එන්න එළියට හනිකට
පැවැසීමි ඔවුනට
ගෙහි දොර විවර කොට
කිසිවකු නැත වුවමනාවක්
ගෙයින් පිටතට එන්නට
-----------------------------බ්‍රෙෂ්ට්
Source: මැදගම ධම්මානන්ද හිමි -www.divaina.com
ප්‍ර ංශ, පෘතුගීසි, ඕලන්ද හා ඉංග්‍රීසි ජාතිකයන් පෙරදිග ලෝකයට පැමිණියේ ආක්‍රමණික ස්‌වරූපයෙනි. ආසියාතික රටවල් යටත් කරගෙන තම ආගම හා සංස්‌කෘතිය එහි පැතිරවීමත්, ඒ රටවල සම්පත්වලින් තම මවුබිම පෝෂණය කිරීමත් ඔවුන්ගේ ප්‍රධාන අපේක්‍ෂාව විය. පෘතුගීසීන් රටවල් ආක්‍රමණය කළේ 1493 මැයි 4 දින හයවැනි ඇලෙක්‌සැන්ඩර් පෝප්තුමා දුන් නියෝගයකට අනුවය. රටවල් ක්‍රිස්‌තියානි දේශයන් බවට පත්කිරීම හා ක්‍රිස්‌තියානි ආගම වැළඳ ගැනීමට මැලිවන මිනිසුන් මරා දැමීම ඔවුන්ගේ ප්‍රතිපත්තිය විය.එහෙත් ජර්මන් ජාතිකයන් පෙරදිග රටවලට පැමිණියේ වෙනත් ස්‌වරූපයකිනි. ආසියානු වැසියන්ගේ කලාව, සංස්‌කෘතිය, භාෂාව, ජනවර්ග, ඓතිහාසික මූලාශ්‍ර ආදිය ගැන දැන ගැනීමට තිබුණ කුතුහලය හා ඒ දැනුම උපයෝගී කරගෙන තම ජාතියට සේවයක් සැලසීමේ අභිප්‍රාය ඔවුන් තුළ තිබිණි. ඒ අනුව දහනවවැනි සියවසේ සිට ජර්මන් විද්වත්හු බොහෝ දෙනෙක් ඉන්දියාව, ලංකාව, චීනය වැනි ආසියාතික රටවලට පැමිණියහ. ඔවුන් කටයුතු කළේ ඒ රටවල වැසියන්ගේ සිතුම් පැතුම් හඳුනා ගනිමින් සුහදත්වයෙනි. ආසියානු වැසියන්ගේ ඓතිහාසික හා සංස්‌කෘතික උරුමයන් පිළිබඳ බටහිර ලෝකයට එළිදරව් කළ බොහෝ දෙනා ජර්මන් ජාතිකයෝය. මැක්‌ස් ම්‍යqලර්, මැක්‌ස් වේබර්, හෙල්මුට් ග්ලැස්‌නැප්, ෂෙලිග්මාන්, ලුඩ්විග් වින්ස්‌ටන්ටයින්, කාල් නොයිමන්, හර්මන් ඕල්ඩන්බෙර්ග්, විල්හෙල්ම් ගයිගර්, හයින්ස් බෙෂර්ට්, ඤණාතිලෝක හිsමි, ඤාණපෝනික හිමි ආදී විද්වත්හු ඒ අතර වෙති. ඔවුන් විසින් විවිධ විෂය ක්‍ෂේත්‍රයන් ඔස්‌සේ සිදුකරන ලද ශාස්‌ත්‍රීය පර්යේෂණ ආසියාතික රටවල ඓතිහාසික උරුමයන්ගේ ආරක්‍ෂාවට මෙන්ම ආගම්වල ව්‍යාප්තියට ද බලපෑවේය.
