධ ආගමිකයන්, විවිධ මතධාරීන්
එකිනෙකා සමග බැඳ තබන්නා වූ
ස්වර්ණමය පුරුක යහපාලනයයි.

සදාචාරය දූෂිත වූ
යහපාලනය සිහිනයක් වූ
අඳුරු යුගයක කෙළවර
මහින්ද රාජපාක්ෂික රජයේ මුදුන් මුල
සදාචාරශීලී ජනතාව පුරෝගාමී ව
2015 ජනවාරි අටවෙනිදා සිඳිනු ලැබිණ.

බැහැරින් ආශ්චර්යයක් වුවද
දූෂිතයන්ට සෙවනක් වී
ඇතුළතින් කුණ බැස තිබුණ
දුර්දාන්ත  වෘක්ෂ රාජයා
මුදුන් මුල සිඳිනු ලැබීම නිසා
කෙමෙන් දුර්වල වෙමින් පවතියි.
අපේ දෙවැනි සිහිනය වන්නේ
ඒ වෘක්ෂය සදහටම බිම පතිත වීමය.

මෙතුවක් ඒ යුග මෙහෙවරට දායක වූ
එහි අරටුව වන් සත්පුරුෂයන් අතළොස්සක්
යහපාලනය රටේ පොදු පාලනය කරගන්නට
එකාවන්ව සැදී පැහැදී සිටිති.

අපේ අනාගතය රැඳී ඇත්තේ ඔවුන් අතය.

ඔවුහු පුද්ගලයෙකුට, පක්ෂයකට,
ආගමකට, ජාතියකට හෝ වෙනත් වාදයකට
පක්ෂපාතී වූවෝ නොවෙති.

ඔවුන්ගේ තෝරාගැනීමට බඳුන් වන්නේ
අවපාලනයේ සිට යහපාලනය තෙක් වැටෙන
දුෂ්කර වූත්, උදාර වූත් සෙල්මුවා හිණිපෙළෙහි
ඉහළම හිණිපෙතිවවලට ප්‍රවිශ්ඨවූ
සත්පුරුෂයන් අතළොස්සයි.

යහපාලන පියගැට පෙළෙහි
ඉහළම හිණිපෙතිවවලට ප්‍රවිශ්ඨවූ සත්පුරුෂයන්ගේ
පක්ෂය,ආගම, ජාතිය, දේශපාලන වාදය ආදී
කිසිදු වර්ගීකරණයක් අපට අදාළ නොවේ.

අප විමසන එකම සුදුසු කම
ඔවුන් සැබැවින්ම යහපාලනය සඳහා කැප වූ
ඒ වෙනුවෙන් පෙනී සිටින, ඒ වෙනුවෙන් ක්‍රියා කරන,
ඒ වෙනුවෙන් දුක් ගැහැට විඳින
ජනහිතකාමී සත්පුරුෂයන්ද යන්න පමණකි.

අස්මි මානයෙන්, කෑදරකමින්,
බල ලෝභයෙන් පෙළෙමින්
අප රවටන්නට මාන බලන
යහපාලන නළුවන්ද අපට හමුවනු ඇත.

අපේ ඇස් පිරිසිදු නම්, දෑත පිරිසිදු නම්
අපට ඔවුන් හඳුනා ගැනීම
අපහසු නොවනු ඇත.

රඟපෑමෙන් හෝ යහපාලනයට දායක වන්නට
විශේෂ ශක්තියක් ඇති කෙනෙකුට
යහපාලනයෙහි සුවය දැණුනොත්
ඔහු සැබැවින්ම වෙනස් වෙනු ඇත.
ඒ වෙනස ඔහුතුළින්ම පිළිබිඹුවෙනු ඇත

යහපාලන සොයන,
ඒ වෙනුවන් කැපවී ක්‍රියා කරන පිරිස
සියලු පක්ෂ වලට දිනාගත හැකි
විවෘත ඡන්ද දායකයන් පිරිසකි.
ඔවුන් දිනාගත හැක්කේ
යහපාලනය පදනම් වූ පුදගලයන්ට විනා
කිසියම් පක්ෂයකට හෝ වාදයකට නොවේ.

ඒ පිරිස දිනාගන්නට
සදාචාරශීලී පක්ෂයක් ක්‍රියා කරයි නම්
ඔවුන්ට දීර්ඝ කාලයක් බලයේ රැඳිය හැක.
මන්ද යත්, යහපාලනය යනු
සමස්ත මහ ජනතාවටම, හද පත්ලටම
ප්‍රායෝගිකව දැනෙන සුවයක් බැවිනි.

යහපාලනය ක්‍රියාත්මක වන රජයක
පාලන පරාසය තුළ වරදෙහි බැඳෙන
හොරෙක් මිනීමරුවෙක් ස්ත්‍රී දූෂකයෙක් වුවද
සැඟවූ යමක් පෙන්වන්නට ගොස්
අකාලයේ මිය යන්නේ නැත.

අපරාධකරුවෙකු වුවද
නීතිය ඉදියට පමුණුවා
නීතියට අනුව වරදකරු වූ විට
නීතියෙන් හිමි දඬුවම හැර
ඉන් ඔබ්බෙහි කිසිදු හිරිහැරයකට,
වද බන්ධනයකට පත්වීමේ අවදානමක්
යහපාලනය තුළ නොපවතී.

නීති ගරුක විනයගරුක පුරවැසියාට
ආත්ම ගෞරවය රැකගෙන අභිමානයෙන් වෙසෙන්නට
අවකාශ සලසන යහපාලනයෙහි සුවය විඳි කෙනෙකු
හොඳ සිහියෙන් පසුවෙන තුරු
ඒ සුවය යළි අහිමි කරගන්නේ නැත.

යහපාලනය වෙනුවෙන්
අද මෙන්ම හෙටත් අපිදු පෙනී සිටිමු.


--------------------------
යහපාලනය සොයන්නෙකු ලෙස
ඔබ විශ්වාස කරන මිතුරෙක් ඔබට ඇත්නම්
මේ සංදේශය ඔහු වෙතත් යොමු කරන්න.

20150728

මරදන්කඩවල වෑල්ඩින් වෙද මහත්තයා



වෑල්ඩින් වෙද මහත්තයා හමුවී
          අතේ මැණික් කටු සන්ධිය පාස්සවා ගතිමි !

  මේ ලිපියෙහි රචක කි‍්‍රෂ්ණ විජේබණ්ඩාරයි.

වියළි සුළඟින් සපිරි රාත‍්‍රිය, සොරෙකු මෙන් එහි පශ්චිම යාමයට එළඹෙයි. වේලාව අලූයම 2.30 කණිසමට එබිකම් කරන බව, අත්බැඳි ඔරලෝසුවල හෝ මහේශාක්‍ය ජංගම දුරකථනවල සටහන් වෙමින් තිබේ. මරදන්කඩවලට නුදුරු දම්පැලැස්ස ගම, ‘‘වෑල්ඩින් වෙදගෙදර’’ ආශ‍්‍රිත පරිසරය කෙමෙන් නිදිගැට හැර පියා අවදි වෙන්නට පටන් ගනී.
 

මරදන්කඩවල නගරය දෙසින් එක පිම්මේ පැමිණි වෑන්රියකින් බැසගත් දෙතුන් දෙනෙක්, වෙදගෙදර ඉදිරිපිට, පාරෙන් අනෙක් පැත්තේ ඇති කඩ මැස්ස වෙත දිව එති.
‘‘ඔය ගොල්ලොද එකට ආවේ ? ඔය කට්ටිය එන කොට තව කවුරුවත් හිටියෙ නැද්ද ?’’ ඔවුහු කඩ මැස්ස මත ගුලිවී නිදාසිටින කිහිප දෙනා ගෙන් විමසති !
 

‘‘අපි එන කොට ? 12.00යි. එතකොට මෙතන හිටියේ මේ අක්කලා දෙන්නා විතරයි’’, අවදිවූවෙක් කියයි. ඔවුන් බද්දේගම හල්පාතොට සිට පැමිණි පිරිසකි.
 

‘‘අපි එනකොටත් කට්ටියක් ඇවිත්. ඒ අය මේ ඉස්සරහා ගෙදර කාමරේක නවාතැන් අරගෙන ඉන්නවා. ඒ ගොල්ලෝ එක. අපි දෙක. මේ මහත්තයලා තුන’’, නිදාගෙන සිටි අක්කලා ගෙන් කෙනෙක් පැහැදිලි කරයි.
‘‘එහෙනම් අපි හතර’’, වෑන් රථයෙහි පැමිණි අය මහත් පී‍්‍රතියෙන් තෙපළති !
 

‘‘මචං, මීට කලින් ආපු දෙවතාවේදීම හම්බවුණේ විස්සෙනුත් එහා නොම්මර. මෙදා පාර පාන්දරින්ම ආපු හින්දා හතර හම්බවුණා’’, වෑන් රථයේ පැමිණි අයෙක් ඔවුන්ගේ සගයෙකුට පැහැදිලි කළේය.
 

ඒ සමගම තී‍්‍ර රෝද රථ දෙකක්ම පැමිණියහ. ‘‘දැන් මෙතන හතර ගොල්ලක් ඉන්නවා. ඔය කට්ටිය පහ හය. පාන්දර තුන වෙන විට නම් ලියා ගන්න කෙනෙක් එනවා. එතකොට අපි ඔය පිළිවෙළට ලියන්ඩ  ඕනෑ’’, වෑන් රියේ තරුණයා අලූතෙන් පැමිණි අයට කීවේය. ඔහු පැමිණ ඇත්තේ හලාවත සිටය.
 

අලූයම ගලා එත්ම වෙද ගෙදර අසල ක‍්‍රමයෙන් මහත් කලබලකාරි ගතියකට හැරෙයි. වෑන් රථ, තී‍්‍රරෝද රථ, මෝටර් රථ සහ යතුරුපැදි විශාල සංඛ්‍යාවක් එහි පැමිණ හමාරය. පැමිණෙන අය, කිසිදු තරාතිරම් භේදයකින් තොරව, පැමිණි පැමිණි පිළිවෙළට නොම්මර ලියවා ගනිති.
 

අලූයම තුනහමාර වන විට ෆයිල් කවරයක් අතින් ගත් තැනැත්තෙක් ගෙවල් මණ්ඩිය අතරින් මතුවෙයි. හෙතෙම වෙදගෙදර නියෝජිතයෙකි. රාත‍්‍රියේ සිට පැමිණි පිළිවෙළට, රෝගීන්ගේ නම් අංක එකේ සිට සටහන් කර ගැනීම ඔහුට පැවරී ඇති කාරියයි.
‘‘කවුද ඉස්සෙල්ලාම මෙතෙන්ට ආවේ ?’’, ඒ ඔහු පිරිසෙන් ඇසූ පළමු ප‍්‍රශ්නයයි.
‘‘අපි තමයි ? 12.00ට විතර ආවේ. ඒ එන කොට මේ කට්ටිය ඇවිත් අර ගෙදර නැවතිලා හිටියා !. ඒ ගොල්ලෝ එක. අපි දෙක. මේ මහත්තයලා තුන. ඊටත් පස්සේ අර වෑන් එකේ අය ආවේ ?, කඩමැස්සේ හිඳගෙන සිටි කාන්තාවක් කියා ගෙන ගියාය.
 

‘‘නෑ, නෑ, අපි තමයි ඉස්සෙල්ලාම ආවේ. අපි ආවේ හවස. අපි අර එහා ගෙදර නැවතිලා හිටියේ. දැන් තමයි මෙතෙන්ට ආවේ, තවත් කාන්තාවන් දෙදෙනෙක් කෑ ගැසූහ.
‘‘ගෙවල්වල හිටියට කවුරුත් දන්නේ නෑනේ. එක්කෙනෙක් හරි මෙතෙන්ට ඇවිල්ලා පෝළිමේ ඉන්න තිබුණනේ ’’, කඩ මැස්සේ සිටි කාන්තාවෝ පිළිතුරු දුන්හ.
 

කෙසේ හෝ තර්ක විතර්ක මධ්‍යයේ, ඉස්සරහ ගෙදර නැවතී සිටි රෝගින්ට අංක එකත්, කඩ මැස්සේ සිටි අයට දෙක සහ තුනත්, වෑන් රියේ පැමිණි අයට අංක හතරත්, සවස පැමිණ අසල නිවසක සිටි කාන්තාවන්ට අංක පහත්, සෙසු අයට පැමිණි පිළිවෙළ අනුවත් නොම්මර ලැබිණි. වෙදගෙදර නියෝජිතයා රෝගීන්ගේ නම් සටහන් කරන්නට පෙර, රෝගියා කවුරුදැයි විමසා බැලීමටද අමතක නොකළේය. ඒ වන විටත්, රෝගීන් තිස් ගණනකගේ නම් ලියැවී තිබිණි. ‘සමහරු මෙතන ඇවිත් මුල් නොම්මර අරන්, උදේට රුපියල් 1000ට විකුණනවා. මේ තරම් හොයලා බලලා ලියන්නේ ඒකයි, වෙදගෙදර නියෝජිතයා සමඟ පැමිණ සිටියෙක් පැවසීය.
 

පැමිණෙන පිරිස ටිකෙන් ටික ඉහළ යයි. ඒ සමඟම වෙද ගෙදර ඉදිරිපිට ගාලගෝට්ටියද වැඩිවේ.
‘මේ ඔය කට්ටිය ඔතන කෑ ගහන්ඩ එපා. වෙද මහත්තයාට ඇහැරුණොත් සේරමලා එළවලා දමයි’’, නම් ලියමින් සිටි නියෝජිතයා උස් හඬින් කීය. ඉන් පිරිස මදක් සිය ඝෝෂාව අඩු කළෝය.
 

‘මේ ළඟදී දවසක් ඔතන කට්ටියක් කෑගහලා, වෙද මහත්තයාගෙන් බැණුම් ඇහුවා. එළවලා දැම්මා. ඇයි අපි කොළඹ. අපිව එළවන්නේ කොහොමද කියලා ඒ අය තර්ක කළා. ඒ අයට නොම්මර දුන්නේ නෑ. පස්සේ දවල්වෙලා තමයි බේත් දුන්නේ ?, වෙදගෙදර ඉදිරිපිට කඩයක් අරිමින් සිටි කෙනෙක් කීවේය.
 

