20170829

අපොස උසස්පෙළ විභාග මගඩිය මහා පරිමාණ ජාවාරමක්???

රජයේ වෛද්‍යවරයෙක්
රජයේ වෛද්‍ය විද්‍යාලයට
කෙසේ හෝ
දරුවා ඇතුළු කරගන්නට සිතා
මුදලට අධ්‍යාපනය ගන්නට දියත් කල
නව පන්නයේ මෙහෙයුමක තොරතුරු
පසුගිය දිනවල හෙළිවිය.

[ අදාළ ප්‍රවෘත්තිය ලිපිය අවසානයේ..]

රජයේ වෛද්‍ය සංගමයේ වෛද්‍යවරු
චැනල් කඩ සහ පුද්ගලික රෝහල් කඩ මගින්
මුදලට වෛද්‍ය අධ්‍යාපනය විකිණීම
කරගෙන යන බව මුළු රටම දනියි.

මේ රජයේ වෛද්‍ය සංගම් වෛද්‍යවරයා
තමන්ගේ අදක්ෂ දරුවාට නුසුදුසු
ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබාගන්නට
තාක්ෂණික උපකරණ භාවිතා කරමින්
මුදලට අධ්‍යාපනය ගන්නට
සුපිරිසිදු වාණිජමය මෙහෙයුමක්
තාක්ෂණික දියත් කළේය.

මේ වෛද්‍යවරයාත් අදාළ ප්‍රශ්නවලට
පිළිතුරු නොදන්නා බව මින් හෙළි වෙයි.
ඔහු අදාළ ප්‍රශ්නවලට පිළිතුරු දන්නවා නම්
ටියුෂන් ගුරුවරුන්ට මේසා විශාල මුදලක්
මේ පිළිතුරු වලට ගෙවන්නට අවශ්‍යද?

මේ වංචනික වෛද්‍යවරයාද
උසස්පෙළ සමත්වන්නට ඇත්තේ
වෙනෙකෙකු විභාගයට වාඩි කිරීම වැනි
වංචනික සහ සාවද්‍යවූ
පැරණි පන්නයේ ක්‍රමයකින් විය හැක.
අසම්පූර්ණ වෛද්‍ය අධ්‍යාපනයකින් පසු
ඔහු ප්‍රතිකාර කරන රෝගීන්ගේ ජීවිත
අනතුරේ බවට අපට සැක කළ හැක.

මෙවැනි වෛද්‍යවරුන් පිළිබඳව සොයා බලා
ලියාපදිංචිය අවලංගු කිරීම සඳහා
නීති ක්ෂේත්‍රයේද පුද්ගලයින් සහිතව
වෛද්‍ය සභාවත් වගකිවයුතු ආකාරයේ
වෛද්‍ය කොමිසමක් පත් කළ යුතුය.

මුදලට අධ්‍යාපනය ලබන
මෙවැනි වංචනික වෛද්‍යවරුන් බිහි වන විට
රෝගී ජීවිත අනතුරේ බව පැහැදිළි සත්‍යයකි.

ටියුෂන් ගුරුවරයාගේ මෝඩකම සහ
ඔහුගේ අසීමිත කෑදරකම නිසා
මේ විභාග වංචාව අද මෙසේ හෙළි වුණත්
අද ඊයේ ඇරඹුණා විය නොහැක.
මේ තාක්ෂණික උපකරණ තරම්ම පැරණි
මහා පරිමාණ ජාවාරමක් විය හැක.

වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින අසාමාන්‍ය එකමුතුකම මත
විශාල සංඛ්‍යාවක් දරුවන් මේ පිහිට ලබන්නට ඇත.

ප්‍රශ්න පත්‍රය ලබාදීම එක සිසුවෙක් කළ නමුත්
මේ පිළිතුරු බෙදා හැරීම සාමූහිකව සිදුවූ
පුළුල් වංචනික ක්‍රියාවක් විය නොහැකිද?

මේ උපකරණය කණේ සවිකර ඇත්නම්
ලංකාව පුරාම විසිරුණ පාසල් සිසුන් දහස් ගණකට වුව
එක් අයෙකුට කියන පිළිතුරු වලට සවන්දිය හැක.

වෛද්‍යවරුන් සහ වෙනත් ධනවතුන්ගේ දරුවන් සතුව
මේ ටියුෂන් ගුරුවරුන්ගේ පංතිවල සිසුන් සතුව
මේ උපකරණය තිබුණාද කියා පොලීසිය සෙවිය යුතුය.

මේ සිසුවාගේ පිළිතුරු පතට
වාචිකව සමාන කම් දක්වන
වචන සහ කරුණු පෙළ ගැස්වීම අතින්
පැහැදිලි සමානකම් දක්වන සියල්ලන්ම
මෙහිදී සැක කිරීම වරදක් නොවේ.

නිදහස් අධ්‍යාපනය රැකගන්නට
උද්ඝෝෂණ කරන වෛද්‍ය සිසුන් අතර
මේ ක්‍රමයට සමත් වූවන් කීදෙනෙක් සිටීද?
අද සිටින එකම වෛද්‍ය ශිෂ්‍යයෙක් හෝ
මේ ක්‍රමයෙන් නොපැමිණි සැබෑ දක්ෂයෙක් කියා
අපට පිළිගත හැකි සාක්ෂි මොනවාද?

මේ උපකල්පන බිඳින්නට
ඔවුන් සතුව ඇති සාක්ෂි මොනවාද?

