20150509

ආගමක් යනු කුමක්ද?




01.
  • Ajitha Edirisinghe ආගමෙන් බිහිවෙන හොඳමිනිස්සුන්ට වඩා මිනීමරුවන් වැඩිය්. හොඳ මිනිස්සුත් ආගමේනාමෙන් මිනීමරුවන්ව සාධාරණිකරණය කරනවා. පුද්ගල කෝන්තර ඇරුනාම ලෝකේසියලුමඝාතන ආගම් නිසා සිදුවූඒවා. ආගම පැතිරවීමට ආගම ආරක්ෂාකරගිනිමට යන කරුණුදෙකම මිනිමැරුම් සාධාරණය කරනහේතු. පව්පින් කියන මනස්ගාත මවාගැනීමට ආගම ඕන උනාට හොඳනරක දැනගන්න ආගම් ඕනනැහැ.

  • Athula Siriwardhane
    ආගම පිහියක් වගෙයි..
    ආගම නිර්මාණය වෙන්නෙ
    මිනිසාට යහපතක් සලසන්නයි..
    වෛද්‍යවරයා සැතකින් ශල්‍යකර්මයක් කරලා
    ජීවිතයක් බේරගන්නවා.
    ඒ සැතම මෝඩ, ද්වේශයෙන් පිරුණ
    තිරිසන් මිනිසෙකුට අහුවුණාම
    ඔහු ජීවිතයක් නැති කරනවා.
    වෛද්‍යවරයාගෙ කාර්යයෙ වටිනාකම දකින
    කරුණාවන්ත සිත් ඇති අය
    සැත දිහා බලන්නෙ ගෞරවයෙන්.
    පව් පින් මනස්ගාත විදියට දකින 
    ද්වේශයෙන් පිරුණ සිත් ඇති අය
    ඒ සැතම  දකින්නෙ මිනීමරු අවියක් ලෙසයි..
    ආගම කියන්නෙ පුද්ගලයෙක් නොවෙයි..
    පුද්ගලයා අතට ගන්න අවියක්..


    කාරුණික යහපත් සිත් ඇති
    ධාර්මිකයන් අතට ගන්නා ආගම
    යහපත් දෙයක් විදියට දකිනවා.
    යහපත් ලෙස පරිහරණය කරනවා.
    කාමයෙන් ද්වේශයෙන් දූෂිත සිත් ඇති
    අධාර්මිකයන් අතට පත්වන ආගම
    අයහපත් දෙයක් විදියට පෙනෙනවා.
    අයහපත් දෙයක් ලෙස පරිහරණය කෙරෙනවා.

    ඔබ අධාර්මික නම්
    ආගම අධාර්මික දෙයක් විදියටයි
    ඔබ දකින්නෙ.

    ඒ වැරදි වැටහීමෙන් මිදෙන්න තියන
    එකම මග
    ඔබ ධාර්මික වීමයි..


    =============================================
    02.

    බුදු දහමත් ආගමක්....

    සාමාන්‍ය මිනිහෙක් 
    ආගමට නැඹුරුවෙන්නෙ
    එකම උවමනාවකට.

    ඒ උවමනාව තත්කාලීන වෙන්නත් පුලුවන්..
    අනාගත උවමනාව නිසා කරන
    පෙර සූදානමක් වෙන්නත් පුලුවන්..

    හැම ආගමකින්ම කරන්නෙ
    මිනිසාට පැමිණෙන
    සෝ තැවුල් දුක් දොම්නස්වලින්
    මිදෙන්න මගක් ඉදිරිපත් කිරීමයි.

    ඒ ස්වභාවික උවමනා
    මොන විදියට මොන ආගමකින් ඉටුවුණත්
    මිනිස්සු තෘප්තිමත් වෙනවා.

    ආගමික ක්‍රම වැරදියි කියන නිරාගමිකයන්
    එහෙම කියන්නෙ සෝ තැවුල් දුක් දොම්නස්වලින් මිදෙන්න
    හරිමගක් දැනගෙන නෙමෙයි..ඔවුන්ට එහෙම අත්දැකීමක් නැති නිසයි..
    ඔවුන් ආගම් පිළිපදින අය දිහා බලමින්
    ආගම මනින්න වෑයම් කරනවා.
    ඒ නිරීක්ෂණ මත
    අන්ධයා කිරි කෑවා වගේ
    තමන් නොදන්න ආගම විග්‍රහ කරනවා.
    නිරාගමිකයන් කවදාවත් නොගිය ආගමික මාර්ග වැරදි ඇයි කියමින්
     ආගමික මාර්ග හොඳින් දන්න අය වගේ වැරදි කියනවා.
    තියන මාර්ග වල වැරදි කියනවා හැරෙන්න
    හරි මාර්ගයක් දන්නෙත් නැහැ..