මේ මහා ගාලගෝට්ටිය, මහා සූදානම වෙනකකට නොව, ආයුර්වේද කැඩුම් බිඳුම් වෛද්‍යාචාර්ය විශේෂඥ ‘‘වෑල්ඩින් වෙදමහත්තයා’’ ගෙන් ප‍්‍රතිකාර ගනු පිණිසය. තවම අලූයම පහේ කණිසම හෝ එළඹ නැත. එහෙත් ඔහුගේ නිවස (වෙද ගෙදර) ඉදිරිපිටට, මැදියම් රැයේ පටන්ම ලංකාවේ විවිධ පළාත්වලින් පැමිණි රෝගීහු පිරෙති. මුල නොම්මරයක් ගන්නට දහිරිය දමති.
 

වෑල්ඩින් වෙද මහත්තයාගේ නිවස පිහිටා තිබෙන්නේ, අනුරාධපුරයට නුදුරු, මරදන්කඩවල ‘‘දම්පැලැස්සාගම’’ය. එය රාතී‍්‍ර කාලයට වන අලි පවා ගැවසෙන ගමකි. මරදන්කඩවල සිට දම්පැලැස්සාගම හරහා වැටී ඇති අතුරුපාරේ කිලෝමීටර් දෙකහමාරක් තුනක් පමණ ගමන් කළ විට, දම්පැලැස්සාගම දී වෙද ගෙදර හමුවේ. එහිදී කෙරෙන්නේ, ශරීරයේ බිඳුණු හෝ පිිපිරුණු අස්ථි හෝ සන්ධි නිසා රෝගීවූ අයට ප‍්‍රතිකාර කිරීමයි. අස්ථි බිඳීම්, පැනීම් සහ පිපිරීම් බොහොමයක් එක් දිනකින් හෝ ඉතා කෙටි කාලයකින් සුව කරන බැවින් දම්පැලැස්සාගම වෙදකම රට පුරා ප‍්‍රකටව තිබෙනුයේ ‘‘වෑල්ඩින් වෙදකම’’ නමිනි. එහි වෙදැදුරන් ප‍්‍රචලිතව සිටින්නේද ‘‘වෑල්ඩින් වෙදුන්’’ නමිනි. වත්මනෙහි වෑල්ඩින් වෙද මහතා නමින් ප‍්‍රකටව සිටින්නේ, ආයුර්වේද කැඩුම් බිඳුම් වෛද්‍යාචාර්ය, විශේෂඥ සීම්බුරාළගේ මුදලිහාමි මුතුබණ්ඩා (82) වෙදැදුරාණන්ය.
 

 
සිම්බුරාළගේ මුදලිහාමි මුතුබණ්ඩා මහතා
දම්පැලැස්සාගම වෑල්ඩින් වෙදකම පාරම්පාරික ආයුර්වේද වෛද්‍ය කි‍්‍රයාවලියකි. හෙළිදරව්වී ඇති තොරතුරු අනුව එහි මෑත භාගයේ පුරෝගාමියා ඞී. එම්. සීම්බුරාළගේ මුදලිහාමි වෙදමහතාය. හෙතෙම, වත්මන් ‘‘ලොකු වෙද මහත්තයා’’ වන සිම්බුරාළගේ මුදලිහාමි මුතුබණ්ඩා මහතාගේ පියාණන්ය. මුතුබණ්ඩා මහතාට වෙදකම පැවරී ඇත්තේ සිය පියාගෙනි. වෙද ගෙදර උදවිය කියන හැටියට, ලොකු වෙද මහත්තයා සිය ජීවිත කාලය තුලදී සුවපත් කළ කැඩුම් බිඳුම් රෝගීන් ගණන හැට - හැත්තෑ දහසකට අධිකය.
 

මුතු බණ්ඩා ලොකු වෙද මහත්තයා දැන් වයස්ගතය. එබැවින් වෛද්‍ය ප‍්‍රතිකාර කටයුතු සඳහා සහභාගි වන්නේ ඉඳහිටය. ඒ වෙනුවට ඔහුගේ පුතුන් දෙදෙනා රෝගීන්ට ප‍්‍රතිකාර කරති. දෙටු පුත්, දේශමාන්‍ය එම්. රංජිත් දිසානායක වෙදැදුරුවරයා වත්මනෙහි ප‍්‍රතිකාර කටයුතු මෙහෙයවන්නේය. ඔහු ‘‘පොඩි වෙදමහත්තයා’’ නමින් ප‍්‍රකටව සිටියි. ලොකු වෙද මහත්තයාගේ පුතුන් මෙන්ම ඔහුගේ බෑණාවරුද ප‍්‍රතිකාර කටයුතු සඳහා සහය වෙති. දිගු කලක් මුළුල්ලේ සිය පියාණන්ට සහාය වීමෙන් ඔවුහු මනා පළපුරුද්දක් ලබා සිටිති.
 

මුතු බණ්ඩා වෙද මහතා තමන් වෙත එන කැඩුම් - බිඳුම් රෝගීන් සුවපත් කළේ, ඔවුන්ගේ පරපුරට ආවේණික අමුතුම මාදිලියේ ප‍්‍රතිකාර ක‍්‍රමයකිනි. වෙද ගෙදරදී බඳින එක්තරා ‘‘සුවිශේෂ බෙහෙතක්’’ මගින් බිඳුණු හෝ පිපිරුණු අස්ථි මෙලෙක් කර පෑස්සීම, ඒ ප‍්‍රතිකාර විධි ක‍්‍රමයයි. ප‍්‍රතිකාර අත්දැකීම ලැබූ අය එය හඳුන්වා තිබුණේ, ‘‘ඇටකටු උණුකරවා, වෑල්ඩින් කළාක් මෙන් පෑස්සීමක්’’ යනුවෙනි. එය ‘‘වෑල්ඩින් වෙදකමක්’’ වශයෙන් ප‍්‍රචලිත වන්නට ඇත්තේද ඒ කාරණය නිසාය. බෙහෙත බැඳ ටික වේලාවකින් උහුලා ගන්නට බැරි තරම් වේදනාවක් හට ගන්නා බැවින්, රෝගීන් එය ‘‘වෑල්ඩින් වීමක්’’ ලෙස සිතන්නට ඇත. කිහිලිකරුවලින් පැමිණි අය ආපසු යන විට දෙපයින් ඇවිද යාමත්, කොඳු ඇට පෙළෙහි ගැටලූ ඇති අය ප‍්‍රතිකාරවලින් පසුව හොඳින් ඇවිද යාමත්, වෙද ගෙදර ආශ‍්‍රිතව දැකිය හැකි සුලභ දර්ශන බවට පත්විය.
 

දම්පැලැස්සාගම වෑල්ඩින් වෙද ගෙදරින් ප‍්‍රතිකාර ගැනීමේ අවස්ථාව, ඉකුත් සැප්තැම්බර් 09 වැනි අඟහරුවාදා ලියුම්කරුටද ලැබිණි. අගෝස්තු මස 15 වැනිදා අම්බලන්තොට ප‍්‍රදේශයේදී පය ලිස්සා වැටීමෙන් වම් අතේ මැණික්කටුව සන්ධිය රෝගී වීම ඊට හේතුවයි. ඒ සඳහා මුලින් කළ ආයුර්වේද ප‍්‍රතිකාරවලින් සුව නොවූ තැන, ලබාගත් එක්ස් රේ ඡායාරූප, මගින් කියැවුණේ, මැණික් කටුව සන්ධියෙහි අස්ථි කොටසක් බිඳී, ඊළඟ අස්ථියක ගැටී ඇති බවයි.එක්ස් රේ ඡුායාරූප, පිරික්සු ගාල්ලේ බටහිර වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූයේ, බිඳුණු අතට ශල්‍යකර්මයක් කර, ‘‘ඇණ සහ ප්ලේට් දමා’’ යළි සකස් කළ යුතු බවයි. ඊට වඩා දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර හොඳයැයි බොහෝ දෙනෙක් කීහ. ඒ අනුව සැප්තැම්බර් 08 වැනි සඳුදා ගාල්ලෙන් පිටත් වී මරදන්කඩවල ගියෙමු. ගමන ගියේ මරදන්කඩවල වෙද ගෙදරට රෝගීන් විසි ගණනක් රැුගෙන ගොස් පළපුරුද්දක් තිබුණු, ගාල්ලේ, ගනේගොඩ, හෙට්ටිආරච්චි විජේදාස මහතාගේ තී‍්‍ර රෝද රථයෙනි. ලියුම්කරුගේ බිරින්දෑද ගමනට එක්විය.
 

අලූයම පහ පමණ වන විට වෙදගෙදර ඉදිරිපිට තේ කඩ විවෘත වන්නට පටන් ගත්තේය. අද එතැන කුඩා නරගයක් මෙනි. ආපනශාලා, බෙහෙත් බඩු කඩ, නවාතැන් කාමර දෙන ස්ථාන, ගමේ එළවළු කඩ සහ තවත් නානාප‍්‍රකාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසැල්ද රැුසක් එහි තිබේ. අසල නිවෙස්වල වැසිකිළි පාවිච්චි කිරීමේ ගාස්තුව රුපියල් 20/-කි.
 

උදෑසන 7.30ට වෙදගෙදර ගේට්ටු විවෘත විය. එම පරිශ‍්‍රයෙහි එක් කෙළවරක වෛද්‍යවරයාගේ නිවසද, ඒ අසල ඔවුන්ගේ පැරණි නිවසද විය. ඊට යාබදව උතුරුමැද පළාත් හිටපු මහ ඇමති අභාවප‍්‍රාප්ත* බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාගේ පළාත් සභා ප‍්‍රතිපාදන මගින් ඉදිකරවූ ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ගොඩනැගිල්ලද විය.
 

වෙදගෙදර පරිශ‍්‍රයට ඇතුළු වූ රෝගීන්, අංක පිළිවෙළට ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ශාලාවේ බංකු මත වාඩි විය යුතුය. ඊළඟට උදේ 8.00 වන විට රංජිත් දිසානායක වෙද මහතා එහි පැමිණ ප‍්‍රතිකාර කටයුතු ආරම්භ කළේය. ප‍්‍රතිකාර ගන්නට එන සැවොම, අනිවාර්යයෙන්ම ‘‘එක්ස් රේ ඡායාරූපයක්’’ රැුගෙන ආ යුතුය. බොහොම කාරුණිකව රෝගියා පිරික්සන වෙදමහතා, අනතුරුව ප‍්‍රතිකාර නියම කරයි.
‘‘මේ තුණ්ඩුවත් අරන් අපේ අර පරණ ගෙදර බේත් බඳින කාමරේට යන්න. ඒ බෙහෙත බැඳලා ආයෙත් මා ළඟට එන්න’’, ඔහු කාරුණිකව කියයි.
 

ඒ අනුව ලියුම්කරුද පැරණි නිවසේ බෙහෙත් බඳින කාමරයට ගිය අතර, ඔහුට පෙර එහි ගිය තවත් කිහිපදෙනෙකුම එහිවූ බංක මත වාඩිවී සිටිනු පෙනිණි. වෙද මහතා ප‍්‍රතිකාර නියම කළ පසුව බෙහෙත් බැඳීම් කරන්නේ ඔහුගේ කාර්යමණ්ඩලයයි. වෙද මහතාගේ උපදෙස් අනුව. ඇට බිඳුණු ස්ථාන සැකසීම පවා කරන්නේ ඔවුන්ය. කාර්යමණ්ඩලයේ දෙතුන් දෙනෙකු බෙහෙත් බඳින කාමරයේ බිම හිඳ ගෙන ‘‘පොල් පිති’’ තොගයක් කපා, පලා, කුඩා පතුරු බවට පත් කරමින් උන්හ. එය බෙහෙත් බඳින කාමරයේදී ලියුම්කරු දුටු ප‍්‍රථම දර්ශනයයි. බෙහෙත් බැඳීම් කරන්නේ පොල්පිති පතුරු ආධාරයෙනි.
 

මේ අතර උන් හිටි ගමන් නිවසේ ඇතුළු දෙසින් ‘අයියෝ - අම්මෝ’ යනුවෙන් මහා විලාපයක් ඇසුණි. රැුඳී සිටි පිරිස අන්දමන්ද වූහ. ගෙතුළින් පැමිණි කෙනෙක් කියා සිටියේ, රෝගියෙකුගේ පාදයක යම් තැනක් නිවැරදි පිහිටුමකට සකස් කළ බවයි !
 

ලියුම්කරුටද යම් බියක් දැනුණි.
 

අතේ ඇටකටු යන්ත‍්‍රයකින් හාරන්නාක් බඳු වේදනාවක් !

‘‘වෑල්ඩින් වෙද ගෙදර පාරම්පරික බෙහෙත බැන්ද පසුව, ඉබේ කෑගැස්සෙන තරම්, උහුලන්නට අසීරු වේදනාවක් දැනෙන බව, රට පුරා ප‍්‍රචලිතව ඇති කතාවකි. ‘‘ටිකක් රිදෙයි, ඒත් ඒක උහුලන්නට වෙනවා’’ , අපේ රියදුරු විජේදාස මහතාද කල්තියා මට පවසා තිබිණි. මේ සම්බන්ධයෙන් යම් භීතියක් ඇති වුවද අත සුවරක ගත යුතු නිසා අවස්ථාවට මුහුණ දෙන්නට හිත හදාගතිමි. අනෙක බෙහෙත බඳින්නේද පැය එකහමාරක කාලයකට පමණි.
 

‘‘බේත් බඳින්න ඉස්සරවෙලා ඔයාගේ අත හදන්න වෙනවා. අතනින් ඉඳගෙන ඉන්න’’, ලියුම්කරුගේ තුණ්ඩුව බැලූ වෛද්‍ය සහායකවරයෙක් අසුනක් පෙන්වමින් කීය. ඉක්බිති තවත් වෛද්‍ය සහායකවරයෙක් පැමිණ, අතෙහි මැණික් කටුවේ තෙල් වර්ගයක් ගල්වා, පිරිමැද, එක්වරම ඉහළට පහළට කිහිපවරක් නැමුවේය. ඒ සමඟම ඇඟිලි ටික අල්ලා අත ඉදිරිපසටද ඇද්දේය. එවේලෙහි ඇති වූයේ යටිගිරියෙන් කෑ ගැසෙන තරම් වේදනාවකි. කෙඳිරිගාමින් එය ඉවසා ගත්තෙමි.
 

