20161204

5 ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත්වූ ගුරුවරයා

වසා දමන්නට තීරණය කෙරුණු පාසලේ
80%ක්‌ ශිෂ්‍යත්වය පාස්‌



* ළමයි පාඩම් කරනවද බලන්න සර් ගෙදර යනවා
* ශිෂ්‍යත්ව පන්තිය පටන් ගන්නෙ උදේ 6.00 ට හැන්දැවෙ 5.00 ට ඉවරයි
* විදුහල්පති සහ අලුත් සර් සමඟ ගුරුවරු කැපවීමෙන් කළ මෙහෙයුමක්‌
* ගල්ගමුවේ එරියාව ගමෙන් ඇසෙන උත්සාහයක ප්‍රතිඵලයක්‌


ලකුණු 188 බැගින් ලබාගත් සිසු දරුවන් දෙදෙනා විදුහල්පති හා පංතිභාර ගුරුතුමා සමඟ


වයඹ පළාතේ ගල්ගමුව මැතිවරණ කොට්‌ඨාසයේ පිහිටල තියෙන එරියාව කනිෂ්ඨ විදුහල ලංකාවේ තියෙන අතිදුෂ්කරම පාසල්වලින් එකක්‌. ඇත්තටම එරියාව කනිෂ්ඨය කියන්නේ දුප්පත්ම දුප්පත් ඉස්‌කෝලයක්‌. ඒ ගම්මානයත් එහෙමයි. ගමේ ඉන්න වැඩිදෙනෙක්‌ උපන්දා ඉඳලම මහ පොළොවත් එක්‌ක හැප්පිලා හේනක්‌ කුඹුරක්‌ අස්‌වද්දන්න දහදිය හෙළන මිනිස්‌සු. රජයේ රස්‌සාවක්‌ කරන කීපදෙනෙක්‌, යමක්‌ කමක්‌ තියෙන පවුල් කීපයක්‌ ගමට නැතුවම නෙවෙයි. හැබැයි ඒ ඉන්නෙත් අතේ ඇඟිලි ගාණටත් අඩු සංඛ්‍යාවක්‌.

මේ ගමට ඉහළිනුත් ඉර හඳ පෑයුවට හැමදාමත් වගේ මොකක්‌දෝ කළුවරකින් ගමත් ගමේ මිනිස්‌සුන්ගෙ ජීවිතත් වැහිල වගෙයි තියෙන්නේ. ඒ මිනිස්‌සු හිතාගෙන ඉන්නේ ගිනිකූටකේ කැති උදලු අරන් මහපොළොවත් එක්‌ක හැප්පෙන එක, එහෙම කරල අමාරුවෙන් අස්‌වද්දගන්න හේනට කුඹුරට වල් අලි කඩා පැනල තමන්ගෙ බවබෝග දේපළ විනාශ කරල දාන එක, තමන් උපතින් ම අරන් ආපු කරුමයක්‌ කියල. නැතිබැරි මිනිස්‌සු තමන්ට වෙන හැම අකටයුත්තක්‌ ම ඉරණමට, දෛවයට භාර කරල හිත හදාගන්න එක ජාතික පුරුද්දක්‌ දක්‌වා වර්ධනය වෙලා තියෙන හින්දා වෙන්න ඇති එරියාව ගමේ දුප්පත් මිනිස්‌සුත් එහෙම හිතන්න පුරුදු වෙන්න ඇත්තෙ.

ඒ මොන වින්නැහි තිබුණත්. මේ ගමේ මිනිස්‌සුන්ටත් සැබෑ කර ගන්න ඕන හීන ගොඩක්‌ තිබුණා.

