20170605

ගංවතුර සුපර් ස්ටාර් – පාලිත තෙවරප්පෙරුම : කොපි කළ හැක සම කළ නොහැක

From http://www.amarasara.info/wordpress2/?p=19163

ඇමතිකම අමතක කර ගංවතුරට බැස මනුස්‌සකම බෙදාගත් පාලිත තෙවරප්පෙරුම

(04.06.2017 – divaina.com)
කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමපිළිබඳ නැවතත් රටම කතාබහ කරන්නට ගන්නේ ඉකුත්දා ඇතිවූ ආපදා තත්ත්වයත් සමඟ ඔහු විසින් විපතට පත් ජනතාව මුදාගනු පිණිස කරනු ලබන මහා කැප කිරීමත් සමඟය. බොහෝ මහජන නියෝජිතයන් මතු මහල්වල සිට ගංවතුර නරඹන වටපිටාවක මරණීය අවදානම සහිතව ගංවතුරට බහින නියෝජ්‍ය අමාත්‍ය තෙවරප්පෙරුම විපතට පත් මිනිසුන් බේරා ගන්නා අතර මරණයට පත් මිනිසුන් තම දැත් මතින් රැගෙන ගොස්‌ ඥාතීන්හට බාර දෙන්නේය. කුසට අහරක්‌, දිය බිඳක්‌ අහිමි මිනිසුන් අභියසට ගොස්‌ ඔවුන්හට සරණ වන්නේය. මෙය ලියන මොහොත වන (31 දා) වනවිටත් තම මෙහෙවර නොපිරිහෙලා ඉටුකරන නියෝජ්‍ය අමාත්‍ය තෙවරප්පෙරුම සමඟ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ඔහුත් සමඟ එම අත්දැකීම් බෙදා හදා ගැනීමේ අවස්‌ථාවක්‌ උදාවිය. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා තම අත්දැකීම් විස්‌තර කරන්නට වූයේ පහත පරිදිය.
‘විසිහතර වෙනිදා රෑ පටන් ගත්ත වැස්‌ස එළිවෙනකම් වැස්‌ස. පහුවෙනිදා උදේ පාන්දර පහවෙනකොට මිනිස්‌සු මට කතා කරන්න ගත්තා. ඒ වෙනකොට අපේ පළාතේ සෑහෙන ප්‍රදේශයක්‌ ගංවතුරට යටවෙලා ඉවරයි. මගේ ගේ ළඟ ඉඳලා කිලෝමීටරයක්‌ විතර දුරින් තියෙන මතුගම – කොළඹ ප්‍රධාන මාර්ගයේ පාන්තිය කියන ප්‍රදේශය පවා ඒ වෙද්දි ගංවතුරට යටවෙලා ඉවරයි. එහෙම වෙලාවක ගේ ඇතුලට වෙලා ඉන්න පුළුවන්කමක්‌ නෑනෙ. මම ගෙදර තිබුණ කෑමට ගන්න පුළුවන් සියලු දේ වාහනවල පටවගෙන එළියට බහිනව. හැබැයි මට මතුගම නගරයට යා ගන්නවත් බැරි වෙනවා. මගේ ජීප් එක වතුරට අහුවෙනවා. එහෙම ඉන්න අතරෙ තමයි නාවික හමුදාවෙ පිරිසක්‌ ට්‍රක්‌ රථයකින් විපතට පත් මිනිස්‌සුන්ව බේරගන්න එන්නෙ. මම ඒකෙ නැගල අගලවත්තට යනවා. ඒ ගියහම තමයි දැක්‌කෙ අගලවත්ත හොරණ මාර්ගය මුළුමනින්ම වතුරෙන් යටවෙලා තිබෙන විත්තිය. ඒක දැක්‌කම තේරුම් ගන්න පුළුවන් ඉන් එහා තියෙන වේයන්ගල්ල, කලවැල්ලාව මහගම වගේ ප්‍රදේශවල තියෙන්නෙ මොනවගේ තත්ත්වයක්‌ද කියල. මොකද ඒ අත්දැකීම් මීට පෙර අපි දැකලා තියෙනවනෙ. කොහොම හරි කරවටත් ගංවතුරෙ අපි කීප දෙනෙක්‌ එගොඩ වෙනව. හැබැයි ඒ වෙද්දි එන්න එන්නම ජල මට්‌ටම ඉහළ යමින් පැවතුනෙ. කොහොම හරි අපහසුවෙන් එගොඩ උනාට පස්‌සෙ ලැබුණ මුල්ම ආරංචිය තමයි වේයන්ගල්ලෙ මුස්‌ලිම් පවුලක්‌ නාය යැමක අහුවෙලා පස්‌යට වැලලිලා ඉන්නව කියන එක. එතන හත් දෙනෙක්‌ වැලලිලා තව තැනක තුන්දෙනයි. ඔක්‌කොම දහයයි.
“මේ මිනිස්‌සු ටික හොයාගන්න ඕනනෙ. අපි කරන්නෙ අවධානම බලන්නෙ නැතුව මේ අයව හොයන එක. උදළුවලින් පොළව හාරල මේ අයව හොයා ගත්ත. මුලින්ම කළේ මේ අයව පිඹුර රෝහලට රැගෙන යන එක. ඒ අයව අරන් යද්දී පිඹුර රෝහලේ විදුලිය නෑ. මුළු පළාතෙම විදුලිය බිඳ වැටිලා. රෝහලේ එක වෛද්‍යවරයයි හිටියෙ. මරණ පරීක්‍ෂකවරු නෑ. එක්‌කෙනෙක්‌ හිටිය එයා මොන මරණයක්‌ උනත් මිනිය කපල තමයි තමන්ගෙ වාර්තාව දෙන්නෙ.
රෝහලේ විදුලිය නැති පාර මම ජෙනරේටර් තිබෙන කාමරේ දොර ඇරල බැලුව. එතනදි තමයි දැන ගත්තෙ. මාස දෙකහමාරක්‌ තිස්‌සෙ ජෙනරේටරේ වැඩකරන්නෙ නෑ කැඩිල විත්තිය. හැබැයි ඒ කාමරේම අලුත් ජෙනරේටර් දෙකක්‌ තියෙනව අතවත් තියල නැති. පස්‌සෙ වෙන කරන්න දෙයක්‌ නැති තැන මම ඒ ජෙනරේටරයක්‌ ක්‍රියාත්මක කරල මුලින්ම රෝහලට විදුලිය දුන්න. ඊට පස්‌සෙ තමයි මරණ පරීක්‍ෂකවරයව හොයාගෙන යන්නෙ. ඒ ගිහින් කිව්ව “මීනී කපන්න ලැස්‌ති වෙන්න එපා. මේක ලොකු ව්‍යසනයක්‌ අධිකරණ වෛද්‍යවරු නෑ. ඒ හින්ද පොලිසිය ඉන්නව අපි ඉන්නව ගමේ මිනිස්‌සු ඉන්නව පුළුවන් තරම් ඉක්‌මනට මේ කටයුතු කරන්න’ කියල මරණ පරීක්‍ෂකවරයාව කැමැති කරවගෙන ඒ කටයුත්තට අත ගහනවා.
