20150702

මහින්දගෙ ජීවිතය අපට පාඩමක්..



නම ජනප්‍රියත්වය ප්‍රසිද්ධිය ගසක සෙවනැල්ල වගෙයි.
ගස කෙනෙකුගේ චරිතයයි..
----ඒබ්‍රහම් ලින්කන්.

චරිතය පිරිහුණ කෙනෙකුට
නම පෙනුම කොතරම් නොවැදගත්ද?

දේශපාලනය ගැනත්,
ජීවිතය ගැනත්, හිතමිතුරන් ගැනත්
අපිට පාඩම් ඉගෙනගන්න
මහින්දගෙ ජීවිතය සාධක රැසක් සපයනවා.

පළමුවැන්න නම්
සියලු ශ්‍රී විභූතීන් අනිත්‍ය බවයි.

ජැක්සන්, ශ්‍රියන්ත ආදී කලාකරුවන් රැසක්
2010දී මහින්දගෙ ජයග්‍රහණය වෙනුවෙන්
ක්‍රියා කළ ආකාරය සුවිශේෂයි.


 මේ ජැක්සන්ගේ එක් ප්‍රශස්තියක්.

"දැන් ලෝකයා පුදුමයට පත්වෙනවා.
දැන් යුරෝපීයයා ප්‍රශ්නයක් අහනවා.
- කොහොමද උඹලා මේක කරන්නෙ..
අපි කාටවත් දිනාගන්න බැරිවුණ ලෝක උවදුර,
උඹ කොහොමද නැති කරගත්තෙ.?- -
එතුමා දෙනවා සරල චණ්ඩි උත්තරයක්.
ඒ සරල චණ්ඩි උත්තරය ඇතුළෙ තියනවා
මාහා දාර්ශනික ගැඹුරක්.."

"උඹලට ඒක තේරෙන්නෙ නෑ. ඒ අපේ හැටි. "


 

වසර ගණනාවක් තිස්සේ
දාඩිය මහන්සියෙන්,
කඳුලෙන් සුසුමෙන් පෝෂණය කළ
තමන්ගේ වෘත්තීය ප්‍රතිරූපය
පරදුවට තබමින්, බිල්ලට දෙමින්
දැඩි උද්‍යෝගයෙන් ඔවුන් ක්‍රියා කළ ආකාරය
අපට මතක නැතිවුණේ ඇයි?

කල දුටු කල වල ඉහ ගත් ඔවුන්
අද මහින්දට අත්‍යාවශ්‍ය මොහොතෙහි
මහින්දව මගහැර ගියේ ඇයි?

මුදල් සැප සම්පත්ම විය නොහැකියි.

පසුගිය පස්වසර තුළ
මහින්දගේ සිදුවූ වෙනසද?
ඔවුන්ගේ සිදුවූ ආකල්ප වෙනසක්ද?
නැත්නම් ජනතාව තුළ
මහින්ද පිළිබඳව වූ
ආකල්පය වෙනස් වීමද?

ජනපතිවරණයෙන් පසුව
කලාකරුවන් මහින්දට එක්වුණා.
ඔවුන්ගේ බලය, ශක්තිය උරගා බැලුවා.
2010 රැල්ල දැන් පෙරැළෙන්නේ
අනිත් අතට බව
ඔවුන් වටහා ගන්නට ඇති.

ඔවුන්ගේම වරදින් බිඳ වැටී
පදනම පමණක් ඉතිරිවූ
ඔවුන්ගේ ප්‍රතිරූපවල නටබුන් රැකගෙන
ඔවුන් නිහඬවම පල්ලම් බැස ඉවත්වුණා.

වෘත්තීය පුද්ගලයන් පුද්ගලයෙකුට හෝ
දේශපාලන පක්ෂයකට පාක්ෂික වීමෙහි අවදානම
ඔවුන් විසින් ජාතියට පසක් කොට දීම
අත්දැකීම් වලින් ඉගෙනගන්නා ජාතියේ අයට
ස්වර්ණමය අවස්ථාවක්.