බෞද්ධ ග්‍රන්ථ ද ජර්මන් භාෂාවට පරිවර්තනය කෙරුණ අතර ඒ ඇසුරෙන් ස්‌වතන්ත්‍ර නිර්මාණ රාශියක් ද බිහිවිය. ඒ බෞද්ධ කෘති අධ්‍යයනය කළ දාර්ශනිකයන්, විද්‍යාඥයන්, ලේඛකයන් වැනි විවිධ පුද්ගලයෝ තම විෂය ක්‍ෂේත්‍රයේ වර්ධනයට බෞද්ධ ඉගැන්වීම් උපයෝගී කරගත්හ. දාර්ශනික ආතර් ෂොපෙන්හවර්, පෙඩ්රික් නීට්‌ෂේ, මහා සංගීතඥ රිචඩ් වාග්නර්, සුප්‍රකට ලේඛකයන් වන කාල් ග්ජෙලරප්, ප්‍රිට්‌ස් මෝත්නර්, හර්මන් හේස, තෝමන් මන් වැනි අය බුදුදහමෙන් පෝෂණය ලැබුවෝ වෙති. ලෝක ප්‍රකට නාට්‍යකරුවකු වන බර්ටෝල් බ්‍රෙෂ්ට් ඔවුන් අතරට එක්‌වන තවත් පුද්ගලයෙකි.
බර්ටෝල් බ්‍රෙෂ්ට් 1898 පෙබරවාරි 10 වැනි දින අවුගුස්‌බෙර්ග් නගරයෙහි උපන්නෙකි. 1956 අගෝස්‌තු 14 වන දින ඔහු මෙලොවින් සමුගන්නා විට වයස අවුරුදු 58 කි. බොහෝ දෙනා බර්ටෝල් බ්‍රෙෂ්ට් හඳුනාගෙන තිබෙන්නේ මාක්‌ස්‌වාදී චින්තනය මත පිහිටා නාට්‍ය හා කාව්‍ය නිර්මාණයෙහි යෙදුන කලාකරුවකු වශයෙනි. ආගම් ප්‍රතික්‍ෂේප කිරීම මාක්‌ස්‌වාදීන්ගේ සිරිතකි. එසේ වුවද බර්ටෝල් බ්‍රෙෂ්ට් බුදුදහම ගැන විශේෂ උනන්දුවක් දැක්‌වූ බවට සාධක ඇත. ඔහු 1917 පෝලා බාන්හොල්සර් නමැත්තියට ලියූ ලිපියක නිර්වාණය ගැන සඳහන් කර තිබේ. බ්‍රෙෂ්ට්‌ගේ 1921 මැයි 17 වැනි දින සටහනෙහි "මම මවුත්නර් ලියූ ගෞතම බුදුරදුන්ගේ පිරිනිවන්පෑම පොත කියවමි." (Ich lese Mauthners Letzten 'Tod des Gautama Buddha') යනුවෙන් සඳහන් කර ඇත. එම පොත ප්‍රිට්‌ස් මවුත්නර් විසින් පරිනිබ්බාන සූත්‍රය ඇසුරෙන් ලියන ලද නවකතාවකි. බර්ටෝල් බ්‍රෙෂ්ට් 1938 දී පමණ බුදුදහම සම්බන්ධ කරගනිමින් ලියූ පැදි පෙළක් තිබේ. "ගිනිගත් ගෙය ගැන බුදුරදුන්ගේ උපමාව" (Gleichnis des Buddha vom brennenden Haus) යනු එහි මාතෘකාවයි. එහි අනුවාදය මෙසේය.
තණ්‌හා චක්‍රයෙහි බැඳුනෙමු අපි සැවොම
ඉලක්‌කය ගැලවුමයි තණ්‌හාවෙ බැඳීමෙන්
මිදුනොත් යා හැකිය කිසිවක් නැති තැනට
නිර්වාණය යි එය දෙසුවේය බුදුසමිඳු
හිමියනි, දෙසනු මැන, අප සැවොම යායුතු
කිසිවක් නොමැති තැන ස්‌වභාවය කෙබඳුද?
ඔබ දෙසන අයුරින් දුරලමු තණ්‌හාව නිසැකව
දිනෙක පැවසූහ සව්වෝ
සියලු දේ එකතුවෙන් නිමවූවක්‌ද එය?