ඊළඟට එළඹියේ බෙහෙත බැඳීමේ වාරයයි. ලියුම්කරු බෙහෙත් බඳින කාමරයේ බංකුවක ඉන්දවාගත් වෛද්‍ය සහායකවරු දෙදෙනෙක් එක්ව එම කටයුත්ත පිළියෙල කළහ. ඔවුහු මුලින්ම මැණික්කටුව සන්ධිය මැදිවන සේ දෙපසින් වියළි රෙදි කැබලි දෙකක් එතූහ. ඉක්බිති, කළු පැහැති යම් තෙල් වර්ගයක් බව පෙනෙන ද්‍රාවණයක් පෙඟවූ මෘදු සීතල රෙදිකඩක්, ඒ මැදින් (මැණික් කටුව සන්ධිය මැදි වන සේ* අතෙහි දවටා, ඒ මතින් තුනී ඉටි කොලයක් ඇතිරූහ. එයින් පසුව, පොල්පිති කට්ටා කැබලි මත, පොල්පිති පතුරු තබා ඝනකම හණ නූල්වලින් (ඝනකම ගෝනි නූල්) ඉතා තදට බැඳ දෑමූහ.
‘‘විනාඩි 30ක් යනකොට ලොකු රිදීමක් වේදනාවක් දැනෙයි. එහෙමම පැය එකහමාරක් ඉඳලා මෙතෙන්ට එන්න. විනාඩි 30ක් ඇතුළත වේදනාවක් නාවොත් අපට කියන්න’’ යයි කී ඔවුහු, මා ගෘහ සාලයේ ඇති බංකුවක වාඩි කළහ.
 

ඒ වන විට බෙහෙත් බඳින ගෙයි සාලය හා කාමර පුරාද, ඉස්තෝප්පුවේද, පිටුපස බරාදවලද බෙහෙත් බැඳගත් රෝගීන් සිටිනු දක්නට ලැබිණි. දෙපාවල කලවා හෝ කෙණ්ඩාවල ඇට බිඳුණු රෝගීන්ට පොල්පිති පතුරු තබා බෙහෙත් බැඳ බිත්තිවලට හිඳුවා, දෙපා දිගහැර තබලාය. පිට කොන්දේ ප‍්‍රශ්න ඇති රෝගීන්, කොට්ට එලූ බංකු මත මුනින්තලා කරවා, බංකුවලට තබා බෙහෙත් බැඳලාය. තවත් සමහරු බිම එලූ පැදුරු මත හොවා බෙහෙත් බැඳලාය. උකුළු පෙදෙසේ අස්ථි බිඳුණු කාන්තා රෝගීන් වෙනම කාමරයක මේස මත හොවා බෙහෙත් බඳිනු පෙනුණි. කල්තියා බෙහෙත් බැඳගත් වැඩි දෙනෙක් ඒ වන විටත් කෙඳිරිගාමින්, විලාප නගමින්, වේදනාවෙන් කෑ ගසමින් උන්හ. ඇතැමුන් තමන් බැඳි බංකු පවා සෙලවෙන තරම් වේදනා පීඩිතව දඟලති. අත්වලට බෙහෙත් බැඳි ලියුම්කරු බඳු පුද්ගලයන් නම් ගෙහි ඔබ මොබ ඇවිදිමින් සිටියහ. සමහරු කෙඳිරි ගෑහ.
 

කෙසේ හෝ වේවා ලියුම්කරුට බෙහෙත් බැඳ ප‍්‍රථම විනාඩි 30 තුළදී සැලකිය යුතු තරමේ වේදනාවක් නොදැනුණි. අත නවා -ඇද්ද මොහොතේ හටගත් වේදනාව නම් එහෙමම තිබිණි. එබැවින් යළිත් බෙහෙත් බඳින කාමරයට ගොස් ඒ ගැන දැනුම්දීමට සිදුවිය. එවිට වෛද්‍ය සහායකයන් කළේ, බැඳුම් ලිහා, ඒ මෙන් තුන් ගුණයක් තරම් තදට යළිත් හණ නූලෙන් බැඳ දැමීමයි. ඒවෙලේ යම් බියක් මෙන්ම කුතුහලයක්ද දැනුණි. මා, මේ සියල්ලට මුහුණ දිය යුතුවේ.
 

විනාඩි දහයක් පමණ ගෙවී යද්දී, අමුතුම තාලේ වේදනාවකි. බෙහෙත් බැඳි අත කීරි ගැසී යන්නට විය. එය හරියට අතේ ඇටකටු යම් යන්ත‍්‍රයකින් හාරා ගෙන යනවාක් බඳුය. මහා රිදුමකි. හටගත් රිදුම අත ඇතුළෙන් වැලමිට සහ උරහිස දෙසට ගමන් කරන්නාක් වැන්න. එය ඇත්තටම උහුලා ගන්නට බැරි තරම් වේදනාවකි. මා සිටි බංකුව ඉදිරිපිට පැදුරක හොවා සිටියේ මාවනැල්ලේ සිට පැමිණි මුස්ලිම් තරුණයෙකි. යතුරුපැදි අනතුරකට ලක්වූ ඔහුගේ පාදයක කෙණ්ඩා පෙදෙස බිඳී තිබුණේය. රෝහලෙන් දැමූ ‘‘ගල් බැන්ඬේජය’’ කපා දමා ඔහුටද බෙහෙත් බැඳ තිබිණි. වේදනාව දරා ගන්නට මා මෙන් ඔහුද මහත් ආයාසයක් ගත්තේය. තමන් හටගත්තේ, දරාගත නොහෙන තරම් දැවිල්ලක්’’ බව සමහරු කීය.
 

එහි එන සමහර රෝගීන් වේදනාව දරා ගැනීම පිණිස, හොර රහසින් මත්පැන් පානය කරන බවක්ද එහිදී ඇසුවෙමි. එසේ වුවද එවන් අය මට හමුනොවීය. ‘‘අපොයි බීලා ඇවිත් අහුවුණොත් වෙද මහත්තයා ඒ අය එලවලා දමයි’’, ඒ ගැන ඇසූ මොහොතේ වෛද්‍ය සහායකයෙක් පැවසීය. බොහෝ දෙනා පවසන අන්දමට, මත්පැන් හෝ වේදනානාශක පෙතිවර්ග බීමෙන් බෙහෙතින් ඇතිවන වේදනාව පාලනය නොවේ. රෝගීන්ගේ අදහසේ හැටියට, වේදනාව හට ගැනීම, යනු අස්ථි උණුවීමේ කි‍්‍රයාවලියයි. එය අත්විඳීමෙන් පමණක් පාලනය කළ යුතු වේදනාවකි. ලියුම්කරු සිය වේදනාව විඳදරා ගත්තේ, ක‍්‍රමයෙන් පැය එකහමාරේ කාලපරිච්ෙඡ්දය හමාර වන බව මෙනෙහි කිරීමෙනි. වේදනාව ප‍්‍රමාද වී පැමිණි නිසා වැඩිපුර විනාඩි විස්සක් ඉවසා දරාගෙන සිටීමට ලියුම්කරුට සිදු විය.
 

රෝගීන් කොතෙක් සිටියද, වරින්වර බෙහෙත් බඳින ගෙයට පැමිණ වේදනා විඳින රෝගීන් පරික්සාකර බැලීම, රංජිත් දිසානායක වෙදැදුරුගේ සිරිතයි. ඒ අතර ඔහු තම සහායකන්ට අවශ්‍ය උපදෙස් ද දෙයි. රෝහල්වලින් එන රෝගීන්ට දැමූ ‘‘ගල් බැන්ඬේජ් කැපීම’’ කරන්නේ බෙහෙත් බඳින ගෘහයෙහි බරාදයකය. සාමාන්‍ය යකඩ කපන කියත් භාවිත කරමින්, කිහිප දෙනෙකුගේම ගල්බැන්ඬේජ් කපන ආකාරය දුටුවෙමි. ‘‘සමහර දාට’’ ලොකු වෙද මහත්තයා ඇවිත් බලලා යනවා’’ ඇතැමෙක් කීහ.
නියමිත වේලාව හමාරවීමෙන් පසුව පෙරවරු 11.20ට පමණ, වෛද්‍ය සහායකවරු ලියුම්කරු අත බැඳි බෙහෙත ලිහා දැමූහ. ඉක්බිති වෙද මහතා හමුවන්නැයි දැන්වූහ. ඒ වන විට වෙද ගෙදර පරිශ‍්‍රය තුළ 400කට අධික පිරිසක් රැුඳී සිටින්නට ඇත. වෙදගෙදර මිදුල්, බෙහෙත් බඳින ගෙය හා ඒ අවට මෙන්ම, රෝගීන් පරික්‍ෂා කරන ශාලාව ආශ‍්‍රිතවද ඔවුන් රැුඳී උන්හ. ඉන් වැඩි දෙනෙක් රෝගීන්ගේ සහායට පැමිණි නෑදෑ හිතවතුන් බව පෙනුණි.
 

රෝගීන් පරික්‍ෂා කරන ශාලාව, දිගු පෝළිමකින් යුතු වුවද, බෙහෙත් බැඳීමෙන් පසුව දෙවන වර එන රෝගීන් ඇතුළට ගැනීම සඳහා වෙනමම පෝළිමක් සකස් කර තිබුණි. ලියුම්කරුගේ අත පරික්‍ෂා කළ රංජිත් දිසානායක වෙදමහතා, දින 18 ක් සඳහා මැල්ලූම්, පත්තු සහ තැවීම්වලින් සමන්විත ප‍්‍රතිකාර පන්තියක් නියම කළේය. අත්ල හරවා නිවැරදිව බෙහෙත් බඳින්නැයිද උපදෙස් දුන්නේය. යළිත් එහි පැමිණෙන්නට අවශ්‍ය නොවනු ඇතැයිද කීවේය.
 

වෙද මහතා සමග ටිකක් කතාබහ කිරීමට දැඩි අවශ්‍යතාවයක් තිබණද, ලියුම්කරු වේදනා විඳිමින් සිටීමත්, එතැන ඇවිස්සුණු කඩිගුලක් මෙන් සෙනඟින් පිරී තිබීමත් නිසා එය ඉටුකරගත නොහැකි විය. දවහල් 12.00 පමණ වන විට මුළු වෙදගෙදර පරිශ‍්‍රයම, ඉතා කාර්යබහුල ‘‘කුඩා රෝහලක්’’ සිරිගෙන තිබිණි. කිහිලිකරුවලින් පැමිණි සමහර රෝගීන් ආපසු ගියේ දෙපයිනි. සමහර රෝගීහු කොන්දේ අමාරුසුව වීම නිසා සෘජු කයින් ගමන් කරනු පෙණුනි.
 

තවත් සමහර අය වෙද මහත්තයාට දණ ගසා වැඳ කෘතඥතාව පළකරනු දිස්විය. කටාන, දංකොටුව, මීගමුව, දෙහිවල, බද්දේගම, මාවනැල්ල, ති‍්‍රකුණාමලය, රුවන්වැල්ල, දඹුල්ල, මහනුවර, පුත්තලම, කෝට්ටේ ආදී දුරබැහැර ප‍්‍රදේශවලින් පැමිණි රෝගීන්ද එහිදී හමුවිය. වෑල්ඩින් වෙද ගෙදර පුර පසළොස්වක පොහොය දිනවලට ප‍්‍රතිකාර කරන්නේ නැත. අනෙක් දිනවල අන්තිම රෝගියා දක්වා වෙදකම් කිරීම රංජිත් දිසානායක වෙදැදුරාගේ සිරිතයි. මුළු රටෙන්ම වෑල්ඩින් වෙදකම ඇත්තේ මෙැතන් බවත්, ඒ වෙදුන් දම්පැලැස්සාගම වෙද ගෙදර හැර දිවයිනේ අන් කිසි තැනකදී ප‍්‍රතිකාර නොකරන බවත්, පැවසෙන දැන්වීම්ද වෙද ගෙදර පරිශ‍්‍රය තුළ ප‍්‍රදර්ශනය කර ඇත. එසේ තමන් වෑල්ඩින් වෙද කෙනෙක් යැයි කියා ගන්නා යමෙක් සිටීනම්, ඔහු මුදල් ගසා කන හොර වෙදෙක් බවත් ඒවායෙහි සඳහන් වේ.
 

කොතෙක් බැරෑරුම් ප‍්‍රතිකාර කළද, වෙද මහත්තයා පිළිගන්නේ බුලත් අත සමඟ දෙන මුදල් පඬුරක් පමණි. බහුතරයක් දෙනා ඊට රුපියල් 500/- නෝට්ටුවක් එක් කරනු දුටුවෙමි. ගෙදර ගෙන ගොස් ගන්නට දෙන තෙල් කාලක් රුපියල් 400/-කි. ලියුම්කරු වෙදගෙදරින්ම මිලදී ගත් ශාක ඖෂධ කට්ටලයට. (කොළ, පොතු, වැල් ආදී) රුපියල් 900/-ක බිල්පතක් වැටිණි. ඒ සියල්ල දින 18ක බෙහෙත් සඳහාය.
 

එක් දිනක් හෝ දින කිහිපයකින් දරුණු කැඩුම් බිඳුම් සුවකරන මෙබඳු ප‍්‍රතිකාර විධි ක‍්‍රමයක් ගැන, ලියුම්කරු මින් පෙර අසා හෝ අත්විඳ නැත. එය ඇතැම්විට, ලොකු වෙදමහත්තයා හෙවත් එස්. එම්. මුතුබණ්ඩා වෙදමහතාගේ පරපුරට ආවේණික රහසිගත ශාක ඖෂධ පන්තියක් වන්නට ඇත. ඉපැරණි ඔසු උයනක්ව පැවති රිටිගල කන්ද (අරිට්ඨ පබ්බත) පිහිටා ඇත්තේ ද මරදන්කඩවලට තරමක් දුරින්, ගනේවල්පොල හරහා හබරණට යන පාරේය. එය එක් අතකින් පෞරාණික බෞද්ධ ආරාම සංකීර්ණයකි. අනෙක් අතින් ඔසු උයනකි. රිටිගල පිහිටීම වියළි කළාපයට අයත් වුවද, එහි ඉහළ කොටස් සීතල තෙත් කලාපීය දේශගුණයෙන් පොහොසත්ය. රිටිගල වන රක්‍ෂිතය හා බැඳුණු ජනශ‍්‍රැතිද බොහොමයකි.
 