තමන්ගෙ දරුවන්ට අකුරක්‌ දෙකක්‌ උගන්නල තමන් ඉන්න තැනින් පියවරක්‌ දෙකක්‌ හරි උන්ව ඉස්‌සරහින් තියන්න කඩා වැටිල තියෙන අලි වැට වෙනුවට අලුතින් අලි වැටක්‌ තනා ගන්න, ගමට හරි හමන් පාරක්‌ තොටක්‌ පාද ගන්න....... ඔන්න ඔය වගේ හීනත් එක්‌ක රෑට නින්දට යන එරියාව ගමේ මිනිස්‌සු පහුවැනිදට අවදි වෙන්නෙත් ඒ හීනත් එක්‌ක . පළමුවෙන් ගමේ පන්සල, ඊළඟට එරියාව ගමේ මිනිස්‌සුන්ට තිබෙන ලොකුම 'වස්‌තුව' තමයි ගමේ පාසල. කොට බිත්තිවලින් වට කළ දුප්පත් ගොඩනැඟිලි දෙකකින් සන්විත ගමේ ඉස්‌කෝලෙ ගැමියන් දැක්‌කෙ කවදහරි තමන්ගේ දරුවන්ට හොඳ කල දවසක්‌ උදා කරන පින් බිමක්‌ විදියට. ඒ හින්ද වෙන්න ඇති රෑ තිස්‌සෙ හේනේ කුඹුරේ පැල් රකින ගැහැනු මිනිස්‌සු උදේට ඉර ඇහැරෙන්නත් කලියෙන් තමන්ගේ ගෙවල් දොරවල්වලට ඇවිත් නිදාගෙන ඉන්න මල් කැකුළු අවදි කරල ඉස්‌කෝලෙට එවන්නේ. දරුවන්ට එහෙම එන්න වෙලා තියෙන්නෙත් කටුq පඳුරු වළ ගොඩැලි ගල් බොරළු පහු කරල බොහොම දුෂ්කර ගමනින්.

පෙළක්‌ දවසට ගුරුවරු දරු පැටව් ඉස්‌කෝලෙට එන්න කලියෙන් කැලේ ඉන්න වල්අලි ඉස්‌කෝලෙ වත්තට ඇවිත් ඉන්නවා. එහෙම වෙන්නෙ ගමේ මිනිස්‌සුන්වයි කැලේ ඉන්න අලි සේනාවයි වෙන් කරන විදුලි වැට අබලන් වීම හින්ද කියල ගමේ හැමෝම දන්න කාරණයක්‌. එහෙම දවසට එරියාව කනිෂ්ඨයේ විදුහල්පතිවරයයි, ගුරුවරු කීපදෙනකුයි මුලින්ම කරන්නේ දරුවන්ට උගන්වන එක පැත්තකින් තියල අලි එලවන එක.

එරියාව කනිෂ්ඨ විදුහල පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක්‌ ගැන කියන්න ගිහිල්ල අනවශ්‍ය දේවල් ලියනව කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් නෙළුම ගැන කියන්න ඉස්‌සර නෙළුම පිපුනෙ මොන වගේ විලකද එහෙම නැත්නම් මඩගොහොරුවකද කියල ලියලම ඉන්න එක හොඳයි.

එක පැත්තකින් දුප්පත්කම. අනික්‌ පැත්තෙන් ස්‌වාභාවික උවදුරු. ගම්මු මේ හැම දෙයක්‌ම උහුලගෙන ඉන්න අතරේ තමයි තමන්ගේ දරුවන්ට අකුරක්‌ ඉගෙන ගන්න තිබුණ ගමේ ඉස්‌කෝලෙට ඉබි යතුරු දාන්න යනවා කියල කතාවක්‌ ගම පුරා පැතිරෙන්න ගත්තේ. ආරංචියෙන් මුළු ගමම කම්පා වෙන්න ගත්ත. ඒ ආරංචිය කනින් කොනින් ගමට එන්න ගත්තේ 2007 අවුරුද්දේ අග භාගයට වෙන්න.

ඔහොම ඉන්න අතරේ ඒ පළාතේ තියෙන තවත් දුෂ්කර ගමක්‌ වෙන හුණුගල්ලෑව ගමේ ගොවියෙකුගේ පුතෙක්‌ වන ආර් එම්. තිලකරත්න මහත්තය එරියාව කනිටු විදුහලේ විදුහල්පතිවරයා වෙලා පාසලට එනවා. දුක්‌ විඳලා ඉගෙන ගත්ත හින්දා දුක ගැනයි අධ්‍යාපනයේ වටිනාකමයි දෙක දන්න එතුමාගේ එකම හීනය වෙන්නේ අකුරු අඩු ඉස්‌කෝලෙ කොහොම හරි හොඳ තැනකට ගේන එක. ඒ හීනය ටික දවසක්‌ යද්දී ඇත්තක්‌ වෙන්න ගන්නවා. ඊට පස්‌සෙ තමයි ඉස්‌කෝලෙට අලුත් ඉරක්‌ පායල අලුත් මල් පිපෙන්න ගන්නෙ.

එතැන ඉඳලා මේ කතාව කියන්නෙ එරියාව කනිෂ්ඨ විදුහලේ විදුහල්පති ආර්. එම්. තිලකරත්න මහත්තයා.

