20171129

අපේ අධ්‍යාපන ක්‍රමයෙ විභාග කරන්නෙ ලොතරැයි ක්‍රමයට.


අද පුතාට විභාගෙට චිත්‍ර.
පුතාගෙ චිත්‍ර වල න්‍යායික දැනුම
ඉතාම දුර්වලයි. පොතවත් නෑ.

ඊයෙ රෑ අම්මා පැරණි ප්‍රශ්න පත්‍ර ටිකක් අරන්
උත්තර පත්‍ර බලාගෙන ඉරි ගැහුවා.
ඒ වෙලාවෙ පුතා නින්දටත් ගිහින්.
උදේ පාසලේ වැඩ පටන් ගන්නතුරු
එයාගෙ යාලුවෙක් එක්ක ඒ ටික බලලා.
ඒ බලාගත්ත ප්‍රශ්නම
විභාග ප්‍රශ්න පත්‍රයෙත් තිබුණලු.

වසර පුරාම පාඩම් කළ අයත් එක්ක
ඔහු සමාන වෙන්නෙ උදේ ගත කළ
පුංචි පැය භාගයක් නිසයි.

අපේ අධ්‍යාපන ක්‍රමයේ ස්වභාවය මෙයයි.
විෂය කරුණු ඉගෙනීම අවශ්‍ය වෙන්නෙ නෑ.
ප්‍රශ්න පත්‍රයට අවශ්‍ය පිළිතුරු ටික
කටපාඩම් කරගෙන ගියොත් ඔහු සමතෙක්.

චෛත්‍යයෙ කොටස් ගැන මොකුත් නොදැන
පුතා ඒ කොටස් ටිකේ නම් ටික විතරක්
විනාඩි කිහිපයකින් පාඩම් කළා.
ඒ ප්‍රශ්නෙ විභාගෙට ආවනම්
ඔහුට සම්පූර්ණ ලකුණු ලැබෙනවා.

ගාථා හයක් හතකින් පුතාට පාඩම් තුනයි.
එයින් එක ගාථාවක් ඇවිත් තිබුණා.
ඒ ගාථාව හැරෙන්න අනිත් සියල්ලම පාඩම් සිසුන්
පුතාට දෙවෙනි වෙන එකයි අපේ අධ්‍යාපන ක්‍රමය.

ලොතරැයියෙන් දිනන්නෙ
ටිකට් දාහක් ගන්න තැනැත්තා නෙමෙයි.
ඇදෙන එක ටිකට් එක තියන තැනැත්තායි.

පුතා ශිෂ්‍යත්වෙට ලියන්න යද්දි
විභාගෙ ඉවර වුණ ගමන් ගමේ යන්න
අපි සැලසුම් කරල තිබුණා.
ඔහු ඒ ගැන විභාගය වෙලාවෙ හිතන නිසා
අපි ඔහුට ඒ බව රහසක් විදියට
තියාගෙන හිටියා.

ශිෂ්‍යත්වෙ දවසෙ උදේ කෑම කන අතරෙ
අපි ඒ ගමන හිතේ තියාගෙන පුතාට කිව්වා
"සමහර විට නිවාඩුවට ගමේ යන එක ගැන
රචනාවක් ආවොත් ගමේ ගිහින් කරන දේවල්
ලියන්න පුලුවන්" කියලා.
ලින දෙවල් දෙක තුනකුත් කිව්වා.
ඒ රචනාවම ඇවිත් තිබුණා.
ඒ තරම් පහසු කරලත් ඔහු හරියට ලියලත් නෑ.
හරියට ලිව්වෙත් නැතුව 169ක් තිබුණා.
ඊළඟ ළමයාට ලකුණු 111යි.
ඔහු ඉගෙනගත්තට වඩා කළේ අනුමාන ප්‍රශ්න.

පුතා 4 අවසාන වාරය වෙනතුරුම ඉගෙන ගත්තෙ
ජාත්‍යන්තර පාසල් වල නිසා සිංහලත් බෑ.
ඒත් අපි ඔහු කියවන්න හුරු කරවලා තිබුණා.
ඔහු සිංහලෙන් ඉගෙන ගත්තෙ අවුරුද්දයි..

අපේ අධ්‍යාපන ක්‍රමය ඉතාම පහසුයි.
පන්තියෙ ඉන්න අවම බුද්ධිය තියන දරුවට
ලකුණු 35ක් 40ක් ගන්න හදන
සරල විෂය නිර්දේශයක්
අපේ පාසල් වලට තියෙන්නෙ.
ඒ තියන දේවල් වලිනුත් අල්පයක් තමයි
ගුරුවරු දරුවන්ට ලබා දෙන්නෙ.
මේ ලේසි පහසු අධ්‍යාපනය
අවුල් වෙලා තියෙන්නෙ
ප්‍රධාන වශයෙන්ම හේතු තුනක් මතයි.

1, දරුවන්ගෙ හිත් අවුල්.
2, දෙමාපියන්ගෙ ජීවිත අවුල්
3, ගුරුවරුන්ගෙ ඉගැන්වීම අවුල්.

මේ අවුල නිසා අධ්‍යාපනය
මහා අමාරු දෙයක් වෙලා.
පොඩ්ඩක් ඉගෙන ගන්නා අය
සුවිශේෂී පුද්ගලයන් වෙලා.
ඒත් ඒ උගත් කම නිසා වෙනස් වුණ
යහපත් වුණ කෙනෙක් අපි දන්නෙ නෑ.
අධ්‍යාපනය කියන්නෙ
රැකියාවක් හොයා ගන්න ලබා ගන්නා
ටිකට් පතකට වැඩි දෙයක් නොවෙයි.
රැකියාව ලැබුණාට පස්සෙ
සහතික වලින් වැඩක් නෑ.
ඒ සහතිකය ගන්න කරන
වියදමවත් හොයාගෙන්නෙ කීදෙනාද?

ඔලිම්පික් ඉලක්ක කරගෙන ඉගෙන ගන්න අයගෙන්
කී දෙනෙක් දිස්ත්‍රික් මට්ටමටවත් එනවද?

විභාගය ඉලක්ක නොකර ඉගෙන ගන්න අයට
ඒ ඉගෙන ගන්න දේත් ඉතුරු වෙනවා.
මොළය වෙහෙසීමෙ හුරුවත් ලැබෙනවා.
පාඩම් කරන කෙනාට මොළය වෙහෙසීම වදයක්.
වෛද්‍ය විද්‍යාලෙ ගියාම පිස්සු හැදෙන්නෙ
ඉගෙන ගන්නෙ නැතුව පාඩම් කරන සිසුවන්.

20171128

නිරාගමිකයාත් මුස්ලිම් වගෙයි.

ඉස්ලාම් ආගමට බැඳෙන අය
කුමන ජාතියක අය වුණත්
ඔවුන්ගේ ජාතික අනන්‍යතාවය අත් හැරලා
මුස්ලිම් කියා එක් ජාතියක් බවට පත්වීම
ඉස්ලාම් ආගමිකයන්ගෙ විශේෂයක්.

විපස්සනා පුහුණු කරන
විපස්සනා මධ්‍යස්ථාන වලත්
ජාතිකත්වයෙන් මිදුණ ඒකීය බවක්
අන්‍යෝන්‍ය විශ්වාසයක්, සමීප බවක්
දස දින විපස්සනා පුහුණුවෙන් පස්සෙ
ඒ පුහුණු වුණ අය තුළ ඇති වෙනවා.
ඒ නිදහසට හේතු වෙන්නෙ
විදසුන් වැඩීම මගින්
දුක්ඛ සත්‍යය අවබෝධ කර ගනිද්දි
සියල්ලන්ම විඳින දුක එකයි කියා
ඔවුන් සියල්ලන්ටම වැටහෙන නිසයි.

මෙත් කරුණා මුදිතා උපෙක්ඛා ගුණ
සියල්ලන් තුළම ඇති වෙද්දි
විදසුනෙන් වැඩෙන ප්‍රඥාව නිසා
ජාතික අනන්‍යතා වලින් මිදුණ
ආර්ය ශ්‍රාවක පිරිසක් ඇති වෙනවා.

ආර්ය ශ්‍රාවකයා ආගමකට
ජාතියකට අයත් නැති, යටත් නැති,
ආගම්, ජාති ප්‍රතික්ෂේප නොකරන
සියලු ආගම්, ජාතීන්ට ගරු කරන
ස්වාධීන පුද්ගලයෙක්.

ඔවුන් සමාජයට නැවත  එක් වනවිට
ඔවුන්ගේ ආගම, ජාතිය දෙකම
ඔවුන්ගෙන් ගිලිහෙන්නෙ නෑ.
ඒත්
සියලුම මිනිසුන් දුක් විඳින බව
ඔවුන් දැන් අත්දැකීමෙන් දන්නවා.

දුක අත්දැකීමෙන් හඳුනන
විදසුන් වැඩීමෙන් සෝ තැවුල්
දුක් දොම්නස් සිහියෙන් උපේක්ෂාවෙ
නිසි ආකාරයට දුරු කරන්නට දන්නා,
ඒ දුකෙන් පහසුවෙන් මිදෙන
තෙරුවන් සරණ ලද ආර්ය ශ්‍රාවකයාට
මෙ ජනතාව විඳින දුක දැනෙනවා.

ඔවුන් දන්නා ක්‍රමයකට අනුව
දුකෙන් මිදෙන්න හෝ පලායන්න උත්සාහ කරමින්
විවිධ ආගමික ජාතික හැසිරීම් වල යෙදෙන
තමන්ගේ සහෝදර ආගමික ජනතාව
ප්‍රතික්ෂේප කිරීමක් ඔවුන් තුළ නෑ.
තව දුරටත් දුකෙන් මිදීම සඳහා
ඒ හැසිරීම් වලට වහල් වීමකුත් ඔහු තුළ නෑ.
ආර්ය ශ්‍රාවකයා ස්වාධීනව ජීවත් වෙනවා.

පන්සල් පල්ලි කෝවිල් වල පවත්වන වතාවත් පුදපූජාවලට
යම් අවස්ථාවන්හි සහභාගි වුණත්
ඒ වතාවත් වලින් ඔවුන්ගේ විදසුනට හානියක් නෑ.
ඔවුන් ඒ විශ්වාසයන් දරන අය හෙළා දකින්නෙත් නෑ.
ඔවුන්ට බලපෑම් කරන්නෙත් නෑ.

සියලු ආගමික විශ්වාස වල
මූලික අරමුණ විඳින දුකෙන් මිදීමයි.
පන්සල් පල්ලි කෝවිල්වලට පැමිණ
පුද පූජා වතාවත් වල යෙදෙන
බහුතරයක් දුක් විඳින මිනිසුන්
තාවකාලික සුවයක් ලබනවා.
පැමිණි දුකක් නැතිවත් එහි එන
ඉතිරි පිරිස එන්නේත් මානසික සුවයක්,
සැනසිල්ලක් බලාපොරොත්තුවෙන්.

විදසුන් අඩන ආර්ය ශ්‍රාවකයාත්
විදසුනට යොමු වෙන්නට පෙර
මේ ආගමික විශ්වාස මත පිහිටා
දුක තාවකාලිකව නිවාගත් අයුරු
ඔහුට අමතක වී නැහැ.

ආර්ය ශ්‍රාවකයාගේත්
ආගමික විශ්වාස අනුව යන්නාගේත්
ආගමික අරමුණ එක සමානයි.
ඔවුන් දෙදෙනාම ආගම දහම වෙත
ඇඹුරු වුණේ දුකෙන් මිදීමටයි.
විදසුන් වඩන්නා මේ මොහොතේම
තමන්ගේම සරණින් දුකෙන් මිද්දෙන විට
ආගමික විශ්වාස මත යැපෙන අය
බාහිර බලවේග වෙත යොමු වෙනවා.

දන්නා පමණින් දුකෙන් මිදෙන්නට
ආගමික ස්ථාන වලට පැමිණෙන
මේ සියලුම පිරිස් ආපසු යන්නේ
ඔවුන් විඳින දුක මද පමණින් හෝ
තාවකාලිකව සමනය කරගෙනයි.

සමහර ආගමික සංස්ථාවන් වල
සැනසිල්ල ලබා දෙන්නට පුද පූජාවලට
ආගමික වතාවත් වලින් සහාය වෙන පූජකයා
ඔහුගේ ජීවිකාවට අවශ්‍ය පමණ ඉක්මවා
සැප සම්පත් විඳීමේ අරමුණෙන්
සැනසිල්ල විකිණීම, ලාභ සත්කාර ලැබීම වරදක්.

ඒත් ඒ පූජකයන් හෙළා දකිමින්
ආගමික පිරිස දුකෙන් මිදෙන අවස්ථාව
නැති කරන්නට ද්වේශයෙන් ක්‍රියා කිරීම
ඊටත් වඩා අසාධාරණයක්.

