20161222

රහත් නොරහත් කාටවත් - කියනු බෑ " දැන් මම රහත්. "


විනය රැකීම ශාසනයෙහි ආයුෂ ලෙස
බුදුන් වහන්සේ හැඳින්වූහ.

බුදු සසුනෙහි ශ්‍රාවකයෙකු ලබන
අග්‍රඵලය රහත් බවයි.

එසේ වුවද
විනයට අදාළව
භික්ෂූන් අතර රහතන් වහන්සේ
විශේෂ පුද්ගලයෙකු වශයෙන් නොසැලකෙයි.

රහත්වෙන තැනැත්තාගේ රහත් බව මත
ඔහු විශේෂ පුද්ගලයෙකු ලෙස සලකන්න්නට
විනය නීති නැත.
රහතන් වහන්සේද සාමාන්‍ය භික්ෂුවක මෙන්
විනය නීති රැකිය යුතුය.
විනයානුකූලව ඔහුට වඩා උසස් භික්ෂූන්ට
නිසි සැලකිලි කළ යුතුය.

කෙනෙකුගේ රහත් බව
සාමාන්‍ය ජනතාවට  උපාධියක් වැන්න.
ඔහුගේ උපාධිය නිසා
ඔවුන් උපාධිධරයෝ නොවෙත්.
උපාධියක් ඇති අයට
විශේෂ සැළකිලි කරන පිරිස්ද
සමාජයෙහි වෙසෙයි.
ඒ ඔවුන්ගේ හීනමානය මත කරන දෙයකි.

විනය නීති වලින් නිදහස් නැති
රහතන් වහන්සේලාගේ ක්‍රියාවන් මත
විනය නීති පැණවුණ අවස්ථාද ඇත.
ඒ නිසා මාර්ග ඵල ලැබීම
බෞද්ධ භික්ෂුවකට විනය නොසැලකීමට
හේතුවක් නොවෙයි.

සැබැවින්ම සිදු වන්නේ
කිසිදු චෛතසික බරක් වෙහෙසක් නැතිව
විනය නීති සියල්ල රැකීමට හැකි
කායික මානසික සංවරය
මග ඵල ලද කෙනෙකුට ඇති නිසා
විනය රැකීම ඔහුට සාමාන්‍ය දෙයක් වීමය.

අතිවිශාල විනය නීති අතර
පාරාජිකා හතර විශේෂ තැනක් ගණියි.
පාරාජිකාවක් නිසා
පැවිද්ද අහිමි කරගන්නා කෙනෙක්
නැවත මේ ජීවිතය තුළ
පැවිද්ද ලද නොහැකි අයුරින්
පරාජයට පත් වෙයි.

මම රහත්, මම සෝවාන් ආදී වශයෙන්
තමා ලද විශේෂ මග ඵල, ධ්‍යාන ආදිය ඇතැයි
නැති උත්තරී මනුෂ්‍ය ධර්මයන් ඇතැයි
මුලාවීමකින් හැර මුසාබසින් රැවටීම
පාරාජිකා වීමට එක් හේතුවකි.

උත්තරී මනුෂ්‍ය ධර්මයන් ඇති කෙනෙකු
තමන් තුළ ඇති ධර්ම තවෙකෙකුට කීම
වරදක් නොවන්නේ යැයි
යම් කෙනෙකු තර්ක කළ හැක.

එහෙත් 
රහත් වූ භික්ෂුවක් වුවද
පැවිදි උපසම්පදා වූ කෙනෙකුට හැර
ගිහියන්ට හෝ
උපසමපදා නොවූ සාමණේර භික්ෂූන්ට හෝ
උත්තරී මනුෂ්‍ය ධර්මයන් පැවසීම
පාරාජිකා නොවුවත් පචිති ඇවැතකි.

ඒ අනුව
තමන් රහත් යැයි ප්‍රසිද්ධියේ පැවසීම
රහත් වූ භික්ෂුවකට වුවද නුසුදුසු මන්ද
යන ගැටළුව අපට ඇති වේ.

මින් පළමුවැන්න විය හැක්කේ
තමන් රහත්යයි පවසන තැනැත්තා වටා
ඔහුගේ රහත් බවට ගෞරවයෙන් රැස්වෙන පිරිස් විසින්
අන් භික්ෂූන් හෙළා දැකීමයි.
මේ වරද සිදුවෙන අයුරු
අද අපට දකින්නට ලැබෙයි.

තමන් රහත්යයි ප්‍රසිද්ධියේ පවසන
සිරිධම්ම හිමිගේ ගෝලයන් විසින්
" අපේ ශාස්තෘ නම්
ජීවමාන සමන්ත භද්‍රයාණෝය.
සිද්ධාර්ථ ගෞතම මැරිලා"යි
බුදුන් වහන්සේට පවා අවමන් කරනු අප දකිමු.