ඊට පස්‌සෙ මිය ගිහින් හිටපු සිංහල අය කීප දෙනාම මල් ශාලාවකට බාර දුන්න. මිය ගිහින් හිටපු මුස්‌ලිම් ජාතිකයන් හත් දෙනාව මහා ගංවතුරෙ බෝට්‌ටුවක දාගෙන ගිහින් මා විසින්ම ඒ අයගෙ ඥාතීන්ට බාර දුන්න. ඒ යුතුකම කරල ඊට පස්‌සෙ මාරගහදෙනියට ගියා. බදුරලිය මාරගහදෙනිය කියන්නෙ ගංවතුරෙන් හොඳටම බැටකෑ ප්‍රදේශයක්‌. ඒ වෙද්දි මගේ ආසනය වන බුලත්සිංහලට යන්න බෑ. මුළුමනින්ම යටවෙලා.
පළමුවෙනිද රෑ මුළුමනින්ම මා ඇතුළු ඒ ප්‍රදේශවල ගම්වාසීන් මගේ හිත මිතුරන් එකතුවෙලා කළේ විපතට පත් මිනිසුන්ට පිහිටවෙන එක.
ඊට පහුවෙනිදා උදේ පාන්දර අපි කරන්නෙ පුළුවන්තරම් කෑම බීමත් අරගෙන මාරගහදෙනිය ප්‍රදේශයට යන එක. ඒ ගිහින් සිංහලද, දෙමළද, මුස්‌ලිම්ද, කළුද, සුදුද කියල බලන්නෙ නැතුව ඒ අයට කන්න දුන්නා. ඒ වෙද්දි වේල් හතරක්‌ පහක්‌ ඒ අයට වතුරවත් නැතුව හිටියෙ. කාටවත් දොස්‌ කියනව නෙවෙයි. ඒ වෙද්දි මම ඔය කිව්ව පළාතට කවුරුවත් ගිහින් තිබුණෙ නෑ. බෝට්‌ටු කාරයොත් යන්න බයයි. ඒ ගිහින් ඉන්න අතරේ තමයි මෝල්කාව පරගොඩ ගමේ මනුස්‌සයෙක්‌ කතා කරල කිව්වෙ ඒ අයගේ ගමට දවස්‌ දෙකකින් වතුරවත් නෑ. දරු පැටව් හාමත් වෙලා තැන තැන වැටිල ඉන්නව කියලා.
පරගොඩ කියන්නෙ කුකුලේගම ජල යෝජනා ක්‍රමය පාමුල තියෙන ඉතාමත් දුෂ්කර ගමක්‌.
අපේ ඊළඟ අරමුණ වුණේ ඒ ගමේ කොටුවෙලා ඉන්න මිනිස්‌සු ටිකට කොහොම හරි උපකාරයක්‌ කරන එක. ඒ පාර අපි මොකද කරන්නෙ වතුර බෝට්‌ටුවයි. කෑම බෝට්‌ටුවයි. වියළි ආහාර බෝට්‌ටුවයි බෝට්‌ටු තුනක්‌ අරගෙන කැති මන්න පොරෝ පවා අරගෙන පැය අටක්‌ මහ ගංවතුරෙ බෝට්‌ටුවලින් ඒ මිනිස්‌සුන්ව හොයාගෙන යනවා. අපි යද්දි මුළු ගමම හිටියෙ පරන්ගොඩ ඉස්‌කෝලෙ මුළු පළාතම විනාශවෙලා ඉවරයි. මම විශ්වාස කරන විදිහට මම මගේ ජීවිතයේ ලබපු බිහිසුණුම අත්දැකීම තමයි ඒ ගමන. අපි ගඟ මැද්දෙ ඉන්නකොට ආරංචියක්‌ එනව කුකුලේගම බන්ට්‌ එක පුපුරල කියලා. මට මගේ ජීවිතය ගැන නෙවෙයි බය හිතුනෙ මගෙ එක්‌ක හිටිය අනෙක්‌ පිරිසට විපතක්‌ උනොත් කියන හැඟීම විතරයි මට දැනෙන්න ගත්තෙ. මොකද ඒ අය මේ ගමන එක්‌වෙන්නෙ මම හින්දනෙ.
ඔය වගේ අද වෙනකම් (31 දා) මට නින්දක්‌ නෑ හරියට කෑමක්‌ නෑ. මේ පළාතට (කළුතර දිස්‌ත්‍රික්‌කයට) වෙලා තිබෙන හානිය කොපමණද කියල කියන්න තවමත් කාටවත් බැහැ. මම කරන්නෙ මට පුළුවන් දේ. මගේ පළාතේ මිනිස්‌සුන්ට පුළුවන් විදියට කරන එක. එතනදි මට දේශපාලනය, කුලමල භේද ඇති නැතිකම් වැඩක්‌ නැහැ. මේක මනුස්‌සකම් එක්‌ක කරන ගනුදෙනුවක්‌ විතරයි.
දැඩි අවිවේකී බව මධ්‍යයේ දින හයක්‌ පුරා ඔහු විසින් කරනු ලැබූ සමාජ මෙහෙවර පිළිබඳ බිඳක්‌ අප හා ප්‍රකාශ කරමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම තම කථා බහ නිමා කළේය.
– රුවන් ජයවර්ධන
++++++++++++++++++++++++++++++++
ගංවතුර ස්ටාර් – පාලිත තෙවරප්පෙරුම : කොපි කළ හැක සම කළ නොහැක – චාමර ලක්ෂාන්ගේ සටහන
(03.06.2017 – 13:25 +0530 – lankaenews.com)
“සුළං මාරුවේදී” ඇතිවන තද වැස්ස කළුතර දිස්ත්‍රික්කයේ ජීවත් වන්නන්ට අමුතු දෙයක් නොවුණ ද මැයි 25 වැනිදා රාත්‍රිය පුරා නොනවත්වා ඇද හැලුණු අන්දමේ වැස්සක් හා ඒ ආශ්‍රිතව මතු වූ ගංවතුර බඳු තත්ත්වය ඉකුත් වසර තිස්පහ තුළ මා කිසි දිනෙක දැක නැත. ගේදොර වතුපිටි විනාශ කරලමින් මිනිස් ජීවිත බිලි ගනිමින් පැමිණි ඒ මහා දියකඳ කළ විනාශය සුළුපටු නොවේ. දැන් ගංවතුර අවසන් ය. හැමදාමත් සිදු වන ගංවතුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ දැන් ආරම්භ වී තිබේ. මෙවන් විපත් යළි ඇති වීම වැළැක්වීමට ගංවතුර පාලනය සඳහා ගන්නා බව කියන, ක්‍රියාමාර්ග පිළිබඳ උදාරම් කථාවලින් දැන් මාධ්‍ය අවකාශය පිරී පවතී. කඩවුණු පොරොන්දු බවට පත්ව ඇති එබඳු කථා පිළිබඳ සමාජ පිළිගැනීමක් මේ වන විට නැති තරම්ය. ඒ ගැන තවදුරටත් ලිවීම පවා ඵල රහිතය. ඒ නිසාම වෙනත් කාරණයක් පිළිබඳ ලිවීමට මේ සතියේ අප කල්පනා කළෙමු.