සිතිවිල්ලෙන් මිදී සැහැල්ලුවෙන් දියෙහි වැතිරී සිටින
මිනිසකුට දැනෙනා සුවයක් වැනිද? ඒ ශූන්‍යතාවය
පොරෝනයක දැවටී නිදන කෙනෙකුට දැනෙන
සුවය වැනි වේද? ඒ කිසිවක් නොමැති තැන සැපය
කිමද? ඒ ශූන්‍යතාවය
සිසිලසක් නොදැනෙන කිසිදු අරුතක් නොමැති
හුදෙක් හිස් වූ දෙයක් වෙද? ඒ ශූන්‍යතාවය
ඔබේ පැනයට නොමැත දෙන්නට පිළිතුරක්
මඳක් උරහිස සලමින් පවසා බුදුහු
දිගු වෙලාවක් වැඩහුන්හ සමවතින් නිහඬව
ඔවුන් ගිය පසු සැඳෑ යාමෙහි
දෙල්ගසක් යට සිටිය බුදුහිමි
කිසිදු පැනයන් නොඇසූ වෙනත් සව්වන් පිssරිසකට
පැවැසිය මෙම උපමාව
වරක් මම දුටුවෙමි වහලෙන් ගිනිදැල් මතුවන නිවසක්
ගියෙමි මම ගෙය තුළට දුටිමි ඒ තුළ සිටින මිනිසුන්
ගිනිගෙන දැවෙයි වහලය එන්න එළියට හනිකට
පැවැසීමි ඔවුනට ගෙහි දොරටු විවර කොට
කිසිවකු නැත වුවමනාවක් ගෙයින් පිටතට එන්නට
ගිනිදැල් නැගෙන විට ඇස් බැම පවා දවනට
එකෙක් ඇසුවා මගෙන් කොහොමද පිටත තත්ත්වය?
තවමත් වහිනවද? සුළං රැළි නැවතුණිද?
තිබෙනවද? මේ අසල නිවසක්
මෙවැනිම සැප පහසුකම් ඇති
පිටවුණෙමි මම එතැනින් කිසිවක් ඔහුට නොකියා
පැන අසන අතරෙහි ඔවුන් දැවී යනු ඇතැයි සිතමින්
සැබැවින්ම මගෙ මිතුරනි,
ඔබ සිටින බිම ගිනියම්ව ඔබෙ දෙපා දවන විට
නොසිතෙයි නම් ඔබට එතැනින් නික්‌ම යන්නට
කුමක් මම පවසම්ද? නිහඬව සිටිනවා මිස
වෙනස් විය යුතුය ඔබ මෙසේ පැවැසීය බුදුහිමි
ඉවසීමේ කලාව නොදැන කලබලයෙන් හැසිරෙන
නොයෙක් වැඩවල යෙදෙනා අපි ද එවැනිම පිරිසකි
මිනිස් වගට එරෙහිව නැඟෙන
බාධක දිනුමට මග සොයනු වෙනුවට
ධනපතියන් හෙළන බෝම්බවලට මැදිවෙමින්
අහස්‌යානා යන හැටි බලමින් කිමද, අප මේ කරන්නේ?
වෑයම් නොකර සැබෑ වෙනසක් කරන්නට
මුදල් ඉතිරිය, ඉරු දින අඳින ඇඳුම් ගැන
කතා කර කර ඉඳීමෙන් ලබන නිදහස කිම?
නිර්වාණය ගැන දේශනා කළත්, ඒ ගැන උනන්දු නොවන ශ්‍රාවකයන් තණ්‌හාවෙහිම බැදී වැනසෙන බව පෙන්වා දීමට බුදුරදුන් ගිනිගත් ගෙය පිළිබඳ උපමාව යොදාගෙන ඇත. උපදෙස් දුන් විට එය අනුගමනය නොකොට ප්‍රශ්න අසමින් සිටින මෝඩයන්ට තවදුරටත් කරුණු කියාදීමෙන් වැඩක් නොමැත යන අදහස එයින් මතු කෙරෙයි. ධනේශ්වර සමාජයේ පීඩනයට ගොදුරු වූ ජනතාව එයින් මිදෙන්නට උත්සාහ නොකර කිසිදු හරයක් නොමැති දේවලට යොමුවෙමින් කලබලකාරී ජීවන රටාවකට හුරු වී සිටීම වරදක් බව පෙන්වීමට බර්ටෝල් බෙෂ්ට් බුදුරදුන්ගේ උපමාව භාවිතා කර ඇත.
