20150609

බඹර ගලින් රූටාලා... සඳ නිවුනිද කියපන් මයෙ මලයා.




 බඹර ගී පිළිබඳව සිහිකරන විට 
නෙතට කඳුලු නංවමින් නිතැතින්ම සිහි වන ගීයකි... 
සඳ සාවී මා.


 විසල් ගල්කුළුවල බඳෙහි බැඳි
බඹර වද කපන්නට යන බඹර කපන්නා
සවිමත් කඹයක එල්ලී පහත බසින්නේ
සිය ජීවිතය කඹය අල්ලාගෙන සිටින්නාගේ
දෝතට භාර දෙමිනි.


 

බඹර කපන්නට  
ගල්කුළු බඳෙහි පහත බසින විට  
බඹර කපන්නා කඹය දෙන්නේ
බිරිඳගේ සොහොයුරා අතට බව
අප අසා ඇත.

හේතු දෙකක් අපට සිතා ගත හැක.


එකක් නම් 

සිය නැගණිය අනාථ කරන්නට අකමැති
මස්සිනා ලණුව අත නොහරින බව සහතික නිසාය.


ඔහුගේ වරදින් හෝ අත්වරදින්
බඹර කපන්නා මියගියහොත්
ඔහුගේ බිරිඳ හා දරුවන් රැකී
ම 
මස්සිනා විසින් කරනු ඇතැයි යන
නියත බලාපොරොත්තුවෙන් බව
අනෙක් හේතුව බව
වඩාත් විශ්වාස කළ හැකිය.


 බඹර කපන්නට ගොස්ගලපල්ලේ වැටී නැහුණු සැමියා පිළිබඳ
මලයාගෙන් විමසන අසරණියකගේ ශෝකාලාපයයි මේ.



සඳ සාවී මා...
සඳ මඩලේ පාළුවේ මෙදා...
බඹර ගලින් රූටාලා..
සඳ නිවුනිද කියපන් මයෙ මලයා.....
සඳ නිවුනිද කියපන් මයෙ මලයා.....

දෙමස්සිනාලා....
මල් පැණි බීවා දෝ....
බඹර කපන්ටා..බඹර කපන්ටා..
බමන මතින් කරණම් ගැසුවාදෝ..
තනිවූයේ මාවයි මගෙ මලයා...
තනිවූයේ මාවයි මගෙ මලයා...

සිත පෑරීලා...
බඹරුන් ඇන්නා දෝ...
අම්මා පල්ලා...අම්මා පල්ලා...
තනිවූයේ මාවයි මගෙ මලයා...
තනිවූයේ මාවයි මගෙ මලයා...


මෙහි විලාපයක ස්වභාවයෙන්
හිත කීරි ගැහෙන අඳෝනාවෙන්
ඇය සිය සොහොයුරාට
ඉඳුරාම නොපවසන
දෝෂාරෝපණයක් අපට ඇසෙයි.

සිසිර දිසානායක ලියූ
රන්වල ජන සංගීත කණ්ඩායම සමග
වසන්තා මධුරාංගනී ගැයූ සඳ සාවී මා ගීතයට
ලයනල් රන්වලයන් තනුව මුසු කර ඇත්තේ
ජන සංගීතය ඇසුරු කරගෙන වෙස්සන්තර විරිතට අනුවයි.

ජන ගීයේ රුව ආත්මය කොටගත් ගීත රචකයා 
සිසිර දිසානායක 



---------------------------------------------------------------------------------------

සඳ සාවී මා ගී තනුවේ මූලාශ්‍රය
වෙස්සන්තර ගී වලට සම්බන්ධ බවට ඉඟියක් සහ
අසරණ වූ යුවතියගේ, ඇගේ මලයාගේ සහ
කම්පාවට පත්වූ ගම්මුන්ගේ දුක නිරූපනය කරන
ඉඟි නලුවක් සහිත කෙටි රසාංගයකි.


නේපාලයේ බමර කපන්නෝ.