දින ගණනක් පුරා පැවැති ගංවතුර අතිමහත් විනාශයක් සිදුකළ මුත් එය “තරුවක්” බිහි කිරීමට සමත් විය. කඩපොළේ බස්රියේ, දුම්රියේ පමණක් නොව සයිබර් අවකාශය තුළ ද මේ දිනවල ජනප්‍රියම තරුව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමය. අපගේ සමාජීය මිත්‍රයකු සඳහන් කර තිබූ ආකාරයට ම “ගංවතුර ස්ටාර්” තෙවරප්පෙරුමය. දැන් රටම කථා කරනුයේ නිදි වර්ජිතව, කුසට අහරක් නොමැතිව, පාවහන් රහිතව ආපදා කළමනාකරණයේදී තෙවරප්පෙරුම කළ සුරවිරුකම් පිළිබඳවය. කථා කිරීමෙන් නොනැවතී, වත්මන් සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍යවරයාට රටේ ආපදා කළමනාකරණය පිළිබඳ වගකීම භාර දිය යුතු බවට ද ඇතැමුන් යෝජනාද ඉදිරිපත් කරමින් සිටිති. කෙසේ වෙතත්, පාලිත තෙවරප්පෙරුම ද දේශපාලනඥයකු බැවින්, ඔහුගේ මෙම හැසිරීම කිසිසේත්ම “අහිංසක” නොවන බව කියන, පිරිසක් ද සිටිති. දේශපාලනඥයන් “කැමරා” දෙස බලමින් ඒ ගැන අවධානය යොමු කරමින් සියල්ල කරන යුගයක ඉහත කී අන්දමේ විශ්වාසයක් යමෙකුට උපදවා ගත හැකි වුවද, පාලිතව හොඳින් දන්නා කෙනෙකු ලෙස, රඟපෑමකට එහා ගිය අවංකභාවයක් ඒ තුළ ඇති බව වගකීමෙන් යුතුව අපට පැවැසිය හැකි ය. ගංවතුරකදී, නායයෑමකදී තවත් සරලව කියතොත් ව්‍යසනයකදී පාලිතගේ මේ හැසිරීම මතුගම, අගලවත්ත, බුලත්සිංහල ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට ආගන්තුක වූවක් නොවේ. හැඩිදැඩි පෙනුමක් සහිත පාලිත, හිත හොඳ පුද්ගලයකු බව පක්ෂ, විපක්ෂ බේදයකින් තොරව කළුතර ජනතාව හොඳාකාරවම දනී. මාධ්‍ය කේන්ද්‍රීයව මෙවර, වැඩි ඉඩක් හිමි වූ මුත් මීට පෙර ද ඔහු අනන්තවත් මෙවැනි සිදුවීම්වලට සම්බන්ධ වී ඇත.









මීට වසර විසිහතරකට පෙර සිදු වූ සිද්ධියක් මේ ලියුම්කරුට හොඳහැටි මතකය. බස්නාහිර පළාත් සභා උණුසුමෙන් කළුතර දිස්ත්‍රික්කය ගිනියම්ව තිබූ මොහොතක සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවෙන් දින කිහිපයකට පසුය මෙම සිදුවීම සිදු වූයේ. මතුගම සිට අලුත්ගම දක්වා ධාවනය වෙමින් පැවති ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් වැලිපැන්න මුණමල්වත්ත පාලමෙන් ඇළට ඇද වැටිණි. මුණමල්වත්ත ඇළ, හිනිදුම කන්දෙන් පටන්ගෙන කළුවාමෝදරින් මුහුදට වැටෙන බස්නාහිර හා දකුණු පළාත් මායිම් කොට ගලා බස්නා බෙන්තර ග‍ඟේ අතු ගංගාවකි. මේ ඇළ, කිඹුලන් පිළිබඳ චිරප්‍රසිද්ධය. කදුරු ගෙඩියක් වැටුණු කල එය ඩැහැගැනීමට පොර කෑමට තරම් කිඹුලන් එහි සිටි බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ලංගම බස් රථය මුණමල්වත්ත ඇළට ඇද වැටීමෙන් දොළොස් දෙනකු පමණ ජල රකුසා එදා බිලිගත්තේය. කෙසේ වෙතත් බස් රථයේ ගමන් ගත් පිරිසක් තවදුරටත් ජීවිත බේරා ගැනීමට තරම් වාසනාවන්ත විය. තම ජීවිත අවදානම ද නොතකමින් ඇළේ ගිලීමෙන් සිටි පිරිස බේරා ගැනීමට පළමුව ඉදිරිපත් වූ දෙතුන් දෙනා අතර පාලිත තෙවරප්පෙරුම ද විය. නාවික හමුදා කිමිදුම්කරුවන් පැමිණීමට පෙර සිටම පාලිත ඇතුළු පිරිස කටයුතු කළ ආකාරය ගැන අදටත් ඇතැම්හු කෘතවේදීව සිහිපත් කරති.
පිහිනුම් තරගවලින් ජය ලබා නොතිබුණ ද පාලිතට වතුර සමඟ ඔට්ටු ඇල්ලීමේ හැකියාව හොඳින් පිහිටා තිබිණි. ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය ඇරැඹි මුල් කාලයේදී පාලිත නාවික හමුදා සෙබළකු ලෙස රාජකාරි සිදු කළේය. මහ මුහුද සමඟ පොර බැදූ ඔහුට ඇළදොළවල පිහිනීම යනු කජු කනවා වැනි වැඩක් විය. බොහෝ දෙනා නොදන්නා නමුදු පාලිත දක්ෂ කරාටේ ක්‍රීඩකයෙක් ද විය. ඔහුගේ කරාටේ ගුරුවරයා වූයේ අගලවත්තේ උඩවල තිස්ස මාස්ටර්ය. එකල පාලිත සමඟ කරාටේ ක්‍රීඩාව ප්‍රගුණ කළ තවත් අයෙක් වූයේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත අබේගුණවර්ධනය. කරාටේ පමණක් නොව චීනඅඩි සාස්තරෙන් ද පාලිත අගතැන්පත් කෙනෙක් විය. බර ඉසිලීම ඇතුළු කායවර්ධනය කෙරෙහි ද සැලකිලිමත් වූ බැවින් කැපී පෙනෙන පෙනුමක් පාලිත වෙතින් පිටතට දිස්විණි.
