වාර්ෂික ආදායම රුපියල් කෝටි 2.5ක් වන සංගමයේ
කාර්යාලය පවත්වාගෙන යෑම සඳහා
පමණක්
රුපියල් කෝටි 1.7ක් වැයවී ඇත.
මිලියන 25න් 17ක්ම කාර්යාලය පවත්වාගෙන
යෑමට නම්
අනෙක් වැඩ කටයුතු සඳහා ඉතිරිවන්නේ
මිලියන 8ක මුදලක් පමණි.
සංගමයක
ප්‍රධානම කාර්යභාරය
කාර්යාලය පවත්වාගෙන යෑමද?
රජයේ වෛද්‍ය සංගමය පිළිබඳව
2014 මැද දී 'රාවය' පුවත් පතට තරිඳු උඩුවරගෙදර ලියූ ලිපියක්.
2014 මැද දී 'රාවය' පුවත් පතට තරිඳු උඩුවරගෙදර ලියූ ලිපියක්.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කරන ලද්දේ 1926 වර්ෂයේදීය. ලංකාවේ පැරණිතම සහ ප්රබලතම වෘත්තීය සමිතියක් ලෙස පිළිගනු ලබන එම සංගමය සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්රබලතම වෘත්තීය සමිතියයැ’යි හැඳින්වීමෙහිද වරදක් නැත.
සෞඛ්‍ය ක්ෂේත්රයේ තීරණාත්මක අවස්ථාවලදී සටන්කාමී ලෙස ක්රියාත්මකවෙමින් වෛද්‍ය සංගමය ලබා ගත් ඓතිහාසික ජයග්‍රහණ ලංකාවේ වෙනත් වෘත්තීය සමිතිවලටද ආදර්ශයක් විය. වැඩිම කාලයක් 88-89 කාලයේදී අඛණ්ඩව වැඩ වර්ජනය කොට ධවල පත්‍රිකාව පරාජය කිරීමේ සටනෙහි පෙරමුණ ගත්තේද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. ඔවුන්ගේ බලපෑම් හේතුවෙන් රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරාගැනීමටද එවකට සිටි එජාප ආණ්ඩුවට සිදුවිය.
විද්වත් වෘත්තීය සමිතියක් ලෙසද ගෞරවයට පාත්රවී ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මේ වනවිට විධායක කමිටුව වාරණයට ලක්වී තිබෙන අකර්මණ්‍ය වෘත්තීය සමිතියක් බවට පත්ව ඇත. සංගමය අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරින්ද ඔවුන්ට එල්ල වී ඇත්තේ චෝදනාය. වෘත්තීය සමිතියක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තිබෙන බලය නිසාම මේ චෝදනා ගැන සොයා බැලිය යුතුමය.
දූෂිත නිලවරණය
මේ වනවිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2014 නිලවරණය හා විධායක කමිටුව සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග 5ක් ක්රියාත්මකවෙමින් පවතියි. ගල්කිස්ස දිසා අධිකරණය ලබා දුන් තීන්දුවක් අනුව නිලවරණයෙන් පත් කරගන්නා ලද නව විධායක කමිටුව වාරණයට ලක් කර ඇත.නිලවරණය පිළිබඳව සංගමයේ විධායක කමිටුවේ හිටපු සාමාජිකයෙක් රාවයට මෙසේ අදහස් දැක්වූයේය.
‘අනුරුද්ධ පාදෙණිය පාර්ශ්වය 2014 නිලවරණයේදී උප සභාපති තනතුරට යෝජනා කළේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකාවක්. ඒක ව්‍යවස්ථානුකූල නොවන හින්දා පිරිසක් නිලවරණ කමිටුවට ඒ බව පැමිණිලි කළා. එහෙත් නිලවරණ කමිටුව එය නීත්‍යනුකූලයි කියලා තීන්දු කළා. ඇත්තටම නිලවරණ කමිටුව ස්වාධීන නැහැ. ඒක සභාපතිවරයාගේ පාලනය යටතේ තියෙන්නේ. මේ නිසා පිරිසක් අධිකරණයේ නඩුවක් දැම්මා. නඩු තීන්දුව ලැබෙන්නේ උප සභාපති තනතුර සඳහා පාදෙණිය පාර්ශ්වයේ යෝජනාව නීත්‍යනුකූල නොවන එකක් කියලා. ඒ නමත් නීත්‍යනුකූල නොවන එකක්. ඡුන්ද පත්‍රිකා මුද්‍රණය කරන එකත් තහනම් කරනවා. ඒත් අධිකරණ නියෝගය නොතකා කලින් විදියට ඡන්දය තියන්න මේ අය උත්සාහ කළා. මේ නිසා වෛද්‍යවරු පිරිසක් ඡුන්දය දූෂිතයි කියලා තවත් නඩුවක් ගල්කිස්ස දිසා අධිකරණයේ ගොනු කරනවා. එතැනින් තීන්දුවක් ලැබෙනවා නිලවරණය පවත්වන්න එපා කියලා. ඒත් අධිකරණ නියෝගය ඉදිරිපත් නොකර මේ අය අභියාචනාධිකරණයේ තීන්දුවක් ලබාගන්නවා උප සභාපති තනතුර නොමැතිව ඡන්දය පවත්වන්න. ඒත් ගල්කිස්ස අධිකරණයේ තීන්දුව අහෝසි වුණේ නැහැ.’
ජූනි 28 වැනිදා අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුව අනුව නිලවරණය පවත්වන අතර එය අධිකරණයට අපහාස කිරීමක් බව පවසමින් විරුද්ධ පාර්ශ්වය නැවතත් ගල්කිස්ස දිසා අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. දිසා අධිකරණයෙන් නිලවරණයේ තනතුරු සඳහා වාරණයක් ලබාදී අගෝස්තු 4 වැනිදා කරුණු ඉදිරිපත් කරන ලෙස විධායක කමිටුවට දැනුම් දී තිබේ. මෙම අධිකරණ ක්‍රියාමාර්ග 4ට අමතරව සංගමයේ භාරකාරීත්වය දරන සාමාජිකයන් දෙදෙනෙකු විසින්ද අනෙක් සාමාජිකයන් තිදෙනා වන ප්‍රසන්න දසනායක, පබා පලිහවඩන, සමන් අභයවර්ධන යන වෛද්‍යවරුන් තම අදහස් නොවිමසා ඒකපාර්ශ්විකව කටයුතු කර ඇතැ’යි නඩු පවරා තිබේ.
‘දැන් අනුරුද්ධ පාදෙණිය පිලේ කණ්ඩායමක් ප්‍රචාරයක් ගෙනියනවා මේ අධිකරණයට ගිහින් තියෙන්නේ බාහිරින් මුදල් ලබන ද්‍රෝහීන් පිරිසක් කියලා. මේක දැන් ආණ්ඩුව ගේන දේශද්‍රෝහී තර්කය වගේ එකක්. අධිකරණයට ගියේ හත්දෙනෙක් නිසා මේ අය කියන්නේ හත්දෙනයි විරුද්ධ කියලා. එහෙමනම් ඒ අයටත් ඉන්නේ විධායක කමිටුවේ 13 දෙනෙක් විතරයි. සංගමය ඇතුළෙන්ම මේ අයට දැඩි විරෝධයක් එල්ලවී තිබෙනවා.’ රාවයට අදහස් පළ කළ සාමාජිකයා වැඩිදුරටත් කීවේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යම් බෙදීමක් ඇතිවී තිබෙන බව ලබාදී ඇති නඩු තීන්දුවලින් සහ සංගමයේ හිටපු සභාපතිවරයාට එරෙහිව නැගී ඇති චෝදනාවලින් හෙළිවේ.
‘2000 අවුරුද්දේ ඉඳන් තමයි අනුරුද්ධ පාදෙණිය මහතා සංගමයේ බලය අල්ලන්න පටන් ගත්තේ. දැන් සම්පූර්ණයෙන්ම වගේ සංගමයේ ප්‍රධාන තනතුරු ඔහුගේ පාලනය යටතේ තියෙන්නේ. නිලවරණ කමිටුවත් භාරකාර මණ්ඩලයත් සංගම් ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකළ නිසා තමයි මේ අර්බුදය ඇතිවෙලා තියෙන්නේ. දැන් සංගමයේ තනතුරු වාරණය වෙලා තියෙන නිසා භාරකරුවන් විසින් අන්තර්වාර කමිටුවක් පත් කරන්න ඕනෑ. ඒත් මේ අය පාදෙණියගෙ ළඟම හිතවතෙක් වෙච්ච චන්දික එපිටකඩුව මාධ්‍ය ප්‍රකාශක කරලා සංගමය තවමත් වෛද්‍ය පාදෙණියගේ යටතේ තියාගෙන ඉන්නවා. ඇත්තටම කිව්වොත් වෛද්‍ය පාදෙණිය බයයි අන්තර්වාර කමිටුවකට තාවකාලිකව බලය දෙන්නවත්. ඒක නිසා තමයි ජූනි 28 වැනිදා තමන් අතේ බලය තිබියදීම ඡන්දය තියන්නේ. ඡන්දය කල් ගියා නම් ඒක පවත්වන්න වෙන්නේ ස්වාධීන කමිටුවක් යටතේ.’
