20140727

ලේඛකයින් වැඩි වෙද්දී පාඨකයන් අඩුවෙන අපේ සාහිත්‍යය

තිස්ස ප්‍රේමසිරි ඉරිදා ලක්බිම 2014-07- 27




අපට තිබෙන්නේ ‍ලේඛකයින් වැඩි වෙද්දී 
පාඨකයන් අඩුවෙන සාහිත්‍යයක්
සුප්‍රකට ග්‍රන්ථ ප්‍රකාශක - ප්‍රේම් දිසානායක

ලේඛකයකු හෝ ‍ලේඛිකාවක සිය කෘතියක් ප්‍රකාශයට පත් කිරීම යනු බොහෝ විට සිය ජීවිත අපේක්ෂාවක් මුදුන්පත් කර ගැනීමක් වන්න පුළුවන්. මෙම කාරණය ‍පොත් ප්‍රකාශකයෙකු ලෙස ඔබ දකින්නේ කොයි ආකාරයටද..?
ඔබ පවසන ආකාරයට එය ‍ලේඛකයෙකුගේ ජීවන අපේක්ෂාවක මල් ඵල දැරීමක් වන්නට පුළුවන්. නැතිනම් ඔහුගේ සිහිනයක් සැබෑවීමක් වන්නට පුළුවන්.
නමුත් එය ‍ලේඛකයාගේ සිහිනයක් වූ පමණින් සාර්ථකවන කටයුත්තක් නොවෙයි. මේ කාරණයත් සමග සම්බන්ධ වන තවත් විශාල පිරිසක් සිටිනවා. ඒ තමයි ‍පොත කියවන පාඨක පිරිස. අන්න ඒ පාඨක පිරිසට සාධාරණයක් යුක්තියක් ඉෂ්ට වෙනවද යන කාරණය සලකා බැලීමෙන් පසුවයි ‍පොතක් ප්‍රකාශයට පත් කළ යුත්තේ. ඒ අනුව ඇත්ත තත්ත්වය නම් ‍පොතක් ප්‍රකාශයට පත් කිරීම යන කාරණය විශාල වගකීමක් සහිත කටයුත්තක් බවයි.

නමුත් අද දවසේ ප්‍රකාශයට පත්වන බොහෝ කෘතීන් දෙස බලන විට පාඨක පිරිසට ඔබ කියන ආකාරයේ යුක්තියක් සාධාරණයක් ඉටුවන බවක් පෙනෙන්නට නැහැ නේද...?
ලංකාවේ දැන් ‍පොත් ප්‍රකාශවන ආකාරය දෙස බලන විට එය ඉතාමත් සරල දෙයක් බවට පත් වී ඇති බව පෙනී යනවා. බොහෝ පිරිස් මෙම උදාර වගකීම ගැන නොතකමින් කටයුතු කරන බව පෙනෙන්නට තිබෙනවා. මේ පිළිබඳව නිශ්චිත ක්‍රමවේදයක් රට තුළ නැහැ. ඒ නිසා අද ඕනෑම කෙනෙකුට ‍පොත් කර්තෘ කෙනෙකු වන්නට පුළුවන්. ‍පොත් ලියන්නට පුළුවන් ඕනෑම කෙනෙකුට සල්ලි තියෙනව නම් ‍පොතක් ගහන්ඩ පුළුවන්.

ඔබ මෙතනදී ලියන්න පුළුවන් කියා අදහස් කළේ කුමක්ද...?

මොනවා හෝ ලියන්නට පුළුවන් වීම. හොඳට හෝ නරකට. මොකද අද ප්‍රකාශයට පත්වන ‍පොත් ඉතා වැඩි හරියකින් පිළිබිඹු වෙන්නේ මේ තත්ත්වය. හරි ප්‍රමිතියකට අනුව ‍පොතක් පළ වීම අද හැමවිටම සිදුවන්නේ නැහැ. මෙය හරිම ඛිෙදජනක තත්ත්වයක්.

ඔබ මෙහිදී ‍පොතේ ප්‍රමිතිය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද...? එහි භෞතික ස්වභාවයද අන්තර්ගතයද...?
මේ කාරණා දෙකම. තාක්ෂණික දියුණුව ආදී කරුණු හේතුකොටගෙන ‍පොත් ප්‍රකාශනයේ භෞතිකව තිබූ අඩුපාඩු අද වන විට වියැකෙමින් පවතිනවා. නමුත් ‍පොත්වල ඇති අන්තර්ගතයේ ගුණාත්මක භාවය සහ ‍පොතකින් සමාජයට ඉටු විය යුතු වගකීම යන කාරණා පිළිබඳ ප්‍රශ්න තවමත් ඉතිරි වී තිබෙනවා.

මෙයට හේතුව ලෙස ඔබ දකින්නේ මොන වගේ කාරණාවක්ද...?
මූලිකම කාරණය ඒ සඳහා නිශ්චිත ප්‍රමිතියක් නොමැති වීම. අද වන විට ලංකාවේ අනෙක් සෑම දෙයකටම වාගේ ප්‍රමිතියක් තිබෙනවා. වෙනකක් තබා බනිස් ගෙඩියක් හදන විට පවා. ඒ අතර ප්‍රමිතියක් නැති එකම කාරණය තමයි ‍පොත් ප්‍රකාශනය.
එවැනි ප්‍රමිතියක් නැති නිසා බොහෝ අවිචාරවත්ව කටයුතු කරන ‍ලේඛකයින් පිරිසක්ද බිහි වී සිටිනවා. ඒ වාගේම ප්‍රකාශකයින් පිරිසක්ද සිටිනවා. සමාජයට අවැඩදායක බොහෝ දේවල් සිදුවන්නේ ඒ හරහා. ඒ නිසා අපරටේ ‍පොත් ප්‍රකාශනය උදෙසා ප්‍රකාශන රීතියක්, ප්‍රකාශන සම්ප්‍රදායක් මෙන්ම ගුණාත්මක එකඟතාවයක් වහාම ඇති විය යුතුයි.

‍පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, සාහිත්‍ය අනුමණ්ඩලය ආදී ආයතනවලින් මේ සඳහා වැඩපිළිවෙළක් සකස් වී නැතිද...?
ඒ අයට වගකීමක් තියෙනව මේ තත්ත්වය නිසි මගට යොමු කරවීමට. නමුත් මේ තත්ත්වය ගැන හරි දැක්මක් ඇතිව කටයුතු කරන බවක් පේන්නට නැහැ.

ඔබත් ප්‍රධාන පෙළේ ‍පොත් ප්‍රකාශකයන්ගෙන් කෙනෙක්. ‍පොත්පත්වල ගුණාත්මක භාවය දියුණු කිරීම උදෙසා ඔබගේ දායකත්වය ලබා දෙන්නේ කොයි ආකාරයටද...?
මට මෙතනදී කරන්නට පුළුවන් වන්නේ ඉතාමත් අංශු මාත්‍රයක් පමණයි. එය සම්පූර්ණයෙන්ම කළ හැකි වන්නේ අපි සියල්ලන්ම එකඟ විය හැකි නිශ්චිත ප්‍රමිතියක් යටතේ මේ කටයුත්තේ යෙදීමෙන්.

ම සද්කාර්යය සඳහා ප්‍රකාශකයෙකු අතින් මූලිකව සිදු විය යුත්තේ කුමක්ද...?
ආධුනික හෝ වේවා පරිණත හෝ වේවා කිසියම් ‍ලේඛකයෙකු ‍පොතක් ලියාගෙන පැමිණි විට ප්‍රකාශකයා ඒ ගැන විචාරාක්ෂියෙන් බැලිය යුතුයි. මූලික වශයෙන් තීරණය කළ යුත්තේ එය පළකිරීමට සුදුසුද නැතිද යන්නයි. පළකිරීමට සුදුසු නම් එහි අන්තර්ගතයේ ඇති දුබලතා ආදියත් ව්‍යාකරණ ආදියේ ඇති සදොස් තැන් නිදොස් කර ගැනීමත් කළ යුතුයි. කර්තෘට පරිබාහිරව තව සුදුසුකම් සහිත පුද්ගලයකු හෝ පිරිසකගේ සමීක්ෂණය යටතේ මේ ‍පොත් සංස්කරණය විය යුතුයි.

ඔබ පවසන පරිදි හැඟී යන්නේ අප රටෙහි එසේ නොවන බවයි. අසීරු දෙයක් නොවන මෙය අප රටේ සිදු නොවන්නේ ඇයි..?
මෙහි ඇති අභාග්‍ය සම්පන්නම කාරණය වන්නේ බොහෝ අය ‍පොතක් පළ කිරීමේදී එවැනි දායකත්වයක් ලබා ගැනීමට අකමැති වීම.