කපටි ආගමික පූජකයන් හෙළා දකිමින්
මේ ආගමික විශ්වාස මත යැපීම හෙළා දකින
ඊට පටහැණි විශ්වාසයක් දරන පිරිසක්
නිරාගමික චින්තනය පදනම් කරගෙන
වෙනම ආගමක ස්වරූපයෙන්
සාමූහිකව එක් රැස් වෙනවා.

ආගමික සංස්කෘතික පොදු සාධකය මත
එකිනෙකා එකතු වෙන වෙනම ජාතියක්
අලුතෙන්ම නිර්මාණය වෙන අවස්ථාවක්
අද සමාජයේ අපිට දකින්නට පුලුවන්.

ආගමික විශ්වාසය මත
මුස්ලිම් මිනිසුන් එකට බැඳෙන අයුරින්
සියලු ආගමික විශ්වාස දැඩිව ප්‍රතික්ෂේප කරන
ඔවුන්ටම ආවේණික නිරාගමික ආකල්ප අනුව
නිරාගමික ගති පැවතුම් සහිත
වෙනම ආකාරයක පිරිසක් බිහිවෙලා.

නිරාගමිකයන් කියන්නෙ
ආගම් ඇදහීමෙන් ඉවත් වෙලා
ආගම්වල තියන විශ්වාස, ඇදහීම්,
ඒ මත පදනම් වූ සදාචාරය,
සංස්කෘතික බැමි, ආගමික වගකීම්,
ආගමික යුතුකම්, සිල් රැකීම් ආදියෙන්
ස්වේච්ඡාවෙන්ම වැළකිලා
තමන් හිතන ආකාරයට හැසිරෙන
නිදැල්ලේ ජීවත් වෙන පිරිසක්.

මේ පිරිසේ විශ්වාසය වන්නේ
සියලු ආගමික ඉගැන්වීම් මිථ්‍යා විශ්වාස නිසා
සියලු ආගමික චර්යාවන් ප්‍රතික්ෂේප කොට
වෙනම පිරිසක් මෙන් ජීවත් විය යුතු බවයි.

නිරාගමිකත්වය කියන්නෙ
අාගම අත් හැරීම විතරක් නොවෙයි.
ජාතිකත්වයත් අත්හැරීමක්.

මුලු ලෝකෙම නිරාගමිකයන් එකම කුලකයක්.
නිරාගමික සංකල්ප වලින් එකට බැඳෙන
ඔවුන්ගේ ජාතික අනන්‍යතාවයක් නෑ.

නිරාගමිකයන් එකට බැඳෙන පොදු සාධකය
අාගමික විශ්වාස හා චර්යා සපුරාම බැහැර කිරීමයි.

බොදු, ක්‍රිස්තියානි, හින්දු ආදී
වෙනත් ආගම්වලට බැඳුණා ජාතිකත්වය
වෙනස් වෙන්න හේතුවක් නෑ..
එක ජාතියක බොදු, ක්‍රිස්තියානි, හින්දු ආගමිකයෙක්
ඒ ජාතියෙම වෙන ආගමිකයෙක් බවට පත් වීම නිසා
ජාතික අනන්‍යතාවය නැති වෙන්නෙ නෑ.

තමන් සිංහල කියලා කිව්වොත්
එතන තියෙන්නෙ තමන් තවම ආගමිකයි කියන හැඟීම.
හැම ජාතියකම අය ඒ හැඟීම සමග
නමට හෝ ආගමිකයි කියන පිරිසක්.

සිංහල ජාතියේ උපන් කෙනෙක්
එක ආගමකින් තව ආගමකට මාරු වෙද්දි
ජාතික අනන්‍යතාවය නැති වෙන්නෙ නෑ.
සිංහල බෞද්ධ, සිංහල ක්‍රිස්තියානි, සිංහල හින්දු
කියලා අපිට කියන්න පුලුවන්.

ඒත්
සිංහල මුස්ලිම් කියන්න බෑ..
මුස්ලිම් කියන්න වෙනවා.
සිංහල නිරාගමික කියන්න බෑ...
නිරාගමික කියන්න වෙනවා.

දෙමළ මුස්ලිම් කියන්න බෑ..
මුස්ලිම් කියන්න වෙනවා.
දෙමළ නිරාගමික කියන්න බෑ...
නිරාගමික කියන්න වෙනවා.

උපන් ජාතිය මොකක් වුණත්
මුස්ලිම් වගේම නිරාගමිකයාටත් තියෙන්නෙ
මුලු ලෝකයටම පොදු වුණ විශ්වාසයක්.
වෙනම රටක් වෙනම ජාතියක් නැති
වෙනම ආකාරයක අනන්‍යතාවයක්..

මේ පිළිගැනීමට අනුව
හැම ආගමකින්ම ඉවත් වෙන අය
එකම නිරාගමික කුලකයකට අයිති වෙනවා.

නිරාගමික අනන්‍යතාවය
මුස්ලිම් අනන්‍යතාවයටත් වඩා ප්‍රබලයි.
ආගමික විශ්වාස මත යැපෙන්නාට
විවිධ ආකාරයේ විශ්වාස වලින්
වෙනම අනන්‍යතා ගොඩ නැගෙනවා.
මුස්ලිම් ආගම තුළත් නිකාය තියනවා.

නිරාගමිකයා සියලු විශ්වාස
සපුරාම බැහැර කරන නිසා.
ඔවුන්ගෙ ජීවිත අවර්ණයි.
ආගමික වර්ණ ජාතික වර්ණ වලින්
ඔවුන් මත පැල්ලම් ඇති වීම
ඔවුන්ගේ නිරාගමිකත්වයට කැළලක්.

තමන් තවම
අහවල් ජාතියට අයිතියි කියා කියන
යම් නිරාගමිකයෙක් ඉන්නවා නම්
ඔහුට ආගමික විශ්වාස සහ චර්යා
බැහැර කරන්න බැහැ.
මේ නිරාගමිකයා ගෙදර පරිසරයෙවත්
ආගමික සිරිත් විරිත් වලට යටත්වෙන කෙනෙක්.
ඔහු තවමත් පැරණි විශ්වාස වලින් දූෂණය වුණ
අපිරිසිදු නිරාගමිකයෙක් පමණයි.
ඔහු දෙකටම නැති නපුංසකයෙක්.

ආගමික ජාතික සංස්ථාවට යටත්
දෙබිඩි නිරාගමිකයා තවමත්
සමාජයේ පොදු යහපත සඳහා
පුද්ගලික නිදහස පාවා දෙන්නෙක්.
ඔහු නිදහස් කෙනෙක් නොවෙයි.

සමාජයේ පොදු යහපත උදෙසා
පුද්ගලික නිදහස නැති කරගන්න
සැබෑ නිරාගමිකයා කැමති වෙන්නෙ නැහැ.
ආගමික වුණොත් ජාතික වුණොත්
නිරාගමිකයාගෙ නිදහස නැති වෙනවා.

යම් ජාතියකට කොටු වීමත්
ආගමට කොටුවුණා වගේමයි.
ඔහු ඒ ජාතික සංස්කෘතියට යටත් වෙනවා.
ඔහු තව දුරටත් ස්වාධීන පුද්ගලයෙක් නොවෙයි.
ආගම මත්තෙ යැපුණත් ජාතිය මත්තෙ යැපුණත්
පොදු විශ්වාස මත යැපෙන්න වෙනවා.

නිරාගමිකයන් වෙනම ජාතියක් වීම
සමාජීය අවශ්‍යතාවයක් වෙන දවසක් එයි.

නිරාගමිකයා අනිවාර්යයෙන්ම නිර්ජාතික වීම
ආගමික ජාතික බැඳීම් ඇති සමාජයක මිනිසුන්ට
ඔහු ගැන තීරණ ගැනීම පහසු කරාවි.

නිරාගමිකයා සමාජයෙන් ඉල්ලන වෙනස
සෙසු සමාජයෙනුත් නිරාගමිකයාට පිරිනමාවි.

නිරාගමික පුද්ගලයන්ට තමන්ගෙ දරුවන්
විවාහ කර නොදෙන දෙමාපියන් ඉඳීවි.
රැකියා නොදෙන ව්‍යාපාරික ආයතන,
සාමාජිකත්වය නොදෙන සමිති සමාගම්,
ආරාධනා නොකරන උත්සව, ප්‍රිය සාද
ආදී අවස්ථාත් ඉදිරියෙදි ඇති වේවි.

නිරාගමික චින්තනය ඇති කෙනෙක්
සමාජයෙන් බැහැර විශේෂ පුද්ගලයෙක්.
ඔහු මිශ්‍ර කර ගැනීම නිසා
දරුවන් නිරාගමික වීම වැනි
සමාජීය ප්‍රශ්න ඇති වෙන බව විශ්වාස කරන
ආගමික හැඟීම් ඇති මිනිසුන්
ද්වේශයෙන් තොරව ඔවුන් බැහැර කරාවි.

ආගමත් ජාතියත් අතර ඇති
සංස්කෘතික බැඳීම් ගිලිහෙද්දි
සමාජය ඔවුන් විශේෂ කොට සලකද්දි
නිරාගමිකයනුත් ඔවුන් අදහන සත්‍යය අනුව
ඔවුන්ටම ආවේණික පල්ලි පාසල් හදාගෙන
නිරාගමික චින්තනය මත
වෙනම සමිති සමාගම් හදාගෙන
ජාතික අනන්‍යතාවයක්, ආගමික බැමි නැති
එකම බැම්මකින් බැඳුණ නිරාගමික ජාතියක්
ලොව පුරා ඇති වේවි.








20171126

දූගෙ අම්මගෙ සංස්කෘතිය


"ගැහැණු ආරක්ෂා කරනතුරු
රටක සංස්කෘතිය රැකෙනවා"
ලියෝ ටෝල්ස්ටෝයි
කොතනක හෝ කියා තියන බවට
මතකයක් ඇතැයි මගේ බිරිඳ කියනවා.

"ගැහැණු කියන්නෙ අම්මලා.
අම්මලා සංස්කෘතිය බිඳිනකොට
ළමයි ඉබේම පුරුදු වෙනවා"
මගේ බිරිඳ පැහැදිළි කළා.

මව්වරු දියණියගෙ ඇඳුම් පැළඳුම්
ඉතා උවමනාවෙන් සකස් කරනවා.
වැඩි පිරිසකගෙ අවධානය ලැබෙන විදියට
ඇඳුම් සකස් කරන්න ඔවුන් කැමතියි.
අනිත් දැරියන් අතර කැපී පෙනෙන ලෙස
ඇයට ඇඳුම් අන්දන්න මව්වරු කැමතියි.

ඒ අවධානය ල්බා ගන්නා අය
මොන වගේ අයද කියා ඈ දන්නෙ නෑ.
දැන් ගත්තත් සිතා බලන්නෙ නෑ.
බොහෝ විට ඇගේ ඇඳුම් ඇඳීමේ
පරමාර්ථයත් යමයි.
අවධානය අඩුවෙමින් වියපත් වන මව්වරු
දියණිය සරසා ඇයට ලැබෙන අවධානයෙන්
තෘප්තිය සොරාගෙන පිපාසය නිවා ගන්නවා.

මස් ගාතයෙක් කඩෙන් ගන්න කෙනෙක්
ලේ වැකුණ මස් ගාතය අතේ එල්ලාගෙන
පාරෙ අරගෙන ගියොත් මොකද වෙන්නෙ?
කුස ගින්නෙන් පාරෙ ඇවිදින බල්ලො
ඔබේ මස් ගාතය පස්සෙන් එන්න පටන් ගන්නවා.
බල්ලන්ගෙ හැඟීම් සඟවාගෙන
අවස්ථාවක් ලැබෙනතුරු පස්සෙන් ඇවිත්
ඔබ හොඳටම අනාරක්ෂිත අවස්ථාවක
ඔබේ මස්ගාතය පැහැරගන්න තරම්
බල්ලො බුද්ධිමත් නැති නිසා
ඔබ උන්ගෙන් ආරක්ෂාවෙන්න දන්නවා.

ඒත් මිනිස්සු කපටි නිසා හැඟීම් සඟවාගෙන
ඔබේ දරුවා පස්සෙන් එන්න ඔවුන් දක්ෂයි.
අප අවට සිටින්නේ අප මෙන්ම සැබෑ හැඟීම්
ලෝකයෙන් සඟවාගෙන රඟපෑමක යෙදෙන
අප මෙන්ම නොදැමුණු ආශාවන් සහිත
රාගික, කාමුක, අසංවර මිනිසුන් බව
අමතක නොකරන්න.

