20121223

හොඳ මිනිසාත් නරකයි.

 

සාමාන්‍ය මිනිසුන්
සාපේක්ෂ ලෙස වර්ග දෙකකි.
පොදුවේ ගත් කල එකකි..

හොඳ මිනිසුන් සහ නරක මිනිසුන් ලෙස
සමාජය විසින් වර්ග කෙරුණද
පොදු සමාජයෙහි වෙසෙන සියල්ලන්ම
ඇතුළාන්තයෙන් සමානයහ.

මෙය කියවන ඔබද
ලියන මාද
මෙමෙ දෙවර්ගයෙන්ම සැදුණු
සාමාන්‍ය මිනිසුන් බව
අන් අය කෙසේ වෙතත්
අපි දෙදෙනා දනිමු.

එහෙයින්
අපි එක්ව සත්‍යයට මුහුණ දී
අප ඉන්න තැනත්
ඉන් ඔබ්බෙහිත් ඇති දේ
නිහතමානීව, සංවරව විමසා බලමු.

පොදුවේ ගත් කල
සාමාන්‍ය මිනිසුන්
හොඳ මිනිසුන් සහ නරක මිනිසුන් ලෙස
සමාජය විසින් වර්ග කෙරුණද
පොදු සමාජයෙහි වෙසෙන සියල්ලන්ම
ඇතුළාන්තයෙන් සමානයහ.

ප්‍රිය දෙයක් දුටු විට
ඒ පසු පස දුවන්නට
ඇතුළාන්තයෙන් එන පෙළඹීම
මේ දේවර්ගයටම පොදුය.

හොඳ මිනිසා
ඇතුළාන්තයෙන් එන පෙළඹීම
පාලනය කර ගෙන නවතියි,
නැත්නම් හැල්මේ ගොස්
සමාජ සම්මතයට අනුව
ඒ දේ ලබා ගනියි.

නරක මිනිසා
කිසිවක් ගැන නොසිතා නොබලා
ප්‍රිය දේ පසුපස දුවයි.

හොඳ මිනිසා මස් මිලට ගෙන අනුභව කරයි.
නරක මිනිසා මරාගෙන කයි.

හොඳ මිනිසා උපයා ගනියි.
නරක මිනිසා මංකොල්ල කයි.

හොඳ මිනිසා විවාහ ජීවිතයක් ගත කරයි.
නරක මිනිසා අනාචාරයේ හැසිරෙයි.

හොඳ මිනිසා ඇත්ත කියයි.
නරක මිනිසා බොරු කියයි.

හොඳ මිනිසා මත්පැන් පානයෙන් සිහි සුන් කර නොගනියි.
නරක මිනිසා මත්පැන් පානයෙන් සිහි සුන් කර ගනියි.

ඇතුළාන්තයේ ආවේග මගින්
පොළඹවන ලද හොඳ මිනිසා
ආගම නිසා හෝ,
සමාජ සම්මතය නිසා හෝ,
රාජ්‍ය නීතිය නිසා හෝ
පවුල් සංස්ථාව රැක ගැනීමට හෝ
එම ආවේග දමනය කරගෙන
සමාජය නොපෙළා ජීවත් වෙයි.

ඇතුළාන්තයේ ආවේග මගින්
පොළඹවන ලද නරක මිනිසා
ආගම නිසා හෝ,
සමාජ සම්මතය නිසා හෝ,
රාජ්‍ය නීතිය නිසා හෝ
පවුල් සංස්ථාව රැක ගැනීමට හෝ
එම ආවේග දමනය කරගත නොහැකිව
සමාජය පෙළමින් ජීවත් වෙයි.

සාපේක්ෂව හොඳ සමාජයක
නරක මිනිසා සමාජය පෙළන්නෙකි.

සාපේක්ෂව නරක සමාජයක
හොඳ මිනිසා සමාජය පෙළන්නෙකි.

සමාජය නොපෙළන්නා
ඇතුළාන්තයෙන් කවරෙකු වුවද
ඒ සමාජයට ඔහු හොඳ මිනිසෙකි.

සමාජය පෙළන්නා
ඇතුළාන්තයෙන් කවරෙකු වුවද
ඒ සමාජයට ඔහු නරක මිනිසෙකි.

හොඳ මිනිසා සහ නරක මිනිසා වෙනස් වන්නේ
ඔවුන් සමාජයෙහි හැසිරෙන ආකාරයෙන් පමණි.
ඔවුන් සමාජයට සහ තම සිතැඟි වලට
ප්‍රතිචාර දක්වන ආකාරයෙන් පමණි.

සමාජය හොඳ මිනිසුන් ලෙස ගරු කරන හෝ
නරක මිනිසුන් ලෙස හෙළා දකින
පොදු මිනිසා පිළිබඳ සත්‍යය දන්නේ
ඔවුන් සහ සමීපතමයින්ය.

සමාජය ඔවුන් වර්ග කරන ආකාරයට අනුව
ඔවුහු හැමවිටම නොහැසිරෙති.

හොඳ මිනිසා
මොහොතකින්
දරුණු මිනීමරුවෙකි විය හැක.
දරුණු මිනී මරුවෙකු
නාඳුනන අහිංසකයෙකු වෙනුවෙන්
ජීවිතය පිදිය හැක.

ප්‍රිය දේ ලබා ගැනීමටත්,
අප්‍රිය දෙයින් මිදීමටත් ඇති කැමැත්ත නිසා
ඇතුළාන්තයෙන් එන පෙළඹීම මත
සියල්ලම කරන,
එහෙත් එම පෙළඹීම නිසා
තමා මෙය කරන බව නොදන්නා
පොදු සාමාන්‍ය මිනිසා
හොඳත් නරකත් අතර දෝලනය වෙමින්
ජීවිතය සාපේක්ෂ වශයෙන්
හොඳ හෝ නරක ජීවිතයක් ලෙස
ඔහේ ගෙවා දමයි.

සමාජයෙන් ඈත්වී
තමාගේ ලොවක් තුළ ජීවත් වන
ඉතා හොඳ මිනිසුන් ලෙස,
සමාජයෙන් බුහුමන් ලබන කොටසක්ද ඇත.

ඒ ඔවුන් හොඳ නිසා නොව
තමාට අත්‍යාවශ්‍ය දේ ගැන පමණක් සිහියෙන්
අන් සියල්ලට ඉඳුරන් වසාගෙන
මෝහයෙන් ජීවත්වෙන ඔවුන්ගෙන්
රාගයෙන් හෝ ද්වේශයෙන් හැසිරෙන අයගෙන් මෙන්
සමාජයට කරදරයක් නැති නිසාය.
බටහිර රටවල්වල නිරාගමික සමාජ
මනස නිර්වින්දනය කරගැනීමෙන්
මළවුන් මෙන් වෙසෙන්නන්ගෙන් සමන්විත වීම නිසා
අපරාධ ආදිය අවම වී ඇත.

No comments:

Post a Comment