මේ අකැමැත්ත ‍ලේඛකයන්ගේද ප්‍රකාශකයන්ගේද..?
බොහෝ විට දෙගොල්ලම අකමැතියි. තමන් විසින් ලියන ලද දේ ඉෂ්ඨාර්ථ සිද්ධියෙන්ම හරියි කියල හිතන උඩඟු මානසිකත්වය සහිත ‍ලේඛකයින්ද අප අතර සිටිනවා. එවැනි අය තමන්ගේ දේ තුළ කිසිවෙකු හරි වැරදි දකිනවාට කැමැති නැහැ.
නමුත් එවැනි අය විසින් සමාජය තුළ වපුරන ලද මිථ්‍යාවන් බහුල ලෙස සමාජ ගත වීම නිසා සමස්ත සමාජයම වල්මත් වුණ අවස්ථා තිබෙනවා. අද දවසේ ශාස්ත්‍රීය ග්‍රන්ථවල පවා ප්‍රමිතියක් නැති වී තිබෙන්නේ මේ හේතුව නිසයි. පුවත්පතක ඕනෑම කෙරුම්කාරයෙකු ලියන ලිපියක් පවා පළවන්නේ එහි සිටින උප කතුවරුන් අතින් සංස්කරණය වීමෙන් පසුවයි. නමුත් ‍පොතකට එහෙම නැහැ. ලිව්වා ගැහුවා. එසේ ලිව්වා ගැහුවා වුණත් එවැනි කෘති සම්මානයට පාත්‍ර වී පූජනීය තත්ත්වයට පත් වී තිබෙනවා. පත්තරවල සිටින මාධ්‍යවේදීන්ට නැති ගෞරවයක් මෙවැනි ‍පොත් ලියන අයට ලැබි තිබෙනවා. එයයි අද තත්ත්වය.

මේ සඳහා යම් කිසි නීති රීති පද්ධතියක් තිබිය යුතු යැයි ඔබ අපේක්ෂා කරනවාද...?

නීතියක් නොවෙයි. ක්‍රමවේදයක් තිබිය යුතුයි. ‍ලේඛකයන් මෙන්ම ප්‍රකාශකයන් තුළද ස්වයං වාරණයක් තිබිය යුතුයි.

ඔබ ‍පොත් ප්‍රකාශනය අරඹා කොතෙක් කාලයක්ද..?
වසර 15ක් පමණ.

අද වන විට කොතරම් ‍පොත් ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර තිබෙනවාද..?

‍පොත් 500කට අධික ප්‍රමාණයක්.

ඒ අතර වැඩියෙන්ම අලෙවි වූ ‍පොත කුමක්ද...?
කාන්තාරයේ කුසුම නමැති පරිවර්තන කෘතිය. එය රංජිත් කුරුප්පුගේ පරිවර්තනයක්.
දැන් එය කොපමණ වාර ගණනක් මුද්‍රණය කර තිබෙනවාද..?
දැනට එය පවතින්නේ 27 වෙනි මුද්‍රණයේ.

පිටපත් වශයෙන් ගතහොත්...?
27,000ක් අලෙවි වී තිබෙනවා.

පරිවර්තන සඳහා අද පාඨකයන්ගේ විශේෂ අවධානයක් තිබෙනවාද..?
එයත් එක් සමාජ ප්‍රවණතාවක් පමණයි. මේ සමාජය තුළ එක එක කාලවල මොනවා හෝ ‍පොඩි රැළි නැගෙන්න පටන් ගන්නවා. ඒවා සංගීත, ඇඳුම් නිර්මාණ, මිනිසුන්ගේ ඇවතුම් පැවතුම්, සමාජීය සිරිත් විරිත් ආදී සියලු කාරණාවලට බලපානවා. අන්න ඒ වගේ දෙයක් තමයි අද දවසේ පරිවර්තන සඳහා ඇති වී තිබෙන මේ රැල්ලත්.

සාහිත්‍ය පරිවර්තන කාර්යය ඔබ කියන තරම්ම ලඝු කළ හැකිද...?
මා පැවැසුවේ අද රැල්ලක් මෙන් ඇති වී තිබෙන පරිවර්තන බිහිවීම් ගැන පමණයි. බැද්දේගම, සුදුවැද්දා, වනසරණ, සාරභූමි ආදී කෘතීන් අපට කිසිදා අමතක කරන්න බැහැ. ඒවා විශිෂ්ට පරිවර්තන. ඒ.පී. ගුණරත්නයන් විසින් පරිවර්තනය කළ බැද්දේගම ස්වතන්ත්‍ර නිර්මාණයක් තරමට අපට සමීපවන්නේ එහි පරිවර්තන විශිෂ්ටත්වය නිසා. නමුත් ඒ හරහා පරිවර්තන රැල්ලක් බිහි වුණේ නැහැ.
මා මෙතන සඳහන් කළේ අද බිහි වී තිබෙන අලෙවිය හඹාගෙන යන පරිවර්තන කලාව ගැනයි.

ඒත් කලෙක මහගම සේකර, අජිත් තිලකසේන, සිරි ගුනසිංහ, ජී.බි. සේනානායක ආදීන් විසින් ඇති කරන ලද නව ආකෘතීන් අපේ සාහිත්‍යයේ ප්‍රගමනයට හේතු වුණා නේද..?
අද එවැන්නක් නැහැ. තිබෙන්නේ අප නස්පැත්තිය කරා රැගෙන යන රැළි පමණයි.
චරිතාපදාන සඳහා සාහිත්‍ය ලෝකයේ ඇති ඉල්ලුම කොයි ආකාරද..?
ඇත්තෙන්ම ඕනෑම රටක සාහිත්‍යයේදී විශිෂ්ටතම ස්ථානය හිමි විය යුත්තේ චරිතාපදානවලටයි. මොකද චරිතාපදානයක් ලියවෙන්නේ විශිෂ්ට පුද්ගලයෙකුගේ ජීවන තොරතුරු ඇසුරින්. ඔහු හැම විටම පාහේ සමාජයට වැදගත් දෙයක් ලබා ගන්නට හැකි ආදර්ශමත් පුද්ගලයෙක්. චරිතාපදාන ලිවීම සඳහා විශේෂ කැපවීමක් කරනවා නම් එය අයා‍ලේ යන මේ සමාජය යම් පමණකට හෝ ගොඩ ගැනීමට රුකුලක් වේවි. නමුත් අවාසනාවකට මෙන් අප රටේ චරිතාපදාන ලියැවෙන්නේ ඉතාමත් අඩුවෙන්. ඇත්තෙන්ම කියනවා නම් ලියවෙන්නෙම නැති තරම්.

එයට හේතුව සුදුසු චරිත නැතිකමද..? ‍ලේඛකයින් නැතිකමද?
ලියන්නෙ නැතිකම.

අපේ රට තුළ විද්‍යා ප්‍රබන්ධ, රහස් පරීක්ෂක නවකතා ආදිය ලියැවනවාත් ඉතා අඩුයි. ඇයි ඒ..?
විද්‍යා ප්‍රබන්ධයක් රචනා කිරීම සඳහා ඉහළම පරිකල්පන ශක්තියක් හැරුණු විට විද්‍යාව පිළිබඳ මූලික දැනුමක්වත් අත්‍යවශ්‍යයි. ඒ වගේම රහස් පරීක්ෂක නව කතාවක් ලියන්නෙකු රහස් පරීක්ෂකයකු, මංකොල්ලකාරයෙකු, හොරෙකු ආදී වශයෙන් එම චරිත ගැන බොහෝ අත්දැකීම් සහ එම සියලු චරිත තමා තුළ ගොඩ නගා ගත හැකි අයෙකු විය යුතුයි. එවැනි ගවේෂණශීලී ‍ලේඛකයන් අප අතර ඇත්තේම නැති තරම්.

අද දවසේ බුදු දහම ගැන ලියැවුණු ‍පොත්පත්වලට විශාල ඉල්ලුමක් තිබෙන බව කියැවෙනවා. එය ඇත්තක්ද..?
ජනතාව බුදු දහම කෙරෙහි යොමු වීම ඉතා හොඳ කාරණයක්. නමුත් බොහෝ අය එය තුළින් බලාපාරොත්තු වන්නේ භෞතික ලෝකය ගොඩ නගා ගැනීම ගැන මිස ලෝකෝත්තර ආධ්‍යාත්මික සුවයක් සාක්ෂාත් කර ගැනීම නොවෙයි. එයත් අද දවසේ තවත් රැල්ලක් බවට පත් වී තිබෙන බවයි පෙනී යන්නේ.

එතකොට ඓතිහාසික නවකතාවලට ඇති තැන කොහොමද..? අද විජයබා කොල්ලය වැනි රසවත් නවකතා නොලියවෙන්නේ ඇයි..?
ඉතිහාසයත් එක්ක සෙල්ලම් කරන්න බෑ. හොඳ ඓතිහාසික නවකතාවක් ලියන්න විශිෂ්ට ගණයේ ‍පොත් පත් 10ක් 15ක් වත් හොඳින් කියවන්න ඕනෑ. අතීතයේ වගේ ඒ සඳහා මහන්සි වෙන පිරිසක් අද නැහැ. එදා එම ‍ලේඛකයින් ඓතිහාසික කතා ලියනු ලැබුවේ ඉතිහාසය ගැන තිබුණ ගෞරවණීය අභිමානයත් සමග සමාජ යුතුකමක් ඉටු කිරීමේ අදහසත් පෙරදැරි කරගනිමිනුයි.

වරක් මහාචාර්ය සුනිල් ආරියරත්න එක් ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකදී ළමයින් සඳහා වූ ‍පොතක් පෙන්වා එහි වැරදි ගණන සඳහන් කළා. එවැනි ‍පොතපත තනහම් කරන නීති රීති නැතිද..?

එවැනි නීති රීති තිබිය යුතුයි.

අද තිබෙන නවකතා ගැන ඔබේ අදහස මොකක්ද..?
වසරකට බිහිවෙන හත අටක් හැර අනෙක් බොහෝ ඒවා පල් හෑලි.