===============================================================

 බමර ගී

පළ කලේ තුන්පත් රටා
ලිව්වේ : LishWish.
අතහිත : ප්‍රේමරත්න සොයිසා ගුරුපියාණන්.

විජයාවතරණයටත් පෙර පටන් සිරිලක බිම නිජබිම කොට ගත් අපේ ආදිතමයා වශයෙන් හැඳින්වෙන්නේ වැද්දා ය. දඹාන, බිංතැන්න, නිල්ගල වැනි වන ගහන වල ජීවත් වූ වැද්දාටම ආවේනික සංස්කෘතික ලක්ෂණ තිබේ. යකුන්, ගස්, ගල්, හිරු, සඳු ඇදහීය. ඒ වෙනුවෙන් පුද පූජා පැවැත්වීය. ඔවුහු නැටූහ. ගී ගැයූහ. වැදි පෙරහර ඒ සියල්ලෙන් ම සම්පූර්ණ විය. නිදසුනක් ලෙස කිරිකොරහ ශාන්තිකර්මයකි. කන්දේ යකා හා බිළිඳු යකා ඉන් පුද ලබති.

බමර කැපීමද වැදි ජීවන රටාවේ තවත් විශේෂ වූ අංගයකි. දසමස් කල් තබා ගැනීමට පැණි අවශ්‍ය විය. ඒ සඳහා මී වද බමර සොයමින්, ගල් රුප්පා, රූස්ස ගස් සරා මහා වනය පීරති. "නොදියුණු" නූගත් යන වදන විශේෂණය කොටගත්තත් වැද්දෝ අපට වඩා නුවණැත්තෝ ය. ඔවුන් නිවහල් ය, නිදහස් ය. සතුටින් සාමයෙන් කාලය ගෙවන්නෝය. එවන් ජනසමාජය ක නැටුම්, ගැයුම් වැනි කලා රසාංග මතුවන්නේ නිතැතිනි.

"මලී ගී" නමින් ද හැඳින් වෙන බමර ගී පිළිඹඳ කතාව අවස්ථා කිහිපය කි. කඳු, හෙල්, පල්ලම් තරණය කර රූස්ස ගස් නගින හැටි, ගල් නලළත ට පැමිණෙන අයුර, බමර දකින විට ඇතිවෙන සතුට, ඉන් උද්දාමයට පත් වෙන හැටි, එසේ වී දෙවියන් වෙනුවෙන් ඒවා ගායන කරන හැටි යන අවස්ථා වර්ණවත් කලේ කවියෙන්, කිසිවකින් ඔවුහු අනුකරණ නොකරන ලද්දා හ. ගැයුවේ අවංක සිතිනි. අව්‍යාජ අදහසිනි. ජීවනයේ දුක්, කම් කටොලු ගන විස්තර එහි ඇතුලත් වී ඇත්තේ ය.

පදවැල් ඉතා සරළ ය. ඔවුන්ට ම අවේණික වූ බැද්ද, හුරා, රිස්ස වැනි පද යහමින් යෙදී ඇත. ස්වර පරාසය පටු ය. එහෙත් වෙන කිසිම ජන ගී රටාවක ට සම කල නොහැක.

ගල් ඇඳි වල බැඳ ඇති බමර කැපීමේදී, රසවත් කතා ඇසිය හැකිය. ගල නලළත පහලට බැසීමට, ශක්තිමත් වැලක් යොදාගනී, එහි මුල ඇල්ලීමට ඉඩදෙන්නේ තම මස්සිනාට පමණි. ඒ වෙනත් කෙනෙකු ගැන විශ්වාසය තැබිය නොහැකි නිසා ය. ලොකු ගස් වල ට නගින්නේ වෙනත් කුඩා ගසක ඇති වැලක ආධාරයෙනි. ඔන්චිල්ලාවක සේ පැද්දී පැද්දී යමින් දුම් අල්ලා මැස්සන් පලවා හරින්නේ සිය ජීවිතය ද පරදුවට තබා ය.

බමර කැපීමද ඉතා විචිත්‍ර ය.
බමරය කපන්නට යාමද අඟවන්නේ කවියකිනි.