මම ඔබ විශ්වාස කරන්නෙ නෑ.
ඔබ මාව විශ්වාස කරන්නත් එපා.

ඒ අවිශ්වාසයට පදනමක් අවශ්‍ය නම්
අද සමාජයේ දරුවන් විනාශ වෙන හැටි
දැනට වඩා අවධානයෙන් සිටින්න.
හැකි හැමවිටම ගොසිප් සයිට් බලන්න.
කුඩා දරුවන් ගැන පළවෙන ප්‍රවෘත්ති
නිතර කියවන්න.

ඔබ දරුවා ගින්නෙන් වතුරෙන් විදුලියෙන්
ආරක්ෂා කරන ප්‍රමාණයට වඩා
සිය දහස් ගුණයක සැලකිල්ලකින්
ඔබ වටා සිටින මිනිසුන්ගෙන් ආරක්ෂා කරන්න.
ඊටත් වඩා සිය දහස් ගුණයක
සැලකිල්ලකින් අවධානයකින්
ඔබෙන්  දරුවා රැකගන්න.

ඔබ සතුන් මරන ආකාරය
නරඹමින් වැඩෙන ඔබේ දරුවා
මිනීමරුවෙක් වෙන්න පුලුවන්.
ගබ්සාකාරයෙක් වෙන්න පුලුවන්.

ඔබ කියන පුංචි බොරුව අහන දරුවා
වයසින් වැඩෙද්දී මැති ඇමතිවරු වැනි
කපටි බොරුකාරයන් වෙන්න පුලුවන්.

ඔබ කරන පුංචි හොරකම දකින දරුවා
වයසින් වැඩෙද්දී මැති ඇමතිවරු වැනි
කපටි බොරුකාරයන් වෙන්න පුලුවන්.

ඔබේ මත්පැන් බෝතලයෙ ඉතිරිවෙන
එක මත්පැන් හැන්දකින් පෙළඹෙන දරුවා
ඔබටත් වඩා ලොකු බේබද්දෙක් වෙන්න පුලුවන්.

ඔබ අද ඔවුන්ගේ ජීවිතයට එකතු කරන
අඟලක පුරුද්දක් සමග වැඩෙන ඔවුන්
වැඩිහිටියන් වෙනවිට ඒ නරක පුරුද්ද
කිලෝමීටර් ගණනක් වෙන්න පුලුවන්.
ඔවුන්ට ආපසු එන්න බැරි තරම් දුර
ඔවුන් නොමග යන්න පුලුවන්.

ඔහු සමග ඒ මග යන්නට
සිය දහස් ගණනක් බලා ඉන්නවා.

සුමග ඉතාමත්ම පාළු දුෂ්කර පාරක්.
නොමග ඉතාම ජනාකීර්ණයි, පහසුයි.

ඒ නොමගට දරුවා යොමු කරන්නේ
දරුවාගේ දෙමාපියන්මයි.

දරුවා ළඟ තියන හොඳ නරක
විශාල ප්‍රමාණයක් මා පිය උරුමයෙන්
ඔවුන්ට ලැබෙන දායාදයි.

ඔබේ දරුවා නොමග යනවිට
ඒ සඳහා ඔබේ දායකත්වය කොතරම්දැයි
මොහොතකට සිතා බලන්න.

ඔබ විශ්මයට පත් වෙයි.

20171123

බඩු අතුරෙන් ස්ත්‍රිය උතුම්ය.


දැන් ස්ත්‍රියට බඩුවක් කියා අපහාස කළත්
ස්ත්‍රිය බඩුවක් ලෙස නම් කළ පළමුවැන්නා
බුදුන් වහන්සේය.

ඉත්‌ථී භණ්‌ඩානමුත්‌තමං
බඩු අතුරෙන් ස්ත්‍රිය උතුම්ය.
ඉස්සරිය සූත්‍රය - සංයුත්ත නිකාය

බුදුන් වහන්සේ කවර අර්ථයෙන්
ස්ත්‍රිය බඩුවක් ලෙස හැඳින්වූයේද යන්න
අදාළ සූත්‍රයෙන් මතුකර ගත නොහැක.

වෙනත් සූත්‍රයක එන කරුණුවලින්
ඇය මිළට ගත හැකි බවක් හැඟෙයි.
අදත් ඉසුරු සහිත පුද්ගලයාට
ඇය නැමෙන බව ප්‍රකට සත්‍යයකි.

"මහණෙනි,
ස්ත්‍රියට මේ බල පසෙකි.
කවර පසෙක් ද යත්:
රූපබලය,
භොගබලය,
ඤාතිබලය,
පුත්‍රබලය,
සීලබලය යි.
මහණෙනි, මේ ස්ත්‍රියගේ බල පස යි.

මහණෙනි මේ බලපසින් යුතු ස්ත්‍රිය
සැමියා යටත් කොට ගෙන පවතියි.

මහණෙනි,
එක් බලයකිනුදු යුතු පුරුෂ තෙමේ
ස්ත්‍රිය යටත් කොට ගෙන පවතියි.
කවර එකෙකින්ද යත්:
ඉසුරු බෙලෙනි."

ඉසුරු බලැති පුරුෂයාට
ස්ත්‍රිය සතු බල පහම යටත්ය.
එසේ නම් ඇය භාණ්ඩයක් මෙන්
ඉසුරු පෙන්වා මිළට ගත හැක.
භාණ්ඩ අතුරෙන් ස්ත්‍රිය උතුම්ය.
අන් කිසිදු භාණ්ඩයකින්
එවන් සුවයක් ලද නොහැක.

"ස්ත්‍රිය එකම සජීවී බඩුවයි."

ස්ත්‍රී රූපය ස්ත්‍රියගේ ශබ්දය
ස්ත්‍රියගේ ගන්ධය ස්ත්‍රියගේ රසය ස්ත්‍රියගේ ස්පර්‍ශය
පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙන සිටී.
පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´

පුරුෂ රූපය පුරුෂයාගේ ශබ්දය
පුරුෂයාගේ ගන්ධය පුරුෂයාගේ රසය පුරුෂයාගේ ස්පර්‍ශය
ස්ත්‍රියගේ සිත හාත්පසින් මැඩගෙන සිටී.
ස්ත්‍රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.

ස්ත්‍රියත් පුරුෂයාත් අතර ඇති
ස්වාභාවික ආකර්ෂණය නොමරා
ඒ ඇලීම නිර්වින්දනය නොකොට
ඔවුන් අතර පරතරය වැඩි කරන්නට
නොයෙක් ආගම් සහ සංස්කෘතීන්
ක්‍රියා කරනවා නොවේද?

බටහිර සංස්කෘතිය තුළ
මේ ආකර්ෂණය අඩු කරන්නේ
"නිතර දකින කුකුළාගේ
කරමලය සුදුයි" සිද්ධාන්තය
භාවිතා කරමින් නොවේද?

ස්ත්‍රිය සිය නිරුවත කොතෙක් පෙන්වුවත්
බටහිර සමාජයේ පුරුෂයා නොසැලෙයි.
ඔහු ඇගේ රූපය බලමින් විඳින්නේ නැත.
ඒ ඔහුගේ ධාර්මික බව නිසාද?

නැත්නම්
නිරන්තරයෙන් දකින මේ කුකුල් කරමලයේ
රත ගිලිහී ගොස් සුදු පැහැයෙන් දිස්වෙන නිසාද?

නැති වූයේ කුකුල් කරමලයේ රතද?
නැතහොත් ඒ රත කියවන පිරිමි සිතේ
සෙන්සරයේ සංවේදී බව පිරිහීමද?

ස්ත්‍රී නිරුවතට පුරුෂයා ඇදෙන්නේ
ඒ රූපය විසින් මොළයෙහි ජනනය කරන
හෝමෝන නිසා මිස වෙනත් හේතුවකින් නොවේ.
මේ හෝමෝන උත්තේජනය කරන්නට නම්
ස්ත්‍රී රූපය දකින විට ඉන් මතු වෙන
සුඛ වේදනාවට පිරිමියා සංවේදී වී
රාග සංස්කාර පහළ විය යුතුය.
නිතර දැක හුරු දේ නොසැලකීමද
මිනිස් මනසෙහි පුරුද්දකි.

මේ අයුරින් නිර්වින්දනය වූ මනස
යළි උත්තේජනය වන්නට නම්
ඒ රූපය වෙනස් විය යුතුය.
බිරිඳ නිතර ඇසුරු කොට හුරු වන
සැමියා වෙනත් කතුන් සොයන්නේත්
බිරිඳ අලුත් මිනිසුන් සොයන්නේත්
නිතර දකින කරමලයෙන් වෙනස්ව
අලුත් රතු කරමලයක් සොයන්නටය.
ඒ අලුත් රතද නිතර දුටුවොත්
සුදට හැරීම ලෝක ස්වභාවයයි.

නිතර දකින කරමලය සුදු වීම
බුර්කාවෙන් වසා තබන මුස්ලිම් ජාතිකයා
බටහිර ජාතිකයාට වඩා කාමුක විය හැක.
ඔහු බුර්කාවෙන් වැසූ සිරුරට සංවේදීද?
බුර්කාව හැඳගත් කතුන් රැසක් මැද
ඔහුට ඔහුගේ බිරිඳ හඳුනාගත හැකිද?
බුර්කාවෙන් වැසූ සිරුර ඔහු තුළ
කාමය උපදවන්නේද?

රාගය අඩු වැඩි වන්නට ඇඳුම බලපෑවත්
ස්ත්‍රී පුරුෂ සිත්වල රාගය නොනැසෙයි.
සුදුසු සාධක එක්තැන් වූ විට
සුපුරුදු ලෙස රාගය ඇවිළෙයි.වෙනස් ආකාරයකට හැසිරෙන්නාගේ
මනසෙහි යම් විකෘතියක් තිබිය යුතුය.
ඔහු ස්ත්‍රී රූපය නොවිඳින නරුමයෙක් හෝ
ස්ත්‍රී රූපයෙන් උමතු වී ඇය පෙළන
කුරිරු ස්ත්‍රී දූෂකයෙකි.

සංස්කෘතිය කවරක් වුවත්
අඳින ඇඳුම පැළඳුම කවරක් වුවත්
නිරෝගී කයක් සහ නිරෝගී මනසක් ඇත්නම්
ඒ ස්ත්‍රී පුරුෂයන් සියල්ලෝම හැසිරෙන්නේ
බුදුන් වහන්සේ මේ කියන අයුරින්ය.

1. ඉත්‍ථිරූප පරියාදාන සූත්‍රය.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, ´ මහණෙනි´ කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´ස්වාමීනි´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:-

´´මහණෙනි, යම්සේ ස්ත්‍රී රූපය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එබඳුවූ අනික් එකම රූපයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රී රූපය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´

2. ඉත්‍ථිසද්ද පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ ස්ත්‍රියගේ ශබ්දය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ශබ්දයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රියගේ ශබ්දය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´

3. ඉත්‍ථිගන්ධ පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ ස්ත්‍රියගේ ගන්ධය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ගන්ධයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රී ගන්ධය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´

4. ඉත්‍ථිරස පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ ස්ත්‍රියගේ රසය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම රසයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රී රසය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´

5. ඉත්‍ථිපොට්ඨබ්බ පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ ස්ත්‍රියගේ ස්පර්‍ශය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ස්පර්‍ශයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රියගේ ස්පර්‍ශය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´

6. පුරුෂ රූප පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ පුරුෂයාගේ් රූපය ස්ත්‍රියගේ් සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම රූපයකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂ රූපය ස්ත්‍රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´

7. පුරිසසද්ද පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ පුරුෂයාගේ් හඬ ස්ත්‍රියගේ් සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ශබ්දයකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂ ශබ්දය ස්ත්‍රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´

8. පුරිසගන්ධ පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ පුරුෂයාගේ් ගන්ධය ස්ත්‍රියගේ් සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ගඳකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂ ගන්ධය ස්ත්‍රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´

9. පුරිසරස පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ පුරුෂයාගේ රසය ස්ත්‍රියගේ සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම රසයකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂ රසය ස්ත්‍රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´

10. පුරිසපොට්ඨබ්බ පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ පුරුෂයාගේ් ස්පර්‍ශය ස්ත්‍රියගේ් සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ස්පර්‍ශයකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂයාගේ ස්පර්‍ශය ස්ත්‍රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´

20171120

පාඩම් කරනවාද? ඉගෙන ගන්නවාද.?


"පාඩම් කරනවා" කියන
තුච්ඡ පාහර නින්දිත වචන
කියන්නවත් එපා කියලා
මම අද පුතාට කිව්වා.

මම ඔහුට කිව්වෙ
"පාඩම් කරන්න එපා. ඉගෙන ගන්න"
කියලයි.