පාලිතගේ පියා හොඳ වාමාංශිකයකු වූ අතර, තරුණ පාලිත ද සමාජ සාධාරණත්වය පාදක කර ගත් එම නිර්ධන පාන්තික දේශපාලනයට ආසක්ත කළේය. පස්යොදුන් කෝරලයේ දේශපාලනය තුළ කැපී පෙනෙන නාමයක් වූ දිවංගත අනිල් මුණසිංහ මහතා සමඟ දේශපාලනයේ නිරත වෙමින් දේශපාලනඥයන් හා ගනුදෙනු කිරීම ඇරැඹූ පාලිත, අනතුරුව රාජිත සේනාරත්න හා මහින්ද සමරසිංහ යන එසමයෙහි එජාප දේශපාලනයේ නිරත වූ දේශපාලනඥයන් වෙතට සමීප විය. නාමධාරී දේශපාලනඥයන් තිදෙනකු සමඟ කටයුතු කළ පාලිත පළමුව ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ 2002 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේදීය. අවසාන මොහොතේදී අපේක්ෂක ලැයිස්තුවට ඇතුළු වූ මුත් මැතිවරණ ජයග්‍රහණය ඔහුට කජු කනවා වැනි වැඩක් විය. වසර ගණනාවකට පසු එම මැතිවරණයේදී මතුගම ප්‍රාදේශීය සභාවේ බලය එජාපයට හිමි වූ අතර, පාලිතව එහි සභාපති ධුරයට පත් කිරීමට මහින්ද සමරසිංහ එවකට සිටි කම්කරු ඇමැතිවරයා කටයුතු කළේය. නමුත්, පරිපාලනමය කටයුතු පිළිබඳ කිසිදු අත්දැකීමක් නොතිබුණු පාලිත නව තනතුරේ දිවුරුම් දීමට අදිමදි කළේය. තනි තීරණයක් ගත නොහැකි තැන ඔහු උපදෙස් සොයා කිහිප දෙනකු වෙත ගියේය. හිටපු කළුතර නගර සභාපති නීතිඥ කිංස්ලි වික්‍රමසිංහ මහතා වෙත ද ගිය පාලිත සභාපති ධුරය භාරගැන්මට ඇති තම අකමැත්ත ඔහුට පැවසුවේය.
“සර්, මට මේක භාරගන්න බැහැ. මම මොනවත් ඒ ගැන දන්නේ නැහැ” යනුවෙන් තෙවරප්පෙරුම කියද්දී කිංස්ලි වික්‍රමසිංහ මෙසේ පැවසුවේය. “ඒක තමා ඔයාට තිබෙන සුදුසුකම. ඔයා දන්නේ නැහැ කියන එක දන්නවා. ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්. ඔයා මේ තනතුර භාරගන්න.” කිංස්ලි වික්‍රමසිංහ සඳහන් කළේය. පාලිත කෙතරම් ප්‍රායෝගික මිනිසකුදැයි ප්‍රදේශයේ ජනතාව දැනගත්තේ ඔහු මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති වූ පසුය. හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම පවා සඳහන් කරන ආකාරයට ඒ සමය මතුගම ප්‍රාදේශීය සභා ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස අදටත් සැලැකේ.
ප්‍රාදේශීය සභා සභාපතිවරයා ලෙස ශීත කාමරවලට වී කාලය ගත කිරීම ඔහු පිළිකුල් කළේය. ඒ වෙනුවට ඔහු වැඩි බරක් තැබුවේ ප්‍රායෝගිකත්වය කෙරෙහිය. කසළ රැගෙන යන ට්රැක්ටරයේ රියැදුරු නොමැති විට ඔහු එහි රියැදුරා විය. පොදු වැඩ කටයුතුවලදී කම්කරුවන් සමඟ උරෙන්උර ගැටී ඔහු වැඩ කළේය. පාලිතගේ මෙම හැසිරීම තුළ පොදුවේ මතුගමට වාසියක් වූ අතර එය ඔහුව දේශපාලනිකවද ශක්තිමත් කළේය. ක්‍රියාකාරී දේශපාලනයට පිවිස වසර 15ක් තුළ පාලිත පැමිණි ගමන දේශපාලන හිණිම‍ගේ ඉහළට නැඟීමට අපේක්ෂාවෙන් පසුවන ඕනෑම ආධුනික දේශපාලනඥයකුට හොඳ පාඩම් පොතකි. ඥාති සම්බන්ධතා නායකත්වය සමඟ ඇති සම්බන්ධය, ධනවත්කම් ආදි සාධක කිසිවක් නොමැතිව කිසිවකුගේ වාරුවකින් තොරව තම ශක්තිය මතින් පැමිණි ගමනක් ලෙස එය නම් කිරීම අතිශයෝක්ති වර්ණනාවක් නොවේ.
කළුතර දිස්ත්‍රික්කයේ සෙසු දේශපාලනඥයන්ට සාපේක්ෂව පාලිත අවංක චරිතයක් බව පොදු පිළිගැනීමය. අතරමැදියන්ගේ සහාය නොමැතිව දවසේ ඕනෑම මොහොතක දුරකථනයෙන් හෝ ඔහුව පහසුවෙන් සම්බන්ධ කර ගත හැකිය. මේ සියලු කාරණා පෙන්වනුයේ දේශපාලනඥයකු ලෙස ඔහුගේ සරල බව මිස වෙ‍ෙනකක් නොවේ. සියල්ලටම වඩා වැදගත් වනුයේ ඔහු ජාතිවාදියකු නොවීමය. සිංහල ඡන්දදායකයන් අතර මෙන්ම දෙමළ මුස්ලිම් ඡන්දදායකයන් අතරද ඔහු අතිශයින් ජනප්‍රියය. 2014 වසරේ ජුනි මාසයේදී අලුත්ගම දර්ගා නගරය ජාතිවාදී ගින්නෙන් වැසී යද්දී ඊට එරෙහිව ප්‍රසිද්ධියේ පෙනී සිටීමට තරම් ධෛර්යයක් තිබූ සිංහල සමාජයේ කිහිප දෙනා අතර පාලිත ඉදිරියෙන් විය. අන්තවාදීන් පිරිසකට මැදිව සිටි මුස්ලිම් කාන්තාවන් පිරිසක් බේරා ගැනීමට පාලිත එවර ඉදිරිපත් වූයේ තම දිවි පවා නොතකමිනි. ප්‍රසිද්ධිය, ප්‍රචාරයට වඩා ඔහුට අවශ්‍ය වූයේ විපතට පත් ජනතාවට පිහිට වීමටය.
යමකුට මෝඩකමක් ලෙස පෙනුණ ද ඔහු නිතරම අවදානම දෝතින් භාර ගත්තේය. තම අනුගාමිකයන් වෙනුවෙන් හැම විටම පෙනී සිටියේය. ඔවුන්ව තනි නොකළේය. මීට වසර 16කට පෙර සිදු වූ සිදුවීමක් මේ මොහොතේ මට සිහිපත් වේ. මැතිවරණයක් කැඳවා තිබූ ඒ අවස්ථාවේදී දොඩම්ගොඩ ප්‍රදේශයේ එජාප කාර්යාල කිහිපයකට සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල වී තිබිණි. එය මෙහෙයවා තිබුණේ හොරකම හා මැරකම සම්බන්ධයෙන් අපකීර්තිමත් වාර්තාවක් සහිත මේ මොහොතේත් රටේ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන දේශපාලනඥයෙකි. පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේ පොලිස් ස්ථානයේ රැඳී සිටි කළුතර පොලිස් අධිකාරිවරයා එය ඒ හැටි ගණන් නොගත්තේය. එම හැසිරීම පාලිතගේ “රතු කට්ට” පැන්නවීමට සමත් විය. ඒ වන විට පාලිත අවම තරමින් පළාත් සභා මන්ත්‍රීවරයකුවත් නොවීය.
දැඩි කේන්තිය මැද, තමන් හා මුහුණට මුහුණ සටනකට පාලිත පොලිස් අධිකාරිවරයාට අභියෝග කළේය. නූතන හින්දි චිත්‍රපටයක දර්ශනයක් සිහිගන්වමින් අනතුරුව සිදු වූ ද්වන්ධ සටනේදී පාලිත තමන් ප්‍රගුණ කළ කරාටේ, චීනඅඩි සාස්තරයෙන් පහර කිහිපයක් පොලිස් අධිකාරිවරයාට එල්ල කළේ විදුලි කොටන්නාක් මෙන් වේගයෙන්ය. එක දිගට නොනවත්වා එල්ල වූ ප්‍රහාරයෙන් පොලිස් අධිකාරිවරයාගේ කමිසයේ තිබු තරු පදක්කම් පමණක් නොව ඔහු පැලඳ සිටි සෑම් බ්‍රවුන් වර්ගයේ බඳ පටිය ද කැඩි විසිවී ගියේය. තම ඉහළ පොලිස් නිලධාරියා අඩපණ වෙද්දී දුසිමකට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ පාලිතව, “ආම්බාම්” කළහ.
මතුපිටින් පාලිත තෙවරප්පෙරුම දෙස බලන ඇතැමුන් ඔහුට බේබද්දකුගේ “මුද්‍රාව” එල්ල කරනමුත් අදටත් මතුගම නගරයේ තැබෑරුමක් නොමැති වීමේ ගෞරවයෙන් කොටසක් පාලිතට හිමි විය යුතුය. අනූ ගණන්වලදී අනිල් මුණසිංහ මහතාගේ මැදිහත් වීම තුළ තැබෑරුමක් සඳහා බලපත්‍රයක් ලබාදීමට යෝජනා වූ අවස්ථාවේ ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා සමඟ එක්ව පාලිත ප්‍රබල විරෝධතාවක් දියත් කරන ලදී. එම විරෝධයේ තිබු ප්‍රබලත්වය නිසාම තැබැරුම් යෝජනාව අකුළා ගැනීමට අවසානයේ සිදු විණි.
පාලිතගේ දේශපාලනය තුළ ඔහුට ආවේණික වූ දුර්වලතා ද නැත්තේ නොවේ. ඒ අතරින් ප්‍රධානතම වනුයේ බුද්ධියට වඩා ඔහු ඇ‍ඟේ හයිය මත විශ්වාසය තබා කටයුතු කරන්නකු වීමය. එවැන්නෝ ස්වභාවයෙන්ම හැඟුම්බරය; හිතුවක්කාරීය; ආවේගශීලීය; අවසාන ප්‍රතිඵලය පිළිබඳව තාර්කිකව ගණන් බැලීමක් නොකරති. පාලිත ද එවැන්නෙකි. එසේ නමුත් පාලිත තෙවරප්පෙරුම මේ වන විට යම් දේශපාලන සාර්ථකත්වයක් ලබා ඇත්නම් ඊට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ ද ඔහුගේ මේ “හදිස්සියය.” එය හොඳට මෙන්ම නරකට ද ඔහුට ප්‍රතිඵල ගෙන ආවේය. ඕනෑම දෙයක් පිළිබඳව ඔහුගේ ප්‍රතික්‍රියා වේගවත් විය. යම් කාරණයක් දෙස බැලීමේදී කිසි විටෙක පිටවීමේ දොරටුව කෙරෙහි ඔහු අවධානය යොමු නොකළේය. එය බදුරලිය රෝහල විවෘත කිරීමට ඔහු කළ මාරාන්තික උපවාසය මෙන්ම සුප්‍රකට මීගහතැන්න සිදුවීමේදීත් දැකගත හැකිය.
නායකයකු මොළයට වඩා හදවත කෙරෙහි වඩා විශ්වාසය තැබීම ප්‍රඥාඝෝචර නොවන බව මා පවසන්නේ නැත. පුද්ගලයකුගේ ඉදිරි ගමන මොළය නිසා සිදු වුවද ප්‍රජාවකගේ ඉදිරි ගමන හදවත නිසා සිදුවන බව මා විශ්වාස කරන්නෙමි. පාලිතගේ මේ දඩිබිඩි හැසිරීම ප්‍රජාවට පාඩුවක් නොවූ බව පවසන්නේ එහෙයිනි.
කොපි කළ හැක සම කළ නොහැක
ගංවතුරත් සමඟ පාලිත ශිල්ප දැක්වීමට පටන්ගත් පසු තවත් බොහෝ දේශපාලනඥයන්ද ඔහු අනුකරණය කිරීමට පටන්ගෙන තිබිණි. අසීරුවෙන් භාණ්ඩ කර මතින් ඔසවාගෙන යන දර්ශන, කර මතින් වැඩිහිටියන් ඔසවාගෙන යන දර්ශන “ෆේස්බුකියෙ”හි වැසි වසා තිබිණි.
නමුත් ඒ බොහෝ ඡායාරූප තුළ දක්නට ලැබුණේ අව්‍යාජ බව වෙනුවට කෘතිම බවකි. තෙවරප්පෙරුමගේ ස්වාභාවිකත්වයට ළං වීමට ඒ කිසිවකුට නොහැකි වී තිබිණි. කොට කලිසමක් ඇඳගෙන වියපත් කාන්තාවක ඔසවාගෙන යන මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඡායාරූපයක් මම අන්තර්ජාලයේ දුටුවෙමි. මන්ත්‍රීවරයා එම වයෝවෘද්ධ කාන්තාවව ඔසවාගෙන යද්දී එම ස්ථානයේ දණහිස අසලට හෝ වතුර නොතිබිණි. එවැනි ඡායාරූපයක් දුටු පසු මට සිහි වූයේ ත්‍රීරෝද රථයක පසුපස සඳහන් කර තිබූ “කොපි කළ හැක සම කළ නොහැක” යන වැකියය. ගංවතුර ආපදා කටයුතුවල නිරත වෙමින් සිටි අවස්ථාවේදී මේ ආකාරයට ගංවතුර නිරීක්ෂණය කරමින් බොර දියේ මාළු බෑමට උත්සාහ කළ දේශපාලනඥයන් ගණනාවක්ම මම දුටුවෙමි. ඒ ඇතැමුන් රථ පෙළපාළිවලින් විපතට පත් ජනතාව සිටි ස්ථානවලට පැමිණ සිටියේ බත් පැකට් දහයක්, පහළොවක් බෙදමින් ඡායාරූපයක් ගැනීම වැනි සිල්ලර අරමුණු පෙරදැරිවය. එබඳු පසුබිමක පාලිතගේ හැසිරීම වඩාත් ඉදිරිගාමීය. පාලිත පමණක් නොව තවත් දේශපාලනඥයන් ගණනාවක්ම විපතට පත් ජනතාව වෙනුවෙන් සාධනීය මැදිහත් වීමක් කරන ආකාරය මම සියැසින් දුටුවෙමි. නමුත් එක් දෙයක්නම් පැහැදිලිය. ඒ සඳලුතලයෙන් බැසීමට ඔවුන්ට පාර පෙන්වූයේ පාලිත තෙවරප්පෙරුම බවය.
පාලිතට ලබා දී ඇත්තේ සංස්කෘතික නියෝජ්‍ය ඇමැතිකමය. කටේ බ්‍රේක් නැති ඔහු රටේ සංස්කෘතිය නඟා සිටුවීම වෙනුවෙන් කළ කෙංගෙඩියක් ගැන මා නම් දන්නේ නැත. අනෙක් අතට, පාලිත වැනි මහ පොළොවේ පය ගසා සිටින දේශපාලනඥයකුට ගැළපෙනුයේ සංස්කෘතිය වැනි විෂයයන් නොවේ. එවැන්නන්ට ගැළපෙනුයේ ප්‍රවාහනය, මහාමාර්ග, ආපදා කළමනාකරණය, නිවාස වැනි “ෆීල්ඩ්” එකට සම්බන්ධ විෂයයන්ය. කෙසේ නමුත් ඇමැති තනතුරු පිළිබඳ තීරණය කරනුයේ අප නොව ඉහළ දේශපාලන අධිකාරියන්ය. ඒ පිළිබඳව අපට කළ හැක්කේ යෝජනා ඉදිරිපත් කිරීම පමණකි.
පාලිත පසුගිය මහ මැතිවරණයේදී තම තේමා පාඨය ලෙස කළුතර ජනතාව වෙත ඉදිරිපත් කළේ  “දිනවමු මනුස්සකම” යන්නය. සංස්කෘතික නියෝජ්‍ය ඇමැති ධුරයේ සිට පාලිත කළ කී දෑ ගැන අපට ඒ හැටි අසන්නට දකින්නට නොලැබුණත් ඔහු මනුස්සකම දිනවීමට නම් පසුගිය වසර දෙක තුළ උපරිමව කටයුතු කර තිබේ. ඒ මිනිසත්කමේ පොහොසත්කම පසුගිය ගංවතුර අවස්ථාවේදීත් රටට ප්‍රායෝගිකව නොඅඩුව දැකගන්නට ලැබුණි.
– චාමර ලක්ෂාන් විසිනි

============================

උපාධියක් නැති වුණාට මට තියෙන අත්දැකීම් බොහෝ දේශපාලකයන්ට නෑ – තෙවරප්පෙරුම


පසුගියදා සිදු වූ ආපදා තත්ත්වයේදී ජනතාවට සහන සලසන්නට වඩාත් ක්‍රියාකාරි වූ ජනතා නියෝජිතයෙකු වූයේ වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතායි.
ව්‍යසනයට පත් සහෝදර ජනතාවට සහන සලසන්නට කැපවෙමින් දැඩි අවිවේකි බවකින් කටයුතු කළ ඔහු සමග ඉඩ ලද මොහොතක සිළුමිණ කළ සංවාදයකි මේ.
* ආයුබෝවන් නියෝජ්‍ය ඇමතිතුමා
ආයුබෝවන්
* ගංවතුරට බරටම වැඩ කියලා තමයි ආරංචිය. කොහොමද වැඩ කටයුතු.
මගේ ජීවිත කාලයේ දැකපු අපේ පළාතට බලපාපු ලොකුම ව්‍යසනය තමයි මේක. පුළුවන් උපරිමයෙන් විපතට පත් වූවන්ට සහන සලසන්න කටයුතු කරනවා.
* මේක ඔබතුමාගේ අනාගත දේශපාලන ව්‍යාපාරයට ලොකු ශක්තියක් වෙනවා කියලා තමයි ආරංචිය.
මම දේශපාලඥයෙක් තමයි. නමුත් දේශපාලනය මෙතනදී මට අදාළ නෑ. මම මේවා කරන්නේ ඡන්ද බලාගෙන නොවෙයි. මම මේ ගංවතුරට යටවුණු, නාය යෑමට හසුවුණු ජනතාව බේරාගන්න ගියේ කිසිම පාට පක්ෂ බේදයක් නැතිවයි. ඒ වගේම ජාති ආගම් බේදයක් නැතිවයි.
මට වියන්ගල්ල මුස්ලිම් ජනතාවත්, මාරගහදෙනිය දෙමළ ජනතාවත් , පාහියන්ගල සිංහල ජනතාවත් එකයි. අපි ඔක්කොම මනුෂ්‍යයෝ කියන එකයි මට වැදගත් වුණේ. ජනතාවගේ කඳුළ, වේදනාව තුළින් මනාප ගොඩ වැඩිකරගන්න තරම් මම බංකොලොත් දේශපාලඥයෙක් නෙවෙයි. ඒක මේ පස්දුන් රට ප්‍රධාන කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා.
* මේ හදිසි ආපදා තත්ත්වයට මුහුණ දෙන්න අදාළ වගකිව යුතු ආයතන වලින් ලැබුණ සහන ගැන කිවුවොත්
අපේ රටේ ආපදා කළමනාකාරණය වෙනුවෙන් පිහිටුවලා තියෙන රාජ්‍ය ආයතනවල තත්ත්වය ගැන නම් මට කිසිම ලෙසකින් සතුටු වෙන්න බෑ. මේ අනතුර විතරක් නෙවෙයි මීට මාස එකහමාරකට පෙර මතුගම තවුන්තුඩුව ප්‍රෙද්ශයේ පාර හරහා විශාල ගසක් වැටුණු වෙලාවෙයි මම ඒක තේරුම් ගත්තේ. මාර්ගය අවහිරයි ගහක් වැටිලා කිවුවම ආපු ආපදා නිලධාරි ළඟ චේන් ෂෝ එකක් තියා කැත්තක් පිහියක් වත් තිබුණෙ නෑ එදයි මම තේරුම් ගත්තේ අපේ ආපදා කළමනාකරණය ආයතනවල තත්ත්වය.
* මෙවැනි ආපදා සිදුවෙන්න බලපාන හේතු ලෙස ඔබ හදුනා ගන්නේ මොනවාද?
අපේ රටේ නිසි ක්‍රමවේදයකට , පිළිවෙළකට ක්‍රියාත්මක වෙන ජාතික වැඩ පිළිවෙළක් නොමැති කමත් මේකට ප්‍රධානම හේතුවයි. ඒ වගේම රටේ ජනතාවගේ ආකල්පත් මේකට බලපෑමක් කරනවා. අපි දන්නවා සුනාමි ආපු වෙලාවේ මුහුදු සීමාවේ හිටපු අය ඉන් ඉවත් වුණා.දැන් ටික කාලයක් යන කොට ඒක අමතකයි. නැවත මුහුද අයිනෙත් ගෙවල් හදාගෙන ඉන්නවා සමහර අයට රජයෙන් දීපු ගේ පුතාට හරි දුවට හරි දීලා මහ ජෝඩුව ආයෙමත් අර පරණ තැනට ගිහිල්ලා. මේක තමයි ඇත්ත
* නමුත් මෙවර ආපදා තත්ත්වයට පෙර ජනතාව දැනුවත් කළා නේද?
ඔව් එහෙම දැනුවත් කරපු ප්‍රදේශ තිබුණා. ඒත් සමහර අය ඒක ගනන් ගත්තේ නෑ. ඒකට හොඳම උදාහරණයක් තමයි වියන්ගල්ලේ දරුපවුලත් නාය යෑමට හසුවුණා. තාත්තා බේරුණා ඒ දරුවො දෙන්නගේ මීනි දෙක ඒ තාත්තයි මමයි අරගෙන යන කොට අපිත් එක්ක ගිය පොලිසියේ සාජන් මහත්තයා ඒ තාත්තගෙන් ඇහුවා මම ඇවිල්ලා ඊයේ ඔයාලට කියලා ගියා නේද ඔය ගෙදර ඉන්න එපා කියලා. ඒ තාත්තට උත්තර නැතිව ගියා.
* ජනතාව ගෙවල් වලින් ඉවත් වෙන්න කිවුවට කොහෙටද යන්නේ කියන එක ප්‍රශ්නයක් නේද?
ඒකත් අපේ ආපදා කළමනාකරණයේ තියෙන එක අඩුවක්. ජනතාවට අවදානම් කියලා ගෙවල් වලින් ඉවත්වෙන්න කියන කොටම කොහේද ආරක්ෂිත ස්ථාන එතනට යන්න කියන එකත් කියන්න පුළුවන් වෙන්න ඕන. ඉදිරියේදීවත් එහෙම සැලසුම් එක්ක වැඩ කරන්න වෙනවා. එහෙම වුනොත් මීට වඩා ජීවිත හානි අවම කරගන්න පුළුවන්.
* කළුතර දිස්ත්‍රික්කය ප්‍රධාන බුලත්සිංහල ආසනයේ ජනතාවගේ ජන ජීවිතය ගොඩ නැගීමේ විශේෂ වැඩ පිළිවෙලක් තියෙනවාද?
මේක කියන තරම් ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. මොකද විශේෂයෙන්ම බුලත්සිංහල ආසනයේ සිදුවෙලා තියෙන විනාශය ඒ තරම්ම විශාලයි. ‍ෙවල්ගම ප්‍ර‍ෙද්ශ‍ෙය් මාර්ග සම්පූර්ණයෙන්ම විනාශවෙලා. ඒවා වෙනුවට විකල්ප මාර්ග ඉදිකරන්න ඕන. ජනතාවගේ විනාශ වූ දේපල තක්සේරු කරන ඕන. කඩිනමින් එහෙම තක්සේරුවකට ගිහිල්ලා ඒ ජනතාව නගා සිටුවන සුවිශේෂි වැඩපිළිවෙළකින් ඔවුන්ගේ ජීවන උපාය මාර්ග ආරම්භ කරන්න ඕන. සහනාධාර මල්ලෙන් බත් පැකට් එකෙන් ඔබ්බට ගිහිල්ලා ඔවුන් දෙපයින් නඟා සිටුවන වැඩ පිළිවෙලක් ඕන.
* මේ ආපදා තත්ත්වයේදී රාජ්‍ය නිළධාරින්ගෙන් නිසි සහයෝගය ලැබුණෙ නෑ කියන්නේ ඇත්තද?
හැම රාජ්‍ය නිලධාරියෙක්ම එහෙම කළා කියලා මම කියන්නේ නෑ. ඒත් තවම සමහර ගම් තියෙනවා ග්‍රාම සේවක රාළහාමි නොගිය ඒවා. ඇතැම් රාජ්‍ය නිළධාරින් මේ වෙලාවේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න උත්සහ කරනවා. සමහර නිලධාරින් ගම්වලට ගිහිල්ලා කියනවා මහින්ද රාජපක්ෂගේ කාලයේ මෙහෙම වුණේ නෑ කියලා. එහෙම කකුල් දෙක දෙපැත්තේ තියාගෙන වැඩ කරන නිලධාරි පිරිසකුත් ඉන්නවා. ගෝල්ෆේස් ගිය අයට විශේෂ සැලකිලි දක්වන්නට යනවා. යු.එන්. පී කාරයා යූ. එන්. පී. කාරයාට සලකන්න හදනවා. කවුරු කළත් මේවා වැරදි වැඩ.
* මේ ආපදා තත්ත්වයේදී රජයේ මැදිහත් වීම ප්‍රමාණවත් නැහැ කියලා නැගෙන චෝදනාව ඔබ දකින්නේ කොහොමද?
මම මුලින් කිවුවා වගේ අපේ කාලයේ අපි අත් විඳපු බිහිසුණුම අත්දැකීම මේකයි. මේකට විසඳුම් ඇලඩින්ගේ පුදුම පහනෙන් දෙනවාවගේ දෙන්න බෑ. එදා ඇතිවුණ තත්ත්වයට ඔය චෝදනා කරන බොහෝ අය මුහුණ දුන්නේ නෑ. යන්න පාරක් තොටක් නෑ. හතර පැත්තෙම මහ මුහුද වගේ. පණිවුඩයක් දෙන්න විදියක් නෑ. විදුලිය විසන්ධි වෙලා ඒ ඇතිවුණ තත්ත්වයත් එක්ක මේ තරමෙන් ගොඩ දාගත්තා හොඳටෝම ඇති. අපේ රටේ මිනිසුන්ට හැමදේම නිකන් ලැබෙනවානම් කොච්චර දුන්නත් මදි. මම මේ කියන්නේ ඇත්ත. මුලින්ම කිවුවේ අපි වහලවල් උඩ අපිව බේරගන්න කියලා. ඊළගට කිවුවේ අපට කන්නයි වතුරයි ඕන කියලා. දැන් බත් පැකට් එකෙන් එහාට ගිහිල්ලා වියළි සලාක මල්ල තමයි ඉල්ලන්නේ.ව්‍යවසනයේදී හැමෝම උදවු කළා. ඒ ඇති. අපි දැන් දෙපයින් හිටගන්න ඕන කියලා හිතන අය බොහොම අඩුයි. එහෙම සමාජයක් ගොඩ නගන්න අවශ්‍ය පරිසරය හදන එකයි රජයේ වගකීම.
* පස්දුන් රටට බලපෑ ව්‍යවසනයට ප්‍රධාන හේතුව කුකුලේ ගඟ ව්‍යාපෘතිය කියලා නඟන චෝදනාව ගැන ඔබේ අදහස කිවුවොත්
ඒක බොරුවක් නොවෙයි. ඒක තමයි මේ ව්‍යවසනයේ මූලික හේතුව. කුකුලේ ජලාශය පිරෙන කොට වැඩිවන වතුර පහලට ගෙන යන්න ක්‍රමවත් වැඩ පිළිවෙලක් හදන්න තවම බැරි වෙලා. වතුර පිරුණ ගමන් ජලාශයේ දොරටු ඇරලා කිසිදු වග විභාගයක් නැතිව කටයුතු කරලා හරියන්නෙ නෑ. 2003 දී ත් ඇතිවුණු ගංවතුර හේතුව මේ ජලාශයයි.මෙවර නාය ගිය කන්දෙ පස් ගඟට වැටිලා ගඟ අවහිර වීම නිසා වතුර ගම් බිම් යට කරගෙන පහළට ගලා යෑමෙන් අනතුරු දෙගුණ තෙගුණ වුණා. මේ වෙනකොට වෙල්ගම කන්දක නාය යෑමේ අනතුරක් තියෙනවා කියලා දැනුම් දීලා. ඒ කන්ද නාය ගියොත් වැටෙන්නේ ගඟටයි එහෙම වුණොත් වෙන්නේ ගඟ දෙගොඩතලා ගිහිල්ලා ගං බිම් යට වෙන එකයි.
* මේ නායගිය ප්‍රදේශවල නැවත ජනතාව පදිංචි කිරීම මේ ප්‍රශ්නය අනාගතයට උරුම කිරීමක් නේද?