රූපවාහිනිය සිනමාවට වගේ සාහිත්‍යයටත් බලපෑවාද..?
රූපවාහිනිය කිසිදේකට බලපෑවේ නැහැ. එය බලහත්කාරයෙන් මිනිසුන්ගේ ඇඟේ උලන දෙයක්.

මිනිසුන්ගේ රසඥතාවය අඩුවීම ගැන වගකිවයුත්තේ කවුද..?
තමන්ගේ ඩියුටිය හරියට නොකර නිකම් බලා සිටි සියලුම කලාකරුවන් ඒ සඳහා වගකිවයුතුයි.

කලා කෘති ලෙස මොන විදියේ අඩුපාඩු තිබුණත් පියදාස සිරිසේන ලියූ ජයතිස්ස සහ රොසලින් වැනි නවකතා සමාජය තුළ මහත් බලපෑමක් ඇති කරන්නට සමත් වුණා. අද එවැනි කෘති නැතිද..?
නැති තරම් යැයි කිව හැකියි. එදා සමාජය අද තරම් ගරා වැටීමකට ලක් වී තිබුණේ නැහැ. සමාජ යුතුකම් ගැන අවබෝධයක් තිබුණා.

ජයතිස්ස සහ රොසලින් වැනි ‍පොත් පත් නිකුත්වන යුගයේ සාමාන්‍යයෙන් ‍පොතක පිටපත් කීයක් මුද්‍රණය කළාද...?
25,000ක් පමණ මුද්‍රණය කළා. පසුව එය ඩබ්.ඒ. සිල්වාගේ යුගයේ පිටපත් 10,000 දක්වාත්, කරුණාසේන ජයලත්ගේ කාලයේ 5000 සීමාවටත් පැමිණුනා.

සාමාන්‍යයෙන් අද දවසේ ‍පොතක් පිටපත් කීයක් මුද්‍රණය කරනවාද..?
පිටපත් 1000යි. 500, 250 බැගින් මුද්‍රණය කරන අවස්ථාත් තිබෙනවා.

ජාත්‍යන්තර ‍පොත් සල්පිලට එන ජනතාව දුටු විට සිතෙන්නේ අප රටේ මිනිසුන් මේ
තරම් ‍පොත්පත් කියවනවාද කියා..? ඇත්තටම මිනිසුන් ඒ තරම් ‍පොත් කියවනවාද..?

කියවන්නෙ නැහැ. ‍පොත් ගන්නවා විතරයි. මිනිස්සු ‍පොත්වලට ආසයි. ආසාව නිසා ගන්නවා. නීරස නිසා නොබලා අත්හරිනවා.

ඔබ සමග මෙතෙක් කළ කතාබහ අනුව පෙනී යන්නේ මතුපිටින් මොනතරම් ‍පොත්පත් ගොඩ ගැසී තිබුණත් ඇත්තටම මිනිසුන් ‍පොත්පත් කියවීමෙන් ඈත්වෙන බවයි. මිනිසුන් ‍පොතපතට යළි ළංකර ගන්නේ කොහොමද..?
මේ සඳහා කරනු ලබන සියලුම විජ්ජුම්බරවලට වඩා වැදගත් වන්නේ පාසල් මට්ටමින් පාඨක සමාජ බිහි කර, සම්මන්ත්‍රණ, රචනා තරග, දේශන ආදිය මගින් නව පාඨක පරපුරක් බිහි කිරීමයි.

අපි වැඩිපුර කතා කළේ ප්‍රකාශකයා ගැන. ‍ලේඛකයා කොයි ආකාර සත්වයෙක් විය යුතුද..?
හැම ‍ලේඛකයෙකුටම පාඨක රැස් වළල්ලක් තිබෙනවා. සිදුවිය යුතුව ඇත්තේ ඒ රැස් වළල්ල වඩාත් ප්‍රසාරණය කර ගැනීමයි. නමුත් දැන් සිදුවෙන්නේ මෙය එන්න එන්නම සංකෝචනය වීමයි.
දැන් බලන්න ඔය පිටපත් 25,000, 10,000 විකුණන කාලෙ අද තරම් විද්‍යායතන තිබුණෙ නැහැ. මෙච්චර විශ්වවිද්‍යාල තිබුණෙ නැහැ. මේ තරම් සාහිත්‍ය උත්සව තිබුණෙ නැහැ. සම්මාන උත්සව තිබුණේ නැහැ. මේ කිසිවක් නැතිවයි පාඨක පිරිස රඳා පැවතුණේ. අද තිබෙන්නේ ‍ලේඛකයින් වැඩි වෙද්දී පාඨකයන් අඩුවෙන සාහිත්‍යයක්.

පාඨකයා ගැන ඔබේ අර්ථ දැක්වීම කොහොමද..?
අප රටේ සාහිත්‍ය ක්‍ෂේත්‍රය තුළ අඩුවෙන්ම සැලකීමට ලක්වන පුද්ගලයා ඔහුයි.
කා අතින්ද මේ නොසැලකීම සිදුවන්නේ...?

‍පොත් ප්‍රකාශකයා, සහ ‍පොත් වෙළෙන්දා අතින්ද මෙන්ම සමස්ත සමාජයෙන්ම. මිනිස්සු ‍පොත් ගහන්නෙ, සම්මන්ත්‍රණ තියන්නේ, මුද්‍රණාල පවත්වාගෙන යන්නෙ ඔය සේරම කරන්නෙ පාඨකයා නිසා. නමුත් අපි කාටවත් ඒක පේන්නෙ නැහැ.
දැන් අපට අවශ්‍යයි ඉතා සාම්ප්‍රදායික ප්‍රශ්නයකට ඔබෙන් අලුත් පිළිතුරක් ලබා ගන්න. ඒ තමයි කවි සහ කෙටිකතා ‍පොත් විකිණෙන්නෙ නැහැයි කියන එක.
කවිය යනු මිනිසාගේ උපතේ සිට මරණය දක්වා එකට බැඳුණු දෙයක්. ඒ කියන්නෙ දොයි දොයි දොයි දොයිය බබා යන නැලවිලි ගීතයේ සිට මියගිය පසු කියන වෙස්සන්තර ජාතකය දක්වා කවිය අප සමග බැඳුණු දෙයක්. ඒ නිසා එය අපට ආගන්තුක නැහැ. නමුත් අද කවි යැයි තිබෙන දේවල් දෙස බලන විට ඒවා පාඨකයා ප්‍රතික්ෂේප කිරීම පුදුමයක් නොවේ. මොකද ගද්‍ය වාක්‍යයක් හතරට කඩා ලිවීම කවියක් නොවන නිසා.
ඒ එක පැත්තක්. අනෙක් පැත්ත වන්නේ ‍පොත් සාප්පු හිමියා කවි සහ කෙටිකතා වෙනුවෙන් තම රාක්කයේ ඉඩක් වෙන් නොකිරීම. අද තිබෙන්නේ දැකලා බඩු ගන්නා සමාජයක්. සුපර් මාර්කට් සංකල්පයට අනුව හොඳ හෝ නරක භේදයක් නැතිව එය රාක්කයේ ප්‍රදර්ශනයට තැබිය යුතුයි. ඒ නිදහස ‍පොත් වෙළෙඳ‍පො‍ලේදී කවි ‍පොතට සහ කෙටිකතා ‍පොතට අහිමියි. එසේ වූවා නම් හොඳ කවි සහ කෙටිකතා ‍පොත් මීට වඩා විකිණෙන්න තිබුණා.

මෙය තවත් පරණ ප්‍රශ්නයක්. ‍පොත් ප්‍රකාශකයා ‍ලේඛකයා ගසා කනවා යැයි කියන චෝදනාවේ ඇත්ත නැත්ත මොකක්ද..?
ඒ චෝදනාව සාහසිකයි. නිර්දයයි. නමුත් කෙනෙකුට ඕනෑම දෙයකදී අවශ්‍ය නම් ගසා කන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් පන්සලක සාංඝික දානයකදීත් ගසා කන්න පුළුවන්. ‍ලේඛකයෙක් ‍පොතක් ලියා ප්‍රකාශකයාට බාර දුන් විට ඒ ‍ලේඛකයාට හිමි 10 ලබා දෙන්න ප්‍රකාශකයා බැඳී සිටිනවා. ප්‍රකාශකයා ‍ලේඛකයාගේ එම ගෙවීම පැහැර හරිනවා නම් එය හොඳ දෙයක් නොවෙයි.
නමුත් එම 10 ගෙදරින් ගෙනත් දීමේ හැකියාව ප්‍රකාශකයාට නැහැ. ඔහුට එය කළ හැක්කේ ‍පොත විකිණුනොත් පමණයි. නමුත් ප්‍රකාශකයින් විසින් සමාජ යුතුකමක් වශයෙන් යම් යම් ‍ලේඛකයින්ට පෙර ගෙවුම් පවා කර ‍පොත්පත් ලියා ගන්නා අවස්ථා තිබෙනවා. ශබ්ද කෝෂ, චරිතාපදාන ආදිය වෙනුවෙන් එසේ කරන්නට සිදු වන අවස්ථා තිබෙනවා. එයත් සාමාන්‍ය ‍ලේඛකයකු සහ ප්‍රකාශකයකු අතර සිදුවන ගනුදෙනුවත් කාරණා දෙකක්.