විද්‍යා අධ්‍යාපනය මිළට ගැනීමට
ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් ක්‍රියා කළ
ටියුෂන් ගුරුවරුන් සතුව තිබී සොයා ගත්
රු දසලක්ෂයේ මුදල ඒ සිසුන් සියල්ලන්ගේම
දෙමාපියන්ගේ සම්මාදමක් විය හැක.

ටියුෂන් ගුරුවරු අතුරුදහන් වූයේ කෙසේද?
අතුරු දහන් වුණාද? අතුරු දහන් කළාද?

මේ ධනපති වංචනිකයන්ගෙන්
සැබෑ දක්ෂ සිසුන් බේරා ගන්නට
රජය ගන්නා තාක්ෂණික ක්‍රියා මාර්ගය කුමක්ද?
ඒ ක්‍රියාමාර්ගයත් තම වාසියට මිලදී ගන්නට
ධනවතුන්ට නොහැකි වේද?

දක්ෂ දුප්පත් සිසුන්ගේ අවස්ථාව
ධනවතුන් යොදන උප්පරවැට්ටි වලින්
පැහැර ගැනීම වළක්වන්නට
රජයේ වෛද්‍ය සංගමය ඉදිරිපත් වෙනවාද?

රජය කුමන ක්‍රියා මාර්ග ගත්තත්
මේ වෛද්‍යවරයා රැක ගන්නට කළ හැකි
සියල්ල නොපිරිහෙළා ඉටු කරන්නට
රජයේ වෛද්‍ය සංගමය ඉදිරිපත්වනු ඇත.

මුදල් හමුවේ නීතිය අසරණ නම්
මේ ගුරුවරු දෙදෙනාත්, වෛද්‍යවරයාත්
සිසුවාත් නිදහස් වීමට නියමිතය.

මුදලට ගත් අධ්‍යාපනයෙන්
AAA ගෙන උසස්පෙළ සමත්වන මේ සිසුවා
රජයේ වෛද්‍ය පීඨයක මුල් 40%න් ඇතුල් වී
මේ ආකාරයටම වෛද්‍ය විද්‍යා පීඨ වල
සියලු විභාගද සමත් වනු ඇත.

මේ සිසුවාත්
ඔහු සමග එක් වෙන සිසුන් පිරිසත්
අවසන් විභාගයේ බහුවරණ ප්‍රශ්න වලට
ලකුණු සියයම ගනු ඇත.

ලංකාවේ විභාගවලින් සමත් වෙන සිසුන්
ඔවුන්ගේ අධ්‍යාපන සහතිකයෙන් මැනිය නොහැකි
දියුණු තාක්ෂණික යුගයක් අප ඉදිරියේ ඇත.

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

කැමරාව බොත්තමක - ස්විචය පාදයේ -
ශ්‍රවණ උපකරණය කනේ

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවා පාදයෙන් ක්‍රියා කරන කමිස බොත්තමක සවි කළ කැමරාවක ආධාරයෙන් ප්‍රශ්න පත්‍රයේ ඡායාරූපයක් සිය නිවසේ පරිගණයකයට යවා ඇත. සිසුවාගේ නිවසේ සිටි ජීව විද්‍යා ටියුෂන් ගුරුවරයා සහ රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයා කනේ සවි කළ උපකරණයෙන් ඊට පිළිතුරු කියා දී ඇත.

විභාගයට පෙර අදාළ ටියුෂන් ගුරුවරු දෙදෙනා බොරැල්ලේ කොටා පාරේ පිහිටි වෛද්‍යවරයාගේ නිවසට ගොස් මෙම ක්‍රමය අත්හදා බලා තිබේ. සිසුවා එම නිවසේ උඩු මහළට ගොස් පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් ලියන අතරතුර මෙම උපකරණය ආශ්‍රයෙන් එහි ඡායාරූප  බිම් මහලේ ඇති පරිගණකයට එවා  පහළ මහලේ සිටි ටියුෂන් ගුරුවරු දෙදෙනා එහි පිළිතුරු කියාදෙමින් තාක්ෂණික උපකරණයේ ක්‍රියාකාරිත්වය දින කිහිපයක් අත්හදා බලා ඇත.

දරුවාගේ පියා වන පොලිස් රෝහලේ වෛද්‍යවරයා ඇමෙරිකානු ඩොලර් 900කට (රුපියල් 137700) එම තාක්ෂණික උපකරණ මිලට ගෙන ඔහුගේ ක්‍රෙඩිට් කාඩ්පතින් ඒ සඳහා ගෙවීම් කර ඇත.

විභාගයේදී සිසුවාට පිළිතුරු කියාදීම වෙනුවෙන් රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයාට රුපියල් දස ලක්ෂයක මුදලක් ලබා දී ඇතැයි ද, එයින් රුපියල් නව ලක්ෂ අනූ දහසක් ගුරුවරයාගේ නිවසේ ඇඳක් යට තීබී සොයාගත්තේයැයි ද පොලිසිය පවසයි.

රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයාගේ පියා, සහෝදරයෙක් සහ අනුමාන ප්‍රශ්න පත්‍රයක් මුද්‍රණය කළ බව කියන මුද්‍රණාලයක පුද්ගලයෙක් සහ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවා සහ සිසුවාගේ පියා ද මේ වන විට රිමාන්ඩ් බාරයේ සිටිති.

විභාගය අතරතුරදී සිසුවාට උදව් කළ බව කියන ටියුෂන් ගුරුවරුන් දෙදෙනා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.
-ලංකාදීප ඇසුරෙන්

1 comment:

  1. අන්තිමට ප්‍රමිතිය කියන්නේ ඕකට ය.

    ReplyDelete