කැඩුම් බිඳුම් වෙදකම සම්බන්ධයෙන් ගත්කල, මෑත කාලීනව රිටිගල ආශ‍්‍රිතව බිහිවුණ ප‍්‍රකට වෙද  පරම්පරා දෙකක් හඳුනා ගත හැකිය. ඉන් එක් පරපුරක් ‘‘හොරිවිල වෙදදුරන්ය’’. අනෙක, දම්පැලැස්සාගම එස්. එම්. මුතුබණ්ඩා මහතාගේ ‘‘වෑල්ඩින් වෙද පරපුරය’’. ඔවුන්ගේ වෙදකම් ඔස්සේ, රිටිගල හා බැඳුණු අතීත ශාක ඖෂධ හා වෛද්‍ය කලාවේ නන් විධි ස්පර්ශයන්, වත්මන් රටවැසියන්ට සුවය ගෙන එන බව ලියුම්කරුගේ විශ්වාසයයි.
2014.09.28-2014.10.05. ඉරුදින

20150727

මරණයට කලින් නිවන ලගා කරගන්න බැරිද......?


Prabath Zoysa 
හැමෝම මැරැනට පස්සෙ නිවන් සුවය පතන්නෙ ඇයි 
මරණයට කලින් නිවන ලගා කරගන්න බැරිද......?
----------------------------------------------------------------------------------

කණ කැස්බා
විය සිදුරෙන් අහස දකිනවා වගේ
අපහසු දෙයක් ප්‍රභාත්..

කරත්තයක් කැඩිලා
ඒ කරත්තෙ වියගහ වතුරෙ පාවෙලා ගිහින්
මුහුදට වැටිලා පාවෙමින් තියන වෙලාවක
වසර සියයකට වරක්
මුහුදු පත්ලේ සිට මුහුද මතුපිටට එන
එකැස් කණ කැස්බෑවෙකුගෙ
පෙනෙන ඇහැට ඒ වියගහේ සිදුර
සකස් වෙලා අහස පෙනෙනවා වගේ
ඉතාම අසීරුවෙන් විය හැකි දෙයක්.
මේ අබුද්දස්ස කාලෙ
අද කාලෙ තියන
කරත්ත ප්‍රමාණය අනුව
ඒ අවස්ථාව තවත් අසීරුයි.

ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක්,
ප්‍රබල ශීලයක්, ප්‍රබල සමාධියක්,
ප්‍රබල ප්‍රඥාවක් අවශ්‍යයි..
සමහර අයට
ඒ ඉලක්කය කල්ප ලක්ෂ ගණනක්
දුර වෙන්න පුලුවන්.

බුදු දහමට අනුව
එක මොහොතකටවත්
දුක නිවාගන්න නොදන්න කෙනෙක්...

මේ මොහොතෙන් පටන් ගෙන
සසර දුක නිවාගැනීම දක්වා යන්න
හිතන්නවත් බැරි අභියෝගයක්.
ළදරුවෙක් තනිවම ක්‍රියා කොට
සංග්‍රාමයක් ජයගන්න
හිතනවා වගේ වැඩක්..

ඒත්
යම් ළදරුවෙක් ඒ අරමුණෙන් ක්‍රියා කළොත්
ඔහු ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්
අන් ළදරුවන්ට වඩා ගව් ගණනාවක්
ඉදිරියට යන්න පුලුවන්.

ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක්,
ප්‍රබල ශීලයක්, ප්‍රබල සමාධියක්,
ප්‍රබල ප්‍රඥාවක් ඇති කෙනෙකුගේ
පාරමිතා පරිපූර්ණ වෙලා නම්
විදසුන් වැඩීම නිසි පරිදි දන්නා
ගුරුවරයෙකුත් ලැබුණොත්
ළඟා විය හැකි ඉලක්කයක්.


නිවන් දකින්න අවශ්‍ය
පළවෙනි අවශ්‍යතාවය
ජීවිතේ සැපට වඩා
දුක වැඩියි කියා
වැටහෙන්න ඕන.
ප්‍රභාත්ට අන් අයට වඩා
ඒ සුදුසුකම තියනවා.
සිය දිවි නසා ගනීමට පවා
ඔබට හිතුණ අවස්ථා තිබුණා.
ඔබ නිවන සැබැවින්ම සොයන්නෙ 
ඒ අවස්ථාවටයි.

ඒත් 
තාවකාලික විසඳුමක් තුළ
මංමුලා වීම හැරෙන්නට
නිසි මගට වැටෙන්නෙ
ඉතාම කලාතුරකින් කෙනෙක්.

ඔබේ මග නිවැරදි නම්
දුකෙන් මිදෙන්න හොයන වෙලාවට
ඔබට හමුවෙන්නෙ නිවන නොවේ.
දුක නිවන ඒකායන මාර්ගය වන
විදසුනයි.


ඔබ විදසුනට යොමුවුණොත්...
මේ මොහොතෙ පටන්ම දුක නිවා ගන්න
අවශ්‍යවන ක්‍රම වේදය,
තාක්ෂණය ඔබට ලැබෙනවා.

මේ මොහොතෙ පටන්
සමස්තයක් ලෙස ඔබේ සිතත් කයත් තුළ
මොහොතින් මොහොතට සිදුවෙන වෙනස්කම්
සිහියෙන් දකිමින්
ඒ දකින වෙනස්කම්වලට උපේක්ෂාවෙන්
විසීමට ඔබ පුහුණුවෙනවා.


ඔබ නිවැරදිව විදසුන් මගෙහි පිය නැගුවොත්
විදසුන් වඩන මොහොතක් පාසා
ඔබ නිවනට ළං වෙනවා.
ඔබේ නිවන තියෙන්නෙ ඔබේ අතෙයි.
බුදුන් වහන්සේත් කරන්නෙ
මග පෙන්වීම පමණයි..

=============================================

ඔබට සත්‍ය වූ අවශ්‍යතාවයක් ඇත්නම්
ආරම්භ කරන්න හොඳ ස්ථාන තුනක් ගැන තොරතුරු
මේ යොමුවෙන් ලබාගන්න පුලුවන්.
විපස්සනා පුහුණුව

20150724

රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී..


රාජ්‍ය නායකයෙක්
ආවේගය අවශ්‍ය විට කොන්ද පණ ඇතිව
නිවට නොවී, මැරයෙක් නොවී
ගැහැණියක මෙන් ආවේග ශීලී නොවී...
පිරිමියෙක් සේ.. සංවරව ක්‍රියා කල යුතුයි.
.

ප්‍රසිද්ධ රැස්වීමක,
ඔබාමා කුපිත කරවන බාධා කිරීමකදී
ඔහු හැසිරුණ ආකාරය ආදර්ශමත්ය.
ඔහුට බාධා කළ තැනැත්තා
ඉවත්කරන්නට ඔහු ක්‍රියා කළ ආකාරය
රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස විශිෂ්ඨය.

ඔබාමා සාමාන්‍යයෙන්
බාධා කරන්නවුන්ට ඉඩ දී
ඔවුන්ට පිළිතුරු දෙන නමුදු
මේ අවස්ථාවේ ඔහු ඍජුවම
ඒ බාධා කිරීම ප්‍රතික්ෂේප කළේය.

තැනකට ආරාධනා ලැබූවෙකු ලෙස
ඔහුගේ හැසිරීම නොගැලපෙන බවත්
නිහඬව රැඳී නොසිටියොත්
ඔහු ඉවත්කෙරෙනු ඇති බවත්
ඔබාමා විසින්
පැහැදිලිව ගෞරවාන්විතව ප්‍රකාශ කිරීමෙන් පසු
ඒ පුදගලයා ඉවත් කෙරෙන තුරු ඉවසා සිටියේය.

සාමාන්‍යයෙන් තමා බාධාකිරීම් ඉවසන නමුදු
මේ තමාගේ නිවහන බැව් ඔබාමා කීවේය.

ඔබාමා කුපිතවී
මැරයෙකු මෙන් තර්ජනය කළා නම්
බැණවැදුණා නම්
රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස ඔහුගේ චරිතය
පළුදු වීම නොවැළැක්විය හැක.

Facebook post 9,990,503 Views



තවත් එවැනිම අවස්ථාවක
ඔබාමා ඉතාම උපේක්ෂාවෙන් හැසිරෙමින්
ඔහුට බාධා කරන්නෙකුට ඉඩදී
ඔහුට නිසි පිළිතුර දී
ඔහු දමනය කරගන්නා අයුරු..



==========



 ඉහත සිදුවීම්වලදී
ඔබාමා ඇතුළතින් කැළඹී ඇති බව සහ
ඔහුගේ සිත කුපිත වී ඇති බව
අපටත් එහි සිටින සියළු දෙනාටත්
රහසක් නොවේ..

එහෙත්
සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු මෙන්
ඔබාමා එම අවස්ථා දෙක
තැනට සුදුසු නුවණින් යුතුව
පාලනය කරගන්නා ගෞරවණීය ආකාරය
ලොව පුරා රාජ්‍ය නායකයන්ට
මනා ආදර්ශයකි.

ඔහුගේ ක්‍රියාවෙහි අගය
බුදුන් වහන්සේගේ වචන වලින්
මෙසේ දැක්විය හැකිය..

“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑම්
රස්මිග්ගාහො ඉතරො ජනො”

සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු යැයි මම කියමි.


සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.

මෙහි බුදුන් වහන්සේ අගය කරන්නෙ
ක්‍රෝධය නැති තැනැත්තා නොවෙයි.
ක්‍රෝධය පවතිද්දී
හිත මනාව හසුරුවා ගන්නා තැනැත්තායි.

==========================================

රාජ්‍ය තාන්ත්‍රිකයෙකු
ආවේගය පිටකරන ආකාරයත්
ඔබාමාගෙන්ම ඉගෙන ගන්න.

ඉහත සිදුවීම්වලදී
මම අගය කරන්නේ
ඔබාමාගේ හොඳට වඩා
තමාගේ කැළඹීමට යටත් නොවී
ඒ පිළිබඳව සිහියෙන් සහ ඒ කැළඹීමට උපේක්ෂාවෙන්
ප්‍රශ්නය විසඳා ගැනීමයි..

රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස
කෙනෙක් අප්‍රසාදයට පත්වන්නේ
ඔහු දක්වන ප්‍රතිචාරය නිසා නොව
ඇතුළත කැළඹීමට ඔහු යටත් වීම නිසායි..

 ==============================================
පහත දැක්වෙන අවස්ථාවේදී
ඔබාමා ආවේගය පිට කරන නමුත්
ඔහු ඒ ආවේගයෙන් කැළඹී සිටි බවක්
ඔහුගේ කතාවේදි ප්‍රකට වන්නේ නෑ.

ඔහු ආවේගය පිට කරන ආකාරයෙන්
ඔහුට් වචන දහසකින් කිව නොහැකි දේ
සභාවට පවසන අතර
ඔවුන්ද එය ඒ ආකාරයෙන්ම භාරගත් බව
 
ඔවුන්ගේ ප්‍රතිචාරයෙන් පෙනෙනවා.



ඔහු තුළ ඇති ආවේගය
ඔහුගේ කතාවෙන් ප්‍රකට නොවෙයි.
එහෙත් ඔහු පිටව යන්නේ
එහි රැස්ව සිටින පිරිසට
විනෝදයක් වන ලෙස
ඉතාම සුන්දර ආකාරයෙන්
ඔහුගේ ආවේගය
අභිනයෙන් පෙන්වමිනි.


මා මේ පිළිබඳව පළකළ
Facebook සටහන කියවූ කෙනෙක්
ඔබාමා විපස්සනා වඩන්නෙක් දැයි
ප්‍රශ්න කොට තිබුණා.
ඇත්ත වශයෙන්ම
මේ අවස්ථාවන්හි ඔහුගේ හැසිරීමෙන් පෙනෙන
ඔහු තුළ සිදුවන වෙනස් කම් පිළිබඳව
ඔහු සතුව ඇති සිහියත්
ඒ වෙනස්කම්වලට ඔහු දක්වන උපේක්ෂාවත්
විපස්සනා වඩන්නෙකුට සමාන කළ හැකිය..

20150718

පර්චස්‌ 23 ක ඉඩමක් පමණක් හිමි විධායක ජනාධිපති

විධායක ජනාධිපති වූ  පසුවත්  තමන්ගේ ඇඳුම්  සෝදා ගත්තේ තමන්මයි 
* ජනාධිපති වෙන්න කලිනුත් ජනාධිපති වුනාට පස්‌සෙත්
අප්පච්චිගේ වත්කම මේ පර්චස්‌ 23 ඉඩම විතරයි

* අප්පච්චිඅපට කියලා දීලා තියෙන්නේ
අත්හැරීම පුරුදු වෙන්න කියලායි

*සොබා දහම එක්‌ක ඉන්නකොට දැනෙනවා
අම්මායි අප්පච්චියි මා එක්‌ක තවම ඉන්නවා කියලා
* අම්මත් මමත් සහභාගී වෙලා තියෙන්නෙ
අප්පච්චි අගමැති විදිහට දිවුරුම් දුන්න උත්සවයට විතරයි


දෙමවුපියෝ බ්‍රහ්මයෝය. ඒ නැවත අපේක්‌ෂාවක්‌ හෝ ලාභ ප්‍රයෝජනයක්‌ නොමැතිව සියලුම පරිත්‍යාගයන් කරනුයේ දෙමවුපියන් පමණක්‌ම බැවිනි. ඔවුන් අතරෙහිද සිටි තවත් සුවිශේෂී වූ පියෙකුගේ පීතෘත්වය ස්‌මරණය කරන්ට විඡේතුංග මුදියන්සේලාගේ චිත්‍රාංගනී කුමාරි විඡේතුංග නම් උපශාන්ත දියණිය සමග සංවාදයක යෙදුණෙමි. ඒ රජෙක්‌ වුවත් සොඳුරු ගැමියෙක්‌ වු බරසාර මිනිසාගේ පූර්ණත්වය ගැන කියන්නටය. බලයෙන් ව්‍යාධිව, සදාකාලික සැපයක්‌ සේ සලකා එහි ආසක්‌ත වන ආදර්ශ දකිමින් හි`දින රටට සුරංගනා කතාවක්‌ බඳු වූ කතාවක්‌ කියන්නටය. උත්තම පුරුෂයන් යනු කවරහුදැයි මේ රටට මතක්‌ කර දෙන්නටය.