විධායක කමිටුවට සංගමයේ අභ්‍යන්තරයෙන්ම චෝදනා රැසකි. කමිටු සාමාජිකයන් අසාමාන්‍ය ලෙස පශ්චාත් උපාධි සමත්වීමත්, ජනප්‍රිය පාසල්වලට සාමාජිකයන්ගේ දරුවන් ඇතුළත් කිරීමේදී විධායක කමිටුව ක්‍රියාකරන පක්ෂග්රාහී ස්වභාවයත් සාමාජිකයෝ ප්‍රශ්න කරති.
සංගමයේ සාමාජිකයන් පවසන ආකාරයට වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ පාර්ශ්වය නිලවරණ පවත්වන්නේද වත්මන්(2014) ආණ්ඩුව මෙන් බලය අතැ’තිව දූෂිත ආකාරයටමය. ආණ්ඩුවේ සිංහල බෞද්ධ ඡුන්ද පදනම මෙන් පාදෙණිය පාර්ශ්වයේ ඡුන්ද පදනම වන්නේ අලූතෙන් පත්වීම් ගත් තරුණ වෛද්‍යවරුන්ය. නවක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඡන්ද ලබාගැනීමට ඔවුන් විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වන බව අනෙක් පාර්ශ්වය පවසයි.
‘දැන් අලූතෙන් පත්වෙච්ච විධායක කමිටුව වාරණය කරලා තියෙද්දීත් සංගමයේ වියදමින් පිරිසක් සාමාජිකයන්ට එස්එම්එස් යවනවා සංගමය දුර්වල කරන්න බාහිර පාර්ශ්ව කටයුතු කරනවා කියලා. අපි ඇත්තටම විරුද්ධ වූයේ සංගමයට නෙවෙයි. අනුරුද්ධ පාදෙණිය මහතා ප්රමුඛ කණ්ඩායමට. ඡන්දයට කලිනුත් මේ අය ඡුන්දය දෙන අයට එන්න බස් දීලා කන්න බොන්න දීලා වෛද්‍ය පාදෙණියගේ ප්රචාරක කටයුතු කළා. ප්‍රාදේශීය වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවලා ඡන්ද කරන්නේ නැත්තේ මේ වාසිය ලබාගන්න බැරි නිසා. මේ නිසා මෑත කාලේ ප්‍රකාශ වුණේ ඡන්ද ඉතා අඩුවෙනුයි.’
කිසිවෙකුගෙන් චෝදනා නොලබන ආකාරයට මධ්‍යස්ථව සංගමයේ නිලවරණ පැවැත්විය යුතුය. ඒ සංගමයේ නිලධාරීන් බහුතර සාමාජිකයන්ගේ මතය ඉදිරිපත් කළයුතු නිසාය. කණ්ඩායම් වශයෙන් බෙදී පවතින්නේ නම් එය එක් වෘත්තීය සමිතියක් නොවේ, දෙකකි.
මූල්‍ය චෝදනා
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලතල දරන වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ පාර්ශ්වයට මූල්‍යමය චෝදනා ද එල්ල වී ඇත. සංගමයේ 2013 වර්ෂයට අදාළ විගණන වාර්තාවෙහි කරුණු රැුසක් පිළිබඳව විරුද්ධ පාර්ශ්වය විසින් චෝදනා කර ඇත.වාර්ෂික ආදායම රුපියල් කෝටි 2.5ක් වන සංගමයේ කාර්යාලය පවත්වාගෙන යෑම සඳහා පමණක් රුපියල් කෝටි 1.7ක් වැයවී ඇත. මිලියන 25න් 17ක්ම කාර්යාලය පවත්වාගෙන යෑමට නම් අනෙක් වැඩ කටයුතු සඳහා ඉතිරිවන්නේ මිලියන 8ක මුදලක් පමණි. සංගමයක ප්‍රධානම කාර්යභාරය කාර්යාලය පවත්වාගෙන යෑමද?
සංගමයේ සේවක වැටුප් සඳහා රුපියල් ලක්ෂ 58කට ආසන්න මුදලක් වෙන් කර ඇතත්, දැනගැනීමට ලැබෙන ආකාරයට කාර්යාලයේ ස්ථිර සේවකයන් සිටින්නේ දහයටත් අඩු ප්රමාණයකි. අනෙක් අතට සේවකයන්ගේම සේවක අර්ථසාධක අරමුදල් සඳහා වියදම් කර ඇත්තේ රුපියල් ලක්ෂ 3.5ක් පමණකි. 56 ලක්ෂයක වැටුප් ලබන සංගමයේ අනියම් සේවකයෝ කවරහුද?