"2008 වර්ෂයේදී මම මේ පාසල භාරගන්නකොට මේක වසා දැමීමට නියමිත පාසලක්‌ ලෙස නම් කරලයි තිබුණේ. ඒ වෙද්දී විදුහලේ හිටියේ ළමයි දහදෙනයි. ගුරුවරු දෙන්නයි. ඒක ප්‍රමාණවත් මදි හින්ද මම අධ්‍යාපන බලධාරීන් මුණගැහිල විසඳුම් ඉල්ලුව. ලිපි මගින් ඉල්ලීම් කළා. ඒකෙ ප්‍රතිඵලයක්‌ විදියට 2010 වසර වෙද්දී මේ පාසල ඉංග්‍රීසි ප්‍රවර්ධන පාසලක්‌ ලෙස නම් කරනවා. ඒක අපට ලොකු ශක්‌තියක්‌ වෙනව. ඊට පස්‌සෙ නැවතත් දෙමාපියන් මුණගැහිල දරුවන්ව නැවත පාසලට යොමු කරවන්න ලොකු උත්සාහයක්‌ ගන්නව. කොහොම හරි ඒ උත්සාහයත් සාර්ථක වෙනවා. ඊට පස්‌සෙ ළිඳකට වතුර පිරෙනව වගේ බොහොම හෙමින් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වෙන්න ගන්නවා.

ඔය අතරේ තමයි 2010 වසර ශිෂ්‍යත්ව විභාගය එන්නේ. එවර ශිෂ්‍යත්වයට පාසල නියෝජනය කරමින් දරුවන් 20 දෙනෙක්‌ ඉදිරිපත් කරනවා. එයින් දෙන්නෙක්‌ ශිෂ්‍යත්වය සමත් වෙනවා. මොනවත් නැතිව හිටිය විදුහලට ඒක ලොකු ජයග්‍රහණයක්‌ වෙනවා. අපි තව තවත් කැපවීම් කරන අතරේ තමයි අමිල ප්‍රසාද් ජයසිංහ කියන තරුණ ගුරුවරයෙක්‌ අලුතින් පාසලට එන්නේ. එතනදී මම තීරණය කරනවා 5 වසර ශිෂ්‍යත්ව පන්තිය ඔහුට භාර දෙන්න. ටික දවසක්‌ යද්දී ඒකෙ ප්‍රතිඵලයක්‌ විදියට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිය දරුවන් 20 දෙනාගෙන් 9 දෙනෙක්‌ ශිෂ්‍යත්වය සමත් වෙනවා. එතනට එන්න ගුරු මණ්‌ඩලය විශාල කැප කිරීමක්‌ කරනවා.

මෙවර 2016 ශිෂ්‍යත්ව විභාගය තමයි එරියාව කනිටු විදුහල රටපුරා කතාබහට ලක්‌වුණ විදුහලක්‌ බවට පත් කරන්නෙ.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිය සිසුන් 31 දෙනාගෙන් 19 දෙනෙක්‌ ශිෂ්‍යත්වය ඉහළින් සමත් වෙනවා. ඒක සුළුපටු ජයග්‍රහණයක්‌ නොවෙයි. ප්‍රතිශතයක්‌ ලෙස ගත් විට ලංකාවේ පළමු ස්‌ථානය හිමිවුණේa අපට. ඒක විදුහලට පමණක්‌ නොවෙයි පළාතටත් ලොකු ගෞරවයක්‌. ශිෂ්‍යත්වය සමත් දරුවන් 19 දෙනා අතරින් ලකුණු 188 බැගින් ලබාගත් දරුවො දෙන්නෙක්‌ ඉන්නවා. ඊට අමතරව මුස්‌ලිම් ජාතික නිවුන් දරුවන් දෙදෙනෙක්‌ ඉන්නව. විශේෂයෙන් මෙහිදී සිහිපත් කළ යුතු වැදගත්ම දේ තමයි මගේ ගුරු මණ්‌ඩලය. එතනදීත් 5 වසර භාර අමිල ප්‍රසාද් ජයසිංහ ගුරුතුමා විශේෂයි. ඔහුගේ උත්සාහය තමයි මේ වගේ සාර්ථක ප්‍රතිඵලයකට යන්න දරු දැරියන්ට පාර පෙන්නුවෙ. අද වෙනකොට විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 113 ක්‌ අධ්‍යාපනය හදාරනවා. ගුරු මණ්‌ඩලය 7 දෙනෙක්‌ ඉන්නවා. අපි හැමෝගෙම කැපවීම තුළ අද වන විට අපේ විදුහල ඉතිහාසයේ පළමුq වතාවට සුවිශේෂී ජයග්‍රහණයක්‌ අත්කරගෙන තිබෙනවා."