    සිදුහත් කුමාරයා
    වැරදි මාර්ග වැරදි ඇයි කියමින්
    ගවේෂණය කරමින් සිටියෙ නැහැ..

    සත්‍ය වශයෙන්ම
    සෝ තැවුල් දුක් දොම්නස්වලින්
    මිදෙන්න මග සොයාගත්තා..

    බුදු දහම ආරම්භ වෙන්නෙ
    වෙනත් ඕනම ආගමක් විදියටයි..
    කුඩා දරුවන් පවා
    බුදු දහමට ඉබේම යොමුවෙන්නෙ
    ඒ ආගමික ලක්ෂණ නිසයි..

    බුදු දහම ආරම්භ වෙන්නෙ
    සවන් දීමෙන් ඇදහීමෙන්..ශ්‍රද්ධාවෙන්..

    දුක දකින කෙනෙකුට
    දුකෙන් මිදෙන මග
    බුදු දහම තුළින් හමුවෙන බව
    ශ්‍රද්ධාවෙන් අදහනවා.
    ඔහු බුදුන් වහන්සේ කියන ආකාරයට
    ශීලය රකිමින්
    සිහිය පිහිටුවාගන්නට වීර්ය වඩනවා.
    ඔහුගෙ සතිය පිහිටනවා.
    සමාධිය වැඩෙනවා.
    ප්‍රඥාව පහළවෙනවා.

    ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා

    ශීල වෘත ආදිය
    බුදුන් වහන්සේ බැහැර කරන්නෙ නැහැ..

    සම්මා සතිය, සම්මා සමාධිය දියුණු වෙද්දි
    ඔහු නිරායාසයෙන්ම ඒ කිහිලිකරු අත්හරිනවා.

    තමන්ගෙ සිත කය ගැන සිහිය නොදියුණු කෙනෙක්
    ශීල වෘත ප්‍රතික්ෂේප කිරීමෙන්
    සතෙක් මෙන් මෝහයට වැටෙනවා.

    සැබෑ ආගමික පුහුණුවක් නැති
    යහපත් මිනිසුන් ජීවත් වෙන්නෙ
    කොතරම් අවසිහියෙන්ද බලන්න.
    ඔවුන් ජීවත්වෙන්නෙ
    ඔවුන්ගෙ කටුව ඇතුළෙ.
    ඔවුන් ලෝකය සමග සම්බන්ධ නැහැ..

    බොහෝ විට ඔවුන්
    අඩු වයසින් මිය යන්නෙ
    හෘදයාබාධයකින්..

    ඔවුන් බැහැරින් යහපත් මිනිසුන් ලෙස හැසිරෙද්දි
    ඔවුන්ගෙ යටි සිතත් කයත් විඳවනවා.
    මිනිහෙක් කියන්නෙ
    සිතත් කයත් කියන දෙකම එක් වුණාමයි.
    මේ දෙකේම හැසිරීමට, ඉල්ලීම් වලට
    මිනිසා යටත්..

    උදාහරණයක් විදියට...
    ඉහත වාක්‍යය කියෙව්වාම
    කියවන අයගෙ හිත්වලට
    මේ වාක්‍යය බලපානවා.

    ද්වේශයක් මතුවුණොත්
    ඒ ද්වේශයෙන් බර සිතින්
    ඔවුන් වහලුන් මෙන්
    හිත කියන දේ කරනවා.
    සැබෑ කාරණය ගැන නොවෙයි...
    මානය විසින් පෙළඹිලා
    හිත කියන දේ ලියනවා.

    සිතත් කයත් දෙකේම හැසිරීමට, ඉල්ලීම් වලට
    මිනිසා යටත්..

    මේ දෙකම අධීක්ෂණය කරමින්
    මේ දෙකම මගින් කරන පාලනයෙන්..
    මේ දෙකටම තියන වහල් බවෙන් මිදෙන්න
    මිනිසාට මග කියන එකම දහම බුදු දහමයි.

    ඒ නිදහස සොයන කෙනෙකුට
    අන් දහම් ගැන සොයන්න දෙයක් නෑ.

    අන් දහම්වලින් තමන් සොයන දේ ලබන්න
    අන් අයට නිදහස තියනවා.

    කිසිම ආගමක් ගැන නොසොයන
    "මම ආගම් ගැන දන්නෙ නෑ
    මට ආගමක් නෑ" කියන නිරාගමිකයන්ට
    ඔවුන්ගෙ නිදහස තියනවා.

    අනුන්ගෙ ආගම් ගැන සොයමින්
    ඔවුන්ට පහරදෙමින් වින්දනයක් ලබන
    ආගමික නිරාගමික දෙපිරිසම
    තේරුමක් නැතිව විඳවනවා.