‍පොතක් දෙවැනි වර මුද්‍රණය කිරීමේදී කොතරම් පිටපත් ප්‍රමාණයක් අලෙවි කරනු ලැබුවාද කියා ‍ලේඛකයාට දැන ගත හැකි විනිවිද භාවයක් ප්‍රකාශන කටයුත්ත තුළ නැති බවටත් චෝදනාවක් තිබෙනවා.
කෙනෙකු විසින් කරනු ලබන සෑම කාර්යයක් සඳහාම වෘත්තීය ගරුත්වයක් තිබිය යුතුයි. එම වෘත්තීය ගරුත්වය කෙනෙකුට නොමැති වූ විටයි ඔවැනි කාරණා සිදුවන්නේ. කෙසේ වෙනත් යමෙකු විසින් ‍ලේඛකයා වෙනුවෙන් එවැනි අවස්ථාවක වංචාවක් සිදු කරනවා නම් එය ඉතාමත් පහත් වැඩක් බව මා පිළිගන්නවා.

තවත් ප්‍රධාන පෙළේ ‍පොත් ප්‍රකාශකයකු වන විජිත යාපා මහතා පවසා තිබුණා සිංහල පත‍පොත ඉංග්‍රීසියට පෙරළා ජාත්‍යන්තර වෙළෙඳ‍පොළට සිංහල ‍ලේඛකයා රැගෙන යාමේ උත්සාහයක් ඇති බව. එම යෝජනාව ක්‍රියාත්මක වෙනවාද..?
ඒ ගැන උඩින් මත්තෙන් යම් යම් දේවල් සිදුවූ බව ඇත්ත. ඒත් නිසි පරිදි ක්‍රියාත්මක වුණේ නැහැ.

ඉංග්‍රීසි බසට පරිවර්තනය වී ජාත්‍යන්තරයට යාමට සුදුසු තත්ත්වයේ කෘතීන් අප අතර තිබෙනවාද..? එවැනි සුදුසු කෘතියක් දෙකක් ගැන ඔබට කිව හැකිද..?
මම ‍පොත් ප්‍රකාශකයෙකු නිසා එසේ කියන එක සුදුසු නැහැ.

නමුත් මෙම සාකච්ඡාවලදී අවධානයට ලක්වූ කෘති මොනවා දැයි කිව හැකිද..?
මාර්ටින් වික්‍රමසිංහ, සයිමන් නවගත්තේගම වැනි ‍ලේඛකයින්ගේ ‍පොත් ගැන සලකා බැලීමක් කෙරුණා. නමුත් එය හරියටම සිදු වුණේ නැහැ
.___________________________________________________
තිස්ස ප්‍රේමසිරි ඉරිදා ලක්බිම 2014-07- 27

අමු ආහාරවලට කුස හුරු කරන්න


රිද්ම සංකලන මිතුරෙක්
අද උදේ දුරකථනයෙන් මා ඇමතුවා.

මේ සංවාදයෙන්
වැදගත් දෙයක්
අපේ ජීවිත වලට එක් වුණා.
ඔහු නිවස අසල වෙසෙන විදේශික පවුලක්
ආහාර ගැනීමේදී
නොපිසූ ආහාර,
අමු ආහාර ගන්නා බව ඔහු කීවා.

අපේ දෝණි
සාමාන්‍යයෙන් ඕනම දෙයක්
ළූණු, කැරට් ආදියට අමතරව
අල, ගෝවා, බීට් රූට්, ලීක්ස් ආදියත්
අමුවෙන් කන්නට ඇය ප්‍රිය කරනවා.
පුතාත් දැන් ඇය අනුව අමුවෙන් කනවා.
ඒත් ආහාර වශයෙන් නම් නෙමෙයි.
ඔවුන්ගේ ඒ පුරුද්ද නිසා
අමු ආහාරවලින් ජීවත් වෙන පවුලක් ගැන
මිතුරා දුන් අපූර්ව තොරතුර
සාමාන්‍ය අයුරින් බාරගැනීමට හැකි වුණා.

මමත් මගේ කුස
අමු ආහාරවලට හුරු කරන්නට
තීරණය කළා.
බිරිඳට මේ බව කිව්වාම
"අන්න වම්බොටු කපල තියනවා,
අරගෙන කන්න."ඇය කීවේ
මන්ද උපහාසයෙන්..

මම වම්බොටු පෙත්තක් කාලා බැලුවා.
ඉතාම තියුණු රසයක්...
පෙයාර්ස් වලටත් වඩා මුදු
මාශ්මෙලෝ ගතියක් සහිත මදයත්
කහට රසැති පොත්තත්
අලුත් අත්දැකීමක් වුණා.

අමු ආහාර වලට හුරු වෙන්නට
පවුලක් ලෙසත් අපි එකඟයි.

ආහාර අමුවෙන් ගැනීම
හිත වෙනස් කර ගත් පමණින්
කළ හැකි දෙයක් බව පැහැදිලියි.
එහෙත් ඒ සඳහා හුරු වන්නට
කයට කල් දිය යුතුයි කියා සිතෙනවා.

විනාඩි කිහිපයක් ඇතුළතම
කුස කැරලි ගැසීම ආරම්භ කළා.

ආහාර ප්‍රමාණය පාලනය කිරීමෙන්
උද්ඝෝෂණත් පාලනය කළ හැකියි.
උද්ඝෝෂණ වලට ඉඩදෙමින්
අවශ්‍ය දෙය නොපැකිළ කරන රජය මෙන්
අපට අවශ්‍ය දේ කරගෙන යන විට
කුසත් අපේ ජනතාව මෙන්
උද්ඝෝෂණ හකුළා ගනීවි.

 කොළ වර්ගවලින් අරඹා
කෙමෙන් පිරමිඩයේ ඉහළට යමින්
අප කුස හුරු කළ යුත්තේ කෙලෙසදැයි
මෙහි සඳහන් වෙනවා.
 ---------------------------------------------
අප සැබැවින්ම ආහාර ගන්නේ
ආහාරවල ජීව ගුණය නැසීමෙන් පසුව බව
මට පසක් වුණේ අදයි.
අමු වම්බටුත් පිසූ වම්බටුත් අතර
රස අතින් කොතරම් වෙනසක් ඇත්ද
කියා සිතන විට පුදුම හිතුණා.
රසත් සමග ආහාරයෙහි ගුණත්
විටමින් හා ලවණ වර්ගත්
කොතරම් නැසෙනවා ඇතිද?

අමුවෙන් ආහාර ගැනීම
යහපත් වන තවත් හේතුවක්
මා අසා තියනවා.

වතුර රත්වන විට ජල අණු අතර
ගැටුම් වැඩිවී අන්තර් ක්‍රියාකාරිත්වය
වේගවත් වෙනවා.
වතුර නටන උෂ්ණත්වයේදී
මෙම අහඹුතාවය උපරිම වී
ජල අණු බඳුනෙන් ඉවත් වෙනවා.

සත්වයින්, ශාක, අල වර්ග, ධාන්‍ය ආදියෙහිත්
මෙම අහඹුතාවය විවිධාකාරයෙන් පවතිනවා.
සතෙකුගේ පණ නැසීමෙන් පසුව සහ
ශාකයක් පොළවෙන් උදුරා ගත් පසු
ජීවය බැහැර වෙන්නට ගතවෙන කාලය සහ
කුණුවී දිරාපත්වන්නට ගතවන කාලය
අහඹුතාවයට ප්‍රතිලෝමව සමානුපාතිකයි.

අහඹුතාවය වැඩි ජීවීන්ගේ මස් ඉක්මණින් කුණු වෙනවා.
එළවළු එතරම් ඉක්මණින් කුණු වෙන්නේ නැහැ.
අල වර්ග ඊටත් වඩා කල් පවතිනවා.
ධාන්‍ය විශාල කාලයක්
නරක් නොවී තබා ගන්නට පිළිවන්.

අහඹුතාවය වැඩි මාශ භක්ෂක ජීවීන්ගේ
කායික ක්‍රියාකාරිත්වය, අසංවරය වැඩියි.
පහසුවෙන් කැළඹෙන ස්වභාවය, රුදුරු බව මෙන්ම
ඔවුන් වෙහෙසට පත්වීමේ ප්‍රවණතාවයත් වැඩියි.
සංවේදී බව අඩුයි. නිදා ගන්නා කාලය වැඩියි.
වේදයෙහි මේ ගුණ රජස් හා තමස් යනුවෙන් හඳුන්වනවා.

සාත්වික ගුණයෙන් යුතු ශාක භක්ෂක ජීවීන්ගේ
සංවරය, සංවේදී බව, අවදි බව වැඩියි.
මුදු බව වැඩියි.
ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය වැඩිවන්නේ
ආරක්ෂාව සොයන වෙලාවටයි.

දවසක් තුළ අපි කරන
කායික මානසික ක්‍රියාවන් වලදීත්
අපේ කයෙහි අහඹුතාවයත් වැඩි වෙනවා.
ඒ වැඩිවීම මනසටත් බලපානවා.
අපි ගන්නා ආහාරයෙහි ස්වභාවය අනුව
මේ අහඹුතාවය සමබර වීම
රඳා පවතිනවා.

පයිතගරස්, සොක්‍රටීස්, ඇරිස්ටෝටල්, 
ප්ලේටෝ, ඩා වින්චි, නිව්ටන්, අයින්ස්ටයින්...
මස් මාලු වලින් වැළකුණු අය..

පයිතගරස් හා මාර්ක් ට්වේන් පිළිබඳව අනුමාන ඇත._________________________________________

ස්වභාවයෙන්ම සතුන් තුල
මේ අහඹුතාවය වැඩි නිසා
අහඹුතාවයෙන් අඩු ශාක වර්ග, අල,
ධාන්‍ය ආදිය ආහාරයට ගැනීම
ඔවුන්ගේ කයෙහි වැඩිවෙන අහඹුතාවය
අඩු වන්නට හේතු වනවා.
නොපිසූ ආහාර වල මේ ගුණය
අධික විය යුතුයි.