සිසුන්ගේ ඉගෙනීමට ඇති
විශාලම බාධාව පාඩම් කිරීමයි.
පාඩම් කරන සිසුවා ඉගෙන ගන්නේ නෑ.

1990 දශකයෙ
ඉන්දියාවෙ හයිද්‍රාබාද් නගරයෙ
මා නැවතී සිටි ගෙදර
අයිති කරුගේ පුතා වන  අශිෂ්
ඉතා උනන්දුවෙන් පාසල් වැඩ කරන
වයස 10-12ක දරුවෙක්.
ඔහු පොත් කට පාඩම් කරන වෙලාවට
පළාතටම ඇහෙනවා.

දවසක් ඔහුත් සමග ඔහුගෙ ගෙමිදුලේ
පොකුණෙ ගැට්ටෙ වාඩිවී ඉන්න ගමන්,
වතුරෙ පාවෙමින් තිබුණ කොළයක් පෙන්නලා
"මේ කොළේ බෝට්ටුවක් වගේ පාවෙන විදිය
විශිෂ්ඨ ගුරුත්වයට අනුව පැහැදිලි කරන්න පුලුවන්ද?"
කියල මම ඇහුවා.

විශිෂ්ඨ ගුරුත්වයට අනුව පැහැදිලි කරන්න බැරි බව
ඉතා නිහතමානීව හා ලැජ්ජාශීලීව පිළිගත් අශිශ්
ඉතා ආඩම්බරයෙන් මෙහෙම කිව්වා.
"ඔබ මට විශිෂ්ඨ ගුරුත්වය අර්ථ දැක්වීමෙ
ඕනම තැනකින් වචනයක්  දෙකක් කියන්න
මම මුලු අර්ථ දැක්වීමම කටපාඩමෙන් කියන්නම්" කියල.

ඒ විදියට පාඩම් කරල
ඔහු ඉන්ජිනේරු උපාධිය සමත් වුණා.
ඒත් අද ඔහු රැකියාව කරන්නෙ
ඉන්ජිනේරුවෙක් විදියට නෙමෙයි.
පොලිස් නිලධාරියෙක් විදියටයි.
ඔහුගෙ විද්‍යා දැනුම ප්‍රායෝගික නෑ.
ඉන්ජිනේරු උපාධි සහතිකය
නිසා උසස් නිලයක් ලැබෙන්න ඇති.

අශීෂ් විශිෂ්ඨ ගුරුත්වය ඉගෙන ගත්තෙ නෑ..
සූත්‍රය හොඳින් පාඩම් කරලා තිබුණා.
සමහර විට දැන් ඒකත් පාඩම් නැතුව ඇති.

පාඩම් කරන දේ අමතක වෙනවා.
ඉගෙන ගන්න දේ අමතක වෙන්නෙ නෑ.

බුදු දහම හොඳින් පාඩම් කරන අය
බුදු දහමෙන් දුක නිවා ගන්නෙ නෑ.
ඔවුන්ට බුදු දහම කියන්නෙ කියන දෙයක්.
දුකක් තරහක් භයක් ආවම භාවිතා කරල
දුකෙන් මිදෙන ප්‍රායෝගික ක්‍රමයක් නොවෙයි.

බුදු දහම භාවිතාවෙන් ඉගෙන ගන්න කෙනෙක්
දුකක් තරහක් භයක් ආවම භාවිතා කරල
දුකෙන් මිදෙන්නෙ ඒ මොහොතෙ ඉගෙන ගනිමිනුයි.
ඊළඟ වතාවෙ ඔහුට පැමිණෙන දුක අඩුයි.

අනඳ හිමියන් පාඩම් කළා.
අංගුලිමාල ඉගෙන ගත්තා.

පාඩම් කිරීම පරිගණකයකට දත්ත කැවීමක්.
ඉගෙන ගන්නා කෙනෙකුට පරිගණකයට අමතරව
ස්කෑනරය, ප්‍රින්ටරය ආදී ප්‍රායෝගික උපාංගත්
ඔවුන්ගේ ඉගෙනීම තුළ අන්තර්ගත වෙනවා.

දත්ත අත්දැකීම් වෙන්නෙ
ඉගෙන ගන්න කෙනා තුළයි.

"පාඩම් කරනවා" කියන
නින්දිත තුච්ඡ පාහර වචන
ශබ්ද කෝෂයෙනුත් ඉවත් කළ යුතුයි.
:)

20171118

"කෝ උඹලාගේ භික්ෂූන් සංවර නෑනෙ"

.
[[[ ඔබ මෙය දැමුවේ ද්වේශයෙන් නොවෙද පින්වත?]]]
Palitha Id********a
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

ද්වේශය යනු චේතනාවයි.

ද්වේශය ඉතා පහසුවෙන්
සුමුදු වචන වලින් සැඟවිය හැකිය.

ද්වේශය යනු අප්‍රිය ඕනෑම දෙයක් නිසා
සිතේ පහල වෙන සංස්කාරයයි.

මේ භික්ෂූන් හෙළා දකින
නිරාගමිකයන් තුළ ද්වේශය පහළ වන්නේ
මේ පෙන්වන භික්ෂූන් කෙරෙහි නොවිය හැක.
නිරාගමිකයන් මේ භික්ෂූන්ට සහ කල්ක්‍රියාවන්ට
සිත යටින් කැමතිවන්නටත් හැක.

නිරාගමික ද්වේශය ඇත්තේ
බුදු දහමට අනුව ජීවත් වන්නට
අපහසුවෙන් උත්සාහ කරන
ගිහි පැවිදි සිල්වතුන් කෙරෙහි විය හැක.
නිරාගමිකයා භික්ෂුව සමච්චලයට ලක් කිරීම
සිල්වතුන් අධෛර්ය කරන්නට දර
 
බොළඳ උත්සාහයක් විය හැකිය.

නිරාගමිකයෙක්
මුදු සුමුදු වචන වලින් වුව කරන්නේ
මේ භික්ෂූන් හෙළා දැකීමය.
ආගමිකයෙකුටද මේ භික්ෂූන්
හෙළා දැකිය හැකිය.
මේ දෙදෙනාගේම චේතනා තුළ
ද්වේශය තිබිය හැකිය.
එහෙත් ඔවුන්ගේ අරමුණු වෙනස්ය.

නිරාගමිකයා විමසන්නේ
"කෝ උඹලාගේ භික්ෂූන් සංවර නෑනෙ"
කියන පුද්ගලික ප්‍රශ්නයයි.
ඔහු සැබෑ බුද්ධ ශ්‍රාවකයා වන
සුපේශල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේ
තුට්ටුවකටවත් නොසලකයි.

ආගමිකයා වෙනස්ය.
ඔහු දුසිල් භික්ෂුව හෙළා දකින්නේ
සුපේශල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේ
සිත්හි තබාගෙන සසඳමිනි.

කවරෙකු වුවද නිවැරදි නම්
මෙවන් දේ ගැන ප්‍රශ්ණ කල යුතු
බුදු දහමේ සඳහන් දේ අනුවයි.
බුදු දහමට අනුව දුසිල් පැවිද්දා හෙළා දකින්නට
ශක්තියක් හෝ දැනුමක් නැති නිසා
නිරාගමිකයාට කළ හැකිවන්නේ
කවර ස්වරූපයකින් හෝ
දුසිල් භික්ෂුව හුවා දැක්වීමයි..

මෙවැනි භික්ෂූන් හෙළා දැකීම කරන්නා
ආගමික වුවත් නිරාගමික වුවත්
ඔහු කරන්නේ බුදු සසුනට නොමඳ සේවයකි.
මෙවැන්නන් හෙළා දැකීම බුදුන් වහන්සේද කරති.

බුදුන් වහන්සේට අනුව
"ගමටත් නැති වනයටත් නැති
දෙකොණ ඇවිලෙන මැද අශූචි තැවරුණ
මේ සොහොන් පෙණෙලි ගැන කතා කිරීමත්
කාලය නාස්තියකි" කියා මා කියන විට
මගේ සිතේ පවතින්නේද ද්වේශයයි.
එහෙත් බුදුන් වහන්සේ තුළ ද්වේශය නැත.
උන් වහන්සේ තුළ ඇත්තේ කරුණාවයි.

පුහුදුන් අප
ද්වේශයෙන් ගැලවෙන්නට නම්
හින්දු සමථ භාවනා අනුව
සිත ශූන්‍ය කරගෙන මෝහයට වැටිය යුතුය.

නැත්නම්
සිතේ පහළ වෙන ද්වේශය
සිත සහ කය තුළ සිහියෙන් දකිමින්
ඒ කාය චිත්ත වෙනස්කම් පිළිබඳව
උපේක්ෂාවෙන් පසු විය යුතුය.
මා කරන්නේ දෙවැන්නයි.

ද්වේශය පහළ වීම
සිතේ යටපත් වී ඇති
ද්වේශ අනුසයෙන් මිදෙන්නට ලැබෙන
අනගි අවස්ථාවකි.
ඒ සඳහා විදසුන අවශ්‍යයි.

ද්වේශ අනුසය පහ වීමට නම්
ඒ අවස්ථාවෙහි කයෙහි පහළ වෙන
දුක්ඛ වේදනාව දැකිය යුතුය.

"දුක්ඛ වේදනා ඇසුරෙන් ද්වේශ අනුසය
ප්‍රහාණය කරගන්න" කියලා
පහාන සූත්‍රයෙ බුදුන් වහන්සේ කියනවා.

ද්වේශ අනුසය ප්‍රහාණය වෙන්න නම්
වේදනාව වෙනස් වෙන විදිය
සිත කය දෙකෙහිම දැකිය යුතුය.

ද්වේශය සිතෙහි පමණක් නොව
කායික දුක්ඛ වේදනාව සමග දකින්න
විදර්ශනාවෙන් පුහුණු විය යුතුයි.

සිතේ දුකක් තරහක් බයක් ඇතිවූ විට
ඒ ද්වේශය සිත කය දෙකෙහිම දකිමින්
"දුක්ඛ වේදනා ඇසුරෙන් ද්වේශ අනුසය
ප්‍රහාණය කරගන්න" විදසුන් වඩන්නාට පුලුවන්.




20171113

වැලිතලාව වැසි වනාන්තරයක් කළ සොඳුරු මිනිසා


වයස අවුරුදු දහසයක පිරිමි ළමයෙකු
මියගිය සර්පයන් දැක පහළ වූ අනුකම්පාව නිසා
කුඩා උණ මොටෙයියෙකුගෙන් ඇරඹූ වනය
අද අක්කර 1360ක් වසා පැතිර පවතී.

අමිතාබ් බච්චන් වැනි චරිත සමග
පසු ගියදා ඔහු පද්ම ශ්‍රී සම්මානයෙන්
පිදුම් ලැබුවේ වසර 30ක සේවයටයි.
කිසිවක් ලබා ගැනීමේ චේතනාවකින් තොරව
මේ මහ වනය සිය දෑතින් නිම ලළ ජාදව්
අදටත් එළකිරි සහ මීකිරි වෙළඳාම් කරමින්
කොළ අතු සෙවිලි කළ මැදුරක සුවෙන් වෙසෙයි.

'පද්ම ශ්‍රී සම්මානය' අමිතාබ් ලද ගෞරවයකි.
ජාදව්ට 'පද්ම ශ්‍රී සම්මානය' පිදීමට ලැබීම
ඉන්දියානු රජය ලද ගෞරවයකි.
ඔහුට ඉන්දියාව සහ මුලු ලොවම ණයගැතිය.

සම්මානය පුදන ජනාධිපතිගේ මුහුණත්
ජාදව්ගේ මුහුණත් සසඳා බැලීමෙන්
ඔවුන්ගේ ජීවිත වල සංහිඳියාව
ඒ හැඟීම් වලින් මැනගත හැක.

ඉන්දියානු ජනාධිපති කොතරම් උගතෙකු වුවත්
ඔහුට ජාදව්ගේ වටිනාකම පිළිබඳව
කිසිදු හැඟීමක් ඇති බවක්
ඔහුගේ මුහුණින් පළ නොවෙයි.

මේ අවස්ථාවට ඉන්දියානු අගමැති
මෝඩිද සහභාගි වී සිටියේය.
සමස්ත ඉන්දියානු භාණ්ඩාගාරයත් අතැතිව
ඔහු වැන්නන්ට කළ නොහැකි වූ මහා ප්‍රාතිහාර්යයක්
මේ කුඩා මිනිසා සිය දෑතින් පෑවේ කෙසේද?

අඳ බාල ජනතාව මහා වීරයන් මෙන්
දිවි හිමියෙන් ගරුසරු කරමින් ගොටු ඇල්ලුවත්
දෙශපාලනඥයන් යනු හිස් පුද්ගලයන් බව
අපට පසක් වන්නේ මෙවැනි "මිනිසුන්" නිසාය.

