20150702

බුදුන් වහන්සේගෙ පෙළහර සහ මහින්දගෙ වශී බෝලෙ..



Chinthaka Abeyratne
[[[ මුත්තගෙ අතේ කියෙන වශී බෝලෙ බොරු....
බුදුහාමුදුරුවො පෙළහර පෑව එක ඇත්ත.....
අනේ මෙහෙමත් හරක් ඉන්නකං පායයිද අපේ රටට ඉරක්. ]]]


මහින්දගෙ වශී බෝලෙ
අතේ තියන රත්තරන් ගුලියක්...
බුදුන් වහන්සේ පෙළහර පෑවෙ
චිත්ත බලයෙන්..

මහින්දගෙ වශී බෝලෙන් පාපු පෙළහර
අපි ඊයෙ දැක්කනෙ..
එනවයි කිව්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100වත්
වශීවෙලා ආවෙ නෑනෙ,
සීයට දහනවයයි වශීවුණේ.

හිතෙන් පාන පෙළහර අදත් අපි දකිනවා.
පරිගණකයත් මොබයිල් ෆෝන් එකත්
විද්‍යාවෙන් පාන පෙළහරත් චිත්ත බලයමයි..

අද ඉන්න කෙනෙකුට තේරුම් ගන්න තියා
පොතක ලියල දුන්නට පස්සෙ
එකදිගට කියවන්නවත් ශක්තියක් නැති දහමක්
වසර දෙදහස් පන්සීයක් පවතින්න දේශනා කල
නික්ලේශී උතුමෙකුගෙ චිත්ත බලය
අද ඉන්න කෙනෙකුගෙ අවුල් සහගත සිතින්
තේරුම් ගන්න බැහැ..
සාමාන්‍ය සිතක් තියන කෙනෙකුට
විඳ ප්‍රත්‍යක්ෂයෙන් තොරව
බුදු දහම ග්‍රහණය කරගන්නවත් බැහැ..

බුද්ධියෙන් දහම දකින අය
තමන්ගෙ මට්ටමෙන් දකින විකාර රූප
දහමට වඩා හාත්පසින් වෙනස්.
ඒත්
ඔවුන්ගෙ මාන්නය නිසා
ඔවුන් තමන්ගෙ විකාර රූපී මිථ්‍යාව
සත්‍යය වශයෙන් සලකනවා.


ඔවුන්ගේ ඊනියා ධර්මාවබෝධයෙන්
ඔවුන්ගේ හිතේ අපිරිසිදු බව දුරුවෙන්නෙ නැහැ.
ඔවුන් කරන්නෙ බුදු වදන් පටලවාගෙන
ඔවුන්ගෙ පව්කම් සාධාරණීකරණය කිරීමයි.

ලයිට් වත් නැති පිටිසර ගමක ඉන්න
නූගත් මිනිහෙකුට පරිගණකය
මොබයිල් ෆෝන් එක ගැන කිව්වොත්
ඔහු හිතන්නෙත් එහෙම තමයි..

ඔහුගෙ සීමිත දැනුමෙ තියන රූප එකතු කරලා
පරිගණකය, මොබයිල් ෆෝන් එකට
නව අර්ථ කථන දේවි.
ඔහුගෙ මට්ටමේ චිත්ත ශක්තියක් තියන අය
ඒ අර්ථ කථන හිස් මුදුනින් පිළිගනීවි.

නික්ලේශී චිත්ත බලයෙන්
බුදුන් වහන්සේ පෑව එක පෙළහරක් උන්වහන්සේගෙ ධර්මයයි..

ඒ ධර්මයට අනුව හැසිරෙන්න පුහුණුවෙද්දි
අද අපිත් පෙළහර පානවා.

සාමාන්‍ය සිතක් තියන කෙනෙක්
සුළු දේකට ආවේග ශීලී වෙලා

 මොනතරම් කැත විදියට හැසිරුණත් කතා කළත්
අපේ හිතේ ඇතිවෙන ද්වේශය ගැන සිහියෙන්
ඒ ද්වේශයට උපේක්ෂාවෙන්
අනික් කෙනා මෙන් පහත් තැනකට නොවැටී
වචනත් ක්‍රියාවත්
අපේ හිතේ ඇතිවෙන ද්වේශයෙන්
සිහිය දූෂිත කර නොගැනීම
අපි පාන පෙළහරක්.


ද්වේශයෙන් අපිරිසිදුවුණ සිතක්
ඒ අපිරිසිදු බව පවතිද්දිම
ඒ අපිරිසිදු බවට උපේක්ෂාවෙන්
සිහිය පිරිසිදුව පවත්වාගෙන
සන්සුන්ව හැසිරීම
ශීලාචාරව තැනට සුදුසු දේ කීම සහ කිරීම

අපි පාන පෙළහරක්.

මහින්දගෙ වශී බෝලයෙන් හෝ
විද්‍යාවෙන් හැදූ උපකරණයකින් හෝ
ඒ පෙළහර පාන්න කෙනෙකුට බැහැ..

ඒ සඳහා තියෙන එකම ක්‍රමය
බුදුන් වහන්සේගේ ක්‍රමයම විතරයි..

හිතේ ඇතිවෙන ද්වේශය ගැන සිහියෙන්
ඒ ද්වේශයට උපේක්ෂාවෙන් විසීමයි.

=================================
“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑම්
රස්මිග්ගාහො ඉතරො ජනො”

සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු යැයි මම කියමි.

සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.

මෙහි බුදුන් වහන්ස අගය කරන්නෙ
ක්‍රෝධය නැති තැනැත්තා නොවෙයි.
ක්‍රෝධය පවතිද්දී
හිත මනාව හසුරුවා ගන්නා තැනැත්තායි.
ක්‍රෝධය කෙමෙන් කෙමෙන් නැතිවෙන්නට
ඒ පදනම උපකාරීවෙනවා.

අත්තානං දමයන්ති පණ්ඩිතා.

බුදු දහමෙ අවසාන අරමුණ
හිත සම්පූර්ණයෙන්ම පිරිසිදු කරගැනීමයි.

බුදු දහමෙ මූලිකම පදනම
හිතේ පිරිසිදු බව නොවෙයි..
හිත අපිරිසිදු තැනැත්තාගේ ආත්ම දමනයයි..
=======================================

ඔබේ ජීවිතයෙ වැදගත්ම මොහොත කුමක්ද?


No comments:

Post a Comment