දිනෙන් දින සංකීර්ණ වෙන ලොව සමග
සංකීර්ණ වෙන්නට තරඟ කරනවාට වඩා
සංකීර්ණත්වයට කැමති වේගයෙකින්
ඉදිරියට යන්නට ඉඩදී
ඒ ධාරාවට පටිසෝතගාමීව සරල වීම
අල්පේච්ඡ වීම
අද පවතින පිරිහෙන සමාජයට
හොඳ විසඳුමක් වේයැයි සිතිය හැකියි.

20140724

බුදු දහමෙ විඥ්ඥාණය මම දකින ආකාරය



අපිට දැනෙන වේදනා වර්ග තුනක් තියනවා.
අපි විඳින සියලුම වේදනා මේ වර්ග තුනට අයිති වෙනවා.


1, සුඛ
2, දුක්ඛ
3, අදුක්ඛමාසුඛ

යම් වේදනාවක් අපිට දැනෙන්නෙ ස්පර්ශය නිසයි.
අපිට වේදනාවක් දැනුණාම
ඒ වේදනාවෙ අපිට දැනෙන පරාසය
අපි ඒ මොහොතෙ ඉන්න තත්වයට සාපේක්ෂව
අපිට ප්‍රිය හෝ අප්‍රිය වෙනවා.

උදේ 10ට එකම අව්ව
නුවරඑළියට හා කොළඹට පතිත වෙනවා.
උෂ්ණත්වමාපකයක්
ඒ දෙපලෙම පෙන්වන්නෙ
එකම උෂ්ණත්වයක්
කියා උපකල්පනය කරමු..


ඒ අව්වෙන් දැනෙන එකම උෂ්ණත්වය
කොළඹ හා නුවරඑළියෙ ඉන්න දෙදෙනෙකුට
දැනෙන්නෙ එකම විදියකටයි.

ඒ දෙදෙනා විඳින්නෙ දෙවිදියකටයි.

මතක තබාගන්නෙ දෙවිදියකටයි.

කොලඹ පරිසරයට සාපේක්ෂව
කොළඹ ඉන්න කෙනාගෙ ගත රත් වෙලා තියෙන්නෙ.
කොළඹ ඉන්න කෙනාට ඒ අව්වෙන් දැනෙන වේදනාව
දුක්ඛ වේදනාවක් විදියටයි දැනෙන්නෙ.
ඔහු ඒ වේදනාව හඳුනාගන්නෙ
දුකක් විදියටයි.
ඒ අනුව ඔහු කයට දැනෙන තාපය
අප්‍රිය කරනවා.
ඔහු කොළඹට සාපේක්ෂව
ඒ වේදනාව අප්‍රිය කරනවා.
ඒ අප්‍රිය බව ද්වේශ සංස්කාරයක් විදියට
ඔහුගෙ විඥ්ඥාණයෙහි සටහනක් තබනවා.

ඔහු ඒ වෙලාවෙම නුවරඑළියෙ  ඉන්නවා නම්
ඔහුගෙ අත්දැකීම වෙනස්.
නුවරඑළියෙ පරිසරයට සාපේක්ෂව
නුවරඑළියෙ ඉන්න කෙනාගෙ ගත
සීතල වෙලා තියෙන්නෙ.
නුවරඑළියෙ ඉන්න කෙනාට
ඒ අව්වෙන් දැනෙන වේදනාව
සුඛ වේදනාවක් විදියටයි දැනෙන්නෙ.
ඔහු ඒ වේදනාව හඳුනාගන්නෙ
සැපක් විදියටයි.
ඒ අනුව ඔහු ඒ තාපය ප්‍රිය කරනවා.
ඔහු කොළඹට සාපේක්ෂව
ඒ වේදනාව ප්‍රිය කරනවා.
ඒ ප්‍රිය බව රාග සංස්කාරයක් විදියට
ඔහුගෙ විඥ්ඥාණයෙහි සටහනක් තබනවා.

නුවරඑළියෙ ඉන්න කෙනෙකුට කොළඹ යන්න වුණොත්
කොළඹදි ඔහු වින්ද දුක නිසා
ඔහුගෙ විඥ්ඥාණයෙහි සටහන්වූ මතකය -
එනම් ද්වේශ සංස්කාරය මතු වෙලා
ඔහුට කොළඹ යන එක අප්‍රිය වෙනවා.

කයට දැනෙන තාපය එකම ප්‍රමාණය වුණාට
කොළඹ හා නුවරඑළියෙ ඉන්න දෙදෙනෙක්
විඳින්නෙ දෙවිදියකටයි.

තුන්වැනි විදියකුත් තියනවා.

කෙනෙක් ඉන්න පරිසරයෙ උෂ්ණත්වයත්,
ඔහුගෙ ශාරීරික උෂ්ණත්වයත්
අව්වෙන් දැනෙන උශ්ණත්වයත්
තුන සමපාතවීමක් මත
අව්ව ස්පර්ශයෙන්
ඔහු විඳින වේදනාව
සුඛත් නොවන, දුක්ඛත් නොවන
අදුක්ඛමාසුඛ වේදනාවක් වෙනවා..

ඒ වේදනාව ඔහු සිතින් දකින්නෙ නැහැ.
ප්‍රිය අප්‍රිය ලෙස හඳුනාගන්නෙ නැහැ.
අව්වෙන් ලැබුණ තොරතුර
ඔහුගෙ සටහන් වෙන්නෙ
මෝහ සංස්කාරයක් විදියටයි.

ඒ ස්ථානයට යන්න වුණොත්
ප්‍රිය අප්‍රිය බව මනින
උෂ්ණත්වය සාධකයක් වෙන්නෙ නැහැ.

විඥ්ඥාණය කියන්නෙ
සංස්කාර අනුව සකස්වෙන සටහනයි.

කිසියම් ජාතියක්, ආගමක්,
හතුරෙක්, මිතුරෙක් සිහි වෙනකොට
ඒ අනුව විඥ්ඥාණයෙහි සටහන්වූ
රාග, ද්වේශ හෝ මෝහ සංස්කාර මතු වී
ඒ අනුව් හැඟීම් හා සිතිවිලි ඇති වෙනවා.

ස්පර්ශයෙන් වේදනාව ( දැනීම )..
වේදනාවෙන් සංඥාව ( හඳුනා ගැනීම )
සංඥාවෙන් සංස්කාර ( ප්‍රිය - අප්‍රිය බව )
සංස්කාරයෙන් විඥ්ඥාණය ( ප්‍රිය අප්‍රිය මතකය )
----------------------------------------
ඵස්ස > වේදනා > සංඥා > සංඛාර > විඥ්ඥාණ

ආගමිකයාට මෙන්ම නිරාගමිකයාටත් සොබා දහම පොදුයි.




සොබා දහම ආගමිකයාට මෙන්ම
නිරාගමිකයාටත් පොදුයි.
ආගමික වුවත්. නිරාගමික වුවත්
සොබා දහම අනුව පිළිපදින අයට
එක ආකාරයකටත්
පිළි නොපදින අයට වෙනස් ආකාරයටත්
සොබා දහම ක්‍රියා කරනවා.

ගින්න විශ්වාස කලත් නැතත්
වැරදි විදියට
ගින්න හසුරුවන සත්වයින්
ගින්නට පිළිස්සෙනවා.

නිවැරදි ආකාරයට
ගින්නට අදාළ ධර්ම හඳුනාගෙන
ඒ ධර්ම සමග හැසිරෙන තැනැත්තා
ඒ හැසිරීම මගින්
ඒ ධර්ම මගින් රකිනු ලබනවා.
ගින්නට අදාළ ධර්මයෙහි හැසිරෙන්නා
ධර්මය විසින් රකිනු ලබනවා.

ගින්න දෙවිකෙනෙක් විදියට
වඳින පුදන කෙනාටත්
ගින්න සොබා දහමෙ ශක්තියක් විදියට
එහි ගුණ අගුණ හඳුනාගෙන ක්‍රියා කරන්නාටත්
එකම විදියට ක්‍රියා කරනවා.
ඔවුන්ගෙ හැසිරීම අනුව සුදුසු ප්‍රථිඵල ලබා දෙනවා.

ජලය විදුලිය වුණත් එහෙමයි.

බුදු දහම කියන්නෙත්
කය හා සිත හැසිරෙන ආකාරය පිළිබඳව
සොබා දහමෙ නීති මාලාවයි.

ඒ නීති අදහන්නාටත්
අදහන්නෙ නැති තැනැත්තාටත්,
ආගමිකයාටත්, නිරාගමිකයාටත්
බුදු දහමේ සඳහන්වෙන
සොබා දහමේ තියන ධර්මතා
එකසේ ක්‍රියා කරනවා.

බුදු දහමෙ ඉන්නෙ
ආගමිකයන් නෙවෙයි.
සිවු වණක් ශ්‍රාවකයන්.

බුදු දහම අසන අය
ගිහි පැවිදි වශයෙනුත්
ගැහැණු පිරිමි වශයෙනුත්
භික්ඛු භික්ඛුණී උවසු උවැසි
සිවු වණක් පිරිස ලෙස
හඳුන්වනවා..