විඡේතුංග මුදියන්සේලාගේ චිත්‍රාංගනී කුමාරි විඡේතුංග යනු අපේ රටේ දේශපාලන ඉතිහාසයේ වැඩිම තනතුරු සංඛ්‍යාවක්‌ දැරූ නිහතමානී අව්‍යාජ ජන නායකයා වන ඩිංගිරි බණ්‌ඩා විඡේතුංගයන්ගේ එකම දියණියයි.
වසර 1965 දී පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ලබා පාර්ලිමේන්තුවට පිවිසි විඡේතුංග මුදියන්සේලාගේ ඩිංගිරි බණ්‌ඩා විඡේතුංග නොහොත් ඩී.බී. විඡේතුංගයෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, අමාත්‍යවරයෙකු, පළාත් ආණ්‌ඩුකාරවරයෙකු, මුදල් අමාත්‍යවරයෙකු, අගමැතිවරයෙකුව සිට ශ්‍රී ලංකාවේ තෙවැනි විධායක ජනාධිපතිවරයා ද වූහ. එසේ වුවද හෙතෙම තානාන්තර දැරූයේ එළිපත්තෙන් පිටත පමණි. ඊට සාක්‌ෂි එමටය. සාක්‌ෂි සහිතවම අතීත සැමරුම් දකින්නට චිත්‍රාංගනී ගේ මතකයන් සමග ඒකාත්මික වෙමු .
පියාගේ සෙනෙහස පියාගේ මතකය කොතැනක සිට කවදා සිට මතකයේ රැඳුණාද?

මම ඉපදුණේa 1956 පෙබරවාරි 16 වැනිදා. 1960 පමණ ඉඳලා මට අම්මා අප්පච්චි දෙන්නා කරපු කියපු දේවල් හොඳට මතකයි. මොකද අපි තුන්දෙනා උණ ගහක පුරුක්‌ වගේ. අම්මාත් අප්පච්චිත් එදා ඉඳලා මිය යනතුරුම මා එක්‌ක හිටියේ ලොකු බැ`දීමකින්.
    අප්පච්චි මිනිස්‌සු එක්‌ක අදහස්‌ බෙදාගෙන පන්සලට ගමට වැඩ කරන්න හරිම ආසයි. අපේ ගෙදර ඉස්‌සර මට මතක කාලේ ඉඳලාම මිනිස්‌සු පිරිලා. ගෙදර ඉස්‌සරහා තියෙනවා ලොකු ශාලාවක්‌. අප්පච්චි උදේ ඉඳලා ඔය ශාලාවේ ඉඳන් මිනිස්‌සුන්ට කරන්න ඕනැ දේවල් කියනවා මට මතකයි. කවදාවත් ගෙදර ඇතුළෙදි මිනිස්‌සුන්ට මොනවාද කළේ, රැස්‌වීමකදි මොකද වුණේ කියලා කියලා නැහැ. ගෙදර ඇතුළෙදි මාව හුරතල් කරනවා. මගේ පුතාට අම්මා අද මොනවාද කන්න දුන්නේ, පුතා අම්මා එක්‌ක මොනවාද කළේ කියලා අහනවා. අප්පච්චි තමයි නිතරම ගෙදර අස්‌කරන්නේ අතු ගාන්නේ. මට මතකයි මං අප්පච්චි එක්‌ක වැඩ කරන්න හරිම ආසයි . මොකද ආදරෙන් කතා කරනවා. නිතරම ගෙදර වැඩ කරනවා. මල් පූජා කරනවා. බුදුන් ව`දිනවා.

මම මහනුවර උසස්‌ බාලිකා විද්‍යාලයට ගියේ. අප්පච්චියි අම්මායි දෙන්නාම මාව ඉස්‌කෝලේ යවන්න ලෑස්‌ති වෙන හැටි මට අදටත් මතකයි. මම දෙන්නාටම වැඳලා මූණ ඉඹලා තමයි ගෙදරින් එළියට බහින්නේ. 1964 අවුරුද්ද විතර වෙනකොට අප්පච්චි උදේට ගෙදර නෑ. ඒ කාලේ ඡන්දයක්‌ කිට්‌ටු වෙනකොට අද වගේ නෙවෙයි. ගෙදරින් ගෙදරට ගිහින් මිනිස්‌සු මුණ ගැහෙන්න ඕනෑ. ඉතින් දවස්‌ කිහිපයක්‌ම මම උදේ නැගිටිනකොට අප්පච්චි ගෙදර නැහැ. හවස ඉස්‌කෝලේ ඇරිලා ඇවිල්ලත් බලා ගෙන ඉන්නවා අප්පච්චි නැහැ. මම අම්මාට කිව්වා මට අප්පච්චි බලන්නේ නැතුව ඉස්‌කෝලේ යන්න බැහැ කියලා. ඉතින් පහුවදා මම ඉස්‌කෝලෙ ගියේ නැහැ. අප්පච්චි කැන්වසින් ගියෙත් නැහැ.

අම්මා දුම්බර වලල... මාරපන දුක්‌ගන්නා වලව්වෙ විමලාවතී කුමාරිහාමි මාරපන. මොනවාගේ දායකත්වයක්‌ද තිබුණේ විඡේතුංග මහත්තයාගේ දේශපාලන ගමනට.

අම්මා කිසිම වෙලාවක දේශපාලනයට හවුල් වෙන්න ගියේ නැහැ. හැබැයි අම්මා තමයි අප්පච්චිගේ සෙවණැල්ල. ඒ දෙන්නා අතරේ තිබුණ බැ`දීම ඇත්තෙන්ම මහා පුදුමාකාරයි. මිය යන මොහොත දක්‌වාම ඒ දෙන්නාට ඒ දෙන්නාව ඕනැ වුණා. අම්මා හැම වෙලාවෙම අප්පච්චිගේ වැඩ කටයුතු ගැන හෝදිසියෙන්.
උවමනා එපා කම් ගැන අප්පච්චි හැරෙනකොට කියන්න අම්මාට පුළුවන්කම තිබුණා. කෑම බීම ඇඳුම් ගැන අම්මා තමයි කටයුතු කෙළේ. අප්පච්චි පිරිසිදුකම ගැන ගොඩාක්‌ උනන්දු වුණ කෙනෙක්‌. කොහේ ගියත් ඉස්‌සරහා දොරෙන් ඇතුළට සෙරෙප්පුදෙක දාගෙන එන්නේ නැහැ. පහුවදාට සෝදන්නේ නැතුව සෙරප්පුදෙක දාන්නෙත් නැහැ. මට මතකයි අප්පච්චි කැන්වසින් යන දවස්‌වල තදේට වහිනවා. අම්මා හැමදාම අප්පච්චිගේ සෙරෙප්පු දෙකේ මඩ අයින් කරලා සෝදනවා. මම මේ වැඩේ හැමදාම බලාගෙන ඉන්නවා. දවසක්‌ මම අම්මාගෙන් සෙරෙප්පු දෙක සෝදන්න ඉල්ලුවා. අම්මා වැඩි කැමැත්තක්‌ නැති වුණත් මම ඉල්ලපු නිසා දුන්නා. මම ගත්ත ගමන් සෙරෙප්පු දෙක වතුර බාල්දියක්‌ ඇතුළෙ දාලා සේදුවා. පහුවදා අප්පච්චිට දාගෙන යන්නත් බැරි තරම් සෙරෙප්පුදෙක තෙතයි. අප්පච්චි මාව ළ`ගට අරන් Ñසෙරෙප්පු වල මඩ ගෑවිලා තියෙද්දි සෝදන්නේ මුලින්ම පොල්මුඩ්ඩක්‌ අරන් අඩියේ ගෑවිලා තියෙන මඩ අයින් කරලා, කියලා, කියලා දුන්නා.

අම්මා අප්පච්චිගේ වැඩවලට මොනතරම් උදව් කළත් දේශපාලන වැඩවලට හවුල් වුණේ නැහැ. මිනිස්‌සුන්ට කන්න දෙන්න අඩුපාඩු දෙන්න කියලා අම්මාට කිව්වාම ඒ ගැන කිසි අඩුවක්‌ කරන්නේ නැතුව අප්පච්චි හිතපු විදිහටම කරලා දෙනවා.

අප්පච්චි අම්මාට ගෞරව කළා. අම්මා අප්පච්චිට ගෞරව කළා. ඒ නිසාම වෙන්න ඇති කවම කවදාවත් ඒ දෙන්නා පොඩි අමනාපයකින්වත් ඉන්නවා මම දැකලා නැහැ. මොන තරම් වැඩ තිබුණත් අම්මායි මමයි ගෙදර ඉන්න නිසා අප්පච්චි රෑට ගෙදර එනවාමයි.

වසර 1987 කාලයේ පළාත් සභා පනත සම්මත වෙද්දි රටේ විවිධ ගැටලු ඇති වුණා. පළාත් සභාවලට විරුද්ධ වූ ප්‍රචණ්‌aඩකාරින් එක්‌සත් ජාතික පාක්‌ෂිකයින්ව ඝාතනය කළා. එවකට සිටි කැබිනට්‌ මණ්‌ඩල ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පළාත් ආණ්‌ඩුකාර තනතුර වෙනුවෙන් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් ඩී.බී. විඡේතුංග මහත්තයා ඊට නොබියව ඉදිරිපත් වුණා. මේ සඳහා ගෙදරින් විරෝධයක්‌ ඇති වුණේ නැද්ද?

මම මුලින් කිව්වා වගේ අම්මාවත් මමවත් අප්පච්චිගේ දේශපාලනයට ඇ`ගිලි ගැහුවෙම නැහැ. මට මතකයි එවකට ජනාධිපතිව සිටි ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අප්පච්චිට ප්‍රසිද්ධියේම ස්‌තුති කළා රටේම කැලඹිලි ස්‌වභාවයක්‌ පවතිද්දි පසුබට නොවී ආණ්‌ඩුකාර තනතුර භාර ගන්න ඉදිරිපත්වීම ගැන. එදා අභිනවයෙන් පිහිටු වූ පළාත් සභාවල ප්‍රථම ආණ්‌ඩුකාරයා ලෙස දිවුරුම් දුන්නේ අප්පච්චියි. 1988 මැයි පළමුවැනිදා වයඹ පළාත් ආණ්‌ඩුකාරවරයා ලෙස පත්වීම ලබා ගියා. නමුත් නිල නිවසක්‌ හෙම තිබුණේ නැහැ. මගේ අප්පච්චි පුරුදු විදිහටම හවස ගෙදර ආවා.

තනතුරු එක දෙක වැඩි වෙනකොට කට්‌ටියම කොළඹ යන්න ඇතිනේද?

නැහැ. ඇමතිකම් දරපු කාලෙත් අප්පච්චි හවසට ගෙදර ආවා. මට මතක විදිහට 1977 ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය ඇමති ලෙස වැඩ භාරගත් කාලේ අප්පච්චිට නිල නිවාසයක්‌ හම්බවුණා. ඒ අමාත්‍යංශයේ වැඩ වලට හවස උදේ රෑ කියලා නැති ව වැඩ තිබුණා. ඒ නිසා අප්පච්චි වැඩ වැඩි දවසට විතරක්‌ නිල නිවාසේ නතර වුණා. අම්මාත් මමත් එහේ ගියේ නැහැ. අපිට ගෙදර තරම් නිදහස්‌ තැනක්‌ කොහේවත් නැහැ. අප්පච්චිටත් එහෙමයි. අප්පච්චි නිතරම කිව්වේ තනතුරු නිල නිවාස ඒ හැම දෙයක්‌ම බොහොම තාවකාලිකයි කියලා. කොහේ ගියත් ආපහු හැරිලා ගෙදර එන්න වෙන බව අපි දන්න නිසාම ඉන්න තැන අපට උරුම තැන සුරපුරක්‌ වගේ තියාගන්න අපි හිතුවා.

වසර 1989 එක්‌සත් ජාතික පක්‌ෂය දිනපු වෙලාවේ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඩී.බී. විඡේතුංග මහත්තයාට පැවරුවේ මුදල් අමාත්‍යා ධුරයයි.

1916 පෙබරවාරි 16 වැනිදා උපන් විඡේතුංග මහත්තයා අසූනවයේ පෙබරවාරි 18වැනිදා මුදල් ඇමති ලෙස දිවුරුම් දෙනකොට හැමෝම සුභ පැතුවේ උපන්දින තෑග්ගක්‌ ලැබුණා කියලායි. ඒ විගසම 1989 මාර්තු 6 වැනිදා එතුමා ශ්‍රී ලංකාවේ දසවැනි අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නා. තනතුරක්‌ පස්‌සේ නොගිය බොහොම නිහඬ මෙතුමා නිවසේදි මේ තාන්න මාන්න සැලකුවේ කොහොමද?

කිසිම විටෙක උදම් වුණේ නැහැ. ගෙදරදි මේ ගැන වැඩිය කතා කළෙත් නැහැ. අම්මායි මමයි සතුටු වන බව අප්පච්චි දන්නවා. නමුත් අපිත් කිසිදවසක මේ තනතුරු ගැන කිය කිය ආඩම්බර වෙලා මිනිස්‌සු ඉස්‌සරහා වීරයෝ වෙන්නේ නැහැ කියලා අප්පච්චි දැනගෙන හිටියා. හැම උසස්‌වීමකදීම අප්පච්චි කිව්වේ මට තවත් මිනිස්‌සුන්ගේ ප්‍රශ්න විසඳන්න අවස්‌ථාව වැඩිවෙනවා කියලා. ජනාධිපති වුණා කියලා ගෙදරට නම් වෙනසක්‌ තිබුනෙ නැහැ. අප්පච්චිගේ කෑම බීම ගැන හොයලා බලන්න අපේ මමාගේ පුතා (ප්‍රසාද් මාරපන) අප්පච්චි ළ`ගට ගියා. එයාට තනතුරක්‌ දෙන්න කියලා ල`ග හිටපු අය කියද්දි පවුලේ මිනිස්‌සුන්ට තනතුරු මොකටද කියලා ඇහුවලූ.

