20140727

අමු ආහාරවලට කුස හුරු කරන්න


රිද්ම සංකලන මිතුරෙක්
අද උදේ දුරකථනයෙන් මා ඇමතුවා.

මේ සංවාදයෙන්
වැදගත් දෙයක්
අපේ ජීවිත වලට එක් වුණා.
ඔහු නිවස අසල වෙසෙන විදේශික පවුලක්
ආහාර ගැනීමේදී
නොපිසූ ආහාර,
අමු ආහාර ගන්නා බව ඔහු කීවා.

අපේ දෝණි
සාමාන්‍යයෙන් ඕනම දෙයක්
ළූණු, කැරට් ආදියට අමතරව
අල, ගෝවා, බීට් රූට්, ලීක්ස් ආදියත්
අමුවෙන් කන්නට ඇය ප්‍රිය කරනවා.
පුතාත් දැන් ඇය අනුව අමුවෙන් කනවා.
ඒත් ආහාර වශයෙන් නම් නෙමෙයි.
ඔවුන්ගේ ඒ පුරුද්ද නිසා
අමු ආහාරවලින් ජීවත් වෙන පවුලක් ගැන
මිතුරා දුන් අපූර්ව තොරතුර
සාමාන්‍ය අයුරින් බාරගැනීමට හැකි වුණා.

මමත් මගේ කුස
අමු ආහාරවලට හුරු කරන්නට
තීරණය කළා.
බිරිඳට මේ බව කිව්වාම
"අන්න වම්බොටු කපල තියනවා,
අරගෙන කන්න."ඇය කීවේ
මන්ද උපහාසයෙන්..

මම වම්බොටු පෙත්තක් කාලා බැලුවා.
ඉතාම තියුණු රසයක්...
පෙයාර්ස් වලටත් වඩා මුදු
මාශ්මෙලෝ ගතියක් සහිත මදයත්
කහට රසැති පොත්තත්
අලුත් අත්දැකීමක් වුණා.

අමු ආහාර වලට හුරු වෙන්නට
පවුලක් ලෙසත් අපි එකඟයි.

ආහාර අමුවෙන් ගැනීම
හිත වෙනස් කර ගත් පමණින්
කළ හැකි දෙයක් බව පැහැදිලියි.
එහෙත් ඒ සඳහා හුරු වන්නට
කයට කල් දිය යුතුයි කියා සිතෙනවා.

විනාඩි කිහිපයක් ඇතුළතම
කුස කැරලි ගැසීම ආරම්භ කළා.

ආහාර ප්‍රමාණය පාලනය කිරීමෙන්
උද්ඝෝෂණත් පාලනය කළ හැකියි.
උද්ඝෝෂණ වලට ඉඩදෙමින්
අවශ්‍ය දෙය නොපැකිළ කරන රජය මෙන්
අපට අවශ්‍ය දේ කරගෙන යන විට
කුසත් අපේ ජනතාව මෙන්
උද්ඝෝෂණ හකුළා ගනීවි.

 කොළ වර්ගවලින් අරඹා
කෙමෙන් පිරමිඩයේ ඉහළට යමින්
අප කුස හුරු කළ යුත්තේ කෙලෙසදැයි
මෙහි සඳහන් වෙනවා.
 ---------------------------------------------
අප සැබැවින්ම ආහාර ගන්නේ
ආහාරවල ජීව ගුණය නැසීමෙන් පසුව බව
මට පසක් වුණේ අදයි.
අමු වම්බටුත් පිසූ වම්බටුත් අතර
රස අතින් කොතරම් වෙනසක් ඇත්ද
කියා සිතන විට පුදුම හිතුණා.
රසත් සමග ආහාරයෙහි ගුණත්
විටමින් හා ලවණ වර්ගත්
කොතරම් නැසෙනවා ඇතිද?

අමුවෙන් ආහාර ගැනීම
යහපත් වන තවත් හේතුවක්
මා අසා තියනවා.