ඔවුන් අසන දේ
සිත්හි දරාගන්නවා.
දරාගත් ධර්මයෙහි හැසිරෙනවා.
ධර්මයෙහි හැසිරෙන්නා
ධර්මය විසින් රකිනු ලබනවා.

බුදු දහම මගින් අවස්ථා තුනකින්
ශ්‍රාවකයා රකිනවා.
1, තමන්ගෙ හිතට එන හානිකර ආවේග වලට
තිරිසන් සතෙකු මෙන් නතු වීමෙන්
අන් අයට හානි කිරීමෙන් වලකින්නට
මූලික චාරිත්‍ර පහක් හඳුන්වා දී තියනවා.

2, එවැනි පාප කර්ම වලට හේතුවෙන
ආවේග මතු වුණාම අරමුණ වෙනස් කරලා
ඒ ආවේග තාවකාලිකව යටපත් කිරීම සඳහා
එවැනි අවස්ථාවලදි හිත සමාහිත කරගන්නට
මානසික ක්‍රියාකාරකම් සඳහන් කොට තියනවා.

3, ඒ ආවේග මතු වීමට හේතු වෙන
කෙලෙස් වලට මතු වෙන්නට ඉඩ හැර
කයත් සිතත් තුළ
කෙලෙස් නිසා ඇතිවෙන වෙනස් කම් පිළිබඳව
සිහියෙන් හා උපේක්ෂාවෙන් සිටිමින්
කෙලෙස් නිරෝධ වී යන්නට හැර
සිත පිරිසිදු කිරීමට ක්‍රමයක් තියනවා..

බුදු දහමට අනුව හෝ නැතිව
මූලික චාරිත්‍ර පහට අනුව හැසිරෙමින්
සමාජයට හානිකර නොවන අයුරින් වෙසෙන
බුද්ධ ශ්‍රාවකයන් සහ
අනිකුත් ආගමිකයන් මෙන්ම
නිරාගමිකයන් වුණත්
දවස පුරා විටින් විට
ආවේගශීලී විය හැකියි.

යම් දේකට කෑදරකමක් ඇති වුණාම..
හිතන දෙයක් ඉටු නොවුණාම,
නොහිතුව දේ සිදු වුණාම
ඔවුනුත් කැළඹෙනවා.
ආවේග ශීලී වී ඇවිස්සෙනවා.

ආත්ම දමනයෙන් තොරව
ඵරුෂ වචන කියමින්
නින්දා අපහාස කරමින්
බාල විදියට හැසිරෙනවා.

එවැනි අවස්ථාවල
දෙවැනි ක්රමයට අනුව
පලාගොස් සැනසෙන අයත්
බුද්ධ ශ්‍රාවකයන් සහ
අනිකුත් ආගමිකයන් අතර මෙන්ම
නිරාගමිකයන් අතරත් සිටිනවා.

තුන්වෙනි ක්‍රමයට අනුව
අවස්ථාවට හොඳින් මුහුණ දෙන
බුද්ධ ශ්‍රාවකයන්,
ආගමිකයන් හා නිරාගමිකයන් කියා වෙනසක් නැතිව
කෙලෙස් මතුවී, ආවේගශීලී වූ විට
තමන් තුළ ඇතිවෙන කැළඹීමට අනුව
සිදු වෙන කාය චිත්ත වෙනස්කම්
සිහියෙන් දකිමින්..
කාය චිත්ත වෙනස්කම්වලට
උපේක්ෂාවෙන් වෙසෙමින්
ඒ අසීරු අවස්ථා සීරුවෙන් සහ පහසුවෙන්
පසු කරමින් සුවෙන් වෙසෙනවා.


ඔබ බුදු දහමට පටහැණි දේට විරුද්ධයිද???.

 
බුදු දහමට පටහැණි දේට විරුද්ධ වීම හොඳයි..
ඒ විරෝධය දෙපිට කැපෙන අසිපතක්.
ඒ අසිපත අතේ ඇති ඔබ
විශේෂ පුද්ගලයෙක්.
ඔබ පිළිබඳව විශ්වාසය නිසයි
මම ඔබට කියන්නෙ..

ඔබ බැහැරට යොමු කරන අවධානය
තමන්ට යොමු කරන්න.
ඔබ තුළ සිදුවෙන
බුදු දහමට පටහැණි දේ බලන්න.
ආවේග ශීලීව, ආවේගය අනුව
කයින්, වචනයෙන් හෝ සිතින්
ප්‍රතික්‍රියා කරන කෙනෙක්
බුදු දහමට පටහැණියි.

ඔබ ආවේග ශීලී වුණාම
ඔබට වෙන්නෙ මොනවද බලන්න.
ඒ වෙනස මුළු සිරුර පුරාම තියනවා.
ඒ වෙනස පිළිබඳව සිහියෙන්
ඒ වෙනසට උපේක්ෂාවෙන් ඉන්න.
කයින්, වචනයෙන් හෝ සිතින්
ආවේගය අනුව ක්‍රියා නොකර
ආවේගය වෙනස්වෙන විදිය දකිමින්
ආවේගයට උපේක්ෂාවෙන් ඉන්න.
කයින්, වචනයෙන් හෝ සිතින්
ආවේගයට පොහොර නොලැබෙන කොට
ආවේගය නිවේවි.
මේ වෙලාවෙදි
ඔබ බුදු දහමට එකඟයි.

මුළු ලෝකය පුරාම සිදු වෙන
බුදු දහමට පටහැණි දේවලට වඩා
ඔබ තුළ සිදුවෙන දේ වැදගත්.
මේ වෙනස නැති කරලා
කෙමෙන් කෙමෙන් බුදු දහමට
සමීප කෙනෙක් බවට ඔබ පත්වෙන කොට
මෙලොව තුළ ඉන්න එක ජීවියෙක්
බුදු දහමට පටහැණිව හැසිරුණ ජීවියෙක්
බුදු දහමට අනුකූල කරමින්
ඔබ,
ඔබම
අධර්මයෙන් බේරා ගත්තා වෙනවා.

පළමුව ඔබ ධර්මයෙහි පිහිටන්න.
පසුව අන් අය ගැන හිතන්න.

විශ්ව විද්‍යාල සිසුන් නැරඹූ "පාතර් පංචාලි"


feeling happy 2014 07 23
From Facebook
බදාදා දින පහක් තිස්සේ කොළඹ විශ්වවිද්‍යාලයිය නව කලාගාරයේ දී පැවති "සත්‍යජිත් රායි සිනමාවලොකන " සිනමා උළෙල අතිසාර්ථක අන්දමින් නිමාවට පත් විය.
ප්‍රථම වසර ශිෂ්‍යයින් ඉලක්ක කරගෙන පීඨාධිපති ගේ ඉල්ලීම පරිදි කලා මණ්ඩලය විසින් සංවිධාන කෙරුණු මෙම උළෙලෙහි පළමු දින ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහයක් පහළොවක් පමණ සහභාගී වූ අතර දෙවන දින දහ දෙනෙක් පමණ ද තෙවන දින පස් දෙනෙක් පමණ ද සිව්වන දින හතර දෙනෙක් පමණ ද සහභාගී වූ අතර අවසාන දින ශිෂ්‍යයාවන් තිදෙනෙක් ඇතුළු ප්‍රේක්ෂකයෝ හය දෙනෙක් පමණ සහභාගී වූහ. ප්‍රථම වසර එක් සිසුවකු හෝ එකම දිනක හෝ සහභාගී නොවූ අතර ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කර සිටි ඔවුන්ට චිත්‍රපටය බලන ලෙස ආරාධනය කිරීමට පළමු දිනයේ එහි ගිය කලා මණ්ඩලයේ සභාපතිතුමන් ගුටි නොකා බේරුණේ වාසනාවටය.
කෙසේවෙතත් මෙහි සාර්ථකත්වය මැනිය යුත්තේ එහි පැමිණි පිරිස පිළිබඳ සංඛ්‍යා ලේඛනවලින් නොව, එවන් මෝඩ වැඩ නැවත නොකළ යුතු බවට ලැබුණු අවබෝධයෙනි.
මෙහිදී මට මතක් වන්නේ මිට අවුරුදු 14කට පෙර තිබූ අප ප්‍රථම වසරේ චිත්‍රපට බැලූ අයුරු සිහිවනවිටය. කලාමණ්ඩලයේ එවක සභාපති වූ මහාචාර්ය අනුර වික්‍රමසිංහ මහතා කෞතුකාගාරයේ තිබිය යුතු එහෙත් ජනමාධ්‍ය අංශයේ තුබුණු ඉපැරණි VCR යන්ත්‍රයක් ඔසොවාගෙන ගොස් මදාම් බොවාරි චිත්‍රපටයේ වීඩියෝ පටයක් පෙන්වීමට උත්සහ ගත් අතර අද මෙන් වායු සමීකරණය කර නොතිබුණු වැස්සක් වැස්සොත් ඉදිරිපස කොටස ජලයෙන් යටවන නවකලා ගාරය අතුරු සිදුරු නැතුව පිරීගොස් තිබුණි, කැසට් පටයේ පුස් බැඳී තිබූ නිසා චිත්‍රටයෙන් බැලීමට හැකිවූයේ විනාඩි විස්සක් පමණ වීම වෙනම කතාවකි.
කෙසේවෙතත් අද අප අවබෝධ කරගතයුත්තේ සත්‍යජිත් රායි ගේ සිනමාව බැලීමට තරම් අමාරුවක් හෝ වෙලාවක් වර්තමාන ශිෂ්‍යයින්ට නොමැති බැවින් අර හතර පස් දෙනාගේ ද කාලය කා නොදමා තමන් ගේ වැඩක් බලාගෙන සිටීම ප්‍රමාණවත් බවයි.