නවසිය හැත්තෑ ගණන්වල දවසක්‌ අප්පච්චි ඡන්ද වැඩවලට කාර් එකේ යමින් සිටියදී මනුස්‌සයෙක්‌ ගලක්‌ ගහලා . අප්පච්චිටත් මේ මනුස්‌සයාව හොදට මතකයිලූ. කාලයක්‌ ගියාට පස්‌සේ අප්පච්චි අගමැති කාලේ අර ගල ගහපු මනුස්‌සයා පුතාත් එක්‌ක රස්‌සාවක්‌ හදාගන්න අප්පච්චි ල`ගට ඇවිත්. ඒ වෙලාවේ ළ`ග හිටපු අප්පච්චිගේ පාක්‌ෂිකයෝ මේ මනුස්‌සයාව අඳුනගෙන එළවන්න හදලා. අප්පච්චි මැදිහත් වෙලා අර මනුස්‌සයාව අතින් අල්ලන් ඉන්දවලා උවමනා වැඩෙත් ඉක්‌මනටම කරලා දීලා යවලා. ල`ග හිටපු අය දොස්‌ කියනකොට අප්පච්චි ඒ අයගෙන් අහලා ඒ මනුස්‌සයාට බඩගිනි එන්නේ නැද්ද? කියලා.

දිවුරුම් දෙන වෙලාවට ගෙදර හැමෝ ම ඒ උත්සව වලට සහභාගි වෙන්න ඇති නේද?

අම්මත් මමත් සහභාගි වෙලා තියෙන්නේ අගමැති විදිහට අප්පච්චි දිවුරුම් දීපු අවස්‌ථාවේ විතරයි. අප්පච්චි හැම තනතුරක්‌ ලැබුණ අවස්‌ථාවකම අපෙන් අහනවා දිවුරුම් දීමට කොළඹ යනවා නේද කියලා. එහෙම අහන්නේ අපි දුක්‌ වෙයි කියලා හිතලා මිසක්‌ අපි එන්න ඕනි කියලා හිතලා නෙවෙයි. අප්පච්චි කැමතියි අපි බොරුවට රස්‌තියාදු නොවී ගෙදර ඉන්නවා නම්. නිලය බලය තාවකාලිකයි කියලා නිතරම කියනවා. අප්පච්චි අගමැති වෙලා අරලිය ගහමැදුරේ හිටියෙත් නැහැ. අම්මායි මමයි කැමති වුණෙත් නැහැ. ප්‍රේමදාස ජනාධිපතිතුමා නිතරම අප්පච්චිට කියනවා, අපිට කියනවා ඇවිත් අරලිය ගහ මැදුරට යන්න කියලා. ඒත් අපි කැමති වුණේ නැහැ.

අප්පච්චිට මොන තානාන්තරයක්‌ ලැබුණත් තමන්ගේ ඇඳුම සෝදගන්නේ ඒවගේ බොත්තමක්‌ කැඩුනත් මහන්නේ අප්පච්චිමයි. මම තරමක්‌ ලොකු වෙද්දි බොත්තමක්‌ එහෙම අල්ලලා රෙදි සෝදලා දෙන්න ඉල්ලනවා. පුතාට පුළුවන්ද ඔය වැඩ කියලා අහලා කරන හැටි බලාගෙන ඉඳලා මට ඒ වැඩ දුන්නා. අප්පච්චි වැඩ වැඩි කාලේ ස්‌ටැන්මෝ එකේ නැවතුනානේ.

විඡේතුංග මහත්තයා දුවගේ අනාගතය ගැන සැලසුම් කරන්න ඇත්තේ බලාපොරොත්තු රැසක්‌ එක්‌කයි. ඔබගේ විවාහය වෙනුවෙන් වුවත් යෝජනා ආවේ බොහොම ඉහළ පෙළේ මැති ඇමතිවරුන්ගෙන්. අද ඒ දේවල් ගැන හිතනකොට දුක හිතෙනවාද?

කොහෙත්ම නැහැ. මම අද සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා. ඒ දවස්‌වල විවාහ යෝජනා හිසේ කෙස්‌ ගානට ආවා. මම විවාහයක්‌ ගැන නම් හිතුවේම නැහැ. විවාහ වෙන්න නම් ඒ ගැන හිතට දැනෙන්න ඕනි. අම්මායි අප්පච්චියි මාව විවාහ කරලා දෙන්න නොකරපු උත්සාහයක්‌ නැහැ. අප්පච්චි වරක්‌ දෙකක්‌ බල කළා. මම අම්මා අප්පච්චි කියන දේ අහලා වැඩ කරපු ළමයෙක්‌ වුණත් විවාහයේදි නම් හිත දුන්නේම නැහැ. අම්මාට මම කිව්වා අකීකරු වෙනවා නෙවෙයි, අම්මා මට බැහැ කියලා හිතෙනවා කියලා. ඉන් පස්‌සේ අප්පච්චි අලුත්ගම පැත්තෙන් මගේ හඳහන බලවලා. එහෙන් කියලා ළමයාට බලකරන්න එපා කියලා. එදා ඉඳලා අප්පච්චිගෙන් මා ගැන අහන අයට අප්පච්චි කියන්නේ යුද්දෙට යන්නත් විවාහ වෙන්නත් බල කරන්න එපා කියලයි.

මිනිස්‌සු අදටත් විඡේතුංග මහත්තයාව මතක්‌ කරන්නේ, බොහෝම භක්‌තියෙන්. ඔබට දේශපාලනය කළා නම් අද මිනිස්‌සුන්ට උදව් කරන්න තිබුණා. ඇයි දේශපාලනය නොකළේ.?

අප්පච්චි විශ්‍රාම යන්න කිට්‌ටු කාලේ මම දේශපාලනයට එයි කියලා හුඟක්‌ දෙනෙක්‌ හිතුවා. මටත් වෙලාවක එහෙම කළොත් හොඳයි කියලා හිතුනා. ඒත් අප්පච්චි කිව්වා ඉස්‌සරහාට දේශපාලනය කියන්නේ වෙනස්‌ ආරෙකට යන රටාවක්‌ වෙයි. දුවට නොගැලපෙන දේවල් වලට මුහුණ දෙන්න වෙයි කියලා.

විඡේතුංග පදනම ශක්‌තිමත්ද?

අපි හැකිතරම් ශක්‌තිමත් කරන්න උත්සාහ ගන්නවා. බොහෝ අවස්‌ථාවල පක්‌ෂ භේදයකින් තොරව උදව් ලැබෙන අවස්‌ථාත් තිබෙනවා. සමහර විට කිසිමඋදව්වක්‌ නොලැබෙන අවස්‌ථාත් තිබෙනවා. කවුරු හරි උදව් කරනවානම් අපට වැඩ කරන්න ලේසියි.

අප්පච්චි දේශපාලනයෙන් හම්බ කළේ නැහැ. අප්පච්චිට ජනාධිපති වෙන්න කලින් තිබුණෙත් පර්චස්‌ 23 ක මේ ඉඩමයි මේ ගෙදරයි විතරයි. ජනාධිපති කාලෙත් ඉන් පස්‌සෙත් ඒ ටිකම විතරයි. අපේ ගෙදර වත්තේ අයිනේ බැම්ම අප්පච්චි ඒ කාලේ හදවපු විදිහ අදටත් දකින්න තිබෙනවා. එහා වත්තේ ගස්‌ කපන්නේ නැතුව ගහට ඉඩ ඇරලා බැම්ම වෙනස්‌ කරලා.

විඡේතුංග මහත්තයාගේ පිළිරුව නිමවන්න තිබුණේ මහජනතාව ගැවසෙන මහම`ග ආසන්නයේ නේද?

කාලයත් එක්‌ක අප්පච්චිගේ වටිනාකම දන්න මිනිස්‌සු නැති වෙලා යනවා. මගේ හදවතේ අප්පච්චි මම මිය යන තුරුම ජීවමානයි. අප්පච්චිට උරුම මේ ගෙදර ඉඩමේ තමයි පිළිරුව හදන්න හොඳම තැන.

අප්පච්චි අසනීප වුණ වෙලාවේ ලේ දෙන්න සිද්ද වුණා. එදා අප්පච්චි කිව්වා කවුරුහරි මනුස්‌සයෙක්‌ගේ ලේ ටිකක්‌ තමයි මට පිහිට වුණේ, මේවගේ තව මිනිස්‌සු කී දෙනෙකුට ලේ ඕනැ වෙනවා ඇත්ද?. අපි පුළුවන් විදිහට ලෙඩ්ඩුන්ට ලේ හොයලා දෙන්න බලමු කියලා. ඒ කියපු දවසේ ඉඳලා මේ වනතුරුම නොකඩවාම හැම අවුරුද්දකම අපේ ගෙදර ලේ දන්දීමේ පින්කම පැවැත්වෙනවා.

              අම්මා මිය ගියේ 2005 දෙසැම්බර් 24 වැනිදා. එදා ඉඳලා අප්පච්චි බලාගත්තේ මම. අම්මාටයි අප්පච්චිටයි හොඳට සලකන්න මට පුළුවන් වුණා. අප්පච්චි මිය ගියේ 2008 සැප්තැම්බර් 21වැනිදා. අප්පච්චි අගමැති ජනාධිපති කාලේ ළඟ හිටපු ප්‍රසාද් මල්ලි අදටත් මා එක්‌ක මේ ගෙදර ඉන්නවා. එයත් විවාහ වෙලා නැහැ. අපි හැකි තරම් පින්කම් වලට දායක වෙනවා.

රංග විදානේ
සුදම් හේරත්

Facebook

www.sithtv.com Sithtv.

20150708

අතේ ස්මාට් පෝන්..... කනේ කරාබු.... පිටේ ටැටූ.....මැක්ඩොනල්ඩ්ස්... KFC.. විභූති


අලුත් පරපුර ගැන දුකයි අප්පා.
අතේ ස්මාට් පෝන්..... කනේ කරාබු.... පිටේ ටැටූ..... බට්.... 
මොලේ ඇතුලේ කපල එකක් විභූති.

--------------------------------------------------------------------- 

ස්මාට් පෝන්..... කනේ කරාබු.... පිටේ ටැටූ...වුණත්
වැරදියි කියන අය ඉන්නවා.
ඔවුන්ගෙත් තියෙන්නෙ මිථ්‍යා විශ්වාසයක්..

ස්මාට් පෝන්..... කනේ කරාබු.... පිටේ ටැටූ...තුළත්
 ඔවුන් සොයන මිථ්‍යාවක් තියනවා.

 එක එක අයගෙ ආහාර වෙනස් චින්තක..
බක්කියෙ පුන්නක්කු කන හරකා
කුසගින්න නිවාගනිද්දි
මැක්ඩොනල්ඩ්ස් KFC යන සමහරක්
රුපියල් සීයක කාල
දාස් ගාණක් දීල එනවා.

කායිකව ආහාරයට සීමාවක් තිබුණාට
ආහාරයක් මානසික වුණාම සීමාවක් නෑ.
කුස පිරුණත් මනස පිරෙන්නෙ නෑ.
මනස පල්ල නැති බාල්දියක් වගෙයි..

රුපියල් දාස් ගාණක කන්න බැරි කෙනෙක්
මානසිකව වදදෙන කෑදරකම නිවාගන්න
මැක්ඩොනල්ඩ්ස් ඛ්FC ගිහින්
කන්න පුලුවන් ප්‍රමාණයටත් අඩුවෙන් කාල
හිත පිරෙන්න ලොකු බිලක් ගෙවලා එනවා.
දාස් ගාණක කෑව කියල හිත පිරෙනවා.

ආහාර මේසෙ ෆොටෝ එකක් අරන් ඇවිල්ලා
ෆේස්බුක් එකේ ෂෙයාර් කළාම
යාලුවන්ගෙත් හිත පිරෙනවා.
කුස දන්නෙවත් නෑ.

යන්තර මන්තර සාත්තර විශ්වාස කරන අය
ඒ වගේම මානසික ආහාරයක් අරන්
කුසගින්න නිවාගන්න අසරණ පිරිසක්.
ඔබ ඔවුන් හෙළා දැක්කට
ඔවුන්ගෙ කුසගින්න නිවා ගන්න
වෙන විකල්ප ආහාරයක්
ඔබ ළඟ ඇත්තෙත් නෑ.

කවුරු හරි පිරිසක්
මැක්ඩොනල්ඩ්ස් KFC ළඟ ඉඳන්
මම ඉස්සෙල්ල කියපු ටික කියමින්
එන එන අයට බැන්නොත්
ඒක කොතරම් හිරිකිත අප්‍රසන්න ක්‍රියාවක්ද?
"මූට සල්ලි නැති නිසා
ඉරිසියා කරනවා" කියලා
බැණ බැණ ගිහින් කන ටිකත් කන්න නෑ.
ඔවුන්ට ඔවුන් කරන දේ
ඔබ හෝ මම දකින විදියට දකින්න බෑ.

විශ්වාසය වැරදියි කියා
විශ්වාස කරන්නාට පෙන්වා දීම
වරදක් නොවෙයි. හිතවත් කමක්..

තමන් වැරදි නම් ඒකත් හෙළි වෙයි..

පුද්ගලයා මෝඩයෙක් ලෙස හෙළා දැකීමයි වැරදි.

මානසික අඩුවක් පුරවා ගන්න
අපි කරන දේවල් විතරක් නොවෙයි..
අතේ ස්මාට් පෝන්..... කනේ කරාබු.... පිටේ ටැටූ... විභූති. වගේ
අනික් අය කරන දේවලුත්
ඔවුන්ගෙ ශක්ති මට්ටමට සාධාරණයි.
ඔවුන්ට වෙන කරන්න දෙයක් නෑ.

පිටුපස හරවාගෙන ඉන්න කෙනෙකුට
සත්‍යය නොපෙනෙන්නෙ
ඔහු අන්ධ නිසා නොවෙයි..
ඔහු හරවන්න පුලුවනි නම්
සත්‍යය පෙන්වන්න
කරදර වෙන්න ඕන නෑ.

තමන්ගෙ සැබෑ අවශ්‍යතා
සිහියෙන් දකින මට්ටමට
හිත නිවා ගත්තෙ නැත්නම්
මනස ඔබව ගොදුරු කරගන්නවා.
ඔවුන් හෙළා දැකීමෙන්
ඔබ ඉන්න තැන ඉහළ යන්නෙ නෑ.

20150704

හෘද සාක්ෂියට එරෙහිව මනස පිනවීම



ජනවරමට එරෙහිව, ජනතාවට එරෙහිව,
හෘද සාක්ෂියට එරෙහිව
මනස පිනවමින්

වැරදි කරමින් ජීවත් වෙන කෙනෙකුට
දඬුවම් කීරීමට නම්
පැමිණිලි, චෝදනා, සාක්ෂි, ඔප්පුකිරීම්,
නීති රෙගුලාසි අවශ්‍යයි..
සොබා දහමට ඒ කිසිවක් අවශ්‍ය නෑ.