මැණික් රජා හට ගොස් පවසන්නේ
බමර කපන්නට යමං කියන්නේ
දකුණට රං කඩුවක් අරගන්නේ
වමතට ගිනි පන්දමක් දරන්නේ

බමරය අසලට යන වැද්දා කැපීමට පෙර දෙවියන් යදී.
ඒ සිය ජීවතය හා අතවැසියාගේ ජීවිතය වෙනුවෙනි.

සිද්ද පරකාස දෙවි හාමුදුරුවනේ
තිත්ත රන් දුන්න ගන තේව කරමිනේ
සිද්ද වෙවන් පිනිදිය උඹට කැප උනේ
වැන්ද මෙන්න බුදුවෙන හාමුදුරුවනේ

බමරුන් ගසින් හෝ ගලෙන් ඉවත් ව ගිය පසු එහි මුදුනට වී සිටින වැද්දාට අවට සිරියාව යහමින් දකින්නට වරම් අවකාශ තිබේ. ඒ සතුට බමර කඩන්නා පෙන්වන්නේද කවියකිනි.

බැද්ද අවට සුදු මොර මල් පිපීලා
සද්ද කර බමරු ඒ වග අඬාලා
ඉටිත් පැණිත් ලොව හැමතැන බෙදාලා
යන්නම් බමරු දුක් මැසිවිලි කියාලා

වේලි හෙලට මේ මහ හෙල උස වැඩියා
ඒ දුනුවැල ඇදලා මගේ රිස්ස ගියා
ලොවේ සේනාව හෙලයට වැටී ගියා
ඉටි පැණි නැතිව උන් හෙලයට වැටී ගියා

බමරය කපන්නට ගසට නගින වැද්දා මෙසේ කියන විට පහල සිටින අතවැසියාද ඒ හඬ ගසා කියති.., එසේ ගෝෂා සහිතව ගයන්නේ වලසුන්ගේ උපද්‍රව ද මඟ හැරී යාමට ය. බමර පැණි ආපසු ගමට ගෙන යාමේදී ද දෙවියන් ගෙන් අවසර ගැනීමට ද අමතක නොකරති.

වේලි හෙලේ හෙල වටකර මුලුල්ලා
ගල් නලලත බැන්දා වැනි තොටිල්ලා
පාදන් පොලට එන කොටකර කැවිල්ලා
හෙලේ බසින්නට අවසර අර ගල්ලා

මේ අති සරළ ජීවන ක්රමය අතීත ජනයා ගෙව්වේ කලාවත් එක්කොට ගෙනය. ඔවුන් ස්වභාව ධර්මයට සැලකුවේද ස්නේහයෙනි, ස්වභාව ධර්මයද ඔවුන් ව අමතක නොකළේ ද එනිසා විය හැකිය. අද අපට අහිමි වී ඇත්තේ ද එයම ය.
----------------------------------------------------------------
ලිව්වේ : LishWish.
අතහිත : ප්‍රේමරත්න සොයිසා ගුරුපියාණන්.
================================================================

Mudalinda Janappriya මෙසේ කියයි.
මේ ලිපියෙන් කියවෙන විදියට බඹර කවි ඉපදෙන්නේ වැදි ජනතාවගෙන්..
නමුත් එය වැරදි මතයක්..
බඹර කවි භාවිතා කළේ ගම්වල වාසය කළ සාමාන්‍ය ජනතාව බඹර කපන්නට යද්දීයි.. වැදි ජනතාව බඹර කෙටීම සහ මී කැඩීම බහුලව සිදු කළත් බඹර කවි අයත් වන්නේ ඔවුන්ට නොවෙයි..වැදි ජනතාව භාවිතා කළේ වැදි බසයි.. නමුත් මේ බඹර කවි වල තියෙන්නේ සිංහල ගැමි වහරයි..