 ==================================================================
.

විශ්ව සිනමාවේ මුල් පෙලේ දැවැන්තයෙකු වන
ජපන් ජාතික අකිරා කුරොසාවා මෙසේ පවසනවා.

"පාතර් පංචාලි නැරඹීමෙන් පසු
මා සිත තුල ඇතිවූ උද්වේගය
මට කවදාවත්ම අමතක කරන්න බැහැ.
ඉන් පසුවද කිහිපවතාවක්ම
මා එය නැරඹූ අතර
ඒ හැම වරම වඩවඩාත් කැළඹුණෙමි.
එය සුවිසල් නදියක මහිමාන්විත භාවයෙන් සහ
සැහැල්ලුවෙන් ගලා බසින ආකාරයේ සිනමාවක්.

මිනිසුන් උපදිනවා, ජීවත් වෙනවා, මරණය භාරගන්නවා.

ඉතාම නිරායාසයෙන් සහ
කිසිදු හදිසි ගැස්සීම් වලින් තොරව
රායි සිය සිත්තම පින්තාරු කරනවා.
ඒත් ඒකෙ ප්‍රථිඵලය
නරඹන්නාගේ ගැඹුරු හැඟීම්
අවදි කිරීමයි.
ඔහු මෙය කරන්නේ කෙසේද?
ඔහුගේ සිනමානුරූපී තාක්ශනයේ
අවුල්සහගත හෝ අදාල නොවන
කිසිමදෙයක් නෑ.
විශිෂ්ඨත්වයේ රහස එතැනයි."
------------------------------------
අපේ පුතාට අවුරුදු හයේදි සහ
දෝණිට අවුරුදු හතරෙදි
ඔවුන් මුලින්ම "පාතර් පංචාලි" බැලුවා.

චිත්‍රපටිය බලල ටික වෙලාවකින්
ඉස්සෙල්ලා පුතා සහ
පසුව දෝණි
හෝ ගාල අඬන්නට පටන් අරන් තිබුණා.

බිරිඳ ඇයි කියල ඇහුවාම
ඔවුන් කියල තිබුණෙ
"දුර්ගා මැරුණ නිසා" කියල.

ඔවුන් පසුගිය වසර දෙකට
ඔවුන් හතර වතාවකට වඩා
බලල තියනවා.
--------------------------------------
පාතර් පංචාලි චිත්‍රපටිය
1958දී නිව්යෝක් හි
Fifth Avenue Playhouse සිනමා හලේ
එක දිගට මාස අටක්
ප්‍රදර්ශනය වෙලා තිබුණා.
Pather Panchali was included in various other all-time lists,
Time Out's 
"Centenary Top One Hundred Films" in 1995,
 
The San Francisco Chronicle 
"Hot 100 Films From the Past" in 1997,
 
The Rolling Stone 
"100 Maverick Movies of the Last 100 Years" in 1999,
 
"The New York Times Guide 
-the Best 1,000 Movies Ever Made" in 2002,
 
the BFI Top Fifty  
"Must See" Children's Films in 2005,
 
BFI's 
"Top 10 Indian Films" of all time.
 
NDTV's list of 
"India's 20 greatest films",
 
2013 in CNN-IBN's list of 
"100 greatest Indian films of all time".

The Apu trilogy as a whole was included in film critic 
Roger Ebert's list of 
"100 Great Movies" in 2001
 
Time's  
All-Time 100 best movies list in 2005
http://youtu.be/TrC2UIZSg4Y

==========================================================
  • ජනක- විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය ලැබූ Facebook සාමාජිකයෙක් 
     සත්‍යජිත් රායි කියන්නෙත් හෙන පොරක් තමයි.ඒ කාලේට.

    සිනමාවේ ඉතිහාසය මොන වගේද කියල හදාරන එකෙකුට නං මෑන් ගේ ෆිල්ම් මාර ප්‍රයෝජනවත්..!


    සත්‍යජිත් රායිගේ ෆිල්ම් නොබැලුවා කියා අනාගත පරම්පරාව ට කෙළ වෙන්නේ නැත.
    පාඩුවක් ද නැත.
==========================================================
සිසුන්ගේ මානසිකත්වය මෙසේ නම්
විශ්ව විද්‍යාල වසා තැබීම
අසාධාරණ නැහැ.

ඔබට තියෙන්නෙ
පහසුකම් ඇති තැන් වෙනත් තැන්වල
පෙන්වන්නයි.
විශ්ව විද්‍යාල වල නැති වුණාට
රායිගෙ සිනමාව විඳින්න තරම්
සමාහිත සිතක් සහ
මිනිස් හැඟීම් වලට සංවේදී මිනිසුන්
බැහැරින් සොයාගන්නට පුළුවන්.


 ======================================================
  • ජනක- විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය ලැබූ Facebook සාමාජිකයෙක් 
    මහත්තුරු නෝනල සමාවෙන්ට ඕනේ කොමෙන්ට් ටිකක් කොපි කර කර ඔබතුමන්ලගෙං ප්‍රශ්න ටිකක් අහනවට...පැටලෙන්න නෙවෙයි නොදන්නකමට අහන්නේ..!


    (සිසුන්ගේ මානසිකත්වය මෙසේ නම්
    විශ්ව විද්‍යාල වසා තැබීම
    අසාධාරණ නැහැ. )

    මානසිකත්වය මෙසේ නං කියන්නේ මොකක් ද...රායි ගෙ ෆිල්ම් නොබලන මානසිකත්වෙ ද..? ඒ කියන්නේ විශ්ව විද්‍යාල කියන්නේ රායි ගේ ෆිල්ම් පෙන්නන තැන් ද..?

    (සමාහිත සිතක් සහ
    මිනිස් හැඟීම් වලට සංවේදී මිනිසුන්
    බැහැරින් සොයාගන්නට පුළුවන්.)

    ඒ කියන්නේ මිනිස් හැඟීම් වලට සංවේදී මිනිස්සු ඔක්කොටම රායි ගේ ෆිල්ම් වදිනව..අනිත් අය නරුමයෝ...මොන මීටරෙං ද මහත්තයෝ ඕක මැන්නේ..?

    (විශ්ව සිනමාවේ මුල් පෙලේ දැවැන්තයෙකු වන
    ජපන් ජාතික අකිරා කුරොසාවා මෙසේ පවසනවා.)

    අකිර කුරසෝව කියන්නෙත් රායි වගේම ඇන්ටික් පොරක් නේ..එයාල ඉතිං එයාලගේ පිට කසාගන්නව තමයි...විශ්ව විද්‍යාල වල ඉන්න අයත් ඒක කරනව නේ..කුරසෝව රායි උඩින් තිබ්බ කියල අපිත් උඩිං තියන්න ඕනේ ද..?

    (චිත්‍රපටිය බලල ටික වෙලාවකින්
    ඉස්සෙල්ලා පුතා සහ
    පසුව දෝණි
    හෝ ගාල අඬන්නට පටන් අරන් තිබුණා.)

    මෙගා ටෙලි නාට්ටි වල මැරෙන සීන් වලටත් සමහරු අඬනව...තේරුමක් නැතුව...! පවු පොඩි එවුං දෙන්න..!
======================================================

ජනක විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් කියා
මා හිතනවා.
වචන හැසිරවීමෙහි සංවර බව
ඉතා අගය කරන අතර
ඔබේ රචනා ශෛලියෙන්
අසා ඇති ප්‍රශ්න වලට
ඔබට පිළිතුරු දීම
නිරර්ථක බව වැටහෙනවා.
ඔබ ප්‍රශ්න කරන්නේ පිළිතුරු ලබන්නට කියා
ඒ ශෛලියෙන් කිව නොහැකියි.
ඒත් තවත් අය කියවන නිසා
පිළිතුරක් දිය යුතුයි.

ලෝකෙ බිහි වෙන සමහර නිර්මාණ
ඒ නිර්මාණ වල තියන
සියුම් සහ පුළුල් ජීව්න දැක්ම සහ
සමස්ත වශයෙන් මිනිස් වර්ගයාටම
පොදු හැඟීම ජනිත කරවන නිසා
කාලයක්, දේශයක්, දීපයක්,
කුලයක් නොතකා පවතිනවා.
පාතර් පංචාලි එවැනි විශ්වීය නිර්මාණයක්.
සත්‍යජිත් රායිගෙ කුළුඳුල් නිර්මාණයත් එයයි.
එවැන්නකින් ඇරඹූ ඔහුගෙ සිනමා දැක්ම
විශ්ව විද්‍යාල සිසුන්ට පමණක් නොවෙයි...
විමර්ශනාත්මක හා සංවේදී මනසක් ඇති
හැම කෙනෙකුගෙම මනසට ආලෝකයක්.
එවැනි ලෝක පූජිත නිර්මාණයක්
කුඩා දරුවන් හඬවන්නට තරම් සරල වීමත්
එහි විශිෂ්ඨත්වයට ප්‍රබල සාක්ෂියක්.