ඔහු හිතනකොටම... ඔහුගෙ කර්මය ඇරඹෙනවා.
කල් යල් බලා, ඔහු කරන කියන දේ මාර්ගයෙන්ම
සොබා දහම දෙන දඬුවම් අංග සම්පූර්ණයි.

පරාජයෙන් පසුව
විශ්‍රාමයක් නැතුව...
විශ්‍රාමගන්න ඉඩක් නැතුව
හිතට සැනසිල්ලක් නැතිව,
මුහුණේ සිනාපොදක් නැතිව
අනුන්ගෙ බලකිරීමට තැන තැන යමින්
යන යන තැන වැරදි වැරදී
විඳින දුකට හේතුව කළ කර්ම තමයි
නීතියෙන් ඔප්පුකරන්න බෑ කියා
වහසිබස් දොඩන කර්ම තමයි..

අපි කර්මඵල පිළිගන්නෙ
අපි කරපු කර්ම වල ඵල වලින්
අපිත් දුක් විඳින නිසයි..


නීතියෙන් ඔප්පු කරන්න සාධක නැතත්
වැරදි කරමින් ජීවත් වෙන කෙනෙක්
කළා කියා දන්න කර්මවල විපාක
ඇස්පනාපිට පළදෙන බව
අපේ අත්දැකීමෙන්ම
අපට පෙනෙන නිසයි.

වසර දහයක් කළ කර්ම වල
බරපතලකම නොපෙනෙන පිරිස ගැන
විශ්වාසය තබාගෙන
වරද වරද ලෙස දකින අයගෙන්
නින්දා අපහාස විඳිමෙන්
මේ යන දුෂ්කර ගමන
තමන්ගෙ කර්ම කියා පිළිගන්නට
ඇස පහළ වුණොත්
මේ විඳින දුකෙන්
ප්‍රතිලාභයක් ලැබෙයි.

රජයෙන් නීතියෙන් දඬුවම් නොලැබුණාට
හොර මැරකම් වල දූෂණවල යෙදුණ අයට
ඒ සඳහා පරිසරය සකස්කරමින්
අනුබල දුන් අයට
බේරෙන්න නොලැබෙන බව
කර්මයත්, පුනරුත්පත්තියත් පිළිගන්න
බොදුනු ප්‍රඥාවන්තයා දන්නවා.

වැරදි කරන අය නීතියෙන් බේරුණොත්
ඔහුගෙ ඉරණම භාරවෙන්නෙ සොබා දහමටයි.
පව් මේරුවාට පස්සෙ දුක් විඳින අය
අද අපිට දකින්න පුලුවන්..

නීතියෙන් ඔප්පු කරලා
ඔවුන් සිරගත කළා නම්
අපේ ජනතාවට මේ අත්දැකීම
මේ වගේ ප්‍රබලව ලැබෙන්නෙ නෑ.

මේ දිනවල විටින් විට පල දෙන්නෙ
කරන ලද කර්ම වලින් ඉතාම සුළු කොටසක් විතරයි..
විශාල කොටසක් භවය පුරා විසිරිලා ඇති.

දරුවන්ට තමනුත්, මුලු ලොවමත් ගැටලුවක්.


.
කුඩා දරුවන්ට
ලිංගිකත්වය ගැටළුවක් නොවෙයි..
ලිංගික කුතුහලය දරුවාට ඇති කරන්නේ
ඔවුන්ට නිතර ඇස ගැටෙන
කාමුක වැඩිහිටි හැසිරීම් සහ,
කාමුක රූපවාහිනියයි.

බහුතරයක් වැඩිහිටියන්ගේ
මුලත් අගත් ඇති ගැටලුව
පසිඳුරන් සනසමින්
කම්සුව විඳීම විය හැකියි.

දරුවන්ට තමනුත්, මුලු ලොවමත් ගැටලුවක්.

 පාසලේ උගන්වන්නේත්
පොතපත ඇසුරෙන් ගුරුවරුන් දුටු
තර්කානුකූල සිහිනයන් විනා
ඔවුන් දුටු හෝ දරුවන් දකින
සැබෑ ලෝකය නම් නොවෙයි.

කයින් වැඩුණත් සිතින් නොමේරූ ගුරුවරයා
ගහකොළ ගැන දරුවන්ට කියන විට
ජනේලයෙන් පෙනෙන ගහකොළවත්
පෙන්වන්නේ නැත.

කිසියම් ප්‍රතිභා පූර්ණ දරුවෙක්
ගහකොළ දෙස බලාගෙන
පාඩමට අනුව සිතුවත්
රටහුණු කෑල්ලෙන් හිසට පහරදී
යළි පොත තුළට දරුවා ඇද දැමීම
ගුරුවරයාට අනුව ඔහු කරන සේවයයි.
දරුවා රජකරන්නට
සිහින මවන දෙමාපියන්ටත්
ඒ ගුරුවරයා දෙවියෙකි.

නිසි මග නොපෙන්වීමෙන්
ඉඳුරන් පහම එක් එක් පමණට
මිනිසා නොමග යවන නමුත්
ඒ නොමග යෑම නොදන්නා නිසා
ඔවුන්ගේ අත්දැකීම් අනුව
දෙමාපියන්ටත්, ගුරුවරුන්ටත් ඇති
විශාලම ප්‍රශ්නය ලිංගිකත්වය
විය හැකියි.

ලිංගික ප්‍රශ්න කතා කිරීම
එකම විසඳුම හෝ හොඳම විසඳුම නොවේ.
රාගය සහ කාමච්ඡන්දය යනු
සුළු සංවේදනා ටිකක් රස විඳින්නට කරන
මහා සංග්‍රාමයක් බව පෙන්වා දීම ප්‍රමාණවත්.
වෙහෙස මහන්සිවී මුදල් උපයාගෙන,
තෝරා බේරා රැගෙන විත්,
දන්නා සියලු ශිල්ප දක්වමින් පිස,
මේසයට වාඩිවී ආහාර බුදිමින්,
අප දිනපතා තුන් වේලක් සොයන්නෙ
අපේ දිවෙහි උපදින
ප්‍රියජනක සංවේදනා බව
කුඩාම දරුවෙකුටත් ග්‍රහණය කළ හැකියි.

කාමච්ඡන්දයෙන් වියරු වැටුණ කුෂාන්
කොටකෙතන මව මැරූ ඝාතකයා
පළමුව ක්‍රියාකළේ ආවේග ශීලීවයි.
ඔහු මළකඳ සඟවන්නට සහ
මිනීමැරුම සඟවන්නට ක්‍රියාකළ
තර්කානුකූල මානසිකත්වයෙන්
මිනීමැරුමට පෙර ක්‍රියා කළා නම්
මව අහු අතින් මිය නොයන්නට ඉඩ තිබුණා.

කුෂාන් වියරුවැටුණේ
පෙම්වතිය කෙරෙහි වූ කාමච්ඡන්දය නිසයි.
ඔහු ඔහුගේ හිත දුටුවා නම්
ඔහු ඊට වහල් වන්නේ නැහැ.


හිත දකින්නේ නැති කෙනෙක්
හිත දමනය කරගන්නේ කෙසේද?

ආහාරයක් දුටු විට කැළඹෙන තමන්ගේ හිත දකිමින්
ආහාරය පාලනයෙන් යුතුව රස විඳින
වැඩිහිටියන් සහ ළමුන්
කාමයට මුහුණ දී නොකිළිටිව ඉන්නට සමත් වෙති.

ඉඳ හිට යමක් අහම්බෙන් සිදුවුවද
පාඩමක් මිස හානියක් නොවනු ඇත.

දරුවාට දෙන ලිංගික අධ්‍යාපනයෙහි
සරලම සහ මූලිකම පාඩම
වැඩිහිටියන් පසිඳුරන්ගේ වහලුන් බව
තමන්ම දැනගැනීමයි.

ඔබ කාමුක නම්
දරුවා නව යොවුන් වියට එන්නටත් පෙරාතුව
කාමුක වීම අරුමයක් නොවෙයි.

ඔබේ කාමය නොලද පෝෂණයක්
ඔබේ විසිත්ත කාමරයේදීම දරුවාට ලබා දෙන්නට
අද ජනමාධ්‍ය සැදී පැහැදී සිටිනවා.

දරුවා  වටා කැරකෙන කාම පිපාසිත ලෝකයෙන්
දරුවා රැකගැනීමට ඇති හොඳම මග
ඔබේ ලිංගික දැනුම
අමු අමුවේම දරුවා ට සම්ප්‍රේෂණය කිරීම නොවේ.

ඔබ කාමයට මුහුණ දී,
කාමයට වහල් නොවී දෙපයින් හිටගෙන
ඔබ අනුකරණය කරන්නට දරුවාට ඉඩ දීම
ඔබේ වගකීමයි.

වැඩිහිටියන්ගේ අන් හැම චර්යාවක් මෙන්ම
පසිඳුරන් දමනයෙන් යුතුව වැඩිහිටියන් කරන දේත්
නිරායාසයෙන්ම
දරුවාට සම්ප්‍රේෂණය වෙයි.

හිටපු ජනපති නටවන නාම යෝජනා නාටකය.


මෛත්‍රී කතා නැත, දකින්නටත් නැත.
මහින්ද කතා නැත, දකින්නටත් නැත.
රනිල් කතා නැත, දකින්නටත් නැත.
චන්ද්‍රිකා කතා කළත් පිළිගන්නේ නැත.


ප්‍රධාන නලුවන් තිරය පිටුපස සැඟවී සිටියදී
අවශේෂ නලුවන් සහ විකට නලුවන් පිරිස
වෙස්මුහුණු විනිවිද පෙනෙන
ඇඹුල් කරගත් මුහුණින්
උගුරට හොරා බෙහෙත් කමින්, කසාය බොමින්
මනමාලි නැති සමලිංගික මගුලක් වැනි
අක් මුල් නැති විකට ජවනිකාව
අප හමුවේ රඟ දක්වන්නේ
හැමදාම නාටක බලන, රැවටෙන,
පොදු ජනතාව වන අප සඳහා බව
අප අත්දැකීමෙන්, පළපුරුද්දෙන්ම දනිමු.

දේශපාලකයන් කලබල වුවද,
මෙවර නම් ජනතාව විමසිල්ලෙනි.

මනමේ කුමරුගේ අනුමැතිය නැති නමුත්,
මනමේ කුමරිය ඉතා අපහසුවෙන් ඇඹරෙමින්,
වැදි රජුගේ පිරිවර ඉදිරියට විසි කළ
මළ බැඳුනු කඩුකොපුව තේජසින් අමෝරාගෙන
වැදිරජු එයිද, එඩියෙන් 
විජිතපුර අවසන් සටනට....


හැංගි හැංගි වෙස්මුහුණු බැන්දත්
නාම යෝජනා දෙන්නට කල් එළැඹි පසු,
නළුවන් නටන බව අප දන්නා හෙයින්,
නිවා ගතහැකි නම් නිවාගත යුතු
දරුණු කුතුහලයක් දැනට ඇත.

කිසි සේත්ම
අපට අලුත් නැති නමුත්
අපූරු, නාට්‍යමය රසයෙන් අනූන
මේ දේශපාලන නාටක ලියා සැඟවී සිටින
දක්ෂ, නිර්මාණාත්මක තිර රචකයා කවුද?

20150702

බුදුන් වහන්සේගෙ පෙළහර සහ මහින්දගෙ වශී බෝලෙ..



Chinthaka Abeyratne
[[[ මුත්තගෙ අතේ කියෙන වශී බෝලෙ බොරු....
බුදුහාමුදුරුවො පෙළහර පෑව එක ඇත්ත.....
අනේ මෙහෙමත් හරක් ඉන්නකං පායයිද අපේ රටට ඉරක්. ]]]


මහින්දගෙ වශී බෝලෙ
අතේ තියන රත්තරන් ගුලියක්...
බුදුන් වහන්සේ පෙළහර පෑවෙ
චිත්ත බලයෙන්..

මහින්දගෙ වශී බෝලෙන් පාපු පෙළහර
අපි ඊයෙ දැක්කනෙ..
එනවයි කිව්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100වත්
වශීවෙලා ආවෙ නෑනෙ,
සීයට දහනවයයි වශීවුණේ.

හිතෙන් පාන පෙළහර අදත් අපි දකිනවා.
පරිගණකයත් මොබයිල් ෆෝන් එකත්
විද්‍යාවෙන් පාන පෙළහරත් චිත්ත බලයමයි..

අද ඉන්න කෙනෙකුට තේරුම් ගන්න තියා
පොතක ලියල දුන්නට පස්සෙ
එකදිගට කියවන්නවත් ශක්තියක් නැති දහමක්
වසර දෙදහස් පන්සීයක් පවතින්න දේශනා කල
නික්ලේශී උතුමෙකුගෙ චිත්ත බලය
අද ඉන්න කෙනෙකුගෙ අවුල් සහගත සිතින්
තේරුම් ගන්න බැහැ..
සාමාන්‍ය සිතක් තියන කෙනෙකුට
විඳ ප්‍රත්‍යක්ෂයෙන් තොරව
බුදු දහම ග්‍රහණය කරගන්නවත් බැහැ..

බුද්ධියෙන් දහම දකින අය
තමන්ගෙ මට්ටමෙන් දකින විකාර රූප
දහමට වඩා හාත්පසින් වෙනස්.
ඒත්
ඔවුන්ගෙ මාන්නය නිසා
ඔවුන් තමන්ගෙ විකාර රූපී මිථ්‍යාව
සත්‍යය වශයෙන් සලකනවා.


ඔවුන්ගේ ඊනියා ධර්මාවබෝධයෙන්
ඔවුන්ගේ හිතේ අපිරිසිදු බව දුරුවෙන්නෙ නැහැ.
ඔවුන් කරන්නෙ බුදු වදන් පටලවාගෙන
ඔවුන්ගෙ පව්කම් සාධාරණීකරණය කිරීමයි.

ලයිට් වත් නැති පිටිසර ගමක ඉන්න
නූගත් මිනිහෙකුට පරිගණකය
මොබයිල් ෆෝන් එක ගැන කිව්වොත්
ඔහු හිතන්නෙත් එහෙම තමයි..