වතුර රත්වන විට ජල අණු අතර
ගැටුම් වැඩිවී අන්තර් ක්‍රියාකාරිත්වය
වේගවත් වෙනවා.
වතුර නටන උෂ්ණත්වයේදී
මෙම අහඹුතාවය උපරිම වී
ජල අණු බඳුනෙන් ඉවත් වෙනවා.

සත්වයින්, ශාක, අල වර්ග, ධාන්‍ය ආදියෙහිත්
මෙම අහඹුතාවය විවිධාකාරයෙන් පවතිනවා.
සතෙකුගේ පණ නැසීමෙන් පසුව සහ
ශාකයක් පොළවෙන් උදුරා ගත් පසු
ජීවය බැහැර වෙන්නට ගතවෙන කාලය සහ
කුණුවී දිරාපත්වන්නට ගතවන කාලය
අහඹුතාවයට ප්‍රතිලෝමව සමානුපාතිකයි.

අහඹුතාවය වැඩි ජීවීන්ගේ මස් ඉක්මණින් කුණු වෙනවා.
එළවළු එතරම් ඉක්මණින් කුණු වෙන්නේ නැහැ.
අල වර්ග ඊටත් වඩා කල් පවතිනවා.
ධාන්‍ය විශාල කාලයක්
නරක් නොවී තබා ගන්නට පිළිවන්.

අහඹුතාවය වැඩි මාශ භක්ෂක ජීවීන්ගේ
කායික ක්‍රියාකාරිත්වය, අසංවරය වැඩියි.
පහසුවෙන් කැළඹෙන ස්වභාවය, රුදුරු බව මෙන්ම
ඔවුන් වෙහෙසට පත්වීමේ ප්‍රවණතාවයත් වැඩියි.
සංවේදී බව අඩුයි. නිදා ගන්නා කාලය වැඩියි.
වේදයෙහි මේ ගුණ රජස් හා තමස් යනුවෙන් හඳුන්වනවා.

සාත්වික ගුණයෙන් යුතු ශාක භක්ෂක ජීවීන්ගේ
සංවරය, සංවේදී බව, අවදි බව වැඩියි.
මුදු බව වැඩියි.
ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය වැඩිවන්නේ
ආරක්ෂාව සොයන වෙලාවටයි.

දවසක් තුළ අපි කරන
කායික මානසික ක්‍රියාවන් වලදීත්
අපේ කයෙහි අහඹුතාවයත් වැඩි වෙනවා.
ඒ වැඩිවීම මනසටත් බලපානවා.
අපි ගන්නා ආහාරයෙහි ස්වභාවය අනුව
මේ අහඹුතාවය සමබර වීම
රඳා පවතිනවා.

පයිතගරස්, සොක්‍රටීස්, ඇරිස්ටෝටල්, 
ප්ලේටෝ, ඩා වින්චි, නිව්ටන්, අයින්ස්ටයින්...
මස් මාලු වලින් වැළකුණු අය..

පයිතගරස් හා මාර්ක් ට්වේන් පිළිබඳව අනුමාන ඇත._________________________________________

ස්වභාවයෙන්ම සතුන් තුල
මේ අහඹුතාවය වැඩි නිසා
අහඹුතාවයෙන් අඩු ශාක වර්ග, අල,
ධාන්‍ය ආදිය ආහාරයට ගැනීම
ඔවුන්ගේ කයෙහි වැඩිවෙන අහඹුතාවය
අඩු වන්නට හේතු වනවා.
නොපිසූ ආහාර වල මේ ගුණය
අධික විය යුතුයි.

දිනෙන් දින සංකීර්ණ වෙන ලොව සමග
සංකීර්ණ වෙන්නට තරඟ කරනවාට වඩා
සංකීර්ණත්වයට කැමති වේගයෙකින්
ඉදිරියට යන්නට ඉඩදී
ඒ ධාරාවට පටිසෝතගාමීව සරල වීම
අල්පේච්ඡ වීම
අද පවතින පිරිහෙන සමාජයට
හොඳ විසඳුමක් වේයැයි සිතිය හැකියි.

No comments:

Post a Comment