    =====================================================
    03.
    සංවේදී පුද්ගලයෙකුට
    ඔහුගෙ සංවේදී බව රැකගන්න නම්
    ආගමක් අවශ්‍යයි.

    ආගමකින් කරන්නෙ
    සංවේදී පුද්ගලයෙකුට
    ඔහුගෙ සංවේදී බවත් රැකගෙන
    ඒ සංවේදී බව ඔහුට හෝ
    ඔහු වෙසෙන සමාජයට හෝ
    හානියක් නොවෙන විදියට
    සීමා කරගෙන
    සැනසිල්ලෙ ජීවත් වෙන්නට
    සුදුසු මානසිකත්වයක්
    ඔහු තුළ නිර්මාණය කිරීමයි.

    නිරාගමිකව ජීවත් වෙන කෙනෙකුට
    විකල්ප තුනයි තියෙන්නෙ.

    1, හැඟීම් වලට ආවේගවලට වහල්වෙලා
    පව්කාරයෙක්, අපරාධකරුවෙක් වීම

    2, හැඟීම්, ආවේග ඇති නොවෙන විදියට
    තර්ක බුද්ධියෙන් ලෝකය දකිමින්
    සංවේදී බව නෂ්ඨ කරගෙන
    පින් පව් මනස්ගාත විදියට දකිමින්
    මෝහයෙන් වැසුණ හිතකින් යුතුව
    නරුම ජීවිතයක් ගත කිරීම.

    3, හැඟීම්, ආවේග ඇති වෙන විට
    හිතට වහල්වී පව් කරමින්,
    ඒ පව්කාරකම නිසා ප්‍රශ්න එනවිට
    ප්‍රශ්න වලට මුහුණ නොදී
    මත්පැනෙන් හෝ වෙනත් ක්‍රමයකින්
    ප්‍රශ්නවලින් පලා යමින්
    ඉහත කී අන්ත දෙක අතර දෝලනය වෙමින්..
    ජීවත් වීමයි.

    සංවේදී පුද්ගලයෙකුට
    ඔහුගෙ සංවේදී බව රැකගන්න නම්
    ආගමක් අවශ්‍යයි..

    =========== මතු සබැඳේ ===========

3 comments:

  1. .....බුදු දහමත් ආගමක්.... යනුවෙන් ඔබ ලියන ලිපි‍ය තුල කරන අවධාරණය වැරදි බවයි මගේ අදහස.... මොකද, බුදුදහම ආරම්භ වෙන්නේ ආගමක තිබෙන මුලික ලක්ෂණවලින් නෙමෙයි.... සිදුහත් කුමරු පටන් ගත්තේ ජිවිතය හා ලෝකය පිළිබදව ගැඹුරට හා පුළුල් ලෙස විග්‍රහ කරන්නට දරන වෑයමෙන්.... බුදු දහම තුල ඇති ඒ විග්‍රහය තනිකරම දාර්ශනික එකක්.... බුදුන්ගේ අභ්‍යාසය වුනේ, ‍ස්වභාවයට මුහුණ දෙන්න‍ට, මිනිසුන් තුල ඇති බයට සමහන් කොට මානසික ශක්තියක් ලබා දිම නෙමෙයි.... ජීවිතය ඇතුළු සමස්ථ සොබාදහමම විභාග කර මිනිසුන්ට මග පෙන්වන්නටයි.... ලෝකය හා ජීවිතය දෙස දාර්ශනිකව බලන අයට යම් දාර්ශනික පෙරහුරුවක් පවා, බුදුන්ගේ ඒ ව්‍යායාමය තුල පවතිනවා.....

    ...... හැබැයි බුද්ධ දර්ශනයේ ඇති දාර්ශනික විග්‍රහය හා එම චින්තන ක්‍රමවේධය හුදු බැතිමතුන් අතින් කෙලෙසි ඇති බව නම් ඉතාම පැහැදිලියි.... එය හුදෙක් දර්ශනයක් ‍ලෙස පවත්වා ගැනිමට භත්කිවන්තයන්ට නොහැකි වන්නේ, ඔවුන්ගේ සාමාජික අභිලාෂය වන්නේ මිනිස් චින්තනය වර්ධනය කිරීම නොව, උපත, ලෙඩවිම, වයසට යාම, මරණය, සොබාවික අනතුරු වැනි පැවැත්ම හා බැදුනු ප්‍රශ්නවලට උත්තර සැපයීම වුනු නිසායි...... දර්ශනය තුල ඇති මහගු විග්‍රහය හා චින්තන ක්‍රමය පසෙක තබා, වෙනත් ආගම්වල පවා පවතින ඇදහිලිකාර ලක්ෂණ, බුද්ධ දර්ශනයටත් එකතු කර ගන්නේ එම පසුකාලින ආගම්වාදින් නිසායි... බොහෝ බෞද්ධයන් මේ පාර්ශව දෙක නිරවුල් ලෙස හදුනා ගෙන නැති බව පැහැදිලියි..... ඒ නිසා තමයි, බුද්ධ දර්ශනය යනු ලෝකය හා ජීවිතය විභාග කරන්නට ඇති එකම ක්‍රමය බව කියමින් අනෙක් අයගේ චින්තන නිදහස සිමා කරන්නට උත්සාහ කරන්නේ..... දර්ශනය ඇත්තේ අදහන්නට හා එකම චින්තන ක්‍රමය යයි පිලි ගන්නට යයි බදුන් පවා බල කළේ නැහැ....