"මේ මගේ පවුලයි" ජාදව් වනය පෙන්වා කියයි.

"මේ සතුන් මරා දමන්නට කලින්
මා මරා දමන්න" ඔහු දඩයම් කරුවන්ට කීවේය.

"එක දරුවෙක් එක ගසක් සිටෙව්වොත්
මුළු ඉන්දියාවම කොළපාට කරන්න පුලුවන්"
ජාදව් මේ මතු කරන හැඟීම දැනෙන්නේ කාටද?

ජාදව් ලබන සම්මාන, ප්‍රසිද්ධිය ඔහුට සතුටකි.
"ඒත් මම සාර්ථකත්වය විදියට දකින්නේ
කවදා හෝ මා මිය යන දවස වන තෙක්
මේ ලොවට එක් කළ හැකි හරිත වර්ණයයි."

ජාදව් පද්ම ශ්‍රී සම්මානයකින් පුදා
අමතක කළ යුතු තවත් මිනිසෙක්ද?
දිනපතා සිහි කළ යුතු දෙවියෙක්ද?



සොබාදහමේ මූලිකයෝ වන්නේ එහි ජීවත් වන ජීවී කොට්ඨාශයයි. අහස , මහපොළොව, ඉර, හඳ,ගස්, වැල් ගංඟා ඇළ දොළ වැනි සියලු අජීවී වස්තූන්ද සොබාදහමේ වටිනා සම්පත්ය. වර්තාමාන ලෝකයේ මේ සොඳුරු සොබාදහම විවිධ මිනිස් අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා විනාශ වී යන බව අප හොඳින් දන්නා කරුණක්.

මෙලෙස සොබාදහම විනාශය වන වර්තාමාන ලෝකයේ සොබාදහමට පණමෙන් ආදර කරන මිනිසුන්ද සිටිනවා.එවැනි වූ සොඳුරු මිනිසෙක් පිළිබඳ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වුණා.


 

ඉන්දියාවේ "මොලායි වනාන්තරය" පිළිබඳව ඔබ මීට පෙර අසා ඇති. නමුත් මේ විශාල වානාන්තර බිහි වුණේ සොඳුරු මිනිසෙකුගේ දෑතින්.

ඒ තමයි ජාදව් මොලායි පායෙං නැමති සොඳුරු මිනිසා. ඉන්දියාවේ කාන්තාරයක්ව තිබූ අක්කර ගණනක භූමි ප්‍රදේශය විවිධ වූ ශාක වර්ගයන් සිටුවා ඝණ වනාන්තරයක් බිහි කිරීමට ජාදව්ගේ දෑත් ශක්තිමත් වුණා. මේ අපූරු සොඳුරු මිනිසාගේ ජීවිත කතාව පිළිබඳව සටහනක් අන්තර්ජාලයේ මෙලෙස පළකර තිබුණා.එම සටහන පහතින්..

ජාදව් මොලායි පායෙං ඉන්දියාවේ ජීවත් වූ වැඩි අධ්‍යාපනයක් නොලද සාමාන්‍ය ගැමි මිනිසෙකි. ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ බ්‍රහ්මපුත්‍ර නම් විශාල ගං ඉවුරේ පිහිටි කුඩා ගමක ඔහු ජීවත් විය. 1979 වර්ෂයේ එක් දිනක ඔහුගේ සිතුවිලි කිසිදා නොසිතූ අරමුණක් වෙනුවෙන් නාභිගත වූයේ එම ප්‍රදේශය විනාශ කරමින් ගලා ගිය විශාල ගං වතුර නිසාවෙනි.

ඔහු ජීවත්ව සිට ගමට යාබදව ගං ඉවුරේ තිබුණේ අක්කර ගණනක් විශාල වැලි තලාවකි. ගං වතුරෙන් පසුව වියළී ගිය වැලි තලාවට ගිය ජාදව්ට දකින්නට ලැබුණේ සර්පයින් විශාල ප්‍රමාණයක් එහි මිය ගොස් තිබූ දර්ශනයකි. මෙයින් ඉමහත් කම්පාවට පත්වූ ඔහු මරණ වලට හේතුව සොයා බැලීය. ගංවතුර නිසා වැලිතලාවට ආ සර්පයින් පසුව එහි දැඩි හිරු රශ්මිය දරාගත නොහැකිව විජලනයට පත්වී මියගොස් ඇති බව ඔහුට සොයාගන්නට හැකිවිය. ගැටලූවට විසදුම මෙම වැලි තලාව මත ගස් සිටුවීමයි. වහාම ඔහු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කළේ ඉන් පසුවයි. වන සංරක්ෂණ නිලධාරීන් පැවසූයේ නිසරු වැලි තලාවේ වන වගා කළ නොහැකි බවත් එහි වැවිය හැක්කේ උණ බම්බු පමණක් බවත්ය. ගැටළුවට ඔවුන්ගෙන් විසදුමක් නොලැබුණි.

ඉන් පසු එවකට 16 හැවිරිදි දරුවෙකු වූ ජාදෙව් තීරණය කළේ මෙහි වන රෝපණය තමන් විසින් තනිව හෝ සිදුකළ යුතු බවයි. නිළධාරීන් පැවසූ ආකාරයට උණ බම්බු මොටෙයියන් කිහිපයක් වැලි තලාවේ සිටුවා දිනපතා ජලය දමමින් කුඩා උණ පදුරක් ඔහු අතින් මුලින්ම නිර්මාණය විය. ඉන්පසු විවිධ ගස් වර්ග වලිතලාව මත දින දින රෝපණය කරන්නට ඔහු පටන් ගත්තේය. “ඒක ගොඩක් වේදනාත්මක මතකයක්. කිසිම සරු බවක් නැති වැලි තලාවක ගස් වවන එක ලේසි වැඩක් උනේ නැහැ” අද ඔහු තමන්ගේ මුල්ම කාලය ගැන එසේ පවසයි.

මිනිසුන් උගතුන් යැයි මනින පාසල් අධ්‍යාපනය ඔහු තුළ නොතිබුණත් ඇතැම් උගතුන්ට කිසිදා හිමිකර ගත නොහැකි සොබා දහමේ අධ්‍යාපනයෙන් ඔහු පෝෂණය වී සිටියේය. ජෛව විවිධත්වය සම්බන්ධයෙන් මහා ප්‍රාඥායෙකු වූ ඔහු එම දැනුම ලබා ගත්තේ සොබා දහම සමග ඒකාබද්ධ වීමෙනි. පස සරු කිරීමට ගමෙන් එකතු කරගත් රතු කූඹින් ගෙනවිත් දැමූයේ මේ දැනුම උපයෝගී කරගනිමිනි.

වැලිතලාව තුළ තිබූ සරු පස් එකතු කිරීම කූඹින් අතින් සිදුවිය. එම පෝෂණය ලබා ගනිමින් ඔහු වගා කළ කුඩා පැල රූස්ස ගස් බවට ටිකෙන් ටික පත්විය. මෙසේ වසර 30ක කාලයක් නොකඩවා ඔහු තම වනාන්තරයේ වැඩෙහි යෙදුණේය. දිනෙන් දින විශාලවූ වනාන්තරය විවිධ වෘක්ෂ වර්ග දහසකට අධික ජෛව විවිධත්වයකට හිමිකම් කියන මහා වනාන්තරයක් බවට පත්විය. ඔබ පුදුමයට පත්වන කරුණ නම් මේ වන විට එම වනාන්තරය අක්කර 1360ක විශාලත්වයෙන් යුතු මහා ඝන කැළෑවක් වීමයි. එය තනි මිනිසෙකුගේ නිර්මානයක් වීම ඊටත් වඩා පුදුම උපදවන කරුණකි.

ලොව පුරා මිනිසුන් පුදුමයට පත් කළ මොලායි වනාන්තරය බිහිවුණේ මේ ආකාරයෙන් තනි මිනිසෙකුගේ දැතෙනි. මෙම වනාන්තරයට මොලායි රක්ෂිතය ලෙස නම් තැබුණේ ජාදව් මොලායි පායෙං තම මුළු ජීවිතයම කැප කර නිර්මාණය කළ මේ සුවිශාල වනාන්තරය වෙනුවෙන් ඔහුට කරන උපහාරයක් ලෙසිනි. එහෙත් දැන් මෙහි සින්නක්කර හිමිකරුවා ජාදව් නොවේ. මේ මහ වන ලැහැබ තුළ ගිජු ළිහිණියන්, විවිධ කුරුළු වර්ග, වදුරන්, රිලවුන්, සාවුන්, මුවන්, වළසුන් පමණක් නොව දුර්ලභ රාජකීය බෙංගාල කොටින් පවා අයිතිකරුවන් වී ජීවත්වේ. ජාදව් මෙම නව හිමිකරුවන්ට තමාගේ මුළු ජීවිතයම කැප කළ නිර්මාණය කළ සම්පත නොමිලේම පවරා දී ඇත්තේ ඉතාමත් සතුටිනි. ජාදව් පවසන ආකාරයට ඔහු ඉතාමත් අකමැති හිමිකරුවන් පිරිසක්ද මේ වනයට අයිතිවාසිකම් කීමට උත්සාහ දරා ඇත. ඒ අවට ගම් වල වාසය කරන ගස් කපා ලී ඉරන කැළෑ පාළුවන් හා සතුන් දඩයම් කරන මස් වැද්දන්ය. ඔවුන් ගහ කොළ විනාශ කිරීමටත් සතුන් දඩයම් කිරීමටත් පටන්ගෙන ඇත. මෙය ඉවසාගත නොහැකි වූ ජාදව් අවට ගම්වලට ගොස් මෙසේ තමන් විසින් මහත් කැපවීමෙන් ඉදිකළ වනාන්තරය විනාශ නොකරන ලෙස ඉල්ලා සිටීමෙන් පසු දැන් එම තත්වය පාලනය වී ඇති බව ඔහු පවසයි.

අදටත් ඔහු වනාන්තරය අද්දර කුඩා පැළක තම බිරිද සමග මීකිරි හා එළකිරි විකුණා ලැබෙන ආදායමෙන් තම සරල දිවි පෙවෙත ගෙවමින් සිටියි. ජාදව් ගේ මෙම විශ්මකර්ම නිර්මාණය දුටු ඉන්දියානු රජය එම වනාන්තරය තවත් අක්කර 1200කින් පමණ වැඩි කිරීමට මේ වන විට කටයුතු යොදා ඇත.

ආසියාතික ජනතාව ඈත අතීතයේ සිටිම සොබා දහමට ප්‍රිය කළ සෙබා දහමත් සමඟ බද්ධ වූ ජන කොට්ඨාශයකි. අප අයත් වන්නේද මේ ජන කොට්ඨාශයටමය. මීට දශක කිහිපයකට පෙර 80% ක් ව පැවති මෙරට වනාන්තරය අද වන විට 20%කට පමණ සීඝ්‍රයෙන් අඩුව ඇත්තේ අප සැම සෙබා දහමින් ඈත් වීම නිසාවෙනි. ශතවර්ශ ගණනාවක සිට මෙරටට පැමිණි සොබා දහම විනාශ කරන, සොබා දහම සමඟ සමග බද්ධ නොවූ විවිධ ජාතීන් විසින් පිටරටින් එන හැම දෙයක්ම උසස් යැයි පිළිගන්නා අපේ ජාතියේ ඔළුගෙඩි විනාශ කොට ඇත. සිංහරාජ වනයේ කැළෑ පාළුවන් විනාශ කරන තුරු, දුම්බර කඳුවැඩිය විනාශකාරීන් ගිනිතබන තුරු, විල්පත්තුව විවිධ මිනිසුන් තම වාස භූමිය කරගන්නා තුරුත් අප නිහඬව බලා සිටිනේනේ ඒ නිසාවෙනි. නුදුරු අනාගතයේදීම වසර 30කට පෙර ජාදව් දුටු වැලි තලාව ලාංකික මිනිසුන් හට දැකගැනීමට හැකිවනු නොඅනුමානය. එසේ වීමට ප්‍රථම ලාංකික පුරවැසියන් අතරද ජාදව් වැනි මිනිසුන් උපදීවායි අප ප්‍රාර්ථනා කරමු.




20171112

බියර් බදු අඩු කිරීමට මෛත්‍රී කැමති නෑ.

බියර් බදු අඩු කිරීම පිළිබඳව
මෛත්‍රී සහ තවත් ඇමතිවරු පිරිසක්
අප්‍රසාදයෙන් පසුවන බව ඇසෙයි.

මත්පැනට හුරුවී මත්පැන් මගින්
ප්‍රමාදයට පත්වී ඒ අවසිහිය තුළ
ජීවිතයේ දුකෙන් යම් පලායාමක යෙදෙන
දුර නොපෙනෙන ජනතාව වෙසෙන්නේ
මෛත්‍රී පිළිබඳ අප්‍රසාදයෙනි.

