20161222

සිරිධම්ම සංවාදයෙන් පසුව මම වෙනස් වුණෙමි.



දැන් මම වෙනස් වෙලා ඇති කියා
ෆේස්බුක් සමාජ ජාල සමූහයක
ඉසුරු කියල කෙනෙක් කියල තියන කතාව ඇත්ත.

සිරිධම්ම හිමි සමග සංවාදයෙන් පසුව
අද වෙද්දි මගේ වෙනසක් වෙලා තියනවා.

මම වෙනස් වෙලා තියෙන්නෙ
සිරිධම්ම හිමිට අදාළව
මගේ හැසිරීමෙන් පමණයි.

මම සිරිධම්ම හිමි ගැන දරන
මූලික අදහස අදටත් වෙනසක් නැහැ.
මම අදත් කියනවා...
ඔහු රහත් වෙලා නැහැ...සෝවාන් වෙලාවත් නැහැ.
ඔහුත් ඔබ මා මෙන්ම පුහුදුන් පුද්ගලයෙක්.

රහත් වුණ කෙනෙක් රහත්ද කියා දැනගන්න
හැම කෙනෙකුටම බැහැ.
ඒත් පුහුදුන් කෙනෙක් " මම රහත්" කියා කියද්දි
රහත් නෑ කියා දැනගන්න පුහුදුන්
කෙනෙකුටත් පුලුවන්.
"සිරිධම්ම හිමි රහත් නෑ" කියා කියන අය කියන්නෙ
ඔහු පුහුදුන් බව වැටහෙන නිසයි.



මා සමග කළ සංවාදයෙදි ඔහුගේ අසංවර බව
මැදහත් ප්‍රේක්ෂකයන්ගේ දැඩි විවේචනයට බඳුන් වුණා.
ඔහුට එය දරාගන්නට නොහැකි වූ බව
ඒ වීඩියෝව යූ ටියුබ් එකෙන් ඉවත් කිරීමෙන්
පසුව පැහැදිළි වුණා.
සංවාදය පැවැත්වෙද්දිම
මා ඒ අසංවර හැසිරීම අත්දැක්කා.
ඔහුගෙ මාධ්‍ය කණ්ඩායම විසින්
ඔහුගේ වෙබ් අඩවි වලිනුත් මා ඉවත් කළා.

ඔහුට මුහුණ දෙන්න නොහැකි මට නොවෙයි.
මා සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන
ලොවුතුරා බුදුන් වහන්සේටයි.

ඔහු රහත් නැති බවට
බුදුන් වහන්සේම සාක්ෂි දරණවා.

බුදුන් වහන්සේට අනුව
ඔහු රහත් වෙලා නැහැ කියන්න හේතු
ඔහු දෙසන දහම ඇසුරෙනුත්
ඔහුගේ චර්යාව ඇසුරෙනුත්
මම ලියූ බ්ලොග් සටහන් වල තියනවා.

රහතන් වහන්සේ යනු සියලු වේදනා
පිරිසිඳ දත් තැනැත්තාය.

මහණෙනි,
ස්පර්ශාහාරය පරිඥාත කල්හි
වේදනාත්‍රය පරිඥාත වේ.
වේදනාත්‍රය පරිඥාත කල්හි
ආර්යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු
කිසිවක් නැතැයි කියමි.

කායානුපස්සනා වේදනානුපස්සනා නැතිව
නිවන් මගක් පැවතිය නොහැක.


ඔහු
චිත්තානුපස්සනා නමින් හඳුන්වන

ඔහුගේ විපස්සනා ඉගැන්වීම වැරදි බව
දීර්ඝ වශයෙන් කරුණු සහිතව
"සිරිධම්ම විපස්සනාව බොනිකර තරුවක්."
බ්ලොග්  සටහනේ පෙන්වා දී තියනවා.

සිරිධම්ම හිමිගේ රහත් බවට අදාළව

මා ලියූ ලිපිවලට ඌණ පූරණයක් ලෙස
මා මෑතදී ලියූ අවසාන ලිපියෙන්
රහතන් වහන්සේ නොනිදන බවත්
පැහැදිලි කළා.


"ඇඳට වැටුණ ගමන් හොඳට නින්ද යනවා"
කියන සිරිධම්ම හිමි රහතෙක් නොවන බව
ත්‍රිපිටකයට අනුව ප්‍රබල සාධක සහිතව
"රහතන් වහන්සේ නොනිදයි. සැතපෙනවා පමණි."
බ්ලොග් සටහනෙන් පෙන්වා දී තියනවා.

ඔහු වෙනුවෙන් මට මුළු ජීවිතයම
ගත කළ නොහැකියි.
මට පෙනෙන දේ ඔහුටත් ලොවටත්
පැහැදිලිව පෙන්වා දෙන්න
ප්‍රමාණවත් කාලයකට වඩා ගත කරමින්
ඔහුගේ අශීලාචාර ගෝලයන්ගේ
අපහාස උපහාස නින්දා අවමාන මැද්දේ
මගේ කාලය මා ඔහු සමග ගත කළා.