විදුහල්පතිවරයා පවසන ආකාරයට එරියාව විදුහල මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලබාගත් ජයග්‍රහණයේ පෙර ගමන්කරු බවට පත් වී ඇත්තේ 5 වසර පංතිභාර ගුරුතුමා වන අමිල ප්‍රසාද් ජයසිංහ මහතාය.ඔහුගේ හඬ ද මෙහි සඳහන් කළ යුතුමය.

උසස්‌ අධ්‍යාපනයෙන් පස්‌සෙ මගෙ මුල්ම පත්වීම ලැබුණේ මේ විදුහලට. 2010.05.07 වැනිද මම වැඩ භාර ගන්න විදුහලට එන අතරමඟදි මුලින්ම මුණගැහුණේ වල් අලි. අපේ රටේ තියෙන දුෂ්කරම ගම්මානයක්‌ තමයි එරියාව. ඉතාමත් අහිංසක ළමයි පිරිසක්‌ එක්‌ක තමයි මට වැඩ කරන්න වෙන්නේ. ගමේ ගහකොළ වටපිටාව මේ හැම දෙයක්‌ එක්‌කම මට හැඟී ගිය කරුණක්‌ තමයි කොහොම හරි මේ දරුවන්ගෙ ඇස්‌ පාදන්න ඕන කියන එක.

එතනදී මම සම්මත කාල වෙලාවන්ට අමතරව මේ දරුවො අතරෙ රැඳෙමින් වැඩ කරන්න ගන්නව. පාසල පටන් ගන්නෙ උදේ 7.30 ට වුණත්, මම ශිෂ්‍යත්ව පංතිය උදේ 6.00 ට පටන් ගන්නවා. හවස 5.00 ට තමයි පන්තිය නිමා කරන්නෙ.දවල්ට කෑම දෙමාපියන් විසින් ගෙනත් දෙනවා. සෙනසුරාදා දිනයත් මේ දරුවො වෙනුවෙන් ම කැප කරනවා. අවසානයෙදි මේ වගේ ජයග්‍රහණයක්‌ විදුහලට අත්කරල දෙන්න හැකි වෙනවා. එතනදී විදුහල්පතිතුමා අනෙකුත් දරුවන් විශාල ශක්‌තියක්‌ වෙනවා. විශේෂයෙන් සිසු දරුවන්ගේ උනන්දුව දෙමාපියන්ගේ කැපවීම නිසා මේ ජයග්‍රහණය අපට ලබාගන්න පුළුවන් වුණා.

ගුරු ගීතයේ දුයිෂෙන් ගුරුතුමා අයිලයට පැමිණියා මෙන් එරියාව කනිෂ්ඨයට පැමිණි අමිල ප්‍රසාද් ජයසිංහ ගුරුතුමාත්, කටුක දුෂ්කර එරියාව ගම බුද්ධියෙන් අස්‌වැද්දීම පිණිස මේ වන විට ද අනවරත අරගලයකය. එරියාව කනිටු විදුහලේ දුප්පත් පංති කාමර මඟ බලා සිටින්නේ ද තව තවත් කැකුළු මල් මෙහි හොවා බුද්ධි සම්පන්න මිනිසුන් බවට පත් කිරීමටය. ඒ සඳහා ඔබ අපට ද දායක විය හැකි අවස්‌ථා ද බොහෝ ය. බීමට දිය පොදක්‌ නොමැති පොත්පත්, පෑන් පැන්සල් හිඟපාඩු ඇති පුස්‌තකාල පහසුකම් නැති මේ කිසිවක්‌ නැතත්a ඉගෙනීමේ දක්‍ෂතාවන් ඇති එරියාව දරුවන්ට ඔබටත් පිහිට විය හැකි නම් මේ එයට අවස්‌ථාවකි.

රුවන් ජයවර්ධන
දිවයින පත්‍රය
පසුබිම් වාර්තා, ඡායාරූප - ගල්ගමුව - සරත් ධර්මසිරි, හූරිගස්‌වැව - ඒ. කරුණාතිලක

1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete