20170829

"ඔබ ගබ්සා කරනවාද?" මගේ (වයස 9) දියණියගේ පිළිතුර



මගේ දියණියගේ වයස 9යි.

ඇය කියන වචන
සොබා දහම විසින් ඇයට දුන්
මාතෘත්වයේ ප්‍රකාශනයක්.


ගබ්සාව කියන්නෙ කුමක්දැයි
සාමාන්‍ය දැනීමක් දියණියට තියනවා.

සොබා දහම විසින් ඇයට දුන්
මාතෘත්වය දරාගෙන
දරුවන් උපදින වීඩියෝ
ඇය නරඹා තියනවා.

මගේ දියණිය ඉපදුණේ
රෝහලට යන ත්‍රී වීලරයෙදි
මගේම අතටයි.
ඒ සිදුවීමත් නැවත නැවත අහලා
ඇය සම්පූර්ණයෙන්ම දන්නවා.

ළදරු වියේදීම
නළවන්න බෝනික්කෙක්වත් සොයන
ගැහැණියකගේ දරු සෙනෙහස
සොබා දහමෙන්ම දීලයි තියෙන්නේ.
අපි කළ යුත්තේ පෝෂණය කිරීමයි.

ළදරුවා මරන්නට පෙර
සොබා දහම විසින් ඇයට දුන්
ඒ සෙනෙහස, ඒ සිහිය මැරිය යුතුයි.

සෙනෙහෙබර මවක් වෙන්නට
සැරසී සිටින නොමේරූ යුවතියක්
කුසේ සිටින දරුවාත් නොදන්න
අව සිහියෙන් වියරු වී සිටින
මිනීමරු ගැහැණියක් කරන්න
කුරිරු ලෝකය සමත් වෙනවා.

ඔබ හිතනවාද
දරුවෙක් ගබ්සා කරන්න තීරණය කරන
ගැහැණියකට තමන්ගෙ දරුවා ගැන
ඒ වෙලාවට සිහිය තියනවා කියලා.

මෙලොව පහල වෙන කිසිම මවක්
ඒ තීරණය තනිවම ගන්නෙ නෑ.
බාහිර බලපෑම් නිසා ඇයට
දරුවා ගැන සිහිය නැති වෙනවා.

එවෙලෙම උපන් දරුවෙක්
එක මොහොතකට මව අතට දුන්නොත්
ඇය නොමරා දරුව මරන්න ලැබේවිද?

ඇයගේ ඒ සිහිය නැති කරන්නෙ
ඇගේ වැඩිහිටියන් විසින් සහ
ඇය ගබ්සාවට පොළඹවන
වෛද්‍යවරයා විසිනුයි.

ඔවුන් මවත් දරුවාත් අතර
ස්වාභාවික බැඳීම බිඳින්න
වචන භාවිතා කරනවා.

මවත් දරුවාත් අතර
ස්වාභාවික බැඳීම
වචනවලින් ශක්තිමත් කරන්න පුලුවන්.

මගේ දියණිය කියන වචන
සොබාදහමට එකඟයි.

ගබ්සාව සොබා දහමට විරුද්ධයි.

මගේ දියණිය කියන වචන
සොබා දහම විසින් ඇයට දුන්
මාතෘත්වයේ ප්‍රකාශනයක්.
ඒ වචන අලුතෙන් ඇයට දෙන්න
වෙන කෙනෙක් අවශ්‍ය නෑ.

ඒත් ගබ්සාවට කෙනෙක් පොළඹවා ගන්න
කෲර ලෝකයක පෙළඹවීමක් අවශ්‍යයි.
ප්‍රාණයක අගය නොදැනෙන තරම්
රළු, කෲර හිත් අවශ්‍යයි.

සොබා දහමේ තියන සොඳුරුම සහ
ප්‍රබලම බැඳීම බිඳින්න
කෲර මිනිසුන්ගෙ වචන වලට පුලුවන්.

කවදා හරි ඒ කුරිරු වචන
මගේ දියණියට මතුරන විෂඝෝර යකැදුරන්ට
ඇගේ මේ සිතුවිලිත් සමග ගැටෙන්න වෙයි.
එදාට ඒ මොහොතට මුහුණ දීමට
ඇගේ දරුවා බේරා ගන්න හැකිවෙන්න
දියණිය සවිමත් කරන්නට ක්‍රියා කිරීම
ඇගේ දෙමාපියන්ගේ වගකීමයි.

අද පරිසරය විෂ සහිතයි.
ඒ විස නැසීමට නොහැකි වුණත්
ප්‍රතිශක්තිය දීම අපේ වගකීමයි.

අනිවාර්යයෙන්ම
දියණියගේ අදහස් වලට
අපේ සිතුම් පැතුම් බලපානවා.

අපි ගබ්සාව නිවැරදියි කියා හිතන
දෙමව්පියන් වුණා නම් සමහර විට
ඇයත් එහෙම හිතන්න පුලුවන්.

එහෙම නොවෙන්නත් පුලුවන්.

අපි සියලු දෙනාම ගබ්සාවට කැමති වුණත්
ඇය විරුද්ධ වෙන්නත් පුලුවන්.