මා කිවූ හැම දෙයක්ම
ඔහුගේ අන්ධ භක්තික ගෝලයන්ට නොවැටහුණත්
ඔහු වටහා ගත් බව මට රහසක් නොවෙයි.

ඔහු වෙනස් වෙන්නේ නැහැ.
ඔහුට වෙනස් වෙන්න බැහැ.
ඔහු ප්‍රමාද වැඩියි.
පුහුදුන් කෙනෙක් වශයෙන් හිඳිමින්
රහත් රුවක් මවා පෙන්වමින්
ඔහු හදාගත් මාරපාශයෙන්
දැන් ඔහුට ගැලවීමක් නැහැ.

පන්සිල්වත් නැති පිරිසක් මැද
රහතෙක් මෙන් වැජඹෙන්නට අවශ්‍ය වන
ත්‍රිපිටක දැනුමත්, තර්ක ශක්තියත්,
හිත් දිනා ගැනීමේ උපක්‍රමත්
ඒ සඳහා අවශ්‍ය ලෞකික ධ්‍යානත්
ඔහු සතුව තියනවා.
ඒ ධ්‍යානය රැක ගන්නට
ඔහු වටා ආරක්ෂක වළල්ලකුත් තියනවා.
ඒ දැහැන් බිඳෙන අවස්ථා
ඔහු වටා ඉන්න අය දන්නවා.

අන්ධ භක්තියෙන්
ඔහු රහත් කියා හිතන අය
ඔහුගේ පුහුදුන් බව දකින්නේ නැහැ.

ඔහු රහත් නැහැ කියන බහුතරයත්
ඔහුගේ පුහුදුන් බව දකින්නේ
ප්‍රඥාවෙන් හෝ තර්ක බුද්ධියෙන් නොව
ඔවුන්ගේ ධර්මානුකූල බව නිසා
ඔවුන් සතුව ඇති අතීන්ද්‍රිය ඉව මගින්.

විපස්සනා දන්නා කෙනෙකුට
සම්පජානෝ සතිය දන්නා කෙනෙකුට
රහතන් වහන්සේ නින්ද නම් මෝහයට
නොවැටෙන බව දන්න කෙනෙකුට
ඔහු රහත් නැති බව වැටහෙනවා.
ඔහු රහත් නැහැ කියා ඔප්පු කරන්න
මා වෙහෙස විය යුතු නැහැ.

ඔහු රහත් යැයි පිළිගන්නා අයට
ඔහු රහත් නැති බව පෙන්වා දෙන්නට
මා දැරූ උත්සාහය ප්‍රමාණවත්.

ඔහු රහත් නැති බව ඔහු දන්නවා.
මම දන්න බවත් ඔහු දන්නවා.
ඒ බව නොදන්නා ලොවට
ඔහු රහත් නැති බව හෙළි කරන්නට
තවදුරටත් වෙහෙස වීම නිශ්ඵල නිසා
දුරු කළ යුතු බාලයෙක් ලෙස සලකා
මා ඔහුගෙන් ඈත්වුණා.

දැන් ඔහු කරන කියන දේ මා දකින්නෙ
අන්තර්ජාලයෙ අහම්බෙන් හමුවෙන දේකින්.
ඔහුගෙ පිරිහීම ඔහුම කරගනීවි.
පිළිමයක් හදා ගැනීම වැනි දේවල්
ඒ පිරිහීම ඉක්මන් කරනවා.
ඔහු කරන්නෙ පල්ල නැති බාල්දියක්
බොරුවෙන් පුරවන්න තැත් කිරීමක්.

ඔහු සමග හෝ ඔහු අදහන පිරිස සමග
දැන් මගේ සබඳතාවයක් නැහැ.
මා පෙර මෙන් ඔවුන් ගැන සොයන්නේ නැහැ.
ඔවුන් මට ලොව අන් සියලු දේ අතර
තවත් එක් සංසිද්ධියක් පමණයි.

ඉතින්...
දැන් මා වෙනස් පුද්ගලයෙක්.

____________________________________

සිරිධම්ම හිමිගේ රහත් බව -:- මා ලියූ ලිපි

4 comments:

  1. විශිෂ්ට ලියැවීමක්...
    විශිෂ්ට තීරණයක්...

    ReplyDelete
  2. නැවතත් අවශ්ෂ්‍ය තැන් වලදි මතු වෙන්න.
    ඔහු කරන්නෙ මුලාවක් බව කවුරුත් දන්නවා

    ReplyDelete
    Replies
    1. ඔව්, අනිවාර්යයෙන්ම...
      අවශ්‍ය වුණොත් මම කතා කරනවා.
      ඔහු සොයා යන්න වෙහෙසෙන්නෙ නැහැ.

      මට හමුවෙන ෆේස්බුක් සටහනක්,
      වෙනත් කෙනෙකුගෙ යොමුවක් හෝ
      ඔහු ගැන මගෙන් අසන ප්‍රශ්නයකදී
      මගේ අදහස් මම විවෘතව පළ කරනවා.

      Delete