මීට අමතරව සංග්‍රහ වියදම් සඳහා රුපියල් ලක්ෂ 26ක්ද, ප්‍රවාහන වියදම් ලෙස රුපියල් විසි දෙලක්ෂ හතළිස් නව දහසක්ද තවත් මෙවැනිම සැකසහිත අධික වියදම් රැසක්ද සාමාජිකයන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබේ.
වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සාමාජිකයන් සඳහා වාහන ස්ටිකරයක් අලෙවි කර ඇති බවත් එක් ස්ටිකරයකින් රුපියල් 450 බැගින් ලබාගෙන ඇති බවත් දැනගැනීමට ලැබිණි. වෘත්තීය සමිති ආඥා පනත අනුව වෘත්තීය සමිතියකට ව්‍යාපාර කළ නොහැකිය.
සංගමය වාරණය කළ අවස්ථාවේදී ව්‍යවස්ථානුකූලව අන්තර්වාර කමිටුවක් හරහා මූල්‍ය පරිපාලනය සිදුකිරීම වෙනුවට සාමාජිකයකුගෙන් රුපියල් 1000 බැගින් එකතු කිරීමටද කටයුතු කර ඇත. නිලතල වාරණය කර ඇති අවස්ථාවක මුදල් එකතු කිරීම ගැටලූවකි. නිලධාරීන් සංගමයේ නාමය භාවිත නොකරන බැවින් එය ආයතන සංග්‍රහය ඉක්මවා යෑමක්ද විය හැකිය.
දෑත් පිරිසිදු නම්
තවත් චෝදනා මල්ලකි. එවැනිම බරපතළ චෝදනාය. අභ්‍යන්තරයෙන් පමණක් නොව බාහිරින්ද චෝදනා ය. මේ සියලූ චෝදනාවලට අමතරව පැහැදිලි පිළිතුරු නොලැබුණු චෝදනා රැුසක් පෞද්ගලිකව අනුරුද්ධ පාදෙණිය මහතාටද එල්ල වී ඇත. මේ සියල්ලට පිළිතුරු ලබාදී තම දෑත්වල පිරිසිදුභාවය ඔප්පු කර පෙන්වා තනතුරුවල රැුඳී සිටීම වෘත්තීය සමිති නායකයන් ගතයුතු මගය.තනතුරෙන් පෞද්ගලික වාසි නොලැබෙන්නේ නම් තවත් පිරිසකගේ අප්‍රසාදය මත තනතුරු දැරිය යුතු නැත.
අනෙක් අතට වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියක් අනෙක් සමාන්තර වෘත්තීය සමිතිවල සතුරෙකු ලෙස පෙනී සිිටිය යුතු නැත. අවශ්‍යවන්නේ වෘත්තියේ පොදු මතය නියෝජනය කිරීම පමණි.
සියලූ වියදම් විගණනය කර තිබෙනවා – වෛද්‍ය චන්දික එපිටකඩුව – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක
ඇතැම් අය විවේචනය කරන සංගමයේ වාර්ෂික විගණන වාර්තාව වසර ගණනක් තිස්සේ සංගමයේ ගිණුම් විගණනය කරන සමාගම විසින්ම කරන ලද නීත්‍යනුකූල ලියවිල්ලක්. එය මහා සභාවේදී ඒකමතිකව සම්මත වුණා. එය ලාභද පාඩුද කියලා කියන්න ඕනෑ කෙනෙක්ට පුළුවන්. කවුරුත් මේකේ නීත්‍යනුකූලභාවය ප්‍රශ්න කළේ නැහැ.සංගමයට ආහාරපානවලට, ප්‍රවාහනයට ලොකු වියදමක් යනවා තමයි. අපේ සාමාජිකයන් 20,000ක් පමණ ඉන්නවා. වසරක් තුළ සංගමයේ විවිධ රැස්වීම් විශාල ප්‍රමාණයක් පවත්වන්න වෙනවා. ඒ රැස්වීම්වලයි, සංග්‍රහ වියදම්, ප්‍රවාහන වියදම් සිද්ධ වෙනවා. මේ අය මේ දේවල් හදිසියේ හොයාගත්ත දේවල් වගේ උළුප්පලා පෙන්නන්න උත්සාහ කරනවා. ඒත් අපි මේ සියලූ වියදම් නීත්‍යනුකූලව විගණනය කරලා තියෙනවා. විවේචනය කරන අය කියන්නෙත් වියදම් වැරදියි කියලා නෙවෙයි, වැඩියි කියලායි.
