බෞද්ධ සංස්කෘතිය නිර්මාණය කළේ
බුදුන් වහන්සෙ නෙමෙයි.
බෞද්ධ සංස්කෘතිය නිර්මාණය කළේ
බුදුන් වහන්සෙ ඇදහූ බෞද්ධයන්...
සහ ඔවුන් පාලනය කළ රජවරුන්.
බුදුන් වහන්සෙ බුදු දහම
දේශනා කළේ
තනි තනි පුද්ගලයාට
එදිනෙදා ජීවිතයේ දුක නිවා ගනිමින්
ක්ෂණයෙන් ක්ෂණය ඉදිරියට යන්නයි.
ඒ මොහොතෙන් මොහොතට දුක නිවන මග
සසර කෙළවර දක්වා කල් දැමුව
මෝහාධික පූජකයන් සහ
බල ලෝභී රජවරුන්
බෞද්ධ සංස්කෘතිය
සමාජීය ක්‍රියාවලියක් බවට පත් කරලා
නියම අරුත වසන් කළා.
ඒ සංස්කෘතිය තුළ
බුදු දහම මියගියේ නැහැ.
ප්‍රඥාවෙන් යායුතු මග
ශීලයෙන් යන්නට ඔවුන් හුරුවුණා.
ගින්න මොකක්ද කියා නොසොයා,
ගින්නෙන් ආරක්ෂා වීමට හුරු නොවී
ගින්නෙන් ඈත්වී ඉන්නට
සමාජයක් විදියට හුරු වුණා.
තනිව යායුතු මගෙහි
සමාජයක් විදියට යන විට
ශීලයෙන් එහාට යන්නට
කිසිවෙකුට බැහැ.
බුදුන් වහන්සෙගෙ අරමුණ ඉටු නොවුණත්
ශීලය රැකෙනවා නම්
සමාජයෙ ආරක්ෂාව තියනවා.
බුදු දහමෙන් හික්මෙන සමාජයක
බෞද්ධ සංස්කෘතික අංග තුළ
බුදු දහමෙ ලකුණු තියනවා.
හැන්දෑවෙ බෝමලුවෙ පෙළට ඉඳන්
බුද්ධ පූජාවට අත ගහන්න
මල් වට්ටිය අතින් අත යැවීමෙන්
ඇතිවෙනවා, නැතිවෙනවා වශයෙන්
අනිත්‍යය පිළිගන්න බෞද්ධයා
පුරුදු වෙනවා.
පුදන මල් පරවෙන බව
සිහි කිරීමෙන්
අනිත්‍යය පිළිගන්න බෞද්ධයා
පුරුදු වෙනවා.
අනිත්‍යය දැනෙන
අනිත්යය පිළිගන්න බෞද්ධයා
එයින් හික්මෙනවා.
ඔහු දුක් විඳින්නෙ නෑ.
ඔහු සැනසිල්ලෙන් ඉන්න නිසා
ඔහු අතින් තව කෙනෙකුගෙ
සැනසිල්ල නැති වෙන්නෙ නෑ.
ඒ සංස්කෘතියෙන් ලද ආලෝකයෙන්
බුදු සසුන පෝෂණය වුණා.
පෝෂණය වූ බුදු දහම ඇසුරෙ
බුදු දහම ග්රහණය කර ගැනීම
පහසු වෙනවා.
බුදුන් වහන්සෙ වෙනත් සංස්කෘතීන්
හිතා මතා බින්දෙ නැහැ.
අලුත් දෙයක් එක් කළා පමණයි.
මෝහයෙන් හොඳ හෝ නරක කරමින්
දෙකෙන්ම දුක් විඳිමින් සිටි
අන්ධ ජනතාවට සිහිය දුන්නා.
බිඳ වැටුණ සංස්කෘතීන් බිඳුණෙ
උන් වහන්සෙගෙ දහම නිසා නෙමෙයි.
ඒ දහම පිළිගත් මිනිස්සුන්ගෙ හිත් වලින්
මිථ්‍යා විශ්වාස අත් හැරුණ නිසයි.
මිථ්‍යා විශ්වාස තියන අය
බුදු දහම තුළමත් ඉන්නවා.
බහුතරය එහෙමයි.
කිසිම කෙනෙකුට තවත් කෙනෙකුගෙ
මිථ්‍යා විශ්වාස නැති කරන්න බැහැ.
එහෙම කරන්න හදන්නෙත්
මිථ්‍යා විශ්වාසයකින්.
තමන්ගෙ මිථ්‍යා විශ්වාස වලින්
තමන් මිදුණෙ නැත්නම්
මිථ්‍යා විශ්වාස නැතිකරන්න
ක්‍රියා කිරීම ඊටත් වඩා හානිකර මිථ්‍යාවක්.
සංස්කෘතියෙන් හික්මුණ අතළොස්සක්
දම්වැල දිග තියන දුර
නිදහසේ හිටියා.
පන්සිල් ගත්තත් නැතත්
ඔවුන් පන්සිල් රැක්කා.
ඔවුන් පන්සිල් රැක්කෙ ඉවෙන්...