ගිනිගත් ගෙය පිළිබඳ උපමාව මහායාන බුදුදහමට අයත් සද්ධර්මපූණ්‌ඩරික සූත්‍රයෙහි සඳහන් වන්නකි. එය විස්‌තර වන්නේ බ්‍රෙෂ්ට්‌ගේ පැදි පෙළෙහි දැක්‌වෙන ආකාරයට වඩා තරමක් වෙනස් අයුරිනි. නිවසෙහි සෑම පැත්තක්‌ම ගිනිදැල්වලින් වෙළුන විට දාරක ප්‍රේමයෙන් යුත් කාරුණික පියෙක්, මගේ දරුවනේ, ගෙයින් එළියට වරෙල්ලා යෑයි කෑගසා කියයි. දරුවෝ පියාගේ වචනය ගැන තැකීමක් නොකර නිවෙස තුළ තවදරටත් දුව පනිමින් සෙල්ලම් කරති. ඒ අතර පියා දෙස බලා "ගින්නක්" යෑයි විමතියෙන් අසති. පියා නුවණැත්තෙකි. ඔහු නොයෙක් සෙල්ලම් බඩු සහිත කරත්ත තුනක් මිදුලෙහි තබා, දරුවනේ මෙන්න සෙල්ලම් කරත්ත ගොඩක් තිබෙනවා යෑයි නැවතත් දරුවන්ට අඬගසයි. එවිට දරුවෝ සෙල්ලම් බඩුවලට ආශාවෙන් ගිනිගත් ගෙයින් එළියට පැමිණෙති. බුදුරදුන් ඒ උපමාව දහමට සලසා තිබෙන්නේ මෙසේය. සාරිපුත්‍රයෙනි, ලෝකවාසී සියල්ලෝම මාගේ දරුවෝය. කරත්ත තුන නම් බුදුබව, පසේබුදු බව හා රහත් බවයි. දැවෙන ගිනිගත් ගෙය ලෝක ධාතුවයි. තණ්‌හාව, ක්‍රෝධ, ඊර්ෂ්‍යාව, උඩඟුකම නිවෙස දවනා ගිනිදැල්ය. මේ අයුරින් ගිනිගත් ගෙය පිළිබඳ උපමාව සද්ධර්මපුණ්‌ඩරීක සූත්‍රයෙහි දීර්ඝ ලෙස විස්‌තර වෙයි. නමුත් බර්ටෝල් බ්‍රෙෂ්ට් එම උපමාව කියවා තිබෙන්නේ කාල් ජෙලරප් ලියූ කාමනීත වන්දනාකරු නමැති නවකතාවෙන් බව පෙනේ.
බ්‍රෙෂ්ට් තම කෙටි ජීවිත කාලය තුළ නාට්‍ය විස්‌සක් පමණ ලියා ඇත. "හුණුවටයේ කතාව" (Der Caukasciche Creide Kreise) ඒ අතර විශිෂ්ට නිර්මාණයකි. දරුවකුගේ අයිතිය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනකු අතර ඇතිවන අර්බුදයක් සමථයකට පත්කෙරෙන ආකාරය සම්බන්ධ සිදුවීමක් එම නාටකයට පාදක වෙයි. යුද්ධයක් පැවැත්වෙන අවස්‌ථාවේ නටාලියා නමැති රැජිණි තම ළදරු පුත් මයිකල් කුමරු අත්හැර දමා පැන යයි. අසරණ වූ කුමාරයා රැගත් ගෲෂා නමැති සේවිකාව දුක් කරදර විඳිමින් ඔහු හදාවඩා ගනියි. යුද්ධය නිමා විය. රාජ්‍ය දේපොල නැවත ලබාගැනීමට රැජිණ සූදානම් වෙයි. ඒ සඳහා එහි උරුමකරු වන කුමාරයා ඇයගේ සමීපයේ සිටිය යුතුය. ඒ නිසා ගෲෂාගෙන් පුත් කුමරුවා