අනෙක් කරුණ මා අසා ඇති පරිදි සඳ සාවී මා ගීතයේ බඹර කැපීමට සම්බන්ධ අත්දැකීමත් වුවත් එහි සංගීත භාවිතාව ඇසුරු කර ඇත්තේ ‘වැළපුම් ගී‘ නාද රටාවක්.. බඹර කවි වල නාද රටාව නොවෙයි...

=======================================
මූලාශ්‍රය
බඹර ගලින් රූටාලා... 
සඳ නිවුනිද කියපන් මයෙ මලයා.
 ==============================
ජන ගීයේ රුව ආත්මය කොටගත් ගීත රචකයා 
සිසිර දිසානායක 

4 comments:

  1. සුපර්.. පොඩිම කාලේ සුදු ගෝණා කියවද්දි බඹර කැපීම ගැන සුදු වැද්දා දක්වපු දක්ෂතාවය මතක් උනා. ඒක හැකියාව වගේම නිර්භීතකම එක්ක බැඳිච්ච ව්‍යායාමයක්. 'මරණ තුනක් ඇති මිනිහෙක් පැනි කෑය' කියල ලියවුනෙත් මේකටමනේ.. හරිම ආසාවෙන් කියෙව්වා..

    සඳසාවී මා පසු කාලේක නිරෝෂා විරාජිනී කියුවා නේද?

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය. කියල අවසන් වෙන්නෙ සිංහල ජනකවියක්. මම දන්න තරමින් බඹර කැපීමට සම්බන්ධයක් නෑ එතන.

      වනේ ගිජිදාය දුටුවොත් වනසාය
      ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය.
      අතකින් කරවැලකි අතකින් දඬුබෑය
      මරණ තුනක් ඇති මිනිහෙක්  පැණි කෑය

      බැලූ බැල්මට මෙතන කියවෙන්නෙ කැළේ අලියෙකුට බයේ දුවගෙන ගිය මිනිහෙක් පාළු ළිඳකට පනිනව. ළිඳට වැටෙන කොට ළිං ඉවුරේ හැදිල තියෙන ගහක එල්ලෙනව. ඒ ගහේ තියෙන වැලක් මනුස්සයගෙ බෙල්ල වටේ එතිල තද වෙනව. ඒ අස්සෙ පල්ලෙහා ලිං පතුලෙ නයෙක් ඉන්නව පෙණේ කරගෙන. දැං මනුස්සයට මරණ තුනයි. ළිං කටේ ඉන්න අලියා. බෙල්ල වටේ එතිච්ච වැල. ළිං පතුලෙ නයා. ඒ ඔක්කොම තියෙද්දි මනුස්සය කරන්නෙ අත්තෙ බැඳල තියෙන දඬුබෑ මීයක් කඩල පැණි කන එක. දඬුවෙල්බෑමී කියන්නෙ මී වද වර්ගයක්.

      මේකෙ සැඟවුනු අර්ථය මෙහෙමයි. මෙතන කියන්නෙ අතීත, වර්තමාන සහ අනාගත යන තුන්කල්හිම මිනිසාට බලපාන මරණ බය. අලියා = අතීත මරණ බය, කරවැල = වර්තමාන මරණ බය, නයා = අනාගත මරණ බය..ඒ ඔක්කොම තියෙද්දි මිනිස්සු තෘෂ්ණාවේ ඇලී ගැලී කම්සැප විඳීම = පැණි කෑම.

      Delete
  2. Ravi...
    මරණ තුන
    රාග ද්වේශ මෝහ
    කියලයි මම දකින්නෙ..

    මේ කෙලෙස් රැස්වෙනකොට
    සිහිය දුර්වල වෙනවා.
    අවසාන කාලෙ
    මිනිස්සු මළකඳන් බවට පත්වෙන්නෙ
    වසරගණනාවක් තිස්සෙ
    රාග ද්වේශ මෝහ කෙලෙස් රැස්වීම නිසා
    සිහිය සෙමින් සෙමින් මිය යන නිසයි..

    ReplyDelete
    Replies
    1. අතුල.....

      ඔව්..ඔබේ අර්ථ කථනය වඩාත් උචිතයි කියල මමත් හිතනවා.

      Delete