චෝදනාවක් තියෙනවා මෙවර නිලවරණයේදී ප්‍රකාශ වෙලා තියෙන ඡුන්ද ප්‍රමාණය අඩුයි කියලා. එහෙත් මෙවර නිලවරණය පැවැත්වුණේ තනතුරු 5ක් සඳහා පමණයි. ඒ නිසා මෙවර ඡන්දය ලබාදෙන්න වෛද්‍ය නිලධාරීන් උනන්දුවක් දැක්වූවේ නැහැ.
අධිකරණ තීන්දුවක් මගින් සංගමයේ විධායක කමිටුව වාරණයට ලක් කළත් සංගමය ක්‍රියාත්මක වෙනවා. සංගම් කාර්යාලයේ සේවකයන්ට පඩිනඩි ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපට සිද්ධ වුණා වාරණය කළාට පසුව මේ කටයුතු සඳහා සාමාජිකයන්ගෙන් මුදල් එකතු කරන්න. නිලතල භාවිත කිරීමේ ගැටලූවක් තිබුණත් අපට ඒ විදියට ක්‍රියාත්මක වෙන්න සිද්ධ වුණා.
අන්තර්වාර කමිටුවක් පත්කර ගන්න සංගම් ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබුණත් මේ අවස්ථාවේ ඡන්දයෙන් පත්වෙච්ච විධායක කමිටුවක් ඉන්න නිසා අන්තර්වාර කමිටුවක් පත්කරන්නේ නැහැ. එහෙම කළොත් වාරණය ඉවත් කළ පසුව ක්‍රියාකාරී කමිටු දෙකක් ඇතිවෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් තවමත් පෙනී සිටිනවා.
ඔවුන් මුළු ක්ෂේත්රයම දුර්වල කරනවා –
සමන් රත්නප්‍රිය – රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සටන්කාමී ඉතිහාසයක් තිබුණා. සෞඛ්‍ය ක්ෂේත්රය පෞද්ගලිකකරණයට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති ඒකාබද්ධ සම්මේලනය නිර්මාණය කළ අවස්ථාවේ අප ලේකම් වශයෙනුත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති එහි සභාපති වශයෙනුත් ක්‍රියා කළා. ඒත් මෑත කාලයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිතියක් වශයෙන් සාමූහිකව කේවල් කිරීම කියන ජාත්‍යන්තර මට්ටමේ සාධකවලින් විතැන් වෙලා තියෙනවා.ඔවුන් හිතාමතාම අනෙක් වෘත්තිකයන් අතර ගැටුම නිර්මාණය කරනවා. සමසෞඛ්‍ය ප්රශ්නයේදීත්, සූතිකාගාර පුහුණුව සම්බන්ධ ප්රශ්නයේදීත් ඔවුන් හැසිරුණේ ඉතාම නරක විදියටයි.
මෑත කාලයේ සෞඛ්‍ය ක්ෂේත්රය තුළ වගේම රටටම බලපාන පොදු කාරණාවලදී මේ සංගමය නිහඬව හිටියා. අපි හොඳින්ම දැක්කා විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය අහිමිවීමේ අවදානමක් ඇතිවූ අවස්ථාවේදී වගේම අසාධාරණ ලෙස විදුලි ගාස්තු වැඩිවූ අවස්ථාවේදීත් සියලූ වෘත්තීය සමිති පාහේ ක්‍රියාමාර්ගවලට එළැඹෙන විට මෙම සංගමය ප්‍රකාශයක්වත් නිකුත් කළේ නැහැ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සාහ කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්රයේ එකම උපාධිධාරීන් විදියට අධිපතිවාදයක් ක්‍රියාත්මක කරන්න. සෞඛ්‍ය ක්ෂේත්රයේ වෙනත් අයට අදාළ තනතුරු විශාල ප්‍රමාණයක් ඔවුන් බලහත්කාරයෙන් වෛද්‍යවරුන්ට පවරලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ විතරක් වෛද්‍යවරු 125ක් වෛද්‍ය වෘත්තියෙන් පිට රාජකාරිවල යෙදෙනවා. වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවත් අමතක නොකළ යුතුයි.
මේ වෙනකොට සෞඛ්‍ය පරිපාලනය වෛද්‍යවරුන් හරහා සංගමයේ නිලධාරීන් පිරිසක් අතට අරන් තියෙනවා. සෞඛ්‍ය ක්ෂේත්රයම දුර්වල කරන්න මේ සංගමයට හැකියාවක් තිබෙනවා.
මූලාශ්‍රය – තරිඳු උඩුවරගෙදර (රාවය)
No comments:
Post a Comment