තමන්ට හානිකර බව
යම් තරමකට වැටහුණ නිසාත්
ඒ හානියෙන් මිදෙන්න
ඔවුන්ට අවශ්‍ය නිසාත්
ඔවුන් සිල්වත්ව ජීවත්වුණා..
සංස්කෘතියෙන් හික්මුණ ඔවුන්
ඒ බව දැක්කෙ නැහැ.
ඒ හික්මීම පිළිබඳව සම්මානය
ඔවුන් විසින් තමන්ටම පුදාගෙන
තමන් නිදහස්ව ඉන්නවා වගේ
සමාජයත් මිථ්‍යා විශ්වාස වලින්
මුදාගන්න ඔවුන් හිතුවා.
ඔවුන් සංස්කෘතික දම්වැලේ දිග තියන තුරු
නිදහස භුක්ති වින්දා..
එයින් තෘප්තිමත් වුණා.
සමාජයෙ පිරිහීමට වගකිවයුත්තෙ
සංස්කෘතික ආරක්ෂාව නිසා
තමන්ගෙ ජීවිතය රැකගෙන
ඒ හික්මීම නැත් අනික් අය
සංස්කෘතියෙන් නිදහස් වෙන්න පොළඹවමින්
ඔවුන් වෙනුවෙන් සටන් කරපු
ලේඛකයන්...චින්තකයන්...
සහ කලාකරුවන්.
කූට දේශපාලනඥයන් කලේ
ඒ රැල්ල මතින්
තමන්ට අවශ්‍ය තැනට
ජනතාව කරපිටින් ගිය එකයි.
දම්වැලකින් බැඳල තියන මෘගයෙක්
නිදහස් කළයුත්තෙ
ඌට ඌව පාලනය කරගන්න
පුරුදු කලාට පස්සෙයි.
ඒ මෘගයා පාලනය කරලා තිබුණෙ
සමාජ සම්මතය හා සංස්කෘතිය විසින්.
තමා දමනය කර ගැනීමෙන් නෙමෙයි.
ඔවුන් හොඳින් හිටියෙ පුරුද්දට.
එතන මෝහය තිබුණා.
බෞද්ධ සංස්කෘතියෙ
නැතිකළ යුතුව තිබුණේ
ඒ තුළ තිබුණ මෝහයයි.
මෝහය නැති කළ යුත්තෙ
සිහිය ඇති කර ගැනීමෙන්.
ඒත් නිදහස වටිනවා කියල
ඒ උදෙසා ක්‍රියා කළ අයත්
ඇතුළාන්තයෙන් මෘගයෝ.
මෝහය නැතිකරනවා වෙනුවට
මෘගයා නිදහස් කළා.
දෙවෙනි පරම්පරාවට
තමන් දමනය කරගන්න බැරි වුණාට
ඔවුන් විකෘති මාර්ග වලින්
එන ප්‍රශ්න වලින් ගැලවෙන්න
හුරු වෙලා හිටියා.
ඒ පරම්පරාවෙ
ලේඛකයන්...චින්තකයන්...
සහ කලාකරුවන් දම්වැල තුළ හිටියෙ අසහනයෙන්.
දම්වැල ඇදෙන කොට ඔවුන්.
මත්පැනෙන්, ප්‍රශ්න වලින් පලායෑමෙන්,
කරන කාර්යයෙහි හිස සඟවා ගැනීමෙන්...
දම්වැල අමතක කළා.
පුද්ගලිකව රහසේ දම්වැල බිඳගෙන ගියත්
සමාජය ඉදිරියේ ඔවුන් සාධු වරුන් සේ හැසිරුණා.
සංස්කෘතිය ප්‍රතික්ෂේප කළත්
දහම ප්‍රතික්ෂේප කරන්න තරම්
ඔවුන්ගෙ සිහි මුළා වෙලා තිබුණෙ නැහැ.
ඒත් ඔවුන්ට සංස්කෘතියෙන් මිදීම
පුද්ගලික අවශ්‍යතාවයක් වුණා.
ඔවුන් හැඟීම්බරව
ඒ සඳහා සටන් කළා.
එයින් සිදුවුණේ
ඊටත් වඩා මෝහය වගාකෙරෙන
වනචර සංස්කෘතියක් බිහිවීමයි.
අද සංස්කෘතිය එපා කියන්නෙ
කලින් පරම්පරාවෙ මෙන්
ව්‍යාජ ආත්ම දමනයක්වත් තියන
ලේඛකයන්...චින්තකයන්...
සහ කලාකරුවන් නෙමෙයි.
ආතම දමනය කියල දෙයක් නැහැ..
එහෙම නැති එක ආඩම්බරයක් කියල හිතෙන
ප්‍රසිද්ධියේ අනාචාරයේ හැසිරෙමින්
ඒ ගැන උදම් අනන මෘගයන්
කවියෙන්, ගීතයෙන්, චිත්‍රයෙන්
සමාජයට මග පෙන්වනවා,
තමන් ඉන්න තැනට එන්නට.
අද සංස්කෘතිය නිර්මාණය කරන්නෙ
අර නිදැල්ලේ හැසිරෙන ප්‍රිසිදු මෘගයන්.
දැන් කුමක්ද සිදුවිය යුත්තේ?