20171118

"කෝ උඹලාගේ භික්ෂූන් සංවර නෑනෙ"

.
[[[ ඔබ මෙය දැමුවේ ද්වේශයෙන් නොවෙද පින්වත?]]]
Palitha Id********a
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

ද්වේශය යනු චේතනාවයි.

ද්වේශය ඉතා පහසුවෙන්
සුමුදු වචන වලින් සැඟවිය හැකිය.

ද්වේශය යනු අප්‍රිය ඕනෑම දෙයක් නිසා
සිතේ පහල වෙන සංස්කාරයයි.

මේ භික්ෂූන් හෙළා දකින
නිරාගමිකයන් තුළ ද්වේශය පහළ වන්නේ
මේ පෙන්වන භික්ෂූන් කෙරෙහි නොවිය හැක.
නිරාගමිකයන් මේ භික්ෂූන්ට සහ කල්ක්‍රියාවන්ට
සිත යටින් කැමතිවන්නටත් හැක.

නිරාගමික ද්වේශය ඇත්තේ
බුදු දහමට අනුව ජීවත් වන්නට
අපහසුවෙන් උත්සාහ කරන
ගිහි පැවිදි සිල්වතුන් කෙරෙහි විය හැක.
නිරාගමිකයා භික්ෂුව සමච්චලයට ලක් කිරීම
සිල්වතුන් අධෛර්ය කරන්නට දර
 
බොළඳ උත්සාහයක් විය හැකිය.

නිරාගමිකයෙක්
මුදු සුමුදු වචන වලින් වුව කරන්නේ
මේ භික්ෂූන් හෙළා දැකීමය.
ආගමිකයෙකුටද මේ භික්ෂූන්
හෙළා දැකිය හැකිය.
මේ දෙදෙනාගේම චේතනා තුළ
ද්වේශය තිබිය හැකිය.
එහෙත් ඔවුන්ගේ අරමුණු වෙනස්ය.

නිරාගමිකයා විමසන්නේ
"කෝ උඹලාගේ භික්ෂූන් සංවර නෑනෙ"
කියන පුද්ගලික ප්‍රශ්නයයි.
ඔහු සැබෑ බුද්ධ ශ්‍රාවකයා වන
සුපේශල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේ
තුට්ටුවකටවත් නොසලකයි.

ආගමිකයා වෙනස්ය.
ඔහු දුසිල් භික්ෂුව හෙළා දකින්නේ
සුපේශල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේ
සිත්හි තබාගෙන සසඳමිනි.

කවරෙකු වුවද නිවැරදි නම්
මෙවන් දේ ගැන ප්‍රශ්ණ කල යුතු
බුදු දහමේ සඳහන් දේ අනුවයි.
බුදු දහමට අනුව දුසිල් පැවිද්දා හෙළා දකින්නට
ශක්තියක් හෝ දැනුමක් නැති නිසා
නිරාගමිකයාට කළ හැකිවන්නේ
කවර ස්වරූපයකින් හෝ
දුසිල් භික්ෂුව හුවා දැක්වීමයි..

මෙවැනි භික්ෂූන් හෙළා දැකීම කරන්නා
ආගමික වුවත් නිරාගමික වුවත්
ඔහු කරන්නේ බුදු සසුනට නොමඳ සේවයකි.
මෙවැන්නන් හෙළා දැකීම බුදුන් වහන්සේද කරති.

බුදුන් වහන්සේට අනුව
"ගමටත් නැති වනයටත් නැති
දෙකොණ ඇවිලෙන මැද අශූචි තැවරුණ
මේ සොහොන් පෙණෙලි ගැන කතා කිරීමත්
කාලය නාස්තියකි" කියා මා කියන විට
මගේ සිතේ පවතින්නේද ද්වේශයයි.
එහෙත් බුදුන් වහන්සේ තුළ ද්වේශය නැත.
උන් වහන්සේ තුළ ඇත්තේ කරුණාවයි.

පුහුදුන් අප
ද්වේශයෙන් ගැලවෙන්නට නම්
හින්දු සමථ භාවනා අනුව
සිත ශූන්‍ය කරගෙන මෝහයට වැටිය යුතුය.

නැත්නම්
සිතේ පහළ වෙන ද්වේශය
සිත සහ කය තුළ සිහියෙන් දකිමින්
ඒ කාය චිත්ත වෙනස්කම් පිළිබඳව
උපේක්ෂාවෙන් පසු විය යුතුය.
මා කරන්නේ දෙවැන්නයි.

ද්වේශය පහළ වීම
සිතේ යටපත් වී ඇති
ද්වේශ අනුසයෙන් මිදෙන්නට ලැබෙන
අනගි අවස්ථාවකි.
ඒ සඳහා විදසුන අවශ්‍යයි.

ද්වේශ අනුසය පහ වීමට නම්
ඒ අවස්ථාවෙහි කයෙහි පහළ වෙන
දුක්ඛ වේදනාව දැකිය යුතුය.

"දුක්ඛ වේදනා ඇසුරෙන් ද්වේශ අනුසය
ප්‍රහාණය කරගන්න" කියලා
පහාන සූත්‍රයෙ බුදුන් වහන්සේ කියනවා.

ද්වේශ අනුසය ප්‍රහාණය වෙන්න නම්
වේදනාව වෙනස් වෙන විදිය
සිත කය දෙකෙහිම දැකිය යුතුය.

ද්වේශය සිතෙහි පමණක් නොව
කායික දුක්ඛ වේදනාව සමග දකින්න
විදර්ශනාවෙන් පුහුණු විය යුතුයි.

සිතේ දුකක් තරහක් බයක් ඇතිවූ විට
ඒ ද්වේශය සිත කය දෙකෙහිම දකිමින්
"දුක්ඛ වේදනා ඇසුරෙන් ද්වේශ අනුසය
ප්‍රහාණය කරගන්න" විදසුන් වඩන්නාට පුලුවන්.




2 comments:

  1. දැන් ඉතිරිව ඇත්තේ බුද්ධ සහ ධම්ම පමණි..
    සංඝ ශේෂ වී යන්නේය.

    ReplyDelete
    Replies
    1. සංඝ කියන්නෙ අද මේ ඉන්න භික්ෂූන්ට නොවෙයි.
      මගඵල ලැබූ ආර්යයන් වහන්සේලාටයි.

      Delete