ජපන් ජාතික අකිරා කුරොසාවාත් එවැන්නෙක්.
ජනකට අනුව ඇන්ටික් පොරක් වන අකිරා කුරොසාවා
අගය කරන ලෝ සුපතළ, ප්‍රවීණ සහ
සම්මානනීය සිනමාකරුවන් කිහිපදෙනෙක් මේ.
Ingmar Bergman
Federico Fellini
Roman Polanski
Bernardo Bertolucci
Robert Altman,
Francis Ford Coppola,
Steven Spielberg,
Martin Scorsese,
George Lucas,
John Milius.
Robert Altman,
John Woo,
Zhang Yimou,

මෑත අතීතයේ සහ අදත් ක්‍රියාකාරීවෙන
මේ ලෝක පූජිත සනමාකරුවන්ගේ නිර්මාණ
ජනක නරඹා නැතුවා විය හැකිවුවත්
මොවුන්ගෙන් කීපදෙනෙක්වත් ගැන
අසා, කියවා හෝ ඇති කියා හිතනවා.
ඔවුන් අතුරෙනුත් කීදෙනෙක්
ජනකට ඇන්ටික් පොරවල් වනවාද නොදනිමි.

ඔවුන් අතුරෙන් ප්‍රසිද්ධම දෙදෙනෙක්
කුරොසාවා ගැන මෙසේ කියනවා.

"සරලව කිව්වොත්, අකිරා කුරොසාවා මගේ ගුරුවරයා වන අතර
තවත් බොහෝ සිනමාකරුවන්ගේද ගුරුවරයායි."
මාර්ටින් ස්කොර්සේස් පැවසීය.

"මිහිමත වෙසෙන
වෙනත් කිසිම සිනමා කරුවෙකුගෙන් ඉගෙන ගත්තාට වඩා
මම කුරොසාවාගෙන් ඉගෙනගෙන ඇත්තෙමි."
ස්පීල්බර්ග් පැවසීය.

ස්පීල්බර්ග් අදටත් චිත්‍රපටියක වැඩ අරඹන්නට පෙර
අනිවාර්යයෙන් නරඹන චිත්‍රපටි හතරෙන් එකක්
කුරොසාවාගේ "සෙවන් සමුරායි".

විශිෂ්ඨත්වය නිසා සහ විශ්වීය ගුණය නිසා
කලක් තිස්සේ ගරු බුහුමන් ලබන සම්භාව්‍ය නිර්මාණ
විශ්ව විද්‍යාල සිසුන් ඇන්ටික් ලෙස දකින්නෙ
ඒ නිර්මාණ වලින් පලක් ගත හැකි
මනසක් නොමැති පිරිසකි.
විශ්වීය නිර්මාණ නරඹන්නේවත් නැතිව
ඇන්ටික් ලෙස ප්‍රතික්ෂේප කිරීම
තමන්ගෙ නොහැකියාව වසාගන්නට භාවිතා කරන
සීතාම්බර පට සලුවක්.

විශ්ව විද්‍යාල සිසුන්ගේ මානසිකත්වය එසේ නම්
විශ්ව විද්‍යාල වසා තැබීම අසාධාරණ නැහැ.

ප්‍රායෝගිකව සත්‍යයක් නොවුවත්,
විශ්ව විද්‍යාල සිසුන්ගේ මානසිකත්වය
ඔවුන් උසස්පෙළෙහිදී අභිබවා ගිය
අනික් සිසුන්ගෙ මානසිකත්වයට වඩා
ඉහළ තලයක පවතිනවා කියා
තර්කානුකූලව උපකල්පනය කළ හැකියි.

විශ්ව විද්‍යාල සිසුන් තමන් දිහා
මොන විදියට බැලුවත්
මොන විදියට තමන්ගෙ සිසු ජීවිත
කාලකණ්ණි කරගත්තත්
සමාජයේ සිටින උගත්ම පිරිස ලෙස
සමාජයට ඔවුන් පිළිබඳ
බලාපොරොත්තු තියනවා.
ඔවුන්ගෙන් සමාජයට වගකීමකුත් තියනවා.

ඒ බලාපොරොත්තු සහ වගකීම්
විශ්ව විද්‍යාල සිසුන් අතින් ඉටු නොවීම
විශ්ව විද්‍යාල සිසුන්ගෙ වගේම
සමාජයෙත් ඛේදවාචකයක්.

ඔවුන් අතරෙන්
දේශපාලනඥයන්ගෙ විවිධ ඇමවල්
නොසිතා නොබලා ගිලිමින්
ආවේගශීලීව ඉදිරියට යන පිරිස
තමන්ගෙ ජීවිතයෙ වටිනාම කාලය
නිකරුණේ නාස්ති කරගැනීම
හිතලු වෙනුවෙන් ආවේගශීලීවීමේ වරදට
ඔවුන් විසින් තමන්ටම දෙන දඬුවමක්.

ඒ මාරපාශයෙන් ගැලවෙන පිරිසෙන් කොටසක්
මොකක් හරි ජොබ් එකක්
කියන සාමාන්‍ය සමාජයෙ මානසිකත්වයෙන්
එදා වේල ක්‍රමයට වැඩ කරලා
රැකියාවක් හොයා ගන්නවා.

ඒත් විශ්ව විද්‍යාලයකින්
අපි සැබැවින්ම බලාපොරොත්තු වෙන්නෙ
ඊට වඩා ගැඹුරක් සහ පුළුල් බවකින්
සමාජයටම ආදර්ශයක් විය හැකි
සම්මානනීය විශිෂ්ඨ චරිත රැසක්..
මෙවැනි චරිත අද විශ්ව විද්‍යාලය තුල
නැතැයි මම විශ්වාස කරනවා.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන
ශාස්ත්‍රීය අංශයකින් ඉහළට යන කෙනෙක්
මේ නිර්මාණ වලට සංවේදී නම්
ඔවුන්ට ඒ පොදු හැඟීම් විඳින්න පුලුවනි නම්
ඔවුන්ට තමන් ඉදිරියෙදි වගකීම දරන
පොදු සමාජය දෙස
වඩාත් මානුෂිකව, වඩාත් පුළුල් දැක්මකින්
බලන්න පුළුවන් වෙනවා.

බාල චිත්‍රපටි නරඹන,
ටෙලිනාට්‍ය නරඹා ආවේගශීලී වෙන,
හැම කෘතියකින්ම
රස විඳින්නම බලාගෙන ඉන්න අයට
ඉහත කී විමර්ශනාත්මක ක්ෂේත්‍රයට
ඇතුල්වෙන්න බැහැ.
ඔවුන්ට ඊට සුදුසුකම් නැහැ.
ඒ නිසාම
විභාග සමත් වී සුදුසුකම් ලදුවත්
විශ්ව විද්‍යාල අධ්‍යාපනයකට අවශ‍ය
පාන්නරය ඔවුන් තුළ නැහැ.
ඔවුන් විශ්ව විද්‍යාලයට සුදුසු නැහැ.
ඔවුනුත් සාමාන්‍ය පුරවැසියන් මෙන්ම
පසිඳුරන්ට වහල්වී
පටු ලෝකයක් තුළ
එදින් එදාට ජීවත්වෙන පිරිසක්.

විශ්ව විද්‍යාලයක් තුළට පිවිසී
ශාස්ත්‍රීය දැනුමක් ලබන පිරිසක්
සාමාන්‍ය මිනිසුන්ට වඩා
උසස් රුචිකත්වයක්, උසස් රසඥතාවයක්,
කාය චිත්ත සංවරයක්,
විමර්ශන ශීලී දර්ශනයක්
තිබිය යුතුයි.

ගැඹුරු ශාස්ත්‍රීය දැනුමක් ලබන අය
එවැනි පුළුල් දැක්මක් ඇති අයනම්
තමන් හැසිරෙන සමාජයෙ මිනිසුන්ගෙ ජීවිත වලට
ඔවුන්ගෙ හැඟීම් වලට සංවේදී නම්
ඔවුන්ගෙ ජීවිත වලට සංවේදී නම්
කවදා හෝ ශාස්ත්‍රඥයින් ලෙසා
සමාජයට එක්වූ විට
සමාජයට ඔවුන්ගෙන් සිදුවෙන සේවය
පුළුල් වෙනවා.

විශ්ව විද්‍යාලවලින් මහාචාර්ය වරු
සෑහෙන ප්‍රමාණයක් බිහිවෙනවා.
කාලයක් තිස්සෙ මිනිසුන් අතර රැඳෙන
කාලයක් තිස්සෙ ගරු බුහුමනට පාත්‍ර වෙන
සරච්චන්ද්‍රයන් වැනි උත්තම පුරුෂයන්
තම ශාස්ත්‍ර ඥාණය පදනම් කරගෙන
තමන් තුළ තිබුණ පුළුල් දැක්ම මගින්
සමාජයට එවැනි සේවයක් කළ අයයි.

එතුමන් පළමු වසරෙ ඉගෙන ගනිද්දි
සත්‍යජිත් රායි උළෙලක් පැවතුණා නම්
එතුමන් ඒ සෑම දර්ශනයක්ම
අනිවාර්යයෙන්ම නරඹන බව
සහතික කොට කිව හැකියි.

සරච්චන්ද්‍රයන්ගේ රසඥතාවය,
අද විශ්ව විද්‍යාල සිසුන්ගෙන්
බලාපොරොත්තු විය නොහැකි වුවත්
පැය එකහමාරක් දෙකක්
රායි වැන්නෙකුගේ කෘතියක් දෙස බලා සිටින්නට හැකි
විශ්ව විද්‍යාල සිසුන් හතර දෙනෙකු හෝ
අද විශ්ව විද්‍යාලයක සිටීම
අපට බෙහෙවින් සතුටු විය හැකි කරුණක්.