ලබාගැනීමේ අදහසින් නටාලියා අධිකරණයට යයි. නඩු විසඳන්නේ අසඩක් නමැති විනිසුරු කෙනෙකි. ඔහු නඩුව විසඳන්නේ අපූරු අයුරිනි. හුණුවලින් රවුමක් ඇඳ ඒ මැද කුමරු තබා ඔහුගේ අත්වලින් අල්ලා දෙපැත්තට අදින්නැයි විනිසුරු කාන්තාවන් දෙදෙනාට නියම කරයි. කුමරුවා හදා වඩා ගත් ගෲෂා ඔහුගේ ජීවිතයට හානි වේ යෑයි බියෙන් අතින් ඇදීමෙන් වළකියි. ඒ නිසා කුමරු ඇදී යන්නේ රැජිණගේ පැත්තටය. වැදූ මවගේ සිතෙහි දරුවා කෙරෙහි ආදරයක් නොමැති බව තේරුම් ගන්නා අසඩක්, කුමරුවා කෙරෙහි සෙනෙහසින් හදාවඩා ගත් ගෲෂාට ඔහු භාරදෙයි. යම් දෙයක් ලබාදිය යුතු නම්, එය සුදුස්‌සාටම ලබාදිය යුතුය. මව්ගුණය ඇති අයම දරුවන් දිනිය යුතුය යනු බ්‍රෙෂ්ට්‌ගේ හුණුවටයේ කතාවේ තේමාවයි.
සොලමන් රජුගේ නඩු තීන්දුව යනුවෙන් බයිබලයේ රාජාවලිය කොටසේත්, පුත්‍ර ප්‍රශ්නය යනුවෙන් උම්මග්ග ජාතකයේත් හුණුවටයේ කතාවට තරමක් සමාන කතන්දර දෙකක් තිබේ. බයිබලයේ දැක්‌වෙන්නේ දරුවකුගේ අයිතිය ගැන වෙසඟනන් දෙදෙනකු අතරෙහි ඇතිවන ගැටුමකි. එක් නිවසක වෙසඟනෝ දෙදෙනෙක් වාසය කළහ. එක් කාන්තාවක් පුතකු බිහිකොට දින තුනකට පසු අනෙක් කාන්තාව ද පුතකු වැදුවාය. එක් ස්‌ත්‍රියක් රාත්‍රියෙහි දරුවා සමඟ නිදා සිටියදී ඇයගේ සිරුරට යටවීමෙන් ඔහු මරණයට පත්විය. එවිට ඇය නිදා සිටින අනෙක් ස්‌ත්‍රියගේ දරුවා පැහැරගෙන මියගිය දරුවාගේ සිරුර ඇය සමීපයෙහි තැබුවාය. උදෑසන කිරි පෙවීමට සැරසෙන විට මළ සිරුර දැක ඒ තම දරුවා නොවන බව අනෙක් ස්‌ත්‍රිය දැනගත්තාය. ඉන්පසු කාන්තාවෝ දෙදෙනා ජීවත්ව සිටින දරුවාගේ අයිතිය පිළිබඳ විනිශ්චය ඉල්ලමින් සොලමන් රජු හමුවට ගියහ. කඩුවක් ගෙන දරුවා දෙකට කපා ස්‌ත්‍රීන් දෙදෙනාට බෙදා දෙන ලෙස රජු නියම කළේය. එවිට සැබෑ මව දරුවාට සිදුවන විපත දැක හඬා වැළපෙමින්, රජතුමනි, දරුවා මරන්නට එපා, ඔහු අනෙක් ස්‌ත්‍රියට දෙන්නැයි ඉල්ලා සිටියාය. දාරක ප්‍රේමයෙන් හදවත උණු වූයේ සැබෑ මවගේ යෑයි තේරුම් ගත් රජු ඇයට දරුවා දුන්නේය. උම්මග්ග ජාතකයේ සඳහන් වන පුත්‍ර ප්‍රශ්නය බයිබලයේ කතාවට වඩා තරමක් වෙනස් වූවකි.