ජනතාවට තාවකාලික
රස වින්දන ලබාදීමෙන්,
ඔවුන්ගේ බාහිර සුඛ විහරණය සැලසීමෙන්
නායකයෙකුගේ පැවැත්ම තහවුරු නොවන බව
මේ පරිවර්තනය සමග
අපට පසක් කළ හැකියි.

දේශපාලනඥයෙකුගේ
දේශපාලනික ජීවිතය තුළ
ඔහු කරන ක්‍රියාවන්ගෙන්
දිගු කාලීන පැවැත්මක් ඇත්තේ
ඔහු කරන කවර ක්‍රියාවන්ටද?

සාමූහික ජයග්‍රහණයක සම්මානය
තනිව හිමිකරගෙන භුක්තිවිඳීමෙන්
ඔහුගේ පැවැත්ම තහවුරු වෙයිද?

තමන්ගෙන් පසුව තමන්ගේ තැන ගන්නට
කිසිවෙකුටත් වැඩෙන්නට අවසර නොතැබීමෙන්
ඔහුගේ පැවැත්ම ශක්තිමත් වෙයිද?

මිනිසුන්ගෙ නෙත සිත පිනවන රූපයක්
නිර්මාණයකොට පෝෂණය කිරීමෙන්
ඔහුගේ පැවැත්ම සදාකාලිකවේද?

සමාජයේ සිටින ශක්තිමත් බලවත්
දුර්දාන්ත පව්කාරයන්ට ජීවය දීමෙන්
ඔහුගේ පැවැත්ම සහතික වෙයිද?

රාජ්‍ය නීතිය විටින් විට
තමන්ට රිසි අයුරින් වෙනස් කරමින්
තමන්ගේත් හිතමිතුරගේත් වාසියට
අත්තනෝමතිකව යොදා ගැනීමෙන්
ඔහු කරන කිසිවක පැවැත්ම තහවුරු වේද?

ජනතාවගේ මුග්ධභාවය, අමතක වීමේ ස්වභාවය,
විනිවිද දකින්නට ඇති නොහැකියාව,
මතුපිට විච්චූරණවලට වහල්වීම,
පෝෂණය කොට වහල් කරගත හැකි
ඔවුන්ගේ කෑදර කම ආදී මිනිස් දුර්වලතා ගැන
විශ්වාසය තබා ඔවුන් ඇන්දීමෙන්
ඔහුගේ පැවැත්ම ස්ථාවර වෙයිද?

විව්ධාකාර උපක්‍රම වලින්
මාධ්‍යකරුවන් වසඟයට ගෙන
තමන්ගේ නිරුවත වසන
සීතාම්බර පට සළු නිරමානය කරගෙන
ඔහුගේ පැවැත්ම වසන් කළ හැකිද?

තමන්ගේත් තමා වටා සිටින
වන්දිභට්ටයන්, දොරටුපාලයන්, සේවකයන්ගේත්
සුඛ විහරණය සඳහා කැපවී
පොදු මිනිසුන්ගේ ජීවිතය දුකට පත් කරමින්
රත්වෙන දිය සැලියෙහි නැටූ කකුළුවා
එක නිමේෂයක තැම්බෙන්නට පටන් ගත් විට
ඔහුගේ නැටුමට අත හිත දුන් අය
ඔහු හැරයාම අරුමයක්ද?

කයින් මෙන්ම සිතින්ද
මිනිසා පෝෂණය කරමින්
ජනතාවගේ ජීවිත
පිටින් මෙන්ම ඇතුළතින්ද
සුඛිත මුදිත කළ හැකි
ධර්මාශෝක කෙනෙකුට හැර
පව්කාරයන්ට හිණිමං බඳිමින්
ජනතා මුදලින් සුඛවිහරණ විඳිමින්
ජනතාවට සැණකෙළි සපයන නායකයන්ට
පැවැත්මක් නැති බව අද අපට පසක් වෙයි..

No comments:

Post a Comment