අපේ මේ ජීවිතය කියන්නෙ
දිගු සසරේ එක මොහොතක් විතරයි.
මේ ජීවිතයෙ සිතුම් පැතුම් වලට
පෙර සසර බලපානවා වගේම
මේ ජීවිතයෙ සිතුම් පැතුම්
මතු සසරටත් බලපානවා.

දෝණි
ස්වභාවයෙන්ම සතුන්ට ආදරෙයි.
ඒ කරුණාවට වඩා හිතවත්කමක්.

පුංචිම කාලේ මැස්සෙක් වැහුවත්
"ඌ ආවෙ මට ආදරේට" කියලයි කියන්නෙ.

මාතොටින් එන උතුරු හුළඟේ
ගීතය තෝරලා දුන්න දවසෙ
අවුරුදු පහක් වයසැති දෝණි
අඬ අඬා ගීතය කීප වරක් අහල
නිදාගන්න ගිහිනුත් ඉකිබිඳිමින්
යලිත් වාදනය කරන්න කිව්වා..

තමන්ගෙ කුසේ ඉන්න දරුවෙක් මරන්න
සංවේදී හිතකට බැහැ.

ගබ්සාවක් කියන්නෙ
හොඳින් ඇස් පෙනෙන වෛද්‍යවරයෙක්
කාන්තාවක් අන්ධ කරලා කරන
කුරිරු මිනිස් ඝාතනයක්.

දරුවා ඉපදුණාට පස්සෙ
අම්මා අතට දීල මරන්න ඉල්ලුවොත්
ගබ්සා කරන අම්මලාගෙන්
සියයට අනූ නවයක්ම කැමති වෙන්නෙ නෑ.

මිනිසුන් බහුතරයක් වෙසෙන රටක
ගබ්සාවට අවසර ලැබෙන්නෙ නැහැ.

ඒත් අපේ සමාජයේ මිනිසුන් විරලයි.
මිනිස්කම යටපත් වූ තිරිසනුන් බහුලයි.

මේ වීඩියෝවට මූලාශ්‍රය වුණේ
ෆේස් බුක් සමූහයක සංවාදයක්.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
Kasun J--------- (මෙසේ කිසි දිනෙක සිදු නොවේවයි පතමි),
ඔබේ දියණියට අතවරයක් වී එයින් දරු ගැබක් හට ගත්තොත්,
ඔබ ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද ?

Athula S--------- අතවරය කළ තැනැත්තාට
නීතියෙන් දිය හැකි උපරිමය ලබා දෙන්නට ක්‍රියා කරනවා.
දියණිය සම්බන්ධව සොබා දහමේ විසඳුම භාර ගන්නවා.

දරුවා කෙසේ හෝ ජීවත් විය යුතුයි.
දියණිය අතේ යම් වරදක්,
පෙළඹෙන හැසිරීමක් වැන්නක් තිබුණත්
දරුවා ඒ කිසිවකට සම්බන්ධ නෑ.
ඔහුට සම්පූර්ණ ජීවත් වීමේ අයිතිය තියනවා.

Kasun J--------- හරිම මානුෂික තීරණයක් අරගෙන තියෙනවා..
දැන් ඔබේ දියණිය කියනවා ඇයට මේ දරුවා අවශ්‍ය නෑ..
දරුවා හම්බුණත් ඇය හදන්නේ නෑ...
දැන් ඔබ මොකද කරන්නේ ..?

Athula S---------.
නිදහස් කාන්තාවක් විදියට
දියණිය කැමති තීරණයක් ගන්න කියනවා.
ඇගේ තීරණය ගබ්සාව නම්
ඇය ගෙදරින් යවනවා.

තවත් මිනිස් ජීවිතයක
වටිනාකම නොදන්නා ගැහැණියක් සමග
එක වහලක් යට ජීවත් වීම භයානකයි.
ඇයට ඇය හැරෙන්නට
කුසේ ඉන්න දරුවාවත් දැනෙන්නෙ නෑ.
ඇය දියණියක් ලෙස මම සලකන්නෙ නෑ.

අවම වශයෙන් මෙලොවට බිහි වෙන තුරුවත්
ඒ දරුවා රැක ගැනීමට වගකීමක්
නිතැතින්ම ඇයට තියනවා.

ඒ ළදරුවාත්, සොබා දහමත්
ඇය විශ්වාස කරනවා.

ඔබ නිසා මම දියණියගෙන් ඒ ප්‍රශ්නය ඇහුවා.
ඇය මොන හේතුවක් මතවත්...
ඇය මැරුණත් දරුවා නැති කරන්නේ නෑ.
මම ඇගේ පිළිතුරු රෙකෝඩ් කළා..
පළකරන්නම්.

Kasun J---------
හා.. පළ කරන්න..

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
ඇගේ මේ අදහස්
ඇගේ චිත්ත සන්තානය නම්
එවන් දියණියක ලද හෙයින් නිවුණෙමි.



1 comment:

  1. වනේ නැතිව උන් !
    වනේ නැතිව උන් දුක දන්නේ කෝම..!

    ReplyDelete