දරුවා නහවා පොකුණ අසල ඉවුරෙහි තබා මව නාන අතරේ මිනිස් වෙසින් එහි පැමිණි යකින්නක් දරුවා පැහැර ගත්තාය. මව දරුවා ඉල්ලමින් යකින්න සමඟ කළහ කරන්නට වූවාය. අවසානයේදී එම පුත්‍ර ප්‍රශ්නය විසඳීම මහෞෂධ පඬිතුමාට පැවරිණි. පොළොවෙහි ඉරක් ඇඳ එය මත තැබූ දරුවාගේ දෑතින් යකින්නටත්, දෙපයින් මවටත් අල්ලාගෙන අදින්නට මහෞෂධ පඬිතුමා නියම කළේය. එසේ කරද්දී දරුවා වේදනාවෙන් හඬන්නට විය. දරුවාගේ හැŽමෙන් කම්පාවට පත් මව දරුවා ඇදීම නවත්වා හඬා වැළපුණාය. දරු දුක ඇති වුණේ සැබෑ මවට බව රැස්‌ව සිටි පිරිසට පැහැදිලි කළ මහෞෂධ පඬිතුමා වැදූ මවට දරුවා පැවරුවේය.
බයිබලයේ සඳහන් වන්නේ කඩුවකින් දරුවා දෙකට කපා ස්‌ත්‍රීන් දෙදෙනාට බෙදා දෙන්නැයි සොලමන් රජු නියම කළ බවයි. ඒ අනුව බ්‍රෙෂ්ට් හුණුවටයේ කතාව බයිබලය ඇසුරෙන් සකස් වූවක් නොවන බව ඉතා පැහැදිලිය. උම්මග්ග ජාතකයේ දැක්‌වෙන විනිශ්චය හුණුවටයේ කතාව සමඟ තරමක් ගැලපෙයි. කතන්දර දෙකෙන්ම කියෑවෙන්නේ දරුවාගේ මව කවුදැයි තීරණය කිරීම සඳහා ඉරක් ඇඳ ඒ මත දරුවා තබා අදින්නැයි ස්‌ත්‍රීන් දෙදෙනාට නියෝග කළ බවයි. වෙනසක් දක්‌නට ලැබෙන්නේ අවසාන තීන්දුව සම්බන්ධයෙනි. මහෞෂධ පඬිතුමා නියම මවට දරුවා ලබාදෙයි. එහෙත් හුණුවටයේ කතාවේ දැක්‌වෙන පරිදි නටාලියා රැජිණ දරුවාගේ මව බව පැහැදිලි වුවත්, ඇයගේ සිතෙහි දරුවා කෙරෙහි ආදරයක් නොමැති බව තහවුරු විය. ඒ නිසා අසඩක් විසින් දරුවා පවරා දෙනු ලබන්නේ ඔහු හැදූ වැඩූ සේවිකාවටයි. අසඩක් දුන් තීන්දුව සාධාරණ බව පෙන්වා දෙන්නේ යම් දෙයක් දිය යුත්තේ එය ලබාගන්නට සුදුස්‌සාට බව ඉස්‌මතු කිරීමෙනි. බ්‍රෙෂ්ට් ඉදිරිපත් කර තිබෙන්නේ නව නිර්මාණයකි. පොතක තිබෙන කතන්දරයක් එලෙසම ඉදිරිපත් නොකර අලුත් අදහසක් ඉස්‌මතු කිරීම කලාකරුවකුගේ ස්‌වභාවයයි. බ්‍රෙෂ්ට් ප්‍රේක්‍ෂකයාගේ කුතුහලය අවුස්‌සා ඔහු අපේක්‍ෂා නොකරන තැනකට ගෙනගොස් නාට්‍යය නිමා කරයි. ප්‍රේක්‍ෂකයා වේදිකාවෙන් වෙන්කර තැබීම හා නාට්‍යයේ චරිතවලට ඔහු ආවේශ වීම වැළැක්‌වීම බ්‍රෙෂ්ට්‌ගේ නාට්‍ය ශෛලියේ විශේෂත්වයකි.
