20140724

ඔබ බුදු දහමට පටහැණි දේට විරුද්ධයිද???.

 
බුදු දහමට පටහැණි දේට විරුද්ධ වීම හොඳයි..
ඒ විරෝධය දෙපිට කැපෙන අසිපතක්.
ඒ අසිපත අතේ ඇති ඔබ
විශේෂ පුද්ගලයෙක්.
ඔබ පිළිබඳව විශ්වාසය නිසයි
මම ඔබට කියන්නෙ..

ඔබ බැහැරට යොමු කරන අවධානය
තමන්ට යොමු කරන්න.
ඔබ තුළ සිදුවෙන
බුදු දහමට පටහැණි දේ බලන්න.
ආවේග ශීලීව, ආවේගය අනුව
කයින්, වචනයෙන් හෝ සිතින්
ප්‍රතික්‍රියා කරන කෙනෙක්
බුදු දහමට පටහැණියි.

ඔබ ආවේග ශීලී වුණාම
ඔබට වෙන්නෙ මොනවද බලන්න.
ඒ වෙනස මුළු සිරුර පුරාම තියනවා.
ඒ වෙනස පිළිබඳව සිහියෙන්
ඒ වෙනසට උපේක්ෂාවෙන් ඉන්න.
කයින්, වචනයෙන් හෝ සිතින්
ආවේගය අනුව ක්‍රියා නොකර
ආවේගය වෙනස්වෙන විදිය දකිමින්
ආවේගයට උපේක්ෂාවෙන් ඉන්න.
කයින්, වචනයෙන් හෝ සිතින්
ආවේගයට පොහොර නොලැබෙන කොට
ආවේගය නිවේවි.
මේ වෙලාවෙදි
ඔබ බුදු දහමට එකඟයි.

මුළු ලෝකය පුරාම සිදු වෙන
බුදු දහමට පටහැණි දේවලට වඩා
ඔබ තුළ සිදුවෙන දේ වැදගත්.
මේ වෙනස නැති කරලා
කෙමෙන් කෙමෙන් බුදු දහමට
සමීප කෙනෙක් බවට ඔබ පත්වෙන කොට
මෙලොව තුළ ඉන්න එක ජීවියෙක්
බුදු දහමට පටහැණිව හැසිරුණ ජීවියෙක්
බුදු දහමට අනුකූල කරමින්
ඔබ,
ඔබම
අධර්මයෙන් බේරා ගත්තා වෙනවා.

පළමුව ඔබ ධර්මයෙහි පිහිටන්න.
පසුව අන් අය ගැන හිතන්න.

No comments:

Post a Comment