මෙතෙක් අප රටේ පහළ වූ
ජනපතිවරු හා අගමැතිවරු කිසිවෙක්
පුද පූජා වන්දනාමානාදියෙන් විනා
පිළිවෙතින් ධාර්මික පාලකයෝ ලෙස
රට හමුවේ පෙණුනු අය නොවෙති.

වචනයෙන් හෝ බුදු දහම භාවිතා කළේ
පුද පූජා පිළිවෙත් වලට නොනැමුණ
ජේ ආර් ජනාධිපති වරයා පමණි.
සමහර ජනාධිපතිවරුන් බීමට ඇබ්බැහිවී
සැන්දෑව සහ රාත්‍රිය බීමත්ව ගත කොට
පසුදින කැබිනට් රැස්වීමට පැමිණීමට පවා
අපහසුවූ ජනපතිවරුන් ගැන අප අසා ඇත.
ජනපතිවරණ ප්‍රතිඵල පිළිගන්නට පවා
බීමත්ව පැමිණ විසිවෙමින් වැනෙමින් සිටි
දුර්වල ජනපතිවරු අප දැක ඇත.

මෛත්‍රී පන්සිල් රකිනවා නම් ඔහු මෙතෙක් සිටි
සියලුම ජනපතිවරුන්ට වඩා සිල්වත් විය හැක.
ධර්මාශෝක, මහා පරාක්‍රමබාහු වැනි
ඉතා ශූර සහ බලවත් පාලකයන් කළත්
නීති රීති මගින් ජනතාව සිල්වත් කිරීම
පාලකයෙකු විසින් පහසුවෙන් කළ හැකි
කාර්යයක් නොවේ.

ජනතාව ස්වශක්තියෙන් සිල්වත් විය යුතුය.
පාලකයා කළ යුත්තේ සිල් බිඳෙන දේ
ලබා ගැනීම ජනතාවට අපහසු කරමින්
සිල් රැකෙන දේ දියුණු කිරීමය.

රටේ ජනතාව ධාර්මික කරන්නට
සිල්වත්ව වෙසෙන්නට හැකිවන පරිදි
රටේ පරිසරය වෙනස් කරන්නට නම්
රජෙකු කළ යුතු හොඳම දේ
සිල්වත්ව, ධාර්මිකව ජීවත් වීමයි.

රජුගේ ශීලය මුදුනේ සිට පහළට
ප්‍රතිපත්තිමය බලපෑමක් ඇති කරන බව
බුදුන් වහන්සේ රජුන් ගැන කරන විවරණයෙන්
අපට පැහැදිළි වෙයි.

"රජු ධාර්මික වන විට ඇමති වරුත්
ඇමතිවරු ධාර්මික වන විට නිලධාරිත්
නිලධාරින් ධාර්මික වෙන විට
රටේ ජනතාවත් ධාර්මික වෙති."

බියර් මිළ අඩු කිරීම පිළිබඳව
මෛත්‍රී ජනපති දක්වන අප්‍රසාදය
මංගල ඇතුළු අනෙක් ඇමතිවරුන්ටත්
රජයේ නිලධාරීන්ටත් බලපානු ඇත.
දැන් මංගල බේබද්දන්ගේ ඇමතිවරයාය.
ඔහු මත්පැන් නොබොන අපේ ඇමති නොවේ.

කායික මානසික වාචසික සංවරය
ඇති පුද්ගලයා සහ නැති පුද්ගලයන්
දෙදෙනෙකුගේ ජීවිත පිළිබඳව සැලකුවොත්
අසංවර පුද්ගලයාගේ තීරණ සැලකිය යුතු නොවේ.

යහපත් මිනිස්සු බියර් මිළ ඇඩු කිරීමට අකමැති
මෛත්‍රී යහපත් පාලකයෙක් ලෙස දකියි.
මංගල යහපත් ඇමති කෙනෙක් ලෙස දකින්නේ
බියර් බොන්නට කැමති මිනිසුන් පමණි.
ඔවුන්ට පැහැදිලි ලෙස සිතන්නට නොහැකි බව
ඔවුන් මත්පැනට දක්වන ගිජු බවින්ම පෙනෙයි.
අමුතු විග්‍රහයන් අවශ්‍ය නැත.

මත්පැන් පානයට හුරු කරන නීති වලට වඩා
මත්පැන් පානයෙන් මිනිසා වළකන නීති
සමස්තයක් ලෙස ජනතාවට හිතකරය.

ආත්ම දමනය නැති තැනැත්තා
නීති මගින්වත් පාලනය කළ නොහැක.
ආත්ම දමනය නැති නිසා මිනීමරණ අය මෙන්ම
සිය දිවි නසා ගන්නා අයද වෙති.
ඒ ආත්ම දමනය පිරිහීමෙහි ප්‍රතිඵලයි.

මත්පැන් පානය කළ තැනැත්තාගේ ආත්ම දමනය
ඔහු හොඳ සිහියෙන් පසුවෙන වෙලාවට වඩා
බීමතින් පසුවෙන වෙලාවෙහිදී තවත් අඩුය.
මත්පැන් පානය නිසා කායිකවද පිරිහෙන ඔහුට
උලපන්දන් දෙන රජයක් බලාපොරොත්තු වන්නේ
ජනතාව කායික මානසික වශයෙන් පිරිහෙන්නට හැර
පහසුවෙන් රට පාලනය කරන්නට විය හැක.
එහෙත් දීර්ඝ කාලීන වශයෙන් එය හානිකරය.

ගිහියෙක් විඳිය යුතු සැප හතරෙන්
අනවජ්ජ සුඛයද එක සැපකි.
වැරදි නොකරන්නාට වඩා බියෙන් සොවින්
වැරදි කරන්නා දුක් විඳියි.
මත්පැන ඒ දුක වසාගන්නට අදින
තාවකාලික දුහුල් තිරපටක් පමණි.

සතුන් නොමරන්නට, සොරකම් නොකරන්නට,
අනාචාරයේ නොහැසිරෙන්නට, වංචා දූෂණ නොකරන්නට,
මත්පැන් පානය නොකරන්නට හුරුවන ජනතාව
රටේ සංවේදී බවත්, සුඛිත මුදිත බවත්
ඇති කරන්නට ප්‍රධාන හේතුවයි.

සිල් බිඳගන්නා ජනතාව නිසා ඒ ජනයාත්
ඔහු වෙසෙන පරිසරයත් දූෂිත වෙයි.
කසිප්පු බොන කම්කරුවාත්, විස්කි ජින් බොන වෘත්තිකයාත්
පැවැත්මෙන් හා ආකල්පවලින් නොවෙනස්ය.
බීමත් කම්කරුවාට නැති තාර්කික නිදහසට කරුණු
වෘත්තිකයා වෙතින් අපට අසන්නට ලැබෙයි.
එහෙත් බීමත්ව පසුවෙන විට මේ දෙදෙනාගේම
අපට දකින්නට ලැබෙන්නේ එකම පිරිහීමකි.

මේ පිරිහීම ඉතා සියුම් ආකාරයෙන් දියුණු කරන්නට
මංගලගේ අවමංගල අයවැය මග විවර කොට ඇත.
මංගල රටේ ජනතාව ගැන යහපත් හැඟීමක් නැති
දුර්වල සහ දුර්දාන්ත ඇමතිවරයෙකි.

මංගල මේ ජනතාවට සිදු කරන
දීර්ඝ කාලීන කායික-මානසික හානිය
ඔහුට මෙන්ම ඔහු අනුමත කරන සියලු දෙනාටත්
දීර්ඝ කාලීන වශයෙන් බලපානු ඇත.
රටවැසියා බහුල ලෙස මතට හුරු වු පසු
මෙම බද්ද නැවත පැනවීමද
සිදුවනු නියතය.

මේ දුර්දාන්ත පියවරට එරෙහිව ක්‍රියා නොකළත්
මෛත්‍රී විසින් දක්වන ලද අප්‍රසාදය පිළිබඳව
මා මෛත්‍රීට පුද්ගලිකව ස්තූතිවන්ත වෙමි.

පවට අනුබල දීමද පවට හවුල් වීමකි.

මෛත්‍රී පවට අනුබල දීමෙන්
චේතනාත්මකව වැළකෙන විට
ඔහුගේ කර්මය ඊට අනුව සකස් වෙයි.
මංගලගේ කර්මය ඊට ප්‍රතිවිරුද්ධය.

ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙකු ලෙස රටේ සියලු දේ
පාලකයාගේ සිතැඟි අයුරු පාලනය නොකළ යුතුය.
මේ අවමංගල නීති ලිහිල් කිරීමේ ඵල විපාකය මංගලත්
ඒ අවස්ථාවෙන් ඵල ප්‍රයෝජන ලබා ගනිමින්
බියර් මගින් මතට ඇබ්බැහි වන අයත් විඳිනු ඇත.

මෛත්‍රීගේ අප්‍රසාදය සැලකිල්ලට ගෙන මතින් වැලකී
සදාචාර සම්පන්නව වෙසෙන ජනතාවට
ඒ පිළිවෙතට සුදුසු අයුරින් ඵල විපාක ලැබෙනු ඇත.




20171110

දඬුවම් දීම වැරදි වැඩක්....

වැරදි කළ දරුවාට
දෙමාපියන් දඬුවම් දීම වැරදි වැඩක්.

වැරදි කළ පාසල් සිසුවාට
ගුරුවරයා දඬුවම් දීම වැරදි වැඩක්.

අපේ සමාජයේ ආකල්පය එයයි.

වැරදි කළ අපරාධකරුවාට
උසාවියෙන් දඬුවම් දීම වැරදි වැඩක්
අපරාධකරුවා සිතයි.
ඔහු වස බොන්නේ ඒ බව කියන්නටය.

වැරදි කළ දරුවාත් පාසල් සිසුවාත්
වැඩිහිටියන් වී සමාජයට එන්නේ
වරදක් පිළිගන්නට නොහැකි
දඬුවමක් පිළිගන්නට නොහැකි
මානසික ආබාධිතයෙකු වශයෙනි.

වරදට දඬුවම යනු පළිගැනීමක් නම්
ඒ දඬුවම නොදීම යහපත්ය.
මන්ද එහි පදනම වනුයේ
කැකෑරෙන ද්වේශය පමණක් නිසාය.

දරුවාට දඬුවම් නොදිය යුතුයි කියන අය
වැඩිහිටියාට දඬුවම් දෙන්නට සූදානම්ය.
එහෙත් වරදකරුවා කුඩා කල සිට හුරුවුණේ
"දඬුවම් දීම වැරදි වැඩක්" යන
වැරදි ආකල්පයෙනි.

දඬුවමට එරෙහි වන අඳබාලයා
උසාවියේදී වස පානය කරන්නේ
දඬුවමට ඔහුගේ විරෝධය
සමාජය හමුවේ පළ කරන්නටයි.
දැන් සමාජය ඔහුට අනුකම්පා කළ යුතුය.
අපේ සමාජය එවැන්නකි.

පොල් හොරකම් කරන ආච්චී සහ
දැරිය නිදහස් කළ යුතුය.
මැති ඇමති වරුන්ට දඬුවම් දිය යුතුය.
ඒ අපේ සමාජය හදන නීතියයි.

දරුවන් හදන්නේ මේ දෙමාපියන්ය.

වරදට ලැබුණ දඬුවමට එරෙහිව
උසාවියේදී වස පානය කළ අඳබාලයාට
වැරදි දෙකක් සඳහා දඬුවම් කළ යුතුය.
1, සිය දිවි නසා ගැනීමට තැත් කිරීම
2, අධිකරණයට අපහාස කිරීම.

මේ වැරදිකරුවා එවැනි ආකල්ප ඇතිව
හැදෙන්නට වැඩෙන්නට ඇත්තේ
ඔහුගේ මාපියන්, ගුරුවරුන් සහ
සමාජයේ ආශීර්වාදය ඇතිව
ඔහු ඇති දැඩි කළවූ නිසාය.

දරුවෙකුට දඬුවමක් ලැබුණ විට
දරුවා, දරුවාගේ දෙමාපියන් මෙන්ම
සමස්ත සමාජයද ඒ දඬුවම පිළිගත යුතුය.

දඬුවම සිත් රිදවන්නකි.
ඒ සිත් රිදීම වරද නිවැරදි වීමට
අවශ්‍ය වන සාධනීය වේදනාවකි.