එක් භික්ෂුවක් විශේෂ කරගෙන
විශේෂයෙන් සැලකීම
බුදු සමයෙහි පවා සිදුවූ සාමාන්‍ය දෙයක් වුවද
අන් භික්ෂූන් හෙළා දැකීම
සසුනට ආපත්තියකි.

තමන් රහත්යයි ප්‍රසිද්ධියේ පැවසීමෙන්
භික්ෂුවකට නුසුදුසු
ආපත්තිකර පරිසරයක් ඔහු වටා ගොඩ නැගෙන්නට
ඔහුගේ ප්‍රකාශය නිසා ඔහු ලබන
ලාභ සත්කාර හේතු වෙයි.

තුන් සිවුරත් පාත්‍රයත් ඇතිව
පියාපත් බර පමණක් ඇති කුරුල්ලෙකු මෙන්
නිදහස් ජීවිතයක් ගත කරන
සැබෑ රහතන් වහන්සේ කෙනෙකුට
මහේශාක්‍ය ජීවිතය අනවශ්‍ය බරකි.

ව්‍යාජ රහතෙක්
බොරු කියා ලබන ලාභ සත්කාර ආදිය
ඔහුගේ මාන්නය පිම්බීමට හේතු වන අතර
ඔහුගේ නොමනා හැසිරීම් නිසා
සැදැහැවත් ගිහියාත් භික්ෂුවත් අතර
සහ සබඳතාවය ගිලිහී
ගිහි පැවිදි දෙපිරිසටම අලාභ සිදු වෙයි.

සත්‍ය ධර්මය සොයන්නන් ඉදිරියේ
අභිමානයෙන් හැසිරීමට
ව්‍යාජ රහතෙකුට නොහැකි වෙයි.
ඔහු වටා රැස්වන්නේ ධර්මය මුවාවෙන්
වෙනත් මානසික සුඛ විහරණ සොයන
විකෘති ශ්‍රාවක පිරිසකි.

ව්‍යාජ රහතෙකුගේ
බොල් සිංහ නාදයෙන් පසු
සිදුවෙන විශාලම හානිය නම්
ඔහුගෙන් ධර්මය ලබන්නට එන
ඔහුට රැවටුණ පිරිස සොයන
ආකර්ශණීය ව්‍යාජ ධර්මයක්
පවතින ධර්ම ඇසුරෙන් තනා ගැනීමට
ඔහුට සිදු වීමයි.

මුලාවූ ශ්‍රාවක පිරිස
වෙනත් කෙනෙකු වෙත යා නොදී
ඔහු ඇසුරෙහිම රඳවා ගැනීමට
ඔවුන් ප්‍රිය කරන අලුත් තාලේ ධර්මයක් සකස් කොට
ඔවුන් පිනවීමට ව්‍යාජ රහතාට සිදුවෙයි.
දොළොස් මහේ පහන මෙන්
ඔවුන්ගේ ව්‍යාජ ශ්‍රද්ධාව  පවත්වා ගන්නට
විවිධ සංදර්ශන පවත්වන්නට සිදු වෙයි.

රහත් වූ කෙනෙකු වූ හෝ ව්‍යාජ රහතෙකු
රහත් බව කීම නිසා සිදු වෙන
තවත් වැදගත් සංසිද්ධියක් නම්
තවෙකෙකුගේ රහත් බව මතින්
තමන්ගේ රහත් බව සලසා ගන්නට සිතන
දේවවාදී ආකල්ප මත
යැපෙන්නට කේන්ද්‍රයක් සොයන කල්ලියක්
ඔහු වටා නිර්මාණය වීමය.

ව්‍යාජ රහතෙකු වටා
එක්වෙන පිරිස හැසිරෙන ආකාරයෙන්
ඔවුන් තර්ක කරන ආකාරයෙන්
තර්ක හිර වූ විට නින්දා අපහාස
අවලාද කරන ආකාරයෙන්
ඔවුන්ගේ නියමුවා රහත් වී නැති බව
මනාව පසක් වෙනවා.

ලාභ සත්කාර ගරු නම්බු සඳහා
තමන්ගේ උවමනාවෙන් රහත් කියා කියන කෙනෙක්
විනයානුකූලව වරදක් කරනවා.

රහත් වුණා කියන කෙනෙක්
පචිති ඇවැතක් නිතර නිතර නැවත නැවත බිඳිනවා නම්
ඔහු රහතෙකු වත් බෞද්ධ භික්ෂුවක්වත් විය නොහැකියි.

ඔහු සිහි මුළාවකින් කියනවා නම් හැර
ඔහු ඒ ප්‍රකාශය නිසා පාරාජිකා වූ කෙනෙක්.

No comments:

Post a Comment