බර්ටෝල් බ්‍රෙෂ්aට් උම්මග්ග ජාතකය කියවූ බවක් දැනගන්නට නැත. ඔහු හුණුවටයේ කතාව සකස් කර තිබෙන්නේ 13 වන සියවසේ චීනයේ විසූ ලී ෂින් තාඕ විසින් නිර්මාණය කරන ලද "හොයි ලන් කි" හෙවත් හුණුවටය නමැති නාට්‍යය ඇසුරෙනි. චීන නාට්‍යය අවසාන කොටස උම්මග්ග ජාතකයේ පුත්‍ර ප්‍රශ්නයට සමානය. නමුත් මුල් කොටස වෙනස්‌ය. එක් සැමියකුට බිරින්දෑවරු දෙදෙනෙක් වූහ. එයින් එක් බිරිඳක් සැමියා මරා අනික් බිරිඳගේ දරුවා පැහැර ගනියි. අධිකරණයේදී හුණුවටයක් මත දරුවා තබා දෙපසට ඇදීමෙන් ඔහුගේ මව කවුරුදැ?යි තීන්දු කෙරේ. චීන හුණුවටයේ කතාව 1832 වසරේදී ප්‍රංශ භාෂාවෙන් මුද්‍රණය කර ඇත. එය මුල්වරට ජර්මන් භාෂාවෙන් පළකරන ලද්දේ 1926 දී ක්‌ලාබුන්ඩ් විසිනි. 1940 දී බර්ටෝල් බ්‍රෙෂ්ට් "අවුගුස්‌බුර්ගර් ක්‍රයිඩ ක්‍රයිස්" නමින් කෙටි කතන්දරයක් වශයෙන් හුණුවටයේ කතාව ලියා ඇත. රුසියාවේ ජෝජියාවට සම්බන්ධ කතාවක් වශයෙන් ඔහු එය නැවත රචනා කොට "කවුකාසිෂ ක්‍රයිඩ ක්‍රයිස්" නමින් රඟදැක්‌වීය.
මාක්‌ස්‌වාදයට නැඹුරු වූ බර්ටෝල් බ්‍රෙෂ්ට් කිසිදු ආගමක් ඇදහූ බවක් නොපෙනේ. දෙවියන් වහන්සේ පිළිබඳ බ්‍රෙෂ්ට්‌ගේ මතය ඔහුගේ ලේඛන තුළින් මතුවෙයි. එක් දෙවියෙක් සිටිනවාද? යන දින සටහන එය නිදසුනකි. "දෙවියන් වහන්සේ එක් කෙනෙක්‌ද? කෙනෙක් ඇසීය. ඒ සඳහා දෙන පිළිතුර පවත්නා තත්ත්වය මත ර¹පවතින වෙනස් කරගත යුත්තකි. එය වෙනස් කරගන්නට ඔබ සූදානම් නැතිනම් ප්‍රශ්නය අත්හැර දැමිය යුතුය. එය වෙනස් කරගන්නේ නම්, මට ඔබට උදව් කළ හැක. එක දෙයක් මට කිව හැක. එනම්, දෙවියන් වහන්සේ කෙනකු වුවමනා යෑයි ඔබ දැනටමත් තීරණය කර තිබෙන බවයි." "අහසෙහි කුණාටුවක් තිබෙන විට අවශ්‍ය වන්නේ දෙවියන්ට යාඥා කිරීම නොව ඔබගේ රැකවරණය තහවුරු කරගැනීමයි"
බදුදහමෙහි එන සත්‍යය බ්‍රෙෂ්ට් පිළිගෙන ඇත. ගිනිගත් ගෙය පිළිබඳ බුදුරදුන්ගේ උපමාව සඳහන් පැදි පෙළෙන් ඒ බව පැහැදිලි වෙයි. ශාරීරික සුවතාව සඳහා චීනයේ භාවිත ජල ප්‍රතිකාර ක්‍රමයට බ්‍රෙෂ්ට් තරුණ කාලයේ බෙහෙවින් ඇලුම් කර ඇත. දියෙහි වැතිර සිටී, සම්බාහනයෙන් පසු පොරෝනයකින් සිරුර වෙලා තැබීම වැනි දේවල් එයට සම්බන්ධය. ජල ප්‍රතිකාරයෙන් ලැබෙන සුවය නිර්වාණ සැපයට සමාන කරමින් බුදුරදුන්ගෙන් අසන්නේ බ්‍රෙෂ්ට්‌ගේ අත්දැකීම් ඇසුරෙනි.
No comments:
Post a Comment