මා දන්නා එක් කාන්තාවක්
සිය ළාබාල දරුවා සමග
බස් රියෙන් දිගු ගමනකට සැරසුණේ
ඔහුටද ටිකට් පතක් ලබා ගනිමිනි.
ඔහුට කවුලුව අසලට වී
සිටගෙන යන්නට අවශ්‍ය විය.
"ඔයා ඔතන හිටගෙන ගිහින්
කවුරු හරි මෙතන වාඩි වුණොත්
මගේ උකුළට නම් ගන්නෙ නෑ" කියා
ඇය ඔහුට අනතුරු ඇඟෙව්වාය.

මව සිතූ සේම සිදු විය.
මව කී දේ නොපිළිගත් දරුවා
ඇගේ උකුළෙහි හිඳගන්නට සැරසෙද්දී
ඇය ඔහු ඉවතට තල්ලු කරන විට
ඔහුගේ හිස කොහේදී වැදී
ඔහු හඬන්නට විය.

ඔහුගේ අසුන පැහැරගෙන හිඳගෙන සිටි
නාඳුනන මගියා ඇයට දොස් නැගීය.
"මගේ දරුවාට මම දුන්න දඬුවම
මටත් දරුවාටත් දෙන්නාටම
දරාගන්න පුළුවන්න නම්
ඔබට ඇති අමාරු ව කුමක්දැයි" විමසා
ඇය ඔහු නිහඬ කළාය.

පසු කලක ඔහු පාසලේ කණිටු අංශයේ
ප්‍රධාන ශිෂ්‍ය නායකයා විය.

සැබෑ දඬුවමෙන්
දඬුවම් දෙන්නාද
විඳින්න අනුව පීඩා විඳියි.
ඒ පීඩාව දරාගෙන දඬුවම දෙන්නට
ඔහු සමත් විය යුතුය.

බොහෝ දෙමාපියන්
තම දරුවාගේ වැරදි වලදී
කුඩා දරුවන් මෙන් හැසිරෙන්නෝය.
අනවශ්‍ය ලෙස වරද ඉවසන ඔවුහු
දරුවා දඬුවමෙන් වියුක්ත කිරීම
තම වගකීමක් ලෙසද සිතයි.
ඒ පිළිබඳව ආඩම්බරද වෙත්.

දෙමාපියන්ට නිසි සැලකිල්ලක් නොකරන
ආත්මාර්ථකාමී දරුවන් වන්නේද
මේ නිදැල්ලේ වැඩෙන සුරතලුන්ය.

දඬුවම දෙන්නාගේ චේතනාව වන්නේ
වරද කළ තැනැත්තාගේ වරද හැදීම නම්
චුදිතයා ඒ අවස්ථාවේ මොන දුකක් වින්දත්
ඔහු වරද වටහා ගත්තොත් ඒ දෙස බලන්නේ
කාරුණික වැඩිහිටියෙකුගේ සද්ක්‍රියාවක් ලෙසිනි.

සැබෑ දඬුවම් දීම චේතනාවේ පටන්ම
කාරුණික වැඩිහිටියෙකුගේ සද්ක්‍රියාවකි.

බුදු දහමේ විනය පිටකය යනු
සැබැවින්ම දඬුවම් පද්ධතියකි.
පාරාජිකා සතර පැවිද්ද අහිමි කරන අතර
අනෙකුත් ආපත්ති වල්දී විඳිය යුතු
අපහසුතාවයන් නියම වී ඇත.

සමාජ නීති වල අරමුණ සමාජය රැකීමයි.
සමාජය වැරදි කරුගෙන් රැකීම කරන විට
වැරදි කරුද පරිවර්තනය විය හැකිය.
නැතත් ඔහු සමාජය වෙනුවෙන් දඬුවම් ලබයි.

සැබෑ දඬුවම් දීම චේතනාවේ පටන්ම
කාරුණික වැඩිහිටියෙකුගේ සද්ක්‍රියාවකි.

බුදු දහමේ විනය පිටකය යනු
සැබැවින්ම දඬුවම් පද්ධතියකි.
පාරාජිකා සතර පැවිද්ද අහිමි කරන අතර
අනෙකුත් ආපත්ති වල්දී විඳිය යුතු
අපහසුතාවයන් නියම වී ඇත.

සමාජ නීති වල අරමුණ සමාජය රැකීමයි.
සමාජය වැරදි කරුගෙන් රැකීම කරන විට
වැරදි කරුද පරිවර්තනය විය හැකිය.
නැතත් ඔහු සමාජය වෙනුවෙන් දඬුවම් ලබයි.
.
කලකට පෙර ප්‍රධාන නගරයක
පිරිමි පාසලක උසස්පෙළ සිසුවෙක්
සිය සොහොයුරියකගේ මංගල සාදයක
පානය කොට ඉතිරි වූ මත්පැන් රැගෙන විත්
පාසලේ මිතුරන් සමග පාසලෙන් බැහැර
ජලාශයක් අයිනට ගොස් පානයකොට
බී මතින් නැවත පාසලට පැමිණියේය.

ඔහුගේ පන්ති භාර ගුරුවරයා
සිසුවා කැඳවා වරද විනිශ්චය කොට
ඔහුට දඬුවම් කොට පාසලෙන්ද ඉවත් කළේය.

පසු කලෙක ඔහු රැකියාව ලෙස කළේ
නගරයේ වෙළඳපළේ එළවලු විකිණීමයි.
තනිවම එතනට වැටුණු ඔහු සමග
හවුලට වැටෙන්නට සිටි සිසුන් පිරිසක්
ගුරුවරයාගේ සද්ක්‍රියාව නිසා රැකිණ.

පාසලේ ගුරුවරුන්ගේ ප්‍රශ්නයක් නිසා
උද්ඝෝෂණය කරන සිසුන් පිරිසක්
ගුරුවරුන්ට හිංසා කරන්නට යන බව දැනගත්
අර එළවළු වෙළෙන්දා සිය ගුරුවරයා සිහි කොට
"උඹලා අපේ සර්ට අත තිව්වොත් හෙම
මගෙන් බේරෙන්න හිතන්න එපා" කියමින්
අනෙක් සිසුන්ට තර්ජනය කළේය.
ඔහු සිය දෙමාපියන්ට වඩා
අර ගුරුවරයාට ගරු කරනු ඇත.

ඒ නිවැරදි දඬුවමෙහි ඵලයයි.

මා හැමදාම මේ කතාව සිහි කරන විට
ඒ සිසුවා සහ ගුරුවරයා වෙනුවෙන් උපදින
සෙනෙහසින් හා ගෞරවය හේතු කොටගෙන
නෙතින් හැලෙන කඳුලු මට දැන් හුරු වී ඇත.

ඒ ගුරුවරයා රජෙක් වුණා නම්
ඔහු නීතිය මෙහෙයවන ආකාරය ගැන
රට වැසියා ඔහුට ගරු කරනු නියතය.
ඒ රට අපේ රට වුවත් එය සිදු විය හැකිය.

මේ රටේ ඉතාම දූෂිත පාලන සමයක
තිස් වසරක යුද්ධය ජයගත් හමුදාපති
දඟගෙට යැවූ රජයක් අධිකරණයක් සහ
ඊට එකඟ වූ ජනතාවක් අපට සිටියේය.

අද යහපාලන රජයක් පවතිනවා නම්
චුදිතයාගේ තරාතිරම බැලිය යුතුද?

වරදකරුවා කවුරු වුණත් ඔහුට විරුද්ධව
නීතිය ක්‍රියාත්මක විය යුතුය කියන
ග්‍රාම සේවක කෙනෙක් දැන් රජ වී සිටී.
ඔහු තවමත් රාජ්‍ය සේවකයෙකි.

ජනපතිගේ සොහොයුරා රිය අනතුරකින්
ජීවිත හානි දෙකක් සිදු කොට පලාගියේය.
ඔහු සිය සොහොයුරාගෙන් රැකවරණය පැතුවාද
ජනපති සොහොයුරා ප්‍රතික්ෂේප කළා ද
කියා අප තවමත් නොදනිමු.
එහෙත් ඔහු පොලීසියට භාර විය.

පොලීසිය මෛත්‍රීට කතා කොට විමසුවේ
සොහොයුරාට කුමක් කළ යුතුද යන්නයි.
"වෙන ලොකු මිනිස්සුන්ගෙ කවුරු හරි වැරදි කළාම
පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන්නෙ
ඒ ලොක්කන්ගෙන් අහලද?
වැරදි කලා නම් තරාතිරම නොබලා
නීතිය ක්‍රියාත්මක කරන්න" කියමින්
සිය සොහොයුරා වෙනුවෙන් කළ යුතු දේ
කට උත්තරත් නැති වෙන්නටම
ඔහු පොලීසියට කියා දුන්නේය.

"වැරදි කරපු ඕනෑම කෙනෙකුට
වරදට විරුද්ධව ක්‍රියා කිරීම
වරදට දඬුවම් කිරීම...
ඒකට කාටවත් විරුද්ධ වෙන්න බෑ
ඒක හරියට ක්‍රියාත්මක වෙන්න ඕන.''

"වැරදි නම් වැරදි දේ
කවුරු කළත් වැරදියි.
වැරදි කරන සියලු දෙනාට විරුද්ධව
ආණ්ඩුවෙද විපක්ෂයෙද කොහෙද කොතනද?
ඕන කෙනෙකුට විරුද්ධව
නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන."
සෝභිත හිමි ගුණ සමරුවේදීද
ජනපති මෛත්‍රී රටට කීවේය.

වැරදි කරුවාට දඬුවම් දෙන්නට
රටේ රජුගෙන් කිසිදු බාධාවක් නැත.

මැති ඇමති වරු නිලධාරි පොලීසිය
සහ අධිකරණය ඔහු සමග එකඟද?
පවතින සමාජය ඔහු සමග එකඟද?

ඔබ ඔහු සමග එකඟද?

එසේ නම් ඔබේ දරුවා හදන්නට
ඔබ ගන්නා ක්‍රියාමාර්ග නිවැරදිව ගෙන
ඒ මාවත අනුගමනය කරන්න.

ඔබ නොහැදුණොත්, ඔබේ දරුවා නොහැදුණොත්
ඔබේ රට කවදාවත් හැදෙන්නේ නැත.

ඔබද වගකිවයුත්තෙකි.



20171109

සයිටම් සටනෙන් දිනුවේ කවුද?

මංකොල්ල කෑම කියන්නෙ
මහ දවල් තව කෙනෙකුගෙ දෙයක්
බලෙන් කඩා වඩා ගැනීම.

සයිටම් විරෝධය කියන්නෙ
රජයේ වෛද්‍ය සිසුන් සහ වෛද්‍යවරුන් විසින්
පෞද්ගලික ආයතනයක හිමිකරුවන්ගෙන්
ඒ ආයතනය මංකොල්ලකන්න දියත් කළ
ආත්මාර්ථකාමී ව්‍යාපාරයක්.

ඔවුන්ගේ පරම අරමුණ
පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය
අපේ සමාජයෙන් තුරන් කිරීමයි.

මේ මංකොල්ලය සඳහා ඔවුන් විසින්
නොයෙක් ආකාරයෙන් බලපෑම් දියත් කරනවා.
මේ බලපෑම් රජයේ ඇමතිවරුන් මගින්ම
පෝෂණය වෙන බවක් පෙනෙන්නට තිබුණා.
මෛත්‍රී ප්‍රශ්නය අතට ගත් පසු
ඔවුන්ගේ බලපෑම් වල ශක්තිය හිඳුණා.
ඒත් නතර වුණේ නෑ.

සයිටම් මංකොල්ලයෙදි බලපෑම
නොයෙක් අයුරින් ක්‍රියාත්මක වුණා.
ඒත් ඍජුව සයිටම් ආයතනයට නොවෙයි.
සයිටම් විරෝධීන් බලපෑම් කරන්නෙ
ඍජුව ජනතාවට සහ වක්‍රව රජයටයි.

සයිටම් විරෝධී වෛද්‍යවරුන්
මූලිකවම භාවිතා කළේ වර්ජනයයි.
ආරම්භයක් ලෙස සිසුන් පන්ති වර්ජනය කළා.
ඔවුන් ඉත්තා කරගෙන අවධානය ඉල්ලමින්
වෛද්‍යවරු වර්ජනවලට එළඹුණා.

වෛද්‍යවරු වර්ජනය කරන්නෙ රෝහල්වලට එන
අසරණම දුප්පත්ම පිරිස ඉලක්ක කරගෙනයි.
ඔවුන් පෞද්ගලික රෝහල් වර්ජනය කිරීම
ඉතාම අඩුවෙන් කළේ ඒ මගින් ලැබෙන
ආදායම අහිමිවෙන නිසා සහ
රෝගීන් වෙනත් මූලාශ්‍රවලට යොමු වීම
ඔවුන්ට ආර්ථික පාඩුවක් නිසයි.

