20150608

ඔබ කාමය හඳුනනවාද...?



කාමය ස්වාභාවිකද?

ඔබ කාමය රස විඳින්නට මවන
සිහින ස්වාභාවිකද?

කාමය කියන්නෙ
ඔබේ මානසික අවශ්‍යතාවයක්ද?
ඔබේ කියා ඔබ අයිතිකරගත්
කායික අවශ්‍යතාවයක්ද?

ආහාර ගැනීම කියන්නෙ
ඔබේ මානසික අවශ්‍යතාවයක්ද?
ඔබේ කියා ඔබ අයිතිකරගත්
කායික අවශ්‍යතාවයක්ද?

හුස්ම ගැනීම
ඔබේ මානසික අවශ්‍යතාවයක් නොවන්නේ ඇයි.?
ඔබේ කියා ඔබ අයිතිකර නොගන්නේ ඇයි.
ඔබ හුස්ම වැටෙනවා දන්නේවත් නැත්තේ ඇයි..?

පළමු දෙකටම වඩා
ඔබට අවශ්‍ය වෙන හුස්ම ගැනීම
ඔබේ අවශ්‍යතාවයක් කියා
අයිති කරගන්නෙ නැත්තෙ ඇයි..?

හුස්ම ගැනීමට ප්‍රියජනක තැන් සොයා
ඔබ නොයන්නේ ඇයි?

කාමයෙහි හැසිරීමෙන්
ඔබට උපරිම වින්දනයක් ලැබෙන ආකාරයට
නවපන්නයේ හුස්ම ගැනීමේ ක්‍රමයක්
කිසිවෙකු නිපදවූවොත්
ඔබත් ඇතුළුව කාමය රසවිඳින ලෝකයා
ඒ ක්‍රමය වෙනුවෙන් කීයක් ගෙවාවිද?

ඔබ හුස්ම වැටෙනවා දන්නේවත් නැති ඔබ
කාම රසයට, ආහාර රස වින්දනයට
තදින් බැඳෙන්නේ ඇයි..?

කාමය, ආහාර ගැන කියවීමෙන්,
රූප දැකීමෙන්, සිහින මැවීමෙන් පවා
මිනිසා ලබන ප්‍රියජනක උත්තේජනය කුමක්ද?
ඒ ප්‍රියජනක උත්තේජන වලට
මිනිසා වහල් වන්නේ ඇයි..?

කායිකව විඳින දෙයක්
මනස අත්පත් කරගැනීම නිසා
මිනිසාගේ ආශාවන් වලට
තටු ලැබෙන්නේ කෙසේද?

කායිකව විඳින
ප්‍රියජනක වේදනා වෙනුවෙන්
මනස දුක් විඳින්නේ ඇයි?


කායිකව විඳින
ප්‍රියජනක වේදනාවක් වෙනුවෙන්
ස්ත්‍රී දූෂණයට පෙළඹෙන මිනිසා
තවත් අහිංසක ජීවිත විනාශ කොට
තමනුත් විනාශ වන්නේ ඇයි.?

කාමයෙන් හෝ ආහාර රසවිඳීමෙන් හෝ
ප්‍රියජනක වින්දනයක් ලබන විටක
ඒ වින්දනයෙන් කුල්මත්වෙන කය තුළ
ඒ ප්‍රියජනක උත්තේජනය
අනෙක් සංවේදනාවන්ට සාපේක්ෂව
සිහියෙන් දකින්නට ඔබට හැකිද?

ඔබ විඳින සංවේදනාවෙහි
සැබෑ ස්වරූපය ඔබට දැකිය හැකිද?


ඒ සංවේදනා පහළ වෙන අයුරු
පවතින අයුරු, බිඳී වියැකී යන අයුරු
ඔබ කවදා හෝ දැක තිබේද?

ඔබ රස විඳින අරමුණු පිළිබඳව
ඇසින් හෝ කණින් ලැබෙන උත්තේජනයන් නිසා
ඔබ කය තුළ පහළවෙන ප්‍රියජනක සංවේදනා
ඔබ හඳුනනවාද?

ප්‍රියජනක සංවේදනා විඳින්නට
දින ගණන් මාස ගණන් වසර ගණන් සිහින මවන ඔබ
ඒ සංවේදනා විඳින විට සැබැවින්ම දකින්නේ
ඔබට දැනෙන සංවේදනා වලින්
ඉතාම සුළු ප්‍රමාණයක්
බැව් ඔබ දන්නවාද?

ඔබ ඔබේ කයට කොතරම් සංවේදීද?

ඔබේ සංවේදී බවෙහි සීමාව තුළ
හුස්ම නාසයෙහි ස්පර්ශ වෙන බව දැනෙනවාද?

ඔබේ කයෙහි ඇඳුම ස්පර්ශ වෙන බව
දැනෙනවාද?

ඔබේ සමෙහි ස්පර්ශවෙන සියල්ලෙන්
ඔබ දකින්නේ කොතරම් සුළු ප්‍රමාණයක්ද?

ඔබ පෙරුම් පුරා රස විඳින දේවල් වලින්
ඔබට සැබැවින්ම ලැබෙන රසයෙන්
ඔබ විඳින්නේ කොතරම් සුළු ප්‍රමාණයක්ද?

ඔබට මේ පරාසය වැඩි කරගත නොහැකිද?

ආශ්වාස ප්‍රශ්වාසය දැනෙන තරමට ඔබේ සිහිය සියුම්ද?

ආශ්වාස ප්‍රශ්වාසය නොදැනෙන්නේ
ඔබේ සිහිය ගොරෝසු නිසාද?

ඔබේ ගොරෝසු සිහිය
ඔබේ රස වින්දනයට බලපානවා.

ආශ්වාස ප්‍රශ්වාසය දැනෙන තරමට
ඔබේ සිහිය සියුම් වුවහොත්

ඔබේ සංවේදී බව වැඩි නොවෙයිද?

අවසිහිය සිහිය බවට පෙරළාගෙන
සිහිය පිහිටුවා ගත් තරමට
ඔබට ලැබෙන තොරතුරුවලින්
ඔබ ග්‍රහණය කරගන්නා ප්‍රමාණය
වැඩිවෙනවා නොවේද?

සැබෑ ජීවත්වීම
ඔබ තුළත් පිටතත් සිදුවෙන සියලු දේට
තෝරාගැනීමකින් තොරව සංවේදී වීමයි.



No comments:

Post a Comment