    ..... අද දවසේ ලෝකය හා ජීවිතය පිලිබද විමර්ශනශීලීව පරීක්ෂා කරන චින්තකයන් දාර්ශනික අභ්‍යාසවල නිරත වුනු බොහෝ දාර්ශනිකයන් ගේ චින්තන ක්‍රම ගැන හදාරනවා.... බුදුන් ගේ ලෝක විග්‍රහය තුල අතිශයින්ම ගැඹුරු විචක්ෂණ ලක්ෂණ පවතින බව දර්ශණය හදාරන්නන් පිලිගත්තත්, බුදුදහම අදහන්නට පෙළඹුනොත් තම චින්තන අභ්‍යාසයන්ට සිමාවන් පැනවෙන බවත් පිලි ගන්නවා....

    ..... අප අභ්‍යාස කළ යුත්තේ, ජිවත් වෙන මිනිසුන්ගේ ජිවත් වෙන්නට ඇති බාධා ඉවත් කරගන්නට චින්තනය මෙහෙයවිය යුතු බවයි..... ජිවත් වීම එපා වුවන් සදහා මෙන්ම, ජිවත් විම අවසාන වි ඇති අය සදහා චින්තනය මෙහෙයවන්නට අපි අවශ්‍ය නැහැ.... බුද්ධ දර්ශණය තුල ලෝක විග්‍රහය යොමු වි ඇත්තේ ජිවත් විම ආර්ථික, දේශපාලනික, හා සාමාජික හේතු කාරණා නිසා අර්බුදයට යවා ඇති මිනිසුන්ගේ ජීවිත ප්‍රශ්ණ විසදන්නට නොවෙයි.... ඒ නිසා, නිවන් දැකිමෙන් හෝ දිවිය ලෝක ගත වීමෙන් හෝ කෙලෙස් දුරු කර ගැනිමෙන් හෝ අද ලෝක සමාජයේ ප්‍රශ්නවලට විසදුම් ලැබෙන්නේ නැහැ....

    ..... බුද්ධ දර්ශනයේ ගැඹුර හා විචක්ෂණ බව කොතරම් වුනත්, ජිවත් වන්නන්ගේ ගැටළු සමග පොරබදන්නාවූ අපගේ අවශ්‍යතාව ඇත්තේ වෙනත් දර්ශනයක් සමග නම්, හා බුදුන් විග්‍රහ කරපු ආකාරය තුල නෙමෙයි නම්, එය ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය බුද්ධ දර්ශණය පිලි නොගන්නා අයට ඇති බව බුද්ධ දර්ශනය හා ආගම අදහන අය පිලි නොගන්නේ ඇයි?

    .... ඤාණසුන්දර උදම්මිට...
    ......

    ReplyDelete
    Replies
    1. උදම්මිට,
      බුදු දහම ආරම්භ වෙන්නෙ
      වෙනත් ඕනම ආගමක් විදියටයි..
      කුඩා දරුවන් පවා
      බුදු දහමට ඉබේම යොමුවෙන්නෙ
      ඒ ආගමික ලක්ෂණ නිසයි..

      බුදු දහම ආරම්භ වෙන්නෙ
      සවන් දීමෙන් ඇදහීමෙන්..ශ්‍රද්ධාවෙන්..

      දුක දකින කෙනෙකුට
      දුකෙන් මිදෙන මග
      බුදු දහම තුළින් හමුවෙන බව
      ශ්‍රද්ධාවෙන් අදහනවා.
      ඔහු බුදුන් වහන්සේ කියන ආකාරයට
      ශීලය රකිමින්
      සිහිය පිහිටුවාගන්නට වීර්ය වඩනවා.
      ඔහුගෙ සතිය පිහිටනවා.
      සමාධිය වැඩෙනවා.
      ප්‍රඥාව පහළවෙනවා.

      Delete
    2. ශීලය හැම ආගමකම පදනමයි.
      බුදු දහමෙත් එහෙමයි.
      සමාධියත් හැම ආගමකම වගේ තියනවා.
      බුදු දහම වෙනස් වෙන්නෙ
      සතර සතිපට්ඨානයෙන්..
      සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි තුන
      වෙනත් ආගම්වල නැහැ.

      Delete