සයිටම් විරෝධී වෛද්‍ය සිසුන්
උද්ඝෝෂණ කරන්නෙ රැකියාවන් වලට යන
වෘත්තිකයන්ව ඉලක්ක කරගෙනයි.
මේ වර්ජන උද්ඝෝෂණ වලින්
ඔවුන් කරන ලොකුම දේ මවා පෙන්වීමයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදීම
ආදී අනුවණ ප්‍රදර්ශන කරන්නට යාමෙන්
ඔවුන් ඔවුන්ගේ ව්‍යාපාරය පිළිබඳව
ජනතා ගෞරවය අහිමි කර ගත්තා.
ඔවුන් උගත් නුවණැති වෛද්‍ය සිසුන් නොව
ලේ රත්වුණ මැර දාමරිකයන් කැළක් බව
ඔවුන්ගේම ක්‍රියාවන්ගෙන් රටට පෙන්වා දුන්නා.

පහර දෙකතුන වදින විට පණ කඩාගෙන දුවන
මේ බියගුළු සයිටම් විරෝධී විරුවන්ගේ පාවහන් වලින්
පුර හල අසල වීදි වැසී ගියා.

මෛත්‍රී සුදුසු අවස්ථා බලා ක්‍රියා කරමින්
උණ රෝගය බරපතල ලෙස උත්සන්න වූ විට
හිසට අයිස් කොට්ට තබන්නාක් මෙන්
වරින් වර කැඳවුම් කරුවන් අල්ලා සිර කළා.
ඔවුන් එළියට එනවිට ඔවුන්ගේ ජූස් බැස තිබුණා.

මෛත්‍රීගේ මාත්තු සහ පැලැස්තර ක්‍රමයත් සමග
ඔවුන්ට මේ සියල්ල හැමදාම කරන්න හැකිවූයේ නෑ.
ඔවුන්ගේ විරෝධතා වලට එන සෙනග කල කිරුණා.
බලා සිටිද්දී එන සෙනග අඩු වෙන්නට පටන් ගත්තා.
විරෝධතා වලට පැමිණි අයටම විරෝධතා එපා වුණා.

මේ සෙනග අඩුවීම වසාගෙන
ඔවුන් වෙනුවෙන් මහා සෙනගක් ඉන්න බව
රටට පෙන්වීමට ඔවුහු මැජික් නිර්මාණය කළා.

විහාර මහාදේවි රඟහලේ හිඳ ගැනීම සඳහා
ඇති ස්වාභාවික පහසුකම නිසා ඉන්න සෙනග
දෙගුණ වී පෙනීම වාසිදායක ස්වභාවයක්.
ගැණලා බැලුවාම 1/3 ක වපසරියක ඉන්නෙ
600ක විතර ප්‍රමාණයක්.

ඔවුන් මේ ක්‍රමය නිසා විශාල වියදමක් දරා
නුගේගොඩ එළිමහන් රඟහල් භූමිය පුරාම
ප්ලාස්ටික් පුටු යොදාගෙන සෙනග ලොකු කළා.

මේ සෙනග පෙන්වීමේ යටි අරමුණක් තියනවා.
එනම් නැති බහුතරයක් මවා පෙන්වීම මගින්
ජනතාවට සත්‍යය වසන් කිරීමයි.

එක කලක ඔවුන් සාර්ථක වූ ලෙස පෙණුනත්
දීප ව්‍යාප්ත වැඩ වර්ජන, අඛණ්ඩ වැඩ වර්ජන
ආදී නාමික උප්පරවැට්ටි වලට මුවා වී
නැති බලයක් මවා පෙන්වන්නට ගොස්
වැඩ වර්ජන වල බලය පවා බිඳවැටුණා.

සයිටම් විරෝධීන් ව්‍යාජ බහුතරයක් පෙන්වා උත්සාහ කළේ
"බහුතරය ඇති නිසා බහුතරය ජයගත යුතුයි" කියමින්
ප්‍රජාතන්ත්‍රවාදයේ සිද්ධාන්ත මවමින්
රජය සහ ජනපති බලපෑමෙන් යටත් කරගෙන
තමන්ගෙ මැරයා දාමරිකයා මංකොල්ලකරුවා විදියට දමා
සයිටම් ආයතනය මහ දවල් මංකොල්ලා කෑම සඳහායි.

මේ රජය සයිටම් ආයතනය පැහැර ගන්නට
සයිටම් විරෝධීන් හා එක්ව ක්‍රියා නොකරයි නම්
වෙනත් රජයක් බලයට ගෙන එන්නට පවා
පාදෙණිය මුල්වී ක්‍රියාත්මක වූ දේශපාලන සටනක්
තිරෙන් පිටුපස වෙනම ක්‍රියාත්මක වුණා.
අසාර්ථක වූ තැන ඔහු පළා ගියා.

සයිටම් විරෝධී වැඩපිළිවෙළ මවා පා
වෛද්‍ය සංගම් සභාපතිකම ඩැහැගෙන
සයිටම් විරෝධයෙහි ප්‍රධාන නියමු පාදෙණිය
සයිටම් විරෝධී ව්‍යාපාරය අත්හැර දමා
ජනතාව අතරින් අතුරුදහන් වුණා.
දැන් දකින්නටවත් නෑ.
පාදෙණිය සටනින් ඉවත් කර ගත්තේත්
මෛත්‍රීම විය හැකියි.

මෛත්‍රී මැතිවරණය කල්දාන්නට
මේ පසුබිම එක් හේතුවක් විය හැකියි.
නිසි කලට මැතිවරණය පැමිණුනා නම්
සයිටම් විරෝධය බලවත් සටන්පාඨයක්.

මේ අවස්ථාව ඔවුන්ට නොදී
"සයිටම් ගැටළුව විසඳන්නෙමැ"යි කී මෛත්‍රී
දිනෙන් දින නොයෙක් සාධනීය උපක්‍රම මගින්
සයිටම් විරෝධයෙහි හුළං බැස්සුවා.

ඔහුගේ ප්‍රධානම සම්‍යක් ප්‍රයෝගය නම්
වෛද්‍ය සංගමයේ ඉල්ලීම් එකක් හැර
අන් සියල්ලම ඉටු කිරීමට පදනම දැමීමයි.
සුදුසු අවස්ථාවක ඒ ඉල්ලීමත් ඉටුකොට
සයිටම් විරෝධී ව්‍යාපරයේ පෙට්ටියට
අන්තිම ඇණයත් ගැසීමට
මෛත්‍රී පැකිළෙන එකක් නෑ.

මේ සිද්ධිය ඇදගෙන යමින්
තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර අනුව
අපට සිතා ගත නොහැකි ප්‍රතිලාභ සඳහා
මෛත්‍රී ජනපති මේ ප්‍රශ්නයට වැරදි කරු කරන්නට
ඇමති වරු දෙපළක්ම කරන උප්පරවැට්ටි අපට පෙනෙයි.

සයිටම් විරෝධය උත්සන්න කාලයේ
මෛත්‍රී නිහඬව බලා හිටියත් වැරදියි.
සයිටම් ආයතනය මංකොල්ල කෑවත් වැරදියි.
මෛත්‍රී නිහඬව බලා නොසිටින බව
ඔහු ජනතාවටම පෙන්වා දුන්නා.

කෙසේ වුවත්
නැති බැරි, ඇති හැකි සියල්ලන්ගේ ජනපති විදියට
නැති බැරි මා වෙනුවෙන් ඇති හැකි ඔබේ දේ
මංකොල්ලා කෑම මෛත්‍රීට කළ නොහැකිය.

"මම බලා ඉඳලා වැරදිකරු වුණත්
සයිටම් ආයතනය මංකොල්ල කන්නෙ නෑ"
කියන ස්ථාවරයේම රැඳී සිටීම
මෛත්‍රීගෙ පුද්ගලික ජයක්.

මේ ස්ථාවරය හඳුනා ගැනීමෙන්
"වෙනත් කිසිදු විසඳුමක් එපා.
සයිටම් ජනසතු කරනු" කියන තැනට
සයිටම් විරෝධීන් කොටු වුණා.

සයිටම් පමණක් ජනසතු කරන්නේ ඇයි?

පෞදගලික වෛද්‍ය අධ්‍යාපනය යනු
සමාජයේ ඇති හැකි පිරිසක් එක්ව
ඔවුන්ගේ දරුවන්ගේත් රටේත් යහපතට
වෛද්‍යවරුන් බිහිකරගැනීම සඳහා
නීත්‍යානුකූලව කරන සේවයක්.

ජනතාව පිළිගත් රාජ්‍ය ප්‍රතිපත්තියක් විදියට
සියලු පුද්ගලික දේ ජනසතු කරන්න කියනවා නම්
රටක් විදියට, ජනතාවක් විදියට, රජයක් විදියට
අලුතෙන් සිතා ක්‍රියා කරන්න පුලුවන්.
එහෙම නම් පෞද්ගලික රෝහල්, ප්‍රවාහනය,
පෞද්ගලික පාසල් ආදී පෞද්ගලික සියල්ලම
ජන සතු කළ යුතුයි.

එසේ නැතිව
"අන්න අහවල් ආයතනය මංකොල්ල කා
ඒ ආයතනය මේ අටට එකතු කරන්න" කියා
පස් දෙනෙක් නොව සිය දහස් ගාණක් වුව එක්වී
මාරාන්තික උපවාස කළත් ඔවුන් ඉන් මිය ගියත්
වක්‍රාකාරයෙන් එන මංකොල්ලකරුවනට නැමීම
කිසිදු ශක්තිමත් ජනපති කෙනෙක් නොකළ යුතුය.
සයිටම් විරෝධීන් හැර බල්ලෙක්වත් මායිම් නොකළ
මාරාන්තික උපවාසය ඉබේම වාගේ නතර වුණේ
"තොපි මැරියව්, කුහකයෝඅ, ඉරිසියාකාරයෝ" ආදී වශයෙන්
මිනිසුන්ගේ දැඩි විරෝධය දරාගත නොහැකිව
නවතා ගන්නට බැරිව ගසාගෙන යනවිට
හර්ෂද සිල්වා පිදුරු ගස දික් කළ නිසාය.

දන්සැලෙන් කන මිනිසුන් පිරිසක් එක්ව
"අසවල් හෝටලය දන්සැලක් බවට පත් කරනු" කියා
වෙසක් සමයේ මාරාන්තික උපවාස කළොත්
හෝටලය මංකොල්ල කා දැන්සැල් බවට පත් කිරීම
කවර පාලකයෙකුට හෝ කළ හැකිද.?

මෙවැනි අසාධාරණ දාමරික ඉල්ලීම් ඉල්ලමින්
රටේ ජනතාව අපහසුවට පත් කරනවුන්
සමාජයෙන් ඉවත් කොට දඟ ගෙයි ලන
නව නීති පාර්ලිමේන්තුවෙන් සැකසිය යුතුය.

ජනතාව අතර සිටින එක කොටසක් නිසා
තවත් කොටසකගේ අධ්‍යාපන නිදහස
රටේ ජනපති විසින් කප්පාදු නොකළ යුතුය.
අධ්‍යාපනය ලැබීමට නැති බැරි බව
අපේ රටේ බාධාවක් නොවන ලෙස
අපේ වෛද්‍ය අධ්‍යාපන නිදහස
රජයෙන් සහතික කොට ඇත.

මීළඟට රජය විසින් සහතික කළ යුත්තේ
ඇති හැකි අයට මේ බිම තුළම
වෛද්‍ය අධ්‍යාපනය ලබා දීමට හැකි ලෙස
පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය
ඉතාම ශක්තිමත් ආකාරයෙන්
ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරන්නට ක්‍රියා කිරීමයි.

දැන් අනාගතය පෙරට වඩා පැහැදිලියි.

සයිටම් විරෝධී ව්‍යාපාරය නිසා
පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට
විරුද්ධ වෙන පිරිස වාර්තා ගතයි.
ඔවුන්ගේ ආකල්ප වාර්තා ගතයි.
ඔවුන්ගේ සටන් උපක්‍රම, ඔවුන්ගේ ශක්තිය,
ඔවුන්ගේ ඉල්ලීම් යෝජනා වාර්තා ගතයි.
සමීක්ෂණය සාර්ථකව අවසානයි.

මේ අත්දැකීම් පාදක කරගෙන
මේ සියලු බාධාවන් ඉවත් වෙන පරිදි
අවශ්‍ය නීති රීති ප්‍රතිපත්ති සකසාගෙන
පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය
ඉතාම ශක්තිමත් ආකාරයෙන්
ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරන්න
මෛත්‍රීට සහ රජයට පුලුවන්.

සයිටම් සටනේ
සැබෑ ජයග්‍රාහකයා වන්නේ
පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය
ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වන දිනයක
එහි පල නෙලා ගන්නා සිසුන්ය.