පැහැදිලිවම මම කියනවා. මම නියෝජනය කරන බුලත්සිංහල ආසනයේ නාය ගිය තැන් ඔක්කොම හඳුනාගෙන අපි ඒවාට ඉඩම් ලබා දුන්නේ මේ ආපදාවට පෙරයි. සජිත් ප්‍රේමදාස අපේ නියෝජ්‍ය නායකතුමා‍ෙග් මැදිහත්වීඹ ලබාගෙන අපි නිවාස ව්‍යාපෘතියක් පටන් ගත්තා. එහි පළමු පියවර ගල්වතුරේ නිවාස විසිපහක් හැදුවා. එහිදි අපි රජයෙන් ලක්ෂ හතරක නිවාස ණයක් දුන්නා. විදුලිය දුන්නා ජලය දුන්නා. ඒ අනුව ඒ ඉඩම්වල තමන්ගේ හැකියාව අනුව ලක්ෂ විස්සේ විසිපහේ ගෙවල් පවා හැදුවා. ඒත් තවම ඒ නිවාසවලට ඇවිල්ලා නෑ. අර පරණ තැනම ජීවත් වෙනවා. ඉදි‍රියේදී මේ සඳහා දැඩි නීතිරීති ක්‍රියාත්මක කරන්න වේවි.
* ආපදාවට පත්වූ පසු ජනතාව සහන සලසනවාට වඩා ආපදා සිදුවීම අවම කිරීමට දේශපාලනඥයන් මැදිහත් විය යුතුයි කියලා හි‍ෙතන්නේ නැද්ද?
ඔබ කියන කාරණයත් එක්ක මම සියයට දෙසීයක් එකඟයි. මේ රටේ බහුතර දේශපාලනඥයන්ට පරිසරය ගැන කිසි හැඟීමක් නෑ. ගස්ටික කපා ගන්න, වැලිටික ගොඩ දාගන්න, ගල්ටික කඩාගන්න තමන්ගේ හිතවතුන්ට දෙනවා. ඒවාට සොබාදහමෙන් දීපු දඬුවම තමයි මේ. හැබැයි දේශපාලනඥයන්ට විතරක් ම මේ චෝදනාව දාලා අත පිහදාගන්න බෑ. මොකද මධ්‍යම පරිසර අධිකාරියට භූ විද්‍යා හා පතල් කාර්යාංශයට වගේ රාජ්‍ය ආයතනවලටත් මේවායේ විශාල වගකීමක් තියෙනවා. මුදලාලිලාගේ සන්තෝසම්වලට යටවෙලා තීන්දු තීරණ අරගෙන පරිසර විනාශ කරන්න ලබා දුන්නු බලපත්‍රවල ප්‍රතිඵල තමයි ‍මේ.
* බොහෝවිට දේශපාලනඥයෝ වැඩ කරන්නේ ලකුණු දාගන්න කියලා ජනතාව තුළ මතයක් තියෙනවා. ඔබත් ගංවතුරට බැස්සේ ලකුණු දාගන්න කියලා කවුරු කිවුවොත්?
මගේ සිතුම් පැතුම්, මගේ හිතේ හයිය, මගේ තියෙන බැඳීම, සංවේදීකම බොහෝ දෙනෙක් ළඟ නෑ, මගේ තාත්තා C.T.B එකේ හිටපු රියදුරු උපදේශ මහත්තයෙක්. ඒ වගේම දෙවන ලෝක යුද්ධයේ සොල්දාදුවෙක්. අපේ තාත්තා කුඩා කාලේ ඉඳලා අපිව හැදුවේ මහපොළොවේ පය ගහලා ඉන්නයි. අපේ ගෙදර පරිසරයත් එහෙමයි. පොඩි කාලේ ඉඳලම. කුඹුරු කෙටුවා, ගස් නැග්ගා, ගල්වැටි දැම්මා, ග‍ඟේ දොලේ බැහැලා නෑවා, කොස් ගෙඩියක් තම්බලා කොස් ඇටේ තම්බලා දවාලට කන්න පුරුදු වුණා. ඒ වගේම බඩගින්නේ ඉන්නත් පුරුදු වුණා. මට උපාධි නැතිවුණාට, මගේ තාත්තා මැති ඇමැති කෙනෙක් නොවුණට මම අගනගරයේ පාසලකට නොගියට මට තියෙන අත්දැකීම් ඔය දේශපාලනය කරන බොහෝ දෙනෙකු ළඟ නෑ.
ඉතින් අපි ජනතාව අතරට ගිහිල්ලා වැඩ කරනකොට ඒක උහුලාගන්න බැරි දේශපාලඥයෝ තමයි ඔය චෝදනා කරන්නේ. ඒකත් හරියට ගාලු ගිය බල්ලගේ කතන්දරය වගෙයි. තවත් සමහර අය බලන්හිටියේ මේකෙන් ආණ්ඩුව වැටෙයි කියලා. අපි මැදිහත්වෙලා මහජන නි‍යෝජිතයෝ විදිහට යුතුකම් ඉටුකිරීම දිහා බලන් ඉන්න බැරි අය කියන කතා අපට වැඩක් නෑ,
* දේශපාලනඥයාගේ වගකීම වැස්සේ තෙමි තෙමී වැඩ කරන එක නොවෙයි. අදාළ නිලධාරීන් මෙහෙයවලා යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමයි කියලා කවුරුහරි කිවුවොත්?
මේ සිදුවුණු ආපදාවේ තරම දන්නේ නැති කවුරු හරි එහෙම කියනවා ඇති. මම උදේ පාන්දර රජයේ ආධාර, රජයේ යන්ත්‍ර සූත්‍ර දිහා බලාගෙන නොවෙයි මේ වැඩේට බැස්සේ. බොඩි ලයින් ආයතනයේ සේවකයින් එක්දහස් ගණනකගේ උදේ ආහාරය තමයි අසරණ වුණු ජනතාවගේ කුසගින්න නිව්වේ. පිඹුර රෝහට විදුලිය නැතිව ගියා. රෝහලට ලැබුණ අලුත්ම අලුත් ජෙනරේටර් දෙක මාස ගණනක් ගියත් භාවිතයට අරගෙන නෑ. ක්‍රියාත්මක කරන්න දන්න කෙනෙක් නෑ.
පසුව බොඩිලයින් ආයතනයේ කාර්මිකයෝ ගෙනැල්ලා නීතිය පැත්තකින් තියලා මම මැදිහත්වෙලා තමයි ඒ ජෙනරේටර් පණ ගන්වලා රෝහලට විදුලිය දුන්නේ. බේරුවල මරදාන ධීවරයන්ගේ බෝට්ටු අරගෙන අපි මේ වැඩේට බැස්සේ. මම බෙදන්නේ රජයේ ආධාර නොවෙයි. මගේ හිතවතුන්ගෙන් ලබාගත් ආධාරයි. මම සීතල කාමරයකට වෙලා බලධාරින් මෙහෙයවලා විතරක් මේ ටික කරන්න පුළුවන්ද?
සංවාදය පුබුදු සපුතන්ත්‍රි
www.lankadaily.com

No comments:

Post a Comment