20140724

ආගමිකයාට මෙන්ම නිරාගමිකයාටත් සොබා දහම පොදුයි.




සොබා දහම ආගමිකයාට මෙන්ම
නිරාගමිකයාටත් පොදුයි.
ආගමික වුවත්. නිරාගමික වුවත්
සොබා දහම අනුව පිළිපදින අයට
එක ආකාරයකටත්
පිළි නොපදින අයට වෙනස් ආකාරයටත්
සොබා දහම ක්‍රියා කරනවා.

ගින්න විශ්වාස කලත් නැතත්
වැරදි විදියට
ගින්න හසුරුවන සත්වයින්
ගින්නට පිළිස්සෙනවා.

නිවැරදි ආකාරයට
ගින්නට අදාළ ධර්ම හඳුනාගෙන
ඒ ධර්ම සමග හැසිරෙන තැනැත්තා
ඒ හැසිරීම මගින්
ඒ ධර්ම මගින් රකිනු ලබනවා.
ගින්නට අදාළ ධර්මයෙහි හැසිරෙන්නා
ධර්මය විසින් රකිනු ලබනවා.

ගින්න දෙවිකෙනෙක් විදියට
වඳින පුදන කෙනාටත්
ගින්න සොබා දහමෙ ශක්තියක් විදියට
එහි ගුණ අගුණ හඳුනාගෙන ක්‍රියා කරන්නාටත්
එකම විදියට ක්‍රියා කරනවා.
ඔවුන්ගෙ හැසිරීම අනුව සුදුසු ප්‍රථිඵල ලබා දෙනවා.

ජලය විදුලිය වුණත් එහෙමයි.

බුදු දහම කියන්නෙත්
කය හා සිත හැසිරෙන ආකාරය පිළිබඳව
සොබා දහමෙ නීති මාලාවයි.

ඒ නීති අදහන්නාටත්
අදහන්නෙ නැති තැනැත්තාටත්,
ආගමිකයාටත්, නිරාගමිකයාටත්
බුදු දහමේ සඳහන්වෙන
සොබා දහමේ තියන ධර්මතා
එකසේ ක්‍රියා කරනවා.

බුදු දහමෙ ඉන්නෙ
ආගමිකයන් නෙවෙයි.
සිවු වණක් ශ්‍රාවකයන්.

බුදු දහම අසන අය
ගිහි පැවිදි වශයෙනුත්
ගැහැණු පිරිමි වශයෙනුත්
භික්ඛු භික්ඛුණී උවසු උවැසි
සිවු වණක් පිරිස ලෙස
හඳුන්වනවා..

ඔවුන් අසන දේ
සිත්හි දරාගන්නවා.
දරාගත් ධර්මයෙහි හැසිරෙනවා.
ධර්මයෙහි හැසිරෙන්නා
ධර්මය විසින් රකිනු ලබනවා.

බුදු දහම මගින් අවස්ථා තුනකින්
ශ්‍රාවකයා රකිනවා.
1, තමන්ගෙ හිතට එන හානිකර ආවේග වලට
තිරිසන් සතෙකු මෙන් නතු වීමෙන්
අන් අයට හානි කිරීමෙන් වලකින්නට
මූලික චාරිත්‍ර පහක් හඳුන්වා දී තියනවා.

2, එවැනි පාප කර්ම වලට හේතුවෙන
ආවේග මතු වුණාම අරමුණ වෙනස් කරලා
ඒ ආවේග තාවකාලිකව යටපත් කිරීම සඳහා
එවැනි අවස්ථාවලදි හිත සමාහිත කරගන්නට
මානසික ක්‍රියාකාරකම් සඳහන් කොට තියනවා.

3, ඒ ආවේග මතු වීමට හේතු වෙන
කෙලෙස් වලට මතු වෙන්නට ඉඩ හැර
කයත් සිතත් තුළ
කෙලෙස් නිසා ඇතිවෙන වෙනස් කම් පිළිබඳව
සිහියෙන් හා උපේක්ෂාවෙන් සිටිමින්
කෙලෙස් නිරෝධ වී යන්නට හැර
සිත පිරිසිදු කිරීමට ක්‍රමයක් තියනවා..

බුදු දහමට අනුව හෝ නැතිව
මූලික චාරිත්‍ර පහට අනුව හැසිරෙමින්
සමාජයට හානිකර නොවන අයුරින් වෙසෙන
බුද්ධ ශ්‍රාවකයන් සහ
අනිකුත් ආගමිකයන් මෙන්ම
නිරාගමිකයන් වුණත්
දවස පුරා විටින් විට
ආවේගශීලී විය හැකියි.

යම් දේකට කෑදරකමක් ඇති වුණාම..
හිතන දෙයක් ඉටු නොවුණාම,
නොහිතුව දේ සිදු වුණාම
ඔවුනුත් කැළඹෙනවා.
ආවේග ශීලී වී ඇවිස්සෙනවා.

ආත්ම දමනයෙන් තොරව
ඵරුෂ වචන කියමින්
නින්දා අපහාස කරමින්
බාල විදියට හැසිරෙනවා.

එවැනි අවස්ථාවල
දෙවැනි ක්රමයට අනුව
පලාගොස් සැනසෙන අයත්
බුද්ධ ශ්‍රාවකයන් සහ
අනිකුත් ආගමිකයන් අතර මෙන්ම
නිරාගමිකයන් අතරත් සිටිනවා.

තුන්වෙනි ක්‍රමයට අනුව
අවස්ථාවට හොඳින් මුහුණ දෙන
බුද්ධ ශ්‍රාවකයන්,
ආගමිකයන් හා නිරාගමිකයන් කියා වෙනසක් නැතිව
කෙලෙස් මතුවී, ආවේගශීලී වූ විට
තමන් තුළ ඇතිවෙන කැළඹීමට අනුව
සිදු වෙන කාය චිත්ත වෙනස්කම්
සිහියෙන් දකිමින්..
කාය චිත්ත වෙනස්කම්වලට
උපේක්ෂාවෙන් වෙසෙමින්
ඒ අසීරු අවස්ථා සීරුවෙන් සහ පහසුවෙන්
පසු කරමින් සුවෙන් වෙසෙනවා.


No comments:

Post a Comment