20161222

යෝනිසෝමනසිකාරය සහ සම්පජානෝ සතිය සමානද?


යෝනි සෝමනසිකාරය සහ සම්පජානෝ සතිය
එකම ස්වභාවයක්ද දෙකක්ද.?

යෝනිසෝමනසිකාරය කුමක්ද කියා
ප්‍රායෝගිකව වේදනා, සංඥා ආශ්‍රිතව
බුදුන් වහන්සේ විස්තර කළ තැනක්
මෙතෙක් මට සොයාගන්නට ලැබී නැහැ..

සම්පජානෝ සතිය පැහැදිළිව දක්වා තියන අයුරින්
යෝනිසෝමනසිකාරය විස්තර කර නැති නිසා
වචන අනුව අනුමාන කරන්න සිදු වෙනවා.

සමහර පරිවර්තකයන් විසින්
නුවණින් දැකීම ලෙස
යෝනිසෝමනසිකාරය හඳුන්වන නමුදු
ඒ නුවණ කවර ආකාරදැයි
අත්දැකීමක් ලෙස හඳුනා ගන්න හැකියාවක් නැහැ.

අත්දැකීමක් ලෙස යෝනිය යනු
යමක් උපදින ජනිත වෙන තැන ලෙස
අපට පිළිගන්න පුලුවන්.
මේ මොහොතට අදාළව
ස්පර්ශයක් වේදනාවක්
උපදින තැන පටන්ම සිහියෙන් වසන කෙනෙකුට
රාග ද්වේශ දුරු කිරීම පහසුයි.

මහණෙනි,
රාගයාගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි.
කවර දෙදෙනෙක යත්:
සුභ නිමිත්ත හා අයෝනිසෝමනසිකාරය යන දෙකයි.
මහණෙනි,
මොහු වනාහි රාගයාගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.

මහණෙනි,
ද්වේෂයාගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි.
කවර දෙදෙනෙක යත්:
පටිඝ නිමිත්ත හා අයොනිසොමනසිකාරය යන දෙදෙන ය.
මහණෙනි,
මොහු වනාහි ද්වේෂයාගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.

මහණෙනි,
අයෝනිසෝමනසිකාරය නිසා
නූපන් කාමච්ඡන්දයත් උපදී.
උපන් කාමච්ඡන්දයත්
බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී.
නුපන් ව්‍යාපාදයත් උපදී.
උපන් ව්‍යාපාදයත්
බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී.
නූපන් ථීනමිද්ධයත් උපදී.
උපන් ථීනමිද්ධයත්
බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී.
නූපන් උද්ධච්චකුක්කුච්චයත් උපදී.
උපන් උද්ධච්චකුක්කුච්චයත්
බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී.
නූපන් විචිකිච්ඡාවත් උපදී.
උපන් විචිකිච්ඡාවත්
බොහෝ බව පිණිස විපුලත්වය පිණිස පවතී.

රාගයත් ද්වේශයත් ඇති වෙන විටම
දකින්නට හැකි පුද්ගලයාගේ
රාගයත් ද්වේශය නොවැඩෙන්නේ කෙසේද.?

සුභ නිමිත්ත > රාගය
පටිඝ නිමිත්ත > ද්වේශය

යම් නිමිත්තකින් රාගය හෝ ද්වේශය උපදින විට
ඒ රාගය හෝ ද්වේශය දකින්නගේ නිමිත්ත වන්නේ
උපන් රාගය හෝ ද්වේශයයි.
නිමිත්ත තමා තුළ උපන් සංස්කාරය නිසා
සංස්කාරය උපාදාන වන්නට අවස්ථාව නැති වෙයි.

ආර්ය අශ්ඨාංගික මාර්ගය වඩන්නට
යෝනිසෝමනසිකාරය අවශ්‍යය.

අවිද්‍යා සූත්‍රයෙ මෙසේ සඳහන් වෙනවා.
ශ්‍ර‍ද්ධාව පරිපූර්ණ වූවා යෝනිසෝමනසිකාරය පුරයි.
යෝනිසෝමනසිකාරය පරිපූර්ණ වූයේ සති සම්ප්‍ර‍ජන්‍යය පුරයි.