ඔහුගෙ සීමිත දැනුමෙ තියන රූප එකතු කරලා
පරිගණකය, මොබයිල් ෆෝන් එකට
නව අර්ථ කථන දේවි.
ඔහුගෙ මට්ටමේ චිත්ත ශක්තියක් තියන අය
ඒ අර්ථ කථන හිස් මුදුනින් පිළිගනීවි.

නික්ලේශී චිත්ත බලයෙන්
බුදුන් වහන්සේ පෑව එක පෙළහරක් උන්වහන්සේගෙ ධර්මයයි..

ඒ ධර්මයට අනුව හැසිරෙන්න පුහුණුවෙද්දි
අද අපිත් පෙළහර පානවා.

සාමාන්‍ය සිතක් තියන කෙනෙක්
සුළු දේකට ආවේග ශීලී වෙලා

 මොනතරම් කැත විදියට හැසිරුණත් කතා කළත්
අපේ හිතේ ඇතිවෙන ද්වේශය ගැන සිහියෙන්
ඒ ද්වේශයට උපේක්ෂාවෙන්
අනික් කෙනා මෙන් පහත් තැනකට නොවැටී
වචනත් ක්‍රියාවත්
අපේ හිතේ ඇතිවෙන ද්වේශයෙන්
සිහිය දූෂිත කර නොගැනීම
අපි පාන පෙළහරක්.


ද්වේශයෙන් අපිරිසිදුවුණ සිතක්
ඒ අපිරිසිදු බව පවතිද්දිම
ඒ අපිරිසිදු බවට උපේක්ෂාවෙන්
සිහිය පිරිසිදුව පවත්වාගෙන
සන්සුන්ව හැසිරීම
ශීලාචාරව තැනට සුදුසු දේ කීම සහ කිරීම

අපි පාන පෙළහරක්.

මහින්දගෙ වශී බෝලයෙන් හෝ
විද්‍යාවෙන් හැදූ උපකරණයකින් හෝ
ඒ පෙළහර පාන්න කෙනෙකුට බැහැ..

ඒ සඳහා තියෙන එකම ක්‍රමය
බුදුන් වහන්සේගේ ක්‍රමයම විතරයි..

හිතේ ඇතිවෙන ද්වේශය ගැන සිහියෙන්
ඒ ද්වේශයට උපේක්ෂාවෙන් විසීමයි.

=================================
“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑම්
රස්මිග්ගාහො ඉතරො ජනො”

සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු යැයි මම කියමි.

සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.

මෙහි බුදුන් වහන්ස අගය කරන්නෙ
ක්‍රෝධය නැති තැනැත්තා නොවෙයි.
ක්‍රෝධය පවතිද්දී
හිත මනාව හසුරුවා ගන්නා තැනැත්තායි.
ක්‍රෝධය කෙමෙන් කෙමෙන් නැතිවෙන්නට
ඒ පදනම උපකාරීවෙනවා.

අත්තානං දමයන්ති පණ්ඩිතා.

බුදු දහමෙ අවසාන අරමුණ
හිත සම්පූර්ණයෙන්ම පිරිසිදු කරගැනීමයි.

බුදු දහමෙ මූලිකම පදනම
හිතේ පිරිසිදු බව නොවෙයි..
හිත අපිරිසිදු තැනැත්තාගේ ආත්ම දමනයයි..
=======================================

ඔබේ ජීවිතයෙ වැදගත්ම මොහොත කුමක්ද?


දෙවියන් වහන්සේ ඉන්නවද නැද්ද?


දෙවියන් වහන්සේ ඉන්නවද නැද්ද
කියන එක නෙමෙයි ප්‍රශ්නෙ..
හොඳින් හෝ නරකින් ජීවත් වෙන්න
දෙවියො ඉන්න එක හෝ නැති එක
අදාළ කරගැනීමයි..

ඔබ ඉන්න විදිය තමයි ඔබට බලපාන්නෙ.

ඔබ හොඳ නම්
දෙවියො හිටියත් එකයි නැතත් එකයි..
ඔබ නරක නම් ඒත් එහෙමයි..

ඔබට විඳින්න වෙන්නෙ
ඔබේ හොඳ හෝ නරකම තමයි..

හොඳින් ඉන්න ඕන කියල හිතන නරක මිනිස්සු
දේව ආකල්පය කිහිලි කරුවක් කරගෙන
තමන්ගෙ ගමන යනවා.
ඒ ආකල්පය නැත්නම් ඔහු නරක මිනිහෙක්..

ඔබ හොඳ මිනිහෙක් නම්..
දෙවියන් කිහිලි කරුවක් කර නොගෙන
ඔබේ ගමන යන්න..

ඔබ නරක මිනිහෙක් නම්,
ඔබ කිහිලිකරුවත් ප්‍රතික්ෂේප කරනවා නම්..
මම ඔබෙන් ප්‍රවේශම් විය යුතුයි..  :)

මහින්දගෙ ජීවිතය අපට පාඩමක්..



නම ජනප්‍රියත්වය ප්‍රසිද්ධිය ගසක සෙවනැල්ල වගෙයි.
ගස කෙනෙකුගේ චරිතයයි..
----ඒබ්‍රහම් ලින්කන්.

චරිතය පිරිහුණ කෙනෙකුට
නම පෙනුම කොතරම් නොවැදගත්ද?

දේශපාලනය ගැනත්,
ජීවිතය ගැනත්, හිතමිතුරන් ගැනත්
අපිට පාඩම් ඉගෙනගන්න
මහින්දගෙ ජීවිතය සාධක රැසක් සපයනවා.

පළමුවැන්න නම්
සියලු ශ්‍රී විභූතීන් අනිත්‍ය බවයි.

ජැක්සන්, ශ්‍රියන්ත ආදී කලාකරුවන් රැසක්
2010දී මහින්දගෙ ජයග්‍රහණය වෙනුවෙන්
ක්‍රියා කළ ආකාරය සුවිශේෂයි.


 මේ ජැක්සන්ගේ එක් ප්‍රශස්තියක්.

"දැන් ලෝකයා පුදුමයට පත්වෙනවා.
දැන් යුරෝපීයයා ප්‍රශ්නයක් අහනවා.
- කොහොමද උඹලා මේක කරන්නෙ..
අපි කාටවත් දිනාගන්න බැරිවුණ ලෝක උවදුර,
උඹ කොහොමද නැති කරගත්තෙ.?- -
එතුමා දෙනවා සරල චණ්ඩි උත්තරයක්.
ඒ සරල චණ්ඩි උත්තරය ඇතුළෙ තියනවා
මාහා දාර්ශනික ගැඹුරක්.."

"උඹලට ඒක තේරෙන්නෙ නෑ. ඒ අපේ හැටි. "


 

වසර ගණනාවක් තිස්සේ
දාඩිය මහන්සියෙන්,
කඳුලෙන් සුසුමෙන් පෝෂණය කළ
තමන්ගේ වෘත්තීය ප්‍රතිරූපය
පරදුවට තබමින්, බිල්ලට දෙමින්
දැඩි උද්‍යෝගයෙන් ඔවුන් ක්‍රියා කළ ආකාරය
අපට මතක නැතිවුණේ ඇයි?

කල දුටු කල වල ඉහ ගත් ඔවුන්
අද මහින්දට අත්‍යාවශ්‍ය මොහොතෙහි
මහින්දව මගහැර ගියේ ඇයි?

මුදල් සැප සම්පත්ම විය නොහැකියි.

පසුගිය පස්වසර තුළ
මහින්දගේ සිදුවූ වෙනසද?
ඔවුන්ගේ සිදුවූ ආකල්ප වෙනසක්ද?
නැත්නම් ජනතාව තුළ
මහින්ද පිළිබඳව වූ
ආකල්පය වෙනස් වීමද?

ජනපතිවරණයෙන් පසුව
කලාකරුවන් මහින්දට එක්වුණා.
ඔවුන්ගේ බලය, ශක්තිය උරගා බැලුවා.
2010 රැල්ල දැන් පෙරැළෙන්නේ
අනිත් අතට බව
ඔවුන් වටහා ගන්නට ඇති.

ඔවුන්ගේම වරදින් බිඳ වැටී
පදනම පමණක් ඉතිරිවූ
ඔවුන්ගේ ප්‍රතිරූපවල නටබුන් රැකගෙන
ඔවුන් නිහඬවම පල්ලම් බැස ඉවත්වුණා.

වෘත්තීය පුද්ගලයන් පුද්ගලයෙකුට හෝ
දේශපාලන පක්ෂයකට පාක්ෂික වීමෙහි අවදානම
ඔවුන් විසින් ජාතියට පසක් කොට දීම
අත්දැකීම් වලින් ඉගෙනගන්නා ජාතියේ අයට
ස්වර්ණමය අවස්ථාවක්.

ජනතාවට තාවකාලික
රස වින්දන ලබාදීමෙන්,
ඔවුන්ගේ බාහිර සුඛ විහරණය සැලසීමෙන්
නායකයෙකුගේ පැවැත්ම තහවුරු නොවන බව
මේ පරිවර්තනය සමග
අපට පසක් කළ හැකියි.

දේශපාලනඥයෙකුගේ
දේශපාලනික ජීවිතය තුළ
ඔහු කරන ක්‍රියාවන්ගෙන්
දිගු කාලීන පැවැත්මක් ඇත්තේ
ඔහු කරන කවර ක්‍රියාවන්ටද?

සාමූහික ජයග්‍රහණයක සම්මානය
තනිව හිමිකරගෙන භුක්තිවිඳීමෙන්
ඔහුගේ පැවැත්ම තහවුරු වෙයිද?

තමන්ගෙන් පසුව තමන්ගේ තැන ගන්නට
කිසිවෙකුටත් වැඩෙන්නට අවසර නොතැබීමෙන්
ඔහුගේ පැවැත්ම ශක්තිමත් වෙයිද?

මිනිසුන්ගෙ නෙත සිත පිනවන රූපයක්
නිර්මාණයකොට පෝෂණය කිරීමෙන්
ඔහුගේ පැවැත්ම සදාකාලිකවේද?

සමාජයේ සිටින ශක්තිමත් බලවත්
දුර්දාන්ත පව්කාරයන්ට ජීවය දීමෙන්
ඔහුගේ පැවැත්ම සහතික වෙයිද?

රාජ්‍ය නීතිය විටින් විට
තමන්ට රිසි අයුරින් වෙනස් කරමින්
තමන්ගේත් හිතමිතුරගේත් වාසියට
අත්තනෝමතිකව යොදා ගැනීමෙන්
ඔහු කරන කිසිවක පැවැත්ම තහවුරු වේද?

ජනතාවගේ මුග්ධභාවය, අමතක වීමේ ස්වභාවය,
විනිවිද දකින්නට ඇති නොහැකියාව,
මතුපිට විච්චූරණවලට වහල්වීම,
පෝෂණය කොට වහල් කරගත හැකි
ඔවුන්ගේ කෑදර කම ආදී මිනිස් දුර්වලතා ගැන
විශ්වාසය තබා ඔවුන් ඇන්දීමෙන්
ඔහුගේ පැවැත්ම ස්ථාවර වෙයිද?

විව්ධාකාර උපක්‍රම වලින්
මාධ්‍යකරුවන් වසඟයට ගෙන
තමන්ගේ නිරුවත වසන
සීතාම්බර පට සළු නිරමානය කරගෙන
ඔහුගේ පැවැත්ම වසන් කළ හැකිද?

තමන්ගේත් තමා වටා සිටින
වන්දිභට්ටයන්, දොරටුපාලයන්, සේවකයන්ගේත්
සුඛ විහරණය සඳහා කැපවී
පොදු මිනිසුන්ගේ ජීවිතය දුකට පත් කරමින්
රත්වෙන දිය සැලියෙහි නැටූ කකුළුවා
එක නිමේෂයක තැම්බෙන්නට පටන් ගත් විට
ඔහුගේ නැටුමට අත හිත දුන් අය
ඔහු හැරයාම අරුමයක්ද?

කයින් මෙන්ම සිතින්ද
මිනිසා පෝෂණය කරමින්
ජනතාවගේ ජීවිත
පිටින් මෙන්ම ඇතුළතින්ද
සුඛිත මුදිත කළ හැකි
ධර්මාශෝක කෙනෙකුට හැර
පව්කාරයන්ට හිණිමං බඳිමින්
ජනතා මුදලින් සුඛවිහරණ විඳිමින්
ජනතාවට සැණකෙළි සපයන නායකයන්ට
පැවැත්මක් නැති බව අද අපට පසක් වෙයි..

20150701

කුඩා බුද්ධ ජයන්ති ත්‍රිපිටකය PDF සංස්කරණය -පහසුවෙන් බාගත කරගැනීමට




බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ PDF සංස්කරණය
file size කුඩා වන සේ සකසා
download කිරීම හා පාවිච්චිය පහසු වන සේ සකසා ඇත.

ත්‍රිපිටකයේ මුළු සයිස් එක 900 MB පමණක් වන අතර,
සූත්‍ර පිටකය 540 MB පමණක් වන බැවින්
CD එකකට කොපි කර බෙදා හැරිය හැකිය.

   සූත්‍ර පිටකය 
https://www.mediafire.com/folder/wez26c0668l89

   විනය පිටකය
https://www.mediafire.com/folder/3a887aysoyrdh

 අභිධම්ම පිටකය
https://www.mediafire.com/folder/5o72nr9h2pku2

සියලු පොත් 
බාගත කර ගැනීමට,
උඩින්ම ඇති checkbox එක ක්ලික් කර 'Download' බොත්තම ක්ලික් කරන්න.

To download all files,
select all files by clicking the topmost check box and
click the 'Download' button.


තුන් පිටකයම (අටුවා හා ටීකා සමග)
https://www.mediafire.com/folder/najd8hdk6bqqf
 -----------------------------------------------------------------------

ධර්ම දානය කළ පින්වත් ශ්‍රාවක
path.nirvana@gmail.com
 -------------------------------------------------------------------

මේ පණිවිඩය share කර ඔබත් ධර්ම දානයෙහි යෙදෙන්න..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhcvliscqupKNpl-9Tw6wYo_oJcAH5Jj5iaEVnMVB-lo5_EtNeGqy19fRL0LUuvKMrkzH75by1OJlEcyz5e7idJ0DjIyU4afz7J_PCZQtp163zSLt-TlSt_9AveK-vE9LeB9ySi0FE5qZYK/s1600/fb-.png