සති සම්ප්‍රජන්‍යයට යෝනිසෝමනසිකාරය
අවශ්‍ය බව සම්පජානෝ සතිය කවරේදැයි විමසීමෙන්
පැහැදිළි වෙනවා.

සම්පජානෝ සතිය කවරේදැයි
බුදුන් වහන්සේ විස්තර කරන්නේ මෙසේය.

1,
විදිතා වේදනා උප්පජ්ජන්ති,
විදිතා වේදනා උපට්ඨහන්ති,
විදිතා වේදනා අබ්භත්ථං ගච්ඡන්ති.
2,
විදිතා සංඥා උප්පජ්ජන්ති,
විදිතා සංඥා උපට්ඨහන්ති,
විදිතා සංඥා අබ්භත්ථං ගච්ඡන්ති.
3,
විදිතා විතක්කා උප්පප්ජන්ති,
විදිතා විතක්කා උපට්ඨහන්ති,
විදිතා විතක්කා අබ්භත්ථං ගච්‌ඡන්‌ති;

1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ  පවතිත්..
දැනුවත්වම සංඥාවෝ  අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.

සරලව
සති සම්පජන්‍ය නම්
1, විඳින සියලු වේදනා
2, දැනෙන සියලු සංඥා
3, ඇතිවෙන සියලු විතර්ක
ඇතිවෙන ආකාරයත්, පවතින ආකාරයත්
නැති වෙන ආකාරයත් පිළිබඳව
සිහියෙන් පසු වීමයි.

පාරෙ ඇවිදගෙන යන කෙනෙක්
අයිස්ක්‍රීම් එකක රූපයක් දැකලා
අයිස්ක්‍රීම් එකක් ගන්න පෙළඹෙනවා.
සුභ නිමිත්ත > රාගය
සාමාන්‍ය කෙනෙකුගෙ සිත තියෙන්නෙ
අයිස්ක්‍රීම් එක ලබා ගැනීම පිළිබඳවයි.
ඔහුට රූපයෙන් ඇතිවූ රාගය පෙනෙන්නෙ නෑ..

ඔහුට යෝනිසෝමනසිකාරය තියනවා නම්
ඔහු රාගය ඇති වෙන අයුරු දකිනවා.
ඔහු රාගය උපදින විටම දකිනවා.
ආරම්භයෙදිම දකිනවා.
මේ මනසිකාරය නැතුව
සම්පජානෝ සතිය ඇති වෙන්නෙ නැහැ.

ඔහුට සම්පජානෝ සතිය ඇත්නම්
ඉන් ඇතිවෙන සුඛ වේදනාවත්
ඒ වේදනාව හඳුනා ගැනීමත්
අයිස්ක්‍රීම් එක කන්න ඇතිවෙන
කාමච්ඡන්දය නිසා ඇතිවෙන විතර්කත් සමග
ඔහු ඒ සඳහා ක්‍රියා කරද්දි ඇතිවෙන
වේදනා, සංඥා විතර්කත් යන
සියල්ලම ඔහු දකිනවා.

ඔහුට සම්පජානෝ සතිය ඇත්නම්
ඔහු සමස්ත අත්දැකීම තුළ ඇති වෙන
වේදනා, සංඥා, විතර්ක
ඇතිවෙන, පවතින, නැතිවෙන අයුරු දන්නවා.

අවිද්‍යා සූත්‍රයෙ මෙසේ සඳහන් වෙනවා.
ශ්‍ර‍ද්ධාව පරිපූර්ණ
වූයේ යෝනිසෝමනසිකාරය පුරයි.
යෝනිසෝමනසිකාරය පරිපූර්ණ වූයේ සති සම්ප්‍ර‍ජන්‍යය පුරයි.


සති සම්ප්‍රජන්‍යය වැඩෙන්නට
යෝනිසෝමනසිකාරය හේතුවෙන බව
මෙයින් වැටහෙනවා.

ඒ අනුව
යෝනිසෝමනසිකාරය සහ  සති සම්ප්‍රජන්‍යය
 එකක් නොවෙයි.
යෝනිසෝමනසිකාරය උල්පත නම්
සති සම්ප්‍රජන්‍යය ඇළ දොළ ගංගා වගෙයි.

2 comments:

  1. කෙටි එහෙත් හොද විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.
      ඔබ මෙන් විමසන අය සමග
      Share කරගන්න.

      Delete